June 19, 2021

සෙල්ලම් බඩු කතන්දර

මේ දවස්වල පුතා එයාගේ පරණ සෙල්ලම් බඩු එකතුව අස් කරමින් ඉන්නේ. මේ අතර ප්‍රධාන අංගයක් තමයි එයාගේ matchbox cars collection එක. මේ එකතුවේ එක එක ජාතියේ වාහන 200ක් විතර තියෙනවා. පුතා පුංචිම කාලේ ඉඳන් තිබුණු ආසාවක් නිසා එයාගේ තාත්තා එයාත් එක්ක ගිහින් වරින් වර තෝරලා ගත්ත ඒවා තමයි මේ. ඒවා තියන්න මේ රාක්කේ හැදුවෙත් තාත්තායි පුතයි එකතුවෙලා. (පුතාගේ අම්මාට වාහන ගැන උනන්දුව බින්දුවට කිට්ටු නිසා මේ රාක්කෙ දූවිලි පිහිදාන්න විතරයි දායක වුණේ.)

ඒත් මේ කතාවට තව කොටසක් තියෙනවා. ඒ දෙවෙනි පින්තූරේ තියෙන ටිකක් පරණ පාට වාහන ටික ගැන. මේ matchbox ටික දශක තුනකටත් වඩා පරණයි. ඒවා පුතාට ලැබුණේ එයාගේ බාප්පාගෙන්. බොහොම ඉස්සර කාලෙක ඒ මල්ලිත් මේ වගේ ආසාවෙන් එකතු කළ matchbox වාහන ටිකක් අපි දෙගොල්ලම ලංකාවට ගිය වෙලාවක මහ ගෙදර කොහේ හරි අරන් තිබිලා හම්බවෙලා එයා ඒවා පුතාට දුන්නා. පුතා ඒවා ආපහු ගෙදර අරගෙන ආවේ රටක් රාජ්‍යයක් ලැබුණු ගාණට. අවුරුදු ගාණක් තිස්සේ හීරිලා, පාට ගිහින්, දිස්නේ මැකිලා තිබුණත් එදා ඉඳන්ම ඒ වාහන ටිකටත් අනිත් ඒවා අතරේ බොහොම වැදගත් ඉඩක් හිමිවෙලා තියෙනවා.

Velveteen Rabbit කියන ළමා කතාවේ එක තැනක සෙල්ලම් බඩුවක් තව සෙල්ලම් බඩුවකට මෙහෙම කියනවා
"When a child loves you for a long, long time you become 'Real'"

එක පරම්පරාවකින් තව පරම්පරාවකට හුවමාරු වෙන මේ සෙල්ලම් බඩුත් ඒ වගේ කියලා මට හිතෙනවා.





No comments:

Post a Comment