October 07, 2022

Hope Gap (Movie)

සුපුරුදු තේමාවන්ගෙන් වෙනස් තේමාවක් යටතේ නිර්මාණය වුණු චිත්‍රපටි ඉඳහිට හම්බවුණාම ඒ ආරංචිය බෙදා ගන්න හිතෙනවා. ඒකට හේතුව වැඩිය චිත්‍රපටි බලන්න අකමැති, කවුරුහරි recommend කළොත් නම් බලන මම වගේ අය තව ඉන්න බව දන්නා නිසා. මේ සටහන 'Hope Gap' චිත්‍රපටිය ගැන.

ග්‍රේස් -හිතෙන දේ කියන, තරමක් තද අදහස් තියෙන කෙනෙක්. ඇගේ සැමියා එඩ්වර්ඩ් නිහඬ, තරමක් ගුප්ත චරිතයක්. අවුරුදු විසි නමයක විවාහ ජීවිතයකින් පස්සේ එඩ්වර්ඩ් ඒ විවාහයෙන් නික්මෙන්න තීරණය කරනවා. මේ චිත්‍රපටිය මේ සිද්ධිය වටා ගොඩනැඟුණු එකක්. මේ දෙන්නාගේ පුතා ජේමි, දෙමව්පියන් අතරට මැදි වෙන හැටි, එයාලගේ පණිවිඩකරුවෙක් හැටියට ඉන්න අතරේම තමන්ට සිදුවුණු අහිමි වීම දරාගන්න හැටි, උඩු යටිකුරු වුණු ජීවිතයක ග්‍රේස් ආයෙත් අමාරුවෙන් පාර හොයාගන්න හැටි මේ කතාවෙන් කියවෙනවා.

සමහර දේවල් අපිට අගය දැනෙන්නේ අහිමි වුණාම. එතකොට 'ආපහු එන්න' කියන්න පරක්කු වැඩියි. සමහරවෙලාවට අපි ජීවත් වෙන්නේ මැරෙන්න තියෙන බය නිසා. ඒත් දරුණු අසනීපයක් තියෙන කෙනෙක් මැරෙන්න හිතන එක ගැන සමාජයෙන් චෝදනාවක් ආවේ නැතත් දරුණු හිත් වේදනාවකින් ඉන්න කෙනෙකුට ඒ ගැන හිතන්න අවසර නැහැ. දෙමව්පියෝ දරුවන්ට ජීවිත කාලෙම පාර කියනවා. සමහර විට දරුවෝ දෙමව්පියෝ දිහා බලලා ඉගෙනගන්නේ දරාගැනීමේ සීමාව කොතනද කියන එක වෙන්න පුළුවන්. වැරදි කෝච්චියකින් හරි ගමනාන්තයකට එළඹෙන්න පුළුවන්, ඒ වගේම ජීවිත කාලයක්ම හරි කියලා හිතාගෙන හිටිය ඒ ගමනාන්තය වැරදි බව පහුවෙලා වැටහෙන්නත් පුළුවන්. මේ, මේ චිත්‍රපටිය බලලා මට හිතුණු දේවල්. ඒ වගේම ප්‍රේමය, හිමිවීම, අහිමිවීම, දරාගැනීම වගේ දේවල් මේ ලෝකේ හැම කෙනෙකුටම පොදු බව අන්තිමේදී මේ කතාවෙන් අපට බොහොම සියුම්ව මතක් කරලා දෙනවා.

චිත්‍රපටිය පුරාම poetry විසිරිලා තියෙන එකත් මම ඊට කැමති වෙන්න හේතු වෙන්න ඇති. සමහර කවි ඇහුනාම දැනුණේ පරණ යාලුවෙක් මුණගැහුණු හුරුපුරුදු බවක්.

//You have been mine before,
-- How long ago I may not know:
But just when at that swallow's soar
Your neck turned so,
Some veil did fall, -- I knew it all of yore.//

(part of the poem 'I have been here before' by Dante Gabriel Rossetti)


Directed by William Nicholson (2019)
Screenplay by William Nicholson
Based on The Retreat from Moscow
by William Nicholson



9 comments:

  1. කවුරුහරි blog එකක ලියපු විස්තරයක් දැකල මම බැලුව අපූරුම film එකක් තමයි The Age of Adeline. ඒක මගේ ප්‍රියතම film එක වුනා. fantasy තමයි. ඒත් හරිම ලස්සනයි. බ්ලොග් ලියන මහතුනේ, නෝනාමහතුනේ, කියවලා comment දාන අයවලුනේ, ලස්සන movie එකක් බැලුවම විස්තර දැම්මොත් අපි හොයල හොයල බලනවා. Thanks මලී.

    ReplyDelete
    Replies
    1. Inception වලට කැමති අයට Coma 2019 හොඳයි. Amazing Stories 2020 වල පලවෙනි එක The Cellar හොඳයි. The Expense සහ Utopia සීරීස් දෙකත් නරකම නෑ, ඒත් මම කැමතිම සීරීස් එක The Nevers.

      සාමාන්‍යයෙන් මලීගෙ රෙකමන්ඩේෂන් මට වැරදිලා නෑ. මම කැමති සයි-ෆයි, ටයිම් ට්‍රැවල් නූනත්, මේකත් නියමයි. ස්තූතියි.

      -ඉස්සර බ්ලොග් ලියපු , දැන් හයිබනේට් කරන පක්සියෙක්-

      Delete
    2. Kumudu- කලාතුරකින් ෆිල්ම් බලන මගෙන් නම් ලොකු දායකත්වයක් නැහැ හොඳේ, බලන හැටියට දාන්නම්

      හයිබනේට් පක්සියා- මගේ රෙකමෙන්ඩේෂන් වැරදුණේ නැති එක ගැන සතුටුයි. තව බැලුවොත් පෝස්ට් දාන්නම්.
      උත්තර අර්ධ ගෝලයේ පක්සියෝ autumn එකේදිම hibernate කරනවද? අපරාදේ රේගියුලර් කස්ටමර්ස්ලා නැතිවුණාම දුකයි :/

      Delete
    3. මෙදා පොටේ හයිබනේට්ම නෙමෙයි- ශිශිර තාරකා නින්ද. ඒත් හීනෙන් ඇවිදගෙන ඇවිත් බ්ලොග් බලල, ලිස්සල යනවා. ;)

      Delete
  2. ඔබේ සටහන හින්ද මේ චිත්‍රපටය බලන්න හිතුනා. තවම බලන්න විදිහක් ලැබුනේ නැහැ . කුමුදු ලියා තිබුණු චිත්‍රපටය ආසාවෙන් රසවිද තිබෙනවා. හරිම ලස්සන එකක්.

    ReplyDelete
  3. බලන් හිතන් ඉන්න එකක්. මමත් ප්ලැට්ෆෝම් බලල ලිව්ව පෝස්ට් එකක්

    ReplyDelete