June 28, 2025

වැසි දිනක දී



මෝනිං ග්ලෝරි මල් ගාලේ
ඇදී යන ගොළුබෙල්ලන්
රෝස පැහැති හිම යානා පදවන්නන් මෙනි
රාස්බෙරි පඳුරේ
රත් පැහැ ඇඟිලි වන් එල මැද
මකුළුවෙකු තද නින්දේ ය
මා කුමක් කළ යුතු ද?
මා කුමක් කළ යුතු ද?

වැස්ස සෙමෙන් ඇද හැලේ
ඒ මැද පුංචි කුරුල්ලන් පමණක් නොව
කුරුමිණියන් පවා ප්‍රීතියෙනි
හරිත පැහැ පත්‍ර
වැසි දිය සියල්ල උරාගනිමිනි
මා කුමක් කළ යුතු ද?
මා කුමක් කළ යුතු ද?

දෙබෙරෙකු,
තම කඩදාසි මාලිගාවේ පිල උඩ සිටී
නිල් පැහැති කෙකින්න වළාකුලකින් පාව එමිනි
අඳුරු දියෙන් ඉහළට පනින මාළුන්ගේ 
පෙනෙන්නේ මුව සහ දේදුන්නක් පමණි

අද උදෑසන
විලේ වූ නෙලුම් මල්
මොනේ ගේ චිත්‍රයේ නෙලුම් මල් වලට නොදෙවෙනි විය
දෙනියේ ගැවසෙන කුඩා දරුවන්
ඉන් ඉවතට කැඳවාගෙන විත්
කීකරු ලෙස, ප්‍රයෝජනවත් ලෙස
ශිෂ්ටත්වයේ අකුරු වෙත යොමු කරන්නට
මට තවදුරටත් උවමනා නැත
ඔවුන් තෘණ පැලයකට වඩා උසස් යැයි උගන්වන්නට
මට අවශ්‍ය නැත
(ඔවුන් ඊට වඩා උසස් නැත)

Translation of the poem 'Early Morning, My Birthday' by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Digital art


No comments:

Post a Comment