July 02, 2021

“Reminds me of sunshine”


දුම්රියපළ කවදත් මේ වෙලාවට හරිම කලබලයි. රාජකාරියට යන එන්නන්ගේ බැරෑරුම් මූණු අතරේ පාසල් දරු දැරියන්ගේ කෙළිකවටකම් පිරිලා. උදේ හත පහු වුණත් අද නම් ඉර පායන්නේ නැති හැඩයි. කළු වලාකුළු ගොන්නක්ම පේන මානයක් යනකම්ම අහසේ තෙරපිලා. සීත සෘතුව නිමවෙන්න ළඟ වුණත් තාම මේ වගේ අඳුරු වැහි බර දවස් නම් නිමක් නැහැ. මේ දුම්රියපළ, වේදිකා හය, පිටවීම් දොරටුව ළඟ පුංචි කෝපි හල, ඈතින් පේන කොළ හැලුණු ජකරන්ඩා ගස් පෙළ, රේල් පීලි අස්සේ කෑම හොයන මුහුදු ලිහිණි රංචුව, මේ හැම එකක්ම හැමදාම මේ විදිහමයි. මේ හැම එකක්ම හීනි තාලයක් එක්ක මගේ සිතිවිලි අතරේ ගැවසුණු කාලයකුත් තිබුණා.

ඉඳහිට දැවටෙන සීතල සුළඟට මුළු ඇඟම හිරිවැටෙනවා. මට මේ සීතල කරදරයක් උනාට මගේ වටා උන්නු බොහෝ දෙනා එය ගණන් ගන්නේවත් නැති හැඩයි. අදත් ගෙදරින් එළියට බහිද්දී පුරුද්දට වගේ මම මගේ කහපාට මෆ්ලරය දවටා ගත්තා. මේ දවස් ටිකේම, ඇඳුමට නොගැළපුණත්, උදේට විහිදෙන ලා ඉර එළියට නොගැළපුණත් ගෙදරින් පිටවෙද්දී මේ මෆ්ලරය මගේ අතේ රැඳුණා.

“ඒකට තමයි මම කැමතිම!"

ඒ ගැන විමසූ හැම කෙනාටම මම කිව්වා. ඒත් ලාච්චුවක පත්ලෙන් මේ මෆ්ලරය මම ආයෙත් හොයාගත්තේ මේ සීතල දවස්වල ඒකේ උණුහුම මට වුවමනා නිසාද? තාම ඒ වූල් කැරලි අතරින් පුරුදු ලා සුවඳක් හමන නිසාද? එහෙම නැත්නම්... ඇත්තම කියන්න මගේ හිතට බල කරනවානම්, දවස් අටකට උඩදී ඔහුව නැවතත් දුටුව නිසාද?

“එහෙමම කියන්න බෑ..”. මම මා එක්කම තර්ක කළා... “ඒ කෝච්චිය වැඩිම වුණොත් විනාඩි තුනක් නවත්තාගෙන ඉන්න ඇති මෙතැන...මිනිස්සුත් පිරිලා හිටියේ.. ඒ ටිකට කොහොමද කෙනෙක් අඳුනා ගන්නේ? මේ තරම් කලබල වෙලාවට?”

ඒ කොහොම වුණත් අමතක කිරීමට බැරි බවේ තදබල රෝගයකින් පෙළෙන මට ඔහු යන එන වෙලාවල්, යන එන දුම්රිය එක්ක ඒ දුටු දසුන ගැලපෙන බව අමතක කරන්න බැරි වුණා. ඒ තත්පරය මතක් වී දුම්රිය එන තුරු සීතල ලී බංකුවේ ඉන්න මට, මේ මහා සෙනඟ මැද මොහොතකට හුස්ම හිරවෙන තරමේ තනිකමක් දැනුණා.

එදාත් අද වගේම ඈත ජකරන්ඩා ගස් හිස් වෙලා තිබුණු දවසක්. මේ බංකුවේම සීතල නොදැනුණු දවසක්.

"මට නම් බෑ හීතල කාලෙට වේලාසන එන්න!" මම නෝක්කාඩුවක් කිව්වා. "මාව මැරෙන්න යනවා හීතලේ!"

එහෙම කිව්වාට මම නොවැරදීම වේලාසනින් එන බව අපි දෙන්නාම දැනගෙන හිටියා.

"මේක හීතලක්යැ ළමයෝ?" ඔහු හිනාවක් සඟවන්න තැත් කරමින් කීවා. "ඕනනම් දාසයක් විතර ඇති!"

"ඇත්තද? දාසයයි වගේද පේන්නේ?"ඔහු ඉදිරියේ වටයක් කැරකෙමින් මම හිනාවුණා. "නියමයිනේ!!"

ඊළඟ දවසේ එද්දී ඔහු අතේ ලස්සනට එතූ පුංචි පාර්සලයක් තිබ්බා. දුම්රියපළේ කලබලය මැද්දේම පුංචි දැරියක් වගේ මා කඩිමුඩියේ ඒ පාර්සලය ලෙහා බැලුවා. ගන වූල් නූලෙන් අමුතු රටාවකට ගෙතූ කහ පාට මෆ්ලරයක් මගේ අතැඟිලි අතරේ දැවටුනා.

"සීතලට කියාපු දේ!" එය සිපගනිමින් මා සිනාසුණා. "ඒත් කහ පාට?.. මට කහ පාට ඇඳුමක්වත් නැහැ!"

ඔහු එය මගේ දෑතින් ගෙන සීරුවට මගේ ගෙල වටා දැවටුවා.

"To remind you of sunshine!" මා වෙත පහත් වී ඔහු රහසින් මිමිණුවා.

ඊට පස්සේ කොයිතරම් නම් දුම්රිය මෙතැනින් යන්න ඇතිද? කොයිතරම් නම් මිනිස්සු මේ වේදිකාවල බලාගෙන ඉන්න ඇතිද? පුංචි දේවල් වෙනස් වෙන්න ලොකු කාලයකුත් ලොකු දේවල් වෙනස් වෙන්න පුංචි කාලයකුත් තරම් වෙන බව මම ඉගෙනගත්තේ මෙතැනදීද? කොහොම වුණත් සමහර දේවල් නම් කවදාවත් වෙනස් වෙන්නේ නැති බවත් මම ඉගෙනගත්තෙත් මෙතැනදීමද?

මගේ සිතිවිලි පෙළ නතරකරමින් මගේ ඉදිරිපස දුම්රියක් මහා හඬින් විත් නැවතුණා. හිස ඔසවා බැලූ එක තත්පරයකදී නැවතත් ඒ හුරුපුරුදු දෑස මා දෑසේ ගැටුණා. ඒ දුම්රිය පිටව යන තෙක්ම මා දෑස ඉන් මුදාගෙන බිමට යොමුකරගත්තේ ඉනූ කඳුළු ඔහු දකීවි යැයි බියෙන්. මෙතෙක් කල් සීතලෙන් මිදීමට මට උපකාරී වූ කහ පැහැති මෆ්ලරය ඒ මොහොතේ කඳුළු සැඟවීමටත් මට පිහිට වුණා.

දුම්රිය පිටවී ගොස් මොහොතකින් කෙටි පණිවිඩයකින් මගේ ජංගම දුරකථනය දෙදරුවා. නොසිතාම, පුරුද්දට මෙන් මා එය වෙත නෙත් යොමු කළා.

"Reminds me of sunshine!" එහි සටහන් වී තිබුණා.


සහස් පියවර- කෙටිම කෙටි කතා (2019)
සයුර ප්‍රකාශන
සිතුවම- විංගි ජයලත් (Vingi Jayalath), Vingarts


චිත්‍රය ගැන සටහන

මේ කෙටිකතාව මගේ සහස් පියවර -කෙටිම කෙටි කතා පොතේ තියෙන කෙටිකතාවක්. පොතෙන් ඒ කතාව කියවලා ඒකට ආසා වුණු නිසා ඒකට චිත්‍රයක් ඇන්දා කියලා මම බොහොම ආදරය කරන චිත්‍ර ශිල්පිනියක් වන විංගි ජයලත්ගෙන් පණිවිඩයක් ලැබුණ වෙලාවේ මට අදහාගන්න බැරි වුණා. විංගිගේ චිත්‍රවලට මම ආදරේ කරන්නේ සෑහෙන්න කාලෙක ඉඳන්. විංගි අඳින Mandala චිත්‍රවලට කොයිතරම් ඉවසීමක්, සංයමයක් ඕනද කියලා මම දන්නේ මාත් ඉඳ හිට පොඩි පොඩි චිත්‍ර කුරුටු ගාන නිසා , මට නම් චිත්‍රයක් අඳින්න ඒතරම් ඉවසීමක් නැති නිසා. විංගි අඳින doodlesවල තියෙන්නේ එයාටම ආවේනික හුරතල් ගතියක්. ඉතින් මගේ කතාවට විංගිගෙන් ලැබුණු මේ චිත්‍රයේ වටිනාකම මට නිමක් නැහැ. මගේ කතාවට තව මානයක් එකතු කළාට විංගිට ස්තූතියි කියන්නයි මේ කතාව ආයෙත් බෙදාගත්තේ.

5 comments:

  1. මේ කතාව කියවද්දි මට මතක් වුනේ It takes two සිංදුව. 'One can stand alone in the dark-Two can make a light shine through'.

    යන එන කෝච්චිය දන්නවනම්, ෆෝන් නම්බ'ස් තාම ලඟ තියෙනවනම්, reminds me of sunshine කියලා විතරක් නවතින්න උනේ නම් අපරාදෙ. හිතට වදින කතාවක්.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනා- චිත්‍රයත් කතාව වගේම cute.

      Delete
    2. Thank you Lotus!
      අවාසනාවට Misunderstandings, miscommunication, වගේම වෙනස් කරන්න බැරි circumstances නිසාත් මෙහෙම දේවල් වෙන්න පුළුවන් නේ?
      සින්දුව අහලා තිබුණේ නැහැ. ලස්සනයි ඒක <3

      Delete
  2. පොතේ කතාවක් කියල අන්තිම.වෙනකම්ම දුටුවේ නෑ. පොත තියෙනවා පොරොත්තු ලේඛණයේ.

    මේ රටාවේ කෙටි කතා වලට මම ගොඩක් ආසයි. මමත් ගොඩක්ම ලියන්නෙ කෙටිම කෙටි කතා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික, පොත කියවලාත් ගුණ අගුණ කියන්න!
      මගේ අතින් ගොඩක් වෙලාවට ලියවෙන්නේ බොහොම කෙටි කතා. ඒවා සැලසුම් කරලා දිගට ලියන්න හරි අමාරුයි. ඒ නිසා මගෙන් කෙටිකතා මිසක් නවකතා නම් කවදාවත් නැතිවෙයි. :)

      Delete