කාලෙකින් ලස්සන සින්දුවක් අහන්න ලැබුණා. visual එක වෙනමත්, වචන වෙනමත්, දෙකම එකටත් රස විඳින්න පුළුවන් නිර්මාණයක්.
තව දුරක් එක්ව යන්නට බැරි කරුණු සොයනෙමි
එය වසන්තය නොවේ එකමෙක මලක් බව දැනී
යළි මතක නැති නොවන ලෙස මම සුවඳ විඳගමි...
රළ බිඳෙයි හෙටත් වෙරලක
නුඹ ලඟක නැතියෙනි
හිත බිඳී යන්න නොම දී
යලි යලි හදාගමි...
හමුවන්න යැයි සසර නොකියන
කරුණු ඇතියෙනි
මතු මතුත් හමුවුනෝතින්
ආදරෙයි නොකියමි....
Artiste | Chapa Jayaruk
Lyrics | Himali Weerakkodi
Melody & Music | Mahesh Vithana
Video Director | Pramod Rathnayake
Cast
Uddika Premarathna
Malini Fonseka
//....visual එක වෙනමත්, වචන වෙනමත්...රස විඳින්න...//
ReplyDeleteසහතික ඇත්ත. අර මුලින්ම තියෙන "අහසින් බාන" සොට් එක ඩ්‍රෝන් එකකින් ගන්න ඇති. කැමරා වර්ක් සෑහෙන්න හොඳයි.
ඔව් බස්සා, බොහොම සංයමයකින් කෙරුණු නිර්මාණයක් බව පේනවා.
Deleteසින්දුව ලස්සනයි . ඒ නොගැලපෙන ආදරයක් වගේ එකක් ගැනද
ReplyDeleteඅජිත් - සින්දුව විතරක් ගත්තාම නොගැලපෙන/නොලැබෙන ආදරයක් ගැන තමයි.
Deleteවිෂුවල් එකෙන් වෙනම කතාවක් කියන්නේ. බොහොම කාලෙකට ඉස්සර යුද්ධේ දි මැරුණු සැමියා/පෙම්වතා එක්ක තාම හිතින් කතාබහ කරමින් ඉන්න කාන්තාවක් ගැන. ඇය මානසික රෝග සායනයට තමයි ඒ යන්නේ. ඈ දැන් වයසයි. ඒත් ඇගේ හිතේ ඉන්න පිරිමි කෙනා හිටිය විදිහටම, තරුණ ව ඉන්නවා. උද්දිකගෙයි මාලනීගෙයි රඟපෑම අපූරුයි.
මුලදී මම හිතුවේ යුද්ධෙදි පුතාව අහිමි වුණු අම්මා කෙනෙකුගේ කතාවක් කියලා. බස් හෝල්ට් එකේ මරණ දැන්වීමේ විස්තර වලින් තමයි එහෙම නැති බව තේරුණේ. "ලොකු අම්මාට පිස්සුද?" කියලා පොඩි දරුවා අහද්දී "කට!" කියලා ඒ දරුවාගේ අම්මා කියනවා ඇහෙන්නේ ඈ ට ඇත්තටම 'පිස්සු' හැටියට සැලකෙන නිසායි. ඒ විදිහට සියුම් දේවල් තියෙන නිර්මාණ දැන් අඩුයි නේද?
මලීගෙ පැහැදිලි කිරීමෙන් පස්සෙ, මඟහැරිච්ච සියිම් තැන් හොයන්න, මම ආයෙම වතාවක් හොඳින් වීඩියෝව බැලුවා. බලල ඉවර වුනාම මට හිතුනේ, මේ කතාව, ඇත්තටම සිදුවුන අපේ අතීත ඛේදවාචකයක් කියලයි. කොච්චර ගස්-ගල් වගේ තරුණ ජීවිත අකාලයේ ( දෙපැත්තෙම) මියැදුනාද? යුද්ධෙ ඉවර වුනාට උතුර-දකුණ තාම බෙදිලා, රට බංකොලොත්, යුද්ධෙට හේතු වුන පාදඩ මජර දේශපාලනය තාම එහෙමමයි. අනේ මන්දා? 😟☹️
Deleteඒක හරි බස්සා, ඊට අමතරව මීට අවුරුදු විස්සකට තිහකට ඉස්සර ලංකාවේ මෙහෙම යුද්ධේ දි ආබාධිත වෙච්ච අයට, නැතිවුණු අයගේ පවුල් වලට උවමනා මානසික සහයෝගය හරියට ලැබුණා වෙන්නත් බැහැ. PTSD වගේ දේවල් කොයිතරම් බරපතල ද. මැරුනොත් වන්දියක් දෙනවා එච්චරයි. දැන් උනත් ලංකාවේ මානසික සෞඛ්‍ය ගැන තියෙන අදහස්, ඔප්ෂන්ස් බොහොම ප්‍රාථමිකයි නේ. මේ සින්දුවේ කාන්තාව වගේ යුද්ධයේ ගොදුරු බවට පත් වුණු පවුල් වල අයත් (දෙපැත්තේම) කොයි තරම් ඇතිද? කවුරුත් කතා නොකරන සමාජයේ කොටසක් ගැන මේ සින්දුවෙන් කතා කිරීමත් අගය කළ යුතුයි.
Deleteසිංදුව අහලා YouTube කමෙන්ට්සුත් කියවලා ආවා.
ReplyDelete" මතු මතුත් හමුවුනෝතින් ආදරෙයි නොකියමි..." අපරාදෙ මෙහෙම කියන්නෙ කියලා හිත හිත සිංදුව අහන්න ගියෙ. කමෙන්ට්ස් අතර එක්කෙනෙක් ලස්සණ විචාරයක් කරලා තිබුණා. එයා කියලා තිබුනෙ 'නැවත ආදරෙයි නොකියන්නෙ එක් වරක් ආදරෙයි කියලා තිබෙන නිසා' කියලා. ඒක අර මලීගෙ කලින් පෝස්ට් එකේ 'කීවරක් මතක් වුනාද කියලා ඇහුවෙත් එක් වරයි තමයි' වගේ නේද.
කීප දෙනෙක්ම කියලා තිබුණා අන්තිමට මානසික වෛද්‍ය සායනය පෙන්නුව එක හරි නෑ කියලා. මටත් හිතෙන්නෙ ඒකෙන් වෙන්නෙ ලංකාවෙ මානසික 'රෝග' තත්ව ගැන තියෙන stereotypes තවත් feed කිරීම කියලා.
(මට තේරෙන්නෙ නැති අනිත් එක තමයි ඇයි ඒ බබා ලොකු අම්මා කියලා එයාට කතා කරන්නෙ කියලා. ලොකු අම්මා කියන්නෙ අම්මගෙ අක්කටනෙ).
//හමුවන්න යැයි සසර නොකියන
Deleteකරුණු ඇතියෙනි
මතු මතුත් හමුවුනෝතින්
ආදරෙයි නොකියමි....//
මට හිතුනේ මෙහෙමයි Lotus. "ඔය දෙන්නා ආදරෙන් බැඳෙන හැම ආත්මයක ම වෙන් වෙන්න යෙදෙනවා' වගේ දෙයක් ජ්‍යෝතිෂ්‍ය අනාවැකියකින් ලැබුණා කියලා හිතමු. එයාලා එහෙම දේවල් කියනවනේ. එතකොට ආයි හමුවුණත් ආදරෙයි කිව්වොතින් නේ වෙන් වෙන්න වෙන්නේ. ඒ නිසා "මතු මතුත් හමුවුනෝතින් ආදරෙයි නොකියමි" //'නැවත ආදරෙයි නොකියන්නෙ එක් වරක් ආදරෙයි කියලා තිබෙන නිසා'// ඒ අදහසටත් මම කැමතියි. ඔව් කලින් පෝස්ට් එකේ අදහස තමයි නේද?
මම නම් කැමතියි මානසික වෛද්‍ය සායනය කියලා පෙන්නුවට. නැත්නම් ඒ කාන්තාව සාමාන්‍ය එදිනෙදා ශාරීරික අසනීපෙකට බෙහෙත් ගන්න ගියා වගේනේ. මේ විෂුවල් එකේ හැටියට එයාත් අඩුම තරමේ අවුරුදු හැටක වත් කෙනෙක් නේ. 1992 මැරුණු කෙනෙක් වෙනුවෙන් එයා තාම විඳවනවා, මානසික ගැටලුවකට ක්ලිනික් යනවා. ඒ දේවල් එහෙම ලේසියෙන් නැතිවෙලා මැකිලා නොයන බවට මේක හොඳ උදාහරණයක්.
"ලොකු අම්මේ" කියන එක ටිකක් අවුල් තමයි. හැබැයි මට මතක් වුණා සමහරු අත්තම්මාට 'ලොකු අම්මා' කියනවා කියලා. මගේ යාලුවෙකුත් එහෙම කියනවා. ටිකක් confusing ඉතින්. අනිත් වෙන්න පුළුවන් ඔප්ෂන් එක තමයි එයා ඇත්තටම ඒ දරුවාගේ අම්මාගේ අක්කා, ඒ ගෙදර ජීවත්වෙන්නේ කියන එක. එහෙම චරිතෙකට මාලනී වයස වැඩියි ටිකක් ඉතින්. පිරිමි එක්කෙනා ඉපදිලා තියෙන්නේ 1958 නිසා පළවෙනි ඔප්ෂන් එක වෙන්න ඉඩ වැඩියි. ඒ කියන්නේ සැමියා මැරෙද්දි එයාට දරුවොත් ඉඳලා.
මානසික වෛද්‍ය සායනය නොපෙන්වා හිටියනම් හොඳයි කියපු අය එහෙම කියලා තිබුනෙ 'let her dream on, everybody can dream-don't put a label on it' වගේ අදහසින්. ලංකාවෙ ගොඩක් අය තාම ඒ වගේ තත්ව ගැන හිතන්නෙ ප්‍රාථමික විදිහට නිසා, අන්තිමට "එයාට පිස්සු ඒකයි ඔය" කියන අදහස ගන්න පුලුවන්. මලී කියලා තියෙන "ඒ දේවල් එහෙම ලේසියෙන් නැතිවෙලා මැකිලා නොයන බවට මේක හොඳ උදාහරණයක්" අදහසත් හොඳයි. It's true from a practical point of view, IF our people open up to it.
Delete" එතකොට ආයි හමුවුණත් ආදරෙයි කිව්වොතින් නේ වෙන් වෙන්න වෙන්නේ" ඔව් ඒ interpretation එකත් හොඳයි. හැබැයි එහෙම වෙන් වෙන්න වුණත්, ආදරෙයි කියන්න පුලුවන් නම් ඒක තවත් හොඳයි. හැමෝටම කරන්න බැරි දෙයක්නෙ.
ආච්චි අම්මා හෝ ආත්තම්මා වෙනුවට ලොකු අම්මා කියන එක මටත් පස්සෙ මතක් වුණා. Makes sense. උද්ධික හා මාලිනි ෆොන්සේකාගෙ රඟපෑම වගේම මට නම් ඒ බබාගෙ කොටසත් ශෝක්.
මම ඇනලයිස් කරනවා වැඩිද මංදා. නමුත් මට හිතෙන්නෙ අපි නිර්මාණය රස විඳපු නිසයි ඒ ගැන කතා කරන්නෙ කියලා.
Lotus - ඉඳහිට හරි ඇනලයිස් කරන්න වටිනා සින්දුවක් අහන්න ලැබෙන එකයි, ඒක ඇනලයිස් කරන්න මෙහෙම සහෘදයෝ ඉන්න එකයි ප්‍රයිස්ලස් බවයි මගේ නම් අදහස :)
Deleteඇත්තටම මට visual එකත් එක්ක සින්දුව ගලපගන්න බැරිවුනා
ReplyDeleteදෙවිදියකට ගලපගත්තොත් හොඳයි කියන තීරණයට ආවා අන්තිමට
ඇයි කිව්වොත්,
වැඩිපුර හිතන්න ගියොත් මටම පිස්සු හැදෙන්න වගේ එනවා
Visual සටහන් වල තිබෙන ගැමි පරිසරය සමග ගීතයේ සන්දර් භය සාමාන්‍ය දැනුමක් තිබෙන මා වැනි අ යට තේරුම් ගැනීම තරමක් අමාරුයි . දෙවරක්ම visual එකා බලා දරුවාගේ ප්‍රශ්න දෙකත් ඒවාට ලැබුණු පිළිතුරුත්, ආරෝග්‍ය ශාලාවේ මානසික සෞඛ්‍ය සායනය පුවරුවත් දකිනවිට යම් අදහසක් ලබාගත හැකි වූවා . සම්පූර් ණ සිද්ධිය තේරුම් ගත්තේ comments කියෙව්වාට පසුවයි . දෙදෙනාගේ වයස් පරතරය ගැලපෙනවාද යන්නත් ගැටළු සහගතයි .
ReplyDelete