Translation of the short story ‘Sea Lounge’ by Kamala Das
මුහුදුබඩ අවන්හලේ සුදු සහ තද රත් පැහැති බුමුතුරණෙන් යුතු වූ පඩිපෙළ නැගීමට පෙර, සත්‍යාවෘත විසින් තමන් කියන්නට යන දේ බොහෝ වතාවක් පුරුදු පුහුණු වී තිබිණි. නමුත් එහි දොර වෙත එළඹෙද්දී හදිසියේ දැනුණු තැති ගැනීමක් නිසා ඔහු මඳක් නතර වූයේ ය. ඇය වැළපෙනු ඇතිද? අන්තිමට එවන ලද ලිපි දෙකෙහි තිබුණු ආකාරයට ඔහු වෙනුවෙන් ඇති නොසැලෙන ආලය සපථ කරමින් ඈ විකාරරූපී ලෙස හැසිරෙනු ඇතිද? තමන් මේ හමුවීම සඳහා තෝරාගත්තේ වැරදි තැනක් ද? ටාජ් හෝටලය නිරතුරුවම තමන් හඳුනන අයගෙන් පිරී තිබිණි. මේ මුහුදුබඩ අවන්හලේ දී නම් ඇයව විශාල මල් පෝච්චියක් පසුපසින් අසුන් ගැන්වීමට හෝ අවන්හල කෙලවර ඇපොලෝ ජැටිය පේන මානයේ වූ මේස පෙළට කැඳවා යනු හෝ හැකිවනු ඇත.
අනිවාර්යයෙන්ම මේ හමුවීම පහසු නොවන බව ඔහුට හැඟිණි. ඇය තමන්ගේ සිරුර කැපී පෙනෙන අමුතු ඇඳුම් ඇඳීමට ප්‍රිය කළා ය. පසුගිය වසරේ දිනක වෙළඳ සංකීර්ණයකදී ඔහුට හදිසියේ ඇයව හමු වූ වේලාවකදී ඇය ගෙල වටා රත් පැහැති සාළුවක් ඔතාගෙන සිටි අතර ඇගේ ජීන්ස් කලිසමට අල්ලා තිබුණු අන්ඩ හතර නිසා ඊට විසුළු බවක් එක් වී තිබිණි. “මම නිකම් පිස්සියෙක් වගේද?” ඇය එදා ඔහුගෙන් ඇසුවාය. මේ ගමනටත් ඈ එලෙසම හැඳ පැළඳ ආවොත්? එසේ වුවහොත් ලැජ්ජාව නිසා තමන්ගේ පණ යනු ඇතැයි ඔහුට සිතිණි.
ඔහු දොර තල්ලු කරගෙන ඇතුළු වූ විගසම ඇයව දුටුවේය. දෙවෙනි මේසයේ අසුන්ගෙන සිටි ඈ දුක්මුසු ලෙස මුහුද දෙස බලා සිටියාය. ඇය බලා සිටි දෙසට නෙත් යැවූ ඔහුට පෙනුණේ සැන්දෑ අහසත්, නිල් පැහැයෙන් දිලිසෙන මුහුදත්, සුළඟට ඉල්පෙන සුදු පැහැති රුවල් සහිත බෝට්ටු පෙළත් ය. ඔහු ඇය ඉදිරිපසින් අසුන්ගෙන ඇයට ‘හෙලෝ’ කීවේ ය. ඈ සෙමෙන් ඔහු වෙත මුහුණ හරවා සිනාසුණා ය.
“මම විනාඩි කිහිපයක් පමාවුණු එක ගැන සමාවෙන්න. මාව කාර්යාලයේ වැඩකට කොටු වුණා.” ඔහු කීය
එය අසා ඈ හිස සලා “මම මට ඇණවුම් කළා,” කීවාය. ඈ ඉදිරිපස කුඩා මධු බඳුනක් විය.
ඔහු සේවකයෙකු වෙත සන් කර හැම්බර්ගරයක් සහ කෝක් පානයක් ඇනවුම් කළේය.
“ඔයා කවදාවත් බොන්නේ නැද්ද?” ඇය විමසුවාය.
“අද මට සනීප මදි” මෙනු පත අතපාත ගාමින් ඔහු පිළිතුරු දුන්නේ නොසන්සුන් ලෙසයි.
‘මම හොඳ සිහියෙන් ඉන්න ඕන’, ඔහු තමාටම කියා ගත්තේය. ‘මත්පැන් බීලා මෙයා ගැන මගේ හිත වෙනස් වෙන්න අරින්න නරකයි.’
තමන් ඇයව විවාහ කරගැනීමට අදහස් නොකරන බව ඔහු කෙටියෙන් කිව යුතුය. ඇය ඔහුට දුන් ආදරය ගැනත්, ඇය නගරයට ආ අවස්ථාවන්හි දී කළ කතාබහ වල සහ ඇය එවූ ලිපි වල වූ කරුණාබර බව ගැනත් තමන් ස්තූතිවන්ත බව සඳහන් කළ යුතු ය. ඉන් ඔබ්බට යමක් මෙහි නොමැති බැවින් ඔහු ඈ සමඟ අනුකම්පා විරහිත ව හැසිරෙන්නට ඉටාගෙන තිබිණි. ඔහු සමඟ අනාගතයක් ගැන සිහින මැවීම ඇය සිදු නොකළ යුතුය. ඇය ඔහු කැමති වර්ගයේ කාන්තාවක් නොවිණි. ඈ ම තමන්ට ‘පිස්සියක්’ යැයි කියාගත්තා ඔහුට හොඳහැටි මතක ය. ඔහුගේ කැමැත්ත වූයේ නවීන ගති ඇති ලාලිත්‍යයෙන් යුතු ගැහැනුන්ටයි.
“මට අනම් මනම් දොඩවන්න කාලය ගත කරන්නේ නැහැ,” ඔහු එක එල්ලේ ඇගේ දෑස දෙස බලමින් කීවේය. “මට ඔයාව කසාද බඳින්න අවශ්‍ය නැහැ. ඇත්තම කියනවා නම් මම තව අවුරුදු දහයකට වත් බඳින්න බලාපොරොත්තුවක් නැහැ.”
ඇය තම අතේ වූ වීදුරුව සෙමෙන් කරකවන්න විය. එය ලා පැහැති මධු පානයක් සහිත සිහින් උස පළිඟු වීදුරුවක් වූ අතර ඒ තුළ දෙහි පෙත්තක් පාවෙමින් තිබිණි. ඇගේ දිගු අතැඟිලි ඉතාම අලංකාර බව ඔහු පළවෙනි වතාවට නිරීක්ෂණය කළේය. අගේ සුරතේ මැද ඇඟිල්ලේ පැළඳ සිටි මුදුවේ වූ නිල් මැණික් ගල් දෙක ඇගේ අහස් නිල් පැහැති සාරියේ පැහැයට මැනවින් ගැලපුණි. ඇගේ නිල් සාරියත් නිල් ගල් ඇල්ලූ මුද්දත් සමඟ ඈ ඒ අවන්හල තුළට සයුරේ සුන්දරබව රැගෙන විත් තිබිණි. ඈ ව පෙනුණේ ඈත අහසේත්, මුහුදේත්, රුවල් බෝට්ටු වලත් කොටසක්ම ලෙසිනි. ඇගේ මේ ලාලිත්‍යය තමන් මීට පෙරදී නොදුටුවේ ඇයිදැයි සිතමින් ඔහුගේ සිත නොසන්සුන් වන්නට විය.
නමුත් තමන් තීරණය ගෙන අවසාන ය.
“ඒකට කමක් නැහැ, මට තේරෙනවා, කරුණාකරලා මං ගැන වධ වෙන්න එපා.” ඈ කීවාය.
“ඔයාගේ තාත්තා ඊයේ මට කතා කළා.” ඔහු කීවේය. හැම්බර්ගර් එකෙන් කටක් කද්දී තමන්ගේ හැසිරීම් අපිළිවෙල බව ඔහුට හැඟිනි.
“ඔව් තාත්තා මට කිව්වා,” ඈ සන්සුන් ස්වරයෙන් කීවාය. “එයා ගැන හිතන්න එපා, මම මේ හැම දෙයක්ම එයාට පැහැදිලි කරන්නම්.”
“ඒත් ඔයා ලබන මාසේ ඇමෙරිකාවට යන්න කළින් විවාහ වෙන එක නේද තාත්තාගේ කැමැත්ත?” ඔහු ව තමන්ට අවශ්‍ය බව කියා තවත් අවස්ථාවක් දෙන ලෙස ඈ ඉල්ලනු ඇතැයි සිතමින් ඔහු ඇසුවේය.
“මම මගේ පරණ පෙම්වතාව බඳිනවා, එයා අවුරුදු ගානක් තිස්සේ මං ගැන පිස්සුවෙන් හිටියේ. දැන් ඕවා ගැන හිතන්න ඕන නැහැ, ඔයාගේ අලුත් රස්සාව ගැන මට කියන්නකෝ.”
ඉනික්බිති ඔහු තමන්ගේ ආයතන ප්‍රධානියා ගැනත්, ගෙවල් අයිතිකරු ගැනත්, මිතුරන් ගැනත් කතා කරද්දී ඈ උස් වීදුරුව වෙත දෑස යොමු කරගෙනම එය තම ඇඟිලි අතර කරකැවූයේ එය ඔවුන් දෙදෙනාගේ අනාගතය පෙන්වන පළිඟු බෝලයක් වූ ලෙසිනි. ඇගේ ඒ ක්‍රියාව ඔහුගේ අවධානය තදින් පැහැර ගත්තේය. ඇගේ පැහැපත් දෑත ඔහුගේ දෑස ඉදිරියේ රැඟුමක් පාන බවක් ඔහුට දැනුණි. අවන්හලෙන් පිටත අහස කළුවර වෙමින් තිබිණි. ඇගේ සන්සුන් බව දෙස පුදුමයෙන් බැලු ඔහුට ඇගේ දෑසත් කෙමෙන් අඳුරු වෙනවාදැයි සිතාගනු නොහැකි විය. හැම්බර්ගරයෙන් අඩක් පිඟාන මත ඉතිරි කළ ඔහු තම මුව පිසදා ගත්තේය.
“මේ හැම්බර්ගර් එක හරි නැහැ, මම හිතන්නේ නැහැ මට ඒක කාලා ඉවර කරන්න පුළුවන් කියලා.” ඔහු කීවේය.
ඇය සිනාසුනාය. “දැන් මට යන්න වෙලාව හරි.” ඈ කීවාය.
තව ටික වෙලාවකින් ඔවුහු එක්ව මුහුදුබඩ අවන්හලේ පඩි පෙළ බසිමින් සිටියහ. එහි බුමුතුරුණු රටාවේ හැඩ අගය කරමින් ගිය ඈ, පිවිසුම් ශාලාවේ වූ පොත් හලේ නැවතී, සඟරාවක පිටුවක් දෙකක් පෙරලා බලා, හෝටලයෙන් පිටව යන්නට සැරසුණා ය.
“ඔයාට මම ඒ සඟරාව අරන් දෙන්නද?” ඔහු උනන්දුවෙන් ඇසුවේය.
“එපා, එපා, ඕවා බොහොම මිළ වැඩියි, ඒ වුනාට ස්තූතියි” ඈ කිරිගරුඬ පියගැට පෙළ මත නැවතී කීවාය.
සුළඟ සමඟ ඉගිලෙන්නට වූ ඇගේ කෙහෙරැළි මොහොතකට ඇගේ මුහුණ වසා පැතිරී, නැවත සන්සුන් විය. ඈ දිස් වූයේ බෙහෙවින්ම සුන්දර ලෙසයි. තම ජීවිතයේ තිබෙන සුන්දරත්වය ඈ සමඟ අතුරුදන් වන්නට යන බව තම හද රිදුම් දෙද්දී ඔහුට වැටහිණි. ලිපියක් ගැන හෝ නැවත මුණ ගැසීමක් ගැන සඳහනක් රහිතව ඈ ඔහුගෙන් ඉවත් වෙමින් සිටින්නීය. සියල්ල අවසන් වී තිබිණි.
කලබල වූ ඔහු, “ඔයා කැමති තැනකට මට ඔයාව බස්සන්න පුළුවන්” කීවේය.
එහෙත් ඈ හිස සැලුවාය. “නැහැ මට ඇවිදින්න ඕන,” අගේ කටහඬේ සිනාවක් මතු වෙමින් තිබිණි. “නැත්නම් මේ ලස්සන හවස් වරුව අපරාදේ, මට බොහොම දුරක් ඇවිදගෙන යන්න ඕන, ස්තූතියි ඔයාට.”
ඉනික්බිති ඈ වමට හැරී ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලය පසුකර, සන්ධ්‍යා සුව විඳින්නන් සහ සිප්පි කටු බෝනික්කන් විකුණන වෙළෙන්දන් අතරින් ඇවිද ගොස් නොපෙනී ගියා ය. ඉන් අනතුරුව අඳුර එළඹිණි.
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
ලසන්නයි කතාව. වැඩි මුකුත් නැහැ. සරලයි
ReplyDeleteඅජිත්- ඔව් කෙටි ගතිය තමයි මට මේකේ ආසා හිතුණේ. පරිවර්තනය කරන්න 'කෙටි' කෙටිකතා හොයාගන්න එක අභියෝගයක්.
Deleteලසන්න කතාව. ඒ තරම්ම සරලයි කියල හිතෙන්නෙත් නෑ. හ්ම් කොහොමද කියන්නෙ....? පුම්බගෙන ආපු ඊගෝ එකේ හුලං බැහැලා, හීරෝ සීරෝ වෙන හැටි අපූරුවට ලියැවිලා තියනවා. ඒත් බැන්දා නං කතාව සම්පූර්ණයෙන් කනපිට ගහන්නත් ඉඩ තිබුනා. අනිකාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරලා, ඉන්සෙන්සිටිව් විදිහට රිදෙන්න සමුදෙන්න ආවට හොඳ වැඩේ උනේ කියල හිතුනා. ආයෙත් මට කාසිව මතක් වුනා.
ReplyDeleteබස්සා- යාප්පු වෙද්දී ගණන් උස්සන්න ආව එක්කෙනාගේ ආඩම්බරකම් බින්දුවටම බැස්සා අන්තිමට :) ඒ මනුස්සයාගේ අහංකාර හැසිරීම් ළඟ ත් ගෑනු ළමයා එයාගේ අලුත් රස්සාව ගැන අහන එක එහෙම එයාගේ හොඳ ගතිගුණයක් කියලා මට හිතුනා.
Deleteමේ මම කමලා දාස් ගේ කතාවක් පරිවර්තනය කළ පලවෙනි වතාව. මේක තියෙන පොත හොයාගන්න ආසා හිතුණා.
+++++++++++++++++++
ReplyDeleteThank you Pra Jay
Deleteහොඳ වැඩේ ආඩම්බරකාරයට
ReplyDeleteso nice short story
i love short stories
කුමුදු- කමලා දාස් ගේ ලිවීමේ දක්ෂතාවය හොඳින් පේන කතාවක් නේද?
Deleteමාත් කැමතියි කෙටි කතා වලට. ඒවායින් පොඩි ඉඩක් ඇතුළේ ලොකු කතාවක් කියනවා නේ.
“ඔයාට මම ඒ සඟරාව අරන් දෙන්නද?” ඔහු උනන්දුවෙන් ඇසුවේය. “එපා, එපා, ඕවා බොහොම මිළ වැඩියි, ඒ වුනාට ස්තූතියි” ඈ කිරිගරුඬ පියගැට පෙළ මත නැවතී කීවාය". හොඳ වැඩේ තමයි, නැති කරුණාවන්තකම් මවා පාන්න යනවට.
ReplyDelete"ඇගේ මේ ලාලිත්‍යය තමන් මීට පෙරදී නොදුටුවේ ඇයිදැයි සිතමින් ඔහුගේ සිත නොසන්සුන් වන්නට විය". පල් මෝඩයෙක්නෙ!
"ඔහු ව තමන්ට අවශ්‍ය බව කියා තවත් අවස්ථාවක් දෙන ලෙස ඈ ඉල්ලනු ඇතැයි සිතමින් ඔහු ඇසුවේය". Looks like someone who likes to be hunted.
'The one' දැන් කාලෙ දුර්ලබයි කියලා අපි ඉතින් දන්නවනෙ. හැබැයි පිරිමියාගෙ සිතුවිලි හා හැසිරීම විස්තර කරලා තියෙන විදිහ ලස්සනයි. කාන්තාවගේ සිතුවිලි කොහොම වුනාද දන්නෙ නෑ.
Lotus- මේක ලියලා තියෙන විදිහට අපිට පිරිමියා ගැන තද නොරිස්සුමක් ඇති කරනවා මුලින්ම. වචන වලින් එහෙම කරන්න ලේසි නැහැනේ. ඒවගේම කාන්තාව ගේ හැසිරීම පිරිමියාගේ ආඩම්බරකම් එක්ක නොගැටී ගලාගෙන යන විදිහට මම කැමතියි. එයා ඕන කමින්ම බොහොම ලස්සනට ඇඳගෙන ඇවිත් බව පැහැදිලියි. දැනගන්න වුවමනාවක් නැතත් පිරිමි කෙනාගේ අලුත් විස්තර අහනවා. ඕන හැටියේ මිළ අධික සඟරාව අරන් දෙන්න කියන්න තිබ්බා, ඒත් එහෙම වත් indebted වෙන්න එයාගේ බලාපොරොත්තුවක් නැහැ. මෙච්චර දෙයක් වෙලාත් පොඩි කලබලයක් වත් නැහැ. ඒ cool ගතිය නියමයි :)
DeleteThe one කියන්නෙ ෆැන්ටසියක් නෙමේද? ඇත්තටම එහෙම කෙනෙක් ඉන්න කෝමද කියල හිතාගන්න බෑ මට නම්🤔
Deleteනවීන්- The one කියලා කෙනෙක් නැහැ. එච්චරයි :D
Delete:(
Deleteලස්සන කතාවක්. ඉඩ ලැබෙන විදිහට දිගටම වෙනස් කථා පරිවර්තනය කරන්න.
ReplyDeleteස්තූතියි අනුරුද්ධ, පරිවර්තනයට ගැලපෙන 'කෙටි' කෙටිකතා හොයාගන්න එක තරමක අභියෝගයක්
Delete