February 09, 2026

ටෙලිෆෝන් මතක


පහුගිය දවසක අපේ පුතාත්, ලොකු අක්කාගේ පුතාලත් ඇතුළු තරුණ ළමයි කීපදෙනෙක් එක්ක කතාබහක ඉන්දැද්දී 'ටෙලිෆෝන්' ගැන මාතෘකාව ආවා. මේ ළමයි නම් හොඳටම දැනගෙන හිටියේ මොබයිල් ෆෝන්ස් ගැන විතරයි. ලෑන්ඩ් ෆෝන්ස් වුණත් එයාලා දැනගෙන හිටියේ බොත්තම් ඔබන, ස්පීකර් දාන්න පුළුවන් වර්ගයේ ඒවා. පරණ ජාතියේ ඉලක්කම් කරකවන ෆෝන් එකක් අපේ ගෙදර තිබුණු බව තාත්තාත්, අක්කාත්, මාත් කීවම එයාලට හරි පුදුමයි. ඉතින් ඒ කතාබහෙන් තමයි මේ ටෙලිෆෝන් මතක සටහන මතු වුණේ.

අසූව දශකයේ මැද හරියේදී ලංකාවේ ගෙවල් වල ලෑන්ඩ් ෆෝන්ස් වැඩිය තිබුණේ නැහැ, ඒවා තිබුණේ ආයතන වල, පොස්ට් ඔෆිස් වල එහෙම තමයි. ඔය කාලේ අපේ ගෙදර තිබුණා අඳුරු කොල පාට, නොම්මර කරකවන ටෙලිෆෝන් එකක්. ඒක තියලා තිබුණේ ගෙදර ඉස්සරහම තිබුණු කන්තෝරු කාමරේ මේසයක් උඩ තියපු ලොකු ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි එකක් උඩ. ඔය පොත පෙරළලා තමයි ඒ කාලේ කාගේ කාගේත් නොම්මර හොයාගත්තේ. මේ පොත බස්නාහිර පළාතට වෙනමම ද මුළු රටේම නොම්මර එක පොතක තිබුණා ද කියලා මට මේ වෙද්දී මතක නැහැ.

ඒ කාලේ ඉතින් වැඩිය කාටවත් ටෙලිෆෝන් නොතිබුණු නිසා අපිට නම් ඕක තිබ්බත් කතාකරන්න කෙනෙක් හිටියේත් නැහැ. තාත්තා ට නම් ඒකට රාජකාරී ඇමතුම් ආවා. ඕක ring වෙද්දී කුස්සියටත් ඇහුණා- එහෙමට සද්දයි. ඒ කාලේ ටෙලිෆෝන් answer කළේ වැඩිහිටියෝ විතරයි, ඒ තරම් වැදගත් තැනක් ගෙදර එකට ලැබුණා. ඒ වගේම තමයි ඒ කාලේ තමන් ඉන්න දුරකථන කලාපෙන් පිට කලාපයකට කෝල් එකක් ගන්නවා නම් 'එක්ස්චේන්ජ්' එකක් හරහා ගන්න සිදු වුණු එක. ඉතින් අපි පානදුර එක්ස්චේන්ජ් එකට කතාකරලා අපිට ඕන නොම්මරේ කියනවා. එතැන ඔපරේටර් ඒ නොම්මරේට කතාකරලා, අපිට ආයෙත් කෝල් කරලා 'මෙන්න ඔයාගේ කෝල් එක' කියලා සම්බන්ධ කරනවා. මේකට විනාඩි දහයක් පහලවක් යන්න පුළුවන්, ඉන්ස්ටන්ට් කෝල්ස් කියලා ජාතියක් තිබුණේ ළඟ පාතට විතරයි. මට මතකයි කළුබෝවිල හිටිය අපේ පුංචි අම්මාලගේ ගෙදරට අම්මලා ඒ විදිහට එක්ස්චේන්ජ් එක හරහා කෝල්ස් ගන්නවා. 

ඊට අමතරව අපේ ගෙදර තිබුණු ටෙලිෆෝන් එකෙන් පොඩි සමාජ මෙහෙවරකුත් වුණා. ඒ කාලේ අපේ පළාතේ තරුණයෝ එක එක තාක්ෂණික රස්සාවලට මැද පෙරදිග රටවලට යන්න පටන්ගෙන තිබුණ කාලේ. ඒත් එයාලගේ පෙම්වතියො හිටිය ලංකාවේ. ඉතින් මේ අයියලා අපේ ගෙවල් අහල පහල හිටිය එයාලගේ පෙම්වතියන්ට කෝල් කළේ අපේ ගෙදර ටෙලිෆෝන් එකට. ඒකත් කෝල්ස් දෙකකට තමයි සිද්ධ වුණේ. මුලින් කතාකරලා ෆෝන් එක ගන්න අම්මාට කියනවා 'ඇන්ටි, ලාලනී ට තව විනාඩි දහයකින් ඔහෙට ඇවිත් ඉන්න කියන්න පුලුවන්ද?' වගේ පණිවිඩයක්. ඊටපස්සේ විනාඩි දහයකින් ආයෙත් කතාකරනවා ලාලනී එක්ක කතාකරන බලාපොරොත්තුවෙන්. ඔය විනාඩි දහය ඇතුළත අහල පහල ගෙවල් වලට මේ පණිවිඩය අරගෙන යන රාජකාරිය පවුලේ බාලයා වශයෙන් මට තමයි පැවරුණේ. ඒ කාලේ වයස අවුරුදු දහයක් වගේ තරමේ හිටිය මට මේ පෙම්වතුන්ගේ කෝල්ස් වල තිබුණු වැදගත්කමක් ලොකුවට තේරුණේ නැහැ, හැබැයි මං එක පයින් මේ පණිවිඩ ගෙන යාම කළා.  

අනුන්ගේ ගෙදරකට ගිහින් තමන්ගේ පෙම්වතා එක්ක ටෙලිෆෝන් එකෙන් කතාකරන්න සිද්ධ වෙනවා කියන එක ඒ කාලේ මේ අක්කලාට මහා කරදරකාරී වැඩක් වෙන්න ඇති කියලා දැන් නම් හිතෙනවා. හැබැයි ඉතින් එයාලට කතාකරන්න තිබුණු එකම ක්‍රමයත් ඒකනේ. ෆෝන් එක තිබුණේ ගෙදර පොදු තැනක නෙමෙයි නිසා එයාලට ඒ කතාබහට උවමනා privacy එක නම් තිබුණා. හැබැයි ඉතින් සමහර දාට ඔය කෝල්ස් අතර පෙම්වතුන් ජෝඩුවගේ රණ්ඩුත් සිද්ධ වුණු බව මතකයි. ඒ බව අපි දැනගන්නේ අදාළ අක්කා කෝල් එක ඉවරවෙලා කඳුළු පිහදමමින් "තෑන්ක් යූ ඇන්ටි, ගිහින් එන්නම් නංගි" කියලා හැඬුම්බරව අපේ ගෙදර අයට කියද්දී. හැබැයි කියන්න සන්තෝසයි, මම එහෙම ටෙලිෆෝන් පණිවිඩ ගැන පණිවිඩ අරගෙන ගිය ඔක්කොම ජෝඩු කසාද බැඳලා දැන් දරු මුනුපුරොත් ඉන්නවා! 

දැන් තියන මොබයිල් ෆෝන්ස් අපට ඉස්සරට වැඩිය ප්‍රයෝජන බව, නැතිව බැරි බව ඇත්තයි. හැබැයි මට හිතෙන්නේ තිස්සෙම අත පාත තියෙන නිසා අපට ඒකෙ අගය අඩුයි කියලා. එක්ස්චේන්ජ් එකක් හරහා කතාකරලා, බලාගෙන ඉඳලා, දුරබැහැර ට කෝල්ස් ගන්න වුණා නම්, අපේ ආදරණීයෙකුගේ කටහඬ අහන්න අසල්වැසි ගෙදරකට ගිහින් බලාගෙන ඉන්න වුණා නම් සමහර විට අපට දැන් අපේ අතේ තියෙන මේ ක්ෂණික පණිවිඩ හුවමාරු උපකරණයේත් අගය වැඩි වැඩියෙන් දැනේවි!


Picture-AI 


No comments:

Post a Comment