March 30, 2022

කවියෙක් සමාව ඉල්ලයි

















මා අතින් නොලියවුණු කවි ගැන
සමාව දෙනු මැන මට

උත්ප්‍රාසයෙන් අවුරා දැමූ
කේන්තියෙන් පාගා දැමූ
ආත්ම- ආරක්ෂාවට පිළිකෙව් කළ
බිය නිසා නොසලකා හළ
ඒ කවි සියල්ල ගැන

නොතේරුම්කමින්, බියෙන් අන්ධව
නොතැකුවෙමි ඒවා මම
ඒ නොලියූ කවි
දස අත මහා ඝෝෂා කර
දිවා රෑ මා සොයා ආ නමුත්

පළවා හැරියෙමි ඒ හැම
ඒවාට සැරසෙන්නට හැකිව තිබුණු වර්ණ
පළඳින්න ඉඩ නොදුන්නාට
මට සමාවෙන්න
අඳුරේ හෙලූ ඒවායේ මුහුණු ගැන
මට සමාවෙන්න
නොලියූ පද පේළි වෙතින් මිදෙන්නට
ඒ කවි එඩිතර වූයේ නැත

මා නිෂ්ක්‍රියව ගත කළ හැම පැයකදීම
නොසලකා හරිනු ලැබ
කවියක් මියගොස් ඇත

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

A Poet asks for Forgiveness- Fay Zwicky

වසත් සුළඟ 30.03.2022
https://epaper.dinamina.lk/Home/ShareImage...

photo- Pixabay

March 19, 2022

එඩිතර යකඩ සොල්දාදුවා




(Translation of the fairy tale ' The Steadfast Tin Soldier' by Hans Christian Anderson)

එක්තරා කාලයකදී යකඩ සොල්දාදුවෝ විසිපස් දෙනෙක් සිටියා. මේ හැම දෙනාම තනා තිබුණේ එකම යකඩ හැන්ද උණු කර නිසා මේ අය සහෝදරයන්. ඔවුන් හැම කෙනෙක්ම තම බයිනෙත්තු උර මත තබාගෙන සීරුවෙන් ඉදිරිය බලා සිටියා. රත් පැහැයෙන් සහ නිල් පැහැයෙන් යුතු වූ ඔවුන්ගේ නිල ඇඳුම් දකුම්කළුව දිලිසුණා. ඔවුන් සිටි පෙට්ටිය විවර කෙරුණු විට ඔවුන්ට මේ ලෝකයේ පළමු වරට ඔවුන්ට අසන්නට ලැබුණු වදන් පෙළ "යකඩ සොල්දාදුවෝ!" යන්නයි. මෙසේ කීවේ සතුටින් ඉපිලෙමින්, අත්පුඩි ගසමින් සිටි කුඩා පිරිමි දරුවෙක්. මේ සොල්දාදුවන් රැස ඔහුගේ උපන්දිනය වෙනුවෙන් තෑගි ලැබී තිබුණු අතර ඔහු ඉනික්බිති ඔවුන්ව මේසය මත පෙළ ගැස්වූවා.

මේ සොල්දාදුවන් එකෙක් හැර අන් සියලු දෙනාම එක වැනිවම පෙනුණා. එහෙත් එක් සොල්දාදුවෙකුට තිබුනේ එක පාදයක් පමණයි. මේ සොල්දාදුවන් තනද්දී ඔහුව තනා තිබුණේ අන්තිමටම වූ අතර ඔහුගේ පාදය තනන්නට යකඩ ප්‍රමාණවත් ව තිබී නැහැ. නමුත් ඔහුත්, දෙපයක් තිබුණු ඔහුගේ සහෝදරයන් මෙන්ම ඉතා සීරුවෙන් සිටියා. අපූරු ඉරණමක් උරුම වූ තිබුණේ මොහුටයි.

මේ සොල්දාදුවන් තබා තිබුණු මේසය මත තවත් සෙල්ලම් බඩු රැසක් දක්නට තිබුණා. නමුත් මේ අතරින් වඩාත්ම කැපී පෙනුණේ කඩදාසි මාලිගාවයි. එහි කුඩා කවුළු තුළින් එහි අමුත්තන්ගේ ශාලාව පැහැදිලිව පෙනුණා. මාලිගාව ඉදිරිපස පොකුණක් සේ දිස් වන්නට කැඩපතක් තබා තිබුණු අතර ඒ වටා කුඩා ගස් පෙළක්ද තිබුණා. ඉටියෙන් තැනූ හංසයන් මේ පොකුණ මත පිහිනද්දී ඔවුන්ගේ ඡායාව කැඩපතෙන් පිළිඹිබු වුණා.

මේ සියලු දේ ඉතා අලංකාර වූවත් ඒ අතරින් වඩාත්ම අලංකාර වූයේ මාලිගාවේ විවර දොර අසල සිටි යුවතියයි. ඈ ද කඩදාසියෙන් නිමවී තිබුණත් ඈ ඉතා දුහුල් රෙද්දකින් මැසූ ගවුමක් හැඳ සිටියා. ඇගේ උරහිස් වටා සාළුවක් ලෙසින් නිල් පැහැති පීත්ත පටියක් රඳවා තිබුණු අතර එය මැදින් දිලිසෙන සරුව පිත්තල රෝස මලක් අමුණා තිබුණා. ඈ නැටුම්කාරියක් නිසා ඇගේ දෑතම එසවී තිබුණා. ඇගේ එක් පාදයක්ද බෙහෙවින් එසවී තිබුණු අතර සොල්දාදුවාට එය නොපෙනුණු නිසා ඇයටද ඔහුට මෙන්ම එක් පාදයක් පමණක් ඇතැයි ඔහු සිතුවා.

"ඈ තමයි මට ගැලපෙනම බිරිඳ," ඔහු කල්පනා කළා . "නමුත් ඇගෙන් පෙනෙන්නේ බොහොම උසස් බවක්. අනික ඈ වෙසෙන්නේ මාලිගාවක. මට නම් තියෙන්නේ ලී පෙට්ටියක් විතරයි, අපි විසිපස් දෙනාම ඉන්නේ ඒක ඇතුළේ. ඈ වගේ වැදගත් තරුණියකට ගැලපෙන තැනක් නෙමෙයි ඒක. ඒත් මම කැමතියි ඈ ව අඳුනාගන්න."

මේ මේසය මත දුම්කුඩු පෙට්ටියක් තිබුණා. තමන් එය පසුපසින් වැතිරුණහොත් කිසිවෙක්ට නොපෙනෙන්න ඉතා සීරුවෙන්, නොවැටී තනි කකුලෙන් සිටගෙන සිටින මේ සියුමැලි තරුණිය නරඹන්නට හැකි බව ඔහුට වැටහුණා.

හවස් වෙද්දී ඔහු හැර අන් සියලුම යකඩ සොල්දාදුවන්ව ඔවුන්ගේ පෙට්ටියේ තැන්පත් කෙරුණු අතර නිවැසියන් නින්දට ගියා. මේ, සෙල්ලම් බඩු සෙල්ලම් කරන්නට ගන්නා වේලාවටයි. ඔවුන් එකිනෙකා බලන්නට නෑගම් යමින්, සටන් කරමින්, සාද පවත්වමින් සතුටු වුණා. පෙට්ටිය තුළ සිටි යකඩ සොල්දාදුවන් පෙට්ටිය සොලවමින් දැඟලුවේ ඉන් පිටතට පැමිණ අන් අයට එක්වීමටයි. නමුත් ඔවුන්ට එහි පියන ඔසවාගන්නට හැකි වූයේ නැහැ. බෝනික්කන් පිනුම් ගසමින් සිටි අතර පැන්සල විසිළු අකාරයකට උඩ පනිමින් සිටියා. මොවුන් කොයිතරම් ශබ්දයක් නැඟුවාද යත් නිදා සිටි කැනරි කුරුල්ලා අවදිව කවි පද ගායනා කරන්න වුණා. තමන් සිටි තැන්වලින් නොසෙල්වී සිටියේ යකඩ සොල්දාදුවාත් නටන තරුණියත් පමණයි. ඈ පයේ ඇඟිලි තුඩු මතින් සිටගෙන දෑත් දිගුකරගෙන සිටි අතර ඔහුද එලෙසම දැඩි උත්සාහයෙන් එක් පයකින් සිටගෙන සිටියේ ඇය වෙතින් දෑස ඉවත් නොකරගෙනමයි.

රාත්‍රී දොළහ එළඹුණු විටම මහා හඬක් නඟමින් දුම් කුඩු පෙට්ටියේ පියන විවර වූවා. ඇත්තටම නම් එය දුම්කුඩු පෙට්ටියක් නොවෙයි. එහි සිටියේ කුඩා කළු බියකරු මිනිසෙක් පමණයි

"යකඩ සොල්දාදුවා," ඔහු කීවා, "තමන්ගේ දෑස තමන් ළඟ තියාගන්න. තමන්ට අදාළ නැති දේවල් දිහා බලන්න එපා!"

යකඩ සොල්දාදුවා මෙය නෑසුණු ලෙසින් සිටියා.

"හරි එහෙනම්, හෙට බලාගමු," පෙට්ටියෙන් ආ මිනිසා කීවා.

පසුදා උදෑසන නිවසේ දරුවන් අවදි වෙද්දී යකඩ සොල්දාදුවා සිටියේ ජනෙල් පඩිය මතයි. හරියටම වරද කුඩා මිනිසාගේ ද සුළඟේ ද යන්න පැහැදිලි නැතත් හදිසියේ හැමූ සුළං රැල්ලක් නිසා කවුළුව එක්වරම විවර වූ අතර සොල්දාදුවා තුන්වෙනි මහලෙන් පහත වීදිය වෙතට වැටුණා. ඔහු වැටුණේ හිස පහළට සිටින ලෙසයි. වැටෙන අතරමඟදී කීපවරක්ම කරනම් ගැසූ ඔහු අවසානයේදී බිම රැඳුනේ හිසත් බයිනේත්තුවත් මාවතේ ගල් පතුරු අතර සිරවෙන ලෙසත් ඔහුගේ එකම පාදය ඉහළට මතුවෙන ලෙසත්.

මෙහෙකාරියත් නිවසේ කුඩා දරුවාත් ඔහුව සොයන්නට වරක් පැමිණි විට ඔහුව ඔවුන්ට පෑගෙන්නට ගියත් ඔවුන් ඔහුව දුටුවේ නැහැ. සොල්දාදුවා එක් වරක් හෝ "මම මෙහේ" කියා කෑ ගැසුවානම් ඔවුන්ට පහසුවෙන්ම එය ඇසෙන්නට තිබුණා. නමුත් නිල ඇඳුමෙන් සිටින වේලාවකදී එසේ උදවු ඉල්ලා කෑ ගැසීම තරම් නොවේයැයි ඔහුට සිතුණා.

නොබෝ වෙලාවකින් වැස්සක් ඇද හැලුණා. ක්‍රම ක්‍රමයෙන් වැසි දිය වේගයෙන් වැටෙන්නට වූ අතර ඉක්මණින්ම එය මහා වැස්සක් බවට පත් වුණා. වැස්ස නැවතුණු පසු එතැනින් යන්නට ආවේ තක්කඩි කොලුවන් දෙදෙනෙක්.

"මේ බලන්න," ඉන් එකෙක් කීවා. "මෙන්න ඉන්නවා යකඩ සොල්දාදුවෙක්. අපි එයාව නැව් නග්ගමු."

ඔවුන් පත්තර කඩදාසියකින් බෝට්ටුවක් තනා, සොල්දාදුවා ව එහි මැද්දේ තබා කානුවේ එය පාකර යැව්වා. බෝට්ටුව වේගයෙන් ඇදී යද්දී කොලුවන් දෙදෙනා අත්පොලසන් ගසමින් කානුව අසලින් දිව ගියා. දෙවියනේ, කාණුවේ වතුර රැළි නැඟුණු තරම්! ඒ වතුර ගලා ගිය ඉක්මන! මීට හේතුවුණේ ඊට සුළු වෙලාවකට කලින් වැටුණු මහා වැස්සයි. කඩදාසි බෝට්ටුව වැරෙන් සෙලවෙමින්, උස් පහත් වෙමින් ඇදී ගියා. සමහර වේලාවට එය කෙතරම් කැරකුණා ද කියනවානම් සොල්දාදුවාට ක්ලාන්ත ගතියක් දැනෙන්නට වුණා. නමුත් ඔහු පෙර සේම සීරුවෙන්ම පසු වුණා. බිඳක් වත් නොසෙල්වී, ඉදිරියම බලා සිටි ඔහු තවමත් උරහිස මත තුවක්කුව තබාගෙන සිටියා. එක්වරම කානුව ලෑල්ලකින් වැසුණු තැනක් ඔස්සේ බෝට්ටුව ගමන් කළා. හාත්පස තිබුණේ සොල්දාදුවාගේ ලී පෙට්ටියේ තරම්ම අඳුරක්.

"කොහෙද මම මේ යන්නේ?" සොල්දාදුවා කල්පනා කළා. මේක අර අද්භූත මිනිහා මගෙන් පලිගන්න කළ දෙයක් වෙන්න ඕන. අනේ අර කෙල්ල මගේ ළඟ හිටියා නම්, එහෙනම් කොයිතරම් කළුවර වුණත් ගාණක් නැහැ."

එක්වරම කාණුවේ ලෑල්ල අතරින් විශාල දිය මීයෙක් මතු වුණා. ඔහු වාසය කළේ කාණුවේමයි.

"ගමන් බලපත්‍රයක් තියෙනවද?" මීයා ඇසුවා. "කෝ ගන්න බලන්න"

සොල්දාදුවා නිහඬවම සිටි අතර තවත් තදින් තම තුවක්කුව අල්ලා ගත්තා. බෝට්ටුව ඔහු පසු කර වේගයෙන් ඇදී යද්දී මීයා දත් කූරු සපමින්, කෑ ගසමින්, කෝටු කැබලි වීසි කරමින් එය පසුපස එලවන්නට වුණා.

"ඔය බෝට්ටුව නවත්තන්න, එයා මාර්ග ගාස්තු ගෙව්වේ නැහැ, එයා ගමන් බලපත්‍රය පෙන්නුවේ නැහැ!" ඔහු කෑ ගැසුවා.

නමුත් දිය පහර එන්න එන්නම වේගවත්ව ගලා ගියා. කාණුව වැසුණු ලෑල්ල පසු වූ විට අඳුර දුරු වී නැවතත් හාත්පස පෙනෙන්නට වුණා. නමුත් ඉන්පසු ඔහුට ඇසුණේ ඕනෑම එඩිතර කෙනෙක් පවා බය ගන්වන සුළු ශබ්දයක්. ඒ, නොබෝ දුරකින් කාණුව ඇළ මාර්ගයකට වැටෙන හඬ. මෙය සොල්දාදුවාට දිය ඇල්ලකින් පහතට වැටීමකට සමාන භයානක දෙයක්.

ඒ වෙද්දී ඊට බොහොමත්ම ආසන්නයෙන් සිටි නිසා ඔහුට බෝට්ටුව නැවත්වීමට හැකියාවක් තිබුණේ නැහැ. බෝට්ටුව පහතට වැටෙද්දී එය දිය සුළියකට අසු වුණා. අසරණ යකඩ සොල්දාදුවා හැකිතරම් එඩිතරව සිටින්නට උත්සාහ කළා, ඔහු ඇසිපිය හෙලුවේ වත් නැති තරම්. බෝට්ටුව තුන් වරක් කැරකී යද්දී එහි වතුර පිරෙන්නට වුණා. ක්‍රමක්‍රමයෙන් සොල්දාදුවා ගිලෙමින් සිටියා. බෝට්ටුව එන්න එන්නම ගැඹුරට යද්දී එහි කඩදාසිය මෙලෙක වී අප්‍රාණික වී ගියා. සොල්දාදුවාගේ හිසට ඉහළින් වතුර යද්දී ඔහුට සිහි වූයේ ඔහුට යළි කිසි දිනෙක දකින්නට නොලැබෙන අලංකාර නැටුම්කාර තරුණියව. පැරණි ගීයකින් කොටසක් ඔහුගේ සවනේ රැව් දුන්නා.

"එඩිතර සටන්කරු ඉතින් ආයුබෝවන්
නුඹව මරණයෙන් බේරාගනු
කිසිවෙකුට දැන් නොහැකියි"

කඩදාසි බෝට්ටුව කැඩී ගිය විට සොල්දාදුවා ගිලෙන්නට වුණා. හදිසියේම, ඒ මොහොතේ විශාල මාලුවෙක් ඔහුව ඩැහැ ගත්තා.

මාළුවාගේ කුස තුළ කෙතරම් අඳුරුද! එය කානුවටත් වඩා අන්ධකාර වූ අතර ඊට වඩා සිරවූ ගතියක් දැනුණා. නමුත් යකඩ සොල්දාදුවා එඩිතරකමින්ම සිටියා. ඔහු තුවක්කුව කර මත තබාගෙන නියම සොල්දාදු ලීලාවෙන්ම වැතිරී සිටියා.

හදිසියේම මාළුවා කිසිම හේතුවක් රහිතව දඟලන්නට වුණා. ඉන්පසු ඌ එක්වරම නිසල වූ අතර අකුණු පහරක් වැනි එළියක් ඌ තුළින් මතුවුණා. සොල්දාදුවාට නැවතත් දිවා ආලෝකය පෙනුණා. ඒ එක්කම "මෙන්න යකඩ සොල්දාදුවෙක්!" කියන කටහඬක් ද ඇසුණා.

කිසිවෙක් විසින් මාළුවා අල්ලා, ඌව වෙළඳපොල වෙත ගෙනගොස් තිබුණු අතර ඌ ව මිලදීගත් අය ඌව කුස්සියකට ගෙනා විට නිවසේ කෝකියා විසින් ඌ ව දෙපලු කර තිබුණා.

කෝකියා ඔහුව ඇඟිලි දෙකකින් ඔසවා උඩු මහලට රැගෙන ගියා. මාලුවෙක්ගේ කුස තුළ සංචාරය කළ මේ අරුම පුදුම සංචාරකයා දකින්නට හැම දෙනාටම වුවමනා වුවත්, සොල්දාදුවාට නම් ඒ ගැන ආඩම්බරයක් දැනුණේ නැහැ. ඔවුන් ඔහුව මේසයක් මත තැබුවා. කිනම් පුදුමයක්ද! මේ ලෝකයේ මේ තරම් විස්මයජනක දේ සිදුවිය හැකිද? ඔහු සිටියේ කලින් සිටි කාමරයේමයි. එතන සිටියේ කළින් ළමුන්මයි. මේසය මත තිබුණේ කලින් සෙල්ලම් බඩුමයි. අලංකාර කඩදාසි මාලිගයත්, හැඩකාර නටුම්කාර යුවතියත් එලෙසම සිටියා. ඇය තවමත් සිටියේ එක කකුලක් ඔසවාගෙන අනෙත් කකුලේ ඇඟිලි තුඩු මතින් සිටගෙනයි. ඇයද බොහෝ එඩිතරකමකින් එතැන සිටගෙන ඇති බව දකිද්දී ඔහුට ඈ ගැන දැනුණේ ගැඹුරු හැඟීමක්. සොල්දාදුවන් නොහඬන නිසාම මිස නොවේනම් ඔහු ඒ වෙලාවේ යකඩ කඳුළු බිඳු කිහිපයක් හෙලන්නට ඉඩ තිබුණා. ඈ ඔහු දෙස බැලූ අතර ඔහු ද ඈ දෙස බැලුවා. ඔවුන් අතර එක වචනයක්වත් හුවමාරු වුණේ නැහැ.

හදිසියේම එතැන සිටි එක් කුඩා පිරිමි ළමයෙක් යකඩ සොල්දාදුවා ව ඔසවා ගිනි උදුනට වීසි කළා. ඔහු එසේ කළේ කිසිම හේතුවක් රහිතවයි. සමහරවිට අර දුම්කුඩු පෙට්ටියේ සිටි බියකරු මිනිසාගේ බලපෑම ඊට හේතු වන්නට ඇති.

යකඩ සොල්දාදුවා සිටගෙන සිටියේ රත් පැහැති ගිනි දැල් මැදයි. ඔහුට තදබල උණුසුමක් දැනුනත් එය ගිනිදැල් වලින් නැගුණක්ද, ඔහුට දැනුණු ආදරය නිසා නැගුණක් ද ඔහු දැන සිටියේ නැහැ. ඔහුගේ නිල ඇඳුමේ තිබුණු අපූරු පැහැයන් වියැකී තිබුණු බව ඔහු දුටුවා. ඒ ඔහු ගෙවා ආ දුෂ්කර ගමන නිසාද, නොඑසේ නම් ශෝකය නිසාදැයි කිසිවෙක්ට කියන්නට හැකියාවක් තිබුණේ නැහැ.

ඔහු යුවතිය දෙස බලාගත්වනම සිටි අතර ඇය ද ඔහු දෙස නෙත් යොමාගෙනම සිටියා. ඔහුට දැනුණේ ඔහු දියව යන බවක්. ඔහු තවමත් තුවක්කුව උරයේ තබාගෙන එඩිතරව, සීරුවෙන් සිටියා.

හදිසියේම කාමරයේ දොර සුළඟට විවර වුණා. ඒ සුළං රැල්ල ම නැටුම්කාර යුවතිය වටා ද එතුනා. ඇය දිව්‍යාංගනාවක් ලෙසින් පියාසර කර එක එල්ලේම උදුන වෙත පාවී ගොස් සොල්දාදුවා අසලදීම එළියක් විහිදුවා, ගිනිබත් වී අතුරුදන් වුණා. සොල්දාදුවා ද දියව ගොස් යකඩ ගුලියක් බවට පත්වුණා.

පසුදින නිවසේ වැඩකරුවෙක් උදුනේ අළු අස්පස් කරද්දී එහි දුටුවේ හදවත් හැඩයකට ඉතිරි වූ ඒ යකඩ ගුලියයි. හැඩකාර නැටුම්කාරියගේ නම් ඉතිරි ව තිබුණේ ඇගේ සාලුව සැරසූ සරුවපිත්තල රෝස මල පමණයි. එයද අඟුරු වී ගොස් තිබුණා.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

March 14, 2022

Pusheen ~

Pusheen කියන කාටූන් පූසා මගේ පරණ යාලුවෙක්. නිවාඩු දවසේ Pusheen ව ඇන්දා ...

coloured pencil on paper


 


March 13, 2022

ස්පර්ශ

මාර්තු 01 2022- 5.43 am

ගැඹුරු නින්දක පතුලක සැරිසරමින් සිටි ලෝරන් හදිසියේ තිගැස්සී අවදි වූවාය. කවුළුවේ දුහුල් තිරයෙන් ඔබ්බෙහි පෙනුණේ අලුයමේ අළු පැහැති ලා එළියයි. මෑතක සිට අවේලාවට ඇහැරීමේ කරදරකාරී පුරුද්දක් ඇතිවී තිබූ බැවින් වේලාව දැනගැනීමට ඈට අවශ්‍ය විය. ඇඳ අසල නූස් මේසය මත ඇති තම ජංගම දුරකථනය අතට ගත් ලෝරන් එතෙකුදු පහ නොවූ නිදිමතින් එහි තිරය මත තම ඇඟිලි සලකුණ තැබුවාය.

Fingerprint not recognised, please try again

උපැස් යුවල පැළඳ නොසිටියත් තිරය මත කුඩා අකුරින් ලියවුණු වැකිය හැඳිනූ ලෝරන් කියවෙන්නට ආ නොසරුප් වදන ගිල ගත්තේ ආයාසයෙනි. මෑතකදී මිළදී ගත් මේ අලුත්ම මාදිලියේ ජංගම දුරකතනය තමන් සතු වූ දා පටන් මෙවැනි සුළු සුළු එදිරිවාදිකම් කරමින් සිටි නමුත් එය තම ඇඟිලි සලකුණ හඳුනා නොගත් පළමු වතාව මෙය විය. මේ අලුයම් හෝරාව එය සමඟ සටන් වැදීමට වෙලාව නොවන බව සිතූ ලෝරන් තමන්ට දුරකථනයට පිවිසෙන්නට ඉඩ නොලැබුණත් තිරය මත වෙලාව සටහන් වූ නිසා ඒ වෙත සරදම් සිනාවක් පෑවාය.

තව පැය කාලක් නිදාගැනීමට උත්සාහ කරන්නේද, නොඑසේ නම් පිබිදෙන්නේදැයි මොහොතක් සිතින් තර්ක කළ ඈ ඇඳෙන් නැගිට නාන කාමරයට වැදුණාය.


මාර්තු 01 2022- 6.30 am

කේතලය උතුරන තෙක් ලෝරන් නෙත් යොමා සිටියේ මහල් නිවාස සංකීර්ණයට ඔබ්බෙන් රන් පැහැතිව උදා වන හිරු දෙසයි. තවත් දවසක්, තවත් වැඩ කන්දරාවක්. ඈ අසුන්ගෙන සිටි සනීප පුටුවට ඔබ්බෙන් වූ වීදුරු බිත්තියෙන් බොහෝ පහත, මහා මාර්ගය පෙනුණේ තනි ඉරක් ලෙසිනි. එහි ඔබ මොබ යන වාහන කුඩා කෘමීන් ලෙස දුරට දිස් විය. ලෝරන් ගේ දැහැන බිඳුනේ වතුර උතුරන කේතලය නැඟූ උරුවම් හඬිනි. යාන්ත්‍රිකව මෙන් තම කෝප්පයට කෝපි හැන්දක් දමා උණු දිය වත් කළ ඈ, ශීතකරණයෙන් ගත් කිරි බඳුනෙන් කිරි ස්වල්පයක් ජෝගුවකට දමා මයික්‍රෝවේව් උදුනට දැම්මාය. උණුසුම් කෝපි කෝප්පයේ බලය සුන් කරන්නට ශීත කිරි තරම් තවත් දෙයක් නැති බව අත්දැකීමෙන් දැන සිටි ඇය කෝපි කෝප්පයට දමන්නට පෙර කිරි රත් කරන්නට නම් කිසි දිනෙක අමතක කළේ නැත. එහෙත් අද නම් මයික්‍රෝවේව් උදුන තම අණ හමුවේ නිදිගත්වනම පසුවිය. ලෝරන් කෙතරම් එහි යතුරු පුවරුව මත තම ඇඟිලි තුඩු දිවවූවත් ඊට පණ ආවේ නම් නැත. තම නිවස වෙත ලැබෙන විදුලි සැපයුම තවමත් ක්‍රියාත්මක බව සැක හැර දැනගත් ලෝරන් කිහිප වරක් උත්සාහ කිරීමෙන් පසු කිරි රත් කරගැනීමේ උත්සාහය අත් හැරියාය. ඈට මෙවැනි සිල්ලර දේ ගැන වද වන්නට වෙලාව තිබුණේ නැත. ශීත කිරි බඳුනෙන් ස්වල්පයක් උණුසුම් කෝපි කෝප්පයට වත් කර ගත් ඈ අපුලෙන්ම ඉන් උගුරු කිහිපයක් බී නිදන කාමරය වෙත ගියේ කාර්යාලය වෙත යාමට සූදානම් වීමටයි.


මාර්තු 01 2022- 7.10 am

විදුලි සෝපානය අසල සිටියේ වෙනදාට මේ වෙලාවට දකින්නට ලැබෙන සුපුරුදු කණ්ඩායමමය. තට්ටු හැට අටක් උස මේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ විසි හතරවෙනි තට්ටුවේ ලෝරන් පදිංචියට ඇවිත් මේ ගෙවෙන්නේ සිව් වෙනි වසරයි. මෙය තොරාගනිද්දී එහි අති නවීන පහසුකම් ඇයගේ සිත් ගත්තේය. ගොඩනැගිල්ලේ බිම් මහලටත් පහතින් ඇති රථ ගාලේ තමන් නමින් ඉඩක් වෙන්කරගන්නට ඉඩ ලැබීම නිසා තමන් එහි සෙසු වැසියන්ට වඩා වාසනාවන්ත බවක් ඇය සැලකුවාය. දැන් නම් මුදල් ගෙවා වුව එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැත.

සෝපානය එළැඹි විට ඊට ගොඩ වූ අනෙත් සියලු දෙනා බිම් මහලේ පිවිසුම් ශාලාව හරහා මාර්ගයට යාමට නියමිත බැවින් එහි සිටි එක් අයෙක් එහි විදුලි පුවරුවේ බිම් මහලට අදාළ G අකුර ස්පර්ශ කළේය. ලෝරන් පමණක් තම රථය ගාල් කර ඇති පහතම මාලයට යාමට Basement සඳහා ඇති B අකුර ස්පර්ශ කළේ අද දවසේ කරන්නට නියමිත රාජකාරී රැස මනසේ පෙළගස්වා ගනිමිනි. එහෙත් කොතෙක් ස්පර්ශ කළත් සෝපානයේ විදුලි පුවරුවේ B අකුර දැල්වුණේ නැත. ලෝරන් ගේ සිතේ තෙරපී නැඟුණේ නොරිස්සුමකි. මේ ගොඩනැඟිල්ලේ නඩත්තුව සඳහා එහි සෙසු වැසියන් මෙන්ම ඇයත් විශාල මිළක් ගෙවද්දී සෝපානයක් වැනි අත්‍යවශ්‍ය සේවාවක් හරියාකාරව පවත්වා ගැනීමට පරිපාලනයට නොහැකිද? හවස් වරුවේ මෙහි පරිපාලන කාර්යාලය වෙත ගොස් මේ ගැන පැමිණිල්ලක් කිරීමට ඈ සිතේ සනිටුහන් කර ගත්තාය. සෝපානයේ සෙසු සාමාජිකයින් තමන්ට සිදු වූ ඇබැද්දිය දුටුවේදැයි හොරැහින් වටපිට බැලූ ලෝරන් දුටුවේ ඒ හැම කෙනෙක්ම තම ජංගම දුරකථන තිර වෙත ඔබාගත් මුහුණු වලින් යුතුව සිටි බවයි. ඔවුන් සමඟම බිම් මහළින් බට ඈ තරප්පුව ඔස්සේ තවත් මහලක් බැස රථ ගාල වෙත ගියේ වැඩුණු නොරිස්සුමෙනි.


මාර්තු 01 2022- 7.40 am


රථවාහන තදබදය අතරින් කාර්යාලය වෙත වාහනය පදවද්දී උදෑසනම කරදරකාරී ගනුදෙනුකරුවෙක් සමඟ හමුවක් ඇති බව සිහි වූ විට ලෝරන්ට දැනුණේ සිහින් හිසරදයක් මෝදු වන බවකි. තමන් ප්‍රිය කරන උදෑසන කෝපි කෝප්පයද හරියාකාරව රස විඳින්නට නොහැකි වීම මතකයට විත් තම සිත කේන්තියකින් පිරී යනු ඇයට දැනුණි. මෙවැනි සිත කැළඹුණු අවස්ථා වෙනුවෙන් ඈ තම රථයේ මෘදු සංගීත ඛණ්ඩ එකතුවක් ගබඩා කර තිබිණි. සාමාන්‍යයෙන් වෙනදාට විනාඩි දහයක් පමණ ඊට සවන් දුන් විට ඇගේ මනස සන්සුන් විය. ලෝරන් රථය ධාවනය කරද්දීම එක් අතකින් එහි ශබ්ද පුවරුවේ ගබඩා කර ඇති සංගීත ලැයිස්තු තෝරන්නට සූදානම් වූයේ අද මේ සහනය අත්‍යවශ්‍ය දිනයක්යැයි හැඟුණු බැවිනි. එහෙත් ඇයට ඊට අවස්තාවක් ලැබුණේ නැත. රථයේ ඩිජිටල් පුවරුව ලෝරන් ගේ අණ නොතකා නිසොල්මන්ව සිටියේ කිසිම ගරුසරුවක් නැති විලසිනි. කිහිප වරක් උත්සාහ කර ඒ අදහස අත්හැර දැමූ ලෝරන් කෙන්තියෙන්ම රථයේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කරන බොත්තම එබුවාය. එය නම් කිසිම විරෝධයක් නොපා ක්‍රියාත්මක වූයේ රුසියානු හමුදාවක් ගැන මහා විස්තරයකින් රථය පුරවාලමිනි. මනස සන්සුන් කරන සංගීතය සෙවූ තමන්ට අවසානයේ සිදු වූයේ මනස කැළඹෙන යුධ තොරතුරු ඇසීමට බව වැටහුණු ලෝරන් නොරිස්සුම් හඬක් පිටකරමින් ගුවන් විදුලිය ක්‍රියා විරහිත කළාය.


මාර්තු 01 2022- 8.10 am


තම කාර්යාලය ඇති මහලට දිවෙන විදුලි තරප්පුව මතින් ගමන් කරමින් සිටියදී ලෝරන් නැවත වරක් තම ජංගම දුරකථනය සුරතට ගත්තේ අද දිනයේ ඇති රැස්වීම් ආදියෙහි වෙනසක් සිදුවූ බවට ඊ මේල කිසිවක් ලැබී ඇත්දැයි දැනගැනීමටයි. උදෑසන 8.30ට කරදරකාරී ගනුදෙනුකරුවා සමඟ ඇති හමුව අහෝසි වී තිබෙන්නැයි ඈ සිත යටින් ප්‍රාර්ථනා කළාය.

Fingerprint not recognised, please try again

මෙවර නම් ඇයට තම අලුත්ම ජංගම දුරකථනය තරප්පුවෙන් පහළට වීසි කරන්නට සිත් විය. නැඟ එන කෝපය මැඩ ගත් ඈ දුරකතනයට පිවිසෙන්නට ඇඟිලි සලකුණ වෙනුවට යොදාගන්නා කේතය එහි අංක පුවරුවට ඇතුළු කිරීමට තැත් කළා ය. එහෙත් කෙතරම් උත්සාහ කළත් ඒ අංක කේතය එහි සටහන් වූයේ නැත. ලෝරන්ට තම කෝපය පාගාගෙන නැඟෙන සියුම් බියක් දැනෙන්නට විය. තම දුරකථනයට පිවිසෙන්නට නොහැකි වුවහොත් එහි ඇති සියලු දත්ත, පින්තූර, සෙසු දුරකථන අංක? ඒහෙත් ඒ ගැන සිතා තැවෙන්නට ඇයට වෙලාවක් තිබුණේ නැත. තව නොබෝ වෙලාවකින් ඇරඹෙන රැස්වීම වෙනුවෙන් තමන් සූදානම් විය යුතුය. දිවා කෑම පැයේදීවත් දුරකථන අලෙවි හලට ගොස් මේ අවුල විසඳාගත යුතු බව ඉටා ගනිමින් ඈ තම කාර්යාලයට පිවිසුණාය.


මාර්තු 01 2022 - 10.32 am

ගනුදෙනුකරු සමඟ උදෑසනම යෙදී තිබුණු රැස්වීම බාධාවකින් තොරව ඇරඹිණි. එහෙත් සියල්ල අවුල් වන්නට වූයේ රැස්වීම අරඹා ටික වේලාවකින් සාකච්ඡාවට අදාළ ලියකියවිලි කිහිපයක් පිටපත් කරගැනීමට ඡායාපිටපත් යන්ත්‍රය වෙත ඇය ගිය විටයි. ඈ එතැනට යද්දී හොඳින් ක්‍රියාකරමින් තිබුණු බව සියැසින් ම දුටු යන්ත්‍රය ඇයගේ වාරය පැමිණි විට ඇගේ අණ පිළිපැද්දේ නැත. යන්ත්‍රයේ ඩිජිටල් පුවරුව මත කෙතරම් තම අතැඟිලි දිවූවද ඉන් කිසි ප්‍රතිචාරයක් නොලැබිණි. නැඟී එන නොසන්සුන්කමින් යුතුව ඈ යන්ත්‍රය වෙත පා පහරක්ද එල්ල කළාය. ඒ අසලින් ගිය කාර්යාල සගයෙක්ගේ මැදිහත් වීමෙන් ඒ ඡායා පිටපත් ටික යන්තමින් ලබාගන්නට ඇයට හැකිවිය. තමන් දුන් අණට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ යන්ත්‍රය ඔහුගේ අණට වහාම ක්‍රියාත්මක වන අයුරු ඈ බලා සිටියේ කෝපයෙනි. උපකාරය අවසානයේ ඒ සගයා තමන් දෙස හෙලුවේ ‘මෙවැනි සුළු කාර්යයක්වත් තනිව කරගනු නොහැකිදැයි’ අසන වර්ගයේ අමුතු බැල්මකි.


ඇය නැවත කාර්යාලයට පිවිසුණු විට ගනුදෙනුකරුවා බෙහෙවින් කෝප ගැන්වී සිටි අතර තමන්ගේ වටිනා කාලය නොසැලකිලිමත් ලෙස අපතේ හැරීම පිළිබඳව ඇයට තදින් දොස් පැවරූ ඔහු යන්නට ගියේ ආ කාර්යයද අවසන් නොකරමය. උදෑසනම සිදු වූ මේ කලබලය නිසා කැලඹුමට පත්ව සිටියත් ලෝරන්ට වැඩි වෙලාවක් ඒ ගැන තැවෙන්නට ඉඩ ලැබුණේ නැත. ඉනික්බිති යෙදී තිබුණේ කාර්යාල ප්‍රධානියා සමඟ හමුවකි. ඒ සඳහා කාර්යාලයේ ලේඛන ගබඩාවෙන් පැරණි නීති පිටපත් කිහිපයක් ගෙන යා යුතුය. ලෝරන් කොරිඩෝව ඔස්සේ පය ඉක්මන් කර ගමන් කළාය. තමන් තවමත් උදෑසන ආහාරය නොගත් බව ඇයට සිහි වූයේ ඒ වෙද්දී තියුණු වූ හිසරදය නිසායි. එහෙත් දැන් ඊට වෙලාවක් නැත. ලේඛන ගබඩාවට එළඹෙන තැන ඇති ආරක්‍ෂිත දොර අසල නතර වූ ඇය ඊට ඇතුල්වීමට අදාළ කේතය එහි සටහන් කළාය. මුළු කර්යාලයෙන්ම මේ ගබඩාවට පිවිසුමට අවසර තිබුණේ ඇයටත් කාර්යාල ප්‍රධානියාටත්, සහකාර ප්‍රධානියාටත් පමණි. කේතය ඇතුළු කරද්දී වෙනදා නැඟෙන සියුම් හඬ නොඇසෙන බව හදිසියේම වැටහුණු විට ලෝරන් ගේ සිරුර අප්‍රාණිකව යන බවක් ඇයට දැනුණි. වේගවත් වූ හුස්ම සන්සුන් කරගැනීමට උත්සාහ කරමින් ඈ නැවතත් දොරෙහි ඩිජිටල් පුවරුව දෙස පරීක්ෂාකාරීව බැලුවාය. ඒ මත කේතය සටහන් කිරීමට ඇඟිලි දුවවද්දී ඉන් ඇගේ ස්පර්ශය හඳුනා නොගැනෙන බව ඇයට වැටහිණි. තම ඇඟිලි තුඩු දෙස වුවමනාවෙන් බැලූ ලෝරන්ට එහි කිසිදු වෙනසක් පෙනුණේ නැත. නැවත නැවතත් දොර විවර කරගැනීමට කේතය ඇතුළු කරන්නට උත්සාහ කළද එය නිරර්ථක බව ඇයට නොබෝ වෙලාවකින් වැටහිණි. කාර්යාලයේ ප්‍රධානියා වන වෝකර් මහතා සමඟ රැස්වීමට ඉතිරිව තිබුණේ තව විනාඩි පහක් පමණි. ඔහු හමුවීමට ගොස් අදාළ ලියකියවිලි ගොනුව ලියකියවිලි ගබඩාවෙන් ගෙන එන්නැයි ඔහුට කිව නොහැක. ලෝරන් පත්වූයේ මහත් අපහසුතාවයකටය. ඇගේ සිරුර දහදියෙන් තෙත් විය. ඉක්මන් කේන්තිකරුවෙක් වූ වෝකර් උදෑසනම කෝප ගැන්වුවහොත් ඇයටත් කාර්යාලයේ සෙස්සන්ටත් දවසම මුස්පේන්තු වනු නොඅනුමාන ය. හදිසියේම ඒ මොහොතේ කාර්යාලයේ උප ප්‍රධානියා වන වින්ස්ටන් එතැනින් ගියේ ඇගේ වාසනාවකටය. ඔහු ද රැස්වීම සඳහා ප්‍රධානියාගේ කුටිය වෙත යමින් සිටියේය. වෝකර් මෙන් නොව වින්ස්ටන් විනෝදශීලී කුළුපග අයෙකි.


“මිස්ටර් වින්ස්ටන්, කරුණාකරලා ගබඩාවෙන් ජේ බී නඩුවේ ෆයිල් ටික ගන්න මට උදවු කරනවද? මොකක්ද හේතුවකට අද මගේ මොළේ බ්ලෑන්ක් වෙලා, මට දොරේ කෝඩ් එක මතක් වෙන්නෙම නැහැනේ!”

ආයාසයෙන් මවාගත් සිනහවකින් යුතුව ලෝරන් ඔහුගෙන් ඉල්ලා සිටියාය.

“ලෝරන්ට අමතකත් වෙනවා? මට නම් එහෙම විපර්යාසයක් හිතාගන්නත් බැහැ, එහෙනම් ඉර අනිත් පැත්තෙන් පායයි!” සුපුරුදු ලෙස විහිළුවෙන්ම පිළිතුරු දුන් වින්ස්ටන්, කේතය යොදා ගබඩාවේ දොර හැර අදාළ ලේඛන ගොනුව සොයාගැනීමට ලෝරන්ට උදවු කළේය.


මාර්තු 01 2022- 12.24 pm


තම කාර්යාලීය ගොඩනැගිල්ලේම බිම් මහලේ අවන්හලක කෙළවරම මේසයක ලෝරන් අසුන්ගෙන සිටියාය. ඇය ඉදිරිපසින් දුම් දමන පාස්තා බඳුනක් තිබුණද ඇය ඒ දෙස බැලුවේවත් නැත. බැලූ බැල්මට ඈ වෙතින් දිස් වූයේ රැකියාවේ දිවා විවේකයේදී ඉක්මන් ආහාර වේලක් ගැනීමට ආ කාර්යබහුල කාන්තාවකගේ දසුනකි. එහෙත් ලෝරන් මහත් කැළඹුමෙන් පසු වූවාය. දවසේ ඉතිරි භාගයේ යෙදී තිබුණු සියලුම රාජකාරී කාර්යයන් අවලංගු කළ ඈ කෙටි නිවාඩුවක් ගත්තේ තදබල හිසේ රදයක් ගැන කියමිනි. එහෙත් සැබෑම කරුණ නම් උදෑසන පටන් ඈට කරදර කළ හිස රදය මේ වෙද්දී අතුරුදන් වී තිබීමයි. ඒ වෙනුවට ලෝරන්ව වෙලාගෙන තිබුණේ හුස්ම හිරකරවාලන භීතියකි. උදේ වරුවේ පටන් සිදු වූ සිදුවීම් එකිනෙක ඈ මනසේ පෙළ ගස්වා ගත්තේ ඒවායේ අර්ථය වටහාගනු පිණිසයි.


කුමක් හෝ අද්භූත හේතුවකට අද තමන්ගේ ස්පර්ශය ඩිජිටල් පුවරු හඳුනා නොගන්නා බව දැන් ඇයට සහතිකය. වරින් වර දුරකථනයේ තිරය මත අතැඟිලි තැබීමෙන් ඇයට එය තහවුරු කරගත හැක. උදෑසනදී මේ බව නොවැටහුණත් ජංගම දුරකථනයත්, නිවසේ මයික්‍රෝවේව් උදුනත්, විදුලි සෝපානයත්, තම මෝටර් රථයේ ශබ්ද පුවරුවත් තමන්ට ප්‍රතිචාර නොදැක්වූයේ මේ හේතුවෙනි. එහෙත් තමාට මේ ගැටලුව හරිහැටි වැටහුණේ කාර්යාලයේ ඡායා පිටපත් යන්ත්‍රයත්, ලේඛන ගබඩාවේ ඩිජිටල් දොර අගුලත් තමන්ට අවසඟ වූ විට බව ලෝරන්ට වැටහිණි. ඈ නැවතත් තම දසැඟිලි විදහා බැලුවාය. බැලූ බැල්මට ඒවායේ කිසි වෙනසක් නැත.

මේ සඳහා උපකාර ලබාගත යුත්තේ කාගෙන්දැයි සිතමින් ලෝරන් අහස පොලොව ගැටලුවාය. තමන්ට කිසිම ශාරීරික ආබාධයක් නොමැති නිසා වෛද්‍යවරයෙකුට කළ හැකි කිසිවක් නැත. තාක්ෂණික අංශයේ වියතෙක් හට තම ගැටලුව කීවත් ඔවුන්ට තමන්ගේ ස්පර්ශයේ ගැටලුව වෙනස් කළ නොහැක. ලෝරන්ට දැනුණේ මහත් පරාජිත බවකි. ඇගේ ජීවිතයේ කිසි දිනෙක මෙවැනි අසරණකමක් දැනී තිබුණේ නැත.

ඩිජිටල් ස්පර්ශය නොමැතිව කළ නොහැකි දේවල් මනසින් ලැයිස්තුගත කරන්නට ලෝරන් උත්සාහ කළාය. මේ තත්ත්වය යටතේ ඇයට සුපිරි වෙළඳ සැලකට කඩිමුඩියේ ගොස් භාණ්ඩ ලබාගෙන ස්ව-සේවා ක්‍රමයට මුදල් ගෙවා පිටවිය නොහැකි අතර ඒ වෙනුවට අයකැමි පෝලිම්වල රස්තියාදු විය යුතුය. නගරයේ බොහෝ තැන්වල ඇති, ඩිජිටල් යන්ත්‍රයක් හරහා මුදල් ගෙවන රථ ගාල් වෙත තම රථය ඇතුල් කළ නොහැක. දුම්රියක හෝ බස් රියක යන්නට භාවිත කෙරෙන මෙට්‍රෝ කාඩ් පතට පොදු තැන්වල ඇති මෙට්‍රෝ යන්ත්‍ර වලින් මුදල් ආරෝපණය කළ නොහැක. මේ හැම එකක්ම තබා ඇයට තම නිවස පිහිටි මහල් ගොඩනැගිල්ලේ සෝපානය පාවිච්චි කර තම නිවස වෙත යාමට නොහැක. කෙසේ හෝ නිවසට ගියත් තම නිවසේ ඇති උදුන්, රෙදි සේදීම් යන්ත්‍රය ඇතුළු බොහෝ විද්‍යුත් උපකරණ භාවිත කරනු නොහැක! ලෝරන්ට දැනුණේ මහත් වික්ෂිප්ත බවකි. තමන්ව අදිසි සිර කූඩුවක සිර කර ඇති බවක් ඇයට දැනෙන්නට විය. රැකියාවේ කාර්යබහුල බවත්, තනිව සිටීමට ප්‍රිය පෞරුෂ ස්වභාවයත් නිසා ලෝරන්ට සමීප මිතුරු මිතුරියන් සිටියේ නැත. එබැවින් මේ අපබ්‍රංස ගැටලුව පවසා උපදෙසක් ගන්නට කෙනෙක් ඇයට නොවීය. විස්තර කර කීවත් මෙය කිසිවෙක් විශ්වාස නොකරන වර්ගයේ විකාරයකි. ලෝරන්ට දැනුණු කැලඹුම නිසා ඇයට කෑ ගසා හඬන්නට සිත් විය.

අවසාන වරට තමන් සාර්ථක ලෙස ඩිජිටල් ස්පර්ශයක් කළේ කොයි වේලාවේදැයි සිහිගැන්වීමට ලෝරන් උත්සාහ කළාය. පෙර දිනයේ හවස රාජකාරී නිමවී විදුලි සෝපානයේ නැඟ විසි හතරවෙනි තට්ටුවේ තම නිවසට ගිය බැවින් ඒ වෙද්දී මේ ආබාධය නොතිබුණු බවට සහතිකය. ඇගේ රාත්‍රිය ගෙවුණේ කෙලෙසදැයි ඈ යළි ආවර්ජනය කළාය. රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී අසල්වැසි වයසක රිචඩ්ස් මහත්මියගේ පැමිණීම හැරෙන්නට පෙරදින රාත්‍රියේ වෙනත් විශේෂ කිසිවක් සිදු වූයේ නැත. තනිවම වෙසෙන රිචඩ්ස් මහත්මිය තදබල තනිකමකින් පෙළුනාය. ඈ නිතරම ලෝරන්ව කතාවට හසු කරගැනීමට මාන බැලුවත් ලෝරන් ඊට ගොදුරු නොවන්නට හැකිතාක් ප්‍රවේසම් වූවාය. පෙර දිනයේත් ඈ ලෝරන් සොයා ආවේ ඇගේ ටැබ් පරිගණකය ක්‍රියා නොකරන බව පවසමිනි. එදින දහවලේ තමන්ගේ හොඳම මිතුරිය වන සිල්වියාගේත් මෙවැනිම පරිගණකයක් මෙලෙසම ක්‍රියා නොකළ බවත් තමන්ට නොබෝ වෙලාවකින් තම මුණුබුරන්ට වීඩියෝ ඇමතුමක් ගන්නට ඇති බවත් ඒ නිසා මෙය ඉක්මණින්ම විසඳා ගත යුතු බවත් මහා හෑල්ලකින් කියමින් රිචඩ්ස් මහත්මිය ගෙට ගොඩ විය. එහෙත් ලෝරන්ගේ එකම ස්පර්ශයකින් ඒ ටැබ් පරිගණකය ක්‍රියාත්මක වෙද්දී ඇය සිනහව මැඬ ගත්තේ අපහසුවෙනි. අවධානය ලබාගැනීමේ උත්සාහය ව්‍යවර්ථ වූ නිසාදෝ රිචඩ්ස් මහත්මිය මොනවදෝ තනියම මුමුණමින් යන්නට ගියාය. ඉකුත් දවසේ සිදුවීම් සුපරීක්ෂාකාරීව විච්ඡේදනය කරමින් සිටි ලෝරන්ට ඒ තම අවසන් සාර්ථක ඩිජිටල් ස්පර්ශය බව වැටහිණි. රිචඩ්ස් මහත්මිය යන්නට ගිය පසු රූපවාහිනිය නිවා දමා ඇය ඇඳට ගිය අතර අද උදෑසන වන තුරු කිසිම ඩිජිටල් තිරයක් අතපත ගා තිබුණේ නැත. ලෝරන්ගේ සිතිවිලි ප්‍රවාහය එක්වරම නතරවිය. තමන් උපහාසයෙන් සැලකුවත් රිචඩ්ස් මහත්මියට සිදුව තිබුණේත් තමන්ට දැන් සිදුවී ඇති දේ නොවේද? ඈ ස්පර්ශ කරද්දී නොදැල්වුණු ඩිජිටල් තිරය තමන් වෙනුවෙන් දැල්වුණු අයුරු සිහිවෙද්දී සියුම් හිරියක් තම සියොළඟ වෙලාගනු ලෝරන්ට වැටහිණි. මෙය රිචඩ්ස් මහත්මියගේ ටැබ් පරිගණකයෙන් තමන් වෙත...


"මැඩම් තව මොනවා හරි ඕඩර් කරනවද...නැත්නම්?" වේටර්වරයෙක්ගේ හඬින් ලෝරන් නැවතත් මෙලොවට පිවිසුණාය.

මෙය වුවමනාවටත්ව වඩා වෙලාවක් අවන්හල්වල නිකරුණේ ගැවසෙන ගනුදෙනුකරුවන්ගෙන් ඒවායේ සේවකයන් අසනු ලබන පොදු ප්‍රශ්නයක් බව ලෝරන් දැන සිටියාය. තමා නොදැනුවත්වම මෙහි පැමිණ බොහෝ වේලාවක් ගතවන්නට ඇත. ඈ ඇණවුම් කළ පස්තා බඳුන ඈ ඉදිරිපස එලෙසම විය. තව දුරටත් මෙතැන කල් මැරීමෙන් පලක් නොවන බව තමන්ටම කියාගත් ලෝරන් තමන්ට තව කිසිවක් අවශ්‍ය නොමැති බවත් බිල ගෙන එන ලෙසත් සේවකයාට දැනුම් දුන්නේ මවාගත් බැරෑරුම්කමකිනි.


"මැඩම් ඕඩර් කළ කෑම වේල මේ ටැබ් එකේ තෝරලා මෙතැනින්ම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. කලබල වෙලාවට ප්‍රධාන කවුන්ටරේ තදබදය අඩු කරන්න අලුතින් පටන් ගත්ත ක්‍රමයක් මේක." වේටර් තරුණයා ආචාරශීලීව කීවේය.

තවත් ඩිජිටල් පුවරුවක්! නැවතත් තම හුස්ම හිරවෙන බවක් ලෝරන්ට දැනුණි. එය මොහොතකට අතට ගත් ඈ ඒ මත ඇඟිලි දුවවා බැලුවේ ප්‍රතිචාරයක් ලැබේදැයි බැලීමටය. එහේත් තිරයේ කිසි වෙනසක් සිදු වූයේ නැත.

"එහෙම තෝරන්නේ නැතිව මට කාඩ් එකෙන් ගෙවන්න බැරිද?" ටැබ් පරිගණකය ආපසු දෙන අතරතුරදී තම කටහඬ වෙව්ලන්නට නොදී ඈ ඇසුවේ ආයාසයෙනි.

"කාඩ් එකෙන් ගෙවන්න නම් තියෙන්නේ එහෙම තමයි මැඩම්, කෑෂ් දෙනවා නම් මට කවුන්ටරේට අරගෙන ගිහින් රිසිට් එකක් ගෙනත් දෙන්න පුළුවන්" තරුණයා කීවේය.

"කෑෂ්? මගේ ළඟ කෑෂ් නැහැනේ, මම සාමාන්‍යයෙන් කෑෂ් පාවිච්චියක් නැහැ" ලෝරන් පිළිතුරු දුන්නේ සැලෙන දෙතොලිනි.

"ඒකට කමක් නැහැ මැඩම්, අතන තියෙනවා ඒ ටී එම් මැෂින් කීපයක්ම. මැඩම් කෑෂ් අරගෙන එන්න, මම බිල ලෑස්ති කරලා තියන්නම්."

ඒ ටී එම් මැෂින්! ඇයට මේ ඩිජිටල් උගුලෙන් ගැලවීමක සේයාවක් නොවීය. ලෝරන්ට දැනුණේ එක්වරම ලෝකය කළුවර වූ බවකි. තමා එක්වරම මේසයෙන් නැගිටිද්දී එය පෙරළී ගිය බව ඇයට දැනුණේ නැත. ඈ අවන්හලෙන් පිටතට දිව ගියේ යටි උගුරෙන් හඬක් නඟමිනි.

මාර්තු 01 2022 - 01.48 pm

හදිසියේ උමතුවෙන් මෙන් අවන්හලෙන් දිව ගිය කාන්තාව දෙස ලැරී නම් වේටර් තරුණයා බලා සිටියේ විවර මුවිනි. මේ වෙද්දී ඔහු මේ රැකියාවට පැමිණ ගතව තිබුණේ සතියක් පමණි. මේ සතිය ඇතුළත මීට කළින් නම් මෙවැනි සිදුවීමක් නොවූ බවට ඔහුට සහතික විය හැක. මේ අවන්හලට කෑම ගැනීමට බොහෝ විට ආවේ මේ ගොඩනැඟිල්ලේම කාර්යාලවල රැකියා කරන කාර්යබහුල වෘත්තිකයන්ය. ඔවුන් කිසිවෙක් මෙවැනි විකාර හැසිරීම්වල යෙදුණේ නැත.

ලැරී වටපිට බැලුවේය. මේ ඉහිරුණු කෑම ඉවත්කර බිම පිරිසිදු කළ යුතුය. මේ වෙද්දී අවන්හලට පැමිණි අලුත් ගනුදෙනුකරුවන්ගෙන් ඇනවුම් ගත යුතුය. ඒ සියල්ලටම සිටින්නේ ඔහු පමණි. කෑම පරක්කු වුවහොත් ගනුදෙනුකරුවන් පැමිණිලි කරන්නට ඉඩ ඇත. තමන් මේ වෙලාවේ කළ යුත්තේ කුමක්දැයි ලැරීට එක වරම සිතාගත නොහැකි විය. මුළුතැන්ගෙහි සිටින කෝකියන්ගෙන් උපදෙස් ගැනීම ඵලක් නැති බව ඔහුට වැටහිණි. කළමනාකරුද මෙහි එන්නේ හවස් වරුවේ පමණි. කළ යුත්තේ කළමනාකරුට දුරකථන ඇමතුමක් ගෙන මේ සිදුවූ ඇබැද්දිය කියා උපදෙසක් ගැනීමයි.

මේ වෙද්දීත් ඇනවුම් දෙන්නට නොසන්සුන්ව තමන් දෙස බලන ගනුදෙනුකරුවන් දෙස නොබලාම ලැරී තම ජංගම දුරකථනය සාක්කුවෙන් පිටතට ගත්තේය.

එහෙත් ඒ ඇමතුම ගන්නට ලැබුණේ නැත. ඇඟිලි සලකුණ තබා කීප වරක් පිවිසෙන්නට උත්සාහ කළත් ලැරීගේ ජංගම දුරකථන තිරයේ දිස් වූයේ එකම පණිවිඩයකි.

Fingerprint not recognised, please try again



-හෙල්මලී ගුණතිලක- 

Photo - Pixabay 




March 02, 2022

සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව





ඒ කන්තෝරුව තියෙන්නේ මේ මහා නුග ගහේ කියලා තමයි මේඝන ට ආරංචි වුණේ. ඒත් එතැනට ගිහින් බලද්දී ඒක කන්තෝරු සංකීර්ණයක්. නුග මුල් දිගේ තමයි සෝපාන එහාට මෙහාට ගියේ. හැමතැනම සූ ගාලා සෙනඟ. මේ කලබල අස්සේ කන්තෝරුවක් කොහේ හොයන්නද? මේඝන නුගේ ප්‍රධාන දොරටුව ළඟ ටිකක් එකල මෙකල වුණා.

"ඇයි? මොකක්ද කෙරෙන්න ඕන?" මරුමුස් උඩු රැවුල් දොරටුපාලයෙක් හදිසියේ මේඝන ගේ පිටිපස්සෙන් ප්‍රාදූර්භූත වුණා.

“මම මේ.. මේ කන්තෝරුවක් හොයනවා..” හදිසියේම අදාළ තැන නම අමතක වෙලා මේඝනගේ දිව පැටලුණා.

“ඔව්, ඔව් ඉතින් කියනවා බලන්න?” උඩුරැවුල් කාරයා ගෙරෙව්වා.

“මේක ගහක මල් ගැන අයැදුම්පතක්..” මේඝන යන්තම් වචන ගැටගහගත්තා. මෙතැනට පාර කීව කෙනා මෙහෙම හරස් ප්‍රශ්න, බාධක ගැන විස්තරයක් කීවේ නැති නිසා මේඝන හිතාගෙන හිටියේ බොහොම ඉක්මණින් වැඩේ කරගන්න ලැබේවි කියලා.

“පුෂ්ප පරාගන දෙපාර්තමේන්තුව තියෙන්නේ මෙහේ නෙමෙයි.” දොරටුපාල බොහොම ගාම්භීර විදිහට කිව්වා. “ඒකට අර පේන කඳු දෙකෙන් එහාට යන්න වෙනවා.”

“ඒක මම දන්නවා, ඒත් මගේ වැඩේට මෙතැනට එන්න කියලා තමයි කීවේ.” මේඝන ඔලුව කැසුවා. “මෙතන තියෙන කන්තෝරු මොනවාද?”

දොරටුපාල බොහොම වැදගත් පෙනුමක් ආරූඪ කරගෙන නුග ගහේ මුදුන පැත්තට ඇස් යොමු කළා. “මෙතැන තියෙනවා සිහින සංස්කරණ සංස්ථාව, කිරි දත් පරිපාලන අමාත්‍යංශය, වලාකුළු ව්‍යාප්ති අධීක්ෂණ අධිකාරිය, සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව…” එයා ඇඟිලි නවමින් කීවේ කීවේ ආඩම්බර කටහඬකින්.

“අන්න ඒක.. ඒක තමයි!” මේඝන කෑ ගැහුවා. “ප්‍රාතිහාර්ය කරන තැනට තමයි මට එන්න කිව්වේ!”

දොරටුපාල මේඝන දිහා බැලුවේ ඇහැ කරකවලා. “ඇයි දැන් තමුසේ කිව්වේ මලක් ගැන කතාවක් නේද? ඒක කොහොමද ප්‍රාතිහාර්යක් වෙන්නේ?”

මේ මනුස්සයා එක්ක තවත් තර්ක කරලා පලක් නැහැ කියලා මේඝන ට හිතුණා. එයා දොරටුපාලයාව තල්ලු කරගෙන ඇතුළට ගියා.

නුග ගහේ එක එක අතට කාර්යාල කුටි සෑහෙන්න තිබුණා. ඒවායේ නාම පුවරු කියවමින් උඩ බලාගෙන ගිය මේඝන, තම තමන්ගේ පැති වලට වැස්ස ඉල්ලගන්න වර්ෂා පාලන මණ්ඩලය ඉස්සරහ නොඉවසිල්ලෙන් පෝලිම් ගැහිලා හිටියේ කිහිප දෙනෙක්ගේ ඇඟේ හැප්පිලා බැනුම් ඇහුවා. මෙහෙම යද්දී අන්තිමේදී මේඝන ට ගහේ මුදුන හරියේදී ‘සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව’ හම්බවුණා. ගහේ ඉහළම අතු අතර, අහස හරියේ තිබුණු නිසා ද කොහෙද ඒකෙ බැලූ බැල්මට දිලිසෙන, පොඩි පහේ ප්‍රාතිහාර්ය ගතියක් තිබුණා.

‘අර වගේ මරුමුසෙක් ඉන්නවද දන්නේ නැහැ මෙතැනත්!” දොර තල්ලු කරගෙන ඇතුලට යන ගමන් මේඝන තමන්ටම කියාගත්තා.

ඒත් ඒ කන්තෝරුවේ ඉස්සරහින්ම හිටියේ බොහොම පියකරු ලලනාවක්.

“ආයුබෝවන්, සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුවට ඔබව සාදරයෙන් පිලිගන්නවා. මම අහස්නා. ඔබට අවශ්‍ය කොයි වගේ සේවයක් ද?” ඒ යුවතිය සිනාමුසු මුහුණෙන් ම කීවා.

අහස්නා! මේඝන ඉහළට ගත්ත හුස්ම පහලට දාන්න අමතක වෙලා මොහොතක් ගත කළා.

පල්ලෙහාදී ලැබුණු රළු පිළිගැනීම නිසා ඈ මේ ටික කීවේ තමන්ටම ද කියලා අවිශ්වාසෙන් වටපිට බැලුවා. ඒත් පිළිගැනීමේ නිලධාරිනිය බලාපොරොත්තු සහගතව බලාගෙන හිටියා. තමන්ගේ වාරය එනකම් පිවිසුම් ශාලාවේ තැන තැන වාඩිවෙලා හිටිය අනෙත් අයත් හුස්ම නාල්ලා තමන් කියන්න යන දේ අහගෙන ඉන්න බවක් තමයි මේඝනට හිතුණේ.

“මම.. මේ ගහක් ගැන.. ඒ කියන්නේ මල් හැදෙන්නේ නැති ගහක් ගැන අයැදුම්පතක් බාරදෙන්න..” තමන්ගේ වුවමනාව හරියටම විස්තර කරගන්න බැරිව මේඝනට ගොත ගැහුණා. වැඩියත්ම මේ යුවතියගේ ඇස් දෙකේ කාන්තිය දරාගන්න අමාරු බවක් එයාට දැනුණා.

“ඇත්තටම නම් ගස් වල මල් භාර පුෂ්ප පරාගන දෙපාර්තමේන්තුවට. මහත්මයා එතැනට ගිහින් බැලුවේ නැද්ද?” අහස්නා ඔලුවත් ටිකක් ඇල කරලා මේඝන ගේ ඇස් දෙක දිහා බලාගෙනම ඇහුවා. ඒ බැල්මට තමන් ලැජ්ජාවෙන් රතු වෙන බවක් මේඝන ට දැනුණා.

“මේක පුෂ්ප පරාගන දෙපාර්තමේන්තුවෙන් ඇවිත් බලලා අතඇරලා ගිය ගහක් නෝනා. මට කෙනෙක් කිව්වා සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුවෙන්වත් අහලා බලන්න කියලා. මෙහෙන් ඇවිත් එහෙම මල් පිපෙන වැඩක් එයාලාගේ පැත්තේ සාර්ථකව කරලා දුන්නා කියලාත් කිව්වා.” මේඝන ආයාසයෙන් කීවා. වටපිට ඉන්න හැම කෙනෙක්ම තමන් දිහා බලාගෙන ඉන්නවා වගේ තේරුණු නිසා එයාට හුස්ම ගන්නත් අමාරු බවක් දැනුණා. ‘එක එකාගේ කතා අහලා මාත් ආවානේ දුර කතර ගෙවාගෙන! ගස් වල මල් පිපෙන එක කොහොමද ප්‍රාතිහාර්යක් වෙන්නේ?” මේඝනට පසුතැවිල්ලක් දැනුණා

“මෙහෙමයි මහත්මයා,” අහස්නා ඒ පාර ඔලුව ඇල කළේ අනෙත් පැත්තට. “කාලයක් මල් නොපිපුණු මහා ගස් එහෙම අපේ දෙපාර්තමේන්තුවෙන් පවරාගෙන සුළු ප්‍රාතිහාර්යක් කරලා දීලා මල් පුබුදුවන අවස්ථා තියෙනවා තමයි. ඒක වැඩියම කරන්නේ එක්කෝ මී මැසි සහ බඹර පරිපාලන නිලධාරීන්ගෙන් බලවත් ඉල්ලීමක් ලැබුණාම. එහෙම නැත්නම් ඒ පලාතේ ජීවත්වෙන අයට විශ්මය මාත්‍රාවක් අවශ්‍යයි කියලා ඉහළින් දැනුම් දුන්නාම. ඒත් දැන් දැන් ගස් වල මල් දැකලා විශ්මය ඇතිවෙන අය අඩු බවට අපි වාර්තා ලැබිලා තියෙනවා. ඒ නිසා මේ වගේ ව්‍යාපෘති නොකෙරෙන ම තරම්. මේ මහත්මයාගේ ඉල්ලීම කොයිවගේ ගහක් ගැන ද?”

ඒ විස්තරය අහලා මේඝන ට හීන් දාඩියත් දැම්මා. දැන් මේ වගේ මහා පරිමාන ව්‍යාපෘති කරන ආයතනයකින් තමන්ගේ පෞද්ගලික ඇඹුල් දොඩම් ගහක් ගැන ඉල්ලීමක් කරන්න පුළුවන් ද? එහෙමයි කියලා මේ තරම් දුරක් ගෙවලා ආව ගමන අත ඇරලා අනිත් පැත්ත හැරිලා යන්න පුළුවන් ද?

“නෝනා,” මේඝන අඩියක් ඉස්සරහට තියලා පිළිගැනීමේ මේසයට කිට්ටු වෙලා හඬ බාල කළා. “මේක අපේ වත්තේ හොඳ සාරෙට හැදිලා තියෙන ඇඹුල් දොඩම් ගහක්. ඒත් කවදාවත් මල් පිපුණේ නැහැ. මේ ගහ මගේ තාත්තා හිටෙව්වේ අම්මාව වල දාලා සොහොනේ ඉඳන් ආව ගමන්ම වගේ. අම්මා යි තාත්තායි හරි ආදරෙන් හිටියා. ඒ දෙන්නාගේ ආදර කතාවේ ඇඹුල් දොඩම් ගස් කීපයක්ම තියෙනවා. එයාලා මුලින් මුණගැහිලා තියෙන්නේ පලතුරු වත්තක කුලියට දොඩම් කඩන්න ගිහින්. ඒ දෙන්නා මුහුද පේන කඳු බෑවුමක පදිංචි වෙලා උන්නු පලවෙනි ගෙදර මිදුලේත් ඇඹුල් දොඩම් ගහක් තිබුණා ලු. මම පුංචි කාලේ හවසට අම්මා මාවත් තියාගෙන තාත්තා ගෙදර එනකම් පාර බලාගෙන හිටියේ ඒ ගහ යට ලු. අම්මා අසනීප වෙලා ඉන්දැද්දී ඒ කතන්දර සැරෙන් සැරේ එක දිගටම කියන්න ගත්තා. ඒ දවස්වලම තාත්තා ඇඹුල් දොඩම් පැලයක් ගෙනත් තිබ්බත් ඒක හිටවන්න වුණේ අම්මා නැතිවුණු දවසේ. දැන් අවුරුදු කීපයක් වෙනවා. ඒත් මේ ගහේ මල් පිපෙන්නේම නැහැ. තාත්තා දවසෙන් වැඩි හරියක් ගෙවන්නේ ඒ ගහ යට. ළඟකදී ඉඳන් තාත්තා තනියම කියවන්නත් අරගෙන. ගහේ මල් නොපිපෙන්නේ අම්මාගේ ආත්මය සදාකල් ශාන්තියට නොවැටී තාම හිත් තැවුලෙන් මනුස්ස ලෝකේ ඇවිදින නිසාලු. තාත්තා ඉක්මනට ඇවිත් අම්මාගේ ආත්මයට ශාන්තියට පාර පෙන්නන්නම්ලු.” මේඝන එක දිගට කියාගෙන ගියා. අන්තිම ටික කියද්දී එයාගේ හුස්ම හිරවෙලා හැඬුම් ආවා. “මට දැන් ඉන්නේ තාත්තා විතරයි නෝනා. පුළුවන් නම් මට මේ උදව්ව කරලා දෙන්න.” මේඝන ඉකිබින්දේ වටපිට ඉන්න අයට පෙනෙයිද කියලා නිනව්වක්වත් නැතිව.

එක හුස්මට කියවුණු මේ කතාව ඉවර වෙද්දී අහස්නාගේ සුන්දර හිනාව අතුරුදන් වෙලා ඇස් දෙක රතු වෙලා තිබුණා. බයෙන් බයෙන් වගේ කන්තෝරුව ඇතුළට ආව, හිසකෙස් අවුල් කරගත්ත මේ අපූරු තරුණයා එකපාරටම මේ විදිහට හඬා වැටේවි කියලා ඈ කොහොමටවත් බලාපොරොත්තු වුණේ නැහැ. කතාව ඉවරවෙලාත් ටික වෙලාවක් ගල් ගැහිලා හිටිය ඈ, මේඝන ගේ ඇස් දෙක දිහා බලාගෙනම හිස් අයැදුම්පතක් අතට ගත්තා.

“මේක පුරවලා දෙන්න” ඈ කනට ඇහෙන නෑහෙන හඬින් කිව්වා.

මේඝන අයදුම්පත පිරෙව්වේ අසුරු සැණෙකින්.

ඉන්පස්සේ කඳුළු පැල්ලම් බොඳවුණු ඒ අයැදුම්පත ‘හදිසියි, වහාම ක්‍රියාත්මක කරන්න’ කියන ලිපි ගොනුවට ඇතුළත් කළ යුවතිය ඈත දෑස් පිසිමින් යන තරුණයා දිහා බලා හිටියේ දවසේ ඉතිරි රාජකාරි වෙනුවෙන් හිනාවක් හොයාගන්නේ කොහෙන්දැයි කල්පනා කරමින්.

-හෙල්මලී ගුණතිලක 

දිනමිණ වසත් සුළඟ- 22.03.2022

photo- pixabay

March 01, 2022

නිශ්ශබ්ද ලෝකය

ලන්ඩන් කවිය - 2022 මාර්තු කලාපය 


මිනිසුන් එකිනෙකාගේ දෑස් දෙස
බලාසිටීම වැඩිකිරීමටත්
ගොළු අය සතුටු කිරීමටත්
එක් අයෙකුට දිනකට
හරියටම වදන් එකසිය හැට හතක්
නියම කර ඇත රජයෙන්

මා ඊට හොඳින් හැඩ ගැසෙමිනි
දුරකථනය නාද වූ විට
කිසිත් නොකියාම එය සවනත තබාගනිමි
අවන්හලේදී
ඇඟිල්ල දිගුකර පෙන්වා
සුප් ඇනවුම් කරමි

රෑ මැදියමේ දී
දුර වෙසෙන මා ප්‍රේමියට අමතමි
“අද මා පාවිච්චි කළේ වචන පනස් නමයයි.
ඉතිරිය ඉතිරි කරගත්තා ඔබ වෙනුවෙන්”
ආඩම්බරයෙන් පවසමි
ඈ පිළිතුරු නොදෙන විට
දැන ගනිමි මම
ඇගේ වදන් නිමා වී ඇති බව
ඉතින් මම ‘මා ඔබට ආදරෙයි’ යැයි
තිස් දෙකයි තුනෙන් එක් වරක්
හෙමින්, රහසෙන් මුමුණමි
ඉනික්බිති අප දෙදෙනා
දුරකථනය විසන්ධි නොකර
එකිනෙකාගේ හුස්ම හඬට
සවන් දෙමින් රැඳී සිටිමු


The Quiet World by Jeffery McDaniel
පර්වර්තනය- හෙල්මලී ගුණතිලක  
https://tinyurl.com/mr27tsp9