May 29, 2024

පොත්, කවර සහ සටහන්

අභ්‍යාස පොත් සහ ඒ පොත්වල ලීව සටහන් ගැන ලියවුණු විස්තරයක් දැකලා ඇවිස්සුණු මතකයක් මේක. 

පුංචිම කාලේ නම් අපේ අභ්‍යාස පොත් වලට පිටකවර දැම්මෙත් අපේ නම් ලිව්වේත් තාත්තා. තාත්තාගේ ලස්සන රවුම් අකුරු වලින් අපේ පොත් හැඩ වුණා. ටිකක් ලොකු වෙද්දී මගේ පොත් වලට පිටකවරත් ඉටි කොළත් දාන එක මම ම කරන්න ගත්තේ ඒක මම හරිම කැමති වැඩක් නිසා. ඒ කාලේ පොත් වලට දැම්මේ බ්‍රවුන් පේපර්. මේවා එන්නේ රෝල්වල. ඉටි කොළත් එහෙමයි. පොත් වලට බ්‍රවුන් පේපර් කවරයක් දාලා කවරේ මැද්දේ ලස්සන පින්තූරයකුත් අලවනවා. ගොඩාක් ළමයි මෙහෙම ඇලෙව්වේ වෙසක් කාඩ්. වෙසක් එකට වෙසක් කාඩ් තොග ගණන් හුවමාරු වුන නිසා හැමෝටම ඒවා තිබුණා. ඒ කාලේ අපේ තාත්තා රැකියාව කළේ සේෂෙල්ස් වල. ඊට කලින් අවුරුදු කීපයක්ම අපිත් එහෙ ඉඳලා ඒ වෙද්දී අක්කලාත් අම්මාත් මාත් ලංකාවට ඇවිත් හිටියේ. ඒ වගේම අපි නිවාඩු කාලවලට නිතර එහෙ ගියා. ඒ නිසා මගේ ළඟ 'පිටරට දේවල්' තිබුණා. ඒ කාලේ Mr Men and Little Miss කියලා cartoon එකක් තිබුණා. ඒකෙ පාට පාට චරිත ඉන්න ලොකු පෝස්ටර් එකක් මට හම්බවෙන්න ඇත්තේ මේ ගමනකදී වෙන්න ඕන. ඉන් පස්සේ කාලයක්ම මගේ පොත් වල කවරේ අලවන පින්තූරය අනිවාර්යෙන් Mr Men නැත්නම් Little Miss කෙනෙක් වුණේ ඒ පෝස්ටරේ එයාලා සිය දෙනෙක් විතර හිටිය නිසා! මේ වයසට අනිත් ළමයි නොකරන දේවල් කරන්න පොඩි ආසාවක් තියෙනවනේ කොහොමත්.

තව කාලයක් ගත වෙද්දී පොත් වලට කවර, ඉටිකොළ දැම්මත් ඉස්සරහ කවරේ නම නොලියා ඇතුල්පිටේ නම ලියන්න අපි පටන් ගත්තා. එක තමයි ඒ කාලේ 'ලොකු ළමයි කරන විදිහ.' ඒ වගේම රුවන් වැකියක්, සින්දුවක කෑල්ලක් එහෙමත් ඒ පිටුවේ ලිව්වා. ඒ කාලෙම තීන්ත පෑනෙන් සටහන් ලියන්නත් ලස්සනට පිළිවෙලට මාතෘකා වෙන්කරලා ඡේද බෙදලා ලියන්නත් පටන් ගත්තා මතකයි. තීන්ත පෑනෙන් ලියද්දි වේගයෙන් ලියන්න අමාරු වුණත් එහෙමයි කියලා අපි ඒ ට්‍රෙන්ඩ් එක අත් ඇරියේ නැහැ. මට මතක හැටියට පරණ National Geographic වගේ සඟරා වල ලස්සනම ලස්සන භූමි දර්ශන වලින් මම මේ කාලේ පොත් වලට කවර දැම්මා. මේ සඟරා වල පිටු පාවිච්චි කරන්න නම් පිටු දෙකක් සඟරාවෙන් පරෙස්සමෙන් ඉරලා මැදින් අලවාගන්න ඕන. මූට්ටු නොපෙනෙන්න මෙහෙම අලවාගන්න එකත් එක්තරා කලාවක්!

තවත් කාලයක් ගතවෙලා උසස් පෙළ කාලේ එළඹුණා. මම වාණිජ විෂයන් කළ නිසා ගිණුම්කරණයට ලොකු CR පොතක් ගෙනියන එක අනිවාර්ය වුණා. මේ කාලේ තමයි අපේ පොත් වල කවර දැමීමේ peak එක කියලා කියන්න පුළුවන්. මේ කාලේ වෙද්දී බස් වල ටියුෂන් එහෙම ගිය නිසා පොත් වලට කවර දැම්මේ පොතේ ආරක්ෂාවටත් වඩා අනිත් අයට පේන්නත් එක්ක! මේකට හොඳම උදාහරණය තමයි අර ලොකු CR පොත් වලට තනි සුදු පිටකවරයක් දාලා පිටිපස්සේ කවරේට ලස්සන කලාත්මක කළු සුදු පින්තුරයක් වගේ අලවන එක. මෙහෙම කළේ බස් වල පොත් අතේ අරගෙන යද්දී පිටට පේන්නේ පිටිපස්සේ කවරේ නිසා යි. අනේ ඉතින් අපි මේ තරම් මහන්සි වෙලා කවර දැම්ම පොත් දිහා කවුරුවත් බැලුවද දන්නෙත් නැහැ, අපි හිතුවේ බැලුවාම කියලා තමයි!

කැම්පස් යද්දිත් මම නම් සටහන් ලිව්වේ පොත් වලමයි. කොළ වල ලියන එක මට හරි ගියේම නැහැ. සම්පූර්ණ සටහනම එක ළඟ පෙරළලා බලන්න පුලුවන් විදිහට තියෙන්න ඕන එක මගේ පිස්සුවක් වුණා. පාට පාට පෑන් වලින් ඉරි ඇඳලා, ඊතල ගහලා වැඩ දාලා තමයි මම සටහන් ලිව්වේ. මීට අමතරව මට වේගයෙන් ලියන්න පුළුවන් නිසා මගේ සටහන් බොහෝ වෙලාවට සම්පූර්ණ මට්ටමේ තිබුණා. ඒ නිසා මගේ සටහන් පොත් වලට මගේ බැච් එකේ සගයන්ගෙන් හරි ඉල්ලුමක් තිබුණා. අපි එකතුවෙලා ජපුර කැම්පස් එක ඉස්සරහා ෆොටෝ කොපි කඩ කීපයකටම අඛණ්ඩ බිස්නස් දුන්නා!

ඉතින් මෙහෙම කිව්වට ආසාවට, සිහිවටනයක් හැටියට මේ එක සටහන් පොතක්වත් ළඟ නැහැ. ඉස්කෝලේ කාලේ සටහන් පොත් වලට නම් වෙච්ච දෙයක් මතක නැහැ. ඒ ලෙවල් කාලේ පොත් නම් නෝට්ස් හොයපු වෙන ළමයින්ට දුන්නා වගෙත් මතකයි. කැම්පස් එකේ සටහන් ටික නම් අවුට් වෙලා ගෙදර අරගෙන ගියාට මම මුලින්ම ගිය රස්සාවේදී අහම්බෙන් හම්බවුණ ජුනියර් බැච් එකේ මිතුරෙකුට ඒ ඔක්කොම අනෙත් පැත්තට ගිහින් දුන්නා. ඒ නිසා ඒවාත් නැහැ. කොහොමත් ඉතින් රටකින් රටකට සංක්‍රමණය වෙද්දී ඉස්සර ලීව පොත් වගේ සිහිවටන අරගෙන යන එක කෙරෙන්නේ නැහැනේ.

දැන් මම දකින්නේ පුතා සටහන් ලියන හැටි. එයාලාගේ සටහන් නම් පොත්වලත් ඩිජිටලිත් තියෙනවා. මම කියලාවත් නැතිව පුතා මම ඉස්සර කළ විදිහට පාට පාටින් මාතෘකා ලියලා, සාරාංශ වෙනම හයිලයිට් කරලා පිළිවෙලට රූපසටහන් ඇඳලා ලියන සටහන් දකිද්දී ඉබේම හිත අතීතෙට දුවනවා. ඉතින් සිහිවටන හැටියට මගේ සටහන් පොත් නැතත් කමක් නැහැ කියලා ඒවා දැක්කාම හිතෙනවා.

පින්තූරය - මගේ ළඟ පොත් නැහැ කියලා හිතුවට පොත් දෙකක් තිබුණා. මම කලින් විස්තර කළ විදිහට ලස්සනට කවර දාලා සටහන් ලීව ඒවා නෙමෙයි. එකක් මම බාලාංශේ වගේ කාලේ ගෙදරදී අකුරු පුරුදු වෙන්න අම්මා ලියෙව්ව පොතක් වෙන්න ඕන. මේක අම්මලා මහගෙදර අස්කරලා ඕස්ට්‍රේලියාවට එද්දී ගෙනාව බඩු අතරේ තිබුණේ. අනිත් එක අපි ශිෂ්‍ය නායිකා තනතුරු දැරුව අවුරුද්දේ දේවි බාලිකාවේ ශිෂ්‍ය නායිකා රැස්වීම් වල වාර්තා මම ලීව පොත. ඒ පොතටත් කවරයක් දාලා පින්තූරයක් එහෙම අලවලා! කොහොමින් කොහොමින් හරි මගේ සටහන් පොත් නැතත්, දශක කීපයක් පරණ මේ පොත් දෙක තාම මගේ ළඟ තියෙනවා. 
දෙවෙනි පින්තූරේ ලොකු අක්කාගේ. ඒ පොත්වල කවරේ තියෙන්නේ තාත්තාගේ අකුරු.

               





17 comments:

  1. ඇත්තම කියනවනම් ඔයින් 50% විතරම මටත් ගලපගන්න පුළුවන්. මේ ලඟදි අපේ association එකෙන් ලස්සන notebook එකක් හැමෝටම ලැබුන. මම පාට පාට පෑන් තොගයක් අරගෙන diary එකක්මත් නොවෙන පොතක් ලියන්න ගත්තා අතීත සිද්දි ඇතුලත් කරලා පින්තුරත් ඇඳලා ලියන්න පුළුවන් වෙන්න.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් අපේ මතක හැමෝටම බලන්න මේකේ ලියනවා. ඔයා ලස්සනට පින්තූර ඇඳලා ලියලා තනියම බලනවා. අසාධාරණ නැද්ද? :D

      Delete
  2. අපූරු මතක සටහනක්, ලස්සනට ලියලා. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. thank you බස්සා, බෝයිස් ලා මෙහෙම පිටකවර දාන්න මහන්සි උනේ නැද්ද?
      අපේ හබී තුමා නම් ඒ ලෙවල් කාලේ පිළිවෙලට පොත් වලට පිටකවර දාලා, ඒ පොත් අතේ අරන් ගියා කියලා මතකයි, දැන් තමයි හිතුණේ ඒ පිළිවෙල මට පේන්නද කියලා! :D

      Delete
    2. පොඩිම කාලෙ විතරයි, මතක විදිහට.
      //දැන් තමයි හිතුණේ ඒ පිළිවෙල මට පේන්නද කියලා!//
      හෙහ්,හෙහ් එහෙම වෙන්න සෑහෙන ඉඩක් තියනවා.😁

      Delete
    3. Thank you Ano!
      මං හිතන්නේ පිරිමි ළමයි නම් වැඩි හරියක් ඔහොම තමයි කළේ. ඉහතින් සඳහන් කෙනා ලකුණු දාගන්න අර විදිහට කළා ට- එයාට ලකුණුත් ලැබුණා නේ කොහොමහරි! :D

      අපි 13 දී ඉස්කෝලේ ගියේ යලට මහට. ඒකට හේතුව ඉස්කෝලේ හරියට ඉගැන්නුවේ නැති නිසයි සතියේ දවස්වල දවල්ට ටියුෂන් තිබ්බ නිසයි. ගුරුවන්රුන්ගෙන් බැනුම් අහන්න වෙන නිසා අපි කට්ටිය බෙදාගෙන පන්ති නැති දවස්වලට ඉස්කෝලේ එන්න පොඩි රොස්ටරයක් වගේ හදාගෙන හිටියා. එකම ප්‍රශ්නේ වුනේ එහෙම ගියාම නෝට්ස් ලියන්න වෙච්ච එක. ඉතින් අපි CR පොත් දෙක තුනක් ඩෙස්ක් ඇතුලේ දාලා තිබ්බා. එදාට යන කෙනා පොත ගත්තා එවෙලෙට කියන නෝට් එක ලිව්වා, ආයෙත් දාලා ආවා. පිටිපස්සේ පේළි වල නම් නෝට්ස් වෙනුවට කවි සින්දු එහෙම තමයි ඕවයේ ලියලා තිබ්බේ. ඔය පොත් කෞතුක භාණ්ඩ වෙලා තිබ්බා පස්සේ කාලෙක.
      අපි විභාග පාස් වුනත් පුදුමයි හැබෑටම! :D

      Delete
    4. After a couple of decades together, he is the main character in all my stories- just that you don't see them because they are not public. Thanks for your concern though! :D :D

      Delete
    5. //he is the main character in all my stories//
      අපොයි දෙයියනේ අසරණ හබියා! ( වඩේ බැහදංකො අයියා.....)🤔😋😁

      Delete
    6. බස්සා- ඊළඟට එන්නේ බැදපු වඩයක්- මගේ එකක් නෙමෙයි හැබැයි නාරායන්ගේ එකක් :D

      Delete
  3. School day memories haunt us as long as we live. They usually bring us joy but occasionally make us grief stricken.

    ReplyDelete
    Replies
    1. Yes Sarath, it was such a carefree time, pity we didn't realise back then that that would be the last time we would be free of responsibilities and duties for life!

      Delete
  4. ලියන්න තියෙන එක ගොඩක් දිගයි. හෙට ලියන්නම්

    ReplyDelete
  5. ඔන්න දැනුයි දිග කමෙන්ට් එකකට ‌විවේකයක් ලැබුණෙ.

    මුලිම්ම මට මතකයි අපි පොත් කවර දැම්මෙ සිමෙන්ති උරවල ඇතුළෙ ලේයර් ටික ගළවලා අරගෙන. බ්‍රවුන් පේපර් ගොඩක් ගණං අපේ තාත්තගෙ පඩිය එක්ක බැලුව ම. සමහර විට කැලැන්ඩර් කොළේ අනිත්පැත්ත හරවලත් කවර දැම්මා. ඔය පුරුද්ද අපේ තාත්තටත් තිබුණා. මොකක් හරි පොතක් ගත්තම කඩදාසි පිටකවරයක් දානවා ම යි. ඒ නිසා ඒ පොතේ පිටකවරය අලුත් වගේ ආරක්ෂා වෙලා තිබුණා.

    ඒලෙවල් කාලෙ බ්‍රවුන් පේපර් පිටකවර දාලා, හින්දි නළු නිළියන්ගෙ පිනතූර අලවන පුරුද්දක් අපේ පන්තියෙ ගොඩක් අයගෙ තිබුණා. තව කාලයක දි චිත්‍රකතා පොටෝකොපි කරලා ඒවයින් පිටකවර දැමීමකුත් තිබුණා. මං නං එහෙම කළේ නෑ. ඒක දිළිඳු රසිකත්වයක් කියලා අධිමානයක් මගෙ හිතෙ තිබුණු නිසා.

    අපේ මල්ලිලාගෙ පරම්පරාව වෙනකොට අර මං කියපු නළු නිළි පින්තූර වෙනුවට පොත් කඩෙන් රුපියල් දහයකට විතර ගන්න ලස්සන කාඩ් පොත් පිටකවරවල ඇලවීම දක්වා අරක දියුණු වෙලා තිබුණා.

    මම කරපුවයින්ට මට මතක ෆැසිනේටිං ම දේ, නවය දහය එකොළහ වසරවලදි සිංහල ලියන පොතේ එක එක පාඩම්වල මාතෘකා ලියනකොට, ඊට අදාළ පින්තූරයකුත් මං විසින් ම ඇඳපු එක. මට මතක ලස්සන ම මාතෘකාව "විශ්වය ගීතයකි" පාඩමට ඇන්දෙ. ඒකෙ ග්‍රහලෝක සහ තාරකා ඇඳලා, ඒ හරහා ගළාගෙන යන විදිහට සංගීත නොටේෂන් සෙට් එකක් ඇන්දා.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී- ඔය තියෙන්නේ මතක තොගයක්ම! තව ටිකක් මතක් කරලා පෝස්ට් එකක්ම ලියමු! :D
      සමහර කැලැන්ඩර් කොළ වල නොපිට පැත්ත මාත් පාවිච්චි කළා ඒවායේ දිලිසෙන සුදු මතුපිට නිසා. එහෙම කළේ කළු සුදු පින්තුරයකට ඕන පසුබිම හොයාගන්න. මේ තරම් මහන්සි වුණේ යාළුවො අතරේ මේවාට උනන්දුවක් තිබ්බ නිසා වෙන්න ඕන. මෙතරම් උනන්දුවක් පාඩම් වැඩට තිබ්බා නම් මතක නැහැ! :)

      Delete
    2. අර කිව්වා වගේ පෝස්ට් එකක් ලියන්න වටින මතකයක් නෙව ඩ්‍රැකියො.

      Delete
  6. මම ඔයිට හාත්පසින්ම අනිත් පැත්ත. හසුරු කුසලතා කියන එව්වා ගෑවිලාවත් තිවුණේ නැති නිසා මං පිටකවර දානවා වගේ වැඩවලට හරි කම්මැලියි. තාත්තා හරි පුංචි හරි තමා කවර දාන්නෙ. අනික හයිලයිට් කරලා පිළිවෙළට නෝට්ස් තියාගැනිල්ල මට පුරුදු වුණේ මාස්ටර්ස් කරන කොට. එතකං වැහිදැරිය ඉතා අපිළිවෙළට පාඩම් කරලා පන්තියේ පළමුවැනියා වුණ අමුතු ළමයෙක්!

    ReplyDelete