August 16, 2020

මිතුරු





හැමදාම උදේට එන ගිරව් රංචුව අදත් පයිනස් ගස් පේළියට පහත් වෙන හැටි සුලාරි බලාගෙන හිටියේ දොරකඩ පඩිය උඩ ඉඳගෙන. රතු කොළ පාට දිස්නේ දුන්නු මේ ගිරව්, ප්‍රමාණයෙන් පුංචි වුණත් කෑ කෝ ගැහිල්ලේ නම් අඩුවක් තිබුණේ නැහැ. මේ, මෙතැනට ගස් අතරින් හරහට අව්ව තීරු වැටෙන වෙලාව. පඩිය උඩ ඉඳන් සුලාරි ඇස් දෙක පියාගෙන මූණ අව්ව පැත්තට හරවලා ගැඹුරු හුස්මක් ගත්තා. පයිනස් ගස් පේළියට එහායින් වත්තේ මායිමේ ලී වැටත් ඉන් ඈතට බෑවුමේ කෙළවර වගුරු බිමත් මෙතැනට හොඳට පේනවා. චුට්ටීගේ ආසම රාජකාරිය ඔය ගස් පේළිය යට- සුලාරිගේ සිතිවිලි එකපාරටම නැවතුණේ දුවව මතක් වුණු නිසා. ඒෂාව ළදරු පාසලට බස්සලා පැයක්වත් ගෙවිලා නැතිවුණත් සුලාරිගේ හිත ලොකු පාළුවකින් කීරි ගැහිලා ගියා.

දුව ළදරු පාසැල් යන්න පටන්ගත්තේ මේ සතියේ ඉඳන්. ඒ ගමන ගැන සුලාරි හිතුව තරම් විරෝධයක් ඒෂාගෙන් මතු නොවුනේ අලුත් යාළුවො එක්ක සෙල්ලම් කරන්න, අලුත් කතන්දර සින්දු ඉගෙන ගන්න එයාත් ආසාවෙන් බලාගෙන උන්නු නිසා වෙන්න ඇති. සුලාරිට නම් දැනුණේ අවුරුදු ගාණක් තිස්සේ එක හුස්මට දුවපු මැරතන් එකක් හදිසියේම නතර කළා වගේ හැඟීමක්. දුව ගෙදර ඉන්දැද්දී දවස් කලබලයෙන් පිරිලා ඉතිරුණා. උයන්න පිහන්න, රෙදි හෝදන්න, මේවා අතරේම දූට කවන්න පොවන්න, නාවන්න එයා එක්ක සෙල්ලම් කරන්න, හැමදාම උදේට දූගේ පෙරැත්තය නිසා වගුරු බිම පැත්තට ඇවිදින්න යන්න, හවසට සුරංග ගෙදර ආවාම දූව එයාට පවරලා රෑට උයන්න, වලං පිඟන් හෝදලා කුස්සිය අස්පස් කරන්න වෙලාව ගතවුණාම සුලාරිගේ දවසේ හති අරින්න කාලයක් ඉතුරු වුණේ නැහැ. පහුගිය අවුරුදු තුන හතරටම අඩුවැඩි තරමට මෙහෙම දවස් ගත කරමින්, නිවනක් ලැබෙනකම් ඇඟිලි ගනිමින් උන්නු සුලාරිට හදිසියේම ඒෂා දවසෙන් වරුවක් ගෙදර නැති එක දරාගන්න අමාරු වුණ එක ගැන එයාටම පුදුම හිතුණා. 

දොරකඩ පඩිය ළඟ දුවගේ සෙල්ලම් වලහෙකුත්, පුංචි රතු පාට ප්ලාස්ටික් බාල්දියකුත් මඩේ බහිද්දී දාන බූට්ස් සපත්තු දෙකත් විසිරිලා තියෙනවා දැකලා සුලාරිට හිනාවක් ගියා. “මේ කෙල්ල නම් ගිය ආත්මේ ලංකාවේ කුඹුරක් හාලා තියෙනවා!” ඒෂා මඩේ නටන හැටි ගැන සුරංග කීවේ එහෙමයි. එහෙම කිව්වාට දෙහිවල හැදිලා වැඩුණු සුරංගවත් කවදාවත් කුඹුරක් හානවා දැකලා නැතිව ඇති කියලා සුලාරි ට හිතුණා. සුලාරිගේ පුංචි කාලේ ගෙවුණේ කළුතර නගරබදව වුණත් එයාලගේ ගේ පිටිපස්සේ කුඹුරු යායක් තිබුණා. පුංචිම කාලේ කුඹුරු හාන දවසට නියරක් උඩට වෙලා අලුතින් හෑව මඩට කොක්කු රංචු පාත් වෙන හැටි බලාගෙන හිටිය මතකයක් හීනයක් වගේ සුලාරිගේ හිතේ කොනක ඇඳිලා තිබුණා. ඒ මතක දිගේ යද්දී අයියලා එක්ක කමතේ පිදුරු ගොඩවල් වල සෙල්ලම් කළ දවස්, ගස් වල ගඩා ගෙඩි කඩමින් ඇති තරම් දැඟලුව දවස් සුලාරිට දැනුණේ අද ඊයේ වගේ. දුව ගෙදර නැතිව එකපාරට නිදහස් කාලයක් ලැබුණාට පස්සේ තමන්ට ඉස්සරට වැඩිය ලංකාව මතක් වෙන බව සුලාරිට ළඟදී ඉඳන් තේරිලා තිබුණා. කලින් දවසක පාර අයිනේ කැන්ද කොළ වගේ කොළ තිබුණු ගහක් දැකලා අම්මා ඉස්සර හැදුව හැලප වල සුවඳ මතක් වුණු හැටිත්, තවත් දවසක කිසිම හේතුවක් නැතිව ජම්බු කන්න ආසාවක් ආව හැටිත් සුලාරි ට මතක්වුණා. අවුරුදු දෙකකට විතර කලින් වතාවක් ලංකාවට ගියත් ඒ සති හතර ගෙවුණේ එක එක රාජකාරි අතරේ අසිහියෙන් වගේ නිසා හිතාගෙන ගිය දේවල් වලින් වැඩි හරියක් කරන්න නොලැබුණු බවට හිතේ අමාරුවක් එක්කයි සුලාරි ආයෙත් ලංකාවෙන් ආවේ. 

“දැන්වත් ටිකක් එළියට බැහැලා යාළුවෙක් දෙන්නෙක් හදාගන්නකෝ පුතේ!” ඊයේ පෙරේදා කතා කළ වෙලාවක අම්මා සුලාරිට කීවේ මේ සාංකා ගැන සුලාරි වචනයක්වත් කියලා නෙමෙයි. ඉස්සර ඉඳන් සුලාරි කියන වචන කීපයකින්, නොකියන වාක්‍ය පිටින් තේරුම්ගන්න අම්මාට පුළුවන්කම තිබුණු නිසා ඒක පුදුමයක්මත් නෙමෙයි. අම්මා කියන කථාවේ ඇත්තක් තියෙන බව සුලාරි දැනගෙන හිටියා. සුලාරිත් සුරංගත් සිඩ්නි නගරයට පදිංචියට ඇවිත් මාස ගණනකිනුයි දූ හම්බවෙන්න ආවේ. ඒක අනපේක්ෂිත ආරංචියක් වුණත් සුලාරි බොහොම සතුටු වුණේ නුපුරුදු රටක ‘තමන්ගේම’ කියලා දෙයක් ලැබෙන්න යන බව දැනුණු නිසායි. එතැන ඉඳන් ජීවිතය ගෙවුණේ හරි සතුටු කලබලයකින්. මුල මාස කීපයේදී වැඩි පරෙස්සමට ගෙදරටම වෙලා හිටිය සුලාරිට ඒෂා ඉපදුනාට පස්සේ නම් විවේකයක් ඉස්පාසුවක් තිබුණේ හරි අඩුවෙන්. පුංචි බබාලාත්, අම්මලාත් වෙනුවෙන්ම තියෙන සෙල්ලම් කණ්ඩායම්, පීනුම් පන්ති වගේ දේවල් ඒ නගරයේ තමන්ට කිට්ටුව තැන්වලම තියෙන බව දැනගෙන හිටියත් ඒෂාවත් අරගෙන ඒවාට එකතුවෙන්න මොකක්දෝ කුලෑටිකමක් හැමතිස්සෙම තමන්ව පස්සට අදින බවක් සුලාරිට නිතරම දැනුණා. ඉතින් අන්තිමට සුලාරි අලුත් රටේ වටපිටාවට වැඩිය හුරුනොවී ම අවුරුදු තුනක් හතරක් ගතවුණා. සුරංගත් ලොකුවට යාළු සමාගම් හොයන කෙනෙක් නොවුණු නිසාත් ඒවාට යන්න සුලාරිටත් බලපෑම් කරන කෙනෙක් නොවුණු නිසාත් ජීවිතය වැඩිහරියක්ම ඒ තුන්දෙනාගේ ලෝකෙට සීමා වෙලා ගලාගෙන ගියා. අම්මා කියන විදිහට ‘යාළුවො හදාගන්න’ පුළුවන් දෙකේ පන්තියේ හිටියා නම්!- සුලාරිට හිතුණා. කොහොමත් ටිකක් ලජ්ජාශීලි සුලාරි ලේසියෙන් එකපාරට නාඳුනන කෙනෙක් එක්ක කතාකරන්න පෙළඹුණේ නැහැ. හරියටම බැලුවොත් නම් සිඩ්නි වල සුලාරිටත් සුරංගටත් යාළු මිත්‍රයෝ සෑහෙන්න තරමක් හිටියා. සුරංග ගේ ඉස්කෝලේ යාළුවො, ලංකාවේදී සුලාරි එක්ක එකට වැඩකළ යාළුවො, සුරංගගේ නැන්දාගේ දූලා දෙන්නෙක්... මේ වගේ අය කොයිතරම් හිටියත් පපුවට දැනෙන යාළුකමක් නැති බවේ අඩුවක් කලබල දවස් අතරේදී වුණත් සුලාරිට දැනිලා තිබුණා. පොතක් පතක් ගැන තර්ක කරන්න, නළු නිළියන්ගේ ඕපාදුපයක් කියලා හිනාවෙන්න, ඉස්සර කළ මෝඩ වැඩ ගැන මතක අවුස්සන්න යාළුවෙක් නම් ඕනමයි කියලා සුලාරිට තේරිලා තිබුණා. දැන් දැන් චුට්ටී ගෙදර නැති හිස් ඉඩේදී ඒ සිතිවිල්ල තවත් තදින් දැනෙන්න පටන්ගෙන බව සුලාරිට තේරුණා.

දූව එක්කගෙන එන්න යන වෙලාව කිට්ටු බව මතක්වෙලා සුලාරි පඩියෙන් නැගිට්ටා. ඒ වෙද්දී ගිරව් රංචුව පයිනස් ගස් අතඇරලා ඉගිලිලා ගිහින් තිබුණු නිසා පළාතම ආයෙත් නිශ්ශබ්ද වෙලා තිබුණා. උදේ වරුවම කිසි දෙයක් නොකර දොරකඩ පඩිය උඩ අව්ව තපිමින් ගතකළ බව මතක් වෙලා සුලාරිට පුංචි වරදකාරී හැඟීමක් එක්ක අමුතුම ජයග්‍රාහී සතුටකුත් දැනුණා. ඒෂා ගෙදර නැති පාලුව තදටම දැනුනත් මේ තරම් කල් තටු අකුලාගෙන උන්නු තමන්ට මේවගේ විවේකයක් වුවමනා වෙලා තිබුණු බව එයාට තේරුණා. පහුගිය කාලේ හරිම කලබලකාරීව ගතකළ නිසා තමන් මේ නිදහස උපයාගත්තා වගේ හැඟීමක් සුලාරිට දැනුණා. A time to plant and a time to harvest!’ සඳා ළඟක හිටියා නම් කියාවි කියලා හිතිලා සුලාරිගේ මූණේ හිනාවක් ඇඳුණා. සඳාත් සුලාරිත් එකට බෝඩිම්වල ගත කළ අවුරුදු ගානේදී ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් කෝපි කෝප්ප බොමින්, නිදිමරමින්, ලෝකෙම ප්‍රශ්න විසඳමින් ගතකළ අතීතය ගැන මතකය ආයෙත් සුලාරිගේ හිත ගෙනවිත් නැවැත්තුවේ දැන් තමන්ට දවස් බෙදාගන්න යාළුවෙක් නැතිකමේ හිඩැස ළඟ.

දුවගේ ළදරු පාසල තිබුණේ ගෙදර ඉඳන් පයින් යන දුරක. යාළුවො ගැන කල්පනාවෙන්ම ඇඳ පැළඳගෙන පාරට බැස්සත් දූව ගන්න තව පැය බාගයකටත් වැඩිය කාලය තියෙන බව සුලාරිට තේරුණේ බාගයක් දුර ගියාටත් පස්සෙයි. සීත කාලේ ඉවරවෙලා වසන්ත කාලේ එළඹෙන්න ඔන්න මෙන්න තිබුණු නිසා වටපිටේ තිබුණේ අමුතුම නැවුම් බවක්. බොහොම දීප්තිමත්ව ඉර එළිය හැමතැනම පැතිරිලා තිබුණත් ඒ එක්කම ඇඟ පතේ වෙළෙන සීතලකුත් අඩු නැතිව තිබුණා. පාර දිගට ප්ලම් ගස් වේලාසනම මල් පුරවාගෙන හිටියේ සීත කාලය ඉක්මනින් අමතක කරන්න වගේ. වෙලාව වැඩිපුර තිබුණු නිසා ළදරු පාසල කිට්ටුව තිබුණු කෝපි සාප්පුවට ගොඩවෙන්න සුලාරිට හිතුණේ අහම්බෙන්. මේ තරම් කිට්ටුව ඉඳලාත් හැමදාම මේ සාප්පුවේ ලස්සන බලමින් එතැනින් ආවා ගියා මිසක් සුලාරි කවදාවත් ඒකෙ ඇතුළට ගිහින් තිබුණේ නැහැ. සතියේ දවසක දවාලක් නිසා සාප්පුවේ එළියේ තියලා තිබුණු කහ පාට පුටු මේස වල ඉඳන් කෝපි බොමින් හිටියේ සෙනඟ අතළොස්සයි. මේසයක් ළඟ වාඩිවෙලා හිටිය හුරුපුරුදු කෙනෙක් සුලාරිගේ ඇහැ ගැටුණේ එයා කෝපි කෝප්පයක් ඇණවුම් කරන්න ලෑස්ති වෙද්දී. ඒ දූගේ ළදරු පාසැලට පුතෙක්ව බස්සන්න ඇවිත් දැකලා පුරුදු අම්මා කෙනෙක් බව සුලාරිට මතක් වුණා. හිජාබයත්, වෙන රටකින් සංක්‍රමණය වුණු පෙනුමත් නිසා සුලාරිට එයාව මතක තිබුණා. ඒ වෙලාවේ නම් එයා හිටියේ කලබලයක. එයා වඩාගෙන උන්නු බබා එයාගේ අත් බෑගය මේසයෙන් බිමට තල්ලු කරලා, ඒකෙ තිබුණු කාසි, බැංකු කාඩ් වගේ හැමදේම සාප්පුව පුරාම විසිරිලා ගිහින් තිබුණා. කෝපි ඇණවුම් කරන එක අමතක කළ සුලාරි බිම විසිරුණු දේවල් අත්බෑගයට එකතු කරන්න පටන් ගත්තේ දෙසැරයක් නොහිතාම. තවමත් බෙරිහන් දෙන බබාව වඩාගෙන උන්නු ඒ අම්මා සුලාරිට කෘතඥ හිනාවක් දුන්නා. 

“අනේ ඔයා මට ලොකු උදව්වක් කළේ. මේ කොල්ලාගේ දත් එනවාද කොහෙද අද උදේ ඉඳන් රණ්ඩු! ඉන්නකෝ.. අද මගේ ගානේ ඔයාට කොපි! ආ මගේ නම කිව්වේ නැහැනේ, මම සුෆිකා” ඈ ඒ හිනාවෙන්ම කියාගෙන ගියා.

සුලාරි සුෆිකාගේ අත් බෑගය මේසය උඩින් තියලා එතැනින් වාඩිවුණේ හිතේ අමුතු සතුටක් මෝදු වෙද්දී. ‘දැන්වත් යාළුවෙක් දෙන්නෙක් හදාගන්නකෝ පුතේ!’ අම්මාගේ කටහඬ කොහේදෝ ඈතක ඉඳන් එයාට ආයෙත් ඇහුණා.



August 05, 2020

Words




once, I wrote a thousand words in poems
to say that I love you
but, my love, I have no words for poems now
to say that I miss you

හුදකලා හෝරාව පිටුවේ කවියක පරිවර්තනයක් 
photo- red flowering gum

August 01, 2020

රතු කොරල්

Translation of the short story Red Coral by Sangeetha Bhaskaran


හට්ටියේ වූ කිරි ටික උතුරද්දී එහි මැද තිබුණු තේ කොළ ඉහළට එසවෙන දෙස බලා උන් මා ලිප නිවා දැමුවා. තේ පෙරාගැනීමට මා ගත්තේ තැඹිලි පාට මිටක් ඇති අවපැහැ ගැනුණු තේ පෙරනය. අම්මා කිසි දවසක කිසිම දෙයක් ඉවත දැම්මේ නැහැ. එළවළුවලත් මස්වලත් කහට උරාගත් කපන ලෑල්ල, හැඩය ඇද වී ගිය ඇලුමිනියම් කෝප්ප, කාලයක් තිස්සේ එකතුවුණු දැලි කුණු නිසා නියම පාටත් අමතකව ගිය ප්ලාස්ටික් පිඟන් රඳවනය- කුස්සිය හාත්පස දෑස් යොමුකරද්දී මීට දෙවසරකට කලින් මා නිවසින් යාමට පෙර තිබුණු අයුරින්ම මේ සියලු දේ දකින්නට මට පුළුවන් වුණා. දැන් අම්මා නැති නිසා තවත් මේ බඩු පාවිච්චි කරන්න පුළුවන් කියා ඇගෙන් බැණුම් නොඅහාම මට ඒවා ඉවතලන්නට පුළුවන්.

තාත්තා වාඩිවී සිටියේ අබලන් ඇඳ උඩයි. ඇඳේ ගෙවී ගිය කොහු මෙට්ටය තිබුණේ කොයි මොහොතක හෝ කඩා වැටෙන්නට ළංවෙමින්. තාත්තාගේත් වැඩි වෙනසක් පෙනෙන්නට තිබුණේ නැහැ. සෙමෙන් බීඩියක් උරමින් සිටි ඔහුගේ රැළි වැටුණු සම එල්ලා හැලුණේ ඔහුට අඩක් පිරවූ මල්ලක පෙනුමක් දෙමින්. ඔහු මා දිහා නොබලා යාන්ත්‍රිකව මගේ අතින් තේ වීදුරුව ගත්තා. අපේ අතැඟිලි යන්තමින් ගෑවෙද්දී ඔහුගේ රත් පැහැ දෑස දෙස මා බැලුවේ එහි යම් හඳුනාගැනීමක්, පිළිගැනීමක් සොයමින්. එසේ බලද්දීත් කිසි දවසක නොලැබෙන දෙයක් සෙවීම ගැන මට මා ගැනම අනුකම්පාවක් දැනුණා.

අම්මා අන්ත්‍රා වුණා. මට දුරකථන ඇමතුම ලැබුණේ ඊයේ රාත්‍රියේ. අම්මාගේ මරණය ගැන අසල්වැසියෙක්ගෙන් දැනගන්නට ලැබීමත්, ඈ මැරුණේ කවර හේතුවක් නිසාදැයි නොදැනීමත් අතරින් වඩාත්ම නරක දේ කුමක්දැයි සිතාගන්නට මා අපොහොසත් වුණා. රජයේ රෝහලේ මරණ පරීක්ෂකවරයා අම්මාගේ මළ සිරුර කපා පරීක්ෂා කරන්නට රුපියල් දාහක් ඉල්ලා තිබුණු නිසා එය නොගෙවාම ඇය මියගියේ හෘදයාබාධයකින් කියා තාත්තා නිගමනයකට ඇවිත් තිබුණා.

අම්මාගේ මළගමට මා ගමට යායුතු බව මා රැකියාව කළ නිවසේ කාන්තාවට කී විට ඇගේ මුහුණ අනුකම්පාවෙන් රැළි නැඟුණත්, මා නැති අතරේ නිවසේ ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම් ආදිය කරමින් ඇගේ දරුවා ව බලාගන්නේ කෙසේද කියා ඇය සිතමින් සිටියා. දින කිහිපයකින් ආපිට එන්නට මා පොරොන්දු වුණා. මා ඇගෙන් මුදල් අත්තිකාරමක් ඉල්ලුවත් තම සැමියා ඊට අකමැති වනු ඇති බව ඈ කීවා. "සල්ලි ටික පරෙස්සම් කරගන්න මාලා. ඔයාගේ පවුලේ උදවිය ඒ සල්ලි අරගත්තොත් ඔයාට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ" මා හා කතා කරද්දී නිතර පාවිච්චි කරන වඩාත් හොඳ දේ හඳුනන ආරක්ෂකයෙකුගේ මවුවත් කටහඬින් ඈ කීවා.

ආරංචිය ලැබී පැයක් යද්දී මම නගරයෙන් බස් රථයකට ගොඩවුණා. එය පිරී තිබුණත් අන්තිම පේළියේ ඉඩක් ලබාගන්නට මා සමත් වුණා. නින්දෙන් නිරතුරුව තම ඔළුව මගේ උරහිසට බර කළ වයසක කාන්තාවකුත්, බොහොම සතුටින් මගේ කලවට තමන්ගේ කලව තදකරගෙන උන් මැදිවියේ පිරිමියෙකුත් අතරමැද මා සිරවී හිටියා. අප අබලන් අධිවේගී මාර්ග මතින් පැද්දී පැද්දී යන අතරතුර බස් රියේ විවර කවුළු අතරින් උණුසුම් වාතයත් දූවිලිත් ගසාගෙන ආවා. මගේ සිරුර සිරවී තිබීමත්, මහන්සියත් නිසා ශෝකයේ අහුමුලු වලට මගේ මනසට ඇවිදගෙන යන්නට අවසර දෙන්නට ලැබුණේ නැහැ. අම්මා නැතිව කිසිම වටිනාකමක් නැති නිවසකට මා යමින් සිටියා.

තාත්තා තේ බීවේ කල්පනාවේ ගැලෙමින්. ඔහු මොනවා සිතමින් ඇත්ද? දිනපතා ඔහු දත් මැද්ද පසු ඔහු අතට දුම් දමන තේ වීදුරුව දෙමින්, එය නිවෙන්නට පෙර බොන්නැයි නිරතුරුව මතක් කරමින් අවුරුදු හතළිහක් තිස්සේ වතාවත් කළ ගැහැනිය ගැන ඔහු සිතමින්ද? ඔහු කාලයක් ගොවියෙක් වී සිටියා. පුපුරු ගසන අව්වේ වැඩ කිරීමෙන් පිරිමින්ගේ සමටත් සිහිකල්පනාවටත් කුමක්දෝ සිදුවෙන

බව සත්‍යයක්. ඔහු මා හා කතා කළේ අත්‍යවශ්‍ය දෙකට පමණයි. ඔහුගේ අවධානය දිනාගැනීමේ ගෞරවය හිමිවුණේ මගේ සහෝදරයාටයි. අප ඒ කුඩා නිවසේ සිරවී සිටි මුළු කාලය පුරාවටම ඔහු අම්මාගේ සැමියා ව සිටියා පමණයි. දැන් ඔහු දවස පුරාම කිසි දෙයක් කළේ නැහැ. ආණ්ඩුවේ සහන වැඩසටහනකට සම්බන්ධ වීම නිසා මසකට යම් මුදලක් ඔහුගේ ගිණුමේ තැන්පත් වුණා, එය ඔහුගේ දෛනික අරක්කු වියදමට ප්‍රමාණවත්. අම්මා ගේ දොර වියදම් පිරිමසාගත්තේ මා එවූ මුදලින්.

මගේ සොයුරා, බිකූ ගැන මට පළමු වරට සිහිවුනේ මා නැවත ආ පසුවයි. අම්මාගේ මරණය ඔහුගේ රස්තියාදුකාර ජීවිතයට වැඩි බලපෑමක් නොකරන බවට මට සහතික වුණත් ඔහුව දකින්නට මට වුවමනාවක් ඇතිවුණා.

"තාත්තේ මම මළගෙදරට වුවමනා දේවල් අරගෙන එන්නම්. කවුරුවත් ආවොත් කතාකරන්න තාත්තා ඉන්න"

ඔහුට මා කී දේ ඇසුනත් නෑසුණු ලෙසින් ඇසිපිය ගසමින් පසුවුනා. කාලයත් සමඟ වැඩි දෙයක් වෙනස් ව තිබුණේ නැහැ.

"මම හෙට ආපිට යන්න ඕන, ඒ නිසා හැමදේම ඉක්මනට කළොත් හොඳයි."

ඒ මගේ කටහඬ ද? මා ඒ වචන කීවාද? මා අම්මාගේ මරණය බොහොම කාර්යක්ෂමව, ශීඝ්‍ර ව පරිපාලන කරන හැටි! තාත්තා යමක් කියන්නට සූදානම් ව නැවත නිහඬවුණා.

පසුම්බිය විවර කර, එන්නට කලින් යන්තම් සූරා එකතු කරගත් ගත් මුදල ගණන් කළ මා මළගෙදරට අවශ්‍ය දේ මිලදීගැනීමට වෙළඳපළ වෙත ගියා. මඩ පිරුණු කාණු ඔස්සේ ඇවිදිද්දී ගමේ අලුත් දේත් පරණ දේත් මට පැහැදිලිව පෙනුණා. මගේ ගමේ මිනිස්සු ඉතාමත් ප්‍රිය කළ දම් පාට සහ ලා කොළ පාට තීන්ත ආලේපිත තාප්ප, තැන තැන විකිණීම සඳහා ගොඩ ගසා තිබුණු පුන්නක්කු මිටි, ඉස්සර කෝලා විකිණූ එකම කඩය දැන් ඊට වඩා ලොකු, ණයට බඩු දෙන කඩ නිසා සැඟව ඇති හැටි, මාළු වෙළෙන්දියගේ බුලත් කහට බැඳුණු දත් දෙපෙළ, ඇගේ රැළි වැටුණු සම, පළල් උකුල වැනි මේ හැම දෙයක්ම මගේ ඇස ගැටුණා. මගේ ගම පුළුල් වී තිබුණත් දියුණු වීමට බලකිරීම හමුවේ එහි ඇතිව තිබුණු ව්‍යාකූල බව මට පැහැදිලිව පෙනුණා.

මා යන මඟ දිගට විවිධ අය මා නැවත්වූවා. සමහරු තමන්ගේ ශෝකය පළ කළ අතර සමහරු මා දෙස දෑස් විදහා බලා සිටියා. ඒ බැල්මවල් මට කොයිතරම් හුරුපුරුදුද නම් ඒවා දුම් කැරලි මෙන් වාෂ්ප වී වාතයට එක් වී යන බවක් මට හැඟුනා.

මම මල්කරුවන් වෙත ගොස් පිච්ච මල් සහ තුල්සි මිලදී ගත්තා. අම්මා වෙනුවෙන් නැවුම් මලින් අලුතින් ගෙතූ මල් මාලා සෙවූවත් මට දක්නට ලැබුණේ පරවී දුර්වර්ණ වූ මල් වැල්. මාව හඳුනාගත් කාන්තාවක් පාරේ අනෙත් පස ඇගේ මල් කරත්තය වෙතට එන්නට කියා මා හට අඬගැසුවා. ඇය ඇගේ පසුපස තිබුණු මල්ලකින් නැවුම් මල් වැල් අහුරක් ගෙන මා හට දුන්නා. මා පසුම්බිය පිටතට ගනිද්දී ඈ කරුණාවෙන් මගේ මුහුණ අතගා මුදල් ප්‍රතික්ෂේප කළා. පැය දොළහකටත් අඩු කාලයකදී ඇයට මරණය ගැන ආරංචි වී මෙවැනි අනුකම්පාවක් ඇතිවීම මට පුදුමයක් ගෙන දුන්නා. ඈ මට වඩා බොහෝ දේවල් දන්නා බව මට ඇගේ දෑසින් පෙනුණා. මා නිවසේ නොසිටි අවුරුදු කීපය තුළ අප පවුලේ සිදුවූ දේවල් ගැන දැන සිටීමේ උඩඟු බවක සේයාවක් ඒ දෑසේ තිබුණා.

මා ඇයට ස්තූති කර ඉතිරි බඩු මුට්ටු මිලදීගැනීමට කඩපළට ගියා. සඳුන් ආලේප, කපුරු, හාල්, කිරි, එළඟි තෙල්...එළඟිතෙල් බඳුන අතට ගනිද්දී අම්මා විස්මයෙන් මුව අයාගෙන, ඈ වෙනුවෙන් මා මේ තරම් වියදමක් නොකරනු ඇතැයි ප්‍රාර්ථනා කරමින් මා දෙස බලා සිටින අයුරු මට මැවී පෙනුණා.

මා නැවත නිවසට ගිය විට අසුභ හැඟීමක් මගේ සිරුර වෙලාගත්තා. බිකූ නැවත පැමිණ සිටියා. ඔහු තාත්තා ඉදිරියෙන් සිටගෙන මහා හඬින් යමක් අසමින් සිටියා. ඔහුගේ කුමක්දෝ අඩුපාඩුවක් තිබුණු බව පසුපසින් වුව පැහැදිලිව පෙනුණා.

බිකූට වයස දහතුනේදී ඔහු හොඳ පෙළපතක බැල්ලියක් ගෙදර ගෙනාවා. ඌට සිනිඳු දුඹුරු ලොම් සහ සිනාසෙන දෑසක් තිබුණා. ඌව ලැබුණේ කොහෙන්දැයි කිසිකෙනෙක් බිකූගෙන් ඇසුවේ නැහැ. රානි මගේ සගයා බවට පත්වුණා. මගේ කෑම වේල්වලින් හොඳම කොටස් මා ඈ වෙනුවෙන් ඉතිරි කළා. දිනක් ඔහු තවත් දඩෝරියෙක් ගෙනවිත් අපගේ දූවිලි පිරුණු පටු මිදුලට අතහැරියා. ඒ බල්ලා බියපත්ව උන් රානි මතට නැඟගත්තා. දෙමසකට පසු ඉපදුණු පළමු පැටවුන් රොත්ත සාමාන්‍ය ඉන්දියානු වල් බල්ලන්ට වඩා පෙනුමට සිටියා. සතියක් යද්දී, කිරි උරමින් සිටි ඒ පැටවුන් පෙට්ටියක් දමාගෙන අතුරුදන් වූ බිකූ පැය කීපයකට පසු යළිත් ආවේ පුළුල් සිනහවක් ඇතිවයි. මෙය දිගින් දිගටම සිදුවුණා. හැම මාස කීපයකටම වරක් බලු පැටවුන් වැහි වහින්නට වුණා. නිරතුරුව පැටවුන් වැදීමත් හරියාකාරව ආහාරයක් නොලැබීමත් නිසා රානිගේ පෙනුමේ දීප්තිය සම්පූර්ණයෙන්ම නැතිව ගියා. වලිගය වනන්නටවත් ශක්තියක් නොමැතිව ඈ දුර්මුඛව මිදුලේ වැතිර සිටියා. දිනක් නිවස පසුපස ගේට්ටුවෙන් පැන යන තුරුම ඈ බිඳෙන් බිඳ මියයමින් සිටියා.

මගේ පා සළඹ හඬ ඇසී බිකූ හැරී බැලුවා. ඔහුගේ මුහුණ දුටු විට මට කම්පනයක් ඇතිවුණා. ඉස්සර උක් යායවල අඳුරු කෙළවර වලට කෙල්ලන්ව රවටා ගෙන්වා ගන්නට සමත් වූ ඔහුගේ කඩවසම් මුහුණ දැන් විරූපව ගොස් තිබුණා. ඔහුගේ නාසය කැඩී, වම් ඇස තැලී දම් පැහැ වී තිබුණු අතර නළලේ තුවාල සලකුණු පෙනුණා. බිකූ සටන්කරුවෙක් ලෙසට ගමේ ප්‍රසිද්ධියක් උසුලා තිබුණු අතර ඔහු මුදලට, බලයට හෝ කිසි හේතුවක් රහිතවම වුවත් සටන් කළා.

"ආ අමුත්තී, කොහොමද? ඒ ගෑනි උඹට ඉතුරු කරලා ගියේ මොනවද බලන්නද ආවේ?" ඔහු ද්වේෂයෙන් ඇසුවා. ඔහුගේ ඇනුම්පද ගණන් නොගෙන මා ඔහුව පසුකර යන්නට උත්සාහ කරද්දීම ඔහු මගේ මැණික්කටුවෙන් අල්ලා තද කර බලා සිටියේ අප කුඩා කලදී මෙන් මා වේදනාවෙන් කෑ ගසන තෙක් . මගේ ඇඟිලි නිල් පැහැ වෙද්දී මා ඔහුගේ තර්ජනාත්මක බැල්ම දෙස හිස් බැල්මෙන් බලා සිටියා. මේ ලෝකේ ගැහැනියක් ලෙස පැවැත්මක් වුවමනා නම් උපේක්ෂාසහගත විය යුතු බව මා උගෙන තිබුණා. ඔහු බොරුවට සිනාසී මගේ අත අතහැර දැමුවා. බිකූ මා දෙස බලන ආකාරයේ යම් හිරිහැර සහගත බවක් ගැබ්ව තිබුණා. ඔහු ආයාසයෙන් ඔහුගේ බැල්මේ සැර බාල කරන්නට උත්සාහ දරද්දී තාත්තා බිම තිබුණු පැල්ලමක් වැනි දෙයක් දෙස තදින් නෙත් යොමා සිටියා.

"ඉතින් කියපන් බලන්න, උඹේ නගරයේ රස්සාව කොහොමද?" බිකූ මගේ උරහිසෙන් අල්ලා වැරෙන් තල්ලු කර මාව බලෙන් ඉන්දවූවා.

"හොඳයි"

"උඹ තාම ඉන්නේ කලින් පවුල එක්කම ද? උඹ උන්ට මොනවාද කරලා දෙන්නේ?" ඔහු තාත්තාගේ සාක්කුවෙන් බීඩියක් ගෙන එය දල්වා ගනිමින් ඇසුවා.

"මම උයනවා, ගේ දොර පිරිසිදු කරනවා"

"එච්චරයි?"

"ඔව්"

"ඇයි උන්ට ළමයෙකුත් ඉන්නවා නේද?" ඔහු ක්‍රමක්‍රමයෙන් මා වෙත ළංවෙමින් ඇසුවා. ඔහුගේ දත් වැඩි ප්‍රමාණයක් දිරා ඇති බව දැකීම මට සතුටක් ඇති කළා.

"ඔව් මම එයාවත් බලාගන්නවා"

බිකූ තාත්තාගේ උරයට ගසමින් සිනාසුණා. සාමාන්‍යයෙන් ඔහු තමාගේ සිනාවට අන් අයවද හවුල් කරගෙන ඔහු කරන අපහාසයට කුඩා බල සේනා එක්කාසු කරගන්නට හපනෙක්. ඒත් අද තාත්තා ඔහුව නොදුටුවා සේ සිටියා.

"උඹ නැතිව උන් වැඩ කරගන්නේ කොහොමද?"

ඔහු ඒ ප්‍රශ්නය අසමින් කියාපාන දේ මට වැටහුණා. බස් රථයේ ආපසු එන ගමනේදීත්, අම්මා මිය යාමෙන් මා මත පැටවුණු වගකීමේ බර පිළිබඳව මා කල්පනා කළා. පිරිමි දෙදෙනෙක්ව රැකබලාගන්න ගැහැනියෙක් අවශ්‍ය බව මා නොදැන සිටියා නොවේ. මා එවෙලේ රණ්ඩුවකට සූදානම් නැති බව දැනගෙන ඔහු කපටි බැල්මෙන් මා දෙස බලා සිටියා.

තාත්තා මා දෙසට හැරුණා. මට ඔහුගේ කටහඬ ඇසුණේ අවුරුදු දෙකකට පසු ප්‍රථම වරට. ඔහුගේ පැලුණු දෙතොලින් දුර්වල වාක්‍යක කොටසක් පිටවුණා.

"මාලා අපිට උඹව ඕනෑ"

ඔහු එසේ කියද්දී මට ඔහුගේ මුහුණ බලන්නට අපහසු වුණා. වයස විසිහතරක් වන මට පිරිමියෙකුගේ ආදරය දැනුණේ නැහැ. මට අවුරුදු හයේදී බෝනික්කෙක් ඉල්ලද්දී එය සල්ලි නාස්තියක් බව කී ඔහු බිකූට ක්‍රිකට් පිත්තක් ගෙනැවිත් දුන්නා. මා පාසැල් යන්නට කොයිතරම් ආසාදැයි දැනගෙන ඔහු මා ඉන් අස්කරගත්තේ ඒ වෙද්දී මා සිතන්නට පටන්ගෙන තිබීම ඔහුට ඉවසන්නට බැරි වුණු නිසායි. අවුරුදු දහතුනේදී මා මල්වර වූ කාලයේදී මා හා යහන්ගත වන්නට තරම් වටිනාකමක් ඇතැයි කිසිම කොල්ලෙක් නොසිතන නිසා මා සමඟ තමතමන්ගේ වාසනාව උරගා බලන්නැයි ඔහු බීමත්ව ඔහුගේ මිතුරන් හා විහිළු කළා.

දැන් ඔහු මට නවතින්නැයි කියන අපූරුව! මගේ හිස තුළින් පොතක් පිටතට ගෙන එහි පිටු ගලවමින් ඔහු වෙත විසිකරන්නට ඇත්නම් කියා මට සිතුණා. 'මේ බලන්න මේ තමයි තමුන් මං වෙනුවෙන් කවදාවත් නොකීව, නොකළ දේවල්. තමුසේ කොහොමද දැන් මේ ලැජ්ජා නැති ඌරෙක් වගේ හැසිරෙන්නේ?' වෙහෙස වී වැඩ කර හැම මාසයකම මා එවූ මුදල ගැන ඔහුට යළිත් මතක් කර දෙන්නට මට වුවමනා වුණා. නගරයේදී මට යහන්ගත වෙන්නට පිරිමි මුණගැහුණු බව, උන් හා ලැගුම්හලක ගත කළ පැය කිහිපයකදී වුව මගේ මුහුණටත් සිරුරටත් උන් පෙම් කළ බව මට කියන්නට වුවමනා වුණා.

එහෙත් අම්මාට මෙන්ම මටත් වුවමනාවට වඩා අනුන් රැකබලාගැනීමට නැඹුරු, ඉතා ලේසියෙන් රිදවුම් වලට සමාව දෙන ගතිගුණ තිබුණා. මීට හේතුව තමන්ගේකමක් දැනීමට තිබෙන වුවමනාව සියලු අපහාස සහ අතපසු කිරීම් වලට වඩා බලවත් වීමයි. තාත්තාගේ රැළි ගැසුණු බුරුල් සමත් ඉරි තැළුණු දෑතත් මාව මහත් දුකකින් පුරවද්දී මගේ සිත අවුල් වී ගියා.

එක දිනක් පමණක් මෙහි ගතකරන්නට මගේ තිබුණු අදිටන නිවසට අඩිය තැබූ පමණින්ම දියවී ගියේ මතකයන් නැගී ආ නිසායි. නගරයේ නිවසේදී මා සේවිකාවක් පමණයි. එහි කිරිගරුඬ පොළොවේ කෙළවරක මා වෙනුවෙන් පැදුරක් එලා තිබෙනවා. ගෙහිමි කාන්තාව ඉතා කරුණාවෙන් මට නිවසේ ඉතුරු වූ කෑම බෙදා දෙනවා. අගේ සැමියා අහල පහළ සිටිනා විට මා දෙස සැකයෙන් බලනවා. දරුවාත් හැමවිටම මට අසම්පූර්ණ ආදරයක් දෙන්නේ මා හරියටම කවුදැයි ඇයට නිතර සිහිපත් කෙරෙන නිසායි. එහිදී මා පඩියක් ගෙන සේවාවක් කරන කෙනෙක් පමණයි. කිසිම කෘතඥ බවක් නැති මේ මිනිසුන් දෙදෙනා සමඟ මේ බිත්ති හතර අතරේ හැරෙන්නට මට වෙනත් නිවහනක් තිබුණේ නැහැ.

ඒ වෙලාවේ තීරණයක් ගන්නට මම සුදානම්ව සිටියේ නැහැ. අවමංගල්‍යයට මගේ මුළු අවධානයම යොමු කළ යුතුව තිබුණා.

ටික වෙලාවකින් ගමේ මිනිසුන් අප නිවසට පැමිණෙන්නට පටන්ගන්නා නිසා අම්මාව සූදානම් කළ යුතුව තිබුණා. අපගේ නිවසේ තිබුණු එකම කාමරයේ පරණ පොරෝණයක එතූ පොට්ටනියක ඇගේ සිරුර සතපා තිබුණා. පොරෝනයේ දුර්වර්ණ වූ මල් මෝස්තරය දෑස් විදා මා දෙස බලා සිටියේ එය ඉවත් කරන්නයැයි ආයාචනා කරන්නාක් මෙන්. ගැඹුරු හුස්මක් ගත් මා පොරෝනයේ කෙළවර ඇඟිලි තුඩින් අල්ලා එය සෙමෙන් ඉවත් කළා. ඇගේ උදාසීන මුහුණේ දෑස වැසී තිබුණා. ඒ වෙද්දී පැය දොළහක් ගත වී ගිහින්. කලක් උණුසුම් ව තිබුණු ඇගේ කොපුල අධික ලෙස සීතල ව දැනුණා. ඉස්සර ඇය මා තුරුලට ගෙන ඇගේ කොපුලෙන් මගේ කොපුල පිරිමදිද්දී සම හරහා දැනුණු ආදරයේ උණුසුමින් අප නැහැවී ගිය අයුරු මට මතක් වුණා. මරණය විසින් ඇගේ දෑත දරදඬු කර තිබුණා. මා ඇගේ අතක් ගෙන මගේ දෙඅත්ල මැද තබා වේගයෙන් පිරිමදින්නට ගත්තේ සොහොනේ ගිනි ලා ඇය අළු ගොඩක් වන්නට කලින් හැකි තරම් ඇයව මට කාවද්දා ගන්නයි.

මට දැනුණේ අමුතු අසම්පූර්ණ දුකක් ඇයගේ නිදහස් වීම ගැන රහස් සතුටකින් ඒ දුක පලුදු වී තිබුණා. ඇය අවසානයේදී මේ ලෝකයෙන් යන්නට ගොස් තිබුණා. දුගී බවේ කිමිදුණු, තමන්ගේ වුවමනා එපාකම් ගැන නොසලකා සැමියාගේත් දරුවන්ගේත් වුවමනාවන් ගැන සැලකූ ජීවිතයකින් මිදී ඇය අන්තිමේදී නික්ම ගොසින්. සල්ලි, සල්ලි, සල්ලි... අපේ දෛවය තීරණය කළ අච්චු ගැසූ කඩදාසි! යාබද නගරයේ බැංකුවක පිරිසිදු කරන්නියක් ලෙස ඇය අලුයම සිට හවස් කාලය දක්වා වෙහෙස වූයේ සල්ලිවල කුමන මායා බලයක් නිසාදැයි කල්පනා කරමින්, මා වැඩුණේ. ඇය එහි පොළොව සහ පඩිපෙළවල් අතුගාමින් පිරිසිදු කරමින් ගත් මුදල අතුරුදහන් වූයේ විදුලි වේගයෙන්.

මා ඇයව නාවා ඇඳුම් මාරු කළ යුතුව තිබුණා. ඔව්, යන තැනකට සම්පූර්ණයෙන්ම පිරිසිදු වී යන්නට ඇය බලාපොරොත්තු වේවි. ඇයගේ සේසතම තැන්පත් කර තිබුණු මළ කෑ ට්‍රන්ක පෙට්ටිය අවුස්සද්දී

මා රැකියාවට ගිය පසු ඇයට මිල දී ගෙන දුන් පළමු සාරිය ඇගේ ඇඳුම් අතර තිබී හමුවුණා. සියුම් ලෙස ලෝකඩින් වැඩ දැමු වාටියක් සහිත එය තද කොළ පැහැති ක්‍රේප් සේද සාරියක්. වෙනදාට ඇය අඳින මල් වැටුණු බාල පොලියෙස්ටර් සාරිවලට වඩා එය බෙහෙවින්ම වෙනස්. ඇයගේ සියලුම ආභරණ බහාලූ පෙට්ටියක්ද එතැන තිබුණා. එහි විවිධ වර්ණවලින් යුත් ප්ලාස්ටික් වළලු, තඹ නාස් තෝඩු කිහිපයක්, විශේෂ අවස්ථාවකට ඇය පළඳින බාල මුතු මාලයක් සහ රතු කොරල් කරාබු ජෝඩුවක් තිබුණා. ඉන් එක් කොරල් කරාබුවක් අතට ගත් මා පළමු වරට ඒ දෙස සුපරීක්ෂාවෙන් බැලුවා.

ඈත අතීතයේ දවසක නැකත්කරුවෙක් අපේ ගමට ආවා. අම්මා එවැනි දේ ගැන අන්ධ විශ්වාසයෙන් සිටි නිසා ඇගේ හැඹිලියත් සොයාගෙන මාත් ඇදගෙන ඔහුව මුණගැහෙන්නට දිව ගියා. ඒ වෙද්දී මට වයස කීයක් තරම්දැයි මට මතක නැහැ. ඒත් ඒ මහලු මිනිසා ඇගේ රළු අතේ මැකුණු රේඛා අතගා කී නැණවත් අනාවැකි අසා ඇගේ දෑස් දැල්වුණු හැටි මට හොඳහැටි මතකයි. ඔහුගේ බලවත් බව මතුකර පෙන්වීම සඳහා ඒවා කියවුණේ තරමක් නොපැහැදිලි ලෙසට. රතු කොරල් පාවිච්චි කිරීමෙන් ඇගේ පවුලට සෞභාග්‍යය උදාවන බව ඔහු එදා කීවා. මේ අපගේ එකම ගැලවුම බව සිතා සති ගණනක් තිස්සේ ඇය මේ ගල් ලබාගන්න ක්‍රමයක් කල්පනා කළා. එක් ඉරිදා දිනයක ඇය මා කැටුව උගස් බඩු කඩයකට ගියා. එහි සිටි රැවුල්කාර මිනිසා තමන්ට මේ ගනුදෙනුව පාඩුවක් වුවත් එය දරාගන්නට සුදානම් බව කියූ විට ඇය ඇගේ රන් මාලය දී කොරල් කරාබු දෙකක් ගත්තේ ඉතා සතුටින්. ඒ රාත්‍රියේ බිකූ මාව අල්ලාගෙන සිටිද්දී තාත්තා අම්මාට පහර දුන් තරමට ඇය මිය යනු ඇතැයි මට සිතුණා. ඇගේ මඟුල් මාලය විකුණා දමන්නට ඇය කොයිතරම් මෝඩදැයි ඒ හැම පහරක් පාසාම නැවත නැවතත් කීම ඔහුට මහත් සතුටක් ගෙන දුන්නා. ඇගේ තැළුණු දෑතට මා තුරුල් කරගෙන, සෙමින් අඬමින් "මාලා උඹ කවදාහරි මෙතැනින් යන්න ඕන. මොනවා කළත් කමක් නැහැ, ගිහින් ආයෙත් එන්න විතරක් එපා" යැයි ඈ මට කීවේ ඒ රාත්‍රීයේමයි.

මා කොළ පැහැති සාරියත්, වළලු කිහිපයකුත් මුතු මාලයත් පිටතට ගෙන කුස්සියෙන් වතුර භාජනයකුත් තුවායකුත් ගෙන ආවා. සෙමෙන් ඇගේ ඇඳුම් ඉවත් කළ මා ඇයව පිසදමන්නට පටන් ගත්තා. ඈ ව පිසදමන වාරයක් පාසා මගේ පපුවේ යමක් හිරවෙන බවක් මට දැනුණා. කඳුළු ඒවි යැයි මා ප්‍රාර්ථනා කළත් ඒවා ළංවිය නොහැකි දුරක තිබුණා.

ළමා කාලයේදී මා වරින්වර අම්මාගේ නිරුවතේ කොටස් දැක තිබුණා. ඇය මා ඉදිරියේ හැට්ටය මාරු කරද්දී ඇගේ එල්ලා හැලෙන පියයුරුද, රාත්‍රියේ හෙවණැලි අතරේ තාත්තා ඇයව පෙරළා ගනිද්දී ඇගේ කලවාද, ඇගේ කොන්දේ බාම් ගාන්නයැයි ඈ මගෙන් ඉල්ලූ දිනවල ඇගේ තට්ටම්ද මා යන්තමින් දැක තිබුණා. එහෙත් එදා ඒ හැම කොටසකම එකතුවක් දුටු විට මගේ ඇතුළාන්තයෙන්ම අනුකම්පාවක් නැඟ එන අයුරු මට දැනුණා.

ඇයව පිසදා, ඇය පුරුද්දක් ලෙස කොතැනක ගියත් තවරාගන්නා ටැල්කම් පුයර ගා, ඇගේ දෑත හැට්ටය තුළින් රිංගවා එහි පලු දෙක පියවූ මා, ඇයට සාරිය අන්දවන්නට සූදානම් වුණා. ඇගේ සිරුර දරදඬුව තිබුණු නිසා මෙය අභියෝගයක් වූවත් ඒ සිනිඳු ලිස්සනසුලු සාරිය ඇගේ ඉණ වටා දවටා පපුව හරහා සාරි පොට දමන්නට මා සමත් වුණා. ඈ අසලින් තැබීම සඳහා පිඟානක් මත හාල්, එළඟිතෙල් සහ සීනි සෑහෙන තරමක පංගු මා බෙදා සූදානම් කළා. මේවා ඇයගේ ආත්මය සඳහාද, නොඑසේ නම් දෙවියන් සඳහාදැයි මා හරියටම දැන නොසිටියත් ඒ චාරිත්‍ර ඉටු කළේ ඇගේ ආත්මය අතෘප්තිමත් වේයැයි බියෙන්.

මා කාමරයෙන් පිටවෙද්දී බිම තබා ඇති උණ ලී මැස්සක් දුටුවා. අවසානය ළඟ බව දැනෙද්දී මගේ පපුවේ වූ සිරවුම උගුර වෙත මාරු වූවා.

නිවසට මිනිසුන් පැමිණෙන්නට වුණා. තාත්තාත් බිකූත් කිසිම හැඟීමකින් තොරව ඔවුන් වෙත යොමු වූ අතර මා කෙළවරකට වී සිටියා. ශෝකවන්නන් අතරින් සමහරෙක් අම්මාගේ දේහයට ආචාර කළේ එක්කෝ කඳුළු පිසිමින්, අතකින් මුව වසාගනිමින්, පපුවට ගසාගෙන කෑ ගසමින් එසේත් නැත්නම් නිහඬ ව. ඔවුන්ගෙන් සමහර අය අවුරුදු ගණනක් තිස්සේ ඇය ගැන එක් රැස් කරගත් කතන්දර කීවේ ඔවුන් ඇයව කොයිතරම් හොඳින් දැන සිටියාදැයි පෙන්වන්නටයි. දෙවියන්ගෙන් තමන්ගේ සොයුරිය ගෙන ගියේ ඇයිදැයි විමසමින්, වැඩිම ශබ්දයකින් වැලපෙමින් සිටියේ අම්මා තරුණ මනාලියක්ව සිටිද්දී ඇයට විහිළු කළ බව ඇය කී එක් මාමා කෙනෙක් බව මට පෙනුණා.

මට තේ හදන්නට උදවු කරන්නට ආ නැන්දා කෙනෙක් මා දිගටම නතරවන්නට බලාපොරොත්තුවේදැයි විමසුවා. මා ඒ ගැන නොදන්නා බව කී විට "ඔව් සල්ලි වැදගත් තමයි. ඒත් උඹේ තාත්තා දැන් වයසයි. උඹට දැන් කසාද බඳින්න වෙන්නේත් නැහැනේ. මේ ගෙදරත් උඹේ නමට ලියාගෙන තාත්තාවත් බලාගෙන ඉන්නයි තියෙන්නේ. බිකූ කොයි වෙලාවකවත් ගෙදරක නැහැ."

තාත්තා වයසයි. ඔහු අම්මාට වඩා වැඩුමල්. ඔහු ඒ වෙද්දීත් බාල මත්පැන් පානය කළා, දෙවරක් ඔහුගේ කැඩුණු දණහිස සකසා තිබුණා, ඔහු බීඩි උරා රෑ තිස්සේ කැස්සා. මුදල් තිබුණා නම් දෙවෙනි මනමාලියක් ගැන පවා ඔහු සිතන්නට ඉඩ තිබුණා. ඔහු ඇවිදින සුන්බුන් ගොඩක් වුවත් ඔහු ජීවත්ව සිටියා, නමුත් ඇය යන්න ගිහින්. ජීවිතය තරම්ම මරණයත් අසාධාරණ බව මට හැඟුණා.

රාහු කාල ආදී දේ ගැන දන්නා බව පෙනුණු අමුත්තෙක් තාත්තාගේ කනට කොඳුරා යමක් කියන තෙක්ම කොයිතරම් වෙලා ගතව තිබුණිදැයි මට වගක් දැනුණේ නැහැ. සැමියාත් පුතාත් ඇගේ සිරුර උණ ලීයෙන් සැකසුණු මැස්ස උඩින් ඔසවා තැබුවා. ඇගේ සිරුර සෙලවුණ තරමට මැස්ස බර දරාගන්නට සවිමත්දැයි සිතමින්, එහි දිග මිටවල් අතරින් සිරුර කඩා වැටේදැයි සිතමින් මා වද වූවා. ඇගේ සිරුර වෙත මා අත දිගු කළ විට බිකූ එය ගසා දැමුවා.

කිසිම කලාවක් රහිතව පිරිමින් ඇගේ සිරුර ඔසවා අපගේ නිවසේ පටු දොරකඩින් පිටතට ගත්තා. තවත් ගැහැනුන් රැසක් හඬමින් සිටියා. ඇගේ දෙපතුල් අතුරුදන් වන අයුරු මා බලා සිටියා.

හිස් වූ නිවසේ වටපිට බලද්දී පළමු වරට මට හැඬුම් ආවා. මගේ අම්මා යන්න ගිහින්. ඈව අන්තිම වරට දුටු මොහොත මා සිහිපත් කළා. ඒ මා නැවතත් රැකියාවට යන්නට සුදානම් වෙද්දී, ඇය වංගෙඩියේ කොටා සැකසූ පොල් අච්චාරු බෝතලයකට අසුරමින් සිටි මොහොතයි. තාත්තාගේ ණය සියල්ල ගෙවා අවසන් නිසා ගෙදරට අඩුවෙන් මුදල් එවන්නැයි ඇය මට කියමින් සිටියා. නගරයෙන්ම හොඳ තරුණයෙක් සොයාගෙන කසාද බඳින්නයැයි මට කියද්දී ඇගේ කටහඬ වෙවුලුම් කෑවා. මා ලස්සන ගැහැනියක් බවට පත්වෙමින් සිටි නිසා මා රැකියාව කළ නිවසට ආ ගිය පිරිමින්ගෙන් ප්‍රවේසම් වන ලෙස ඈ කීවා. මා ඊට සිනාසුණු විට ඇගේ වදන්වල බරපතලකම තේරුම් ගන්නයැයි ඈ කෝපයෙන් කීවා. "උඹ පිරිමි ගැන දන්නේ නැහැ මාලා, තමන්ගේ අවසරය නැතිව පිරිමියෙක් තමන්ව අයිති කරගන්න ක්‍රමයක් හොයාගන්න එකට වඩා වෙන කරුමයක් නැහැ." මගේ මල්ලට තෙල් පෙඟුණු රසකැවිලි ඔබමින් ඈ කීවා. පසුව, මා ඒ මල්ලේ ඇඳුම් ඉවත් කරද්දී ඒ රසකැවිලි තිබුණු පෙට්ටියෙන් කාන්දු වූ එළඟිතෙල් මගේ ඇඳුම්වල පැල්ලම් ඇතිකර තිබීම ගැන මා ඈ ට ශාප කළා.

බිකූත් තාත්තාත් නැවත එන්නට කලින් මා බඩු මුට්ටු සූදානම් කරගෙන නිවසින් පිටවූවා. යන්නට පෙර මොහොතක් නිවස මැද හිඳ සිටි මට, අම්මා කුස්සියේ දහදිය පිසිමින් සිටගෙන සිටින අයුරුත්, මා පාසැලේදී උගත් වචන හඬ නඟා කියවමින් සිටින අයුරුත් මැවී පෙනුණා. ඉනික්බිති අම්මාගේ සාරි කිහිපයකුත්, ආභරණ කිහිපයකුත් ගත් මා ආපසු නොබලාම පිටවී යන්නට ගියා.

බිකූ කේන්තියෙන් දිව ඇවිත් මා නැවත නිවස වෙත ඇදගෙන යයිද බලමින් මා බස් නැවතුමේ සිටියා. එසේ වේ යැයි මා ප්‍රර්ථනා කරමින් පවා සිටියා. අවාසානයෙදී බස් රථය පැමිණි විට මා එයට නැඟ ගත්තා. කුඩා කඩමණ්ඩිත්, කොළ පැහැති සහ දුඹුරු පැහැති කුඹුරුත් පසු කරමින් එය අධිවේගී මාර්ගයට එළඹුණා. මෙවර නම් මට බසයේ අසුන් පේලියක්ම තනි භුක්තියට ලැබී තිබුණා.

සමහරවිට තාත්තා කී දේ හරි වන්නට ඇති. සමහරවිට කිසිදාක නොලැබෙන ජීවිතයක් ගැන බලාපොරොත්තුවෙන් සිටි ඇගේ හදවත අවසානයේදී වෙහෙසවී නවතින්නට ඇති.

ඇගේ කොරල් කරාබු දෙක මගේ අත්බෑගයේ සුරක්ෂිතව තිබුණා. ඒවා කීයකට විකිණිය හැකිදැයි සොයාබලන්නට මා බලාපොරොත්තු වුණා.


Shortlisted in the Himal Short Story Competition 2019