March 27, 2019

'සහස් පියවර' මෙල්බර්න් පිය නැඟුම

 

මගේ 'සහස් පියවර' කෙටි කතා පොත ලංකාවේදී එළිදක්වා මාස දෙකක් පමණ ගත වුණා. ඒ කෙටි කාලය ඇතුලත මට ඒ ගැන ලැබුණු ප්‍රතිචාර අති විශාලයි. ලංකාවේ කියවන, ලියන සමාජයෙන් බැහැරව පිටරටක වෙසෙන මට පොත ගැන  මේතරම් විශාල ප්‍රතිචාරයක් ලැබේවි කියා මා හීනෙකින්වත් හිතුවේ නැහැ. පොත කියවා සතුටු වූ අය, කම්පනයට පත්වූ අය දැනටත් මට නිරතුරුව පණිවිඩ එවනවා. තම තමන් කැමති කෙටිකතා නම්කර ඒවාට කැමති හේතු කියා එවනවා. ඇතැම් පණිවිඩ දෑසට කඳුළු ගෙනෙන තරම් සංවේදීයි. ඉතින් 'සහස් පියවර' කෙටි කතා පොත හරහා පොත පතට ආදරය කරන අයගේ හදවතේ පුංචි සලකුණක් තබන්න හැකිවූවානම් ඒ මා ලබන ඉහලම දිනුමයි.

දශක එකහමාරක් පමණ කාලයක් තිස්සේ ලංකාවෙන් පිට වෙසෙන අපට, මේ වෙද්දී මෙරටත් නෑ හිත මිතුරන් බොහෝ දෙනෙක් ඉන්නවා . ඉතින් ලංකාවේ පොත එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙන්න බැරිවුණු ඒ අයගෙන් ඒ ගැන පුංචි නෝක්කාඩු අහන්න නොලැබුණා නෙමෙයි. මේ ගැටලුව ඉබේම  විසඳුනේ  මෙල්බර්න් නගරයේ මා වෙසෙන ප්‍රදේශයේ පුස්තකාල සමූහයෙන් මා ලැබූ ආරාධනාවක් නිසා. Casey Cardinia Libraries සමූහය මාසිකව පවත්වන Authors Corner වැඩසටහනකට සහභාගී වන්නට මට පසුගියදාක ආරාධනයක් ලැබුණා. මගේ පොත ගැනත්, පොදුවේ ලිවීම ගැනත් කතාකරන්නටත්, මට කැමති අකාරයකට පුංචි එළිදැක්වීමේ උත්සවයක් සංවිධානය කරන්නටත් ඔවුන් ඇරයුම් කළා.

ඉතින් 'සහස් පියවර' මෙල්බර්න් පියනැඟුම එළඹෙන්නේ අප්‍රේල් 7 ඉරිදා. එය පැවැත්වෙන්නේ පස්වරු  1.00- 3.30 දක්වා Bunjil Place පුස්තකාලයේ දෙවෙනි මහලේදී. ඔබත් මෙල්බර්න් වෙසෙන්නෙක් නම්, එදාට පුංචි විවේකයක් ලැබෙනවා නම්, සහස් පියවර ගැන කතාබහකට ඇවිත් යන්න එන්න!

March 19, 2019

රේඩියෝ කතන්දර වූ මගේ කතන්දර

කැනඩාවේ මිසිසාගා නගරයේ 'සවන' අන්තර්ජාල රේඩියෝ කණ්ඩායමෙන් මගේ කෙටිකතා කීපයක් රේඩියෝ නාට්‍ය බවට හරවා ප්‍රචාරය කරන්නට ඉල්ලීමක් ලැබුණේ මීට මාස කීපයකට කලින්. ඒ  ඔවුන්ගේ 'දින නැති දිනපොත'  රේඩියෝ නාට්‍ය මාලාව වෙනුවෙනි.  මගේ 'ප්‍රේමයයි වෛරයයි අතරේ' සහ 'වාසගම්' යන කෙටිකතා රේඩියෝ නාට්‍යය බවට හැරවී සවන ගුවන් විදුලියෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී විකාශය වූ අතර එහි යූ ටියුබ් දිගුව පහතින් ඇත. 

මෙවැනි නිර්මාණ කටයුත්තකට  දායක වන්නට ලැබීම මටත් අලුත්ම අත්දැකීමක් වන අතර  මගේ කෙටිකතා සඳහා මෙලෙස නොසිතූ මානයක් ලැබීම මට ඉමහත් සතුටකි. ඊට අවස්ථාව ලබා දුන් වසන්ත ලංකාතිලක, අනුරුද්ධ වැලිගමගේ ඇතුළු සවන රේඩියෝ කණ්ඩායමට මගේ ස්තූතිය පිරිනැමේ.






March 12, 2019

කැලෑ මල්

Coppertips flowers- pic Gardenia.net

පාගා දැමූ පසුත් නැවත ලියලන්නට තරම් ශක්තිවන්ත 
ගිම්හානයේ දරුණුම කුණාටු දරා සිටින්නට තරම් දැඩි
වඩාත් ම කඩතොළු වූ තැන්වල වුවත් වැඩෙන්නටත්  පූදින්නටත් හැකි  

කැලෑ මලකට මෙන් හදවතක්
ඔබට ලැබේවා යි පතමි

I hope you are blessed 
with a heart like a wildflower. 

Strong enough to rise again 

after being trampled upon,
tough enough to weather 

the worst of the summer storms,
and able to grow and flourish 

even in the most broken places.

Nikita Gill | Wildflowers

මේ Nikita Gill ගේ කවියක්. බර ඇති දේ කෙටියන්, කම්පනයක් දනවන අයුරින් කියන්නට ඈ දක්ෂයි.

ටික කලකට කලින් දුර පළාතකට චාරිකාවක් ගිය වෙලාවක කැලයක තිබුණු ලස්සන මලක් සහිත පැලෑටියක් ගෙදර ගෙනැවිත් මා මල් පෝච්චියක සිටවූවා. බොහෝ කල් යනතුරු මියගියා සේ  තිබුණු ඒ පැලය ඊළඟ වසන්ත සෘතුවේදී යළි පණ ගසා  දළු ලියලා ආවා. නොබෝ දිනකින් ඒ මල් පෝච්චිය ඉඩකඩ මදි වන තරමට එය වැඩී තිබුණා. ඒ නිසා එය මල් පොච්චියෙන් ගෙවත්තේ පාත්තියකට ස්ථාන මාරුවක් ලැබුවා. තවත් වසරක් ගෙවෙද්දී මේ පැලය ඒ පාත්තියත් යාබද පාත්තියත් ආක්‍රමණය කර තිබුණා. වසන්ත සෘතුවේ අග භාගයේදී තාරුකා වැනි කුඩා තැඹිලි පාට මල් ගොන්නක් උපද්දවන මේ පැළයට මගේ ආදරයක් තිබුණත් එහි ආක්‍රමනකාරී ගතියට නම් මගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. එය  Coppertips නැතහොත් Falling Stars (Crocosmia pottsii) ලෙස හඳුන්වන බව අන්තර්ජාලයෙන්  මා සොයාගත්තා. ඔය කාලයේදී මා කියවූ සඟරාවක  ඕස්ට්‍රේලියානු රජයෙන් ආක්‍රමණකාරී වල් පැළෑටි ලෙසින් නම් කළ පැලැටි ලැයිස්තුවක පින්තුර සහිත විස්තරයක් අහම්බෙන් මගේ ඇස ගැටුණා. ඒ ලයිස්තුවේ මුල ම 'ඉතා ආක්‍රමණකාරී" ලේබලය යටතේ මේ පැලයත් තිබුණා. එතෙක් කල් මා සාත්තු කරමින් රැක බලාගෙන තිබුණේ පරිසරයේ ස්වභාවික පද්ධතිවලට සිදුවන හානිය නිසා පැතිරීම වැළක්වීමට රජයෙන් විවිධ පියවර ගෙන තිබුණු පැලෑටියක්! ඉතින් Coppertips ගාල මුළු මිදුලම ආක්‍රමණය කරන්නට කලින් මා  ඒ සියල්ලම ගලවා විනාශ කළේ වසරකට වරක් පිපෙන සුන්දර මල් ගොන්නත්  අමතක කර දමමින්. මේ සිදුවීමෙන් කලක් ගත වූවත්, අදටත් මිදුලේ තැන තැන Coppertips පැල මතුවන්නේ ඉහත කවියේ කියන අයුරින් වල් පැලෑටියකට ඇති නොබිඳෙන නොසැලෙන ගුණය නිසා විය යුතුයි. Coppertip වර්ගයේ ආක්‍රමණ කරුවන් නොවූවත් තැවුල් බාධක හමුවේ මෙවැනි නොසැලෙන හදවත් ඇති මා දන්නා අයත් බොහෝ සිටින බව මේ කවිය දුටු විට මට සිහි වූවා.
  
මේ කවිය පුතුට කී විට ඔහු මොහොතක් කල්පනා කර
"So there are wildflowers.. but are there tame flowers?"යැයි ඇසුවා

මා තවමත් ඊට ගැලපෙන පිළිතුරක් සිතමින්!
 

March 08, 2019

Silence

silence is a glimmer, 
a moonbeam's wavering light
trout in darkened rivers
a dark and sullen night

silence is a shadow,  
huddling under trees
weaving in the tall grass
shuddering in the breeze

silence is a mystery, 
frost patterns on the panes
sudden streaks of lightning, 
cloud-bursts over the plains

silence is an echo 
heard in the haze of sleep
the lulls in the bird-call
etched in a dream, deep


[a painting done after a long break. my trusty old laptop's gone, so it will take some time to fine tune the colours and lines the way I want!]

March 04, 2019

බිඳීම්



හද බිඳුණු දිනවල 
අත් හරින පාඩම 
කියාදෙන මුල්පොත


photo- first days of autumn-Melbourne