September 27, 2022

චිත්‍ර- කතන්දර


මම ඉස්කෝලේ යන කාලේ හිතාගෙන හිටියේ මට චිත්‍ර අඳින්න බැහැමයි කියලා. ඉස්කෝලෙදි ඉගැන්නුව චිත්‍ර අඳින ක්‍රම මට සෙට් වුණේ නැහැ, ඒ වගේම මගේ චිත්‍ර අපේ චිත්‍ර ගුරුවරියට සෙට් වුණේත් නැහැ. මට ඕනෑකම තිබුණේ මිශ්‍ර මාධ්‍ය චිත්‍ර අඳින්න, එක එක ක්‍රම වලට ඇඳලා බලන්න. එහෙම අත්හදා බැලීම් වලට ඉඩ නැහැ කියලා ටික කලක් යද්දී තේරුම් ගිය නිසා මම ඔහේ කරබාගෙන කියලා දුන්නු විදිහකට චිත්‍ර ඇන්දා. අපේ චිත්‍ර ගුරුවරිය ලකුණු දුන්නෙත් බෙහෙතට නිසා ඔහොම යද්දී මට චිත්‍ර බැහැමයි කියන සිතිවිල්ල හිතේ මුල් ඇද්දා. ඕලෙවල් විභාගෙට මට චිත්‍ර විෂයට Distinction එකක් ලැබුණාම නම් පුදුම හිතුණා තමයි. ඒත් ඒ වෙද්දී පරක්කු වැඩියි, චිත්‍ර විෂය ගැන මගේ හිත බිඳිලා ඉවරයි.

ඊට දශක කීපෙකට පස්සේ අහම්බෙන් වගේ මෙල්බර්න්වල වෙළඳ සංකීර්ණයකදී දිය සායම් පෙට්ටියක් මගේ ඇහැ ගැටෙනවා. චිත්‍ර ඇඳිල්ල ගැන පරණ කහට හිතේ තිබුණත් මම වැඩි දුර නොහිතා ඒ දිය සායම් පෙට්ටියත්, චිත්‍ර අඳින්න වුවමනා අනෙත් දේවලුත් ගෙදර ගේනවා. මේ සැරේ නම් මට නීති පනවන්න, වැරදි කියන්න කෙනෙක් නැහැ. මම හිතේ හැටියට ආයෙත් චිත්‍ර අඳින්න ගන්නවා, එක එක ක්‍රම අත්හදා බලමින්, මාධ්‍ය කීපයක් එක සැරේ පාවිච්චි කරමින් අත දිග ඇරලා චිත්‍ර අඳින එකෙන් මම අසීමිත සතුටක් ලබනවා. සමහරවිට දැන් වුණත් ඒවා අපේ චිත්‍ර මිස් බලාපොරොත්තු වුණු මට්ටමේ චිත්‍ර නෙමෙයි වෙන්නැති. ඒත් අඳිද්දී දැනෙන ඒ නිදහස මිළ කරන්න බැහැ.

මම අඳින චිත්‍ර සම්ප්‍රදායික රාමුවට දාන්න බැරි බවත් ඒවා කාටූන් පැත්තට බර, තරමක් ෆැන්ටසි වර්ගයේ ඒවා බවත් හොයාගනිද්දී මගේ ජීවිතයෙන් භාගයක් ගතවෙලා ඉවරයි. මේ වෙද්දී මම දිය සායම් විතරක් නෙමෙයි, පාට පැන්සල්, දිය සායම් පැන්සල්, පැස්ටල් පැන්සල් වගේ මාධ්‍ය කීපයකින්ම චිත්‍ර අඳිනවා. ආයෙත් වතාවක් චිත්‍ර අඳින්න මම මටම අවස්ථාවක් දුන්නු එක ගැන මට හරි සතුටුයි. පරක්කු වෙලා හරි එහෙම තමන් ඇතුලේ හිරවෙලා ඉන්න ළමයෙක්ව නිදහස් කරන්න තව කෙනෙකුට උදාහරණයක් වෙන්නයි මේක ලියන්න හිතුවේ.

මේ මෑත කාලේදී මම ඇන්ද චිත්‍ර වලින් අතලොස්සක් විතරයි.

15 comments:

  1. ආව්. පුදුම ලස්සනයි ❤️. චිත්‍ර ප්‍රදර්ශනේකුත් තියමු නේද? නැත්නම් පවුනෙ අර හිරවෙලා ඉන්නවා කිව්ව දැරිවි.

    ReplyDelete
    Replies
    1. පූ - මේ තමයි ප්‍රදර්ශනේ :D
      හිරවෙලා හිටිය දැරිවි නිදහස් කළා නොවැ. පිටු එකසිය විස්සේ sketch book එකක් දැනටමත් ඉවරයි!

      Delete
  2. "මම ඉස්කෝලේ යන කාලේ හිතාගෙන හිටියේ මට චිත්‍ර අඳින්න බැහැමයි කියලා"- මමත් ඉස්කෝලෙ යන කාලෙ හිතාගෙන හිටියෙ මටත් ගොඩක් දේවල් බෑ කියලා. මලීගෙ පෝස්ට් එක එහෙම හිතාගෙන හිටපු (හා තාමත් හිතන) අයට හොඳ inspiration එකක් වෙයි. මම මේ ලඟදි ජීවිතේ පලවෙනි වතාවට musical performance එකක් කලා, පොඩි ඕඩියන්ස් එකකට. සර්ව සම්පූර්න විදිහට කරන්න බැරි වුනා නමුත් ඉවර කරනකොට පුදුම liberating feeling එකක් දැනුනෙ.

    චිත්‍ර ටික ලස්සනයි, මියුසික් එකත් ගැලපෙනවා. විනීත පූ කිව්වත් වගේ ප්‍රදර්ශනයක් තියන්න පුලුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. Lotus ඔන්න බලන්න ඒකෙත් හැටි, චිත්‍ර අඳින්න බැහැ කියලා හිතන් හිටිය මලී තව කාලයක් ගිහින් චිත්‍ර අඳින්න ගත්තාම බ්ලොග් එකක දාලා හරි බෙදාගන්න පුළුවන්. ඒත් ඔයාගේ musical performance එක අපිට කවදාවත් රස විඳින්න වෙන්නේ නැහැනේ! අසාධාරණ නැද්ද? අඩුම ගානේ ඒක instrument එකක් වාදනය කිරීමක්ද, එහෙම නම් ඒ instrument එක මොකක්ද, නැත්නම් ගායනයක්ද වගේ විස්තර ටිකක් වත් කියමු. මට නටන්න ගයන්න වයන්න තුනම බැරි නිසා මම ඉරිසියා වෙන්නම් :)

      චිත්‍ර ලස්සනයි කිව්වට thank you. video හදන්න ඉගෙනගත්තේ අද! ප්‍රදර්ශනේ ගැන නම් පූ ට දුන්නු උත්තරේ තමයි ඔයාටත් දෙන්න තියෙන්නේ :D

      Delete
    2. It was a piano recital (solo)... හී හී.

      විඩියො එක බලද්දි නම් ඇත්තටම චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ගියා වගේ දැනුනා මලී
      බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් ලස්සන නිසා. පස්සෙ කාලෙක ප්‍රදර්ශනයක් කරන්න තව ටිකක් චිත්‍ර එකතු කරගෙන එහෙම.

      Delete
    3. Piano! මරුනේ. මම කොහේ හරි දැක්කා පියානෝ ගහන්න ලොකුම skill එකක් ඕන වෙනවා කියලා අත් දෙකයි කකුල් දෙකයි ඇස් දෙකයි කන් දෙකයි ඔක්කොම ඕන නිසා. අපිට කවදා හරි ඔපෙරා හවුස් එකේ වගේ පර්ෆොර්මන්ස් එකක් බලන්න ලැබෙයි නේද මෙහෙම ගිහින්? :)

      මේ චිත්‍ර පෝස්ට් එක නිසා මගේ චිත්‍ර වලට පොඩි වැඩකුත් ලැබුණානේ- බලන්නකෝ ඒකෙත් හැටි නේද? අපේ මොකක් හරි දක්ෂතාවයක් තියෙනවානම් ඒක හංගාගෙන නොඉන්න ඒක හොඳ උදාහරණයක්. ඔයාටත් අදාළයි!

      Delete
  3. අනේ හරිම ලස්සනයි...මං ආ.....සයි ඔයාගේ චිත්‍ර වලට.
    මම හිතාගෙන හිටියේ අපේ තාත්තත් හොඳ චිත්‍ර කාරයෙක් නිසා මටත් හොඳටම පුළුවන් කියලයි
    ඒත් චිත්‍ර මිස් කිව්වා ඔය ළමයට අඳින්න බැහැ කියලා. දෙයියනේ ..මට ඇත්තටම අඳින්න පුළුවන් බව දැනගත්තේ ඊට අවුරුදු 20 කට විතර පස්සේ.

    ReplyDelete
    Replies
    1. කුමුදු තාත්තා චිත්‍ර කාරයෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ඇඟේ ඇති කලාව. අපේ කවුරුවත් චිත්‍ර නොඇඳ නේ මම මේ අඳින්නේ :D
      ලංකාවේ ගුරුවරු නම් අනේ මන්දා අප්පා. සෑහෙන්න කළු සුදු විදිහට තමයි ළමයින්ගේ දක්ෂකම් දිහා බලන්නේ. අපිට තව මොන මොන දක්ෂකම් තිබිලාද දන්නේ නැහැ ඒ කාලේ.
      ආයෙත් අඳිමු ඔයාගේ වැඩ ටිකක් අඩු වුනාම :)

      Delete
  4. ඉස්කෝලෙදි උගන්වනවා කියල කරන්නේ ළමයින්ගේ නිර්මාණාත්මක හැකියාව මොටකරන එකද මන්දා ...

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ චිත්‍ර විෂය ගැන නම් ඇත්තටම තියෙන්නේ සුන්දර මතකයක් නෙමෙයි :(

      Delete
  5. ඉස්කෝලෙදි සෞන්දර්යට චිත්‍ර කරා අනිත් ඒවා කරන්න බැරි නිසා😂 පස්සෙ සිංහල සාහිත්‍යට මාරු උනා.

    ReplyDelete
  6. මලී, ඒ චිත්‍ර ලස්සනයි ගොඩක්🥰💕😍

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නවීන්!
      ඔව් ගොඩක් ළමයි චිත්‍ර කරන්න ආවේ නැටුම් ගැයුම් බැරි නිසා මිසක් චිත්‍ර පුළුවන් නිසා නෙමෙයි :)

      Delete