October 31, 2023

ගැලපීම්

ආත්මගත සහකරුවන් ගැන සහ දුටු සැණින් ප්‍රේමයෙන් බැඳීම ගැන මා තවදුරටත් විශ්වාස කළේ නැත. නමුත් ඔබ වාසනාවන්ත නම් කලාතුරකින් ඔබට නියමාකාරවම ගැලපෙන කෙනා මුණගැසෙන බව මා විශ්වාස කරන්නට පටන්ගෙන ඇත. මෙසේ ගැලපෙන්නේ ඔහුවත් ඔබවත් සර්ව සම්පූර්ණ නිසා නොවේ. ඒ, ඔබ වැනි වෙනස්ම දෙදෙනෙකු එලෙස මනාව පෑහීමට ඔබ දෙදෙනාගේ අඩුපාඩු වල එකතුව ඉඩ සැලසූ නිසා යි. 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of an excerpt of the book Blue-Eyed Devil by Lisa Kleypas

Digital painting


October 29, 2023

Anandi Gopal- Movie Review

 


Anandi Gopal (2019)

Director: Sameer Vidwans
Writer: Karan Shrikant Sharma
Stars: Bhagyashree MilindLalit PrabhakarSonia Albizuri

ආනන්දී ගෝපාල් කියන්නේ ඉන්දියාවෙන් බිහි වූ පලවෙනි බටහිර වෛද්‍ය විද්‍යා වෛද්‍යවරිය. 1865 දී උපන් ඇය ඉතාම ලාබාල වයසේදී ඇයගේ වයසට වඩා විසි වසරක් තරම් වයසින් වැඩි වැන්දඹු තරුණයෙක් සමඟ විවාහ කරනු ලබනවා. ගෝපාල් රාඕ ජෝෂි නම් ඔහුගේ රැකියාව තැපැල් කන්තෝරුවක ලිපිකාර තනතුරක්. නමුත් පොත්පත් කියවීමත් අධ්‍යාපනය ලැබීමත් ගැන ඉමහත් උනන්දුවක් දක්වන ඔහු තම ලාබාල බිරිඳ ට අධ්‍යාපනය ලබාදෙන්න වෙහෙසෙනවා. මේ යුගයේ ඉන්දියාවේ සමාජ පසුබිම ඔහුගේ මේ අරමුණට එරෙහිව බලවත් ව නැගී සිටියත් ගෝපාල් මින් පසු බාන්නේ නැහැ. 

සැමියාගේ තදබල උනන්දුවත් සහයෝගයත් නිසා ආනන්දී අධ්‍යාපනය ලැබීමටත්, ඉන් නොනැවතී වෛද්‍ය විද්‍යාව හැදෑරීමටත් යොමුවෙනවා. විවිධ බාධක මැද ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වාසනාව ලබන  ඇය 1886 දී නැවත ඉන්දියාවට පැමිණ එහි ප්‍රධාන රෝහලක කාන්තා වාට්ටුව භාර වෛද්‍යවරිය ලෙස පත්වීමක් ලබනවා. 

විදේශයක අධ්‍යාපනය ලැබීමටත්, බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලැබීමටත් වරම් ලද පළමු ඉන්දියානු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙන ආනන්දී ගෝපාල් ගැන සැකසුණු මේ චරිතාපදාන චිත්‍රපටිය අගය කළ යුතුයි. අතීත භාරතයේ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තිබුණු විවිධ වැට කඩොලු ගැනත් තනි මිනිසෙකුගේ අධිෂ්ඨානයෙන් ඒ බාධක බිඳ ජයගැනීමට කාන්තාවකට හැකි වූ අයුරුත් මනාව ඉන් පෙන්නුම් කෙරෙනවා. 

October 24, 2023

හඳුන්වාදීම්

අප ආදරය කරන ඇතැම් දේ
අපට මුණ ගැසෙන්නේ
පාරේ වැටුණු රන් කාසි පිරි පසුම්බියක්
මෙන් අහම්බෙනි
 
කවියක්, මිතුරෙක්, අපූරු ගීතයක්


සමහර දේවල්
වෙනත් දෙයක් සොයා
අප හෙම්බත් වූ විට
ඉබේම අපට නිරාවරණය වේ
 
කොළ පැහැති හේසල් ගස් ගොල්ලේ
සැඟවුණු ළිඳක්
නට් ගස් ගොමුවක්


තවත් සමහර දේ
දිලිසෙන දිය බඳුනක් සේ
අලුත පිළිස්සූ පාන් සේ
ප්‍රවේසමෙන්,
අප වෙත
රැගෙන එනු ලැබේ

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
Translation of the poem 'Introductions' by Moya Cannon 
Digital pinting



October 22, 2023

සාරි කතා (ශනිදා දහයට)

මේක ශනිදාවට සාරි කතාවක්.

මම මුලින්ම සාරි ඇන්දේ ඉස්කෝලේ සෝෂල් එකට. එතකොට වයස දහ අටක් විතර ඇති. ඒකාලේ fashion එක two colour cotton සාරි සහ cowl හැට්ට අත. නුහුරට සාරි ඇඳන් පේළියට හිටගෙන ගත්ත ඒ කාලේ පින්තුර මතක ඇතිව දැන් හංගලා තියෙන්නේ .

ඊටපස්සේ කැම්පස් යද්දී අපේ බෝඩිමේ රූමියෙක් හදිසියේම සෙකන්ඩ් ඉයර් එකේදී බැන්ද නිසා ආයෙත් සාරි අඳින්න වුණා. ඒ කාලේ ඉතින් හෝ ගාලා සාරි දෙකක් වගේ තමයි සන්තකේට තිබ්බේ. ඒ මගුල් ගෙදර ගැන මතක තියෙන්නේ දවසම සාරිය නොවැටී තබාගැනීමේ දුෂ්කර ක්‍රියාව. එදා ගත්ත පින්තූරත් අර කලින් පින්තූර එක්කම හංගලා තියෙනවා. අක්කලාගේ මඟුල් ගෙවල් වලට ඇන්ද නිසා ඊටපස්සේ සාරි ඇඳීමේ පොඩි හැකියාවක් මතු වුණා. මේ කාලේ වෙද්දී වැඩ දාපු ටිෂූ සාරි කරලියට ආව බව මතකයි. මේවාට ඇන්දේ වාටිවලට පබළු ඇල්ලුව හැට්ට. ඒ කාලේ බොහොම කෙට්ටුවට හිටිය අපි වගේ ගෑනු ළමයි අතරේ මේ ටිෂූ සාරි ජනප්‍රිය වුණේ ඒවා ඇන්දාම 'මහතට පේන' නිසා. එහෙම අරමුණකින් ඇඳුමක් ඇන්ද කාලයක් ගැන දැන් නම් හිතාගන්නත් බැහැ!

convocation එකට අඳින්න අම්මා අරන් දුන්න සාරිය තාම මගේ ළඟ තියෙනවා. ඒකත් beige and jade cotton සාරියක්.  ඒ කාලේ වෙද්දී යන්තම් සාරි දෙකක් තුනක් අයිතිය තිබ්බ මට බොහොම ඉක්මණින් ජීවිතේම සාරි බවට පත්වුණේ නොහිතුව විදිහට. කැම්පස් එකෙන් පිටවෙලා ටික කලකින් ලංකාවේ ප්‍රසිද්ධ ආයතන ජාලයක කොළඹට කිට්ටු ශාඛාවක මට රස්සාවක් ලැබුණා. මේ සතියේ ඉන්ටවීව් තිබිලා ලබන සතියේ ඉඳන් 'සාරි ඇඳන්' වැඩට එන්න කියපු රස්සාවක් ඒක. ඒ නිසා මට ඒ වෙනුවෙන් එකසැරේ සාරි දහයක් දොළහක් ගන්න සිද්ධ වුණා. ඒ දවස්වල අම්මා දිවා රෑ මට හැට්ට මැහුව බව මතකයි. ඉන්පස්සේ එළඹුණේ රෑට සාරි මදින, පාන්දර සාරි අඳින, සති අන්තවල සාරි හෝදන, වත්ත පුරා රෙදි වැල් බැඳලා සාරි වේලන කාලයක්. ඒ කාලෙත් මම ඇන්දේ cotton සහ handloom සාරි නිසා මේ හැම වැඩක්ම සංසාරේ තරම් දිගයි. ඒ තනිකඩ කාලේ- රස්සාවට යනවා එනවා ඇරෙන්න ගෙදර වෙන ලොකු වැඩක් නොතිබුණු නිසා මිසක් දැන් කාලෙක නම් ඔහොම දිග වැඩ කරන්න බැරිවෙයි.

මේ රස්සාව කරන කාලේ සාරි සම්බන්ධ මතක හිටින දේවල් දෙකක් වුණා. දෙකම factory visit අතරේදී. පළවෙනි එක factory floor එකක් හරහා යද්දී බිම තිබුණු grate එකකට මගේ සෙරෙප්පු අඩියක් අහුවෙලා කැඩිලා ගිය එක. සාරි අඳින හැමෝම දන්නවා අඩි උස සෙරෙප්පු නැති උනොත් සාරියේ වාටිය පෑගෙන බව. ඉතින් එදා දවසේ ඒ factory visit එකේ ඉතුරු ටික ගෙවුණේ එක අඩි උස සෙරෙප්පුවක්, එක කොට සෙරෙප්පුවක් සහ තිස්සෙම පෑගෙන සාරියක් එක්ක. දෙවෙනි එක factory visit එකක් ගිහින් ආපිට එද්දී. ගෙදර යන්න බස් එකක් ගන්න ලේසි වෙන්න මම අපි ගිය වෑන් එකෙන් ටවුන් හෝල් වලින් බැස්සා. එහෙම බහිද්දී ඒ වෑන් එකේ නවන සීට් එකක පැටලිලා මගේ සාරියේ පදාසයක් ඉරිලා ගියා. එදා මද්දහනක ඉරිලා එල්ලෙන සාරියක් එක්ක මම වරුවක් ටවුන් හෝල් බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා ඉතින්. මම බොහොම ආදරේ කරපු ඒ සාරිය එහෙම ඉරුණාට පස්සේ  විශ්‍රාම යවන්න වුණා.

ගෑනු අපිට කාගේ හරි මඟුල් ගෙදරකට ආරාධනාවක් ලැබෙනවා කියන්නේ ඒ එක්කම "මොකක්ද අඳින්නේ?" කියන සදාකාලික ගැටලුව මතු වෙනවා කියන එකනේ. එක වයසේ යාළුවො ඔක්කොම වගේ එක වකවානුවක බඳිද්දී මේක තවත් බරපතලයි. මේ හැම මඟුල් ගෙදරකටම එකම කට්ටිය එද්දී තත්ත්වය ශෝචනීයයි. මේ සාරි කතාවේ මමත් එක දිගට මඟුල් ගෙවල් වලට මෙහෙම සාරි ඇන්ද chapter එකකුත් ගතවුණා. මේ කාලේ නම් රස්සාවක් කරපු නිසා සාරි ශොපින් ගිහින් අත දිග ඇරලා වියදම් කරන එක අපේ විනෝදාංශයක් වෙලා තිබුණා. 

හැමදාම සාරි ම ඇන්ද මම බඳින දවසේ ඔසරියක් ඇන්දේ මාව හැඩ ගන්වපු කෙනාගේ උපදෙස් මත සුපුරුදු විදිහට 'මහතට පේන්න'. ඒත් එදා ඔසරියට එහෙම විශ්ව කර්මයක් වුණේ නැති නිසා ඔන්න ඔහේ එදාත් සාරි ම අඳින්න තිබුණා කියලා හිතෙන්නේ දැන් තමයි. දෙයියනේ කියලා එතැනින් එහාට මේ නිරන්තර සාරි ඇඳිල්ල ඉවර වුණේ ඉන්පස්සේ අපි පිටරට පදිංචියට ආව නිසා. කාලයක් තිස්සේ රස්සාවට අඳින්න ඕන නිසා මහන්සිවෙලා ආදරෙන් එකතුකරගත්ත මගේ සාරි එකතුව යාළුවො අතරේ බෙදලා දෙද්දී පොඩි දුකකුත් ලොකු නිදහසකුත් දැනුණා.

දැන් නම් මම සාරි අඳින්නේ බොහොම කලාතුරකින්. මෙල්බර්න් වලදී උත්සවයකට, මඟුල් ගෙදරකට සාරි අඳින්න යෙදෙන්නේ අවුරුද්දකට සැරයක් දෙකක් වගේ තමයි. දැන් ඉතින් ඉස්සර වගේ කොටුවේ සාරි කඩවල 'සාරි රස්තියාදු' නැහැ. හැට්ට මහන්න දැන් අම්මාත් නැහැ. ඒත් නිතර නොලැබෙන නිසා ද මන්දා දැන් ඉඳහිට සාරි අඳින්න ආසාවකුත් නැත්තේ නැහැ. ඔහොම තමයි ඉතින් ලෝක ස්වභාවය! 



photo - Ardy Arjun on Unsplash
(two colour cotton සාරි මේ වගේ තමයි. අපි ඇන්දේ මෙහෙම රත්තරන් පාටවල් නොතිබ්බ ඒවා)


October 18, 2023

මතකයේ හිඳිමි

මා කවරෙක්ද යන්නෙන් බිඳක් ඔබ තුළ රඳවාගෙන ඇති බැවින් ඔබට මා සිහිවේ. එහි තේරුම මා යම් සලකුණක් ඔබ තුළ ඉතිරි කර ගොස් ඇති බවයි. මේ නිසා අප අතර දුර නොගිණිය හැකි තරම් ගව් ගණනක් වූවත්, වසර ගණනක් වූවත්, ඔබේ සිත වෙත යළි යළිත් මා කැඳවා ගනු හැකිවනු ඇත. අප යළි මුණගැහුනොත් ඔබ මා හඳුනනු ඇත. මා මිය ගිය පසු ත් ඔබ හදවතින් මගේ මුහුණ දකින බවත්, මගේ කටහඬ අසන බවත්, මා හා පිළිසඳරේ යෙදෙන බවත් මම දනිමි.

ඔබට මා මතක ඇති තෙක් මා කිසිදාක මුළුමනින්ම මැකී යන්නේ නැත. 


පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


Translation of an excerpt from the book 'Whistling in the Dark: A Doubter's Dictionary' by Frederick Buechner 

Digital painting






October 15, 2023

මට ඉතිරිව ඇති දේ (ශනිදා දහයට)



ජීවීතේ කොයිතරම් කෙරුම් කළත් අන්තිමට ඉතිරි වුණේ මොනවාද කියලා හැමෝටම හිතෙන වෙලාවක් එනවානේ. සමහර වෙලාවට අපට ඉතුරු වුණු වටිනාම දේවල් වෙන කෙනෙකුට නම් කිසිම වැදගත්කමක් නැති දෙයක් වෙන්න පුළුවන්. මේ පූර්විකාව කවියක් හඳුන්වලා දෙන්නයි. 

සිංහලට පරිවර්තනය කරන්න පුළුවන් කවි හොයන්න මම නිතර ඉංග්‍රීසි කවි අතරේ චාරිකාවේ යෙදෙනවා. එහෙම යද්දී සමහර වෙලාවට හම්බවෙනවා සිංහලට පරිවර්තනය කළොත් වටිනාකම/ රසය අඩුවෙන කවි. ඒවා ආයාසයෙන් සිංහලට නොයෙදීම ඒවාට කරන ගෞරවයක් කියලා මම හිතනවා. Diana L Relles ගේ 'All I Have Left' කියන කවියත් ඒ වගේ එකක්. (ටිකක් දිගයි, සමාවෙලා අන්තිම වෙනකම්ම කියවන්න)

All I Have Left
Diana L Relles

A Polaroid of my childhood home.
split-level, screen door open

A single square of the blanket I was given at birth.
red and white gingham with tiny green leaves

A list of wishes written on yellow paper at summer camp when I was 14.
to love only one person
to be happy alone


Precise directions from Penn Station to my high school boyfriend’s apartment.
Pick up the M4 bus halfway down the street (there will be a deli on the right).

A printout of an AOL Instant Messenger exchange.
If, even after it ends, the friendship remains, protect that.

A rehearsed long-distance confession, scrawled in thick green marker.
Oh, and by the way—I’m still in love with you.

A transcript of the last talk with my grandfather in the days before he died.
It’s time. I think it’s time.

A pink Post-it note to the boy who wrote a poem titled “To the many women in my life, especially Dina.”
I have this fear that you do this with everyone. Is this really as special as I think?

The words to Simon & Garfunkel’s Bookends, emailed the night before graduation.
preserve your memories / they’re all that’s left you

An old horoscope.
You are extremely sentimental about the past and rarely discard old friendships.

A high school teacher’s handwritten inscription in a pocket copy of Garrison Keillor’s Truckstop and Other Lake Wobegon Stories.
May you remain as open and alive to the world as you are today.

The burgundy apron from the waitressing gig where I worked the early shift.
Flip the placard to OPEN, put up the first pot of coffee.

A note passed in philosophy class.
My right ear is fixed on whatever sound you make in the hope that one of your
movements will bring you closer to me.


Or carried through the mail.
I tried to hold you so tight, I’d never let you go. It didn’t work.

A paper menu from a date at the diner.
Friendly’s off Smithfield Road, North Providence

Jottings on jagged-edged paper to the boy who broke my heart.
You tamed me.

The key pouch for the room on campus where we made love.
Grad Center 421B

A list of memories handed to me on our last night.
sitting on telephone books on the fourth story fire escape
trying to get to the river

Mix tape liner notes from after he left.
With or Without You
Iowa

The Sweetest Thing

A letter never sent.
I hope we always know each other.

One from my father.
the elusive butterfly of love

And my mother.
Being too boy crazy doesn’t make for a well-rounded person, does it?

From one old love.
I’m sorry for leaving.

Or another.
Some part of me will always love you.

From a new friend.
I think we’re all longing for something.

And from the oldest.
I have quietly harbored feelings for you for quite a while now.

A pamphlet from St. Paul’s Cathedral.
Be near me, Lord Jesus; I ask thee to stay
Close by me forever, and love me I pray


Journal entry, October 2003.
The problem is I’ve always been able to love two or more people at a time.

A lyric in yellow ink on a wedding invitation.
Can you imagine us years from today,
Sharing a park bench quietly?


The hospital bracelet from birthing my firstborn.
baby boy of Dina Relles

And a Mother’s Day card from him years later.
You’re unique to me, even if you don’t know it.

The first draft of a chapter’s last line.
To love is to long for something lost or left behind.


මේ කවිය ලියලා තියෙන්නේ තමන්ට අකුරින් ඉතුරු වුණු දේ ගැන නේ. දේවල් හැටියට ගත්තත්, අපේ සන්තකයේ තියෙන, අපේ හදවතට බොහොමත්ම ළඟ දේවල් මොනවාද කියලා කල්පනා කරලා බැලුවොත් ඔබටත් පුදුම හිතේවි. මේ සටහන ඒ ගැන හිතන්න පොළඹවන්නයි. 

(චිත්‍රය ගැන පසු සටහන- අපට දැන් වසන්ත කාලේ. බැලූ බැලූ අත මල්. අපේ ගෙදර ජනේලයකින් පේනවා අසල්වැසි වත්තක මල් පිරුණු චෙරි ගහක්. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි සුන්දර පුංචි ලෝකයක් වගේ. සමහර වෙලාවට මේ කවියේ තියෙන පුංචි දේවල් වගේම අපට අයිතිවත් නැති දෙයක් අපේ හිත් සුන්දරත්වයෙන් පුරවන්න පුළුවන්. )

'ශනිදා දහය' බ්ලොග් පෝස්ට් වැඩේ පටන් ගත්ත බ්ලොග් මිතුරු කැළ ට ජයවේවා! මටත් ආරාධනා කළාට ස්තූතියි. ලංකාවෙන් පිට ඉන්න අපෙන් නම් ලැබෙන්නේ schedule කරපු පෝස්ට් හැබැයි! :) 


Digital painting


October 12, 2023

නන්නාඳුනන්නා වෙතට

 "කෙතරම් අරුමයක්ද? ඔබ මට ආදරය කළේය. නමුත් දැන් ඔබ මගේ රහස් සියල්ල දන්නා නන්නාඳුනන්නෙක් පමණි" 


Translation of a note by Clementine von Radics

පරිවර්තනය හෙල්මලී ගුණතිලක

Digital painting





October 09, 2023

තහනම් කළ පොත් සතිය (Banned Books Week) 2023

ඔක්තෝම්බර් මාසයේ පළමු සතිය තහනම් කළ පොත් සතිය (Banned Books Week) හැටියට ලොව පුරා සමරනවා. ඉතිහාසය පුරාම විවිධ හේතු වලට විවිධ වර්ගයේ පොත් පත් බලධාරීන් විසින් තහනම් කරලා තියෙන අතර අදටත් මේ වගේ වාරණ ගැන අහන්න ලැබෙනවා. මේ ගැන කතාකරන සතියක් නම් කිරීමේ අදහස කියවීමේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන ජනතාව දැනුවත් කරන්නයි.  Banned Books සමරන සතිය පුරාවටම ලොව පුරා පුස්තකාල වල මේ ගැන තොරතුරු ප්‍රදර්ශනය කරනවා.

පාඨකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ සමහර පොත්පත් එක්තරා කාලයක, එක්තරා රටක/ ප්‍රාන්තයක තහනම් වුණු බව අහන්න ලැබෙන එක සමහරවෙලාවට පුදුමයට කාරණාවක්. පහතින් තියෙන්නේ ඉන් අතලොස්සක් විතරයි.


To Kill a Mockingbird- Harper Lee

මේ පොතෙන් වර්ගවාදය ඇවිස්සෙන බවත් එය කියවීමෙන් පාසල්වල නීග්‍රෝ සම්භවයක් ඇති සිසුන් අපහසුතාවයට පත්විය හැකි බවත් ඉස්මතු කරමින් ඇමෙරිකාවේ කැලිෆෝනියා සිට මිසිසිපි දක්වා පාසල් කලාපවල මෙය මුලින්ම තහනම් කළේ 1966දී.


Of Mice and Men- John Steinback (1937

මේ පොත තහනම් කෙරුණේ වර්ගවාදය ඇවිස්සීම, පරුෂ වචන භාවිතය සහ කතාවේදී ස්ත්‍රීන් කෙරෙහි දක්වන රළු බව නිසායි. 1936දී පොත ප්‍රකාශයට පත් කළ වකවානුවේ පටන් මේ දක්වා 54 වතාවක් මෙය තහනම් කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණත් අදටත් බොහෝ පාසල්වල මෙය නිර්දේශිත පොතක් හැටියට නම් කර තිබෙනවා. 


Harry Potter Series- J K Rowlings (1997-2007)

ලොව පුරාම පාඨකයන් ආදරයෙන් වැළඳ ගත්  හැරී පොටර් කතා මාලාවත් ඇතැම් රටවල/පාසල්වල තහනම් කෙරුණේ එහි අඩංගු මන්තර සහ මායා බලයන් ආගමට පටහැනි බව හේතු හැටියට දක්වමින්. මේ කතා මාලාවේ පළමු පොත නිකුත් වූ අලුතම මේ තහනම ප්‍රකාශයට පත් කෙරුණත් කතුවරිය ඉන් අධෛර්යමත් නොවී ඉතිරි පොත් ද ලියා අවසන් කර බෙහෙවින්ම ජනප්‍රිය වුණා. 


Charlotte's Web- E. B White (1952)

1952 දී මුල්වරට ප්‍රකාශයට පත් වූ මේ පොත කුඩා දැරියකගේ මිතුරු සතුන් ගැන ලියවුණු ළමා කතාවක්. මේ පොත ඇමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ පාසල් පුස්තකාලයක  තහනම් කිරීමට හේතු වුණේ එහි එන සතුන් කතා කිරීම දෙවියන් වහන්සේ විසින් කළ මැවීම් වලට පටහැනි නිසායි.  මේ හේතුව මතම කුඩා දරුවන්ගේ අතර අදටත් බෙහෙවින්ම ජනප්‍රිය A A Milne ගේ Winne the Pooh (1926) කතා මාලාව ද අතීතයේදී තහනම් කර තිබෙනවා 


Thirteen Reasons Why- Jay Asher (2007)

මේ පොත මෑත යුගයේදී යොවුන් පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය වුනු අතර එය Netflix රුපවාහිනී කතා මාලාවක් බවටද හැරවුණා. මේ පොත තහනම් කිරීමට යෝජනා කෙරුණේ එහි දිවි හානි කර ගැනීම්, මත්ද්‍රව්‍ය භාවිතය ආදී තේමා ඇති නිසයි. මේ පොත 2010- 2019 කාලයේදී ඇමෙරිකාවේ වැඩියෙන්ම තහනම් කෙරුණු පොත් අතරින් එකක්.

වාරණයකින් තොරව කියවීමට, තොරතුරු ලබාගැනීමට නිදහස තිබීම කොයිතරම් වටිනා දෙයක්ද යන්න සිහි කරගැනීමට වාර්ෂිකව පැවැත්වෙන තහනම් පොත් සැමරීමේ සතිය අපට වැදගත්. 

https://bannedbooksweek.org/about/

Photos- Banned Books Week Display at a school library in Melbourne









October 05, 2023

කල් තියා ආ හේමන්තය


ඔවුන් ආදරයෙන් බැඳී සිටියේ බිල් බෙහෙවින්ම තරුණ වයසේදී ය. එකල ඔවුහු එක්ව ඇවිදිමින්, කතාකරමින් බොහෝ සන්ධ්‍යාවන් ගෙවූ හ. එහෙත් එක්තරා කාලයකදී නොවැදගත් දෙයකට අමනාප වූ දෙදෙනා ඉන් අනතුරුව කතා කළේ නැත. තමන් ආදරය කළා යැයි ඈ සිතූ කෙනෙක් සමඟ ඈ හදිසියේ ම විවාහ වූවා ය. ගැහැනුන් ගැන කලකිරීමට පත් වූ බිල් දුරක යන්නට ගියේ ය.

ඊයේ වොෂින්ටන් චතුරශ්‍රයේ ඇවිදිද්දී ඇය ඔහුව දුටුවේ වසර ගණනකට පසුවයි.

“බිල් වෝකර්,” ඈ කීවා ය.

ඔහු නතර වූයේය. ඈ වයස්ගත වී ඇති බවක් පෙනුණු නිසා මුලදී ඔහු ඇය ව හඳුනා ගත්තේ නැත.

“මේරි! ඔයා කොහෙන්ද මෙතැනට ආවේ?”

ඈ නොසිතා ම හාදුවක් ලබන්නට මෙන් තම මුහුණ ඔහු වෙත පෑ නමුත් ඔහු අතට අත දෙන්නට තම අත ඇය වෙත දිගු කළේය. ඇය එය ගෙන ඔහුට ආචාර කළා ය.

“මම දැන් ඉන්නේ නිව් යෝක් වල,” ඈ කීවා ය.

“ආ” - ඔහු ආචාරශීලී ලෙස සිනාසුණේ ය. හදිසියේම ඔහුගේ නළල රැළි වනු පෙනුණි.

“ඔයාට මොකද වුණේ කියලා මම නිතර කල්පනා කළා බිල්.”

“මම දැන් නීතිඥයෙක්. නගරයේ සමාගමක වැඩකරන්නේ.”

“බැඳලා ද?

“ඔව්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා.”

“ආ..” ඇය කීවා ය.

ඒ උද්‍යානය හරහා ඔවුන් පසු කර නාඳුණන බොහෝ අය ගමන් කළහ. සන්ධ්‍යාව ගෙවෙමින් තිබිණි. ශීතලක් පැතිරිණි.

“ඔයාගේ මහත්තයා?” ඔහු ඇසීය.

“අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මම කොලම්බියා විශ්ව විද්‍යාලයේ මුදල් අංශයේ වැඩකරන්නේ.”

“ඔයා සෑහෙන්න… (ඔහුට වුවමනා වූයේ ඈ වියපත් ව ඇති බව කියන්නයි) … හොඳින් බව පේනවා” ඔහු කීවේ ය.

ඇයට එය වැටහිණි. වොෂින්ටන් චතුරශ්‍රයේ විශාල ගස් පෙළ යට සිටිමින් ම තමන් බලාපොරොත්තු සුන් වූ සිතින් අතීතය වෙත දිව යනු ඇයට දැනුණි. ඔහයෝ නගරයේදී ඔවුන් මුණ ගැසෙද්දී ඈ ඔහුට වඩා වයසින් වැඩි ය. දැන් ඇගේ තාරුණ්‍ය ගෙවී තිබිණි. බිල් තවමත් තරුණ ය.

“අපි සෙන්ට්‍රල් පාක්වල බටහිර පැත්තේ ඉන්නේ,” ඈ කීවා ය. “වෙලාවක එන්න අපිව බලන්න”

“හරි,” ඔහු පිළිතුරු දුන්නේ ය. “ඔයාත් වෙලාවක මහත්තයා එක්ක එන්න ඕන අපේ පවුලේ අයත් එක්ක රෑ කෑමකට. ඕන දවසක එන්න, ලුසීලුයි මායි බොහොම සතුටුයි ඔයාලා එනවානම්.”

චතුරශ්‍රයේ වූ ගස් වලින් සෙමෙන් පත්‍ර ගිලිහුණේ සුළඟක් පවා නොමැතිවයි. එය ශාරදයේ සන්ධ්‍යාවක් විය. ඇයට තරමක අසනීප ගතියක් දැනුණි.

“අපි බොහොම සතුටින් ඒ ආරාධනාව පිළිගන්නම්.”

“ඔයාට මගේ දරුවෝ මුනගස්සන්න ඕන” ඔහු සිනාසෙමින් කීවේය.

එක්වරම අඳුර අතරින් දීප්තිමත් රැහැන් වැනි ආලෝක ධාරා මීදුම් බර නිල් පැහැති අවකාශයෙහි මවමින් පස් වන වීදියේ වීදි ලාම්පු සියල්ලම දැල්වුණි..

“අන්න මගේ බස් එක,” ඈ කීවා ය.

“ගුඩ්-බායි” ඔහු නැවතත් අත දිගු කළේ ය.

“කවදාද අපි හමුවෙන්නේ?” ඇයට ඔහුගෙන් අසන්නට වුවමනා වූවත් බස් රථය පිටත් වීමට සූදානම් වී තිබිණි. පස් වන වීදියේ විදුලි ලාම්පු එක් වරක් බොඳවී, දිලිසී නැවතත් බොඳ විය. යමක් කියන්නට තැත් කළහොත් තම මුවින් කිසි දෙයක් පිට නොවණු ඇතැයි බියක් ඇයට දැනුණේ බස් රථයට ගොඩ වෙද්දී යි.

“ගුඩ්-බායි!” ඈ හදිසියේම මහා හඬින් කීවා ය. එහෙත් ඒ වෙද්දී බස් රියේ දොර වැසී තිබිණි.

බස් රථය ගමන් ඇරඹීය. ඔවුන් දෙදෙනා අතර දුර පාර මාරු වන අයගෙන් සහ ඔවුන් නාඳුනන විවිධ මිනිසුන්ගෙන් පිරුණි. හිස් අවකාශයෙන් සහ මිනිසුන්ගෙන් පිරුණි. බිල් ඇගේ දසුන් පථයෙන් මැකී ගියේය. තමන්ගේ ලිපිනය ඔහුට දීමට හෝ ඔහුගේ ලිපිනය ඉල්ලා ගැනීමටත් - ඇගේ බාල ම දරුවාගේ නමත් බිල් බව ඔහුට කියන්නටත් අමතක වූ බව ඇයට සිහි විය.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the Short Story ‘Early Autumn’ by Langston Hughes

Picture generated by Canva AI

සිසිල මාසික ඊ- සඟරාව - ඔක්තෝම්බර් 2023 කලාපය 
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)



October 03, 2023

ආදරය යනු

වයස අවුරුදු පහේදී ආදරය යනු කුමක්දැයි මම අම්මාගෙන් ඇසුවෙමි
එය අසා ඈ මා වඩාගෙන වටයක් කැරකෙද්දී ඇගේ සිනා හඬින් කාමරය පිරුණි.
‘ආදරය විශාල රතු බැලුමක් මෙනි’ ඈ කීවාය. ‘එය තදින් අල්ලාගෙන සිටින්නට ඔබ කැමති වූවත් එය අතහැර නිදහසේ අහසේ පාවෙනු දකිනු රිසි කෙනෙක් ද ඔබ තුළ වෙසෙයි.’

දස වැනි වියේදී ආදරය යනු කුමක්දැයි මම නැවත අම්මාගෙන් ඇසුවෙමි. ඈ පිළිතුරු දෙද්දී ඇගේ දෙතොලේ මුදු සිනාවක් ඇඳිනි.
‘ආදරය නිදිමත කුඩා බළල් පැටවෙක් මෙනි. ඔබ අඬනොගසාම ඌ ඔබ වෙත පැමිණ, ඔබේ උකුලේ වැතිරී, ඔබව තම ලෝකයම කරගනී.’

මට විසි වැනි විය ලැබූ දිනයේදී අවසාන වතාවට ආදරය ගැන අම්මාගෙන් අසන්නට තරම් මම එඩිතර වූවෙමි. මගේ කෙස් රොදක් කන පසුපස රැඳවූ ඈ මගේ තරුණ, බලාපොරොත්තු සහගත මුහුණ මුදු ලෙස තම දෑතට මැදි කර ගත්තා ය. ඈ පිළිතුරු දෙද්දී ඇගේ දෑස අභිරුචියෙන් පිරී තිබිණි.
‘ආදරය, තමන්ගේ වාරය එනතෙක් ඉවසීමෙන් බලා සිටින නිදි ගත් ගිනි කන්දකි’

පරිවර්තනය-හෙල්මලී ගුණතිලක

Translation of the prose poem 'About Love' by Lang Leav

Digital sketch