June 09, 2025

වැහි ලිලී මල්



වැහි ලිලී මලක පින්තූරයක් අහම්බෙන් ඇහැ ගැටිලා මට ඒක බලාගෙන චිත්‍රයක් අඳින්න ලොකු ආසාවක් ආවා. වැහි ලිලී මල් දකිද්දී මට මතක් වෙන්නේ අපේ ලංකාවේ ගෙදර මිදුල. අපේ අම්මා ඒ මිදුල පුංචි මල් වත්තක් කරලා තිබුණේ. ලස්සනට මල් හිටවලා තිබුණු පාත්ති වල ගැට්ටේ එක දිගට රෝස පාටත් සුදු පාටත් වැහි ලිලී මල් පඳුරු සිය ගාණක් තිබුණා. මේ මල් ජාතියට මේ නම ලැබිලා තියෙන්නේ ඒවා වැස්ස එක්කම පිපෙන නිසා කියලා තමයි කියන්නේ. ලංකාවේ වැස්සෙන් හිඟයක් නැති නිසාද කොහෙද මේ පඳුරු වල නිතරම මල් පිරිලා තිබුණා. 

අපේ ගෙදර මිදුල සුදු වැලි අතුරලා තිබුණේ. බොහොම කාලෙකට ඉස්සර, ඒ ගෙදරට පදිංචි වුණු අලුත, තාත්තා මිදුලේ කෙළවරක හිටවපු යාපනේ අඹ පැළය පස්සේ කාලෙක මුළු මිදුලම වැහෙන්න අතු විහිදලා අපට හෙවනත්, රසම රස අඹත් දුන්නා. අපි පොඩි කාලේ ඉඳන්ම හැමදාම ඒකෙ අත්තක ඔන්චිල්ලාවක් තිබුණා. මුලදී අපිත්, පස්සේ කාලෙක අපේ ළමයිනුත් මේ ඔන්චිල්ලාව පැද්දා. අඹ ගහෙන් නිතර කොළ වැටිලා මිදුල හැඩි වුණ නිසා ඒ දවස්වල අපේ ගෙදර කවුරු හරි ඉඩක් ලැබුන විදිහට දවසට සැරයක් දෙකක් මිදුල අතු ගෑවා. අක්කලාත් මාත් ඒ දවස්වල මිදුල අතුගාන්නෙ තරඟෙට. පොල් අත්තේ රටාවට මිදුල අතුගාන එක මම ආසාම වැඩක්. 

වැහි ලිලී මල් වලට අමතරව අපේ ගෙවත්තේ ආරුක්කුවකට යවපු rain of gold කහ මල් වැලකුත්, තව සුදු රෝස මල් ආරුක්කුවකුත් තිබුණා. ඒ වගේම ඒ මතකය දිගේ යද්දී අම්මාගේ ආදර සාත්තුව ලබලා මල් පුරවාගෙන හිටිය ඉට්සෝරා සහ ඇන්තූරියම් පඳුරුත්, පෙබරවාරි මාසෙට මනමාලියක් වගේ සැරසෙන නිසා වැලන්ටයින් කියලා අඳුන්වපු රෝස පාට මල් පොකුරු පිරුණු ගහත්, පේර ගහ වැහෙන්න හැදිලා තැඹිලි පාට මල් කිණිති පුරවාගත්ත මකුළු මල් වැලත් මට මතක් වෙනවා. අඹ ගහේ දෙබලක තාත්තා රඳවලා තිබුණු ඕකිඩ් මල් වර්ග එකිනෙකාට තරඟෙට වගේ පිපුණා. හැම පෝයටම 'පරෙවි මල්' කියලා අපි කියපු පරෙවියෙකුගේ හැඩේ ඕකිඩ් මලුත්, වෙසක් මාසෙට විතරක් පිපෙන රෝස පාට ඕකිඩ් මල් වර්ගයකුත් මේ අතර තිබුණා. වත්තේ එක කෙළවරක තිබුණු බට පඳුරු හැඩේට කපලා තියාගන්න එක ඒ කාලේ ලොකු අක්කා ස්වේච්ඡාවෙන්ම භාර අරගෙන කරපු වැඩක්. ඒ කාලේ අක්කලාත් මාත් මේ මල් වලටත් ගේ පිටිපස්සේ තිබුණු එළවලු වගාවටත් වතුර දාන්න උදවු වෙනවා. සමහර වෙලාවට එක පාරට හයියෙන් වැහලා පාත්තිවල වැහි ලිලී මලුත් යටකරගෙන මිදුලේ වතුර පිරුණු දවසුත් තිබුණා. එහෙම දාට පොඩි අක්කායි මායි වැස්සේම උදලු අරගෙන මිදුලේ වාරි මාර්ග හදලා වතුර බැස්සුව හැටි මතක් වෙද්දී දැන් නම් හිනා.

අපේ ගෙදර තිබුණේ ටවුමට බොහොම කිට්ටුවෙන් උනත්, මල් හිටවලා, සාත්තු කරලා ගෙවත්ත ලස්සනට තිබුණු නිසා ගේ ඉස්සරහා පාරේ යන එන අය, බස් වල යන අයගේ අවධානයට නිතරම ලක් වුණා. අඳුරන්නේ නැති අයත් ගේ ඉස්සරහින් යද්දී නැවතිලා, මල් වලට සාත්තු කරමින් ඉන්න අම්මාට කතා කරලා ඒ ලස්සන හරියට අගය කළ බව මට මතකයි. ඒ වචන අම්මාට ලොකු සතුටක් ගෙනාවා. ලංකාවේ නොවුනත්, දැන් මමත් මගේම ගෙවත්තක මල් හිටවමින්, පෝර දමමින්, ඒවායේ ලස්සන බලමින් ඉන්න කෙනෙක්. ඉස්සර අපේ ගෙවත්තේ තිබුණු ලස්සන උපද්දන්න අම්මාත් තාත්තාත් කොයිතරම් මහන්සි උනාද, ඒ ගස් වැල් වලට කොයිතරම් ආදරය දුන්නාද කියලා මට හරියටම තේරෙන්නේ දැන්.

දැන් අපේ ඒ මහගෙදරත්, ඒ ලස්සන මල් පිරුණු ගෙවත්තත්, ඒ මල් වලට ආදරය දුන්නු අම්මාත් නැහැ. ඒත් අදටත් වැහි ලිලී මලකින් මතුවෙලා හරි ලේසියෙන් මතක ගොන්නකට පිවිසෙන්නට අපිට තාම පුළුවන් නිසා ඒ කිසිදෙයක්, කිසි කෙනෙක් කවදාවත් මැකිලා යන්නේ නැහැ කියලා මට සහතිකයි. 

Digital painting


9 comments:

  1. සුන්දර මතකයක්, ලස්සනට ලියලා තියනවා. ආයෙ එන්නම් දෙතුන් පාරක් කියවන්න.

    පරිසරට රසඳින්න දන්නවා, ඒත් ඔය කුරුල්ලොන් ගෙ නම්, මල්වල නං මතක නෑ. සියලු කුරුල්ලෝ = පක්සියා.

    ReplyDelete
    Replies
    1. බස්සා - තමනුත් පක්සියෙක් වෙලා අනෙත් පක්සින්ගේ නම් මතක නැති එක අඩුපාඩුවක් නේද? :D
      මට නම් ගස් වල, මල් වල නම් දැනගන්න එක පිස්සුවක් වගේ. දැන් නම් ගූගල් දෙවියා නිසා වැඩේ ලේසියි, ඉස්සර නම් එහෙම පහසුකමක් තිබ්බේ නැහැ නොවැ.
      මගේ හැම කෙටිකතාවකම වගේ ගහක් තියෙනවා කියලත් දෙවෙනි පොතේ මුල් කතාවත්, අන්තිම කතාවත් ගහක් ගැන බවත් ෆෑන් කෙනෙක් කියනකම් මට මතක් වෙලා තිබ්බේ නැහැ!

      Delete
    2. තර්කය සාධාරණයි.🤣
      කට කතාවට එහෙම කිව්වට, මල් සහ පක්ෂීන් ගැන සාමාන්‍ය දැණුමක් තියනවා. ඔබට වගේ ගැඹුරට හොයන උනන්දුව නැහැ. ඒහෙමයි කියලා පරිසරයට, සතුන්ට ඇති කැමැත්ත අඩුවෙලා නෑ. අපේ මහගේ පාර ලඟම තිබීමත්, මල් වැවීමට ඉඩක් නොතිබීමත් ඒකට හේතු වෙන්න ඇති

      Delete
  2. මට යෝජනා කරපු ගැහැනු ලමයෙක් එක්ක මට සම්බන්ධතාවක් තිබුනා .
    අපි බදින්නයි හිටියේ. ඒත් නොසිතු විරු ප්‍රශ්නයකින් එක නැතිවෙලා ගියා.කෙටි කාලයක් උනත් එයා ඉන්නකාලේ මම විවිධ වර්ගවල බොගන්විලා වලින් පුරවලයි තිබුනේ. හරියට උද්‍යානයක් වගේ. ඊට පස්සේ එක පිට එක කරදර ගොඩක් ආවා. එ ගස් ඔක්කොම මැරිල ගියා .ඊට පස්සේ මම පතොක් හදන්න පටන් ගත්තා. මෑතකදී ඉතුරුවොලා තිබුන එක මැරුන බොගන් විලා ගහක කද මම අතට අරන් බැලුව. ගොඩක් දේ මතක් උනා .

    ReplyDelete
    Replies
    1. Discourse- ගස් වැල් නිසා උනත් පරණ මතක ආයෙත් ඉස්මතු වෙන්න පුළුවන් නේද?
      ආයෙත් බෝගන්විලා හිටවමු!

      Delete
  3. මතක ගොන්නක්ම!

    "අම්මාගේ ආදර සාත්තුව ලබලා මල් පුරවාගෙන හිටිය ඉට්සෝරා සහ ඇන්තූරියම් පඳුරුත්..." මට පොඩි කාලෙ තේරුම් ගන්න බැරුව හිටිය දෙයක් තමයි 'අත් ගුණේ' කියන අදහස. පස්සෙ කාලෙක තේරුම් ගත්තෙ ඒ ආදරය දෙන එක කියලා. (ඉට්සෝරා කියන්නෙ අශෝක මල් නේද).

    ReplyDelete
    Replies
    1. Lotus - අත් ගුණේ කියලා දෙයක් නම් ඇත්තටම තියෙනවා. ඒක ආදරය ට අමතරව ඒ වෙනුවෙන් වෙන කැපවීම, මහන්සිය, devotion එක මේ හැමදේම අයිතියි කියලා මට හිතෙනවා. මේක ඉවුම් පිහුම් වලටත් අදාළයි.
      ඉට්සෝරා කියන්නේ රත්මල් වගේ අර පොකුරු පොකුරු තියෙන මල්. (ඉංග්‍රීසි නම Ixora කියලා දැන් google කළාමයි දැක්කේ) ඒවා hedge එකක් හැටියට කපන්නත් පුළුවන්. අසෝක මලුත් මේ වගේමයි. හැබැයි අසෝක කියන්නේ ලොකු ගස් නේද?

      Delete
  4. මල් වලට interested අයට මම කැමතියි. ඒත් මම මල් වවන්නේ නැහැනෙ, ඉවරයක් ඇත්නම් පොතක ගිලෙන්නම තමයි කැමතිම

    ReplyDelete
    Replies
    1. කුමුදු - කොයිතරම් මල් වවන පරිසරයක හැදුනත්, මම මල් වවන්න පටන් ගත්තේ මෑත අතීතයේදී තමයි. ඒක දැන් මට therapy එකක් වගේ :)

      Delete