ජීවිතය හරහා ගමන් කරද්දී අප ගැටී, නොගැටී, බැඳී, නොබැඳී පසුකරන මං සලකුණු කෙතරම් ද? නැවතී කල්පනා කළොත් ඒ හැම නිමේෂයක්ම කතන්දරයක් බව ඔබට වැටහෙනු ඇත. ඒ කතන්දර අකුරු කර, එකට පෙළගස්වා පොතක් බවට හරවා ඇති අවස්ථාවක් සිතේ මවාගන්න. Jhumpa Lahiri ගේ Whereabouts පොත ගැන කළ හැකි සරල ම විස්තරය එයයි.
නමක් නැති කතානයිකාවක් විසින්, නමක් නැති නගරයක තනිව සරද්දී ඈ දකින දේ, මුණගැසෙන අය සහ ඒ ඇසුරෙන් සිහිවෙන හා වටහාගන්නා දේ මේ කුඩා නවකතාවට ප්‍රස්තුත වේ. ‘පොත් සාප්පුවේදී’, ‘මහමඟ දී’, ‘රූපලාවන්‍යාගාරයේදී’ යනුවෙන් කුඩා කොටස් වලට බෙදා ලේඛිකාව අපට මේ හැම මොහොතක සේයා රූ වැනි නිමේෂයන් ඉදිරිපත් කරන්නීය.
Jhumpa Lahiri බෙංගාලි සම්භවයක් ඇති දෙමව්පියන්ට දාව 1967දී ලන්ඩනයේදී උපන්නියකි. ඈ කුඩා කාලයේදීම ඔවුන් ඇමෙරිකාවේ පදිංචි වූ අතර ඈ හැදී වැඩුණේ එහි ය. පසු කාලීන ව ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳව ආචාර්ය උපාධියක් හැදෑරූ ඈ බොස්ටන් විශ්ව විද්‍යාලයේ නිර්මාණාත්මක ලේඛනය පිලිබඳ ව මහාචාර්ය ධූරයක් හෙබවූවා ය. 1999 දී පළ වූ Lahiri ගේ පළමු කෙටිකතා සංග්‍රහය වන Interpreter of Maladies කෘතියට පුලිට්සර් සම්මානයත්, හෙමිංවේ සම්මානයත් හිමිවිය. ඉනික්බිති ඈ ලියූ The Namesake, Unaccustomed Earth, The Lowland වැනි අනෙත් පොත්වලටත් විවිධ සම්මාන හිමි වූ අතර ඇතැම් නවකතා චිත්‍රපටි බවට ද හැරවිණි. ඉහත කී හැම කෘතියකින්ම Lahiri ඇමෙරිකාවේ වෙසෙන ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ ජීවිත සියුම් ව ගවේෂණය කිරීමත් විශේෂත්වයකි.
පිටු 147ක කුඩා පොතක් වන Whereabouts නවකතාවේදී, පරිච්ඡේද 42ක් ඔස්සේ Lahiri අප ව විවිධ ගමනාන්ත වෙත රැගෙන යන්නීය. ඈ කියන්නේ කුඩා කතන්දර ද, ගද්‍ය කාව්‍ය ද කියා සිතෙන තරමට ඒවා අමුතු දුක්මුසු ලාලිත්‍යයකින් හෙබි ය. ඒ හැම පරිච්ඡේදයක් ම නවකතාවක නිර්මාණ සැලැස්මක කොටසක් නියෝජනය කරනු වෙනුවට සිතියමක අඳින ලද ගමන් සලකුණු ලෙස නිර්වචනය කළ හැක.
Whereabouts නවකතාවේ අනෙත් සුවිශේෂත්වය නම් Lahiri එය ප්‍රථමයෙන් රචනා කළේ ඉතාලි බසින් වීමයි. තම සැමියා හා දරු දෙදෙනා සමඟ ඉතාලියේ පදිංචි වීමෙන් අනතුරුව ඉතාලි බසින් නිර්මාණකරණයේ යෙදෙන්නට පටන් ගත් ඈ එතෙක් හුරු පුරුදු ව තිබුණු බෙංගාලි සහ ඉංග්‍රීසි භාෂාවන්ට වඩා ඒ බසට පෙම් කරන්නට ගත් බව පවසන්නීය. එහි සුමට, සුනම්‍ය බව තමන්ට ලගන්නා සුළු නිර්මාණ බිහි කිරීමට හේතු වන බව ඈ විශ්වාස කළා ය. Dove mi trovo නමින් ඈ ලියූ පළමු ඉතාලි නවකතාව, පසු කාලීනව ඇය විසින්ම ඉංග්‍රීසි බසට හරවා Whereabouts නමින් ප්‍රකාශයට පත් වූයේ මෙලෙසයි.
‘Solitude: it's become my trade. As it requires a certain discipline, it's a condition I try to perfect. And yet it plagues me, it weighs on me in spite of my knowing it so well.’-In My Head
Lahiri ගේ කෘතිවල ඉංග්‍රීසි බස ඉතා පොහොසත් ය. එමෙන්ම සමස්ත නිර්මාණයේ සරල බවත්, පාඨකයා ගේ අවධානය ග්‍රහණය කරගනීමේ ගුණයත්, එහි විචිත්‍ර බව තවත් ඔපවත් කරයි.
තමන්ට හුරු බසින් නිර්මාණකරණයේ පර තෙරට ගිය පසු නුහුරු බසක් මුල සිට උගෙන එවැනිම හාස්කම් දක්වන Lahiri ගේ එඩිතර බව මම ප්‍රිය කරමි. වෙනත් රටක සම්භවයක් ඇති කෙනෙකු සමාජයක මුහුණදෙන කුඩා සමාජයීය, සංස්කෘතික අතරමං වීම් වල අහු මුළු ඈ විස්තර කරන සුන්දර බව මා සිත් ගනී. ඉතින් Jhumpa Lahiri මා ප්‍රිය කරන ලේඛිකාවක් වන්නේ එබැවිනි. Whereabouts නවකතාව මේ බැඳීම තවත් තර කළ බව මට දැනේ.
