May 30, 2026

වෙසක් කාඩ් මතක


ඉස්සර වෙසක් කිට්ටු වෙද්දී අපිට තිබ්බ ලොකුම වැඩක් තමයි වෙසක් කාඩ් ගන්න එක. පහේ හයේ පන්තිවලදී පන්තියේ හිටිය ඔක්කොම ගෑනු ළමයින්ට අපි වෙසක් කාඩ් බෙදුවා, පිරිමි ළමයින්ට නම් දුන්නේ නැහැ වගේ තමයි මතක. පෝස්ට්කාඩ් එක වගේ වෙසක් කාඩ් ඒ කාලේ සත විසිපහයි.  මීට අමතරව ගුරුවරුන්ට දෙන්න අපි ගන්නේ පියන් දෙකේ ටිකක් ලොකු වෙසක් කාඩ්. ඒවා රුපියල් හතරක් පහක් වෙනවා. ඒවායේ ගොඩාක් වෙලාවට තිබුණේ බුදු පිළිමයක්. පොඩි කාඩ් වල නම් චෛත්‍ය වල පින්තූර, වෙසක් කූඩු වගේ ඒවා තිබුණේ. මල් පොකුරු වල පින්තූර තිබුණු වෙසක් කාඩ් ගනිද්දී නම් වැඩිහිටියෝ බනිනවා වෙසක් එකට අදාළ දෙයක් තියෙන කාඩ් ගන්න කියලා. ඉතින් පන්තියේ ඉන්න ගෑනු ළමයි ගාණයි, උගන්නන ගුරුවරු ගාණයි ගණන් කරලා හැමෝටම ගැලපෙන්න වෙසක් කාඩ් ගන්න එක ඒ කාලේ වෙසක් කිට්ටු වෙද්දී අපිට තිබුණු ලොකුම රාජකාරියක්. 

ඔය කාඩ් වල ලියන පිළිවෙළකුත් තිබුණා. පෝස්ට්කාඩ් වර්ගයේ ඒවා හදලා තිබුණේ මුද්දරයක් ගහලා තැපැල් කරන්නයි. හැබැයි අපි නම් ඕවා දුන්නේ අතේ. ඒ නිසා අපි වැඩි හොඳට ඒ මුද්දරය අලවන්න තිබ්බ කොටුවේ 'අතේ තැපැල්' කියලාත් ලිව්වා. දැන් නම් ඒවා මතක් වෙද්දී අයියෝ කියලාත් හිතෙනවා! මීට අමතරව අපි 'මිතුරිය වාසනාට මිතුරිය හෙල්මලීගෙන්' වගේ මාර formal විදිහට තමයි කාඩ් වල ලීවේ මේ එදිනෙදා හම්බවෙන යාලුවන්ට. ගුරුවරුන්ට ලියද්දී කීකරු සිසුවිය වගේ විශේෂණ පද ත් දැම්මා. මම ලංකාවේ ඉස්කෝලේ යන්න පටන් ගත්තේ පහේ පන්තියේ ඉඳන් නිසා මට මේ අප්‍රකාශිත වෙසක් කාඩ් හුවමාරු රීති ටික මුල ඉඳන් ඉගෙනගන්න වුණා ඉතින්. 

හැබැයි ඉතින් වෙසක් සතිය පහු වෙද්දී යාලුවන්ගෙන් ලැබුණු වෙසක් කාඩ් මිටිය මේස පුරා අතුරලා ආයෙත් ආයෙත්  හැඩ බලමින්, මේ වතාවේ කීයක් ලැබුණාද කියලා ගණන් කරමින් අපි හරි සතුටු වුණා. ඊළඟ අවුරුද්දේ පොත් වලට පිටකවර දාද්දි අලවන්න පින්තූර ගන්නෙත් මේ කාඩ් එකතුවෙන් තමයි. බුද්ධාගම පොතට නම් අනිවාර්යයෙන් ඇලෙව්වේ ලොකු බුදු පිළිමයක් තිබුණු කාඩ් එකක්. අනිත් පොත් වලට අර රෝස මල් එහෙම තිබුණු කාඩ් ප්‍රයෝජන වුණා. 

ලොකු පන්තිවලට යද්දී මේ කාඩ් හුවමාරු පුරුදු නැතිවුණා කියලායි මතක. නෑදෑ කෙනෙක්ගෙන් එහෙම ඇත්තටම තැපෑලේ ගෙදරට ආව කාඩ් එකක් දෙකක් විතරයි ඒ කාලේ වෙසක් කාලෙට ගෙදර තිබුණේ.

දැන් ලංකාවේ කඩවල වෙසක් කාඩ් විකුණන්න තියෙනවාද, ළමයි ඒවා හුවමාරු කරගන්නවාද කියලා හරියටම දන්නේ නැත්තේ මමත් ලංකාවෙන් පිටවෙලා දශක දෙකක් විතර ගතවෙලා නිසා. අපි නිවාඩුවට ලංකාවට ගිය එක සැරයක වත් වෙසක් කාලයක යන්නත් බැරි වුණා. කොහොම කළත් ඒ වෙසක් කාඩ් මතක ටික නම් බොහොම සුන්දර බව තේරෙන්නේ මෙහෙම අතීත මතක සවාරියක ඇවිදලා ආවාම තමයි.

-පරණ වෙසක් කාඩ් වල පින්තූර හොයාගන්නත් නැති තරම් දැන්. මේ පින්තූරය bbc.com පිටුවෙන්

No comments:

Post a Comment