November 05, 2023

ඉසබෙල් ආච්චිගේ හීනය

ඉසබෙල් ආච්චිව මට මුණගැහුණේ බොහොම අහම්බෙන්. අඩි හතරහමාරක් වගේ උස එයා ටිකක් කුදු වෙලා හිටියේ. බැලූ බැල්මට වයස නම් අවුරුදු එකසියපනහක් තරම් විතර පෙනුණා- ඇත්තටම නම් අනූ පහක් විතර ඇති. එයාගේ සුදුම සුදු බොකුටු කොන්ඩේ කොටට කපලා තිබුණා, ඇස් දෙක හිනාවෙන් දිලිසුණා.

ඔය වගේ අතරමඟ දි මුණගැහෙන අහඹු චරිත එක්ක කතාවක් දාගෙන ඉන්න මම කැමතියි. කතා අතරේ මම ඉන්දියාවෙන්ද කියලා ඉසබෙල් ආච්චි ඇහුවා. දැන් යුගේ නම් මෙහෙ කවුරුවත් කාගෙන්වත් ආව රට අහන්නේ නැහැ හිත රිදෙයි කියලා. ඒත් ඉසබෙල් ආච්චි ඊට කලින් යුගේ මගේ හිතේ! මම ලංකාවෙන් බව කිව්වාම  එයා ආවේ ඔස්ට්‍රියාවෙන් බව එයා කිව්වා. ඒ වෙද්දීත් එයාට තිබුණු තද accent එක කොහේ එකක්ද කියලා මම කල්පනා කරමින් හිටියේ. ඔස්ට්‍රේලියාවට ඇවිත් අවුරුදු බර ගානක් ගත වුනත් එයාගේ accent එක නැතිවුණේ නැති බව එයා කිව්වා.

I've lost everything else from Austria, but not my accent! එයා එහෙම කිව්වේ හිනාවෙමින් උනත් ඒක ටිකක් දුක කතාවක් බව මට තේරුණා.

ඔහොම සාමීචි කතා කර කර ඉන්දැද්දී ඉසබෙල් ආච්චි මගේ රස්සාව ඇහුවා. ඉන්පස්සේ එයා අවුරුදු හතළිස්පහක් නර්ස් කෙනෙක් හැටියට මේ රටේ වැඩ කළා කිව්වා.

"Then you must have been very busy" මම කිව්වා

"Yes, but I never loved nursing. My passion was always in embalming" ඉසබෙල් ආච්චි උත්තර දුන්නා.

මගේ සාමීචි mode එක එකපාරටම නැවතුණා. ඒ මොකක්ද ඒ පැෂන් එක?? මම හිතුවා එකත් එකටම මට ඉසබෙල් ආච්චි කීව දේ ඇහුනේ වැරදියට කියලා.

මම පොඩ්ඩක් අවුල් වුණා කියලා ඉසබෙල් ආච්චි දැක්කා.

"Do you know what embalming is?"එයා ඇහුවා.

"I do know about embalming, but I am not sure if we are talking about the same thing" මම සැකෙන් වගේ කිව්වා.

"dead people, dead people!"එයා බොහොම උනන්දුවෙන් කිව්වා. ඒක කියද්දී එයාගේ ඇස් තව ටිකක් දිලිසුණා.

මේ අපබ්‍රංසේ අහලා ඉබේ ඇරුණු මගේ කට වහගන්නත් මට අමතක වුණා.

තමන් මතක ඇති කාලෙක ඉඳන් embalming ගැන බොහොම උනන්දුවෙන් හිටිය බව ඉසබෙල් ආච්චි මට විස්තර කළා. එයා ඉස්සර හීන මැව්වේ රස්සාවක් හැටියට embalming කරන්නලු. ඒත් ඒ කාලේ ඒ රස්සාව ඉගෙන ගන්න නම් මාස හයක් embalmer කෙනෙක් යටතේ පඩි නැතිව වැඩ කරන්න නියමිත වෙලා තිබුණා ලු. ඒක මාස හයක් පඩි නොලබා ජීවත් වෙන්න අමාරු කාලයක් නිසා අකමැත්තෙන් උනත් ඉසබෙල් ආච්චි හෙදි වෘත්තිය තෝරාගත්ත බව මට කීවේ හිතේ අමාරුවෙන්. එතකොට නම් ඉගෙන ගන්න අතෙරේම පඩි ලබන හෙද රස්සාවක් කරන්න ඉඩ ලැබුණා ලු.

මේ විස්තරය අහගෙන හිටියාට පස්සෙත් මම හිටියේ shock වෙලා. embalming වගේ දෙයක් කරන්න හීන මවන, එහෙම රස්සාවක් තමන්ගේ dream job එක වුණු ගෑනු කෙනෙක් තියා පිරිමි කෙනෙක් ගැනවත් මම කවදාවත් අහලා තිබුණේ නැහැ. අනික දැන් කාලේ වගේ නෙමෙයි, ඉසබෙල් ආච්චිට ඒ හීනේ තිබිලා තියෙන්නේ මීට අවුරුදු හැට හැත්තෑවකට ඉස්සර!

මගේ පුදුමේ ගැන වගක් නැතිව ඉසබෙල් ආච්චි දිගටම විස්තර කියමින් හිටියා.

එයා නර්ස් කෙනෙක් හැටියට වැඩ කළේ වැඩිහිටි සාත්තු නිවාසයකලු. ඒවායේ ඉතින් නිතරම වයසක උදවිය මැරෙනවානේ. එහෙම මැරුනාම "අනේ මට මෙයාව embalm කරන්න තිබුණා නම්!" කියලා එයාට හැමතිස්සෙම හිතුනා කියලා ඉසබෙල් ආච්චි කිව්වේ කැකිරි පලමින්. ඒක අහලා මටත් හොඳටම හිනා.

තාම උනත් තමන්ගේ හීනේට යන්න පරක්කු නැහැ කියලා මම ඉසබෙල් ආච්චිට කිව්වේ විහිලුවට වගේ. 

"Well at this rate I could do my own embalm soon!" කියලා එයාත් ඒ හිනාවට එකතු වුණා.

ඉතින් මිනිස්සුන්ගේ හීන කියන ජාති ගැන අපට කවදාවත් පිටින් බලලා තක්සේරු කරන්න බැරි බව ඉසබෙල් ආච්චි නිසා මම අද මුල ඉඳන් ඉගෙන ගත්තා!


 ඉසබෙල් ආච්චිගේ පින්තූරේ අන්දවා ගත්තේ Canva AI tool එකෙන්. 



24 comments:

  1. මට අහමු උනා රුවන්වැල්ලේදී නව යොවුන් තරුණියක්; තාත්තා සමග මල්ශාලාවක් පවත්වාගෙන යන!
    ඇය ශක්තිමත් කාලවර්න පියකරු යුවතියක්.
    මට ඇය සමග ඒ ගැන කතා කරණ්නට උවමනා උනත් ඊට ඉඩක් ලැබුනේ නෑ!
    සමහර විට එයා තාමත් ඒ වැඩේ කරණවා ඇති!

    ReplyDelete
    Replies
    1. අපට මේ වැඩේ ටිකක් අවුල් වුණාට එහෙම නැති අයත් ඉන්නවා ඒ කියන්නේ නේද? හොඳ වෙලාවට මේ ලෝකේ එහෙම අයත් ඉන්නේ! :D

      Delete
  2. හීන සැබෑවෙනවද නැතිවද හිතලා
    ගේන දිරිය හිත පතුලේ තද කරලා
    පේන ඉදිරියක් ලස්සනකට මවලා
    මූන පුරා සිනහවකට තැන හදලා....

    අපි කාගෙත් අමුතු අමුතු හීන තියෙනවා. හැබෑවෙන නොවෙන...නේද මලී..
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්! ස්තූතියි දුමින්ද

      Delete
  3. Replies
    1. ඔව් නේද? අපි නොහිතන මේ වගේ දේවල් තව කොයිතරම් ඇතිද!

      Delete
  4. මම කැමතිම, එදිනෙදා හමුවුන මිනිස්සු ගැන මලීගේ කතාවක්. මිනිස්සු කතන්දර පොත් වගේ ජාතියක්. ඒ පිටු පෙරලලා බලන්න හැමෝටම හැකියාව නෑ.

    ReplyDelete
    Replies
    1. මට හරි අපූරු අය මුණගැහෙනවා නේ කියලා මගේ යාලුවෙකුත් කිව්වා. මම හිතන්නේ අපිට මුණගැහෙන හැම කෙනෙක්ම කතන්දර පොත් වගේ. ඒවා කියවන්න පොඩ්ඩක් වෙලාව ගන්න ඕන. ඊළඟට ඒ කතන්දර ආයෙත් ලියන්න මතක තියාගෙන ඉන්න එක තමයි මගේ වෙනස :)

      Delete
  5. ඒ කතාව මරු. ඉසබෙල් ආච්චි Iron lady කෙනෙක් වගේ. මටත් හමුවුනා යාලුවෙක් එයාගේ දුව තෝරාගෙන තියෙන්නේ මේ රස්සාව. දුවගෙ රස කතා විහිළු කතා අම්මා තව රස කර කර මට කියද්දී මම නම් ඒවා අහගෙන හිටියෙ මාර අපහසු තාවයකින්.
    කතාව හරිම ලස්සනයි. අදම තමා මේ පැත්තේ ආවේ මම. ආයේ එනම් කෝ.

    ReplyDelete
    Replies
    1. ලියෝනි- මේ පැත්තට ආදරයෙන් පිලිගන්නවා!
      බලාගෙන ගියාම ඉසබෙල් ආච්චි වගේ කට්ටිය තව ඉන්නවා නේද?
      අපට සාපේක්ෂව මේවා අමුතු රස්සාවල් නිසා වෙන්නැති අපට මෙහෙම අමුත්තක් දැනෙන්නේ

      Delete
  6. අපූරු කතාවක්. හෙල්මලීත් එක එක කතා වලින් අපිව ලෝකෙ වටේ එක්ක යනවා. නුදුරු දවසක නවකතා පොතකින් දකින්නට බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ,
      නවකතාවක් ලියන්න තරම් සංයමයක් තියනවාද මන්දා මට :)

      Delete
    2. ඇත්තෙන්ම තියෙනවා
      හොඳටම තියෙනවා
      ලියන්න පටන් ගන්න විතරයි තියෙන්නේ
      ඉතුරු ටික ලියවෙයි

      Delete
  7. Another fantastic one! The vast difference between the job she had been involved in and her bizarre dream job makes the story even more interesting and humorous.

    ReplyDelete
    Replies
    1. Thank you Sarath. Real life is often far more interesting than fiction, right?

      Delete
  8. https://www.goodreads.com/book/show/55202016-the-embalmer

    ReplyDelete
    Replies
    1. Need to find this and read, thank you Pra Jay! :D

      Delete
  9. "Well at this rate I could do my own embalm soon!" : Such an amazing attitude to life (and sense of humour)!!

    ReplyDelete
    Replies
    1. Lotus- yes she was unlike anyone else I ever met, such a sweet but very strong character.

      Delete
  10. මේ පොස්ටුවට කොටාපු කොමන්ටු කීපයක්ම අන්තරස්දාන වුනා, මේ ටිකේම කොමන්ට් අපලයක් තියෙනවා නෙවැ.

    ජීවිතයේ හීන වලට එක්ස්පෙයාරි ඩේට් එකක් නැහැ, ඒ හීන හිතේ තියෙනකම් කය වියපත් වුනත් සිත වයසට යන්නේ නැහැ.

    කලින් ලියපුවා මතක නැති වුනත්, අලුත් සිද්ධියක් තියෙනවා මේ පෝස්ටුව කියවන අයට තෑගි දෙන්න:

    දින දෙකකට කලින් මා හමුවූ පුද්ගලයෙකු කියා සිටියා ඔහුට ඔටෝකැඩ් වගේ ඩිසයින් කරන සොෆ්ට්වෙයාර් එකක් ඉගෙනීමට ඇති ආසාව ගැන. ඔහු වයසින් 50ට ලංවෙනවා ඇති, තමන්ගේම ව්‍යාපාරයක් සාර්ථකව කරන, එය මෙහෙයවන පිරිසක් ඉන්න කෙනෙක්. සහජ නිර්මාණාත්මක හැකියාවක් ඇති ඔහුගේ කාලයක් පැවැති ආසාව අර කී දෙය. මගේ වෘත්තීය පැත්තෙන් ඔහු උපදෙස් පැතුවේ මාව හොයාගෙන ඇවිත්.

    මනුස්සයෙකුගේ හිතේ කැකෑරෙන උනන්දුව අමුතු දෙයක්. හැම එහෙකුටම එහෙම දෙයක් තියෙනවා නම්, අද ලංකාව මෙයට වඩා වෙනස්. අද අපේ සමාජය තම හැකියාව පැත්තකට දාලා අනෙකාව ප්‍රශ්ණකරන්න කාලේ කා දමමින් ඉන්නේ - ඒ වෙනකක් නෙවෙයි තමන්ට වඩා ඉහළ මට්ටමේ ඉන්න කෙනා ගැන (සිස්ටම් එක ගැන ) ඇති විශ්වාසයක් නැතිකම.

    මා සමඟ එකට වැඩ කර බටහිර රටවල වෘත්තීකයින් ඉන්නවා, පෙරලා එරටවලට ගොස් අද සාර්ථක වැවිලිකරුවන්, ගොවීන් වගේ නිදහස් රැකියාවල යෙදෙන. ඒ තම සිස්ටම් එක ගැන ඇති විශ්වාසය.

    ReplyDelete
    Replies
    1. Coral- ඒක ඇත්ත. ඕස්ට්‍රේලියාවේ අපි නිතර දකිනවා තමන්ගේ career එක සම්පූර්ණයෙන්ම මාරු කරන අය. ගුරුවරු රස්සාව දාලා tram එලවන්න යනවා. නර්ස් ලා ඒ රස්සාව වෙනුවට ගිනි නිවන හමුදාවට බැඳෙනවා. වෙනසක් අවශ්‍ය නිසා, හීනයක් තිබුණ නිසා වගේ දේවල් තමයි එයාලා හේතු හැටියට කියන්නේ. රස්සාවල් අතර උස් මිටිකම් නැතිකමත් මේකට හේතුවක්. එහෙම විවෘත ආකල්ප තියෙන අය මුණගැහෙන එකත් හරි නැවුම් අත්දැකීමක්.

      Delete
  11. හාඩ් accent එක ඕස්ට්‍රියානු එයාල පාවිච්චි කරන ජර්මානු බාසාවේ විලාසය නිසා වෙන්ටැති නෙහ්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක වෙන්නැති. මට නම් මුලින්ම තේරුණා වෙන රටක accent එකක් කියලා. polite වෙන්න කියලා හිතලා ඇහුවේ නැහැ. එයා මගේ රට ඇහුවාම ඉතින් මාත් ඇහුවා :D

      Delete