ඕස්ට්‍රේලියාවේ වැසියෝ සාමාන්‍යයෙන් magpie කුරුල්ලෝ ගැන වැඩි මනාපයක් නැහැ. ඒකට හේතුව එයාලා බිත්තර දාන කාලෙට එයාලගේ කූඩු තියෙන ගස් ළඟින්වත් කවුරුවත් යනවාට අකැමති නිසා. ඒ වෙලාවට එයාලා ළඟින් යන එන අයගේ ඔලුවලට කොටන්න වගේ පාත් වෙනවා. මේ කාලෙට බයිසිකල් පදින අයත්, මට වගේ කොණ්ඩ බූසි තියෙන අයත් magpiesලාට පේන්න බැහැ.
Magpie කියන්නේ කපුටෙකුට වැඩිය ටිකක් ලොකු, කළු සුදු පිහාටු තියෙන කුරුල්ලෙකුට. මෙයාලා පොඩි පොඩි කණ්ඩායම් තමයි එකට ඉන්නේ. ගොඩක් වෙලාවට ඒ එක පවුලක දෙමව්පියෝ සහ දරුවෝ බව පේන්නේ වැඩිහිටි තරමේ කුරුළු පැටවුන්ටත් අම්මලා කෑම හොයාගෙන ඇවිත් කවනවා පෙනෙද්දී. මම නම් කැමතිම මෙයාලගේ ගායනයට. පෙනුමයි වැඩයි ටිකක් ගොරහැඩි උනත් මෙයාලගේ සංගීතය නම් හරිම මිහිරියි. හීතල උදේ පාන්දරවලට ගස් වල මුදුන් වලින් එක එක තාන වල magpie ගීත දෝංකාර දෙන එක හරි අපූරු ඕස්ට්‍රේලියානු අත්දැකීමක්.
මීට අමතරව magpie කුරුල්ලෝ විනෝදයට බර කට්ටියක් කියලා මම අහලා තිබුණට ඒක හරියටම දකින්න ලැබුණේ ළඟදී. පුතාගේ ඉස්කෝලේ ළඟ magpie පවුලක්ම සැරිසරමින් ඉන්නවා මම කළින් ඉඳන්ම දැකලා තිබුණා. ළඟදී දවසක් මම මෙයාලගේ හරි ලස්සන සෙල්ලමක් දැක්කා. හවසක, පාලු වෙලා තිබුණු badminton court එකක දැලේ යට දාරයේ මේ magpie කණ්ඩායම ම එල්ලිලා උඩු යටිකුරුව පැද්දී පැද්දී හිටියා! එහෙම ඉන්න ගමන් කට්ටියම තරඟෙට වගේ මහා හයියෙන් සින්දුත් කියනවා. ටිකක් වෙලා ඉඳලා බිමට බැහැලා තටු දිග ඇරලා හිරි ඇරලා ආයෙත් උඩු යටිකුරුව එල්ලෙනවා. මේ සෙල්ලමට මාත් කොයි තරම් වශී වෙලා බලාගෙන හිටියද කියනවා නම් වීඩියෝ එකක් වත් ගන්න මතක් උනේ නැහැ නේද කියලාත් මතක් වුණේත් පස්සේ.
මේ සිද්ධිය දැක්කාට පස්සේ මේ විදිහට තනියම හිතලා විනෝද වෙන්න පුළුවන් තරමට තේරුමක් තියෙන magpie කුරුල්ලන්ට මගේ තියෙන සැලකිල්ල වැඩි වුණා! ඉඳ හිට ගහක් ළඟින් යද්දී ඔලුවට කොටන්න වගේ පාත් වෙන එකටත් එයාලට සමාව දෙන්න පුළුවන් තරමට මම දැන් එයාලා ගැන පැහැදිලා ඉන්නේ.
-හෙල්මලී
Sketch- Ink on paper
No comments:
Post a Comment