May 04, 2022

කළු-සුදු


නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා. නයිස් නිදාගන්නෙත් පුංචි කන් දෙක උස්සගෙනමයි. "නයිස්.. නයිස්.." කිව්වහම කොහේ හිටියත් පණ කඩාගෙන දුවගෙන එනවා. සමහරවිට වෙන නමක් කිව්වත් දුවගෙන එයි. ඒත් හැමෝම කිව්වේ නයිස් කියලා. සිරිදාස අයියාට "උපකුලපති" කියලා නම දැම්මෙත් කවුද දන්නේ නැහැ. ඒත් නයිස්ගේ නම වගේ නෙමෙයි, මේ නමට නම් හේතුවක් තිබුණා. අධ්‍යයනාංශයේ කා.කා.ස වැඩේ කළත් සිරිදාස අයියාගේ වචනෙට ඉහළින් කවුරුත් වැඩ කළේ නැහැ.

"මිසීලා සර්ලා තේ බොනවා නම් තේ බොන්න ... බැරි නම් නිකන් ඉන්න.. කෝප්ප තියෙනවා නම් විතරයි මම තේ දෙන්නේ.."

හැමදාම දහයට විතර ලොකු තේ පෝච්චියක් අරගෙන යන ගමන් සිරිදාස අයියා සද්දයක් දානවා. අහල පහළ ඉන්න මිසීලා, සර්ලා බාලාංසේ ළමයි වගේ තේ කෝප්ප අරගෙන එනවා.

නයිස් නම් හිනා වුණ ගමන්මයි හිටියේ. කුරු කකුල් හතරයි තනි කළු ඇඟයි, හොඳ බලු පෙළපතකට ඈත නෑකමක් කිව්වා. කොට නගුට වන වන, හිනාවෙවී, කියන ඕනෑම දෙයක් අහගෙන ඉන්න පුරුද්ද නයිස්ට තිබුණා.

සිරිදාස අයියා නම් හිනාවුණේ බොහොම කලාතුරෙන්.ළමයි එක්ක නම් කොහොමත්ම නැහැ. නිල ඇඳුම වගේ කොට කලිසමමයි ඇන්දේ.

"ඔය ළමයා රාමනායක සර්ගේ කලින් ටියුට් එකත්, දවස පරක්කු වෙලා නේද දුන්නේ? හැබැයි ඊළඟ දවසේ නම් බාරගන්නේ නැහැ. .. ඉගෙන ගන්නවාලකෝ වෙලාවට වැඩක් කරන්න.."

කොට කලිසමක් ඇඳපු තලස්තානි මනුස්සයෙක් හැඩිදැඩි කොල්ලෙකුට ඔහොම තර්ජනයක් කරනවා කියන එක නිකම් විහිළුවක් වගේ. ඒත් විශ්ව විද්‍යාලේ ඇතුළේ හුළඟක් හැමුවත් රණ්ඩුවට යන ඒ හැඩි දැඩි කොල්ලෝ සිරිදාස අයියාට නෙමෙයි වචනයක් කිව්වේ. ඔහේ කියන දෙයක් කරබාගෙන අහගෙන හිටියා විතරයි.

සිරිදාස අයියාට නයිස් මුණ ගැහුණේ අහම්බෙන්. සර් කෙනෙකුට වඩේ දෙකකුයි මාළු පාන් එකකුයි ගන්න කැන්ටිමට ගිය වෙලාවක. ඈත කවුද පාන් වාටියක් දෙන්න "නයිස්..නයිස්..!!" කියනවා ඇහිලා, පෙරළාගත්තු කුණු බක්කියත් අත ඇරලා නයිස් දිව්වේ සිරිදාස අයියාගේ කකුල් දෙක මැද්දෙන්මයි. ඒකෙන් වුණේ දෙන්නම පටලැවිලා බිම වැටුණ එකයි. සිරිදාස අයියාගේ හැටි දන්න නිසා කැන්ටිමේ හිටිය හැමෝම හිතුවේ නැගිටලා නයිස්ට හොඳවයින් පයින් පාරක් දෙයි කියලා. කොටින්ම කියනවා නම් නයිස් හිතුවේත් එහෙමයි. ඌත් වැටුණ තැනම ඔළුව පහත් කරගෙන ගුටිකන්න බලාගෙන හිටියා. ඒත් සිරිදාස අයියා එහෙමම බිම ඉඳගෙන නයිස්ගේ ඔළුව අතගෑවා. සර්ට ගත්ත වඩේ දෙකෙන් එකක් දුන්නා. නයිස්ටත්, බලාගෙන හිටිය හැමෝටමත් හිතාගන්න බැහැ. නයිස් බයෙන් බයෙන් නැට්ට වනලා කටට දෙකට වඩේ එක ගිල දාලා හිනාවුණා. වැඩි හොඳට සිරිදාස අයියාගේ අතකුත් ලෙවකෑවා.

ඒ තමයි නයිස්ගෙයි සිරිදාස අයියාගෙයි යාලුකමේ පළවෙනි පියවර. මොකක් නමුත් හේතුවකට සිරිදාස අයියාගේ ගල් හිතේ ඒ පුංචි බැල්ලි පදිංචි වුණා. වෙන කාටවත් නොපෙන්නුව කරුණාවක් වෙනුවෙන් වෙන් කෙරුණා. මුලින්ම වුණේ සිරිදාස අයිආ හැමදාම තමන්ට දවල්ට කන්න ගේන බත් මුලේ අන්තිම කටවල් හතර පහ හොඳට මාළු පිනි දාලා අනලා නයිස් වෙනුවෙන් වෙන් කළ එක. එයා කෑම පැයේ අන්තිමට ඒ බත් ටිකත් අරගෙන තට්ටු පහක් බැහැලා ඒ වෙනුවෙන්ම නයිස් හොයාගෙන ගියා. වැඩි කලක් යන්න කලින් නයිස් සිරිදාස අයියාට වෙලාව ඉතුරු කරන්නත් එක්ක පඩි පෙළේ පාමුල බලාගෙන ඉන්න පුරුදු වුණා. ටිකෙන් ටික පළවෙනි තට්ටුව ළඟට.. දෙවෙනි තට්ටුව ළඟට ඇවිත්, මාසයක් විතර යනකොට කෑම වෙලාවට නයිස් සිරිදාස අයියා හොයාගෙන අධ්‍යයනාංශයටම එන්න පටන් ගත්තා. හැමෝම මේ බව දැක්කත් කවුරුත් ඒකට විරුද්ධ නොවුනේ නයිස් හැමෝටම ලෙන්ගතු නිසාමත් නෙමෙයි. සිරිදාස අයියාට එරෙහි වෙන්න තිබුණ බය නිසා.

නයිස්ට කරුණාව පෑවා කියලා සිරිදාස අයියාගේ ගතිගුණ වෙනස් වුණේ නැහැ. සුපුරුදු විදිහටම අනිත් හැමෝටම කෑගැහුවා. හරියට උපදෙස් ලැබුණේ නැහැ කියලා දවස් දෙකක්ම උදේට දේශන ශාලා අරින්නේ නැතිව ළමයි දෙතුන් සීයක් රස්තියාදු කළා. හැඳුනුම්පතක් නැතිවෙලා ඒක හොයාගෙන ආව ළමයෙක්ව "වගකීමක් නැහැ!" කියලා බැනලා එළවා ගත්තා. මිසීලා සර්ලාට හැමදාම ගෝරනාඩු කළා. වැරදිලාවත් කවුරුවත් එක්ක හිනාවුණේ නැහැ.

"ඊයේ හවස බලු වෑන් එක ඇවිත්!" දවසක් උදේම ඒ ආරංචිය හැමතැනම පැතිරුණා. අවුරුද්දකට විතර සැරයක් නගර සභාවෙන් ඇවිත් විශ්ව විද්‍යාලේ තැන තැන ඉන්න බලු රංචුව එකතු කරගෙන යන එක සාමාන්‍ය දෙයක්. සමහර දාට දවාලේ දෙනෝදාහක් ඉස්සරහත් ඒ වැඩේ කෙරෙනවා. "ඔන්න සිරා.. ඔන්න චන්දරේ..බලු වෑන් එක ඇවිත්.. හැංගියන්..!!" කොල්ලෝ එදාට එකිනෙකාට විහිළු කරගන්නවා. ඒත් මේ සැරේ ඒ ආරංචිය අහලා කවුරුවත් කාටවත් විහිළු කළේ නැහැ. "එතකොට නයිස්?" හැමෝම හැමෝගෙන්ම ඇහුවා. වෙනදාට කුණු බක්කි ළඟ, කැන්ටිමේ මේස යට, කස ගස් ළඟ බංකු යට ඉඳන් හිනාවෙන නයිස් කොහේවත්ම හිටියේ නැහැ.

"උපකුලපතිගෙන් අහලා බලමුද?" එහෙන් මෙහෙන් යෝජනා ආවත් කෙළින්ම ගිහින් සිරිදාස අයියාගෙන් අහන්න තරම් චණ්ඩියෙක් ඉදිරිපත් වුණේ නැහැ."මට බැහැ.. මට ගිය සතියෙත් බැන්නා.." "හපෝ ඔය මිනිහට මාව පේන්න බැහැ" එක එක්කෙනා ඉදිරිපත් නොවී පස්ස ගැහුවා. ඒත් නයිස්ට මොකද වුණේ කියලා දැනගන්න නම් හැමෝටම ඕනෑකම තිබුණා. අන්තිමට හැමෝවම නියෝජනය කරන්න දෙන්නෙක් බොහොම අකමැත්තෙන් ඉදිරිපත් උණා.

"මොකා...නයිස්???" නයිස් ගැන ඇහුව ගමන් සිරිදාස අයියා ඒ අයගේ ඇඟට කඩාගෙන පැන්නා.

"නෑ.. නෑ.. අර සිරිදාස අයියා කෑම දෙන පොඩි කළු බැල්ලි.."

"මම කාටවත් කෑම දෙන්නේ නැහැ... දැකලා තියෙනවද මම බල්ලොන්ට කෑම දෙනවා??" සිරිදාස අයියා කෑගැහුවා. නියෝජිතයෝ දෙන්නට කට උත්තර නැහැ.

"ඊයේ බලු වෑන් එක ආවලුනේ..ඌට මොකද වුණේ කියලයි අපි හෙව්වේ.."

එක්කෙනෙක් ආයෙත් උත්සාහ කළා.

සිරිදාස අයියා ඒ ප්‍රශ්නේ ඇහුණේ නැති ගානට ටිකක් වෙලා නිස්සද්දව ජනේලෙන් එළිය බලාගෙන හිටියා.

"ඌ හොඳට ඉන්නවා. බල්ලෝ අල්ලන්න එන බව දැනගෙන මම ඌව අර ඉස්ටෝරුවට දාලා වහලා තිබ්බා. හවස සර් කෙනෙක්ගේ කාර් එකක දාගෙන ගෙදර අරගෙන ගියා." අහක බලාගෙනම හෙමින් කිව්වා.

"කියනවා එහෙම නෙමෙයි ඕවා කාටවත්...දැන් මට වැඩ තියෙනවා..තමන්ගේ රාජකාරියකට ගියොත් හොඳයි.!" ආයෙත් සුපුරුදු විදිහට සද්දේ දාලා සැර දාලා කිව්වා.

ඊටපස්සේත් සිරිදාස අයියා නිතරම හැමෝටම ගෝරනාඩු කළා. කලින් වගේම හැමෝම ඒවා කරබාගෙන අහගෙන හිටියා. ඒත් ඉස්සර තරම් හැමෝම සිරිදාස අයියාට හිත යටින් බනින එක, නැති තැනදී එකතුවෙලා බනින එක නම් ඉබේම වගේ අඩු වුණා. 

- හෙල්මලී ගුණතිලක 

Photo Pixabay

පහුගිය ටිකේ ලංකාවේ දේශපාලන අරගලය follow කරමින් හිටිය නිසා ලියන කියන කටයුතු මුකුත්ම කරන්න බැරි වුණා. බ්ලොග් එක හිස් වෙලා මොකෝ කියලා හොයලා බැලුව සහෘදයන්ට ස්තූතියි. බ්ලොග් එකේ පාලු යන්නත් එක්ක කෙටි කතාවක් පෝස්ට් කරන්න හිතුවා. මේක බොහොම ඈත අතීතෙක ලීව කතාවක්. මගේ සහස් පියවර කෙටිකතා පොතෙත් ඇතුලත්. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ  පළකරන සිසිල සඟරාවේ 2022 මැයි මාසයේ කලාපයේත් මේ කතාව පළ වුණා.

15 comments:

  1. ඇත්තටම සිරිදාස නයිස්ව ගෙදර අරං ගියාද?🤔
    ලස්සන කතාව.🙏👌

    ReplyDelete
    Replies
    1. අරන් ගිහින් නේද? :)
      අනූ ගණන් දෙදාස් මුල කාලේ එහෙම ජපුරේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ හිටිය අය ඉන්නවනම් ඒ සමහරු සිරිදාස වගේ කෙනෙක්ව දන්නවත් ඇති :D

      Delete
  2. හැමෝමෙ හොරෙන් හොරෙන් නයිස්ට ආදරේ කරලා වගේ. Lucky bit-- නේ.

    මම නම් 'උපකුලපති' වගේ චරිත වලට ඇත්තටම කැමතියි. මොකද සමහර අය හිතන්නෙ කරුනාවන්තකම දුර්වලකමක් විදිහට. සිරිදාස ඒක හොදට තේරුම්ගෙන උපක්‍රමශීලීව තමන්ගෙ චරිතය හැඩගස්වාගත් කෙනෙක් වෙන්න පුලුවන්. මේ ලඟදි නායකත්ව ස්ටයිල්ස් ගැන ලිපියක charismatic, autocratic, considerate කියන නායකත්ව ස්වරූප තුන ගැන කියෙව්වා. ඒකෙ කියලා තිබ්බ දෙයක් තමයි considerate නායකයින් සමහරවිට අකාර්යක්ෂම වෙන්න පුලුවන් කියලා මොකද ඒගොල්ලන්ගෙ කරුනාවන්තකම කන්ඩායමේ අය රිනාත්මක ලෙස තේරුම් ගැනීම නිසා.

    කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. Lucky bit-- ටිකක් වෙලා ගියා තෙරුම්ගන්න! :D

      ඒක ඇත්ත, විශේෂයෙන්ම ලංකාවේ, හොඳ කරන්න ගියාම කරේ යනවානේ යටත් සේවකයෝ

      හැබැයි මම වැඩකරලා තියෙනවා එක ප්‍රධානියෙක් යටතේ එයාගේ තිබුණේ තනිකරම autocratic බුල්ඩෝසර් ලක්ෂණ- තද ගති, කොහොම හරි එයාට වුවමනා වැඩ කරගන්නවා. ඒත් considerate අතිනුත් ඉහලයි. අනිත් අයගේ ඕනෑම පෞද්ගලික ගැටලුවකදි මුල් තැන ගන්නේ එයා. එහෙම අයත් ඉන්නවා. හැබැයි ලංකාවේ නම් නෙමෙයි.

      Delete
  3. අපේ දුඹුරුට නම් ඒ වාසනාව තිබුනේ නෑ. අල්ලපු ගෙදර එකා උදැල්ලෙන් ගහලා මරලා කියලා දැනගත්තේ ටික දවසකට පස්සේ. වැරැද්ද බිත්තියට චූ කිරීම.

    ReplyDelete
  4. Replies
    1. https://nidigepanchathanthare.blogspot.com/2022/05/blog-post.html

      Delete
    2. ස්තූතියි නමියා!

      Delete
  5. බල්ලන්ට වඩා හොඳ දේවල් ජීවිතේ තියනව නම් . ඒ බොහොම ටිකයි.

    ReplyDelete
  6. Harima lassanayi.Apooruyi!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත්! :)

      Delete
  7. එන්න ටිකක් පමා වුනා .මම ඉතින් මේ කතාව කියෙව්වා නේ. සහස් පියවරේ හැම කතාවකම එකිනෙකට වෙනස් අපූරුවක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තම ඇත්ත වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමුදු! සමහර ඒවා ඇත්තම ඇත්ත තමයි. පොඩි රේන්ද, බොත්තම් ටිකක් අල්ලලා විතරයි :)

      Delete