“ඔයා නම් ඉතින් හැම දේම හොඳට ප්ලෑන් කරනවනේ, වැඩේ හොඳට යයි” සමුද්‍රා ළඟටම ඇවිත් කියද්දී තනුජා හිටියේ කේටරින් සර්විස් එකේ කට්ටියට මේස ටික පෙන්නමින්. තනුජාලාගේ ගෙදර එදා රෑට තියෙන පාටියට ඒ වෙද්දී හැමදේම සූදානම් වෙමින් තිබුණා. වත්තේ තැන තැන මේස පුටු තියලා, ගහ කොළ බල්බ් වැල් වලින් එළිය කරලා අමුතුම ලස්සනක් පෙනුණා.
“අනේ සමුද්‍රා, ඔයාලා ආවාද? කොච්චර දෙයක්ද කළින්ම ආව එක? යං වාඩිවෙන්න” තනුජා සමුද්‍රාව වැළඳගන්න ගමන් කිව්වා. සමුද්‍රා ගේ සැමියා ජානක, තනුජාගේ සැමියා සමන්ගේ විශ්ව විද්‍යාල කාලයේ මිත්‍රයෙක්. ඒ යාළුකම නිසා එයාලා කාලෙක ඉඳන් ආශ්‍රය කරනවා. නිතරම නැතත්, උත්සවයක්, මරණයක් වුණාම යනවා එනවා. තමන්ගේ අලුත් ගෙදරට ගෙවදින පිරිතෙන් පස්සේ සතියේ, දෙන්නාගේම යාලු මිත්‍රයින්ට රෑ කෑමට ආරාධනා කරන්න තනුජාත් සමනුත් තීරණය කරලා තිබුණා. අන්තිමේදී ඒක අමුත්තෝ තිහක් හතළිහක් එන්න නියමිත සාදයක් බවට හැරුණා.
“ඔයාගේ නෑයෝ එහෙමත් ඔක්කොම ඇවිල්ලා ද?” සමුද්‍රා සාලේ පැත්තට යන ගමන් දොර රෙදි එහා මෙහා කරමින්, කාමරවලට එබෙමින් ඇහුවා. ජානක බොහොම හොඳ ගතිගුණ ඇති මනුස්සයෙක් වුණත් මොකක්දෝ හේතුවකට මේතරම් කාලෙකට තනුජාගේ හිතේ සමුද්‍රා ගැන නම් පැහැදීමක් ඇති වෙලා තිබුණේම නැහැ. සමුද්‍රා ගේ සුහද කතාබහට යටින් මොකක්දෝ පිරිමැහෙන්නේ නැති අවුලක් එයාට හැමදාම දැනුණා. ඒත් සමන් ගේ යාළුවො ආශ්‍රය කරද්දී ඒ යාලුවන්ගේ බිරින්දෑවරුන්ගෙන් මිදෙන්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා තනුජා ඒ කවුරු එක්කත් හැමදාම සිනාමුසුව හිටියා.
“මගේ නෑයෝ ඔක්කොම ආවේ ගිය සතියේ තිබුණු පිරිතටයි දානේටයිනේ සමුද්‍රා. දුර නිසා එයාලා ඊට පස්සේ ආපහු ගියා. අද එන්නේ අපේ යාළුවො ටික තමයි. තව සමන්ගේ අයියලායි, නංගිලායි ඉන්නවා, එයාලා මේ ළඟ නේ ඉන්නේ” තනුජා පැහැදිලි කළා. ඒත් ප්‍රශ්නේ ඇහුවාට ඒකට උත්තරේ අහගන්න සිහියක් සමුද්‍රා ට නොතිබුණේ අලුත් ගෙදර දොර ජනෙල්, මේස පුටු සිසාරා එයාගේ ඇස් දුවමින් තිබුණු නිසා. ඒ බැල්මේ මොකද්දෝ ඉරිසියාවක් තැවරිලා තියෙනවාද කියලාත් තනුජා ට හිතුණා.
ඒ වෙලාවේ එතැනට ආවේ සමන් ගේ අයියාගේ දුව මනීෂා. එයාගේ අතේ මල් පොකුරක් තිබුණා.
“පුංචි, මම මල් වාස් ටික කුස්සියේ තියාගෙන හදන්නම්. නැත්නම් අපේ දෝණි එක්ක බැහැ, ඔක්කොම අදීවී.” මනීෂා කිව්වේ සමුද්‍රා එක්කත් හිනාවෙන ගමන්.
සමුද්‍රා ගේ බැල්ම එසැණින් යොමු වුණේ මනීෂාගේ දිහාවට. එයා මනීෂා දිහා උඩ ඉඳන් පහළටත්, මනීෂාගේ ඇඟේ දැවටෙන එයාගේ චූටි දුව දිහාත් හොඳින් බැලුවා.
“මේ තනුජාගේ මල් කුමාරි නේද? ඒ කාලේ බෝලේ වගේ පෙරළි පෙරළි හිටියේ… දැන් දුවෙකුත් ඉන්නවද?” සමුද්‍රා හරි ලෙන්ගතුකමින් වගේ ඇහුවේ පොඩි කෙල්ලගේ ඔලුව අතගාන ගමන්.
“ඔව්, ඔව් මනීෂා තමයි අපේ මල් කුමාරිට හිටියේ, ඔයාට මතකයි නේද? හරි පුතේ ඔයා මල් වාස් ටික හදන්නකෝ. එහෙනම් සමුද්‍රා ඔයාත් පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න, මම අර කේටරින් කට්ටිය කෑම අරින එක බලලා ඔයාට බොන්න දේකුත් අරගෙන එන්නම්” තනුජා නැගිට්ටේ කුස්සිය පැත්තට ආපිට යන්නයි.
“පොඩ්ඩක් ඉන්න, ඔයාගෙන් බඩුවක් අහන්නත් තියෙනවා.” සමුද්‍රා මනිෂාට යන්න ඇරලා තනුජාගේ අතින් ඇදලා ආයෙත් වාඩි කරවා ගත්තා. “අරයා ගැන” එයා ඇස් දෙකෙන් පෙන්නුවේ පිටුපාලා යමින් හිටිය මනීෂා ව.
“අපේ මනීෂා ගැන? ඇයි සමුද්‍රා?” තනුජා නැවතුණා.
තනුජාලා කසාද බඳිද්දී මනීෂාට අවුරුදු හතක් අටක් විතර. ඒ හුරුබුහුටි, කටකාර කෙලි පැටික්කිට තනුජා මුල් හමු වීමෙන්ම ආදරේ වුණා. එයාලගේ මඟුල් ගෙදර මල් කුමාරි වුණු දවසේ මනමාල ජෝඩුව පිටත්වෙලා යන වෙලාවේ එයාලා එක්ක යන්න ඕන කියලා මනීෂා හොඳටෝම ඇඬුව හැටි තනුජාට හොඳට මතකයි. ඒ කාලේ ‘තනු පුංචි’ කියමින් තමන්ගේ පස්සෙන් වැටිලා තොරතෝංචියක් නැතිව කියවමින් හිටි කෙල්ල දැන් කසාද බැඳලා අම්මා කෙනෙක් වෙලා නේද කියන එක සමහර වෙලාවට තනුජාට අදහා ගන්නත් බැහැ. මනීෂා ගැන තනුජාට හැමදාම දැනුණේ තමන්ගේ දරුවන්ට තරම්ම ගැඹුරු බැඳීමක්.
සමුද්‍රා මනීෂා ගැන කියන්න හදන්නේ සතුටු කාරණයක් නෙමෙයි කියලා තනුජාට හිතුණේ සමුද්‍රා ඇස් කරකවන හැටි දැකලා. “මම මෙහෙම ඇහුවාට මුකුත් හිතන්න එපා ඔන්න තනු, ඔයාගෙන්ම අහන්න ඕන කතාවක් මේක. ඔය මනීෂා බඳිනකොට ඔය දුව හම්බවෙන්න හිටියා නේද?” සමුද්‍රා හඬ බාල කරලා අහද්දී එයාගේ ඇස් දෙකෙන් බේරුණේ රස කෑමක් ලැබුණු කෙනෙකුගේ පෙරේතකමක්.
සමුද්‍රා කීව දේ තමන්ට හරියට ඇහුණා ද කියලා තනුජාට එකපාරට හිතාගන්න බැරිවුණා. මනීෂා බැඳලා දැන් අවුරුදු පහක් හයක් ඇති, එයාගේ දුවටත් දැන් අවුරුදු තුනක් විතර. තනුජාට මුලින් හිතුණේ සමුද්‍රා මේ මනීෂා ව වෙන කවුරුහරි එක්ක පටලවාගෙන කියලායි.
“ඔයාට වැරදිලාද කොහෙද සමුද්‍රා, අපේ මනීෂා බැඳලා දැන් කොච්චර කල්ද! වෙන මනීෂෙක් වෙන්නැති” එයා හිනාවෙලා කිව්වා.
“නෑ නෑ.. ඔය මනීෂා ගැනම තමයි අනේ මං අහන්නේ, මම ළඟදී එයාලගේ මඟුල් ෆොටෝ දැක්කා, එතකොට තමයි මට නෝටිස් වුණේ”
සමුද්‍රා ජයග්‍රාහී ලීලාවෙන් කීවේ තනුජාගේ අතකුත් අල්ලාගෙන.
තනුජාට ඒ වෙද්දීත් මේ කතාවේ අග මුල තේරුණේ නැහැ. මීට අවුරුදු පහ හයකට කළින් තිබුණු මනීෂාගේ මඟුල් ගෙදර විස්තර එයා මතක් කරගන්න උත්සාහ කළා. පිරිපුන් ඇඟක් තිබුණු මනීෂා එදා ඔසරියට හරි හැඩට හිටියා. ඒ මඟුල් ගෙදර පින්තුර මේ තරම් කාලයක් ගිහින් සමුද්‍රා දැක්කේ කොහොමද? අනික මොකක්ද මේ බබෙක් හම්බවෙන්න හිටිය කතාව?
“ඔයා මේ කියන්න හදන දේ මට තේරෙන්නේ නැහැ, වහෙන් ඔරෝ නැතිව කෙළින් කියන්නකෝ” තනුජා තරමක නොරිස්සුමකින් කිව්වා. සමුද්‍රා මේ ලෑස්ති වෙන්නේ කොහෙන් හරි හොයාගත්තු කුණු ගොඩක් අවුස්සන්න බව එයාට පැහැදිලි වුණා.
“ඕකේ මොකක්ද අනේ තේරුම්ගන්න අමාරු? අපේ නෑදෑ දුවෙක් මනීෂා ගේ යාලුවෙක්ලු. මමත් ළඟදී දැනගත්තේ. එයාගේ පරණ පින්තුර වගයක් බලද්දී තමයි මම දැක්කේ මනීෂා ගේ මගුල් දවසේ ගත්තු පින්තූර ටිකක්. ඒ පින්තූර වල ඔයාලයි, සමන්ගේ අයියලායි හිටිය නිසායි මම අඳුනාගත්තේ, නැත්නම් අපිට ඔය කෙල්ලන්ව මතක නැහැනේ අනේ. ඔසරිය ඇන්දාට බඩ මේං මෙහෙම නේද? මට නම් අම්මෝ කියලා හිතුණා. අද පාටියට ආවාම ඕක කොහොමහරි ඔයාගෙන් අහන්න ඕන කියලා මම මතක තියාගත්තා! ඒක අහද්දී මේ බඩ්ඩත් මෙතැනම ඉඳී කියලා කවුද හිතුවේ” සමුද්‍රා කැකිරි පැලුවේ හරි විනෝදජනක දෙයක් කීව විදිහට.
තනුජාට දැනුණේ තමන්ගේ ඉස් මුදුණින් ගින්දර පිටවෙනවා වගේ. එයාට සමුද්‍රා ට කම්මුලට ගහන්න තරම් කේන්තියක් ආවා. මනීෂා කසාද බැඳලා මාස පහක් හයක් ගත වුණාට පස්සේ දවසක එයා හිතේ අමාරුවෙන් තමන්ව හොයාගෙන ආව හැටි තනුජාට මතක් වුණා. ඒ, ඒ වෙද්දී එයාලා හිතුව විදිහට දරුවෙක් පිළිසිඳ නොගත්ත ගැටලුව. ඉස්සර ඉඳන්ම තමන්ගේ අම්මාටත් වඩා තනුජා පුංචි එක්ක හිතේ තියෙන දේවල් බෙදාගන්න මනීෂා පුරුදු වෙලා හිටිය නිසා මේ ප්‍රශ්නයත් එයා මුලින්ම කීවේ තනුජා ට. එයාලාට තව වයස තියෙන නිසාත්, තාම වැඩි කාලයක් ගත වෙලා නැති නිසාත් ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැති බව කියලා තනුජා එයාගේ හිත හදන්න උත්සාහ කළත් මනීෂා හිටියේ හිතේ අමාරුවෙන්. ඒ නිසා අන්තිමේදී තනුජා පවුලේ අය එක්කත් කතා කරලා මනීෂාත් ඇගේ සැමියාවත් එයාලා දන්නා වෛද්‍යවරයෙකුට යොමු කළා. මූලික පරීක්ෂණ කීපයකින් පස්සේ මනීෂා ට යම් ප්‍රමාණයක් බර අඩු කරගන්න උපදෙස් දුන්නු ඒ වෛද්‍යවරයා ඖෂධ මාත්‍රාවකුත් නියම කළා. මනීෂා ඒ වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැද්දේ පවුලේ හැම කෙනෙක්ම පුදුම කරමින්. ඒ කාලේ එයා රස්සාවට යන ගමන්ම ව්‍යායාම කරලා, කෑම පාලනය කරලා කොහොම හරි බරත් අඩු කරගත්තා. අන්තිමේදී කසාද බැඳලා අවුරුදු එකහමාරක් විතර යද්දී මනීෂා ස්වාභාවිකවම ගැබ් ගත්තා. සමන්ගේ පවුල් වල තුන්වෙනි පරම්පරාවේ පළවෙනි දරුවා එන්න නියමිත බව දැන ගත්තාම හැමෝම සතුටින් පිනා ගිය හැටි තනුජාට අද වගේ මතකයි. එහෙව් කෙල්ලට සමුද්‍රා මේ කරන අපහාසය මොකක්ද? අනෙත් අතට ඒවා හොයන්න සමුද්‍රා කවුද?
හොඳ හුස්මක් අරගත්ත තනුජා වටපිට බලලා පහත් හඬින් මෙහෙම කිව්වා.
“සමුද්‍රා ඔයා අද මොන කුණු ගොඩක් ඔලුවේ පුරවාගෙන ආවාද කියලා මම දන්නේ නැහැ, හැබැයි නිකරුණේ මිනිස්සුන්ට පද හදන්න එපා. ඔය කෙල්ලට බැඳලා ටික කලක් යනකම් ළමයි නැතිව ඉන්දැද්දී ඒකි ව දොස්තර ලා ළඟට එක්කගෙන ගියේ මමයි. ඒ නිසා මම දන්නවා ඒවායේ දින වකවානු හරියටම. එහෙම උනත්, නැතත් ඔයා කවුද ඕවා අවුස්සන්න? අනික දැන් අවුරුදු පහක් හයක් පරණ කතාවක් ගැන? ඔයාට අනිත් මිනිස්සු සන්තෝසෙන්, ප්‍රශ්න නැතිව ඉන්නවා දකින්න හරි අමාරු බව මට කළින් ඉඳන් තේරිලා තියෙනවා. ඔයාගේ ඔය කුණු ගොඩවල් වෙන කාටහරි කියන්න, මෙහෙ නම් ඕවාට ඉඩ නැහැ!”
එහෙම කියලා තනුජා නැගිටලා යන්න ගියේ ආපහු හැරිලාවත් බලන්නේ නැතිව. ඒ නිසා ඒ කෙළින් උත්තරෙන් සමුද්‍රාගේ මූන කළු වෙලා ගිය බව එයා දැක්කේ නැහැ. සමන් ට වුවමනා නම් දිගටම ජානක එක්ක යාළුකම් තියාගන්න පුළුවන් බවත්, සමුද්‍රා නම් ආයෙත් එහෙ නාවට කමක් නැති බවත් සමන්ට කියන්න තනුජා ඒ එක්කම හිතා ගත්තා.
මේ කිසි දෙයක් නොදන්නා මනීෂා, තනුජා ව හොයාගෙන ගිහින් මල් පුරවපු මල් බඳුන එයාගේ අතේ තියන හැටි සමුද්‍රා බලාගෙන හිටියේ ඇද වුණු මූණෙන්.
photo- Gemini
No comments:
Post a Comment