බ්ලැකී මට මුලින්ම මුණගැහෙද්දී මට අවුරුදු හයක් විතර. ඒත් බ්ලැකී නම් ඒ වෙද්දී හිටියේ පැටි වයස පහු කරලා. තාත්තාගේත් අම්මාගේත් රැකියා නිසා අපි සේෂෙල්ස් රටට ගිය වෙලාවේ අපි පදිංචි වුණු ගෙදරත් එක්ක ලැබුණු නිල නොවන තෑග්ගක් තමයි බ්ලැකී. සමහරවිට එයා අපට කලින් ඒ ගෙදර පදිංචි වෙලා හිටිය අයගේ සුරතලා වෙන්න ඇති. ඒත් අපි මුලින් දැක්කේ අහු මුළුවල හැංගිලා ඉන්න, බයෙන් වෙව්ලන පුංචි කළු අවතාරයක්. අපි ඒ ගෙදරට එන්න කලින් සිද්ධ වුණු මොනවා හරි අපි නොදන්නා අකරතැබ්බ නිසා ආයෙත් කිසි මනුස්සයෙක්ව විශ්වාස නොකරන්න බ්ලැකී අධිශ්ඨාන කරගෙන හිටපු ලකුණු පෙනුණා. ඒත් අවුරුදු හයක පුංචි ගෑනු ළමයෙකුට මේවා අදාළ වුණේ නැහැ. බ්ලැකී හැංගිලා හිටිය අහුමුලු වලට බඩගාගෙන යන්න, ඈතින් කෑම පීරිසි තියලා හැංගිලා බලාගෙන ඉන්න, එයාට රහසින් කතාකරන්න මට ඕන තරම් වෙලාව තිබුණා. අන්තිමේදී මම පසු නොබාන බව දැකලා ද කොහෙද බ්ලැකී අපේ ගෙදරින් මාව විතරක් විශ්වාස කරන්න තීරණයක් ගත්ත බවක් පෙනුණා. මේ විදිහට බ්ලැකී 'මගේ' සුරතලා වුණා. තනි කළු පාට බ්ලැකීට දීප්තිමත් කහපාට ඇස් දෙකක් තිබුණා. මගේ පෙරැත්තයට ගේ ඇතුළට ආවත් බ්ලැකී වැඩිහරියක් කාලය ගතකළේ ගෙදර හෙවනැලි වලට මුවාවෙමින්. ෆ්‍රිජ් එක පිටිපස්සේ ඉඩත් මගේ ඇඳ යටත් එයාගේ ප්‍රියතම තැන් වුණා. එහෙම අඳුරු තැන් වල හැංගිලා ඉන්දැද්දී පෙනුණේ එයාගේ ඇස් දෙක විතරයි. හැබැයි මෙහෙම ඉන්න අතරේ හෙමින් හෙමින් මාව හොයාගෙන ඇවිත් කකුල් දෙකේ වෙලිලා, උකුලට පැනලා මට විතරක් විශේෂ වුණු ලොකු 'පුරු පුරුවක්' දෙන්න එයා අමතක කළේ නැහැ. මාත් එක්ක ඉන්දැද්දී ගෙදර වෙන කෙනෙක්ගේ අඩි සද්දේ ඇහුනොත් එක මොහොතින් එයා ආයෙත් හැංගුණේ අසුරු සැණින්.
මෙහෙම ටික කලක් ගත වුණා. බ්ලැකීගේ කුලෑටි ගති ටිකක් අඩු වුණත් එයා කවදාවත් ඒතරම් සමාජශීලී වුණේම නැහැ. ඒ වෙද්දී අපේ ගෙදර තවත් බළල් පවුල් පදිංචි වෙලා හිටියත් බ්ලැකී ඒ අය එක්කත් සම්බන්ධයක් තිබුණේත් නැහැ. එයාගේ ලෝකය වෙලා තිබුණේ මම විතරයි. මාත් ඉඩක් ලැබුණු හැම වෙලාවකම කළේ එක්කෝ උණුහුමට ගුලි වෙලා පුරු පුරු ගාන බ්ලැකීව උකුලේ තියාගෙන පොත් කියවන එක, නැත්නම් එයා එක්ක සෙල්ලම් කරන එක. සෙල්ලම් වයස පහුවෙලා හිටියත් බ්ලැකී මං වෙනුවෙන් ආයෙත් එහෙ මෙහෙ දුවමින්, කහ පාට ඇස් දෙක දිලිසවමින් සෙල්ලම් කළා.
අවුරුදු හතරක් ගතවෙලා ගියේ බොහොම ඉක්මණින්. අපිට සේෂෙල්ස් වලින් නික්මෙන්න කාලේ එළඹුණා. අපේ ගෙදර බලෙන් පදිංචි වෙලා හිටිය අනෙත් බළල් සුරතල්ලු ගැන අපි වද වුණේ නැත්තේ එයාලා ආව විදිහටම වෙන තැනක් හොයාගන්න බව දැනගෙන හිටිය නිසායි. ඒත් බ්ලැකී? එයාගේ කුලෑටි ගතිගුණ නිසා එයා අලුත් අයිතිකාරයෙකුට හුරු නොවෙයි කියලා මම බය වුණා. එයාව දාලා යන්නේ කොහොමද හිතමින් මම නිදි නැතිව අඬමින් කාලේ ගත කළා, ඒ කිසි දෙයක් නොදැන දිගටම බ්ලැකී මගේ ළඟට තුරුල් වෙලා හිටියා. මෙහෙම මාස කීපයක් ගතවුණා. අපිට ෆ්ලොරන්ස් ගැන ආරංචි වුණේ ඒ අතරේ. ෆ්ලොරන්ස් අම්මලා එක්ක එකට රැකියාව කළ ඒ රටේ කෙනෙක්. බ්ලැකීව දාලා යන්න බැරි ගැටලුව අම්මාගෙන් ආරංචි වෙලා තමන් බ්ලැකීව බාරගන්න කැමති බවත් එයා දවසක බ්ලැකීව බලන්න අපේ ගෙදර එන බවත් කියලා තිබුණා.
ෆ්ලොරන්ස් බළලුන්ට බොහොම ආදරේ කරුණාවන්ත කෙනෙක් කියලා අම්මා කීවත් මට නම් මේ අදහස ගැන විශ්වාසයක් නොතිබුණේ බ්ලැකී ගැන හොඳට දැනගෙන හිටිය නිසායි. අවුරුදු ගාණක් තිස්සේ අපේ පවුලේ අනෙත් සාමාජිකයින් එක්කවත් ලෙන්ගතු නොවුණු බ්ලැකී පිට කෙනෙක් එක්ක යාලු වෙයිද? ඒත් අපිට නොතේරෙන, සත්තුන්ට තේරෙන විශ්ව භාෂාවක් තියෙන බව මට බ්ලැකී ඔප්පු කරලා පෙන්නුවා. ෆ්ලොරන්ස් මුල් වතාවට අපේ ගෙදර ආව වෙලාවේ බ්ලැකී කළින් කිසි දවසක කාටවත් නොදුන්නු ප්‍රතිචාරයක් එයාට දුන්නා. එදා බ්ලැකී හැංගිලා හිටිය තැනින් එළියට ඇවිත් කෙලින්ම ෆ්ලොරන්ස් ළඟට ගිහින් එයාගේ කකුල් දෙකේ ඇතිල්ලුනා. ඉන්පස්සේ එයාගේ පාමුල බිම පෙරළිලා මගේ දිහා බැලුවේ 'මං ගැන වද වෙන්න එපා, මෙයා එක්ක මට ඉන්න පුළුවන්' කියන්නා වගේ. මේක දැකලා මට දැනුණේ ලොකු පුදුමයක් ඒ වගේම සැහැල්ලුවක්.
අපි සේෂෙල්ස් වලින් නික්මෙන්න කලින් ෆ්ලොරන්ස් ට බ්ලැකීව භාර දීලා මම එන්න ආවේ ඇස් වල කඳුළු පුරවාගෙන. ඒත් බ්ලැකීට මගෙන් ලැබුණු ආදරය රැකවරණය ෆ්ලොරන්ස්ගෙන් ලැබෙන බව මට සහතිකවම දැනුණා.
මේ කතාව හරි නම් මෙතැනින් නිම වෙන්න නියමිතයි. ඒ කාලේ දැන් වගේ විදේශ දුරකථන ඇමතුම්, ඊ මේල් වගේ දේවල් සුලබ නොවුණු නිසා ඊටපස්සේ මට බ්ලැකී ගැන විස්තරයක් දැනගන්න ලැබුණේ නැහැ. ෆ්ලොරන්ස් ට ලියුමක් ලියලා විස්තර අහන්න අම්මලා මාව උනන්දු කළත් බ්ලැකීගෙන් වෙන්වීමේ දුක ඉන් තවත් වැඩිවෙන නිසා මම නිහඬවම හිටියා. ඒත් මේ සමුගැනීමෙන් අවුරුදු හතරකට විතර පස්සේ මට ආයෙත් වතාවක් නිවාඩුවකට සේෂෙල්ස් යන්න අවස්ථාවක් ලැබුණා.ඒ ගමනේදී බ්ලැකීව හොයාගෙන ෆ්ලොරන්ස් ගේ ගෙදර යනකම් මට ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඒත් මම හිටියේ හිතේ සැකයෙන්. බ්ලැකී ඒ වෙද්දී ජීවත් ව ඇතිද කියලා මට සැක හිතුණේ ඒ වෙද්දීත් එයාට අවුරුදු දහයක් තරම් විතර වයස ඇති කියලා මට හිතුන නිසා.
ෆ්ලොරන්ස් අපිව බොහොම සතුටින් පිළිගත්තා. 'බ්ලැකී ඉන්නවද?' කියලා මම බයෙන් බයෙන් වගේ ඇහුව ප්‍රශ්නයට උත්තර හැටියට හිනාවුණු එයා ගේ ඇතුලට ගිහින් බ්ලැකීව වඩාගෙන ආවා. මට දැනුණේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක්! ඒ වෙද්දී වයස නිසා බ්ලැකීගේ කළු ලෝම අළු-දුඹුරු පාටක් වෙලා තිබුණා, එයාගේ ගමනත් හිමින්. ඒත් එයා මාව දැක්ක ගමන් උකුලට පැනලා ආදරේ පෙන්නද්දී ඇහුනු පුරු පුරුව නම් ඉස්සර වගේම සද්දෙට තිබුණා!
සමහර සුරතල්ලු අපි එක්ක ගත කරන්නේ අවුරුදු කීපයක් විතරයි. ඒත් එයාලාගේ උණුහුම අපිට ජීවිත කාලය පුරාවටම දැනෙනවා. සමහරවිට එයාලා අපේ ජීවිතේ හිඩැස් පුරවනවා වගේම අපිත් එයාලාගේ ජීවිත වල හිඩැස් පුරවනවා වෙන්න පුළුවන්. ටික කාලයක් හරි බ්ලැකී මගේ ජීවිතේ උන්නු තැන- තාම හරි උණුහුම්!
පසු සටහන-
මේ සටහන facebook දැම්මාම පොඩි අක්කා ළඟ තිබිලා මේ පින්තූරය කමෙන්ට් කරලා තිබුණා. මේ පොඩි අක්කාත් මාත් බ්ලැකී ත් දශක තුනකටත් වඩා ඉස්සර!
හැම දරුවෙකුටම සතුන්ට ආදරය කරන්න හුරු කළ යුතුයි කියලා හිතෙනවා. එයින් ජීවිතයට හුඟක් මානුෂික ගුණාංග එකතු වෙනවා.
ReplyDeleteLitseeker - ඒක ඇත්ත
Deleteබ්ලැකී කිව්ව ගමන් මට හිතුනේ, අර කාමරේට බඩගා ගෙන එන බල්ලගෙ කතාව වෙන්න ඇති කියලා. ඒත් බලාපොරොත්තු සුන් නොවුන අගේ ඇති "පුරු,පුරු" කතාවක් ලැබුනා.👌🙏😊
ReplyDeletehttps://www.youtube.com/watch?v=WfQ7cxVvbqI
බස්සාගේ මතකේ තමයි මතකේ! කාමරේට බඩගාගෙන එන එක්කෙනා කළු සුදු බැල්ලියක්. එයා හිතන් හිටියේ කාමරේට එන්න තහනම් කිව්ව එක බඩගාගෙන ආවොත් වච්චයි කියලා. :D
Deleteමොලේ ට්යුමර් එකකින් ආකාලේ මැරුණා එයා
අපේ ගෙදර බළලුන් හිටියා. ඉන්නවා.
ReplyDeleteබ්ලැකි, සුදූ, සුද්දප්පු, කළු, ලොකු කිටී , හොර පුසී, පුසීරයිට් සංගීත කණ්ඩායමේ අධ්‍යක්ෂක ජෙනරාල් පුසී, රෝඩ් ස්ටාර්, වල් කිටී, ගරු කටයුතු බළල් රාළ, මික්සන් ජයතිලක, ජයතිලක කිටී, කළු අප්පු, පොඩි කිටී ඔය වගේ උන්ට මම දාපු නං.
පෙළක් විට එකාට තියෙනවා නං තුන හතරක්.
සුසෙයි, ඒ නම් ටික මරු! :D
Deleteමායි පොඩි අක්කයි එකතු වෙලා අපේ බළල් රංචුවටත් ඉස්සර දානවා ලොවෙත් නැති නම්.
බළල්ලු හරි ස්වාධීන නිසා මම උන්ට කැමතියි.
හුඟක් සමීපවෙන බළල්ලු අඩුයි. බ්ලැකී වගේ අය වැඩිය නෑ.
ReplyDeleteඒත් බල්ලොනම් 95% විතර එහෙමයි.
බල්ලෙක්ව දාල යන්න මට බෑ.
ඒ නිසා බළල්ලු හදනවනම් හිතට අමාරු අඩුයි. ඒත් සියලු ජීවීන්ගෙන් species විදිහට ගත්තොත් ( humans ඇතුලුව ) මට වැඩියෙන්ම ආදරේ හිතෙන්නෙ බල්ලන්ටනෙ. ඉතින් දුකත් එහෙම තමයි.
Pra Jay - මාත් බල්ලන්ට ආදරෙයි. ඒත් පූසන්ගේ තියෙන ඩෝන්ට් කෙයා ගතියට මගේ පොඩි ගෞරවයක් තියෙනවා :)
Deleteබූල් විදින බෝලේ කියලා මුන්ට අපේ අත්තම්මා කතා කරන්නේ
ReplyDeleteඅත්තම්මගේ නියම නිර්වචනේ! :D
Deleteඕක කිව්වම මතක් උනේ. ලංකාවේ හරියට විස්වාස කරනවා නේද පූසෝ බූල් විදිනාවය, ඒවා නහයේ ගියාම ඇදුම හැදෙනවය කියලා. පූස් ලොම් වලට ඇලජික් අය හිටියට හැමෝටම එහෙම ඇදුම හැදෙන්නේ නැහැනේ.
Cats are the most lovable pets in the world to me .Your post reminds me of my dearest pets ,Sugar and Shadow who left me a few years ago. I read your nicely written post with a pang of sorrow in my heart. May this comment be a tribute to them.
ReplyDeleteThank you Sarath, yes they are with us only for a few years, but they leave footprints in our memory.
DeleteYou....in left.... or right
ReplyDeletei suppose right
nice photograph and art
why not outlined...but beautiful
කුමුදු - කොන්ඩ දෙක බැඳන් ඉන්නේ මම. :) අවුරුදු අටක් විතර ඇති මෙතැන
Deleteපැන්සලෙන් outline කරලත් ආයෙත් මැකුවා, හේදිච්ච පාට තියෙන්න අරින්න
කුමුදු අහලා තියෙනවා වගේ ෆොටෝ එකේ මලී කොයි එක්කෙනාද කියලා මමත් හිතුවා- හැබැයි ගෙස් කරන්න ලේසියි. Your facial expressions say it all.
ReplyDeleteLotus- මගෙයි වැරැද්ද, දෙන්නෙක් ඉන්න පින්තුරෙ කොයි එක්කෙනාද මම කියලා කියන්න එපාය ඉතින්. Specially as you all don't know what I look like :D
Deleteඒ කාලේ පොඩි අක්කයි මායි තමයි ඔක්කොම බළල් ආවතේව කළේ. උන්ට එක එක විකාර නම් දැම්මා, බර්ත්ඩේ පාටි දැම්මා. මේ ෆොටෝ එක ගන්න බ්ලැකී ව අතට ගන්න කියලා තාත්තා පොඩි අක්කාට කියන්න ඇති. පේන්නේ නැද්ද ඌ ඉන්නේ පනින මෝඩ් එකේ. :D
ඔයා කිව්වට පස්සේ තමයි මම ඕනෑකමින් මගේ expression එක දිහා බැලුවේ. ඇත්ත, බ්ලැකී වෙනුවෙන් තියෙන ආදරේ මගේ මූනෙන් පේනවා :)