August 04, 2022

Lantana (Movie)

ලන්ටානා කියන්නේ වල් පැලයක්. අපට නම් හුරු බාලොලියා, ගඳපාන කියන නම්වලින් කිව්වමයි. කොයිතරම් ලස්සන මලක් තිබ්බත් වල් පැලයක් හැටියට සැලකෙන නිසා මේකේ වටිනාකම අඩුයි

Lantana චිත්‍රපටියට මේ නම දීලා තියෙන්නෙත් පිටතින් ලස්සන උනත් ඇතුළතින් කටු ගාලක් වූ ලන්ටානා වැනි ආක්‍රමණික වල් පැලයකින් අත්වෙන්න පුළුවන් හානියට සමාන කතා තේමාවක් ඇති නිසා. 



විවාහක ජෝඩු හතරක්- වැඩිහිටියන් අට දෙනෙක්ගේ විවිධ සහසම්බන්ධතා සහ ගැටුම් වටා ගෙතුණු චිත්‍රපටියක් මේක. මේ අතරින් එක් කාන්තාවකගේ අතුරුදහන් වීම නිසා මේ අයගේ සැඟවී තිබුණු හැඟීම්, ගනුදෙනු සහ එකිනෙකා ගැන තියෙන සැකයන් එළියට එනවා. ආදරය, විශ්වාසය, ද්‍රෝහීවීම්, බලාපොරොත්තු සුන්වීම් ආදී මිනිස් හැඟුමන් මනුෂ්‍ය සම්බන්ධතා වලදී ගන්නා විවිධ හැඩ මේ චිත්‍රපටියෙන් මනාව පෙන්වනවා. විශේෂයෙන්ම චිත්‍රපටියේ අවසාන විනාඩි කිහිපය මේ හැඟීම් ඇසට පෙනෙන තරමට වඩා ගැඹුරින් මුල් දුවා ඇති අයුරු පෙන්වන කොටසට මම කැමතියි. 

Andrew Bovell ගේ තිර පිටපතකට Ray Lawrence අධ්‍යක්ෂණය කළ Lantana චිත්‍රපටියට පසුබිම් වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයයි.  Anthony LaPaglia, Kerry Armstrong, Geoffrey Rush සහ Barbara Hershey වැනි ප්‍රකට ඕස්ට්‍රේලියානු නළු නිලියන් මෙහි චරිතවලට පණ දෙනවා. 

මේ චිත්‍රපටිය ඕස්ට්‍රේලියාවේ AFIA(Australian Film Institute Awards) හිදී හොඳම චිත්‍රපටියට හිමි සම්මානය ඇතුළු තවත් සම්මාන හතක් දිනාගෙන ඇති අතර මීට අමතරව තවත් දෙස් විදෙස් සම්මාන රැසක්ද හිමිකරගෙන තියෙනවා. 



Lantana 2001 - 1hr 55min

9 comments:

  1. ලන්තානා කිව්වම මට මතක් වුනේ ලන්තානා වත්ත. Christine Wilson ( Daughter of Dr. R L Spittle) ගේ Bitter Berry .....C A විජේසේකර මහත්තයා අපුරුවට පරිවර්තනය කරපු " තිත්ත කෝපි" නවකතාවේ එන සුන්දර ප්‍රදේශය.
    පස්සෙ අනුල ද සිල්වා ත් පරිවර්තනය කලා ඒ නමින්ම. ඒත් පරණ කතාවට කිට්ටු වෙන්න වත් බැහැ ඒකට.
    ලංකාව කෝපි වගාවෙන් තේ වලට මාරු වෙන විදිය අස්සට මාර love story එකක් රිංගවලා ලියපු පොතක්. pdf එක තියෙනවා පරණ පොතේ. Thiththa Kopi-C-AWijesekara-sinhalaebooks.com.pdf
    කියවන්න වටින පොතක්
    පිට පොට පැන්නා ඉතින්......

    ReplyDelete
    Replies
    1. ඔය පිට පොට පැනිල්ලෙන් වාසි වෙන්නෙ අපිටයි. අමතකවී තිබුන පොත් සයිට් එකයි, පොතයි දුන්නාට බොහොම ස්තූතියි. මෙන්න මේ වගේ බෙදා හදා ගෙන කමු නේද?🙏👌😊

      Delete
    2. ස්තුතියි කුමුදු, බස්සා කියන්නා වගේ මේවා වටිනා ඔත්තු!

      Delete
  2. මේ ජාත්‍යන්තර චිත්‍රපට විචාර නං මසුරං. කලින් කිව්ව "ඇපල්" එකත් එක හුස්මට බැලුව.🙏👌

    ReplyDelete
    Replies
    1. බස්සා- මම ලොකු චිත්‍රපටි ෆෑන් කෙනෙක් නෙමෙයි. ලේසියෙන් පුදන්න බැහැ කියන්නේ- අන්න ඒ වර්ගයේ. ඒ නිසා හිතට අල්ලන චිත්‍රපටියක් හම්බුනොත් විස්තර බෙදාගන්න හිතෙනවා. ඒවා කාටහරි වැඩක් වෙන එක ගැන සතුටුයි!

      Delete
  3. ගඳපාන ආක්‍රමණික ශාකයක්. ජාතික වනෝද්‍යානවල (වස්ගමුව හා තවත් තැන් ) ඒක වඳකරන්න ව්‍යාපෘතිත් කරනවා. වීරසේකර මහත්තය දන්නව ඇති.

    කොහොමවෙතත් තැන්නකුඹුර සිට රන්දෙණිගල රන්ටැඹේ හරහා කන්දකැටිය රජ මාවතේ මං දැකල තියන ලස්සනම දර්ශනයක් තමයි කිලෝමීටර් ගණනාවක් එක දිගට පාර අයිනේ නොකඩවා විවිධ පාටවලින් තිබුනු ගඳපාන තීරුව

    චිත්‍රපටිය නම් බලලා නෑ. :-D

    ReplyDelete
    Replies
    1. Pra Jay- ඉස්සර අපි පොඩි කාලේ ඔය ගඳපාන වල ඉදුණු ගෙඩි කනවා මතකයි. ඕවයේ එක එක පාටවල් නම් ලස්සනට හිටවනවා නේද කොළඹ පැතිවල?

      තාත්තාගෙන් අහන්න ඕන ගඳපාන වඳ කරන ව්‍යාපෘතිය ගැන. තාත්තා ඒ ගැන වෙනම පෝස්ට් එකක්ම ලියයි! :)

      Delete
    2. Grasslands get covered by Lantana, reducing feeding areas of herbivores.

      Delete
    3. ලෝකයේ රටවල් රාශියක ඉතාමත් බහුල වශයෙන් පැතිරී තිබෙන ආක්‍රමණික ශාකයක් ලෙස Lantana camara හැඳින්විය හැකියි. මෙම ශාකයේ ඇති සියුම් 'කටු' නිසාත් ඒවායේ පත්‍රවල ඇති යුෂ බොහෝ ශාක භක්ෂකයින්ට රෝග කාරකයක් නිසාත් අලි ඇතුන් වැනි සතුන් පවා එම ශාක ආහාරයට ගන්නේ නැහැ. මේ නිසා බහුලව ව්‍යාප්ත වෙනවා. මර්දනය සඳහා ශාක මුලින්ම උදුරා පුළුස්සා දැමීම කළ යුතුයි.

      Delete