April 17, 2026

පරණ යාලුවෙක් - Asterix




මම මුලින්ම Asterix පොතක් කියවද්දී මට අවුරුදු අටක් විතර ඇති. අපි සේෂෙල්ස් වල ඉන්න කාලේ අක්කලාත් මාත් සතිපතා එහෙ ටවුමේ පුස්තකාලෙන් පොත් ගත්තා. ඒ පුස්තකාලේදී Asterix සහ Tin Tin වගේ චිත්‍ර කතා පොත් දකිනකම් මම නම් ඊට කළින් ඒ වගේ පොත් දැකලා තිබුණේ නැහැ. ලංකාවේදී අපි දැකලා තිබුණේ චිත්‍ර කතා පත්තර, එහෙම නැත්නම් සති අන්ත පත්තරවල තිබුණු චිත්‍රකතා නේ.

Asterix පොත් කියවද්දී අමුතුම මායා ලෝකයකට යන්න ලැබෙනවා. රෝමන් සොල්දාදුවෝ එක්ක ගෝල් දේශයේ වැසියෝ නිරතුරුව පැටලෙන, ඒ සටන් වලින් බොහොම ලේසියෙන්ම ගෝල් වැසියෝ දිනන පොදු තේමාව වටේ එක එක විදිහෙන් මේ කතා ගෙතිලා තියෙනවා. මේවා අපිට නුහුරු තේමා උනත් ඒ හැම පොතක්ම එකින් එකට වෙනස්, හිත් ඇදගන්න විදිහට පෙළ ගැස්විලා තිබුණා. Asterix පොත් වගේම Tin Tin ගේ වීර ක්‍රියා පොත් පෙළත් අපි ඒ කාලේ කියෙව්වේ එක හුස්මට. Tin Tin, Captain Haddock යි Snowy බල්ලායි එක්ක ලෝකේ වටේ ගිහින් කරන වික්‍රම වලට ගැන රූප බලමින් අපි ඒ පොත් කියෙව්වේ හරි ආසාවෙන්. ඒ විස්තර ඉස්කෝලේ යාලුවන්ට කියද්දී එයාලා අපි කියන 'ටින් ටින්' වෙනුවට ප්‍රංශ ඌරුවට කිව්වේ ටැන් ටැන් නිසා පොඩි පටලැවිලි වුණා කියලාත් මට මතකයි.

පොඩි කාලේ පිස්සුවෙන් වගේ මේ වගේ වීර කතා කියෙව්වාට වැඩිහිටි වයසේදී ඒවා කියවන ආසාව අඩුයිනේ. මම වැඩ කරන ඉස්කෝලේ පුස්තකාලේ Asterix පොත් වගේම Tin Tin පොතුත් සම්පූර්ණ series පිටින් තිබුණත් මේතරම් කාලෙකට ආයෙත් කවදාවත් ඒවා පෙරලලා බලනන හිතිලාවත් තිබුණේ නැහැ. ඒ නිසා මම නිකමට වගේ මේ සැරේ නිවාඩුවට කියවන්න Asterix පොතක් ගෙදර ගෙනාවා.

මේ වතාවේ මේ පොත කියවද්දී මට මුලින්ම හිතුණ දේ තමයි 'දෙයියනේ ඉස්සරත් මේවායේ අකුරු මේ තරම් පොඩිද?" කියලා. ඒවා ඉතින් පොඩි කාලේදී නොතිබුණු, වයස යද්දී ඇතිවෙන ප්‍රශ්න. ඒ වගේම ඒ පොත්වල ළමයින්ට අහුවෙන සීමාවෙන් එහා humour එකක් තියෙන බවත් හරියටම තේරුණේ දැන් තමයි. උදාහරණයක් හැටියට Asterix පොත්වල හැම පිරිමි චරිතයකටම x වලින් ඉවරවෙන නමක් දීලා තියෙනවානේ. ඒවා Vitalstatistix, Ikonomikcrisix වගේ ඇත්තටම ඉංග්‍රීසි තේරුම් තියෙන වචන පොඩ්ඩක් එහා මෙහා කරලා බවත්, හැමෝටම කසාය හදන වෙද රාළගේ නම Getafix වීම, තිස්සෙම කරච්චලේට සින්දු කියන හාදයාගේ නම Cacofonix වීම වගේ දේවල් වල හාස්‍යයත් පොඩි ළමයින්ට නම් තේරෙනවා අඩුයි මගේ හිතේ.

ඉතින් ඇත්තටම මේ පොත් අපේ ළමා කාලයේ පදාසයක් විචිත්‍ර කළා කියලා බොහොම ආදරයෙන් මතක් කරන්න පුළුවන්. ඒ වගේම අදත් පුස්තකාලවල, පොත් කඩවල මේ පොත් දකින්න තියෙනවා කියන්නේ අපිට විතරක් නෙමෙයි, ඊළඟ පරම්පරාවලත් පුංචි ළමයින්ගේ ලෝකවල වීරයෝ හැටියට Asterix, Obelix, Tin Tin වගේ චරිත නොනවත්වාම ජයග්‍රාහී ගමනක් යන බවයි.

10 comments:

  1. මට මෙව්වා මුලින්ම මතක තාත්තගේ මහප්පාගේ සිංහල ඉංග්‍රීසි පොත් පත්තර අතර තිබිලා හමුවෙනවා. ඒ කඩදාසි අතරෙ හමු වුණ රස මතක ගැන බ්ලොග් සටහනක් ලියන්න ඕන කියලා හිතුණා මේ කියවලා..

    ReplyDelete
    Replies
    1. වර්ෂා - ලියමු! ආසයි ඒ මතක කියවන්න

      Delete
  2. සම්පූර්ණ සෙට් එකම තියනවා . සෙකන්ඩ් හෑන්ඩ් පොත් සාප්පුවක තිබිල ගත්ත . ටින් ටින් පොත් සෙට් එකෙනුත් 12 පමණ තියනවා . පාසැල් කාලයේ මතක තමයි

    ReplyDelete
    Replies
    1. අජිත් - ඔව් ඇත්තටම මේවා දැන් එකතු කරන්න හිතෙන්නේ නොස්ටැල්ජියාවට තමයි නේද

      Delete
  3. සම්පූර්ණ සෙට් දෙකම තියනවා, පොත් නෙමෙයි pdf. නැත්තෙ එදා පුස්තකාල ගානෙ පයින් ගාටලා, අමාරුවෙන් හොයාගෙන "මැණිකක්" ලැබුනා වගේ රැකගෙන කියවල ලැබුන ආතල් එක විතරමයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ, දුරාතීතෙ පිටිසර ගමක හිටිය මූකලං බස්සෙකුට , එංගලාන්තෙ රැජිනගෙ බාසාව ඉගෙනගන්න ඔය "ටින්,ටින්" ගැටයත් සෑහෙන සපෝට් එකක් දුන්නා කියයි.

      Delete
    2. බස්සා - ඔව් ඒ ආතල් එක නම් ආයෙත් ලැබෙන්නේ නැහැ. ලේසියෙන් ලබා ගනිද්දී අගය අඩුයිනේ.
      ඒ කාලේ මේවා කියවන බව තේරෙන්නේ නැතිවයි කියෙව්වේ. ඒක තමයි මේ පොත් වල මැජික් එක. දැන් කාලේ බහුලව තියෙන ජපන් ඇනිමේ පොත් එහෙමත් ඒ වගේ easy reading වර්ගයට තමයි. පොත් කියවන්න ටිකක් කම්මැලි පිරිමි ළමයි එහෙම ඒවා කියවනවා series පිටින්

      Delete
  4. Asterix පොත්වල, නම් වල ගැටපද තේරිල්ලට වඩා බොහෝ නොපෙනෙන දේ තියනවා බලන්න. ඒ වගේ සියුම් දේ ගැන උනන්දුව තියෙන්නෙ කොමික්ස් බුක් ලෝලීන්ට විතරක් වෙන්න ඇති. බාගදා ප්‍රාජේ ඒ කැටගරියට වැටෙනවා ඇති.

    The Horns of Asterix, The Celts, and the Gauls

    ReplyDelete
    Replies
    1. ඔව් මේ පොත් දෙවර්ගයේම සෑහෙන්න දේශපාලන, සමාජමය පැති තියෙනවා. ඒ නිසා මේවා පොඩි ළමයින්ට ම ලියවුණු ඒවා නෙමෙයි එක අතකට

      Delete
    2. මම රෝම ඉතිහාසය ගැන මුලින්ම ඉගනගත්තෙ ඇස්ටරික්ස් පොත් සහ රෝස්මරී සට්ක්ලිෆ් පොත්වලින්

      තාම මම ඇස්ටරික්ස් විතරක් නෙමෙයි, මාර්වල් කොමික්සුත් කියවනවා.
      https://readcomiconline.li/

      Delete