November 13, 2023

'කන්දක් සේමා' චිත්‍රපටිය



පහුගිය සති අන්තයේදී මෙල්බර්න් නගරයට සේන්දු වුණු 'කන්දක් සේමා' චිත්‍රපටිය නරඹන්නට මට ඉඩ ලැබුණා. මේ කතාවට පාදක වුණු සුමිත්‍රා රාහුබද්ධගේ නවකතාව බොහොම ඉස්සර කාලෙක මම කියවලා තිබුණාට මේ වෙද්දී මට ඒකෙ ප්‍රධාන තේමාව මිසක් විස්තර මතක තිබුණේ නැහැ.

කන්දක් සේමා චිත්‍රපටිය වැඩියත්ම රූපගත කරලා තියෙන්නේ ජපානයේ. ශ්‍රී ලාංකික නළු නිළියන් හැටියට නිරෝෂා පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න, වීණා ජයකොඩි, කෞශල්‍යා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, සිරිල් වික්‍රමගේ, වසන්ත කොටුවැල්ල, දසුන් පතිරණ වගේ ප්‍රවීණ නලු නිලි පිරිසක් මෙහි චරිතවලට පණ පොවනවා. මීට අමතරව ජුන් එටෝ, අයාකො කොබයාශි කියන බොහොම දක්ෂ ජපන් ජාතික නලු නිලි දායකත්යවකුත් තියෙනවා. මෙහි සම අධ්‍යක්ෂණය අසෝක අතාවුදහෙට්ටි සහ ටාඕ නශිමොතෝ. තිර පිටපතත් සුමිත්‍රා රාහුබද්ධගෙන්.

කන්දක් සේමා චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නූපා. ඈ මධ්‍යම පාන්තික පවුලක තරුණියක්. පවුල ඇතුළෙත්, ආදර සම්බන්ධයකිනුත් ඇතිවෙන හැල හැප්පිලි නිසා ඈ ඒජන්සියක් හරහා කෙරෙන විවාහයකින් වයස්ගත ජපන් ජාතිකයෙක් විවාහ කරගෙන ජපානයට යනවා. මේ කතාවට පාදක වෙන්නේ නූපා ත් ඇගේ සැමියා මසයා සන් ගේත් ඇති නොගැලපීම. නාඳුනන රටක, ඒ භාෂාවේ වචනයක් වත් නොදැන, සැමියාගෙනුත් ආදරයක් නොලබා තනිවෙන නූපා ඒ තනිකමට පාලුවට මුහුණ දෙද්දී තවත් විවිධ කරදරවල පැටලෙනවා. නූපා ජීවිතය පුරාවට පරමාදර්ශී ආදරයක් හොයන්නේ ඇගේ ජීවිතයේ මුල ඉඳන්ම තිබුණු හිඩැස් නිසා වෙන්න පුළුවන්. ඒත් ඒ 'පෙම්බරා' ඇගේ මනෝ චිත්‍රයක් විතරයි. අප අවට හැම කෙනෙක්ම තුවාල සහිත, ජීවිතයේ වැරදි තීරණ ගන්න, බිඳුණු මිනිස්සු බව සියුම් විදිහට මේ කතාවෙන් පෙන්නලා දෙනවා.

'කන්දක් සේමා' චිත්‍රපටිය ජපානයේ රූගත කිරීම නිසා ඊට වැඩි සෞන්දර්යාත්මක අගයක් එකතු වෙලා තියෙනවා. ඒ රටේ සකුරා මල්, හිම කඳු ආදී දර්ශන සම්ප්‍රදායික ශ්‍රී ලංකික සිනමාවට නැවුම් රසයක් එකතු කරන්න සමත්. ඒ වගේම රටවල් දෙකක් හරහා සිනමා නිර්මාණයක් බිහි කරද්දී ප්‍රායෝගික ප්‍රශ්න එමට තියෙන්න ඇති. මේ නිසා මේ ව්‍යායාමය අගය කළ යුත්තක්. මීට අමතරව නරඹන්නාට කතාව තේරුම් ගැනීම සඳහා උප සිරැසි අවමයෙන් උවමනා වෙන විදිහට ජපන් භාෂාවේ දෙබස් එක්කම සිංහල දෙබස් යොදා තියෙන හැටිත් හොඳ උපක්‍රමයක්.

චිත්‍රපටිය ගැන කතා කරද්දී නූපා ගේ චරිතය රඟපාන නිරෝෂා පෙරේරා ගැන විශේෂ සඳහනක් නොකරම බැහැ. මේ නිරෝෂා දෙදාස් ගණන් වල මුලදී ලංකාවේ රූපවාහිනී නාලිකාවක මුඛරි ලෙස කතාකරමින් වැඩසටහන් ඉදිරිපත් කළ නිරෝෂා පෙරේරා ම බව මට නම් අඳුනාගන්න බැරි වුණා. නූපා ගේ චරිතයට විශිෂ්ඨ ව පණ දුන්නු නිරෝෂාට ලංකාවේ මීට කලින් මතක හිටින විදිහේ රංගන අවස්ථා නොලැබුණු එක ගැන මට පුදුම හිතුණා. මීට අමතරව චිත්‍රපටියේ සොරා සන් ගේ චරිතයට පණ පොවන අයාකො කොබයාශි ඉස්සර ජාතික රුපවාහිනියේ තිරගත වුණු ඔෂින් මාලා නාටකයේ පොඩි ඔෂින් බව චිත්‍රපටිය ගැන ලියවුණු සටහනක මම දැක්කා.

මේ චිත්‍රපටියේ එක තැනක ජපානයේ සිය දිවි නසාගැනීම් වලට ප්‍රසිද්ධ අඔකිගහරා වනාන්තරයට නූපා පිවිසෙන දර්ශනයක් තියෙනවා. හාත්පස හිම ඉහිරුණු ඒ පරිසරයට ප්‍රශ්න වලින් හෙම්බත් වුණු නූපා යන්නේ ආපිට එන්න නෙමෙයි. ඒත් වනාන්තරය මැද එක තැනක තියෙන දැන්වීම් පුවරුවක් ඇගේ ඇස ගැටෙනවා. "ඔබට ආදරය කරන අයව හඬවන්න එපා" ඒ පුවරුවේ තියෙන්නේ ඒ වගේ අදහසක්. ඇයට ඇගේ දියණියගේ හඬ සිහිනයෙන් වගේ ඇහෙනවා. ඉතින් ඈ ආපිට යනවා. මේ රූප රාමු පෙළ නරඹන්නා ව බෙහෙවින්ම කම්පනය කිරීමට සමත්.

'කන්දක් සේමා' චිත්‍රපටිය මෑත කාලයේදී මම නැරඹු සිංහල චිත්‍රපටි අතරින් ඉදිරියෙන් තියෙන බව කියන්න පුළුවන්. 

- හෙල්මලී 

15 comments:

  1. හ්ම්.......සෑහෙන සංවේදී මාතෘකාවක්. ලංකාවෙත් "මේල් ඕඩර් බ්‍රයිඩ්" ඒජන්සි ඇති. NGO, ආගමික සේවා විදිහට ක්‍රියාත්මක වෙන, ළදරු ව්‍යාපාර තියෙන බව නං කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. බස්සා- මේ කතාවේ විදිහට නම් ඒක හොඳ බිස්නස් එකක්. මනමාලි එදාමයි මනමාලයාව දකින්නේ. පේලියට මනමාලියෝ ඇවිත් කසාද බඳිනවා. චාරිත්‍ර කරන්න වීසා ගන්න ෆොටෝ වලට පේන්න. ඇත්තටමත් මෙහෙම නැතිවෙන්න බැහැ. එහෙම නාඳුනන කෙනෙක් එක්ක නාඳුනන රටකට යන්නත් මාර ගටක් තියෙන්න ඕන නේද?

      Delete
  2. "අප අවට හැම කෙනෙක්ම තුවාල සහිත, ජීවිතයේ වැරදි තීරණ ගන්න, බිඳුණු මිනිස්සු බව සියුම් විදිහට මේ කතාවෙන් පෙන්නලා දෙනවා"
    ඒ ඔයාගෙම වචන පේලිය මට හරියට දැනුනා
    මිනිස්සු කරන කියන absurd දේවල් තේරුම් ගන්න ඒ ටික හරිම වැදගත්
    movie එක නම් තවම බැලුවේ නැහැ
    ඒත් බලන්න ඕන කියල හිතුන

    ReplyDelete
    Replies
    1. කුමුදු- ඇත්තටමත් එහෙමයි ඉතින් නේද? එහෙම නැති විදිහට වෙස් මූණු දාගෙන හැමෝම හිටියාට.

      මේ කතාවේ මසයා සන් හැඟීම් දැනීම් නැති කෙනෙක් හැටියටයි මුලින් පේන්නේ. ඒත් එයාත් තරුණ කාලේ ඉඳන් අරගෙන එන ලොකු තුවාලයක් සහිත කෙනෙක්. එහෙම බැලුවාම හැමෝම එක එක විදිහට පව්.

      බලලා කියන්නකෝ මොකද හිතුණේ කියලා.

      Delete
  3. මමත් මේකේ මුහුරත් උලෙල යූටියුබ් එකේ දැක්කා. නිරෝශා ඇත්තෙන්ම දක්ශ කාන්තාවක්. මුඛරි ගතියක් ලෙස පෙනුනත් එය ඇය ඉදිරිපත් කල වැඩසටහනට අවශ්‍ය උනා.
    සුමිත්‍රා රාහුබද්ගේ උවමනාවට තමයි නිරෝශව තෝරගෙන තියෙනේ. සුමිත්‍රා කිව්වා නිරෝශව මතක තියාගෙන තමයි කථාව ලිව්වෙ බවකුත්. ඒ වගේම නිරෝශට ජපන් කථා කරන්න පුලුවන්
    Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මයියා- මටත් හිතුනා නිරෝෂා ට ජපන් කතාකරන්න පුළුවන් ඇති කියලා. ඈ කියන දෙබස් නිරායාසයෙන් කියන ගතියක් පෙනුණා. සුමිත්‍රා නිරෝෂා ගැන තිබුණු තක්සේරුව, ඇගේ හැකියාවට තැනක් දීම අගය කරන්න ඕන.
      ඇගේ මුඛරි ගතිය අඩුපාඩුවක් හැටියට නෙමෙයි මම සටහන් කළේ. ඒ කාලේ ඇගේ වයසත් එක්ක ඒ වගේ චරිතයක් ඒ නිවේදන කටයුත්තට හොඳින්ම ගැලපුනා. ඉන්පස්සේ අවුරුදු පහලවක් විතර ඇගේ transition එක මම දැකලා තිබුණේ නැති නිසා මේ තැන්පත්, රඟපාන නිරෝෂා ව මට අඳුනාගන්න බැරිවුණා! :)

      Delete
    2. ඔව් නිරෝශා කිව්වා එයාගේ ජපන් භාසා හැකියාව ජීවීතයේ කවදාවත් ප්‍රයොජනක් වේවී කියලා එයා හිතලවත් තිබ්බෙ නෑ කියලා. ඒත් මේ ව්හිත්‍රපටිය නිසා ඒක වෙනස් උනා කියලා - ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් ලියැවෙන මේ ෆොන්ට් එක හරිම ලස්සනයි - Mayya- https://maiyyagelokaya.blogspot.com/

      Delete
  4. මම කතාව කියවල තියනවා. ඔය වගේම කතාවක් ගැන කියන සෝවියට් චිත්‍රපටයක් තියෙනවා. මේ බ්ලොග් ලිපියේ ටිකක් ලියල තියනවා. https://kolambagamaya.blogspot.com/2013/08/blog-post_22.html ඒක ටිකක් දේශපාලනිකයි. මේ කොටසේ කියන මේ චිත්‍රපටයේ රුසියන් කෙල්ලෙක් ස්වීඩන් මිනිහෙක් බැඳලා ඒ රටට ගියහම ඇතිවෙන ප්‍රශ්න. ඒ දවස් වල ඔය වගේ විවාහ හුඟක් උනා. හුඟක් ඒවා දික්කසාද වලින් කෙළවර වුනා.//මේ පිළිබඳව වටහා ගැනීමට "ඉන්ටර් දෙවුෂ්කා " හෙවත් "Inter girl" නම් චිත්‍රපටිය http://www.imdb.com/title/tt0097584/ නරඹන්න. //

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්, හොයාගෙන බලන්න ඕන

      Delete
  5. චිත්‍ර පටියක් හෝල් එකක බලපු කාලයක් මතක නෑ!

    "රහස් කියන කඳු" යි "කතුරු ම්?ඉතුරුයි" බලන්න යන්න හිතාන ඉන්නේ!

    කොහොමද අපේ රසිකත්වය!?

    ReplyDelete
  6. කතාව කියවලා තිබුණත් මලීට වගේම මටත් specific සිදුවීම් මතක නෑ; දළ අදහස විතරයි මතක.

    YouTube එකේ දැක්කා තායි ජාතික කාන්තාවන් විවාහ කරගන්න එන බටහිර පිරිමින් ගැන වැඩ සටහනක්. ඒ ඒජන්සියෙදි පිරිමි කෙනාට තමන් කැමති කාන්තාව තෝරගන්න ලැබෙන්නෙ විනාඩි විස්සයි. Life decisions made easy. 😜

    කිව්වත් වගේ මෙහෙම විවාහ වෙලා නොදන්න රටකට යන කාන්තාව වගේම, බිරිඳක් හොයාගෙන නොදන්න රටකට එන පිරිමියත් එක වගේම 'පව්' තමයි. මට මතක විදිහට කන්දක් සේමා කතාවෙ focus කරන්නෙ කාන්තාවගෙ perspective එක.

    "නූපා ගේ චරිතයට විශිෂ්ඨ ව පණ දුන්නු නිරෝෂාට ලංකාවේ මීට කලින් මතක හිටින විදිහේ රංගන අවස්ථා නොලැබුණු එක ගැන මට පුදුම හිතුණා": මලී අහලා තියෙනවද 'පිට කවරේ' සිංදුව. "අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ!!!"

    ReplyDelete
    Replies
    1. Lotus
      //ඒ ඒජන්සියෙදි පිරිමි කෙනාට තමන් කැමති කාන්තාව තෝරගන්න ලැබෙන්නෙ විනාඩි විස්සයි.// එහෙම තැනකින් පාට්නර් ව තෝරාගන්න යනවා නම් විනාඩි විස්සක් දෙනවා කියන්නෙත් courtesy එකක්! :D

      නිරෝෂා ට මීට කලින් ලංකාවේ හරි තැනක් ලැබිලා නැහැ කියලා ලිව්වාට පස්සේ මට හිතුනා එහෙම general statement එකක් කරන්න මට සුදුසුකමක් නැහැ නේදත් කියලා. අවුරුදු විස්සක් විතර තිස්සේ ලංකාවේ කලා කටයුතු මම පිළිවෙලට follow කරලා නැහැනේ. කොටින්ම කියනවා නම් ඉස්සර හිටිය නිරෝෂා මේ නිරෝෂා වෙනවා වත් මම දැකලා තිබුණේ නැහැ. හැබැයි පස්සේ ටිකක් හොයද්දි මම දැක්කා ඈ එහෙමකට රඟපාලා නැති බව. ඇගේ සහෝදරිය එක්ක present කරන වැඩසටහනක් කළ බව යාලුවෙක් කිව්වා. ඒ නිසා ඇත්තටම නම් අර උඩ කමෙන්ට් එකේ තියෙන විදිහට සුමිත්‍රා විතරයි අන්තිමට පිටකවරේ නැතිව පොත බලලා තියෙන්නේ!

      Delete
  7. https://www.youtube.com/watch?v=1MWVCerXdAA
    මට නම් 'කන්දක් සේමා' චිත්‍රපටය හෝ එයට සම්බන්ධ නව කතා පොත කියවීමට ලැබී නැහැ. ඒ උනත් චිත්‍රපටය පිලිබඳ හෙල්මලී දුව ඉදිරිපත් කර තිබෙන Official trailer වීඩියෝ පටයෙන් සහ මෙහි දක්වා තිබෙන U tube පටයෙනුත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වුවා. මෙය ඉතා ආදර් ශමත් සමාජ විවරණයක් කරනු ලබන කෘතියක් බව එකහෙලාම තීරණය කළ හැකියි.

    ReplyDelete
  8. පොත කියවලා තියෙනවා ...ෆිල්ම් එක බලන්න යන්න ආසාවෙන් ඉන්නවා.තවම බැරි උනා යන්න

    ReplyDelete