September 28, 2021

'සින්දු පොත'


මට වයස දාහතරක් වගේ කාලේදී තමයි මම පිළිවෙලකට සින්දු අහන්න පටන් ගත්තේ. ඒ කාලේ මගේ ළඟ තිබුණා බැට්‍රි දාන පොඩි ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකකුත් හොඳටම පරණ කැසට් රේඩියෝ එකකුත්. ඒ දෙකම ගෙදර අතන මෙතන තියෙද්දී මං අයිති කරගත්තු ඒවා. ඒ දවස්වල මට සිංදුවල තේරුම් 'දැනෙන්න' පටන් අරන් තිබුණා. සිංදුවල වචන හරියටම දැනගන්න ඕන කියලා හිතෙන්න අරන් තිබුණා. ඉතින් මම රෑට කළුවරේ ඇඳේ හාන්සිවෙලා ඉඳන් ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක පපුව උඩ තියාගෙන රෑට යන සින්දු වැඩසටහන් අහනවා. ඒවායේ ඇහෙන ලස්සන සින්දු මතක තියාගෙන ඉඳන් ලැයිස්තුවක් හදනවා. ඒ කාලේ අවුරුද්දට එහෙම නෑයින්ගෙන් හම්බවෙන සල්ලි මම බොහොම පරෙස්සමෙන් එකතු කළා. ඒවා පාවිච්චි කළේ අර සින්දු ලැයිස්තුව දාලා මික්ස් ටේප් හදන්න. කැසට් පීස් එකකට දාන්න පුළුවන් සින්දු දාහතරයිද කොහෙද. ඒත් වැඩිපුර සින්දු ලියලා දෙන්න ඕන කැසට් එකේ ඉඩ ඉතුරු උනොත් කියලා. මගේ ලැයිස්තුවේ සින්දු දාසයක් දාහතක් එකතු උනාම මගේ එකතු කරගත්ත සල්ලි ටිකත් අරගෙන මම යනවා හොරණ ටවුමේ රෙකෝඩ් බාර් එකකට. සාමාන්‍යයෙන් රෙකෝඩ් බාර්වල වැඩකරන්නේ කොල්ලෝ වුණත් මේකේ හිටියේ අන්කල් කෙනෙක්. මම දෙන සින්දු ලැයිස්තුව ඒ අන්කල්ගෙන් පාස් වෙන්නත් ඕන. කොහොමහරි අන්තිමේදී සතියක් දෙකක් ගිහින් සින්දු ටික ගහපු කැසට් පීස් එක අතට ලැබෙනවා. ඒ දවස බොහොම සතුටු දවසක්. මම ඒක ගෙදර ගේන්නේ රටක් රාජ්ජයක් ලැබුණු ගාණට. එදාට තමයි අර පරණ කැසට් ප්ලේයර් එක ඕන වෙන්නේ. මුලින්ම හත් අට සැරයක් කැසට් පීස් එකේ දෙපැත්තම අහන එක තමයි කරන්නේ. ඊටපස්සේ සින්දු තියෙන පිළිවෙල පටුනකට වගේ ලියාගෙන කැසට් පීස් එකේ ප්ලාස්ටික් කවරේට දාන්න පොඩි කාඩ් එකක් හදලා ඒකේ මල් එහෙම ඇඳලා ලස්සන කරන රාජකාරිය. ඊළඟට තව ලොකු වැඩක් තියෙනවා. ඒ තමයි සින්දු ප්ලේ වෙද්දී නවත්තමින් ඒවායේ වචන කටුවට ලියාගන්න එක. ඊටපස්සේ ආයෙත් ප්ලේ වෙන්න ඇරලා අඩුපාඩු හදන එක. මේ ඔක්කොම කළාට පස්සේ තමයි සින්දු පොත එළියට එන්නේ.


මේ සින්දු පොත තාත්තාගේ පරණ රාජකාරී දිනපොතක්. තාත්තා ඒක අයින් කරලා අවුරුද්දකින් දෙකකින් තමයි මම අයිති කරගෙන තියෙන්නේ. මේක අද පෙරළලා බලද්දී හිතාගන්නත් බැරි තරම්. මෙතන මම සින්දු දෙසිය විසි ගානක් ලියලා තියෙනවා. එයින් විස්සක් විතර ඉංග්‍රීසි සින්දු. දිනපොතේ තාත්තාගේ සටහන් අතර තියෙන ඉඩවල මම බොහොම පරෙස්සමින් මේ සින්දු ටික ලියලා. පිටු අංක කරලා, පටුනක් ලියලා සින්දු වෙන වෙනම වර්ග කරන්න සංකේත දාලා. මේ දේවල්වලින් මම අසීමිත සතුටක් ලැබුව බව මට මතකයි. අදටත් මම සින්දුවකට ආදරේ වෙන්නේ ඒකෙ වචන 'දැනුනොත්' විතරයි. ඒකට අඩිතාලම වැටුණේ මම පුංචි කෙල්ලෙක් කාලේ මහා රෑ කළුවරේ ඉඳන් ට්‍රාන්සිස්ටර් රේඩියෝවකින් සින්දු අහද්දී වෙන්න ඇති.



අපේ පුතාටත් දැන් වයස අවුරුදු දාහතරයි. එයා කැමති ඉංග්‍රීසි සින්දුවලට. ඒත් එයා මම කැමති සිංහල සින්දු කාර් එකේ යද්දී ඇහිලා පුරුදු නිසා එයින් සින්දුවක් වෙන තැනකදී ඇහුනොත් "අන්න අම්මා කැමති සින්දුවක් යනවා" කියන්න තරම් සංවේදියි. "ඔයා පුතාට සින්දු අහන්න ඉඩ දීලාද තියෙන්නේ?" පුතාගේ හෙඩ් ෆෝන්ස් දෙක සාලේ පුටුවක වත උඩ තියෙනවා දැකලා අපේ ගෙදරට ආව මගේ යාලුවෙක් දවසක් ඇහුවා. "ඔව්, එයා සින්දු අහනවා සමහර වෙලාවට. ඇයි?" මම ඇහුවා. "ඔය ඉංග්‍රීසි සින්දුවල මොනවා කියනවද කියලා කවුද දන්නේ. මම නම් මගේ දෙන්නාට සින්දු අහන්න දෙන්නේ නැහැ." එයා උත්තර දුන්නා. මට දැනුණු පුදුමය මාව නිරුත්තර කළා .


දශක දෙක තුනකට පස්සේ, මුහුදු කීපයක් තරණය කරලා ඇවිත් මගේ ළඟ බොහොම පරෙස්සමට තියෙන මගේ මේ 'සින්දු පොත' ආයෙත් වතාවක් පෙරළද්දී මට යාලුවාගේ ඒ වචන මතක් වුණා. ඒ කාලේ ඒ විදිහට මට සින්දු අහන්න එපා කියන්න කෙනෙක් නොහිටිය එක කොයිතරම් දෙයක්ද?


පොතේ පිටු අතරේ පාට හේදුණු රෝස පාට මලක් මේ තරම් කාලෙකට පස්සෙත් බොහොම සුරක්ෂිතව තියෙනවා. ඒ වගේම මේ පොතේ බොහොම සීරුවට සිංදු බර ගාණක වචන ලිව්ව අවුරුදු දාහතරක කෙල්ලත් තාම මගේ ඇතුලේ ජීවත්වෙන බව මම දන්නවා.






27 comments:

  1. මේ සින්දු පොත මටත් වටිනා සිහිවටනයක්.
    මටත් සම්පූර්ණයෙන්ම අමතක වී ගිය සිද්ධියක් ඒ පරණ Diary පිටුවෙන් දැකගන්නට ලැබුණා.
    එය මෙසේයි. '1989 ජනවාරි 29 වන ඉරිදා සිට වත්තල Pegasus Reef Hotel එකේ පවත්වන ලද අධ්‍යාපන කාර්ය සැසියකට සහභාගී වීම සඳහා මා එදින ගෙදරින් පිටත්වී තිබෙනවා.'
    අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද මෙම තුන්දින නේවාසික කාර්ය සැසියේ තේමාව වූයේ "යෝජිත නව විෂයය නිර්දේශය අනුව විද්‍යා පාඩම් පොත් සකස් කිරීම සඳහා අවශ්‍ය අත් පොතක් සකස් කිරීම" බව එය දුටු විගස සිහියට නැගුනා. මේ 'සින්දු' පොතේ මේ වගේ වැදහත් තවත් බොහෝ දේ තිබෙන්නට පුළුවන් බව මගේ විශ්වාසයයි. "සින්දු අතර සැඟවී ඇති පැරණි තොරතුරු"

    ReplyDelete
    Replies
    1. තාත්තාට තමයි මට වගේම මගේ මේ 'සින්දු පොත' වැදගත් වෙන්නේ. මම දෙන්නම්කො බලන්න. අවුරුදු 30+ එහාට යන්න හොඳ චාන්ස් එකක්!

      Delete
    2. මලීගේ සින්දු 'ඩයරිය' ඊයේ කියවන්නට ලැබුණා. මා කියවුවේ එහි තිබුණු සින්දු නොවෙයි. වසර 32 කට ඉහතදී ඒ 'ඩයරියේ' ලියා තිබුණු මගේ රාජකාරි කාර්යාල සටහන් පමණයි. ඒ භීෂණ කාලයේ (1989) නිසා අපට රාජකාරි දිනපොතක් ලෙස ලැබුණෙත් බාල වර්ගයේ පේමන්ට් එකේ විකුණන වර්ගයේ එකක්. මේ ඒකයි. ඉතාමත් සුවිශේෂී දෙයක් ලෙස එහි සටහන් කර තිබුණේ 'ත්‍රස්තවාදීන්ගේ අණසක' නිසා දින විස්සක් පමණ කාර්යාලය වසා දමා ඇති බවයි. ඔය කලබල අස්සේ ගුවන් විදුලි සාකච්ඡා කිහිපයකටත්, දේශීයව පැවැත්වූ අධ්‍යාපන සමුළු කිහිපයකටත් සහභාගී වී තිබෙනවා. මේ සියල්ල නිසා එම සින්දු පොත 'දින පොතක්' ලෙස පැවති කාලයේදී පළමු අයිතිකරුවූ මගේ මතකයෙන් සදහටම අමතක වී යන්නට තිබුණු කරුණු රාශියක් නැවත කියවන්නට ලැබීම සතුටක්.

      Delete
    3. ඇයි මඟුල් ගෙවල් කීපයක දින වකවානුත් මතක් වුණා නේ ආයෙත්. එහෙම බැඳපු සමහරු මේ වෙද්දී මැරිලා!

      Delete
  2. සිංදු අහල තියේ. ඒව රෙකෝඩ් කරලත් තියේ. ඒත් ඒ රෙකොඩ් බාර් වලින් නං නෙවී. රේඩිවෙකේ යනකොට ළඟ ඉඳගෙන ඔබලම තමා. එකම සිංදුව දෙතුන් පාර රැකොඩ් කරනව. ඇය ඉතිං මැදිං නවතනව නැත්තං කෑලි නෑ. 😃😃😃

    ReplyDelete
    Replies
    1. මහේෂ්- ඔව් ඔව් එහෙමත් කරලා තියෙනවා! ආසා සින්දුවක් රේඩියෝවේ යද්දී මේස පුටු පෙරලගෙන දුවගෙන එන්නේ රෙකෝඩ් බොත්තම ඔබන්න. ඔය නිසා ගොඩක් වෙලාවට සිංදුවල මුල තප්පර කීපය missing. ඉවරවෙනකම් රේඩියෝව ලඟින් හෙල්ලෙන්නේ නැතිව ඉන්නත් ඕන රෙකෝඩ් වෙන එක නවත්තන්න. වැරදිලා බණ කැසට් වල එහෙම ඔහොම සින්දු රෙකෝඩ් කරලා බැනුම් අහලාත් තියෙනවා. :D

      Delete
  3. දැනෙන සිංදුවල තේරුම් හොයාගෙන අහන එක වෙනව සමවැදීමක්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්.
      Welcome to the blog :)

      Delete
  4. මිසීට මතකද රෑට අසන්නන්ගේ ඉල්ලීම් සඳහා 'තැපැල් පත්' යවන සෙට් එකක් හිටිය ?
    වතුරේගම සුදිරට් අබේසේකර, කොල්ලුපිටියේ හැරිසන් පෙරේරා, මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුබසිංහ...

    සිංදු පොත් කේස් එක girls thing එකක්ද මන්දා. මං නං අද වෙනතුරු lyrics ගැන වෙහෙසීමක් නෑ. නමුත් ඉස්කෝලෙ යනකාලෙ නං බෝම ලස්සනට වටකුරුවට ලියපු සිංදු නං බොහොමයක් ලැබිල තියෙනවා, මොකද මං මිත්‍රයො කීප දෙනෙකුට සෙකටරි වැඩේ කරලා තියෙන නිසා. Fun times.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඇයි බෝයගනේ පර්ල් අයිරින්? :D

      මම ඒ ලෙවල් කරන කාලේ සිරසේ ද කොහෙද ඔහොම රෑට යන සින්දු වැඩසටහනකට (දැන් නම මතක නැහැ, දිල්රුක්ෂි තමයි මෙහෙයවූයේ) අපේ යාළුවො සෙට් එකම නම් දාලා පොස්ට්කාඩ් එකක් යැව්වා. ඒ දවස්වල පාඩම් කරගෙන ඇහැරගෙන ඉන්න ගමන් අහන්න. ඒ ටිකේ ඉතින් රෑට පාඩමක් වුණේ නම් නැහැ. අන්තිමේදී දවසක් අපේ පෝස්ට් කාඩ් එක කියෙව්වා, අනේ ඒත් ඒකට දුන්නේ අපි ඉල්ලුව සින්දුව නෙමෙයි!

      මට නම් සින්දුවක වචන සෙට් උනේ නැත්නම් එතැනින්ම සින්දුවේ ටිකට් කැපෙනවා. එක එක්කෙනාගේ හැටි නේද?

      Delete
  5. හැට්ටර් ඔය කියන සෙට් එකේ එක්කෙනෙක් කොත්තු සින්ඩිට පටන් ගත්ත කාලෙ ලස්සන බ්ලොග් එකකුත් ලිව්වා "අක්කණ්ඩි" නමින්. නම මතක නෑ.

    අපූරු මතක සටහනක්.😊

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යු බස්සා- අක්කණ්ඩි පුෂ්පා රම්ලානි නේද? ලියනගේ අමරකීර්තිගේ කුරුළු හදවත පොතෙත් ඔය නම් ගම ටික ඔක්කොම තිබ්බා වගේ මතකයි

      Delete
    2. හරියට හරි, එයා තමා. ලස්සනට ලිව්වා. දැන් පේන්න නෑ.

      Delete
  6. YouTube has lot of sinhala songs from very old, old to new. Some are from original records (nice to hear the sound of records) There are many tools to convert YouTube to MP3, I have terabytes of Sinhala MP3s collection.

    ReplyDelete
    Replies
    1. True, you can find almost any sinhala song now on youtube. very useful to us living abroad!

      Delete
  7. "ඔය ඉංග්‍රීසි සින්දුවල මොනවා කියනවද කියලා කවුද දන්නේ" මේ වගේ දේවල් ඇහෙනකොට ලැජ්ජ හිතෙනවා සමහර අය හිතන විදිහ ගැන. මගේ යාලුවෙක් දවසක් කිව්වා ලංකාවෙ ලමයි සංගීතය පැත්තට යොමුවෙන එකෙන් වෙන්නෙ ගණන් බැරිවෙන එක කියලා.

    ReplyDelete
    Replies
    1. පිටරට පදිංචිවෙන සමහර ලංකාවේ මිනිස්සුන්ට අමුතුම අසනීපයක් හැදෙනවා. මම (first hand) අහපු ඒවගේ කතා දෙකක් මේ

      -ළමයි පොත් කියෙව්වාම ගණිතයට දුර්වල වෙනවා. ඒ නිසා පොත් කියවන්න දෙන්න නරකයි. (ඔයා කිව්ව සංගීතය කතාවේ වෙන වර්ෂන් එකක්)

      -ළමයි පොඩි කාලේ play centres වලට සෙල්ලම් කරන්න අරගෙන ගියාම ලොකු උනාම නයිට් ක්ලබ් යන්න පුරුදු වෙනවා

      මේ වගේ අසනීප වලට බේත් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. පවු ඒ ළමයි

      Delete
    2. අද දවසේ තාරුණ්‍යට හේනේ වැදිච්ච තැන ඔතන. අනාගතය, රැකියාව වගේ ඒවා බලාගෙන ළමයි පොත් වනපොත් කරනවා. ඒත් රසවින්දයට පොඩි හරි ඉඩක් වෙන් නොකර. අනික් පැත්තෙන් ස්ටාර් තරංග කටපාඩමින් සින්දු කියන පොඩි එවුන්. පාසලෙත් විෂය නිර්දේශයට කලාව, සාහිත්‍ය උගන්වනවා. එච්චරයි. ඒ එන ළමයි සමාජයේ හැසිරෙන්නේ උම්මත්තකක වේසෙන්. ඒකයි තමන් කැමති ගෑනු ළමය තමාට අකමැති වෙනකොට පිහියෙන් අනින මානසිකත්වයකින් ඉන්නෙ...

      Delete
    3. සහතික ඇත්ත. අලුත් පරම්පරාව සමහර වෙලාවට රොබොටික් ලුක් එකක් තියෙන්නේ මේ නිසා වෙන්න ඇති.
      Welcome to the blog!

      Delete
  8. පැරණි කථානම් බොහොමයි! අර ලිස්ට් එකේ මුලටම හිටිය "යටියන්තොට හින්ටන් ඒ ද සිල්වා" කියලා කෙනෙක්!
    ඇත්තටම ඒකාලේ රේඩියෝ එකෙන් සිංදු අහන එක සුපිරිම විනෝදාංශයක් ! ඒකාලේ ඔය පත්තර වල තිබුනා "මිතුරු හවුල", "මිතුරු මිතුරියෝ", "යහළු යෙහෙළි" වගේ පොඩි පොඩි සීන් කෝන්! ඉතින් ඒවායේ බොහෝ දෙනාගේ විනෝදාංශය උනේ ගුවන් විදුලියට සවන් දීම! ඒකාලේ ගුවන් විදුලියට සවන් දීම කියලා ක්‍රියා පදයක් තිබ්බත් දැන් එහෙම ක්‍රියා පදයක් නැත්තට නැතිවී ගිහින්! දැන් රෙඩියෝ අහනවා නෙවේ ඇහෙනවානේ! ඇත්තටන්ම ගුවන් විදුලිය දියුණුයි කියලා හිතුවාට ඒකාලේ කීයාක්ද මංදා ගෙවලා රෙඩියෝ ලයිසන් එකක අරං රේඩියෝ අහපු මිනිස්සුංට දැන් "හිරු ඇහුවොත් සල්ල තමයි!" කියලා තරගෙට සල්ලි බෙදනවා!
    ඔය සිංදු පොත් කෙරුවාව ඒකාලෙ අපි හැමෝම ලඟ තිබ්බ වැඩක්! ඒ කාලේ චිතරපට ශාලා ඉදිරියේ සිංදු පොතුත් විකුණනවා! චිත්‍රපටය බලන්න යන්නේ සිංදු පොතත් අරං! ඒ ගිහිල්ලා ඒ සිංදුව යන වේලාවට පොත පෙරළගෙන සිංදුව කියනවා මම දැක තියෙනවා.
    කාලෙන් කාලෙට ඔය වගේ පුරුදු හමාගෙන යනවා. කාලෙකට ඔටෝ ග්‍රාෆ් හෙවත් සමෘ පොත්! තවත් කාලෙකට සිංදු පොත්! තවත් කාලෙකට ෆේවරිට් පොත්! ඇත්තටම ඔය තුනම ප්‍රභල අවියක් උනා යෞවනයෙකුට තම හැඟීම ඉදිරිපත් කරණ්නටත්!
    සමහර විට සිංදු පොත හදන්නේම තවත් කාව හරි ඉලක්ක කරගෙන!
    හැබැයි එහෙම ඒවා ඔය වගේ පැරණි දින පොත් වල නෙවෙයි ලියැවුනේ.
    ලස්සන ලස්සන පොත්වල!
    කොහොම උනත් ලස්සන මතකයක් ඔබ ගෙන ආවේ!

    යන්න හදන කොට මතක් උනේ! ඒකාලේ අපේ වැඩි හිටියන් අතර මතයක් තිබ්බා පොඩි කාලේ බුලත් කෑවාම ලොකු උනාම ඉංග්‍රීසි උච්ඡාරනය කරණ්න බෑ කියල නම්!

    ReplyDelete
    Replies
    1. මොන බොරුද . ලොකු වෙලා බුලත් කනකොට සිංහලත් හරියට කියවෙන්නේ නෑ ලොකු සර්

      https://www.youtube.com/watch?v=uw4I7TLS9gA#t=1m24

      ජයවේවා!

      Delete
    2. අපිට රිප්ලයි කරණ්න කවුරුත් නෑ වගේ හැට්ටර් මල්ලී!

      Delete
    3. ඔය කිව්වට දැන් අලුත් පරම්පරාවේ අය අතර බුලත් හැපීමත් සිගරට් දුම් බිමත් බොහෝ දුරට අඩු නේද? අලුත් සංඛ්‍යා ලේඛන නම් කලකින් දුටුවේ නැහැ.!

      Delete
    4. හැට්ටරේ අර ලින්ක් එක නං පට්ටයි බොස්. අයිතිකාරි එනතුරු අපි කමෙන්ට් කරමු නේද?🤣

      Delete
    5. තට්ටයා- රිප්ලයි පමාවට සමාව ඉල්ලනවා මුලින්ම! කලින් වටයක් ඇවිත් රිප්ලයි කරලා ගිය ටිකට තව කමෙන්ට් හයක් හතක් වැටිලානේ! දිග කමෙන්ට් එකට තෑන්ක් යූ. ඇත්තටම දැන් රේඩියෝ අහනවා නෙමෙයි ඇහෙනවා. පිටරට ඉන්න අපි ඒකත් නැති තරම්.

      හැට්ටර් - අර බුලත්විට කතාව මරු!:D ඒ මනුස්සයා කිව්ව දේවල් තේරුම් කරගන්න තව බුලත්විට කාරයෙක්ම ඕන! ඕස්ට්‍රේලියාවේ හැදිච්ච මගේ ඥාති පුතෙක් පොඩි කාලේ ලංකාවට ගිය වෙලාවක නෑදෑ කෙනෙක් බුලත්විට කනවා හොඳට බලාගෙන ඉඳලා ආපහු මෙහෙ ආවාට පස්සේ යාලුවන්ට කියනවලු I have an uncle who eats leaves කියලා :D

      Delete

  9. මට සින්දු පොතක් නම් තිබුනෙ නෑ. ඒත් ඔබේ කතාව මාව අතීතයට ගෙනගියා. තෝරාගත් සින්දු එකතු කල අතීතයක් තිබුණා. මල්වත්ත පාරේ කැසට් කඩවල ඒවා පටිගත කරගන්න රස්තියාදු උනා මතකයි.

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ, අපේ පරම්පරාවේ අය තමන් ආසා සින්දු වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණු බවක් මේ සටහනට ලැබුණු ප්‍රතිචාර වලින් මට තේරුණා. රේඩියෝ චැනල් මහා ගොඩක් නැති, සින්දු කැසට් පටිගත කරගන්න සෑහෙන්න කරදර වුණු ඒ කාලේ ගැන ඇත්තටම අපි හැමෝටම තියෙන්නේ සොඳුරු නොස්ටැල්ජියානු මතකයක්.

      Delete