February 09, 2026

ටෙලිෆෝන් මතක


පහුගිය දවසක අපේ පුතාත්, ලොකු අක්කාගේ පුතාලත් ඇතුළු තරුණ ළමයි කීපදෙනෙක් එක්ක කතාබහක ඉන්දැද්දී 'ටෙලිෆෝන්' ගැන මාතෘකාව ආවා. මේ ළමයි නම් හොඳටම දැනගෙන හිටියේ මොබයිල් ෆෝන්ස් ගැන විතරයි. ලෑන්ඩ් ෆෝන්ස් වුණත් එයාලා දැනගෙන හිටියේ බොත්තම් ඔබන, ස්පීකර් දාන්න පුළුවන් වර්ගයේ ඒවා. පරණ ජාතියේ ඉලක්කම් කරකවන ෆෝන් එකක් අපේ ගෙදර තිබුණු බව තාත්තාත්, අක්කාත්, මාත් කීවම එයාලට හරි පුදුමයි. ඉතින් ඒ කතාබහෙන් තමයි මේ ටෙලිෆෝන් මතක සටහන මතු වුණේ.

අසූව දශකයේ මැද හරියේදී ලංකාවේ ගෙවල් වල ලෑන්ඩ් ෆෝන්ස් වැඩිය තිබුණේ නැහැ, ඒවා තිබුණේ ආයතන වල, පොස්ට් ඔෆිස් වල එහෙම තමයි. ඔය කාලේ අපේ ගෙදර තිබුණා අඳුරු කොල පාට, නොම්මර කරකවන ටෙලිෆෝන් එකක්. ඒක තියලා තිබුණේ ගෙදර ඉස්සරහම තිබුණු කන්තෝරු කාමරේ මේසයක් උඩ තියපු ලොකු ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි එකක් උඩ. ඔය පොත පෙරළලා තමයි ඒ කාලේ කාගේ කාගේත් නොම්මර හොයාගත්තේ. මේ පොත බස්නාහිර පළාතට වෙනමම ද මුළු රටේම නොම්මර එක පොතක තිබුණා ද කියලා මට මේ වෙද්දී මතක නැහැ.

ඒ කාලේ ඉතින් වැඩිය කාටවත් ටෙලිෆෝන් නොතිබුණු නිසා අපිට නම් ඕක තිබ්බත් කතාකරන්න කෙනෙක් හිටියේත් නැහැ. තාත්තා ට නම් ඒකට රාජකාරී ඇමතුම් ආවා. ඕක ring වෙද්දී කුස්සියටත් ඇහුණා- එහෙමට සද්දයි. ඒ කාලේ ටෙලිෆෝන් answer කළේ වැඩිහිටියෝ විතරයි, ඒ තරම් වැදගත් තැනක් ගෙදර එකට ලැබුණා. ඒ වගේම තමයි ඒ කාලේ තමන් ඉන්න දුරකථන කලාපෙන් පිට කලාපයකට කෝල් එකක් ගන්නවා නම් 'එක්ස්චේන්ජ්' එකක් හරහා ගන්න සිදු වුණු එක. ඉතින් අපි පානදුර එක්ස්චේන්ජ් එකට කතාකරලා අපිට ඕන නොම්මරේ කියනවා. එතැන ඔපරේටර් ඒ නොම්මරේට කතාකරලා, අපිට ආයෙත් කෝල් කරලා 'මෙන්න ඔයාගේ කෝල් එක' කියලා සම්බන්ධ කරනවා. මේකට විනාඩි දහයක් පහලවක් යන්න පුළුවන්, ඉන්ස්ටන්ට් කෝල්ස් කියලා ජාතියක් තිබුණේ ළඟ පාතට විතරයි. මට මතකයි කළුබෝවිල හිටිය අපේ පුංචි අම්මාලගේ ගෙදරට අම්මලා ඒ විදිහට එක්ස්චේන්ජ් එක හරහා කෝල්ස් ගන්නවා. 

ඊට අමතරව අපේ ගෙදර තිබුණු ටෙලිෆෝන් එකෙන් පොඩි සමාජ මෙහෙවරකුත් වුණා. ඒ කාලේ අපේ පළාතේ තරුණයෝ එක එක තාක්ෂණික රස්සාවලට මැද පෙරදිග රටවලට යන්න පටන්ගෙන තිබුණ කාලේ. ඒත් එයාලගේ පෙම්වතියො හිටිය ලංකාවේ. ඉතින් මේ අයියලා අපේ ගෙවල් අහල පහල හිටිය එයාලගේ පෙම්වතියන්ට කෝල් කළේ අපේ ගෙදර ටෙලිෆෝන් එකට. ඒකත් කෝල්ස් දෙකකට තමයි සිද්ධ වුණේ. මුලින් කතාකරලා ෆෝන් එක ගන්න අම්මාට කියනවා 'ඇන්ටි, ලාලනී ට තව විනාඩි දහයකින් ඔහෙට ඇවිත් ඉන්න කියන්න පුලුවන්ද?' වගේ පණිවිඩයක්. ඊටපස්සේ විනාඩි දහයකින් ආයෙත් කතාකරනවා ලාලනී එක්ක කතාකරන බලාපොරොත්තුවෙන්. ඔය විනාඩි දහය ඇතුළත අහල පහල ගෙවල් වලට මේ පණිවිඩය අරගෙන යන රාජකාරිය පවුලේ බාලයා වශයෙන් මට තමයි පැවරුණේ. ඒ කාලේ වයස අවුරුදු දහයක් වගේ තරමේ හිටිය මට මේ පෙම්වතුන්ගේ කෝල්ස් වල තිබුණු වැදගත්කමක් ලොකුවට තේරුණේ නැහැ, හැබැයි මං එක පයින් මේ පණිවිඩ ගෙන යාම කළා.  

අනුන්ගේ ගෙදරකට ගිහින් තමන්ගේ පෙම්වතා එක්ක ටෙලිෆෝන් එකෙන් කතාකරන්න සිද්ධ වෙනවා කියන එක ඒ කාලේ මේ අක්කලාට මහා කරදරකාරී වැඩක් වෙන්න ඇති කියලා දැන් නම් හිතෙනවා. හැබැයි ඉතින් එයාලට කතාකරන්න තිබුණු එකම ක්‍රමයත් ඒකනේ. ෆෝන් එක තිබුණේ ගෙදර පොදු තැනක නෙමෙයි නිසා එයාලට ඒ කතාබහට උවමනා privacy එක නම් තිබුණා. හැබැයි ඉතින් සමහර දාට ඔය කෝල්ස් අතර පෙම්වතුන් ජෝඩුවගේ රණ්ඩුත් සිද්ධ වුණු බව මතකයි. ඒ බව අපි දැනගන්නේ අදාළ අක්කා කෝල් එක ඉවරවෙලා කඳුළු පිහදමමින් "තෑන්ක් යූ ඇන්ටි, ගිහින් එන්නම් නංගි" කියලා හැඬුම්බරව අපේ ගෙදර අයට කියද්දී. හැබැයි කියන්න සන්තෝසයි, මම එහෙම ටෙලිෆෝන් පණිවිඩ ගැන පණිවිඩ අරගෙන ගිය ඔක්කොම ජෝඩු කසාද බැඳලා දැන් දරු මුනුපුරොත් ඉන්නවා! 

දැන් තියන මොබයිල් ෆෝන්ස් අපට ඉස්සරට වැඩිය ප්‍රයෝජන බව, නැතිව බැරි බව ඇත්තයි. හැබැයි මට හිතෙන්නේ තිස්සෙම අත පාත තියෙන නිසා අපට ඒකෙ අගය අඩුයි කියලා. එක්ස්චේන්ජ් එකක් හරහා කතාකරලා, බලාගෙන ඉඳලා, දුරබැහැර ට කෝල්ස් ගන්න වුණා නම්, අපේ ආදරණීයෙකුගේ කටහඬ අහන්න අසල්වැසි ගෙදරකට ගිහින් බලාගෙන ඉන්න වුණා නම් සමහර විට අපට දැන් අපේ අතේ තියෙන මේ ක්ෂණික පණිවිඩ හුවමාරු උපකරණයේත් අගය වැඩි වැඩියෙන් දැනේවි!


Picture-AI 


12 comments:

  1. හෙහ්, හෙහ් බොහොම රසවත් මතක සටහනක්. 👌
    රොටරි ඩයල් ටෙලිෆෝන් මතකය ඔස්සේ ගියාම "ඤෑඤ්,ඤූං,ඤෑඤ්, හුචක්" කියල කනෙක්ට් වෙන ඩයල්-අප් ඉන්ටනෙට් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ මතක් කරන්න එපා ඩයල් අප් ඉන්ටනෙට් කාලේ. අපේ ළමයි කවදාවත් ඒ දුෂ්කර ක්‍රියා තේරුම් ගන්න එකක් වත් නැහැ! :D

      Delete
  2. ටැලිපෝන් එකක් තියෙන ගෙයක් කියන්නේ ඒ කාලේ ඉතිං වලව්වක් වගේ තමා . ඔය පණිවිඩ ගෙනියන වැඩේ මාත් කරලා තියෙනවා . අපී යාලුවෙක්ගෙ ගෙදර තිබ්බා ඉතාම පරණ අර ඇහෙන කෑල්ල කණේ තියාගෙන බිත්තියේ හයි කරලා තියෙන තඩි ෆෝන් පෙට්ටියේ තියෙන පුනිලයක් වගේ එකට කතාකරන එකකුත් .

    ReplyDelete
    Replies
    1. වලව් සීන් එකක් නම් තිබ්බේ නැහැ :D
      මට මතක හැටියට ඒ කාලේ තාත්තාගේ රාජකාරී නිසා අපිට ටෙලිෆෝන් ලයින් එකක් ගන්න 'සුදුසුකම් ලැබුවා'. ටෙලිෆෝන් දුන්නෙත් සුදුසුකම් බලලා! පස්සේ ලංකා බෙල් ආවාට පස්සේ මං හිතන්නේ ඔය ඒකාධිකාරය බිඳුනේ .
      ඔය පුනීලේ වගේ ටෙලිෆෝන් පින්තුර වල දැකලා තිබ්බාට ඇත්තට නම් දැකලාම නැහැ!

      Delete
  3. “අදාළ අක්කා කෝල් එක ඉවරවෙලා කඳුළු පිහදමමින් “තෑන්ක් යූ ඇන්ටි, ගිහින් එන්නම් නංගි“ කියලා හැඬුම්බරව අපේ ගෙදර අයට කියද්දී....“ මලී ඒ කාලෙම කතා ලියන්න පටන් ගත්තා නම් හොඳ කතා ටිකක් ලියවෙන්න තිබුණා 😍.

    ඒ ටෙලිෆෝන්ස්වල නම්බර්ස් එකින් එක කරකවද්දි එන සද්දෙට මම පොඩි කාලෙ හරි ආසයි. හොඳටම පොඩි කාලෙ ආසාවට එහෙම random numbers කරකවලා, ඒ නම්බර්ස් ඇත්ත නම්බර්ස් වලට කනෙක්ට් වෙලා කෝල්ස් ඇවිල්ලා මම අම්මගෙන් කීප සැරයක් බැනුම් අහපු මතකයකුත් තියෙනවා 😁

    ReplyDelete
    Replies
    1. Lotus- ඒ කාලේ මතක තියාගෙන හිටිය ඒවා තමයි සෑහෙන්න කාලෙකට පස්සේ කෙටි කතාවල දෙබස් වෙලා එළියට ආවේ! :D අක්කලාත් මට හිනාවෙනවා මේ වගේ අදාළ නැති පරණ විස්තර මතකයි කියලා.
      රොටරි ෆෝන් එකක නොම්මර කැරකුවා කියලා හිතද්දීත් දැන් නම් පිස්සු වගේ. ඔහොම random numbers කතාකරන එක ඒ කාලේ විනෝදාංශයක් හැටියටත් කළා නේද සමහරු. එහෙම කෝල් එකකින් පස්සේ කසාද බැඳපු මගේ යාලුවෙක් ඉන්නවා!

      Delete
  4. මගේ මතකය නොලියම බැහැ දෙවියනේ. හොස්ටල් ඉන්නකොට (අනූ ගණන් වල මුල හරියේ - බුලර්ස් ලේන් එකේ ) අපිට එහෙමට කෝල් එන්නේ නැහැ කාටවත්. දවසක් හොස්ටල් එකට යනකොට security officer දුවගෙන ඇවිත් කිව්වා ඔයාට "පියා" කියල එක්කෙනෙක් කතා කරලා ලියුමක් ගන්න එන්න කිව්වා කියල. මම දහ අතේ කල්පනා කලාට පියෙක් මතක් වුනේ නැහැ.කට්ටිය මට විහිළු කරන්නත් පටන් ගත්තා. පස්සේ මම ඒ යෝදයගෙන් මුල ඉඳන් ඇහුවා.
    කොහොම කෙනෙක්ද කතා කලේ ?
    ......පිරිමි කෙනෙක්
    මොනවාද කිව්වේ ?
    ......වැදගත් ලියුමක් ගෙදරට ඇවිත් තියනවා ගන්න එන්න කිව්වා
    කාගේ ගෙදරටද ?
    ......පියාගේ ගෙදරට වෙන්න ඇති.
    කොහොමද කිව්වේ.....
    ......කුමුදු ඉන්නවද ඇහුව...නෑ කිව්වම මේ එයාගේ පියා කතා කරන්නේ......කියල ලියුමේ කතාව කිව්වා
    ඔන්න මට වැටහුනා........අපේ තාත්තා පරණ ගුරුතුමානේ. තැපැල් කන්තෝරුවට ඇවිත් ඉතාම වැදගත් විදියට තමයි අර ටැලිපෝන් එකට කතා කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ කුමුදු ඔයාටත් වෙන දේවල්!
      මට නිකම් මැවිලා පේනවා ඔයාගේ තාත්තා එහා පැත්තේ ඉඳන් ගැඹුරු කටහඬින් කියනවා "ඒ ළමයාට කියන්න එයාගේ පියා කතා කළා කියලා" :D :D

      Delete
  5. මගේ මතකයක් තමයි සමහර විට ක්‍රොස් කනෙක්ශන් එන එක. කාගේ කවුරුද නොදැන ඒවා අහගෙන ඉන්න කැත පුරුද්දක් මගේ තිබුණා. අනෙක වැස්සකට පස්සෙ දින කීපයක් වැඩ නොකරන එක. එක කාලෙක මගේ කුඩා දරුවන් සිටින වෙනරටක කෝල් ගත්තම විනාඩියකට රුපියල් 300 ගෙවන එක.

    ReplyDelete
    Replies
    1. ඉයන්- ඔය ක්‍රොස් කනෙක්ෂන් කතාව මටත් මතකයි. ඒත් අහගෙන ඉන්න නම් ලැබිලා නැහැ! තාමත් නම් ලංකාවේ සමහර පැති වලට වැස්සාට පස්සේ ටෙලිෆෝන් වැඩකරන්නේ නැහැ.
      මීට අමතරව දෙකේ කාසි දාලා බූත් වලින් කෝල් ගත්ත හැටියි කමියුනිකේෂන් වල විස්තරයි ලියන්න බැරිවුණා.

      Delete
  6. ටැලිපෝං ගැන නං කතා ලෝකයයි නේ.
    අර ටැලිංකොං එකෙන් දෙන පොත් දෙක උස්සල කාව හරි මරන්නත් පුලුවන් 😃😃😃
    ඔය බටං පෝන් ගඩොල් බාග ගැන තමා අපිත් ටිකක් දන්නෙ. කරකවන පෝන් එක නං දැකල විතරයි. පාවිච්චි කරන්න හම්බෙලා නෑ. අපේ කාලෙ පේමස් වුනේ 1100 එකයි සෝනි එරික්සන් W200 එකය්

    මරු ඈ

    ReplyDelete
    Replies
    1. මහේෂ් - ටෙලිෆෝන් ඩිරෙක්ටරි ඒ කාලේ ඕන කෙනෙක් ව stalk කරන්න නියම ක්‍රමයක් බව දැන් තමයි තේරෙන්නේ. ඇඩ්‍රස් එක පවා තියෙනවනේ.
      කරකවන ෆෝන් දැකලා විතරයි, පාවිච්චි කරලා නැත්නම් ඔබ බොහොම ලාබාලයි පුතා! :D

      Delete