කාටද මතක පළිඟු මැණිකේ ටෙලි නාට්ටිය ටී වී එකේ යන කාලේ? මෙහෙම ඇහුවාට මටත් ඒක මුලින් බැලුව හැටි මතක හීනෙන් වගේ තමයි. මේක මුලින්ම ජාතික රූපවාහිනියේ විකාශය වුණේ අසූ ගණන් වල මුල.
1983 අවුරුද්දේ ඉඳන් අවුරුදු කීපයක් අපි සේෂෙල්ස් වල ජීවත් වුණේ. අම්මාත් තාත්තාත් එහේ ගුරුවරු හැටියට රැකියාව කළා, අක්කලාත් මාත් ඉස්කෝලේ ගියා. අසූ ගණන් වල සේෂෙල්ස් වල තව ලංකාවේ පවුල් හත අටක් හිටියා. ඒ අයත් වැඩිහරියක් අපේ දෙමව්පියෝ වගේ ගුරුවරු. රට පොඩි නිසාත්, ලංකාවේ කට්ටිය සීමිත නිසාත් මේ පවුල් ටික හොඳ යාළුවො, නිතරම මුණ ගැහුණා, ට්‍රිප් ගියා, ළමයි එකට සෙල්ලම් කළා.
මේ කාලේ ඒ රටේ රූපවාහිනී නාලිකාවක් පටන් ගත්තම කාලේ. ඒකෙ පොඩි අපිට නම් කාටුන්, ළමා චිත්‍රපටි වගේ දේවල් තිබුණා. හැබැයි වැඩිහිටියන්ට නම් එහෙමකට බලන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා එයාලා මේකට පිලියමක් හොයාගෙන තිබුණා. ඒ තමයි ලංකාවෙන් ටෙලි නාට්‍යය රෙකෝඩ් කරලා ගෙනත් බලන එක. මේ කාලේ ඇත්තටම නම් ලංකාවෙත් ටෙලි නාට්‍යය විකාශය වෙලා තිබුණේ දෙක තුනයි. හැබැයි, ලංකාවෙන් පිට හිටියා කියලා නැහැ අපි ඒවා බැලුවා.
මේ ඩෙක් පීස් හෙවත් VHS යුගය. ඒ කාලේ ටෙලි නාට්ටියක් හරියටම පැය බාගයක් විකාශය වුණා. ඉතින් එක කැසට් එකකට මෙයින් කොටස් පහක් හයක් රෙකෝඩ් කරන්න පුළුවන් වුණා වගේ තමයි මට මතක. මේවා ලංකාවේ කොහෙන් හරි ගත්තාද නැත්නම් ලංකාවේ හිටිය අය ලවා රෙකෝඩ් කරලා තියාගෙන සේෂෙල්ස් වලට ගෙන්නා ගත්තාද කියන විස්තර මට මතක නැහැ- ඒ කාලේ ඉතින් මම පොඩියි නේ! හැබැයි ලංකාවට යන එන අය මේ 'ටෙලි නාට්‍ය කැසට්' නිතරම ගෙනාව බව තමයි මට මතක.
ඉතින් මෙහෙම කැසට් එකක් ලැබුණ දවසට සේෂෙල්ස් වල ලංකාවේ පවුල් හත අට අනිවාර්යයෙන් එකතු වෙනවා. එදාට ඉතින් පොඩි පාටියක් වගේ තමයි. හැමෝම මොනවා හරි කෑම ජාති හදාගෙන එනවා, තාත්තලා ටික බියර් බොනවා. අපි පොඩි උන් ටික හති වැටෙනකම් සෙල්ලම් කරනවා. ලොකු අක්කලා අයියලා බැඩ්මින්ටන් ගහනවා. මේ අතරේ ගෙදර තියෙන ඔක්කොම පුටු ටික ටී වී එක ළඟට එකතු කරගෙන අර ටෙලි නාට්ටිය බලන්න පටන් ගන්නවා. පුටු මදි නම් සමහරු බිම, ඒත් කාටවත් ඒවා ගාණක් නැහැ. මේවා වැඩියෙන්ම රස වින්දේ වැඩිහිටියෝ තමයි. ළමයි නම් මේවා බැලුවේ. එතැනින් එහේ මෙහෙ දුවන ගමන්, හැංගිමුත්තන් සෙල්ලම් කරන ගමන්.
ඔය විදිහට මුල් වතාවට පළිඟු මැණිකේ බලපු වෙලාවෙන් මගේ මතකේ හොඳටම රැඳිලා තියෙන්නේ 'පට් පට් ගාලා සම්තින් එකක් හොයන්න' ඕන බව කීව සූරසේන හෙවත් ශ්‍රියන්ත මෙන්ඩිස්ව. තඩි කැසට් ප්ලේයර් එකකුත් කරේ තියාගෙන පිටරට ඉඳලා ඇවිත් ගමටම සෝබනේ දාන චරිතයක් ඒක. මීට අමතරව මැණික්හාමි ගුරුන්නාන්සේ හැටියට රඟපෑව රෝහණ බැද්දගේ නම් හොඳටම මතක තිබුණේ එයා තාත්තාගේ යාලුවෙක් වුණු, ඉස්සර හොරණ අපේ ගෙදර නිතර ආව ගිය 'රෝහණ අන්කල්' නිසා. චිත්තයක් ඇඳපු මැණිකේ අත්තනායක නුහුරට සෙරෙප්පු දෙකක් දාගෙන ඇවිදලා හැඩ බලන ජවනිකාවක් මතකයි, කෙට්ටුම කෙට්ටු ජැක්සන් ඇන්තනි ගේ මොකක්ද ආදර පලහිලව්වක් මතකයි, තව තොවිලයක් මතකයි. ඇත්තටම නම් ඒ ටෙලි නාට්‍යය බැලිල්ලෙන් මට මතක ඔය ටික විතරයි. ඒත් මට හොඳටම මතක ඒ වයිබ් එක, බොහොම දුරක තිබුණු ලංකාවේ විකාශය වුණු අලුත්ම ටෙලි නාට්‍යයක ඊළඟ කොටස් ටික බලන්න අපේ දෙමව්පියන්ගේ තිබුණු ආසාව, උනන්දුව. ඒවගේම එහෙම හැමෝම එකතු වුණු දවස් වලට අපට ඒ නාට්‍යය ලොකුවට නොතේරුණත් එයාලගේ ඒ සතුට අපටත් බෝ වුණු හැටි. ඇත්තටම පළිඟු මැණිකේ කතාවේ අග මුල තෝරාගන්න මට නම් හම්බවුණේ ඊට අවුරුදු කීපයකට පස්සේ ඒක ලංකාවේදී ආයෙමත් විකාශය වෙද්දී.
දැන් නම් ලංකාවේ ටෙලි නාට්‍යය ඕන තරම්, ඒවාත් කොටස් සිය ගණන්. ලංකාවේ විකාශය වෙලා ඉවර වුණු මොහොතේම අන්තර්ජාලයෙන් මඟ තොටක ඉඳන් වුණත් අලුත්ම කොටස බලන්න පුළුවන්. දැනුත් ලංකාවෙන් පිට ඉන්න අපි ඉඳලා හිටලා හිතට සෙට් වුණු කතාවක් දෙකක් මෙහෙම බලනවා තමයි. ඒත් ඉතින් ඒවා හිත් වදිනවා අඩුයි. මේ විදිහටම පිට රටක ඉඳන් දශක කීපෙකට එහා බැලුව පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය තාමත් හිතේ සුන්දර හැඟීමක් ඉතුරු කරලා තියෙන්නේ ඒක ඒ කාලේ අමාරුවෙන් බලපු, කලාතුරකින් ලැබුන දෙයක් නිසා වෙන්නැති. එහෙම දේවල් කොහොමත් අගය වැඩිනේ.
පලිඟු මැණිකේ අමතක වෙන්න මැරිලා ඉපදෙන්න වෙයි මං හිතන්නේ. අපි හිටියේ ඉස්කෝලේ hostel. TV බලන්න දෙන්නෙම 8.00 ඉඳන් 9.00 වෙනතුරු විතරයි. ලෙඩ වෙලා නැගිටගන්න බැරිව හිටියත් ඒ වෙලාවට TV එක ලඟට කවුරුත් ආවා. ඔව්....බිම ඉඳගෙන තමයි බැලුවේ. ඒ කාලෙ TV තිබුන කොහෙත් එහෙම තමයි මතක විදියට. පුදුමයි හැබැයි ඒ කාලෙත් TV නොබලපු උන් හිටියා. පුදුමයි කියන්නේ දැන් TV එකේ බලන්න Teledrama එකක් නැහැ.
ReplyDeleteකුමුදු තව මතකද රට ගිය ඇත්තෝ කියලා කතාවක් ගියා. ආච්චි කෙනෙක් මිරිස් ගලක් එහෙම එංගලන්තේ අරන් යන්නේ. ඒකත් මට මේ වගේ යන්තම් මතකයි.
Deleteඇත්ත, දැන් හරි හමන් කතාවක් නැහැ අප්පා බලන්න.
පලිගු මැනිකේ අමතක වෙන්නේ කොහොමැයි
ReplyDeleteමාත් කීප සැරයක්ම බලපු නාට්‍යක් මේක
පස්සේ බලද්දී දැන් දකින කතා එක්ක හිතෙන් සංසන්දනය වෙලා මේවා බොහොම හෙමින් ගලාගිය බවක් දැනෙනවා නේද? ඒ කාලේ අපේ ජීවිතත් කලබල අඩු නිසා වෙන්නැති මේවා රස වින්දේ. මම දැක්කා මේ නාට්‍යය ගැන කතාබහක තිබ්බා සමහර සහය නළු නිළියෝ ගමෙන්මයි හොයාගත්තේ කියලා. සරල යුගයක් ඒක!
Deleteපැරණි ටෙලි නාට්‍ය පිලිබද මට යම් විවේචනයකුත් තියෙනවා. ඒ තමයි ලංකාවේ සමාජය නුතන්වය වෙනුවට ගතානුගතිකත්වයට පෙලඹවීම .ඔය කතාවෙ අර හුදෙකලා ගමට නුතනත්වය ගෙනියන්නේ සුරසේන .නමුත් කුලබේය ,මෝඩකම සහ හීනමානයෙන් පිරුනු ගම කැමති නැහැ ඔහුව පිලිගන්න. මම ඒගැන වෙන ලිපියක ලියන්නම් .
Deleteකෙටිකතාචක් වගේම ලස්සනට ලියලා. අද ඉන්න සූරසේනලා, ගේමක් ගහලා තමයි සම්තින් එක හොයන්නෙ. 😋
ReplyDelete//පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය තාමත් හිතේ සුන්දර හැඟීමක් ඉතුරු කරලා තියෙන්නේ ඒක ඒ කාලේ අමාරුවෙන් බලපු, කලාතුරකින් ලැබුන දෙයක් නිසා වෙන්නැති// හ්ම්.....වෙන්න ඇති.
මම කඩුල්ල, ඇල්ල ගඟ වලව්ව, දඩුබස්නාමානය ආයෙ බලන්න ට්‍රයි කරලා, අතෑරලා දැම්මෙ ඒවා ගැන හිතේ ඇඳිලා තියෙන සොඳුරු මතක මැකිලා යන නිසයි.
ඇත්ත බස්සා, ඉස්සර බලපු/ කියවපු සමහර දේවල් ආයෙත් එන්ජෝයි කරන්න බැහැ දැන්. මම හිතන්නේ ඒකට හේතුව අපිත් සෑහෙන්න වෙනස් වෙලා නිසා කියලා. ඒවා මතක හැටියට තමයි ලස්සන.
Deleteමනරම් මතක ලියැවුමක්. මං යූබටෙන් හොයාගෙන ඇල්ල ළඟ වලව්වයි, අකාල සන්ධ්‍යායි බැලුවා. මේකත් බලන්ටෝනැ!
ReplyDeleteවර්ෂා- ඔයාලා උපදින්න බොහොම ඉස්සර කතා මේවා! :D
Deleteපුළුවන් උනොත් හොයාගෙන බලන්න. පොඩි shock එකකුත් දැනේවි ඒ කාලේ විස්තරත් නළු නිළියන්ගේ බොහොම තරුණ රූපත් දැකලා.