January 30, 2024

බොම්බයි මොටයි

ඉස්සර අපි පොඩි කාලේ හවස් වරු වලට ඈතින් ලාවට වගේ සීනුවක ටිලිං ටිලිං සද්දේ ඇහුනොත් ඒ බොම්බයි මොටයි වෙළෙන්දෙක් බව නොවරදවාම දැනගෙන හිටියා. ඒ කාලේ බොම්බයි මොටයි වෙළෙන්දෝ කවදාවත් බයිසිකල් වල ගියේ නැහැ, ගියේ පයින්මයි. එහෙම පයින් යද්දී ඇවිදින තාලෙට එයාලගේ අතේ තියෙන සීනුවේ සද්දේ තමයි අපට ඒ ඇහුණේ. ඒ සද්දෙට පාරට දුවගෙන ගියොත් අනිවාර්යයෙන් වෙළෙන්දා ව නවත්තා ගන්න පුළුවන් වුණෙත් එයා පයින් ගිය නිසායි. ඒ බොම්බයි මොටයි තිබුණේ මළකඩ කාලා දුර්වර්ණ වුණු ලොකු, උස ඍජුකෝණාශ්‍ර ටින් එකක. ඒකේ උඩ රවුම් පියනක් තිබුණා. බොම්බයි මොටයි වෙළෙන්දා ළඟ හතරැස් කොටු කැපුව පත්තර පිටු කම්බියක අමුණලා තිබුණා. ඒවායේ තමයි බොම්බයි මොටයි ඔතලා දෙන්නේ. ඒ කාලේ රුපියල් දහයකට වගේ අරින් හතරැස් පත්තර කොටුවක් පිරෙන්න බොම්බයි මොටයි ගන්න පුළුවන්. ඒවායේ අතට දැනෙන රළු ගතිය, තද රෝස පාට , දිවේ දියවෙන සීනි රස අදටත් පැහැදිලි ව මතක් කරන්න පුළුවන් මිහිරි මතකයක්. එක තත්පරයෙන් කටේම දියවෙලා ගියත් බොම්බයි මොටයි කියන්නේ ඒ කාලේ හැටියට අපිට ආගමක්!

ටික කාලයක් ගත වෙද්දී පාරවල් වල ඇවිදගෙන යන බොම්බයි මොටයි වෙළෙන්දෝ හිඟ වුණා. සමහර විට එයාලා එනකම් බලාගෙන ඉන්න අපිට වෙලාව නැති වුණා වෙන්නත් පුළුවන්. හදිසියකට වත් එයාලාව දකින්න ලැබුණේ කානිවල්, සංගීත සංදර්ශන වගේ තිබුණ තැන්වල. මම ජ'පුර කැම්පස් එකේ ඉන්න කාලේ ඒකෙ තිබුණු අවුරුදු උත්සවයක් වෙලාවේ මෙහෙම ආව බොම්බයි මොටයි වෙළෙන්දෙක්ගෙන් මායි යාළුවෙකුයි අතේ තිබුණු සල්ලි ඉවර වෙනකම්ම පිස්සු හැදිලා වගේ බොම්බයි මොටයි කෑවා මතක් වෙද්දී දැන් නම් හිනා. ඒ කියන්නේ ඒ වැඩිහිටි වයසෙදිත් අපි වෙනසක් නැතිව බොම්බයි මොටයි ඇදහුවා.

මෑත කාලේදී බොම්බයි මොටයි වල පිටරට වර්ෂන් එක වෙන candy floss නම් ඕනෑතරම් කන්න ලැබිලා තියෙනවා. ඒත් ඒ සිනිඳු candy floss කද්දී අර ඉස්සර ලංකාවේදී මළකඩ ටින් එකෙන් අරන් පත්තර පිටුවේ ඔතලා කෑව රළු බොම්බයි මොටයි තරම් හිත් වැදුණේ නම් නැහැ. ඔය අතරේ තමයි දැන් ලංකාවේ අර පරණ බොම්බයි මොටයි ලස්සනට පැකේජ් කරලා විකුණන්න තියෙන බව මට දැනගන්න ලැබුණේ. මේ සැරේ අපට ලංකාවෙන් ආව රසකැවිලි අතරේ මෙහෙම පොඩි පෙට්ටිවල අහුරපු බොම්බයි මොටයි තියෙනවා දැකලා මට දැනුණේ පරණ යාලුවෙක් දැක්කාම දැනෙන සන්තෝසේ! කවුද හිතුවේ ඒ බිස්නස් එක මෙහෙම ජාත්‍යන්තර මට්ටමේ එකක් වෙයි කියලා.

මේ වයසේ කියලා නැහැ, තාම අපිට හොඳට බොම්බයි මොටයි අදහන්න පුළුවන්!

18 comments:

  1. අම්මට සිරි pack කරලත් තියෙනවද
    රට පුරහම තියෙනවදෝ කියනවද
    බොම්බයි මොටයි ගැන මක්කට ලිව්වාද
    දොලදුක් හැදුණු ගණනයි - හිත දෙවයි වද

    ReplyDelete
    Replies
    1. කවි පිළිතුරු නම් බැහැ නිදි - ඒත් මේ උනන්දුව නිසාම මම ඒ පෙට්ටියේ තිබ්බ ලේබල් එක බැලුවා. :D මෙන්න contact කරලා බලන්න!
      100/SE , Razik Road, Thotawaththa, Panadura - 0776969983

      Delete
    2. මොටයි හොයන්නට විස්තර එවලාය
      දුරකතනයේ අංකය තිබ්බත් ඇතිය
      අමතන්නට තවම වේලාසන වැඩිය
      හනිකට පාර කිව්වට මලියේ තුතිය!

      Delete
    3. කෝල් කර මොටයි ගෙන්වා ගන්න ලැබේවා, මොටයි පිස්සන්ට ජය වේවා! :)

      Delete
  2. මමත් කඩචෝරු කන්න දෙයියා. බොම්බයි මොටයි, මගේ ලමා කාලෙයි ගහයි-පොත්තයි වගේ. ඕකෙ මූලාරම්භය ඉන්දියන් රස කැවිලි වෙන්න ඕනෙ කියලා අනුමාන කරලා, මම ඕක හොයන්න ගත්තා. ලඟින්න යන ඉන්දියන් රස කැවිල්ල මේක:
    SOAN PAPDI

    ලාබෙට බොහෝ ග්‍රොසරිවල තියනවා.

    ReplyDelete
    Replies
    1. මේක කියවපු මගේ අක්කා- ඔයා කලින් බූන්දි ගැනත් ලිව්වා නේද ඒක ඔයාට ආගමක් වගේ කියලා?
      මම - ඔව් ඔව්, මම බහු ආගමික! :D

      මේ ඉන්දියන් sweet එකත් මම දන්නවා බස්සා. ඉස්සර මම වැඩ කරපු තැනක හිටිය ඉන්දියන් කෙනෙක් මෙයින් පෙට්ටියක් ගෙනාව දවසේ මම අඳුරගත්තා මේක බොම්බයි මොටයි වල කම්ප්රෙස්ඩ් වර්ෂන් එක බව. ඒත් ඉතින් අර මලකඩ ටින් එකෙන් කන තරම් ජොලියක් නැහැ මෙහෙම වැදගත් විදිහට කනකොට!

      Delete
    2. ඒක ඇත්ත. වර්ග දෙකේ ටෙක්ස්චර් එක වෙනස්. ඒක රසයට සහ අතීතකාමයට බල පානවා.

      Delete
  3. කටට කෙල උණනව. ඔබ කිව්ව ඉන්දියන් රසකැවිල්ල මමත් කාල තියෙනවා. හැබැයි බොම්බයි මොටයි ඊට වඩා රසයි.

    ReplyDelete
    Replies
    1. බොම්බයි මොටයි කියන්නේ ආසම කෑමක් තමයි...කොව්චර කෑවයි කියලත් බඩ පිරෙන්නෙත් නෑනේ..

      Delete
    2. අනුරුද්ධ, මයියා - මම හිතන්නේ බොම්බයි මොටයි වල පිස්සුව තියෙන්නේ ඔය කොච්චර කෑවත් මදි කියන සිතුවිල්ලේ

      Delete
  4. මගේ දෙයියනේ
    මේ පැණිරස කෑම මාව පිස්සු වට්ටනවා
    Soan Papdi th niyama kemak thamayi

    ReplyDelete
    Replies
    1. කුමුදු- අපි පැණිරස කෑම වලින් පරෙස්සම් වෙන්න ඕන කාලෙටම මේවා ගැන පිස්සු හැදෙන එක අසාධාරණයි නේ?

      Delete
  5. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. Pra - දිග වැටෙන් පේන්නේ ඔබත් බොම්බයි මොටයි ෆෑන් කෙනෙක් බවයි!

      Delete
  6. මම බොම්බයි මොටයි කාලා නෑ. මම හිතන්නෙ එක හේතුවක් ඒ කෙඳි කෙඳි texture එකට මම අකැමතියි. ඒ වගේම මට හොඳට මතකයි පොඩි කාලෙ කානිවල් එකකදි බොම්බයි මොටයි අරන් දෙන්න කියලා ඉල්ලලා අම්මා මාව හොඳට බය කලා ඒවා කාලා පොඩි බබාලා ලෙඩ වෙනවා කියලා. ඊට අමතරව මම පොඩි කාලෙදි ලොකුවට පැනි රස කන්න ආසා නෑ (මම 'one of a kind; නේද).

    ReplyDelete
    Replies
    1. One of a kind නේන්නම්! :D මෙතැන මේ කමෙන්ට් කරපු හැමෝම ඒ ආගමේ බැතිමත්තු- මෙයා කාලාත් නැහැ!
      අම්මලා නම් ඔය වගේ ඒවා කිව්වා නේන්නම් හරියට. අයිස් ක්‍රීම් වෑන් වල අයිස්ක්‍රීම් කාණුවේ වතුරෙන් හදපු ඒවා කියලා ඉස්සර අපේ අම්මා කියනවා. අනේ අපි ඉතින් ඒක විස්වාස කරලා ඒවා ඉල්ලන්නේ නැහැ. හැබැයි පුදුමෙකට මේවා ට එහෙම තහංචියක් දැම්මේ නැහැ

      Delete
  7. මට නම් හිතෙන්නෙ බොම්බයි මුටයි වල රසයට සමාන රසයක් වෙනත් කිසිම ‍රස කැවිල්ලක නැහැ.ඒවයෙ තියෙන්නෙ ඒවටම ආවේනික රසයක්.කැන්ඩි ෆ්ලොස් වලට ඒ රසයෙ හතර මායිමටවත් කිට්ටු කරන්න බැහැ.ඒත් දැන් බොම්බයි මුටයි වෙලෙන්දො දකින්නවත් ලැබෙන්නෙ ඉතාමත්ම කලාතුරකින්.සමහර විට ඒ වගේ වෙලදාමකින් අද කාලෙ යැපෙන්න බැරි නිසා වෙන්නැති.මම ඉස්සර කොච්චර බොම්බයි මුටයි ගැන හිතුවද කියනව නම් වෙලාවක කල්පනා කරල තියනව වෙලෙන්දගෙ මුලු බොම්බයි මුටයි පෙට්ටියම එක සැරේ කටේ දාගන්න
    යම් විදිහකින් පුලුවන් කම ලැබුනත් ඒක කටේදී පොල් කටු හැන්දක ප්‍රමානයට අඩු වේවි නේද කියල.

    ReplyDelete
    Replies
    1. //කටේදී පොල් කටු හැන්දක ප්‍රමානයට අඩු වේවි නේද // ඒක ඇත්ත! :D ඒත් හිතට මදි වෙයි!

      Delete