February 12, 2023

මැහුම්කාර අයිරිනා - අසම්පූර්ණ සුරංගනා කතා #2

 අසම්පූර්ණ සුරංගනා කතා #2


“අනේ මන්දා, අදත් වහින්න වගේ!”

අයිරිනා ගස්වල අතු අතරින් එබිලා අහස දිහා බලලා තමන්ටම කියාගත්තේ නොරිස්සුමෙන්. රාස්බෙරි පඳුරේ කොළ අතරින් අව්ව තීරු තීරු වැටිලා තිබුණත් ඈත අහසේ තිබුණේ අඳුරු මූසල පෙනුමක්. වැස්සොත් අදත් වැඩ ඉවර කරගන්න වෙන්නේ නැහැ, එකතු වුණ වැඩ ටික මතක් වෙද්දී අයිරිනාට ඔලුව අවුල්වෙනවා වගේ දැනුණා. මෙහෙම වෙලාවට එයා කරන්නේ ලැයිස්තු හදන එක. වැඩ ඉවර කරගන්න ඒකෙන් ලොකු උදව්වක් නැහැ තමයි, ඒත් කරන්න තියෙන වැඩ ලැයිස්තුගත කරද්දී හිත හරි ටිකක් හැදෙනවා. සමහර වෙලාවට අයිරිනාගේ ලැයිස්තු වලත් ලැයිස්තු තියෙනවා.

“දවස් දෙකකින් බාරදෙන්න තියෙන මොනාක් සමනල තටු කට්ටල තුනයි, තනි සුදු කට්ටල දෙකයි ”

ඒ වෙද්දීත් සමනල තටුවක් ගොතන ගමන් හිටිය නිසා මේ සැරේ අයිරිනා ලැයිස්තුව හදන්නේ හිතෙන්. දිග ඇදෙමින් යන තම්බර්ජියා වැලක නටුවක හරි බරි ගැහිලා වාඩිවෙන ගමන් එයා කරන්න තියෙන වැඩ ටික මතක් කරන්න ගත්තා.

“අන්ඩ දාන්න දුන්න ජිප්සී සලබ තටු එකයි, අලුතින් තිත් මහන්න දුන්න ලේඩි බර්ඩ් කුරුමිණි පියන් කට්ටල පහයි….”

තමන්ට මේ තරම් වැඩ ගොඩ ගැහුණේ ළඟ එන වසන්ත ඍතුව නිසා බව අයිරිනා දන්නවා. වැඩි වැඩියෙන් මල් පිපෙන කාලයට සමනල්ලු වෙන්න බලාගෙන මේ කාලේ දළඹුවෝ කෝෂගත වෙනවා වැඩියි. හරියටම කෝෂයෙන් නික්මෙන දවස වෙද්දී සමනල තටු කට්ටල ටික බාරදෙන්න අයිරිනාට ඇනවුම් දීලා තමයි එයාලා කෝෂ ඇතුලේ හැංගෙන්නේ. ඒ නිසා ඒ වැඩ නම් කොහොමත් පරක්කු කරන්න බැරි බව අයිරිනා දන්නවා. දැනුත් එයා හිටියේ මොනාක් සමනල තටුවක වැඩ ඉවර කරන ගමන්. එක එක වර්ගවල, පාටවල මැහුම් වැඩ වල නිරන්තරයෙන්ම යෙදිලා හිටියත් අයිරිනා හිත යටින් වැඩියෙන්ම ආසා කළේ මොනාක් සමනල තටුවලට. ඒවායේ ඇස් නිලංකාර කරවන කහ තැඹිලි පාටත් කළු පාට ඉරිත් හීනවලදී පවා අයිරිනාගේ ඇස් පියන් යට ඇඳුනා. මේ කැමැත්තට හේතුව මොනාක් සමනල්ලු ලස්සන වුනත් විෂ බව තමන් කොහේදෝ ඇහුව කතාවද නැත්නම් දවසක් තරුණ මොනාක් සමනලයෙක් අයිරිනාව මල් ගාලකදී හම්බවෙලා එයාගේ ඇස් දෙකේ පාට ලස්සනයි කීව නිසාද? සමහරවිට හේතු දෙකම වෙන්නැති. ඒත් ඒ හේතු දෙක එකිනෙකට පරස්පර නිසා ඒ ගැන වැඩිය නොහිතා ඉන්න එයා උත්සාහ කළා.

“තව වැඩ තියෙනවා, ඇයි මැහුම් බඩු ගේන්න!” අයිරිනා තමන්ටම මුමුණා ගත්තේ එක සමනල තටුවක වැඩ ඉවරකරලා පැත්තකින් තියමින්. දොළ පාරෙන් එහා කඩ මණ්ඩියේ රොබින් නෝනාගේ කඩේ තමයි හොඳම මැහුම් බඩු තිබුණේ. දොළ පාරෙන් එගොඩ මෙගොඩ වෙන්න ගෙම්බන්ගෙන් උදවු ඉල්ලන්න වෙන එක කරදර වැඩක් වුණත් තමන්ගේ ගනුදෙනුකාරයෝ වෙනුවෙන් ඉස්තරම්ම අමුද්‍රව්‍ය ගන්න අයිරිනා හැමතිස්සෙම උත්සාහ කළා.

“කහ නූල් පන්දු දුසිම් බාගයයි, තැඹිලි දුසිමයි. රතු දුසිමයි, සුදු රේන්ද යාර තුනයි. පළගැටි පවුලටම ඊළඟ ඍතුවට අලුත් ඇඳුම් මහන්න බාරදෙන බවක් එදා තණ බිස්සේදී මුනගැහිලා පළගැටි අම්මා කීවා. ඒ ඇඳුම් ටිකටත් රෙදි බොත්තම් දැන්ම ගෙනත් තියාගන්න ඕන.” අයිරිනා හිතෙන් තව ලැයිස්තුවක් හදන්න පටන් ගත්තා.

අඩුම ගානේ වසන්ත කාලෙටවත් තමන්ගේ වැඩ වලට අත් උදවු කාරයෙක් ගන්නවද කියලා අයිරිනා ආයෙත් කල්පනා කළා. තමන්ට නොකඩවා ඇනවුම් එන්නේ තමන්ගේ මැහුම් වැඩ වල ඉස්තරම් ප්‍රමිතිය නිසා ඒ වැඩ නම් වෙන කිසි කෙනෙකුට පවරන්න බැහැ. ඒත් අඩුම ගානේ කඩේ යවන්න, වැඩ ඉවර ඇනවුම් ගිහින් බාර දෙන්න වගේ සිල්ලර වැඩ වලට කුරුමිණි කොල්ලෙක්වත් වැඩට ගන්න වෙන බව එයාගේ යටි හිත කිව්වා.

“තාවකාලිකව වැඩට අරගෙන, වැඩපළ කොහොමද එහෙම බලලා…”

“ඩාං.. ඩෝං.. දඩාං!”

අයිරිනාගේ සිතුවිලි හදිසියේම නැවතුණේ රාස්බෙරි පඳුරේ මුල හරියෙන් ඇහුණු ලොකු සද්දයක් නිසා. බරැති යමක් පෙරළෙන, පඳුරු තැලෙන හඬ අඳුනාගන්න එයාට අමාරු වුණේ නැහැ.

“දෙවියනේ! ආයෙත් වතාවක් මෙතැන හා පවුලක්වත් පදිංචි වෙන්න හදනවාද?” අයිරිනා තමන්ටම කියාගත්තා.

 අසම්පූර්ණ සුරංගනා කතා #2

-හෙල්මලී ගුණතිලක-


Painting- Watercolour paints


20 comments:

  1. ඊට කලිනුත් එතැන හා පවුලක් පදිංචි වෙලා ඉදලද නෝනා?

    ReplyDelete
  2. Awasanaya ketiyine.

    ReplyDelete
    Replies
    1. කොටින්ම කියනවා නම් අවසානයක් නැත. අසම්පූර්ණයි නේ

      Delete
  3. කතාවයි, චිත්‍රයයි දෙකම නියමයි. මොකක්ද අර , ගහක තිබ්බ "සුළු ප්‍රාතිහාර්‍ය දෙපාර්තමේන්තුවෙ" කතාව?

    ReplyDelete
    Replies
    1. බස්සා - ඔව් ඔව් ඒකත් මේ brand එකේම තමයි, ඉස්සර ලීව එකක් :D
      https://hotchocolatedays.blogspot.com/2022/03/blog-post_2.html

      Delete
  4. හා පවුලට වැඩේ දෙන කොන්තරාත්තුව දෙන්ට ඕන නරි මොටාට. ඒත් සෑන් මේ දාස්සොල මිසිං වගේ.

    ReplyDelete
    Replies
    1. නරි මොටා මේ ඉන්නවා මේ නැහැ! ඒ වගේම තමයි අර ටොමියාත්. එයැයිට උනත් කොන්ත්‍රාත්තුව දෙන්නත් තිබුණා.

      Delete
  5. ඉතුරු ටිකත් හදල දාන්නකෝ අනේ
    ඉස්සර grade 6 or 7 පොතක තිබුනා ඉවර නොවුන කතාවක්.
    ඉතුරු ටික අපිට ලියන්න කියලයි තිබුනේ
    ඒක මොන තරම් හිතට අමාරු වුනාද කියනවනම් ...... අවුරුදු 45 ක් ගිහිනුත් තවම මතකයි.

    ReplyDelete
    Replies
    1. කුමුදු
      අනේ ❤️ මේක එහෙම traumatic වෙන එකක් නැහැ නේද? :)
      ඇත්තම කියනවා නම් මට දිගට ප්ලොට් හිතන්න කම්මැලියි අනේ මේ නහින දෙහින කාලේ. කෙටිම කෙටි කතා පොතකුත් ගහපු මමනේ ඉතින්. ඒ වගේම එක කතාවකට කියලා එක වගේ චිත්‍ර ගොඩක් අඳින එකෙත් කිසි ජොලියක් නැහැ කියලා හිතෙනවා. ඕකයි සිද්ධිය :D

      Delete
  6. කුකුල් කොටුව පැත්තෙ කැරකුනා කියල, ගමරාල කලුකුඩු බස්නෙ දෙනවා කිව්වා. ඔහෙලට කිව්වම මොකෑ, මම දැන් වෙජිටේරියන්.

    මේකෙ තියන, මටත් අදාල වෙන කියුම්:
    1. සමහර වෙලාවට අයිරිනාගේ ලැයිස්තු වලත් ලැයිස්තු තියෙනවා.
    2. මොනාක් සමනල්ලු ලස්සන වුනත් විෂ බව. හ්ම්.....දැන් ද කියන්නෙ, පරක්කු වැඩියි.:(

    බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්

    ReplyDelete
    Replies
    1. නරිමොටා නෑ කිව්වට මේ ඉන්නේ! මදැයි එයාත් වෙජිටේරියන් උනා එහෙනම් ඈ?

      1. සමහර වෙලාවට අයිරිනාගේ ලැයිස්තු වලත් ලැයිස්තු තියෙනවා.- මාත් එහෙමයි :D
      2. මොනාක් සමනල්ලු ලස්සන වුනත් විෂ බව- ඇයි මොකෝ වුණේ? කාලා බැලුවාද?

      Delete
    2. තටුවල ලස්සනට වහවැටිලා පස්සෙන් ගිහින්, තව ඩිංගෙන් මයෙ බූල්කෝට් එකක් උගස් තියනවා උන්දෑ. ;)

      Delete
    3. අනේ නෑ රාළාමි , මේ වෙන පූෂෙක්! 🤣

      Delete
    4. ඊළඟ අසම්පූර්ණ සුරංගනා කතාව- නරියා බූල්කෝට් එක අහිමි කරගත් හැටි :D

      Delete
    5. මෙන්න නරි සුරංගනා කතාවක්:
      https://www.youtube.com/watch?v=IgDUEp238tQ

      Delete
    6. ඒක මරු නරියෝ :D

      Delete