මේක අලුත් ඇරඹුම් ගැන කතාවක්.
මම යන එන මඟ තැනක අලුතින් කැෆේ එකක් විවෘත කළා. මුල ඉඳන්ම ඒක බොහොම සාරෙට පෙනුණා, මාත් ඉඳහිට ඒකට ගොඩ වැදුණා. පටන් ගනිද්දී මේ කැෆේ එක හැඩ කරන්න මල් පැල එක්ක පෝච්චි එහෙම තැන තැන තියලා තිබුණු බව මම දැක්කා. විසිතුරු පැල කියන්නේ මම කැමතිම මාතෘකාවක්. මගේ ළඟත් ඒවගේ පැල සෑහෙන්න ප්‍රමාණයක් තියෙන නිසා මේවාත් නිරායාසයෙන්ම මගේ ඇහැ ගැටුණා.
සති කීපයක් යද්දී කැෆේ එකේ කාර්ය බහුල බව නිසා අලුතින් ගෙනාව මල් පැල ගැන බලන්න ඒකෙ වැඩකරන අයට වෙලාවක් නැති බවත් මම දැක්කා. ඒ සමහර පැල වතුර ටිකක් වත් නැතිව වේලිලා කරවෙලා ගිහින් තියෙනවා දැක්කම මට දැනුණේ දුකක්.
මේ මල් පැල අතරේ තිබුණා magic bean කියන වර්ගයේ පැලයක්. මේකට මෙහෙම කියන්නේ ඒක ලොකු ඇඹරැල්ල ගෙඩියකින් මතුවුණු පැලයක් වගේ පේන නිසා. මගේ ළඟත් සාරෙට හැදුණු magic bean පෝච්චියක් ගෙදර තිබුණා. ඒත් කැෆේ එකේ magic bean පෝච්චිය නම් තිබුණේ බොහොම දුක්මුසු තත්ත්වයක. ඒක තියලා තිබුණෙත් ඉලෙක්ට්‍රික් සුප් මැෂිම ළඟ. වතුර නැතිව වේලිලා තිබුණු පැලයට සුප් මැෂිමෙන් තිස්සෙම රස්නේ හුමාලයත් වැදුණා. කැෆේ එකට යන හැම වතාවෙම මගේ ගෙදර තියෙන මල් පෝච්චිය සැපට වැඩෙන හැටිත් මෙතැන මේ පැලේ දුක් විඳින හැටිත් දැකලා මට හීල්ලුණා. කොහොමත් මල් පැල වලට ආදරේ මම මේවා දැක්කාට වෙන කිසි කෙනෙකුට මේ දේවල් notice වුණු බවක් පෙනුණේ නැහැ.
එක දවසක් මම කැෆේ එකට යද්දී ඒකෙ වැඩ කරන තරුණයා කුණු බෑග් එළියට අරගෙන යමින් හිටියා. ඒ ගෙනියන්න නියමිත කුණු අතරේ කොළ හැලුණු magic bean පෝච්චියත් තිබුණා.
"මේක වීසි කරන්නද හදන්නේ?" මම ඇහුවා
"ඔව් ඒක මැරිලානේ!" එයා සැහැල්ලුවෙන් උත්තර දුන්නා
ඒක අහලා මගේ පපුව පත්තු වුණා. අනේ අසරණ magic bean පැලේ!
"මට දෙන්න, වීසි කරන්න එපා!"මම හිතන්නත් කළින් ඒ වචන මගේ කටින් පැන්නා.
"ඉතින් ඒක මැරිලා නේ!"එයා පුදුමයෙන් කිව්වා.
"මට පුළුවන් එයාට පණ දෙන්න!"මම හිනාවෙලා කිව්වා. ඉන්පස්සේ කණාටු වෙලා තිබුණු පැලයත් එක්ක පෝච්චිය ගෙදර අරගෙන ආවා.
ගෙදර ගෙනැවිත් පෝච්චියත්, පසුත් මාරු කරලා, වතුර දාලා, ඉර එලිය වැටෙන තැනක තියලා මම ඒ පැලයට ආදරේ ටිකක් දුන්නා. ඒ වෙද්දී එකම එක කොළයක් වත් නැති නටුවක් හැටියටයි ඒ පැළය තිබුණේ. ඒ නටුවේ යන්තමට කොළ පාටක් තිබුණු බව විතරයි ඒකෙ ජීවී බවට ලකුණක් හැටියට පෙනුණේ. මේ මීට මාස හයකට කලින්. ඒ මාස හයම ඒ පැළය එහෙමම තිබුණා, මැරෙන්නෙත් නැතිව, හැබැයි ජීවත්වෙන බවට මීට වඩා ලොකු ලකුණකුත් නැතිව. මම එයාට දිගටම ආදරය දුන්නා- එයා දිගටම නිසොල්මන් ව ම හිටියා. "මට එයාට පණ දෙන්න පුළුවන්' කියලා පුරසාරම් දොඩලා ගෙනාවට ඇත්තටම මට ඒක කරන්න බැරි වෙයිද කියලාත් ඔය අතරේදී මට හිතුණා. ඒත් මම උත්සාහය අත් ඇරියේ නැහැ.
ඊයේ පෙරේදා දවසක හදිසියේම ඒ පැළය මේ විදිහට කොළ කීපයක් උපද්දලා තිබුණා! ඉතින් මාස හයකට පස්සේ එයා ජීවත් වෙන්න තීරණය කරලා. මගේ උත්සාහය සාර්ථක වුණු එක ගැන මට දැනුණේ නිමක් නැති සතුටක්.
අපේ ජීවිතත් සමහර වෙලාවට මෙහෙමයි නේද කියලා මට හිතුණා.
සමහර වෙලාවට අපි ඉන්නේ අපිට අහිතකර තැන් වල. එතැනදී අපේ කිසිම දියුණුවක්, වර්ධනයක් නොවී, අපිව ඩිංග ඩිංග විනාස වෙලා යනවා. සමහර වෙලාවට ඒ බව ඊට මැදිවෙලා ඉන්න අපට පේන්නේ නැහැ.
ඒත් අපිට ජීවිතයේ second chances හම්බවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවට අපට ආයෙත් දළු දාන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඊට කළින් අපට සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්න සෑහෙන්න කාලයක් ඕන වෙන්නත් පුළුවන්. සමහර දේවල් හදිසියට කලබලේට කරන්න බැහැ. එහෙම වෙලාවට පොඩ්ඩක් නවතින්න, හුස්මක් ගන්න, අලුත් බලාපොරොත්තු ඇති කරගන්න බය වෙන්න එපා. ආයෙත් දළු දාන කාලේ අත ළඟයි!
Once you choose hope, anything's possible- Christopher Reeve
~හෙල්මලී~
(මේ මගේ පරණ magic bean පෝච්චිය. දවසක අලුත් එකත් ඒ විදිහට වෙයි!)
No comments:
Post a Comment