November 25, 2026

කතාබහ නම් ත්‍යාගය



ඒ මේ අතට ඇද, ඇඹරවූ පසු
දෙළුම් ගෙඩියේ
ඝනැති ලෙල්ල විවරව
ඇතුළත සැඟවුණු තද රත් බීජ
නිරාවරණය වන මොහොතක් එළඹේ

ඔබේ ගැඹුරු සිනහව සහ
මුදු ප්‍රශ්න කිරීම් රැගෙන
මා සම්මුඛ වීම එවැනි ය

ඒ හමුවේ
මෙතෙක් මා වටා තනාගෙන සිටි
ඝන කටුව ඉරි තැලී බිඳී යයි

විවර වීමේදී
මා තුළ සැඟව ඇති මහරු දේ දැක
මොහොතකට සසල වෙමි
මේ ගැන
මා මින් පෙර නොදැන සිටියේ කෙලෙසද?

අපට එකිනෙකා ව වුවමනා වන්නේ මෙබැවිනි
කිසිදිනක තනිව දකිනු නොහැකි කොටස්
අප හැම සතුව ඇත


Translation of the poem 'The Gift of Conversation' by Rosemerry Wahtola Trommer

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Digital art


November 18, 2026

මිහිපිට දෙව්ලොව- නොර්වේ රටේ බර්ගන් නගරය

මිහිපිට දෙව්ලොව කියන යෙදුම අපි කතාකරද්දී යොදනවානේ. ඒ යෙදුම කිසිම සැක සංකාවක් නැතිව යොදන්න පුලුවන් තැනක් තමයි නොර්වේ රටේ බර්ගන් (Bergen) නගරය. ඔස්ලෝ නගරයෙන් 500km විතර දුරින් නොර්වේ හි නිරිතදිග වෙරළ තීරයේ පිහිටලා තියෙන බර්ගන්, ඒ රටේ දෙවෙනි විශාලතම නගරය. කඳු හතකින් වටවෙලා  තියෙන නිසා මේකට "කඳු හතේ නගරය" (City of Seven Mountains) කියලාත් කියනවා.

අවුරුද්දෙන් වැඩි ප්‍රමාණයක් වැස්ස ලැබෙන ප්‍රදේශයක් හැටියටත් බර්ගන් නගරය සැලකෙනවා. (අවුරුද්දකට දවස් 200-240 අතර) මේ නිසා ඒක යුරෝපයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන නගරවලින් එකක්. කොයි වෙලාවෙත් අහස කලු කරලා තියෙන එකෙන් මේ පළාතේ ලස්සන වැඩිවුණා කියලා මට නම් හිතුණා. ඒ වගේම සැරින් සැරේ දුවන පොද වැසි කොයිතරම් සාමාන්‍ය ද කියනවා නම් බර්ගන් වැසියෝ ඒවාට තමන්ගේ ගමන් බිමන් බාල කරන්නේවත් නැහැ. 

සංචාරයේදී අපි බර්ගන් වල දවස් කීපයක් ගත කළේ එහෙ බලන්න ලස්සන තැන කීපයක්ම තිබුණු නිසා.

බ්‍රිගන් (Bryggen) පැරණි වරාය 

මේ හන්සියාටික් (Hanseatic) වෙළඳ සමයේ ඉදි කළ  වර්ණවත් ලී ගොඩනැගිලි පේළියක්. මේ ගොඩනැගිලි බොහොමයක් තාම ප්‍රයෝජනයට ගැනුණත් සමහර ඒවා නම් වාසයට සුදුසු නැති තරම් පරණ බව පෙනුනා ඒත් යුනෙස්කෝ ලෝක උරුමයක් හැටියට නම් කරලා තියෙන නිසා ඒවා සංරක්ෂණය කරලයි තියෙන්න. මේ අවට තියෙන පටු මාවත්වල ඇවිදින එක බොහොම සුන්දර අත්දැකීමක් 




ෆ්යෝර්ඩ්ස් වෙත පිවිසුම (Gateway to the Fjords)

නෝර්වේවල සුප්‍රසිද්ධ කඳු අතරින් කඩා හැලෙන දිය ඇලි සමූහය (Fjords) නරඹන්න යන්න පිවිසුම් දොරටුව බර්ගන් නගරය. මෙතැනදී තරමක් ලොකු නැවක pre-booked fjord tour එකක් යන්න අපට අවස්ථාව ලැබුණා. ඒ ගමන පැය තුනහමාරක් තිස්සේ  Osterfjord  සහ පටු Mostraumen channel ඔස්සේ ගමන් කළා. මෙහෙම යද්දී කඳු අතරින් වැටෙන දිය ඇලි, ගං ඉවුරුවල පුංචි ගම්මාන එහෙම දකින්න ලැබෙනවා. අතරමඟ දී බර්ගන් වලට වහින වැස්සෙන් බේරෙන්න නොලැබුණත් ඒ ගමන බොහොම magical බව කියන්න ඕන. 






ෆ්ලෝයියන් කන්ද (Mount Fløyen) 

බර්ගන් නගරේ මැද ඉඳන් විනාඩි කිහිපයකින් ළඟා වෙන්න පුලුවන් තැනක් ෆ්ලෝයියන් කඳු මුදුන (Mount Fløyen). ෆ්ලෝයිබානන් කේබල් කාර් සේවය (Fløibanen) මේ ප්‍රවාහන පහසුකම සපයනවා. මේ කඳු මුදුනේ ඉඳන් බැලුවාම පහළ නගරයේ, වරායේ සහ අවට මුහුදු තීරයේ බොහොම සුන්දර දසුන් පේනවා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ ලස්සනක්. 








ඒ වගේම ඒ කඳු මුදුනේ කැෆේ එකක් වගේම walking tracks තියෙනවා. ඒ ලස්සනට වශී වෙලා ඒ අඩිපාරවල් දිගේ ඇවිදගෙන ගියාම අපිට දකින්න ලැබුණේ කඳු අතරේ නිම්නයක තිබුණු බොහොම ලස්සන විලක්! මේක Lake Skomakerdiket හෙවත් Shoemaker's Lake බව අපි දැනගත්තේ පස්සේ. ඉස්සර සපත්තු මහන අය තමන්ගේ හම පදම් කරන්න වතුර ගන්න පාවිච්චි කළ විල ලු ඒ. 




ඒ වගේම ඒ ගමනේදී බොහොම ගාම්භීර එළුවෝ රංචුවකුත් අපට මුනගැහුනා. ඒ කණ්ඩායමේ සාමාජිකයින්ට වෙන වෙනම නම් තියෙන බවත්, කඳු මුදුනේ වල් බිහිවෙන එක වළක්වන වගකීම එයාලට පැවරිලා තියෙන බවත් විස්තර පුවරුවක් තිබුණා. 


Bergen Fish Market

Bryggen වරාය කිට්ටුව තියෙන මේ මාකට් එකෙන් අලුත්ම seafood වර්ග වගේම නෝර්වේ රටේ සාම්ප්‍රදායික කෑම ජාති මිළට ගන්නත් රස විඳින්නත් පුලුවන්. 



බර්ගන් නගරය 

මීට අමතරව බර්ගන් නගරයත් බොහොම සුන්දර නගරයක්. ඒකෙ ස්වභාව සෞන්දර්යයට අමතර ඇඟට දැනෙන calm සහ peaceful vibe එකක් තියෙනවා. හරියට කිසි දෙයක් කලබලයෙන් වෙන්නේ නැති මායා ලෝකයක් වගේ. 


මේ පැත්තේ සවාරියක් දාන්න හිතාගෙන ඉන්න කෙනෙකුට ග්‍රීෂ්ම කාලය (ජුනි - අගෝස්තු දක්වා) වඩාත්ම සුදුසුයි කියලයි කියන්නේ. ඒ කාලේ උණුසුම් දේශගුණය සංචාරයට හිතකරයි ලු. හැබැයි ඒ නිසාම ඒ කාලයේ සංචාරකයෝ  වැඩි වෙන්න පුලුවන්.  

අපි මේ සංචාරයේ ගියේ සැප්තැම්බර් මාසයේ, ඒ කියන්න සරත් කාලයේ. ඒ කාලෙත් මේ පළාතේ වෙනම ලස්සනක් තියෙනවා. ඒ වගේම සංචාරකයින්ගේ තදබදය අඩුයි. අවුරුද්දේ කොයි කාලේ බර්ගන් ගියත් වැස්සකට දෙකකට අහුවෙන්න සූදානමින් යන්න ඕන බව තමයි මතක තියාගන්න ඕන!  

November 15, 2026

හොල්මන් කතා පොකුරක්

බ්ලොග් වල හොල්මන් කතා රැල්ලක් ප්‍රවර්ධනය කෙරුණේ කොරල්/ බසු සුසංයෝගයෙන්. එහෙම රැළි වලින් හරි බ්ලොග් නොනැසී තියාගන්න පුළුවන් නම් අපි කොහොම හරි සපෝට් එකක් දෙන්න එපාය. ඒ නිසා මෙන්න මගෙන් තව හොල්මන් කතා දායකත්වයක්.

මුලින් කියන්න ඕන මේවා එකක් වත් ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් නොවන බව. මම කලින් පෝස්ට් එකේ කීව විදිහට අවුරුදු ගානක් බොරැල්ල කනත්ත එහාපැත්තෙ ඉස්කෝලෙට ගිය නිසා හොල්මන් උදවිය මාත් එක්ක අනඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවාද කොහෙද. ඒ නිසා මේ පහතින් තියන කතා මම අහපුවා විතරයි.

ජපුරේ හොල්මන්

ජපුර සරසවියේ හොල්මන් තියෙන බවට බොහොම තද විශ්වාසයක් තියෙනවා. භීෂණ කාලේ ජපුරේ එක ගොඩනැගිල්ලක වධකාගාරයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ කාමර ටික නම් තාම කෞතුකාගාරයක් හැටියට සංරක්ෂණය කරලා අවුරුද්දකට වතාවක් වගේ (මට මතක හැටියට) ශිෂ්‍යයන්ට බලන්න විවෘත කරනවා. ඒ නිසා තාර්කිකව ගත්තොත් tortured souls ඒ බිමේ තාම සැරිසරනවා කියන එක වෙන්න පුලුවන්.

පළවෙනි ජපුරේ හොල්මන් කතාව පිරිමි හොස්ටල් එකේදී වුණු දෙයක්, අපේ මිතුරෙක් කීවේ. සරසවියට ආව මුල කාලේදී ඒ මිතුරා බැහැරට ගිහින් රෑ වෙලා හොස්ටල් එකට ඇවිත්. උඩ තට්ටුවට යන්න පඩිපෙළ නගිද්දී වටපිට කිසි කෙනෙක් නැතිලු. මැදක් හරියක තරුණයෙක් වාඩිවෙලා සිගරට් එකක් බොනවලු. මිතුරා ඔහුව පහුකරගෙන යද්දී තරුණයා නිහඬව ම සිගරට් එක දික්කරලා. සාමාන්‍යයෙන් අඳුරන්නේ නැති වුණත් තමන් බොන සිගරට් එකෙන් උගුරක් ළඟ ඉන්න කෙනාට දෙන එක සිරිත නිසා මිතුරා ඒක අරගෙන උගුරක් ඇදලා ආපිට දීලා "යන්නං අයියේ" කියලා දිගටම පඩිපෙළ නැග්ගා ලු. ඒත් පඩි කීපයක් නැගලා නිකමට වගේ හැරිලා බලද්දී එතැන කවුරුවත් හිටියේ නැහැලු. මිතුරා කාමරේට දුවලා තියෙන්නේ විදුලි වේගෙන්! මේ පඩිපෙළේ හොල්මන නිතරම මහා රෑට දකින්න ලැබෙන කෙනෙක් බව තමයි පස්සේ ආරංචි වෙලා තියෙන්නේ. ඒ වගේම හොස්ටල් එකේ නාන කාමර වල මහා රෑට කිසි කෙනෙක් නැතිවත් නාන, කාරන සද්ද, ගිහින් බැලුවාම ටැප් ඉබේ ඇරිලා තියෙන හැටි එහෙම හරි සුලබයි කියලා අපේ මිතුරෝ කිව්වා. ජපුරේදී මැරුණු ශිෂ්‍යයෝ ජපුර දාලා නොගිහින් එහෙම ඉන්නවා කියලා තමයි නිගමනය.

දෙවෙනි කතාව කිව්වෙ තවත් සරසවි මිතුරෙක්. විභාග කිට්ටු වෙද්දී ළමයි පාඩම් කරන්න සරසවියේ තැන තැන තියෙන study rooms පාවිච්චි කරනවා. මේ කාමර සාමාන්‍ය පන්ති කාමරයක් තරම් විශාලයි. බිත්තිවල වහලේ ඉඳන් පහලට අඩි තුනක් විතර දැල් ගහලා තියෙනවා වාතාශ්‍රය ලැබෙන්න. දවසක් රෑක ඒ මිතුරා තව මිතුරෙක් එක්ක මෙයින් කාමරයක පාඩම් කරමින් ඉඳලා. මැදියම් රෑත් පහුවෙලා මිතුරාට තද නිදිමතක් ඇවිත්. ඒ නිසා එයා සටහන් මිටියටම ඔලුව තියාගෙන නිදාගෙන. එහෙම ඉන්දැද්දී හදිසියේම එයාට සීතලක් දැනිලා ඇහැරිලා. මේසෙන් ඔලුව උස්සලා ඉස්සරහා බලද්දී කෙලින්ම ඉස්සරහා දැක්කේ අර දැලේ දෑතින් එල්ලිලා කොන්ඩේ කඩාගෙන, සුදු සාරියක් ඇඳගෙන එක එල්ලේ කාමරේ ඇතුල බලාගෙන ඉන්න ගෑනු ළමයෙක් ලු. මිතුරා බය වුණු පාර වටපිට බලද්දී එයා එක්ක හිටිය අනිත් මිතුරාත් එයාට එහා පැත්තේ මේසෙට ඔලුව තියාගෙන නිදි ලු. එයාව බලෙන් ඇහැරවලා ජනේලේ පෙන්නද්දී ඒත් අර ගෑනු ළමයා එල්ලිලා ඉන්නවාලු. දෙන්නාම භ්‍රාන්ත වෙලා බලා ඉන්දැද්දී එසැණින් එයා අතුරුදන් වෙලා. හැබැයි ඒ දර්ශනය දෙන්නාම දැක්ක නිසා ඒක එක්කෙනෙක් දැකපු හීනයක් එහෙම නෙමෙයි කියලා හිතන්න වෙනවා. ඒ මිතුරෝ දෙන්නා සෑහෙන්න කැළඹිලා හිටියා ඒ සිද්ධියෙන් පස්සේ. විභාගෙට ලිව්වෙත් ටිකක් අමාරුවෙන්. ඒ නිසා මේක උන් දෙන්නාගේ අතේ රෝලක් නොවන බව අපට විස්වාස කරන්න වුණා. පස්සේ ආරංචි වුණු හැටියට ඒ study room එකට එහාපැත්තෙ තිබුණු ගැහැනු නේවාසිකාගාරයේ ශිෂ්‍යාවක් තමන්ගේ ගමේ පෙම්වතා එක්ක වුණු ප්‍රශ්නයක් නිසා නෙවාසිකාගාරයේදී ගෙළ වැල ලාගෙන මැරිලා තියෙනවාලු කාලෙකට ඉස්සර. ඊට පාවිච්චි කරලා තියෙන්නේ සුදු සාරියක් කියලා තමයි කතාව තිබුණේ. 


ඕස්ට්‍රේලියානු හොල්මන්

තුන්වෙනි කතාව ටිකක් හාස්‍යයට බර එකක්, ඕස්ට්‍රේලියානු හොල්මනක් ගැන. මම වැඩ කරපු බාලිකා පාසලක කැන්ටිම තිබ්බේ බිල්ඩිමක බේස්මන්ට් එකේ වගේ තැනක, පඩි කීපයක් බැහැලා යන්න ඕන. ඉස්කොලේ කවුරුත් නැති හවස් වරු/ රාත්‍රී කාලවලට මේ පඩිපෙළේ වාඩිවෙලා කැන්ටිම දිහා බලාගෙන දිග ගවුමක් ඇඳපු ගෑනු ළමයෙක් ඉන්න බවත්, කවුරුහරි එයාව දැක්ක සැණින් අතුරුදන් වෙන බවත් හවසට ඉස්කෝලේ පිරිසිදු කරන්න එන cleaners ලා කණ්ඩායම කීපවරක් ඉස්කෝලෙට දැනුම් දීලා තිබුණා. දවල් වරුවේ මේ 'ගෑනු ළමයා'ව දැක්ක කෙනෙක් නැති වුණත් මේක urban legend එකක් වගේ ඉස්කෝලේ කෙල්ලෝ අතරේ පැතිරුණේ විදුලි වේගෙන්. මේ කැන්ටිමෙන් lunch order එකක් දාලා ඒකෙ පමාවට බලාගෙන ඉන්න ආදි ශිෂ්‍යාවක් කියලා තමයි ස්ටාෆ් එකේ අපි නම් හිනාවුණේ. cleaners ලා ඔය වගේ දෙයක් හදලා කියයි කියලා හිතන්න අමාරු නිසා මේකේ මොකක් නමුත් ඇත්තක් තියෙන්න ඇති 

හතරවෙනි කතාවත් ඕස්ට්‍රේලියානු හොල්මනක් ගැන. රෝහලක වැඩ කරන මිත්‍රයෙක් රෑ වැඩමුරයක් ඉවර වෙලා underground car park එකට යන්න කොරිඩෝවක් දිගේ ඇවිදගෙන ගිහින්. රාත්‍රී කාලය නිසා පලාතම පාලුයිලු. එකපාරටම කොරිඩෝවේ එයාගේ ඉස්සරහින් තිබුණු දොරක් ඇරගෙන ටයි කෝට් දාලා ෆුල් සූට් ඇඳපු කෙනෙක් මතුවෙලා. සාමාන්‍යයෙන් එහෙම ඉස්සරහට හම්බවෙන අය ගැන වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ නැහැනේ. ඒත් මිතුරා ට ඒ මනුස්සයා දිහා බැලිලා තියෙන්නේ එයාගේ අසාමාන්‍ය උස නිසා. අඩි හයහමාරක් විතර උස ඒ මනුස්සයා තරමක් කුදු වෙලාත් ලු හිටියේ. ඒ වගේම ඒ මනුස්සයාගේ මූන දැක්කාම එයා බොහොමත්ම වයස බවක් පෙනුණාලු. ancient කියලා තමයි මිතුරා කිව්වේ. කොහොම හරි ඒ පුද්ගලයා මිතුරාව පහුකරගෙන කොරිඩෝවේ දිගට ඇවිදගෙන ගියාලු. ඒ වෙලාවේ ගානක් නැති වුණත් මිතුරාට පස්සේ තමයි හිතිලා තියෙන්නේ that was odd කියලා. පලවෙනි කාරණාව visiting hours පහුවෙලා නිසා ඒ අමුත්තෙක් වෙන්න බැහැ, හොඳටම වයස නිසා/යුනිෆෝම්, doctors' coat ඇඳගෙන නොහිටිය නිසා ස්ටාෆ් එකේ කෙනෙක් වෙන්න බැහැ. ලෙඩෙක් නම් ෆුල් සූට් ඇඳන් යන්නේ නැහැ. ඊළඟ දවසේ වැඩට ගිහින් මිතුරා හොයලා බලලා ඒ කොරිඩෝවේ තියෙන්නේ මොන අංශය ද කියලා. (එයා ඉස්පිරිතාලේ වෙනම පැත්තක වැඩකරන කෙනෙක්) එහෙම හොයද්දි ඒ මෝචරියට access කරන කොරිඩෝව බව දැනගෙන එයාට හීන් දාඩිය දැම්මා ලු! 


කොහොමහරි මේ කතා වලින් මට නම් හිතෙන්නේ හොල්මන් කියන්නේ බොහොම අහිංසක harmless ජාතියක් කියලා. එක්කෝ ජනේලෙක එල්ලිලා එහෙම නැත්නම් ඇවිදිමින්, වාඩිවෙලා හිටියට එයාලගෙන් කාටවත් කරදරයක් නැහැ. අපි තමයි මේ එයාලට බයවෙලා ජීවිතේ complicated කරගෙන තියෙන්නේ. හා නැද්ද?

පින්තූර දෙකම ජෙමිනි ට විස්තරේ කිව්වාම හදලා දුන්නේ. අපිට දැන් අපේම කියලා හොල්මන් රූපයක්, කොරල් තුමා කියන්නා වගේ හොල්මන් කතාවක් හදාගන්න පහසුකම් තියෙනවා නේද කියලා හිතුවම බයත් හිතෙනවා ටිකක්! 

තවත් හොල්මන් කතා කියවන්න:

බ්ලොග් පෙට්ටගමෙන් හොල්මන් කතා:


November 09, 2026

බාලිකාවට ආ භූතයෝ

හොල්මන් ගැන භූතයෝ ගැන බයෙන් බයෙන් වුණත් අහන්න අපි ස්වභාවයෙන්ම කැමතිනේ. බස්සාගේ බ්ලොග් එකේ හොල්මන් කතාවට මම කමෙන්ට් එකක් දැම්මා දෙලොවක් අතර බාලිකාවේ අපිට නම් හොල්මන් nothing කියලා. විහිලුවට කීවාට ඒකට ඇත්තම නිධාන කතාවකුත් තියෙනවා. භූතයන්ට බය නැති බාලිකාවන්ගේ වික්‍රමයක් තමයි මේ.

දෙලොවක් අතරේ බාලිකාව නොදන්නා කෙනෙක් නැතිව ඇති මයේ හිතේ. කාසල් මාතෘ රෝහලටත් බොරැල්ල කනත්තටත් මැදිවෙලා තියෙන දේවි බාලිකාවට ඒ කාලේ ඉඳන් පට බැඳුණු නම තමයි දෙලොවක් අතර බාලිකා. ඉතින් ඒකෙ ඉගෙනගත්තු අපට උපතත් විපතත් එකම දවසේ දකින්න ලැබුණේ අර තැන් දෙකට යන එන අය ඉස්කෝලේ ඉස්සරහින් එහෙට මෙහෙට ගිය නිසා. පුංචිම පුංචි මිනී පෙට්ටියක් අරගෙන රෝහලේ ඉඳන් පයින්ම කනත්තට යන මව්පියෝ දැකලා හිත කඩා වැටුණු දවසුත් තිබුණා. ඒවා ඉතින් අතුරු කතා. 

කනත්තට එහා වත්තේ නිසා ඉස්කෝලේ ගොඩනැගිලි වල උඩ තට්ටුවලට කනත්තේ මළ ගෙවල් වගේම ආදාහනාගාරය හොඳටම පෙනුණා. මේවා දැකලා දැකලා ඇත්තටම අපට ඒ කාලේ මරණයත් බොහොම සාමාන්‍යකරණය වෙලා තිබුණේ. ඒ නිසා වෙන්නැති එක කාලෙකදී අපේ පන්තිවල ළමයි විනොදෙට භූතයෝ ගෙන්නන සෙල්ලම කරන්න ගත්තේ. 

මේක වුණේ උසස් පෙළ පන්තිවලදී. අපේ පන්තියට එහා පන්තියේ කෙල්ලෙකුට 'භූතයෝ ගෙන්නන්න පුළුවන්' කියන රාවය පන්ති අතරේ පැතිරුණේ විදුලි වේගයෙන්. ඒ දවස්වල ඕනෑම non-academic වැඩකට එක පයින් සූදානම් වෙලා හිටිය අපි දෙසැරයක් නොහිතා මේ වැඩේට සම්බන්ධ වුණා. ඒ කාලේ මේවාට කියන හරි නම් දැනගෙන නොහිටියාට එතැන වුණේ Ouija board කියන වැඩේ. පරණ බ්‍රිස්ටල් බෝඩ් එකක රවුමට ඉංග්‍රීසි හෝඩියේ අකුරු ටිකත්, 1-9 ඉලක්කම් ටිකත්, yes/ no වචන දෙකත් ලියන එකයි මූලික පියවර. ඉන්පස්සේ බෝතලයක් මූඩියක් අරගෙන අර ගෑනු ළමයා (අපි එයාට මධුකා කියමු) මොනවදෝ ඒකට මුමුණනවා. ඉන්පස්සේ ඒ මූඩිය අර කොලේ උඩින් තියලා ඊට අඟල් දෙක තුනක් උඩින් මධුකා ඇඟිල්ල අල්ලාගෙන ඉන්නවා. මිත්‍රවරුනි, ඇස් දෙකෙන් දැක්ක නිසායි විස්වාස කළේ, එහෙම තිබ්බාම ඒ මූඩිය අර කොලේ උඩින් හැටට හැටේ දිව්වා! හිස් පන්ති කාමරයක, ලී ඩෙස්කුවක, කෙල්ලෝ විස්සක් තිහක් වටවෙලා ඉන්දැද්දී ඔය මූඩිය යටින් කාන්දමකින් ඇද්දාය, කම්බි දාලා ඇද්දාය කියන දේවල් කොහොමවත් ම වුණේ නැහැ කියලා මට සහතික වෙලා කියන්න පුළුවන්. මොකද ඒ ප්‍රොජෙක්ට් එකේ මුල ඉඳන් අගටම මම බලාගෙන හිටිය නිසා.

ඉතින් ඔහොම 'එන්නේ' භූතයෙක් හෙවත් මළ ගිය ප්‍රාණකාරයෙක් කියලා තමයි කට්ටිය කිව්වේ. ආව ගමන් භූතයා අර කොලේ වටේ බොහොම වේගෙන් රවුමක් දෙකක් යනවා. ඉන්පස්සේ තියෙන්නේ අපිට ප්‍රශ්න අහන්න. ඒ අහන ප්‍රශ්න වලට අර අකුරු, ඉලක්කම් yes/ no හරහා අර මූඩිය පාවිච්චි කරලා භූතයා උත්තර දෙනවා. අකුරෙන් අකුර දෙන උත්තරේ කවුරු හරි කඩදාසියක ලියාගන්න ඕන ඒ කියන වාක්‍යය හදාගන්න. ඕකට ඉතින් වෙලාව යනවා. ඒ නිසා "නම මොකක්ද?""මොන අවුරුද්දේද මැරුණේ?" "කොහෙද ගම?" වගේ දේවල් තමයි අපි වැඩියත්ම ඇහුවේ. 


ජෙමිනි දුන්නු Ouija Board එක 

ඉතින් කාලයක් තිස්සේ අපි free period එකක් ලැබුණොත් භූතයෝ ගෙන්නන වැඩේ කළා. හැබැයි මධුකා ට විතරයි ඒ 'ගෙන්නන' දක්ෂකම තිබුණේ. ඒ නිසා එයා තමයි ඒ කාලේ අපේ වීරවරිය. මේ වැඩේ මාරම විනෝදයක් මිසක් කිසි වෙලාවක අපට බයක් තිබ්බේ නැති බව නම් මතකයි. මළ ගිය ප්‍රාණකාරයෝ අතරත්  hierarchy එකක් තියෙන බවත්, වැඩියෙන් බලයක් තියෙන අය අවස්ථාව ලැබුණු ගමන් මනුස්ස ලෝකේ එක්ක සන්නිවේදනය කරන්න පොරකන බවත් මධුකා ම තමයි විස්තර කළේ. අපි මධුකාගේ මේ දැනුමත්, එයාගේ හැකියාවත් ප්‍රශ්න නොකළේ එයා බොහොම seriously ඒක කළ නිසා. එයා ඒවා දැනගත්තේ කොහොමද කියලා අදටත් අභිරහසක්.

මේ ආව 'භූතයෝ' අතරේ එක්කෙනෙක් දිගට දිගට විස්තර කිව්වා මට තාම මතකයි. එයා මෝටර් සයිකල් ඇක්සිඩන්ට් එකකින් මැරුණු බවත්, එයාගේ ගර්ල්ෆ්රෙන්ඩ් අපේ ඉස්කෝලේ බවත් තමයි එයා කිව්වේ. බලද්දී එයා ඒ කියලා තියෙන්නේ අසූ ගණන්වල ඉස්කෝලේ හිටිය කෙනෙක් ගැන. අසූ ගෙවිලා ඒ වෙද්දී අනූ වලත් මැදක් දුරට ඇවිත් කිව්වාට මෝටර්සයිකල් පෙම්වතා ට ඒක තේරුම් ගන්න අමාරු වුණා. එයාට කතාකරන්න ගෑනු ළමයා ගෙනත් දෙන්න කියලා තමයි නොකඩවාම ඉල්ලුවේ.

අපි වෙලාවක් අවේලාවක් නැතිව භූතයෝ ගේන සෙල්ලම කරලා, අන්තිමේ ඉතින් වෙන්න නියමිත විදිහටම  එයින් සෙෂන් එකක් මැද්දට ගුරුවරියක් අහම්බෙන් ඇවිත් අතටම අහු වෙලා, සෙට් එකම නඩු අහන්න ගෙනිහින්, දඬුවම් ලැබිලා, අපේ හෝම් මේඩ් Ouija board එක රාජසන්තක වෙලා යන්න වැඩි කාලයක් ගතවුණේ නැහැ. ඒකෙන් මේ සෙල්ලමට තිත තියන්න වුණා. අදටත් ඉඳහිට ඒ විස්තර මතක් වෙලා "මොකක්ද හැබෑට ඒ වුණේ?" කියලා කල්පනා වෙන වෙලාවල් තියෙනවා. ඇස් දෙකට දැක්ක නිසා මිසක් වෙන කෙනෙක් කිව්වා නම් මමත් මේ කතාව විස්වාස නොකරන බව ඒ එක්කම කියන්නත් වෙනවා! 

November 05, 2026

East of Eden - tv series and book

 John Steinbeck ගේ East of Eden පොත ඇසුරෙන් නිර්මාණය වුණු mini tv series එකක් තියන බව දැක්කාම වැඩිය චිත්‍රපටි නොබලන මටත් ඒක බලන්න හිතුණා. ඒ මම ඒ කතුවරයාගේ නිර්මාණ වලට බොහොම කැමති නිසා. Steinbeck ගේ Grapes of Wrath නවකතාව මම මුලින් කියෙව්වේ බොහොම ඉස්සර, teen වයසේදී. ඒ කාලෙදිත් ඒ කතාව මාව තදින් කම්පනය කළා. ඒ පොත කියවද්දී කෙනෙකුට අකුරු වලින් ඒ තරම් බරපතල හැඟීම් මවන්න පුළුවන් ද කියලා මට පුදුම හිතුණා. Steinbeckගේ Of Mice and Men පොතත්  Grapes of Wrath තරම් දිග නැතත් අන්තර්ගතය intense පොතක් බව මට තේරිලා තියෙනවා. 

මේ series එක බලන්න පටන් ගනිද්දී මම East of Eden පොත නම් කියවලා තිබුණේ නැහැ. පොතක් ඇසුරෙන් හැදුණු චිත්‍රපටියක් කියෙව්වාම පොත කියවන එක spoil වෙනවා කියලා මතයක් තියෙන නිසා දෙගිඩියාවෙන් බලන්න පටන් ගත්තත් මේ series එක මම බොහොම රසවින්දා. කතාව රූප මාධ්‍යයට හරවද්දී  Steinbeck ට අනන්‍ය සලකුණ රැකගෙන තියෙන බව පැහැදිලියි.

මේ series එක පදනම් වෙන්නේ එක පවුලක පරම්පරා දෙකක කතාවකින්. සහෝදරයන් අතරේ පියාගේ ආදරය දිනාගැනීමට තියෙන තරඟය, එකිනෙකාට ද්‍රෝහී වීම්, සිත් රිදීම් වලින් පටන්ගන්න මේ කතාව ඊළඟ පරම්පරාවට විහිදෙන්නේ තවත් බරපතල පෞද්ගලික, සමාජ ගැටළු එක්ක. මේ කතාව පුරාම හොඳ- නරක, good & evil කියන දේ ප්‍රශ්න කරන්න නරඹන්නා ව පොළඹවනවා. ඇඩම් සහ චාල්ස් කියන සහෝදරයෝ දෙන්නා ගැන වගේම අහම්බෙන් එයාලගේ ජීවිතයට එකතුවෙන කැතී නිසා එයාලගේ ජීවිත උඩු යටිකුරු වෙන හැටි අපූරු විදිහට මේකේ පෙළ ගස්වලා තියෙනවා. කැතී ගේ චරිතය මේ කතාවේ ප්‍රබල කොටසක්. කිසි පැකිලීමක් නැතිව 'නරකට' පෙළඹෙන, හෘද සාක්ෂිය නැති අය සමහරවිට ඒ ගතිගුණ උපතින් අරගෙන එන බවට කැතී හොඳ උදාහරණයක්.

     


විවිධ හැළ හැප්පිලි, මානසික කඩාවැටීම් අතරේ ගලාගෙන යන East of Eden කතා මාලාවේ තව වැදගත් මිනිස් බැඳීමක් ඉස්මතු කරනවා. ඒ තමයි මිතුරුකම. ඇඩම් ට්‍රාස්ක්ට ජීවිතයේ බොහෝ දේවල් අහිමි වුණත් ඔහුව 'ගොඩදාන්නේ' ඉතා සමීප ලෙන්ගතු මිතුරුකම්. ජීවිත කාලවලදී හැම කෙනෙකුටම ලැබෙන්න ඕන, විපතේදී අත ඇර යන්නේ නැති මේ වගේ මිතුරුකම් ම තමයි.

පළවෙනි ලෝක යුද්ධ කාලයේ ඇතිවුණු සමාජ ආර්ථික අර්බුද, ව්‍යාපාර අසාර්ථකවීම් සහ විවිධ moral dilemmas මේ කතාවේ යටිපෙළ හැටියට දිවෙනවා. ඒ යුගයේ ඇඳුම් පැළඳුම්, ගොඩනැගිලි, මඟ තොට පාරවල් එහෙම ප්‍රති නිර්මාණය කරන්න මේ නිර්මාණකරුවෝ ලොකු වෙහෙසක් දරලා තියෙන බව පැහැදිලියි. කොටස් හතක මේ mini series එක බලන්න වටිනා නිර්මාණයක්!

හරිනම් මේ විස්තරය මෙතැනින් ඉවර වෙන්න ඕන. ඒත් series එක බලලා ඇස් නිලංකාර වෙලා ඉන්දැද්දී මට ඕන වුණා පොත කොයි වගේද කියලා හොයලා බලන්න. පුස්තකාලයක වැඩ කරන එකේ වාසිය දැනෙන්නේ ඔය වෙලාවට තමයි. අන්තිම episode එක බලලා මම පස්සෙන්දාම පොත හොයාගෙන කියවන්න ගත්තා. එහෙම කියවද්දී මට තේරුණු පළවෙනිම කාරණාව තමයි පොතේ මූලික plot එකට tv series එකෙන් සෑහෙන සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙන බව. චිත්‍රපටියෙන් පොතේ සැකිල්ල අනුගමනය වෙලා තියෙනවා ලොකු deviations නැතිව. හැබැයි ඒ එක්කම මට හිතුණු දේ තමයි පොත එක්තරා විදිහකට මේ චිත්‍රපටියට හාත්පසින්ම වෙනස් කියන එක. අන්තර්ගතයෙන් නෙමෙයි, කතාව පටන් ගන්නා තැන, පෙළගැස්ම, ගලායාම වගේ දේවල් වලින්. සමහර කතා අග ඉඳලා මුලට කියන්නත් පුළුවන්, මුල  ඉඳලා අගට කියන්නත් පුළුවන් නේ. පොතක් කියවද්දී අපේ හිතේ විචිත්‍ර චිත්ත රූප මවන්න පුළුවන් ලේඛකයා අති දක්ෂයෙක්. පොත කියවද්දී මම කතාව දැනගෙන හිටියත් Steinbeck කියන්නේ කොයිතරම් දක්ෂ ලේඛකයෙක්ද කියන එක මට ආයෙත් වතාවක් තහවුරු වුණා. 

චිත්‍රපටිය නම් හොයාගෙන බලන්න පුළුවන් නේ කැමැත්තක් තියෙන කෙනෙකුට. ඒත් Steinbeckගේ ලියවිල්ල කියවන්න නොලැබුණු කෙනෙකුට රස බලන්න ඒ පොතෙන් පුංචි කොටසක් මම මෙතන උපුටනවා. මේ, මේ කතාවට පසුබිම් වුණු Salinas නිම්නය ගැන තියෙන දිග විස්තරයෙන් පුංචි කොටසක් විතරයි. 

On the wide level acres of the valley the topsoil lay deep and fertile. It required only a rich winter of rain to make it break forth in grass and flowers. The spring flowers in a wet year were unbelievable. The whole valley floor, and the foothills too, would be carpeted with lupins and poppies. Once a woman told me that colored flowers would seem more bright if you added a few white flowers to give the colors definition. Every petal of blue lupin is edged with white, so that a field of lupins is more blue than you can imagine. And mixed with these were splashes of California poppies. These too are of a burning color—not orange, not gold, but if pure gold were liquid and could raise a cream, that golden cream might be like the color of the poppies. When their season was over the yellow mustard came up and grew to a great height. When my grandfather came into the valley the mustard was so tall that a man on horseback showed only his head above the yellow flowers. On the uplands the grass would be strewn with buttercups, with hen-and-chickens, with black-centered yellow violets. And a little later in the season there would be red and yellow stands of Indian paintbrush. These were the flowers of the open places exposed to the sun.
Under the live oaks, shaded and dusky, the maidenhair flourished and gave a good smell, and under the mossy banks of the water courses whole clumps of five-fingered ferns and goldy-backs hung down. Then there were harebells, tiny lanterns, cream white and almost sinful looking, and these were so rare and magical that a child, finding one, felt singled out and special all day long.

මේ නවකතාව බයිබලයේ Cain සහ Abel දෙසොයුරන්ගේ කතාවේ සාරයත් එක්ක නිර්මාණය වුණු එකක් කියලා විචාරකයෝ කියනවා. කතාවේ ඇඩම්, ආදම් හැටියටත් කැතී ඒව හැටියටත් සැලකෙනවා. ඒ වගේම කතාවේ නම East of Eden ලැබෙන්නේ Cain අපරාධකාරයෙක් හැටියට //flees to the land of Nod, "east of Eden// කියලා බයිබලයේ සඳහන් වෙන නිසාලු. 

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ tv series එක අනිවාර්යයෙන් බලන්න, පොතත් පුළුවන් නම් හොයාගෙන කියවන්න, ඒ දෙක වෙනස්ම රසවත් අත්දැකීම් දෙකක් කියන එකයි. 


October 30, 2026

'සංගක්කාර පීපල්!'

පහුගිය දවසක අපි ඩුබායි නගරේ ඇවිදින අතරේ එහෙ පකිස්තානි restaurant එකකට කෑමට ගියා. සාමන්‍යයෙන් ඒ රටේදී අපේ පෙනුම දැක්ක ගමන් අපි ඉන්දියානුවෝ කියලා හිතලා හින්දි දන්න අය අපි එක්ක මුලින් කතාකරන්නෙ හින්දියෙන්. ඉතින් මේ restaurant එකේත් අපි ළඟට ආව වේටර් මහත්තයා, හම්සා, අපිට හින්දියෙන් කතා කරන්න පටන් ගත්තා.

අපට හින්දි බැරි බවත්, අපි ශ්‍රී ලංකන් බවත් කීවාම එකපාරටම හම්සාගෙ මූන ලස්සන හිනාවකින් එළිය උනා.

"ආ.. සිරි ලංකන්...සිරි ලංකන්... යූ ආ සංගක්කාර පීපල්!!' හම්සා සතුටින් කෑ ගැහුවේ menu එක ගැන විස්තර කියන එකත් අමතක කරලා.

බලද්දි හම්සා තද ක්‍රිකට් ෆෑන් කෙනෙක්. එයා ඉස්සර පකිස්තානෙදී නිතර ක්‍රිකට් මැච් බලන්න යනවාලු. ඒ ගිය එක වතාවක එයාට ක්‍රීඩකයෝ ළඟටම යන්න ලැබිලා. ඉතින් එයාලාව දෙවියො වගේ අදහන හම්සා එයින් කීපදෙනෙක් එක්ක පින්තූර ගන්න උත්සාහ කරලා. රටවල් කීපයක ක්‍රීඩකයන්ගෙන් ඇහුවත් ඒ කිසිකෙනෙක් ඊට කැමති වුණේ නෑලු. අන්තිමේදි හිනාවකින් හම්සා එක්ක සෙල්ෆියකට පෙනී ඉන්න ආවෙ සංගක්කාර විතරයිලු. මේ විස්තරේ හම්සා අපට කීවේ කැඩුණු ඉංග්‍රීසි, හින්දි, අරාබි එහෙම දාලා අතින් පයින් විස්තර කරමින්.

"සංගක්කාර ගුඩ් මෑන්. යූ සංගක්කාර පීපල්, ගුඩ් පීපල්" හම්සා අන්තිමට කීවෙ පපුවට අතක් තියාගෙන. හම්සාට ලංකාවෙ කෙනෙක් දැක්කාම සංගක්කාරගෙ නෑයෙක් දැක්ක තරම් අගේ බව එයාගෙ මූනෙන් අපට තේරුණා.

අවුරුදු ගාණකට ඉස්සර පකිස්තානයෙදි හම්සා එක්ක ගත්ත සෙල්ෆිය සංගාගෙ ජීවිතෙන් අංශුවක් තරම්වත් නැතිව ඇති. ඒත් ක්‍රිකට් ලෝලී හම්සාට ඒ තත්පරය ජීවිත කාලෙටම මතක හිටිය දිලිසෙන මොහොතක්. වැඩියත්ම අනෙත් ක්‍රීඩකයො එයා එක්ක පින්තූර ගන්න එක ප්‍රතික්ෂේප කළ නිසා. ලංකාව ගැනත්, ලංකාවෙ මිනිස්සු ගැනත් හොඳ සිතුවමක් හම්සාලාගෙ හිතේ මැවෙන්න ඒ වගේ මොහොතවල් ඇති.

ඉතින් සංගා නිසා පුංචි වෙලාවකට අපිටත් ඩුබායිවලදී 'සංගක්කාර පීපල්' වෙන්න ඉඩ ලැබුණා!



photo from a scene at the end of a cultural show, part of a desert safari


October 27, 2026

නම්

උපන් අලුත 
සති කීපයක් ගතවන තුරු 
ඈ ‘එලයිසා’ විය 
‘එලයිසා ලිලී’

නොබෝ දිනකින් එය ‘ලිල්’ ලෙස කෙටි විය 
ටික කලකින්, ඈ
‘බේකරි කඩේ ස්ටුවර්ඩ් මෙනවිය’ වූවාය  
ඉනික්බිති ‘මගේ ආදරිය’, ‘ඩාලිං’, ‘අම්මා’ යන නම් ලැබුණි 

තිස් වියේදී වැන්දඹු වූ ඈ 
යළි රැකියාවට ගියේ ‘හෑන්ඩ් මහත්මිය’ ලෙසිනි  
ඇගේ දියණිය වැඩී, විවාපත් වී, දරුවන් ලැබුවාය 
දැන් ඈ ‘අත්තම්මා’ ය
‘මට හැමෝම කියන්නේ අත්තම්මා කියලා’ ඈ අමුත්තන්ට කියන්නීය 
එබැවින් මිතුරන්, වෙළෙන්දන්, දොස්තරවරුන් ආදී හැම කෙනෙක්ම 
ඈට අත්තම්මා කීවෝය 

නමුත් මහලු අයට වෙන් වූ වාට්ටුවේදී 
භාවිත කළේ ලෙඩුන්ගේ උප්පැන්නයේ නම පමණි  
“ඇයට ‘ලිල්’ කියන්න, අපි කීවෙමු 
‘අත්තම්මා’ කියන්න”
නමුත් ඇගේ පෞද්ගලික විස්තර වල 
ඒ නම් සටහන් ව තිබුණේ නැත 

එබැවින් 
ඒ අවුල් සහගත 
අවසන් සති කීපයේදී 
නැවත වතාවක් 
ඈ ‘එලයිසා’ වූවාය 

Translation of the poem 'Names' by Wendy Cope
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 


Digital art





October 23, 2026

නිලැස් තරුණියගේ කඳුලු විල


"එකමත් එක කාලෙක, ඈත රටක, ලස්සන කඳු නිම්නයක සුරූපී තරුණියක් ජීවත් වුණා. දිලිසෙන රන් පැහැ හිසකෙස් සහ ගැඹුරු නිල් දෑසක් තිබුණු ඇයට පෙම්වතෙක් හිටියා. ඒ එඬේර තරුණයෙක්. ඔවුන් දෙදෙනා සඳ දිලිසෙන රාත්‍රී කාලවලදී කඳු වලින් වටවුණු ලස්සන විලක ඔරු පදින්න පුරුදු වෙලා හිටියා. මේ දෙදෙනා බොහොම සතුටින් කල් ගත කළා.

ඒත් දවසක් හරිම අවාසනාවන්ත දෙයක් වුණා. තණකොළ කපන්න උස් කඳු මුදුනකට ගිය එඬේර තරුණයා පය ලිස්සලා ප්‍රපාතයකට වැටිලා මැරුණා. මේ ආරංචිය අහලා තරුණිය ශෝකයෙන් උමතු වුණා. ඈ රාත්‍රී කාලවලදී ඔරුවක නැඟිලා ඇගේ පෙම්වතා එක්ක ඉස්සර සතුටින් කාලය ගත කළ විල මැදට යන්න පුරුදු වුණා. ඒ හැම වතාවකම ඈ කඳුලු ගංගාවක් හෙලුවා. අන්තිමේදී ශෝකය ට පැරදිලා බිඳුණු හදින් මියගිය ඈ, ඔරුව සමඟම දියබත් වුණා. 

ටික දවසකින් මේ විලේ පුදුම වෙනසක් සිදු වුණා. විලේ වතුර අමුතුම නිල් පැහැයකින් දිලිසෙන්න ගත්තා. ඒ, ඒ තරුණියගේ දෑසේ නිල් පැහැය. මරණයෙන් පවා පරාජය කළ නොහැකි ආදරයක මහිමය නිසා අදටත් ඒ විල අමුතු නිල් පැහැයකින් දිලිසෙනවා."


මේ ජන කතාව ස්විට්සර්ලන්තයේ Lake Blausee විලේ අරුම පුදුම නිල් පාට ගැන හැදුණු කතාවක්. දිලිසෙන නිල් පාටක් වගේම විනිවිද පේන පැහැදිලි වතුරක් තියෙන මේ විල අදහාගන්න බැරි තරමට ලස්සනයි. 

ස්විට්සර්ලන්තයේ Bernese Oberland කියන ප්‍රදේශයේ Kander Valley (Kandertal) නම් නිම්නයේ තමයි මේ විල පිහිටලා තියෙන්නේ. මීට අවුරුදු 15,000ට කළින් සිදුවුණු නාය යාමක් නිසා හෙක්ටයාර 20ක මේ ඉඩ නිර්මාණය වුණු බව කියවෙනවා. වටේම තියෙන බොහොම උස කඳුත්, ඒ බෑවුම් වල පේන තද කොළ පාටත් නිසා මේ පරිසරය තවත් ලස්සනයි. අපි යන කාලේ වෙද්දී මේ ගස් වල කොළ යන්තම් පාට වෙනස් වෙන්න ගත්තා විතරයි. සරත් කාලයට මේ අවට තවත් බොහොම ලස්සන ඇති. විල පතුලේ තියෙන හුණුගල් මිශ්‍ර පස ආලෝකය පරාවර්තනය කරන විදිහ නිසාලු ඇත්තටම මේ විලට මේ අමුතු නිල ලැබිලා තියෙන්නේ. ඒ වගේම ඒ විල් දියේ විනිවිද පේන ගතිය නිසා විල් පතුළේ තියෙන ගස් කඳන්, විලේ පීනන ට්‍රවුට් මාලු එහෙම බොහොම පැහැදිලිව පේනවා. විල් පතුළේ Raffael Fuchs නම් මූර්ති ශිල්පියා නිර්මාණය කළ තරුණියකගේ පිළිමයක් දකින්නත් පුළුවන්. ඒ අර ඉහත ජනප්‍රවාදේ තරුණියව සංකේතවත් කරන්න කළ නිර්මාණයක්.





Blausee විල බලන්න ගිය වෙලාවේ අපිට වීදුරු පතුල සහිත බෝට්ටුවක විල වටේ පොඩි සවාරියක් යන්න ලැබුණා. අපේ ඔරුව පැදවුවේ ටිකක් වයස 'ජොලි පොරක්'. ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ජර්මන් භාෂා ව්‍යක්තව හසුරවන්න දන්නා එයා අර මම කළින් ලීව ජනකතාව අපට කීවේ හරියට ඒ සිද්ධිය බලාගෙන හිටිය ගානට! භාෂා හතරක් කතාකරමින්, විහිලු තහළු කරමින් දහ දොළොස් දෙනෙක් ඉන්න බෝට්ටුවක් විලක් පුරා පදින්න ලේසි නැතිව ඇති. හැබැයි ඒ 'තරුණයා'ට නම් එහෙම වගක්වත් තිබුණේ නැහැ.




ස්විට්සර්ලන්තේ පැත්තේ රවුමක් යන කෙනෙකුට Interlaken ඉඳන් පැය බාගයක drive එකකින් මෙතැනට ළඟා වෙන්න පුළුවන්. public transport නම් ටිකක් සංකීර්ණයි, හැබැයි බැරි නැහැ. විල car park එකේ ඉඳන් ටිකක් එහායින් තියෙන නිසා ඒ අවට බොහොම නිස්කලංකයි. ඒකත් මෙතැන සුන්දර වෙන්න තවත් හේතුවක්. ගස් අතරින් ටික දුරක් ඇවිදගෙන යද්දී එකපාරට ඇස් ඉස්සරහා මැවෙන පුංචි සුරංගනා ලෝකයක් මේක! 




October 20, 2026

ටින් ටින් මුනගැහුණු දවස

පොඩි කාලෙ මම ටින් ටින් පොත් series එක කියෙව්වෙ පුදුම ආසාවකින්. ඒවායේ හාස්‍ය වගේම ළමයි ආස ත්‍රාසජනකබව හොඳ පදමට තිබුණා. ටින් ටින් කියන තරුණ පුවත් පත් වාර්තාකරුවා එයාගෙ බල්ලා ස්නෝවි සහ මිතුරා කැප්ටන් හැඩොක් එක්ක එක එක විදිහෙ වීර වික්‍රම කරපු හැටි, කරදර වල පැටලුණු හැටි ඒ කාලෙ අපි කියෙව්වෙ හුස්ම අල්ලාගෙන. තොම්සන්, තොම්ප්සන් රහස් පරීක්ෂක ඩබල, සිහි කල්පනාව අඩු ප්‍රොෆෙසර් කැල්කියුලස් වගේම උච්ච ස්වරයෙන් සින්දු කියන බියංකා කැස්ටර්ෆියුරේ එහෙම මේ කතාවලට තවත් පාට එකතු කළා. 


ටින් ටින් පොත් series එක නිර්මාණය කළේ බෙල්ජියන් ජාතික කාටුන් ශිල්පියෙක් වන Hergé හෙවත් Georges Remi. 1929 දී මුලින්ම එළි දැක්වුණු මේ පොත් මේ වෙද්දි භාෂා 70ට වඩා පරිවර්තනය වෙලා පිටපත් මිලියන 200ට වඩා විකිණිලා තියෙනවා. 



සංචාරයක් අතරතුරේදී මට අවස්ථාවක් ලැබුණා බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ටින් ටින් වෙනුවෙන් වෙන්වුණු licensed shop එකකට යන්න. මේක කඩයක් වගේම පොඩි කෞතුකාගාරයක්. ටින් ටින් පොත් මාලාවෙ එක එක ජවනිකා නිරූපණය කරන models මේකෙ තැන තැන හරි ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම එක එක වර්ගයේ ටින් ටින් සන්නාමයේ ලිපිද්‍රව්‍ය, souvenirs, tshirts වගේ දේවලුත් ටින් ටින් පොත් series එකත් මෙතනින් ගන්න පුලුවන්. තදබල ටින් ටින් ෆෑන් කෙනෙක් වුණු මගේ ඇතුලේ ඉන්න පොඩි ළමයා මේවා දැකලා පිස්සු වැටුණා. මේ හැම model එකකටම අදාළ කතාව, ජවනිකාව මතක් කරමින් මම එහෙ මෙහෙ දුවන හැටි බලලා පුතාටත් හිනා. පොත් පරම්පරාවේ අපි තරම් තාක්ෂණික පරම්පරාවේ එයාලට ටින් ටින් සමීප නැහැ ඉතින්. මම වැඩ කරන පුස්තකාලෙත් මේ පොත් සීරිස් එකම තිබුණත් ඉස්කෝලේ ළමයි නම් ඒ ගැන අපි තරම් උනන්දු නැහැ කියලා මම දැකලා තිබුණා. 

මේ කඩේට අමතරව බ්‍රසල්ස් අගනුවර තව තැනක උස ගොඩනැගිල්ලක බිත්තියක ටින් ටින් ගේ mural එකක් ඇඳලා තිබුණා. ඒකත් හරි ලස්සනයි. 


මම මේ රටේ දැක්ක විශේෂත්වයක් තමයි, ටින් ටින් කොයිතරම් ලෝක ප්‍රසිද්ධ වුණත් බෙල්ජියමේ ඒ නිර්මාණය තාම copyright නීති වලට යටත් නිසා ඊට ගරු කරලා ඒ රූප තියෙන බඩු විකුණන්න තියෙන්නෙ licensed කඩවල විතරයි. හැම හන්දියෙම ටින් ටින් ගෙ රූපෙ තියෙන ටීශර්ට්, පෝස්ට්කාඩ් දකින්න නැහැ. 

ඉතින් කොහොම හරි අන්තිමේදී මට දශක කීපයක් ආපස්සට ගිහින් ටින් ටින් පොත් පිස්සුවෙන් වගේ කියවපු කාලෙ මතක් කරගන්න වගේම ඒ වීරයාගේ නිමවුම්කරුගේ උපන් රට බලන්නත් වරමක් ලැබුණා!  

-pictures taken in the Tin Tin Store and at the Tin Tin Mural in Brussels, Belgium


August 28, 2026

පර්සි මා ඇහැරවයි



පොරෝනා යටට වී උණුසුම් ව 
රෑ පුරාම නිදා සිටි පර්සි,
මා අවදි වන්නට සූදානම් නැති වේලාවකදී 
මා ඇහැරවයි 

ඌ ක්‍රියාශීලී වීමට නොඉවසිල්ලෙනි  
මුලින්ම ඇවිදින්නට යාම, ඉන්ක්බිති පාතරාසය 

කුස්සියේ කවුන්ටරය උඩට නැගීම 
තහනම් බව දැන දැනම 
ඌ එහි හිඳ සිටී 

“ඔයා කොයිතරම් අපූරුද” මම කියමි 
“ඔයාට මාව උවමනා වුණු වෙලාවට ඇහැරවපු එක 
කොයිතරම් නුවණක්කාර ද!”

මේ ගැන බැනුමක් අසන්නට වේ යැයි 
සිතමින් සිටි පර්සි ගේ දෑස 
ගැඹුරින් දිලිසෙන්නට වේ 
තවත් අගය කිරීම් ලබන්නට 
ඌ සෝපාවට පනී 
කෙඳිරිගාමින් දඟලයි 

තමන්ට උවමනා දෙයක් කළ පසු 
ඊට කම් නැති බව ඌට අසන්නට ලැබී ඇත 
මම පර්සි ව අතගා සුරතල් කරමි 
මේ ‘කමක් නැති බව’ ඌ ව උමතු කර ඇත 

ඉනික්බිති අපි ඇවිදින්නට ගොස් 
පාතරාසය ගනිමු 
ඌ සතුටිනි 

මේ පර්සි ගැන කවියකි 
මඳක් කල්පනා කළහොත් 
මේ කවිය පර්සි ගැන පමණක් නොවේ  

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

translation of the poem 'Percy Wakes Me' by Mary Oliver 

 
Digital art

August 20, 2026

තදින්ම ප්‍රේම කළ අය

තදින්ම ප්‍රේම කළ අය
තම ප්‍රේමයන් ගැන නොදොඩති

ෆ්රැන්චෙස්කා, ග්වීනවියර්,
ඩෙයිඩ්රේ, ඉසූල්ට්, හෙලෝයිස්
ඉතිහාසයේත්, සාහිත්‍යයේත්
මේ වීරවරියෝ
දෙව්ලොව සුවඳවත් උද්‍යාන වල සැරිසරති
ඔවුන් පසුවන්නේ නිහඬවමයි
දොඩන්නේ නම් ඒ
සියුම්, නොවැදගත් දේ ගැනයි

එලෙසම
මා දන්නා ගැහැනියක්
තරුණ වියේ සිට
දෛවය හා ඔට්ටු වෙමින්
මානය හා සටන් වදිමින්
එක්තරා තරුණයෙකුට පමණක් පෙම් කළා ය
ඒ ගැන කිසිවිටෙක කිසිවක් නොකීවාය
එනමුදු අහම්බෙන් හෝ
ඔහුගේ නම ඇසුණහොත්
මොහොතකට
ඇගේ උවන මත
ආලෝකයක් විහිදෙනු පෙනුණි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Those who love most' by Sara Teasdale

Digital art



August 03, 2026

නුහුරු අලුත් ලෝකය



හස්රා සිං වගාවක හෝ වෙනත් සම්ප්‍රදායික ජීවනෝපායක නොයෙදුනත් ඉතා සුවපහසු ව ජීවත් වීම ගම්වැසියන්ට අභිරහසක් වී තිබිණි. නමුත් සත්‍යය දැන සිටි අය, හරක් හොරකමටත් නිවාස මංකොල්ල කෑමටත් ඔහුට තිබුණු විශේෂ හැකියාව අගය කළ අතර ඔවුහු ඒ ගැන ඔහු කියූ අන්දර රස වින්දෝය. 

ළමා පොත් වල නම් අවසානයේදී සොරුන් සිර ගෙවල් වලට කොටු වන නමුත් හස්රා සිං කිසිදිනක සිරගත වී තිබුණේ නැත. පොලීසියේ ඉන්ස්පෙක්ටර්වරයා කාලයෙන් කාලයට ගමට පැමිණ සියලු අපරාධකරුවන් පාසල් පිට්ටනියට එක් රැස් කර, ඔවුන්ට තඩි බෑවේ මට්ටු කිරීමේ අරමුණිනි. නමුත් මේ ගුටි ලබන කණ්ඩායමට හස්රා සිං කිසි දිනෙක අයත් වූයේ නැත. 

පොලිස් ඉන්ස්පෙක්ටර්වරයාගේ මේ ගමනේදී ඔහු පාසලේ නවාතැන්ගත් බැවින් එම වකවානුව අපට නිතැතින්ම නිවාඩු ලැබිණි. නමුත් පොලිසියට ඇති බිය නිසා අප ඒ කාලය තුළ නිවෙස් වලින් පිටතට ගියේ නැත. අප කළේ අපගේ නිවෙස් වල වහල මතට වී පාසල් පිට්ටනියේ තැලුම් ලබන අපරාධකරුවන්ගේ කෑ ගැසීම් වලට හොඳින් සවන් දීමයි. 

මෙවන් අවස්ථාවලදී හස්රා සිං සුදුම සුදු තලප්පාවක් බැඳ, පොලිස් ලොක්කා අසලින්ම අසුන්ගෙන ඔහු සමඟ සල්ලාපයේ යෙදෙන අයුරු හෝ ඒ මේ අත දුවමින් නිලධාරීන් ට සුවපහසුව සැලසීමට වෙහෙසෙන අයුරු දක්නට හැකි විය. 

හස්රා සිං සතුව තිබූ ඉඩකඩම් සියල්ල අඳ ගොවීන් ලවා වගා කෙරුණු අතර බැලූ බැල්මට නම් පෙනුණේ ඔහු කිසිම තැවුලක් හෝ වගකීමක් නොමැතිව ජීවත් වූ බවයි. ගම් වැසියෝ එදිනෙදා ඇන්දේ නිවෙස් වල වියන ලද රෙද්දෙන් මැසූ රළු ඇඳුම් ය. ඔවුන්ට නගරයෙන් මිළදී ගත් ඇඳුම් අඳින්නට ලැබුණේ කලාතුරකින්, උත්සව අවස්තාවලදී පමණි. නමුත් හස්රා සිං නම් නිරතුරුවම අගනා මස්ලින් රෙද්දෙන් තලප්පා බැඳ, යන්ත්‍ර වලින් වියන ලද කැලිකෝ රෙදි ඉන වටා දවටා සිටියේය. 

සමෘද්ධිමත් ජීවිතයක් ගෙවූ හස්රා සිං අවට ගම් වල වෙසෙන නෑ මිතුරන් බැහැ දකින්නට නිතර ගියේය. තම ගමේදීත් ඔහු ප්‍රභූ වැඩිහිටියන් සමඟ නිතර ගැවසුණු අතර ඒ එක්රැස් වීම් වල ඔහු ප්‍රධාන චරිතයක් විය. එකිනෙකට වෙනස් විවිධ දේ ගැන කතා කිරීමට ඔහුට දස්කමක් තිබිණි. උපතින්ම කතන්දරකරුවෙකු වූ ඔහු අසන්නන්ගේ අවධානය ඇද බැඳ ගනිමින් නෙක විස්තර සහ විහිලු කතා කියන්නට හපනෙකු විය.

හස්රා සිං කතා කරද්දී අසා සිටීමට, වැඩියත්ම ඔහුගේ වීර වික්‍රම ගැන ඇසීමට මම බෙහෙවින් ප්‍රිය කළෙමි. නගරයේ පාසලේ නිවාඩු කාලවලදී මා ගෙදර පැමිණ සිටි විට ඔහුගේ මේ විස්තරාත්මක කතන්දර ඇසීමට මම පුරුදු වී සිටියෙමි. හරක් හොරකමටත්, ගෙවල් බිඳීමටත් තමන් සතු ව තිබුණු දස්කම ගැන ඔහු ආඩම්බරයෙන් පසුවිය. ඒ අතරිනුත් ඔහු වඩාත් ප්‍රිය කළේ හරක් හොරකම බවත්, ඉන් ඔහුට මහත් ජයග්‍රාහී හැඟීමක් ලැබුණු බවත් ඔහුගේ කතාවෙන් වටහා ගැනීමට අපහසු වූයේ නැත. ඔහුට නම් එය සතුරු සේනාංක සමඟ සිදු කරන යුධමය ක්‍රියාන්විතයක් වැනි විය. අප එක්රැස් වූ විට ඔහු පරණ මතක අවුස්සන්නට පටන් ගනී.

“දවසක් මගේ නෑදෑ වෙන පුතෙක් ඇවිත් කිව්වා එයාට ගොන්නු දෙන්නෙක් උවමනා බව” ලී කොටයක් මත හිඳ, කෝටුවකින් පොළොවේ ඉරි අඳිමින් ඔහු දිනක් කීවේය. “අජ්නියන්වාලා පැත්තේ චතා පවුලට අයිති හරක් ජෝඩුවක් තමන් දැක්ක බවත්, තමන්ගේ ගොවිපොළට උන් දෙන්නාව ගෙනත් දෙන්න බැරිද කියලාත් තමයි එයා ඇහුවේ. මම කිව්වා චතා පවුල උගේ තාත්තාගේ යාලුවෝ නිසා ඒ මිනිස්සු හරක් දෙන්නා ව හොයාගෙන ආවොත් උන් ව ආපහු බාරදෙන්න සිද්ධ වෙන බව. කවදාහරි එහෙම ආපිට බාර දෙන්න වෙනවා නම් මම මේ හීතල රෑක ගිහින් මේකට මොකට මහන්සි වෙනවාද කියලා මම ඇහුවා. ඒත් කොල්ලා කිව්වා ඒ සත්තු දෙන්නාව කොහොම හරි ගෙනත් දුන්නොත් එයාට පරෙස්සම් කරගන්න පුළුවන් බව. අන්තිමේදී මම වැඩේ කරලා දෙන්න පොරොන්දු වුනා.”

“මේ සත්තු දෙන්නා හොරකම් කරන එක ලේසි වුණේ නැහැ. උන් මම මේ තරම් කාලෙකට දැකපු අපූරු ම, නුවණක්කාර ම හරක් දෙන්නෙක්. පොඩි හෙවනැල්ලකටත් උන් කලබල වෙනවා, ඒ වගේම එහෙම කලබල උනාම උන් ව අල්ලාගන්න හරිම අමාරුයි. ඒ වෙලාවට උන්ගේ බෙල්ලේ බැඳලා තිබුණු ගෙජ්ජි වල සද්දේ අයිතිකාරයන්ට ඇහෙන්නත් පුළුවන්.”

“මම යද්දීම හොඳ තණකොළ අහුරු දෙකක් අරන් ගියා. ඒක ඉව වැටිලා හරක් දෙන්නා මට බය වුණේ නැහැ, උන් මගේ දිහාවට බෙලි දික්කළා. උන් ව ආදරයෙන් අතගාලා මම හෙමින් සැරේ උන්ගේ බෙල්ලේ තිබුණු ගෙජ්ජි වැල් අයින් කළා. ඉන්පස්සේ මම එතැනින් පිට වෙලා එද්දී හරක් දෙන්නා මගේ පස්සෙන් ආවා. ඔය පළාතේ හැතැප්ම නමයක දහයක දුරක හැමෝම මේ හරක් ජෝඩුව අඳුරනවා. ඒ නිසා මම උන් දෙන්නාව මගේ වෙළඹ ගේ සෑදලේට ගැට ගහගෙන පිම්මේ ආවා. සාමාන්‍යයෙන් දුවන අශ්වයෙක් එක්ක මෙහෙම ගැට ගැහුවාම හොඳ වර්ගයේ හරක් නම් පස්සෙන් දුවගෙන එනවා. ඉර නැගෙද්දී මම හැතැප්ම විස්සක් විතර දුර ගෙවලා රනිකේ ගමට ළඟා වෙලා තිබුණා. හරක් දෙන්නාව උක් වගාවක ගැට ගහලා මම ටිකක් විවේක ගත්තා. කළුවර වැටෙද්දී ආයෙත් පිටත් වෙලා පස්සෙන්දා එළිවෙන්න කළින් මම මගේ ඥාති පුත්‍රයාගේ ගොවිපොළ ට ළඟා වුණා.”

“හැබැයි හරක් දෙන්නාගේ අයිතිකාරයෝ මගේ පස්සෙන් එළවමින් ඉඳලා තියෙන්නේ. දුවන සත්තු තුන්දෙනෙක් ගේ මඟ සලකුණු හොයන්න අමාරු නැති නිසා ඊට පහුවදාම එයාලා හරි තැනට හොයාගෙන ආවා. එයාලා ඒ ගොවිපොළේ හරක් ගාල් කරන තැන් හරියටම දැනගෙන හිටියා විතරක් නෙමෙයි උදව්වට තව සගයෝ කීප දෙනෙක්ම ගෙනත් තිබුණා. අන්තිමේදී මගේ ඥාති පුත්‍රයා පැරදිලා ඒ සත්තු දෙන්නා ආපිට බාරදුන්නා. මේ සිද්ධිය ගැන මට නම් තාම කේන්තියි. තමුසෙට ඒ සත්තුන්ව තියාගන්න තරම් එඩිතරකමක් නැත්නම් මොකටද මාව හීතල රෑ දෙකක් තිස්සේ මේ වැඩේට රස්තියාදු කළේ කියලා මම නිතරම උගෙන් අහනවා.”

හරක් හොරකම ත්‍රාසජනක වූවත් වඩාත් වාසිදායක වූයේ නිවෙස් මංකොල්ලාකෑම වූ අතර හස්රා සිං ඊටත් බෙහෙවින් දක්ෂ විය. ඔහුගේ පළමු ප්‍රතිපත්තිය වූයේ කිසිම හේතුවකට වත් ශබ්දයක් නොනැඟෙන සේ කටයුතු කිරීමයි. මේ සඳහා ඔහු උපායන් කිහිපයක් පාවිච්චි කළේය. ඕනෑම භාණ්ඩයක් රෙදි කඩකින් එතූ විට ඉන් නැඟෙන ශබ්දයෙන් බොහෝ ප්‍රමාණයක් ඊට උරා ගැනෙන බව ඔහු දැන සිටියේය. ඒ අවට ගම්මාන ඔහු ‘තමන්ගේ’ සහ ‘අනුන්ගේ’ ලෙස පැහැදිලි ව දෙවර්ගයකට බෙදා වෙන් කර තිබුණි. ‘තමන්ගේ’ ප්‍රදේශ වලින් කිසිවක් සොරා ගැනීමට ඔහු හීනයකින් වත් නොසිතූ අතර ‘අනුන්ගේ’ ප්‍රදේශ වලින් සොරාගැනීමට දෙවරක් කල්පනා කළේ නැත. නමුත් මේවා අතරින් ඔහුගේ හදවතට වඩාත් සමීප වූයේ කවර පෙදෙස්දැයි කීම අපහසු විය. ඒ හැම ගම්මානයකම මාවත් සහ අතුරු මාවත්, ලඳු දෙණි, ගංගා ඇළ දොළ ඔහු හොඳින් හැඳිනුවේය. මලින් මලට ගොස් පැණි බොන මී මැස්සා මුලු උද්‍යානයම තමන්ගේ ලෙස සලකන අයුරින් හස්රා සිං මේ ප්‍රදේශ දෙකොටසටම ආදරය කළේ ය. 

මංකොල්ලාකෑමට තමන් සතු දස්කම ගැන හස්රා සිං ආඩම්බර වූ අතර එය සඟවා ගැනීමට ඔහු මහන්සි වූයේ නැත. ඒ තරම් වේගයකින් සහ සූක්ෂම බවකින් කටයුතු කළ හැකි අය හිඟ බව ඔහුගේ විශ්වාසය විය. 

“මන්ගේවාලා ගමේ පොළී මුදලාලි වතාවක් හොඳ හයියට ගෙයක් හැදුවා.” ඔහු වරක් අපට කීවේය. “ඒකෙ පිටත බිත්ති සිමෙන්තියෙන් කපරාරු කරලා තිබුණු නිසා එයාලා හිතුවේ ඒවා කඩන්න බැහැ කියලා. මට දවසක් ආරංචි වුණා ඉඩමක උකසක් නිදහස් කරලා එයාට හොඳ සල්ලි ටිකක් ලැබිලා කියලා. ඒක තමයි මගේ නියම වෙලාව. අපේ කණ්ඩායමේ හතර දෙනෙක් හිටියා. ඒ ගේ ඉස්සරහා හතර දෙනෙක් නිදාගෙන හිටිය නිසා අපිට වැඩ කරන්න වුණේ ගේ පිටිපස්සෙන්. බිත්ති කඩන්න අමාරු බව දන්නා නිසා මම හිතුවා අත්තිවාරම හාරන්න. පාන්දර වෙනකම්ම හාරලා ගේ ඇතුලට ඇතුල්වෙන්න පුළුවන් වුණා. පුළුවන් දේවල් එකතුකරගෙන අපි ඉක්මණින් පැන ගත්තා. පස්සෙන්දා පොලිස් ඉන්ස්පෙක්ටර් ආවා පරීක්ෂා කරන්න. ඒ වෙලාවේ මාත් එතැන හිටියා. අත්තිවාරම හරහා හාරපු උමඟ දැකලා ඒ උපායශීලී බවත්, මහන්සියත් ඉන්ස්පෙක්ටර් අගය කළා. හොරාව අල්ලාගත්තොත් තමන් පෞද්ගලිකවම ඒ අගය කිරීම කරන්න ලෑස්ති බව ඒ මහත්තයා කීවා.”

නිවෙස් මංකොල්ලාකෑම සමඟ බැඳුණු අවදානම නිසා හස්රා සිං ට එය ක්‍රීඩාවක් බඳු විය. “ගේකට ඇතුල් වුණු පැත්තෙන්ම තමන්ට පිටවෙන්න ලැබේවි ද කියලා කවදාවත් හරියටම කළින් කියන්න බැහැ.” ඔහු කියයි. “මට නම් ඉතින් මිනිස්සු හතර පස් දෙනෙක් එක්ක සටන් කරන්න, හොඳට දුවන්න එහෙම පුළුවන් තමයි. ඒත් මේක බළලෙකුයි මීයෙකුයි අතර සටනක් වගේ.”

“වතාවක් අපි රෑක ගමක ගෙදරක් බින්දා. අපි දෙන්නෙක් බිත්ති හාරද්දී තව එකෙක් ව ඔත්තු බලන්න එළියේ තියලා තිබුණේ. මේ යකාට නින්ද ගිහිල්ලානේ. ඒ බව නොදැන අපි දෙන්නා දිගටම හාරමින් හිටියේ. ඔය අතරේ කවුරුහරි අපිව දැකලා වටපිට අයගෙන් උදවු ඉල්ලලා. අපි හෑරුව උමඟ දිගේ මම රිංගාගෙන ඇතුළට යද්දීම මට ඇහුණා බල්ලෝ බුරනවා. බලද්දී පාර පැත්තෙන් අපිව වටලලා තිබුණේ. උන් හිතුවා අපිට පිටවෙන්න වෙන ක්‍රමයක් නැහැ කියලා. හැබැයි අපි ගේ ඇතුළට ගිහින් තාප්පෙන් වෙන වත්තකට පැන්නා. ඔහොම ඔහොම ගිහින් බේරිලා ආවා. පස්සේ කාලෙක අපේ ගමේ මිනිස්සුන්ට ආරංචි වෙලා මේකට මං සම්බන්ධයි කියලා. ‘තමුසේ අපේ පෝසත් අසල්වැසියන්ගේ ගෙවල් බිඳලා තව පොඩ්ඩෙන් අහුවුණාලු නේද?’ උන් මට විහිලු කළා. එදා අහුවුණා නම් හැම දෙයක්ම ඉවර වෙන බව මට පිළිගන්න වුණා. මේවා ඉතින් වාසනාව අනුව තමයි වෙන්නේ!”

ඉන්දියාව දෙකඩ වන බෙදුම්වාදී ගිවිසුම සම්මත වූයේ මේ කාලයේදී ය. හස්රා සිං ට තමන් අඟලක් නෑර ආදරය කළ ගම්මාන, ගොවිපොළවල්, ඇළ වේලි සහ මංමාවත් අත හැර තවත් සරණාගතයින් පිරිසක් සමඟ කර්නාල් දේශ සීමාව හරහා වෙහෙසකර ගමනක යෙදෙන්නට සිදු විය. අලුත් පදිංචි පෙදෙසත් පන්ජාබයම  බවත්, මෙහි ත් ගම්මාන, නිවාස, ගොවිපොළවල් සහ ගංගාවල් ඇති බවත් හැම කෙනෙකුම කීවත් ඒ හැම දෙයක්ම ඔහුට පුරුදු පරිසරයට වඩා හාත්පසින්ම වෙනස් විය. මේ නීරස අවලස්සන ප්‍රදේශය ‘තමන්ගේ ගම’ ලෙස සලකන්නේ කෙලෙසද?

සති කීපයකට පසු මා ද එහි ළඟා විය. නැවතත් හස්රා සිං දකින තුරු මම ඇඟිලි ගනිමින් සිටියෙමි. වෙනස් වන, කැබලි වන ලෝකයක එකම ස්ථිර දේ ඔහු ලෙස මට හැඟිනි. නිසැකවම ඔහු පෙර සේ ම එඩිතර බවින්, උපායශීලී බවින්, වික්‍රමයට සූදානමින් සිටිනු ඇත. නමුත් මගේ සිතිවිල්ල වැරදි විය. සෙසු අප හැම සේ ම මුලිනුපුටා දමන ලද හස්රා සිං අතරමං වී සිටියේය. 

“මාමා ට නම් වෙනසක් නැහැනේ,” දිනක් මා ඔහුට කීවේ තාරුණ්‍යයේ අන්ධ බවින් යුතුවයි. “මාමා ත් ආණ්ඩුවේ නිලධාරී වගේනේ, එහෙදි වගේම මෙහෙදිත් රාජකාරි කරන්න පුළුවන් නේ”

“එහෙම වෙන්නේ කොහොමද පුතා?” ඔහු සෙමෙන් කීය. “මම මගේ සහෝදර ගම්වැසියන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද? එයාලගේ දුක් වේදනා මටත් දැනෙන්නේ නැද්ද?”

“ඒක ඇත්ත, හැබැයි මාමා දන්නා කලාවෙන් ඕනෑම තැනක සල්ලි හොයන්න පුළුවන් නේද?”

“ආ, ඒකද! නෑ නෑ එහෙම නෑ, ඇත්තටම ඒකෙ අනිත් පැත්ත තමයි වෙන්නේ,” හස්රා සිං ශෝකයෙන් හිස සැලීය. “මේ නුපුරුදු බිමේ මගේ අඩි වෙව්ලනවා. ඉතින් මම කොහොමද මෙහෙ කිසි දෙයක් කරන්නේ? මට මගේ පුරුදු ගම්මානේ ඇහැට හුරු දේවල්, කනට හුරු සද්ද, නෑ හිතවතුන්ගේ මූනු ඕන යමක් කරන්න. මෙහෙ මට කිසි දෙයක් කරන්න බැහැ” 

එතෙක් කාලයක් නීතියවත්, නීති විරෝධී ක්‍රියාවන් හි අනතුරුදායක බව වත්, බිය වත් හස්රා සිං ගේ චර්යාවට බාධාවක් නොකර තිබුණත් අලුතින් පදිංචි වූ නුහුරු අලුත් ලෝකය ඔහුව පරාජය කර තිබිණි. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the short story Strange New World by Kulwant Singh Virk
Translated from Punjabi to English by Harbans Singh


AI generated picture

July 11, 2026

තටු සලා පියඹන්න කතුන් හද දිරි වඩන සෙසීලියා අහර්න්


ජීවිතයේ එක්තරා යුගයකදී කෙනෙකු අතින් සිදුවූ වැරදීම් වෙනුවෙන් මුලු ජීවිත කාලයම කැප කර වන්දි ගෙවිය යුතු නැති බවත්, තමන්ගේ දෛවය තීරණය කරගත යුත්තේ තමාම බවත් අපට මතක් කර දෙන නිර්මාණයකි, සෙසීලියා අහර්න් ගේ ‘පේපර් හාට්’ නවකතාව. ග්‍රාමීය අයර්ලන්තය පසුබිම් කරගත් මෙම කතාව හදවතට සමීප, සරල භාෂා රටාවකින් ලියවී තිබේ. ඉන් විස්තර වන්නේ ළාබාල වියේදී වියවුල් රැසකට මුහුණ දී තම දිවිය ගැන තීරණ ගැනීමේ වරම අහිමි කරගත් ‘ෆිලිපා’ නම් තරුණිය, පසු කාලීනව තමන් වෙනුවෙන් පෙනී සිට සිය අනාගතයේ පාලනය සතු කරගත් ආකාරයයි. 

සෙසීලියා අහර්න් ලේඛිකාව මේ නවකතාව පුරාවට රූපක භාවිත කරමින් එහි විස්තරයට අලුත් මානයන් දෙන්නීය. ඔරිගමි කඩදාසි නිර්මාණයේ යෙදෙන මෙහි කතා නායිකාව තම සිත් රිදවීම් සහ රහස් සියල්ල ලියූ කඩදාසිවලින් හදවත් සහ විවිධ රූප සකසමින් සඟවා තබයි. පවුලක් තුළ පවා ඇයට දැනෙන තනිකම, අසරණ බව මේ සැඟවීම් තුළින් හුවා දැක්වේ. එමෙන්ම ඔවුන් වෙසෙන නිවසේ බිත්තියක ක්‍රමක්‍රමයෙන් පැතිරීයන ඉරිතැළීම, තමන් වටා පවතින දැඩි පාලනයෙන් මිදීමට ෆිලිපා ගේ ඇති කැමැත්තට සමගාමීව ඉස්මතු කර ඇත. මීට අමතරව කුඩා ගමකට සීමා වූ තරුණියකට ඉන් මිදී ලෝකය වෙත පියාසර කරන්නට මඟ පෙන්වන්නේ විශ්වය අධ්‍යයනය කරන නිරීක්ෂණාගාරයක සේවයේ නියුතු අයෙකු වීමද මෙම නවකතාවේ සුවිශේෂ ලක්ෂණයකි. 

‘පේපර් හාට්’ නවකතාවේ ප්‍රධාන චරිත වල මනෝභාවයන් ඔස්සේ සමාජයට පණිවිඩයක් දීමටද කතුවරිය උත්සාහ කර තිබේ. මෙහි ප්‍රධාන චරිතය වන ෆිලිපා, තාරුණ්‍යයේදී තමා අතින් වූ වරදක් නිසා නිරතුරුව දැඩි වරදකාරී බවකින් පෙළෙන තැනැත්තියකි. මේ හැඟීම අවියක් කරගනිමින් ඇයගේ පවුලේ සෙසු සාමාජිකයෝ ඇයට තම ජීවිතය පිළිබඳව තීරණ ගැනීමට ඉඩ නොදෙමින් ඇයව නිරතුරුව පාලනය කරති. ෆිලිපා ගේ මව ජෝසෆින් ද මේ කතාවේ ප්‍රබල, ආඥාදායක චරිතයකි. තමන්ට නිවැරදි ලෙස දැනෙන හැම දෙයක්ම සැබවින්ම ඒ ඒ අවස්ථාවට සුදුසුම දේ නොවන අතර ඉන් යහපතකට වඩා හානියක් වුව සිදුවිය හැකි බව ජෝසෆින් ගේ චරිතයේ දිගහැරුම අපට නිරතුරුව සිහි කැඳවයි.

‘පේපර් හාට්’ යනු හුදෙක් ආදර කතාවක්ම පමණක් නොව, තමන් වටා සමාජය සහ පවුල විසින් ඉදිකර ඇති අදෘශ්‍යමාන පවුරු බිඳ දමා, තමාගේ සැබෑ අනන්‍යතාවය සහ නිදහස සොයා යන ඕනෑම කාන්තාවකට දිරියක් සපයන, සර්වකාලීන වටිනාකමකින් යුතු විශිෂ්ට නිර්මාණයකි. බාධක මැඬ, ආදරය සහ මාතෘත්වය වෙනුවෙන් නැගී සිටීමට කිසිවිටකත් ප්‍රමාද නොමැති බව කතුවරිය මේ මඟින් අපූරු ලෙස පෙන්වා දෙයි.

අයර්ලන්තයේ උපන් සෙසීලියා අහර්න් වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි. විසිඑක්වෙනි වියේදී ප්‍රකාශයට පත් කළ ඇගේ පළමු නවකතාවත්, එම වසරේම පළ වූ ඇගේ දෙවෙනි නවකතාවත් පසු කාලීනව අති සාර්ථක සිනමා නිර්මාණ බවට පත් වීම නිසා ඇය අන්තර්ජාතික කීර්තියට පත් වූවාය. මේ වන විට සෙසීලියා අහර්න්ගේ නවකතා භාෂා 37කට පරිවර්තනය වී, පිටපත් මිලියන 25ක් පමණ අළෙවි වී ඇත. පේපර් හාට් ඇගේ විසි එක් වෙනි නවකතාවයි. 

සෙසීලියා අහර්න්ගේ නිර්මාණ සතු සුවිශේෂී ගුණයන් වන්නේ ඒවා තනිකම, ආදරය සහ බලාපොරොත්තුසහගත බව ආදී මිනිස් හැඟීම් ඉතා සූක්ෂම ලෙසත්, සංවේදී ලෙසත් ඉදිරිපත් කිරීමයි. "පේපර් හාට්" නවකතාව තුළින්ද ඇය එම සුපුරුදු ආකර්ෂණීය ශෛලිය මැනවින් පවත්වා ගෙන ඇත.

- හෙල්මලී ගුණතිලක 


Paper Heart- Cecilia Ahern (2025)
Harper Collins Publishers

සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය -12.07.2026

 


July 09, 2026

පත්‍රය සහ වලාකුළ





තනිකම රහසින් නුඹේ පසුපස එන විට
තණ පිටිය වෙත ගොස්
ලෝකයේ ක්‍රමවත් බව ගැන
කල්පනා කර බලන්න

ඔබේ මහපට ඇඟිල්ලක් තරම් වූ
ලා කොළ පැහැති හිම පළගැටියකුගේ
ටැම්බුරීන් නාදයට සමාන හඬ වැනි
ඔබ මින් පෙර කිසිදිනක අත්නොදුටු දෙයක් විඳින්න

ගිම්හාන වැස්සේ සරන
හමිංබර්ඩ් කුරුල්ලෙකු
තම තටු වලින් දිය බිඳු විසුරුවන අයුරු
ඇසි පිය නොහෙලා බලන්න

ශෝකයට
ඔබේ සොයුරිය වන්නට ඉඩ දෙන්න
එක්කෝ ඇය වියැකී යනු ඇත
නැතිනම් පවතිනු ඇත
කනස්සල්ල නම් දර කොටයෙන්
හරිත පත්‍ර සේ
අනලස් ව ඉහලට මතුවෙන්න

මෙලොව සුන්දරත්වය සඳහාත්
ජීවිතයේ වගකීම් සඳහාත්
එක් ජීවිත කාලයක් ප්‍රමාණවත් නොවේ

සොහොන් මත මල් විසුරුවා
ඉවතට යන්න
ඔබගේ ප්‍රහර්ශයෙදී
කාරුණික වන්න
අපිළිවෙල වන්න

ඔබේ මනසේ දිලිසුම අභියස
නිරහංකාර වන්න
ස්පෘශ්‍ය දේටත්, ප්‍රීතිය ගෙනෙන දේටත්
ස්තුතිවන්ත වන්න

කුරුමිනියකු සමඟ,
සුළඟ සමඟ
ජීවත් වන්න

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of part 12 of the poem 'Flare', from the poetry collection 'The Leaf and the Cloud' by Mary Oliver

Digital art


July 03, 2026

ටෝබමෝරි

 


එය සීතල, වැසි බර, අගෝස්තු මාසයේ දිනක් වූ අතර බ්ලෙම්ලි නිවසේ නවාතැන්ගෙන සිටි අමුත්තෝ සියලු දෙනා සන්ධ්‍යා තේ පානය වෙනුවෙන් රැස් වී සිටියහ. ඍතුවේ අලස ගතියක් පැවතුණත්, මේ සාදයට නියමිත හේතුවක් නොමැති වූවත්, ඒ කණ්ඩායමේ නම් කිසිම නොසන්සුන් බවක් දක්නට තිබුණේ නැත. ඔවුන් මුව අයා සම්පූර්ණ අවධානය යොමු කර සිටියේ රැස් වූ පිරිස අතර සිටි, තරමක් අවලස්සන පුද්ගලයෙකු වූ කොර්නේලියස් ඇපින් මහතා වෙතයි. මේ අමුත්තන්ට ආරාධනා කිරීමේදී බ්ලෙම්ලි ආර්යාවට පැහැදිලි විස්තරයක් නොලැබී තිබුණේ ඔහු ගැන පමණකි. ඔහු “නුවණැත්තෙකු” බව කවුරුන් හෝ පවසා තිබුණු අතර ඔහුට මේ ආරාධනාව ලැබුණේ මේ නුවණැති බව ඇසුරෙන් ඔහු සෙසු අමුත්තන්ට වින්දනයක් සපයනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එදින සන්ධ්‍යා තේ පානය දක්වාම ඇපින් මහතාගේ ‘නුවණැති බව’ කොයි අතකට විහිදුණු එකක්දැයි සොයාගැනීමට ඇයට හැකිවූයේ නැත. ඔහු විහිලු තහලු කීමටවත්, ක්‍රොකේ ක්‍රීඩාවටවත් දස්කම් නොපෙන්වූ අතර ඔහුට ආකර්ශණීය පෞරුෂයක් හෝ ආධුනික රංගන හැකියාවක්වත් තිබුණේ නැත. සාමාන්‍යයෙන් කාන්තාවන් තරමක් බුද්ධියෙන් අඩු පිරිමින්ට සමාව දුන්නත් ඔහු ඒ වර්ගයේ පුද්ගලයෙකු ද නොවිණි. නමුත් කොර්නේලියස් ඇපින් කියමින් සිටියේ ඔහු ලෝකය වෙත සුවිශේෂී සොයාගැනීමක් දායාද කර ඇති බවයි. ඔහු කීවේ ඔහුගේ සොයාගැනීම හා සසඳද්දී ඒ වෙද්දී කරලියේ පැවතුණු වෙඩි බෙහෙත්, මුද්‍රණ උපකරණ සහ දුම්රිය ආදී සොයාගැනීම් ක්ෂුද්‍ර ලෙස පෙනෙන බව සහ තම සොයාගැනීම විද්‍යාත්මක වර්ගයට වඩා හාස්කම් වර්ගයට අයත් වන බවයි. 

“දැන් ඔබතුමා අපට විශ්වාස කරන්න කියන්නේ ඔබ සත්තුන්ට මිනිස්සුන්ට වගේ කතාකරන්න ඉගැන්නුව බවත්, මේ ගෙදර බළලා ටෝබමෝරි ඔබේ පළමු සාර්ථක ශිෂ්‍යයා බවත් ද?” සර් විල්ෆ්‍රඩ් විමසුවේය. 

“මම පහුගිය අවුරුදු දාහතක් තිස්සේ මේ ගැන මහන්සි වුණා. හැබැයි මට ලොකු දියුණුවක් ලබන්න පුළුවන් වුණේ පහුගිය මාස හත අටේ තමයි. මම විවිධ සත්තු දාස් ගාණක් එක්ක පර්යේෂණ කළත් මෑත කාලේ වැඩ කළේ බළල්ලු එක්ක විතරයි. මම උන්ට කැමති උන් අපේ සමාජයට ඉතා හොඳින් අනුගත වුණත් උන්ගේ සංකීර්ණ කැලෑ ගති නැති කරගෙන නැති නිසා යි. මේ බළල්ලු අතරෙත් සමහර වෙලාවට මට මුණගැහෙනවා ඉතා උසස් බුද්ධියක් තියෙන උන්ව. ගිය සතියේ මට මෙහෙදී ටෝබමෝරි මුණගැහුනාම මට තේරුණා ඌත් ඒ වගේ උසස් බුද්ධියක් තියෙන බළලෙක් බව. ඒ නිසා මට බොහොම සාර්ථකව ඌ එක්ක මගේ පර්යේෂණය කරන්න පුළුවන් වුණා.”

ඇපින් මහතා ඉතා ආඩම්බරයෙන් කී මේ විස්තරය රැස් ව සිටි පිරිසට විශ්වාස කිරීමට දුෂ්කර වූවත් කිසිවෙකු ඊට එරෙහිව කිසිවක් කීවේ නැත. 

මඳ නිහැඬියාවකින් පසු රෙස්කර් මෙනවිය මෙසේ ඇසුවාය. 

“ඔබ කියන්නේ ඔබ ටෝබමෝරිට පොඩි පොඩි වචන කතා කරන්නත්, තේරුම් ගන්නත් ඉගැන්නුවා කියලාද?”

“රෙස්කර් මෙනවිය,” ඇපින් මහතා ඉවසිලිවන්තව කීවේය. “එහෙම සරල විදිහට උගන්වන්නේ පොඩි ළමයින්ටයි, මනසින් බාල අයටයි, නූගත් මිනිස්සුන්ටයිනේ. දියුණු නුවණක් තියෙන සතෙක් එක්ක ඒවගේ ප්‍රාථමික ක්‍රම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ටෝබමෝරිට ඉතා ව්‍යක්තව අපේ භාෂාව කතාකරන්න පුළුවන්.

“නරකද අපි ම මේකේ ඇත්ත නැත්ත හොයලා බැලුවොත්?” බ්ලෙම්ලි ආර්යාව යෝජනා කළා ය. 

මේ කතාබහ අතරේ ටෝබමෝරි විසිත්ත කාමරයට ඇතුලු වී, විල්ලුද ලූ පාද වලින් ගමන් කරනා සේ කිසිම කලබලයක්, තැකීමක් රහිතව, තේ මේසය වටා අසුන්ගෙන සිටි පිරිස වෙත ඇවිද ගියේය. කාමරයේ පැතිරුණේ දැඩි නිහඬ බවකි. ගෘහස්තව සුරතලෙකු ලෙස ඇතිකරන බළලෙකුට සමානයෙකුට ලෙසින් සලකා කතා කිරීමේ ලැජ්ජාවත් මේ නිහඬ බව තුළ ගැබ් ව තිබිණි.

“කිරි ටිකක් ඕනද ටෝබමෝරි?” බ්ලෙම්ලි ආර්යාව ප්‍රවේසම් කටහඬකින් කීවාය.

“තිබුණත් කමක් නැහැ,” උදාසීන කටහඬකින් පිළිතුරක් ලැබුණි. රැස් ව සිටි පිරිස අතරේ විශ්මයේ විදුලියක් පැතිරුණු අතර පීරිසියකට කිරි වත්කරමින් උන් බ්ලෙම්ලි ආර්යාවගේ අත මඳක් වෙව්ලනු පෙනුණි. 

“සමාවෙන්න මගේ අතින් කිරි ටිකක් ඉහිරුණා.” ඈ පසුතැවීමෙන් කීවාය. 

“ඒකට මොකද, ඔතැන තියෙන්නේ මගේ බුමුතුරුණක් නෙමෙයිනේ” ටෝබමෝරි පිළිතුරු දුන්නේය. 

නැවතත් කාමරයේ නිහඬතාවයක් පැතිරුණි. ඉනික්බිති රෙස්කර් මෙනවිය වැදගත් අමුත්තෙකු ලෙස හැසිරෙමින් මනුෂ්‍ය භාෂාව ඉගෙනුම දුෂ්කර වී දැයි බළලාගෙන් විමසුවාය. ටෝබමෝරි මොහොතක් ඈ දෙස එක එල්ලේ බලා ඉවත බලාගත්තේය. මෙවැනි කම්මැලි ප්‍රශ්න උගේ ජීවන දර්ශනයට පරිබාහිර බව පැහැදිලි විය. 

“මනුෂ්‍ය ඥානය ගැන ඔබ මොකද හිතන්නේ?” ඈ නැවතත් තරමක් මෝඩ ලෙසින් ඇසුවාය.

“හරියටම කොයි මනුස්සයා ගැනද ඔයා කියන්නේ?” ටෝබමෝරි හැඟීමක් රහිතව පිළිතුරු දුන්නේය.

“ආ.. උදාහරණයක් හැටියට මගේ,” මේවිස් යන්තමින් සිනාසෙමින් ඇසුවාය. 

“ඔයා මාව හරි අමාරුවකනේ දාන්නේ,” ටෝබමෝරි කීවේ කිසිම අමාරුවක වැටුණු අයෙකු ලෙසින් නොවේ. “ඔයාව මේ සාදයට එකතු කරගන්න අදහස ඉදිරිපත් වුණු වෙලාවේ සර් විල්ෆ්‍රඩ් නම් කීවේ එයා අඳුනන අයගෙන් ඔයා තමයි කිසි මොළයක් නැතිම කෙනා කියලා. ආගන්තුක සත්කාරය වෙනයි, මනස දුර්වල අයට සත්කාර කිරීම වෙනයි කියලාත් එයා කිව්වා. බ්ලෙම්ලි ආර්යාව නම් කීවේ ඔයාගේ මොළේ නැති කමම තමයි කියලා ඔයාට ආරාධනා කරන්න හේතුව කියලා. එයාලාගේ පරණ කාර් එක මිළ දී ගන්න තරම් මෝඩ එකම කෙනා ඔයා තමයි කියලාත් එයා කිව්වා.”

මෙය අසා බ්ලෙම්ලි ආර්යාව වහා වහා ඊට විරුද්ධ වූවත් එදිනම උදෑසන ඈ විසින් තම මෝටර් රථය මේවිස් ගේ ඩෙවොන්ශයර් හි නිවසට ගැලපෙනම දේ බව කියා තිබීම සිය අවාසියට හේතු විය.

මේ වෙලාවේ කතාව වෙනතකට හැරවීමට මේජර් බාර්ෆීල්ඩ් යුහුසුලු විය.

“එතකොට අර අශ්ව ගාලේ ඉන්න කහ-කලු වයිරම් බැළලි එක්ක තමුන්ගේ තියෙන ඇඟලුම්කම ගැන මොනවාද කියන්නේ?” 

නමුත් ඔහු ඒ ගැන කී සැණින් ඒ කතාවේ අනුවණකම හැම දෙනාටම වැටහිණි. 

“මේවා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ කතාකරන දේවල් නෙමෙයි,” ටෝබමෝරි සීතල හඬකින් කීවේය.

“ඔබතුමා මේ ගෙදර ගත කළ ටික කාලයේ හැසිරුණු විදිහ බලද්දී ඔබේ ඒ වගේ හැසිරීම් ගැන මම කතා කරන්න ගත්තොත් ඔබටත් යම් අපහසුතාවයක් දැනෙයි කියලා මට හිතෙනවා.”

මේ කතාවෙන් බියට පත් වූයේ මේජර් වරයා පමණක් නොවේ. 

“ටෝබමෝරි, කෝකියා ඔයාගේ රෑ කෑම ලෑස්ති කරලාද කියලා කුස්සියට ගිහින් බලනවාද?” බ්ලෙම්ලි ආර්යාව ඉක්මනින් කීවේ ටෝබමෝරි ගේ රාත්‍රී ආහාර වේලට තව අඩුම තරමේ පැය දෙකක් වත් ඇති බව අමතක කරමිනි. 

“ස්තූතියි,” ටෝබමෝරි කීවේය. “ඕන නැහැ, දැන් හවස තේ වේල පහුවුණා විතරයිනේ, මම කැමති නැහැ කෑම අජීර්ණයකින් මැරෙන්න.”

“බළලුන්ට පණ නමයක් තියෙනවා කියලානේ කියන්නේ” සර් විල්ෆ්‍රඩ් උද්යෝගයෙන් කීය.

“වෙන්න පුළුවන්,” ටෝබමෝරි පිළිතුරු දුන්නේය. “හැබැයි එක අක්මාවයි.”

 “ඇඩිලේඩ්!” කෝනෙට් මහත්මිය කීවාය. “ඔයා අදහස් කළේ මේ බළලා ට ගිහින් සේවකයෝ එක්ක අපි ගැන ඕපාදූප කියවන්න කියලාද?” 

මේ වෙද්දී පිරිස අතර මහත් බියක් පැතිරෙමින් තිබිණි. නිවසේ ඉහළ මාලයේ සියලු නිදන කාමර යා කරමින් එක් සඳළුතලයක් වූ අතර ටෝබමෝරි නිතර මෙහි ගැවසෙමින් එහි වූ පරෙවියන් නරඹමින් සිටි බවත්, ඒ අතරේ ඌ තවත් බොහෝ දේ දකින්නට ඉඩ තිබුණු බවත් හැමදෙනාටම සිහි විය. ටෝබමෝරි මේ ආකාරයට සිතූ දේ කියමින් නන් දොඩවන්නට වුවහොත් එහි ප්‍රතිපලය භයානක විය හැක. තම පැහැපත් පෙනුම ගැන නිතර උදම් ඇනූ කෝනෙට් මහත්මිය දවසෙන් වැඩි ප්‍රමාණයක් තම කැඩපත ඉදිරියේ වත්සුණු තවරමින් ගත කළ බැවින් ඇය මේජර්වරයා තරමටම වික්ෂිප්තව සිටියාය. අහිංසක ජීවිතයක් ගත කළත් රහසේ අනුරාගී කවි ලියූ ස්ක්‍රවෙන් මෙනෙවියගෙන් දිස් වූයේ නොරිස්සුමකි. තමන් කොතරම් අව ක්‍රියා කර ඇත්ද යත් ඒවා ගැන පසු තැවීම අතහැර තිබුණු බර්ටි වෑන් ටෑන් පවා මේ මොහොතේ ගාඩිනියා මලක් මෙන් සුදුමැලි විය. නමුත් අඩුම තරමේ ඔහු නම් ඔඩෝ ෆින්ස්බරි මෙන් විසිත්ත කාමරයෙන් පිටතට දිව ගියේ නැත. ෆින්ස්බරි තරුණ මහතා පූජකවරයට සූදානම් වෙමින් සිටි බැවින් අනුන්ගේ නින්දිත හැසිරීම් ගැන අසන්නට අකමැත්තක් ඔහුට තිබිණි. ක්ලොවිස් නම් බැලූ බැල්මට සන්සුන් පෙනුමෙන් සිටියත් ඔහු සිත ඇතුළෙන් ගණනය කරමින් සිටියේ කොතැනින් හෝ මීයන් තොගයක් මිළට ගෙන ටෝබමෝරිට අල්ලසක් ලෙස පිළිගන්වන ක්‍රමයයි. 

මෙවැනි සංවේදී මොහොතක පවා ඇග්නස් රෙස්කර් ට වැඩි වේලාවක් නිහඬ ව සිටින්නට නොහැකි විය.

“දෙයියනේ! මම මොකට ආවද මේ වගේ තැනකට?” ඈ නාට්‍යානුසාරීව කීවාය.

ටෝබමෝරි ඉක්මණින්ම ම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. 

“ඔයා අද උදේ කෝනෙට් මහත්මියට ක්‍රොකේ පිට්ටනියේදී කීව විදිහට නම් ඔයා මෙහෙ ආවේ කෑම නිසා. ඔයා බ්ලෙම්ලි ජෝඩුව හැඳින්නුවේ ඔයා දන්නා නීරස ම ජෝඩුව හැටියට. හැබැයි එයාලාට ඉස්තරම්ම කෝකියෙක් සේවයට ගන්න තරම් මොළයක් තිබුණු බව ඔයා කීවා. එහෙම නැත්නම් කිසි කෙනෙක් එක වතාවකට වඩා මෙහෙ එන්නේ නැහැ කියලාත් ඔයා කීවා.”

“මේ කතාව සම්පූර්ණ බොරුවක්! අහන්න කෝනෙට් මහත්මියගෙන්-” අපහසුතාවයට පත් ඇග්නස් කෑගැසුවාය.

“ඔයා ඒ කීව කතාව පස්සේ වෙලාවක කෝනෙට් මහත්මිය බර්ටි වෑන් ටෑන් ට කීවා.” ටෝබමෝරි දිගින් දිගටම කියන්නට විය. “ඔය ගෑනි මහා සාගිනි කාරියක්, පෙරේතියක්, කෑම වේල් හතරක් ලැබෙනවා කීවොත් ඕනෑම තැනකට යයි,’ කියලායි බර්ටි ඊට උත්තර දුන්නේ. ඊටපස්සේ-”

මේ මොහොතේදී හදිසියේම මේ කතාබහ ඇණ හිටියේ පල්ලියේ පියතුමාගේ සුරතලා වූ තැඹිලි පැහැති බළලා පඳුරු අතරින් අශ්ව ගාල වෙත යන අයුරු ටෝබමෝරි දුටු බැවිනි. එසැණින් ඌ දිව ගොස් විවර කවුළුවෙන් අතුරුදන් විය.

තම දීප්තිමත් සිසුවාගේ අතුරුදන් වීමත් සමඟ කොර්නේලියස් ඇපින් විවිධ කාංසාමය ප්‍රශ්න කිරීම්, අමිහිරි අවලාද සහ බියපත් ආයාචනා රැසකට මැදි විය. ඇතිවී තිබුණු තත්ත්වයට වගකිව යුතු වූයේ ඔහු වූ අතර එය තවත් බරපතල වීම වැළක්වීම ඔහුගේ යුතුකම බව කියැවිණි. ‘ටෝබමෝරිට තම භයානක හැකියාව අනෙත් බළලුන් වෙත ලබා දීමට හැකිද?’ මේ ඔහු වෙත යොමු වූ පළමු ප්‍රශ්නයයි. අශ්ව ගාලේ වෙසෙන සිය මිතුරිය සමඟ ටෝබමෝරි තම හැකියාව බෙදා ගැනීමට ඉඩ ඇති නමුත් ඉන් ඔබ්බට තවත් සතුන් වෙත මේ ඉගැන්වුම ව්‍යාප්ත කිරීමට ඔහුට කාලය නොලැබී ඇතැයි ඔහුගේ අදහස විය. 

“එහෙනම්” කෝනෙට් මහත්මිය කීවාය, “ටෝබමෝරි කොයිතරම් වටිනා බළලෙක් වුණත්, හොඳ සුරතලෙක් වුණත් කරන්න දෙයක් නැහැ. මං හිතනවා ඔයා මම කියන දේට එකඟ වෙයි කියලා ඇඩිලේඩ්, ඌයි අශ්ව ගාලේ බැළලියි දෙන්නාම නැති කරලා දාන්න ඕන” 

“ඔයා හිතන්නේ මම පහුගිය පැය කාල සතුටින් ගත කළා කියලාද?” බ්ලෙම්ලි ආර්යාව අසතුටින් කීවාය. “මේ දරුණු හැකියාව ලැබෙන්න කළින් මායි මගේ මහත්තයයි ටෝබමෝරිට හරි ආදරයෙන් හිටියේ. හැබැයි දැන් අපිටත් හිතෙනවා ඌ ව ඉක්මණින් විනාශ කරලා දාන්න ඕන බව”

“අපිට පුළුවන් උගේ රෑ කෑම එකට වස දාන්න,” සර් විල්ෆ්‍රඩ් කීවේය. “අශ්ව ගාලේ බැළලිව මමම ගිහින් වතුරේ ගිල්වන්නම්. අශ්ව කරත්තේ රියදුරා නම් බොහොම දුක්වෙයි තමන්ගේ සුරතලා නැතිවෙන එක ගැන, ඒත් මම කියන්නම් බෝවෙන කුෂ්ඨ රෝගයක් මේ බළලුන් දෙන්නාගෙන් පැතිරෙන නිසා ඒවා බල්ලන්ටත් බෝවෙන එක වලක්වන්න අපට මේක කරන්න වෙනවා කියලා.”

“ඒත් මගේ විශේෂ සොයාගැනීම!” ඇපින් මහතා විරෝධය පෑවේය, “මම අවුරුදු ගාණක් තිස්සේ ගවේෂණ, පර්යේෂණ කරලා ලබා ගත්ත ප්‍රතිපල--”

“ඔයාට පුළුවන් ගොවිපොළේ ඉන්න බැටළුවෝ එක්ක ඔයාගේ පරීක්ෂණය කරන්න, මොකද උන් පාලනයක් යටතේ නේ ඉන්නේ. නැත්නම් සත්වෝද්‍යානයට ගිහින් අලියෙක්ව තෝරාගන්න, උන්ට හොඳට මොළේ තියෙනවා කියලා කියනවානේ. අනික උන් නිදන කාමරවලට, මේස පුටු අස්සට රිංගන්න එන්නේ නැහැනේ.” කෝනෙට් මහත්මිය කීවාය. 

තම සුවිශේෂී ජයග්‍රහණයට ලැබුණු ප්‍රතිචාරය ගැන කොර්නේලියස් ඇපින් ගේ කලකිරීම අති මහත් විය. නමුත් පොදු මතය ඔහුට එරෙහි ව පැවතුණු අතර තවත් විරෝධය පෑවොත් තමන්ගේ රාත්‍රී කෑම වේලටද වස එකතු වීමට ඉඩ ඇති බව ඔහුට වැටහිණි.

බ්ලෙම්ලි නිවසේ නවාතැන්ගෙන සිටි අමුත්තන් මේ සිද්ධියෙන් අනතුරුව වහා විසිර ගියේ නැත. ඉක්මණින් දුම්රිය ගමන් සැලසුම් කර ගැනීමට නොහැකි වීමත්, මෙහි අවසානයක් දකින්නට ඇති බයාදු කැමැත්තත් මීට හේතු විය. කෙසේ වෙතත් එදින රාත්‍රී ආහාරය නම් සමාජානුයෝජනීය වශයෙන් අසාර්ථක එකක් විය. අශ්ව ගාලේ බැළලියත් උගේ හිමිකරුවා වූ රියදුරුත් නිසා සර් විල්ෆ්‍රඩ් ට විවිධ කරදර සිදු වී තිබූ බැවින් ඔහු පසුවූයේ නොසතුටිනි. ඇග්නස් රෙස්කර් තම රාත්‍රී ආහාර වේලට ගත්තේ කර කළ පාන් පෙත්තක් පමණක් වූ අතර ඈ එය හැපුවේ ඒ හතුරකු යැයි සිතා ඔහු ව විනාශ කරන විලසිනි. මේවිස් පෙලින්ටන් නම් පලිගැනීමකට බර නිහඬතාවයකින් මුලු ආහාර වේලම ගත කළාය. බ්ලෙම්ලි ආර්යාව පිරිස අතරේ කතාබහ අඛණ්ඩ ව පවත්වාගැනීමට උත්සාහ කළත් ඇගේ බැල්ම තිබුණේ දොරකඩ වෙතයි. හොඳින් වස කලවම් කරන ලද මාලු කැබලි කිහිපයක් පිඟානක බහා අසල මේසයක තබා තිබිණි. කෙසේ වෙතත් අතුරුපස ගෙනෙන වෙලාව වෙද්දීත් ටෝබමෝරි පෙනී සිටියේ නැත.

රාත්‍රී ආහාරයෙන් පසු අමුත්තෝ දුම් බොන කාමරයට රැස් වී බලා සිටින්නට විය. කාඩ් කුට්ටම් සෙල්ලමට ගැලපෙන මානසික මට්ටමක් කිසි කෙනෙකුට තිබුණේ නැති අතර සංගීතයට සවන් දීමත් අතහැර දමන ලදී. ගබඩා කාමරයේ කුඩා ජනේලය ටෝබමෝරි වෙනුවෙන් විවරව පවතින බවත් තමන්  නින්දට යන බවත් රාත්‍රී එකොළහ වෙද්දී නිවසේ සේවකයෝ දැනුම් දුන්හ. අමුත්තන් පැරණි බැඩ්මින්ටන් සඟරා කියවමින් කල් මැරූ අතර බ්ලෙම්ලි ආර්යාව වරින් වර ගබඩා කාමරයට ගොස් ආපිට පැමිණියේ කළකිරුණු මුහුණෙනි.

පාන්දර දෙකට ක්ලොවිස් නිහඬතාවය බින්දේය. 

“ඌ අද ගෙදර එන්නේ නැහැ. බොහෝ විට මේ මොහොතේ ඌ ඇත්තේ මේ පළාතේ පත්තර කන්තෝරුවේ, 

උගේ මතක ආවර්ජනාවල පළවෙනි කොටස පත්තරයට කියමින්. ඕක පළ වුණාම හොඳ ප්‍රසිද්ධියක් ලැබෙයි.” 

මෙසේ කියා සභාවේ නොසතුට තවත් වැඩිකළ ක්ලොවිස් ඉනික්බිති නින්දට ගියේය. සෙස්සෝ ද ක්‍රම ක්‍රමයෙන් ඔහු ව අනුගමනය කළහ. 

පසුදින උදෑසන තේ රැගෙන කාමර වෙත ගිය සේවකයන් තමන් වෙත නැඟුණු ප්‍රශ්නයට දුන්නේ එකම පිළිතුරකි, ඒ ටෝබමෝරි නැවත පැමිණ නැති බවයි. පාතරාසය ද පෙර දින රාත්‍රී ආහාර වේල මෙන් අප්‍රසන්නව ගෙවෙමින් තිබුණද එය අවසන් වීමට පෙර සුබ ආරංචියක් ලැබිණි. උද්‍යාන සේවකයෙකු විසින් මියගිය ටෝබමෝරි ගේ සිරුර රැගෙන ආවේ එය ගෙවත්තේ පඳුරු අතරේ තිබුණු බව පවසමිනි. උගේ ගෙල ප්‍රදේශයේ මාරාන්තික දත් පහරවල් තිබුණු අතර නිය අතර වූ තැඹිලි පැහැ ලෝම වලින් ඔප්පු වූයේ ඌ පල්ලියේ සුරතලා වූ විශාල තැඹිලි පැහැ බළලා හා සටන් කර පැරදී ඇති බවයි. 

එදින මධ්‍යහනය වෙද්දී සියලුම අමුත්තන් බ්ලෙම්ලි නිවසින් පිටව ගොස් තිබිණි. දිවා අහාරයෙන් පසු බ්ලෙම්ලි ආර්යාව තම සුරතලා ගේ මරණය ගැන චෝදනා කරමින් පල්ලියේ පූජකතුමාට අවලාද නඟා ලිපියක් ලිවීමට තරම් ප්‍රකෘතිමත් වී සිටියාය. 

ටෝබමෝරි, ඇපින් ගේ එකම සාර්ථක ගෝලයා වූ අතර ඉනික්බිති තවත් ගෝලයන් ඇති වීමට කටයුතු යෙදී තිබුණේ නැත. මීට සති කීපයකට පසු ඩ්‍රෙස්ඩෙන් සත්වෝද්‍යානයෙන් ලැබුණේ අමුතු ආරංචියකි. මීට පෙර කිසිවිටක දරුණු හැසිරීමක් නොපෙන්වූ අලියෙකු තම බැමි බිඳ ගොස් එක්තරා මනුෂ්‍යයෙකු මරා දමා ඇති බවත්, මීට හේතුව ඔහු විසින් ඒ අලියාට උසුළු විසුළු කළ නිසා බවට සැකකෙරෙන බවත් සැළ විය. මේ අනතුරට ගොදුරු වූ පුද්ගලයාගේ නම කොර්නේලියස් ඇපින් බවට වාර්තා විය.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Tobermory’ by Saki

AI Image