November 20, 2021

Steinbeck සහ නැවත කියවීමේ සතුට




මම මේ දවස්වල John Steinbeckගේ Of Mice and Men පොත කියවමින්. මේක පුතාට ලබන අවුරුද්දට ඉස්කෝලේ පොත් ලැයිස්තුවට තියෙන නවකතා වලින් එකක්. පොත් ලැයිස්තුවේ අනිත් පොත් වලට කලින් නවකතා ටික ගෙදරට එවන එක ඕස්ට්‍රේලියාවේ ඉස්කෝල වල සාමාන්‍ය ක්‍රමය. එතකොට දරුවන්ට ඒ පොත් කියවන්න ඉස්සරහට එන දෙසැම්බර් නිවාඩුව ඇතුළුව ඕන තරම් කල් තියෙනවානේ. ඒත් මේ පොත නම් පුත්‍රයා කියවන්න කලින් මම කියවන්න ගත්තේ පරණ යාලුවෙක් හම්බවුණු සතුටින්. නිතරම පොත් එක්ක ගැවසෙන, පොත් ඇසුරේම රස්සාවත් කරන මම එක පොතක් දෙසැරයක් කියවන්නේ කලාතුරකින්. එහෙම වෙන්න නම් ඒක සුවිශේෂී පොතක් වෙන්න ඕන. ඉතින් Of Mice and Men පොතත් ඒ වර්ගයට අයිති පොතක්. බැලූ බැල්මට සරල බවක් පේන මේ කතන්දරය ගෙතිලා තියෙන්නේ ගොවිපොළක වැඩ කරන සේවකයෝ දෙන්නෙක් ගැන. ඒත් මේ දෙන්නා මුහුණ දෙන වැරදි වැටහීම්, ඉරිසියාකම්, දුෂ්ඨකම් වගේම එයාලාගේ තනිකම සහ පාළුව වගේ රිදුම් දෙන හැඟීම් John Steinbeck විස්තර කරලා තියෙන්නේ තදින් හිතට දැනෙන විදිහට. මේ පොත කැලිෆෝනියාවේ වගා නිම්නයක, ගොවිපොලක, සේවක කුටියක දූවිලි පිරුණු අඳුරට කියවන්නාව කැඳවාගෙන ගිහින් හදිසියේම එතැනදී සිද්ධ වෙන කැළඹිලි මැදට අත අරිනවා. පිටු එකසිය ගානක පුංචිම නවකතාවක් වන Of Mice and Men අපිට ඉතුරු කරලා යන කම්පනය නම් ටොන් ගාණක් බරයි. John Steinbeck මගේ ප්‍රියතම කතුවරයෙක් වෙන්නේ එයාගේ මේ වචන හාස්කම් නිසායි.

මම මුලින්ම John Steinbeckගේ පොතක් කියවද්දී මම හිටියේ නමයේ පන්තියේ. ඉස්සර අපේ හොරණ ගෙදර අසල්වැසි ගෙදරක නැවතිලා හිටියා ඒ කාලේ තිබුණු DELIC ගුරු අභ්‍යාස පාඨමාලාවේ උගන්නන්න ආව ඇමෙරිකන් ගුරුවරියක් සහ ගුරුවරයෙක්. ඒ දෙන්නා කම්මැලි වෙලාවට කතා කර කර ඉන්න අපේ ගෙදර එනවා. එහෙම ආව වෙලාවක ඒ ගුරුවරිය මම පොත් ගුල්ලියක් බව දැනගෙන මට එයා ළඟ තිබුණු John Steinbeckගේ The Grapes of Wrath පොත දුන්නා කියවන්න. ඒක නම් පිටු පන්සීය ගානකට කිට්ටු ලොකු පොතක්. ඒ පොත කියවද්දී අවුරුදු දාහතරක් වයසේ හිටිය මම පොත ඇතුලේ ජීවත් වුණා කිව්වොත් නිවැරදියි. ඇත්තටම කියනවානම් ලංකාවේ හැදුණු ඒ වයසේ ළමයෙකුට ඒ පොත බර වැඩියි කියලා මට තේරෙන්නේ දැන් තමයි. පොතක් කියවලා තදබල කම්පනයට පත්වෙන්න පුළුවන් බව මම මුල්වරට දැනගත්තේ The Grapes of Wrath පොතෙන්. ඒ වගේම John Steinbeck කියන්නේ වචන වලින් විචිත්‍ර චිත්ත රූප මවන මායාකාරයෙක් කියලත් මම දැනගත්තේ ඒ පොතෙන්.

අවුරුදු තිහකට පස්සෙ, අදත් John Steinbeckගේ ලියවිල්ලට මට දැනුණු ආසක්ත බව එහෙමමයි. ඊට අමතරව මගේ පුතාටත් මම මුලින්ම ඒ ලියවිලි කියවපු වයසේදීම ඒ කතුවරයාව මුණගැහෙන්න ලැබෙන නිසා දැනෙන්නේ ලොකු සතුටක්. ඇත්තටම මේ විදිහට පොත් කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මායා බලය ගෙනියන බලගතු මැජික් යෂ්ටියක්!

3 comments:

  1. The Grapes of Wrath මම පොත් නොකියවා පොත ගැන හුගාක් කියවපු එකක්. To Kill a Mockingbird පොතත් එහෙමයි. තව ඒවගේ ක්ලැසික්ස් තියනවා පොත ගැන දන්න ඒත් කියවලා නැති.
    ගුරු ගීතය ගැන බ්ලොග්වල කියවල තියනව පොත කියවල නෑ.

    ReplyDelete
    Replies
    1. Pra Jay- මගෙත් එහෙම පොත් ලිස්ට් එකක් තියෙනවා. වැඩියත්ම පරිවර්තන. මම පරිවර්තන කළත් ඒ මම කියවන්නේ නැතිම ජාතියක් තමයි. වැඩියත්ම රුසියන් පරිවර්තන. මොකක් නමුත් හේතුවක් නිසා මට ඒවා කවදාවත් සෙට් වුණේ නැහැ. ඒ නිසා ගුරු ගීතය ඇතුළු එයින් නොකියපු ලැයිස්තුවක්ම තියෙනවා මටත්.

      කියවන්න දෙයක් නැති කාල වල පිපාසෙට කියවපු දේවල් මිසක් මටත් කෙනෙක් කීව නිසා පොත් කියවන්න හිත්දෙන්නේ නැති ඇට්ටර කමකුත් තියෙනවා. ඒ නිසා කවදාවත් book clubs වල නම් සාමාජිකයෙක් වෙන්න බැහැ! :D

      Delete
  2. පොත් කියවිල්ලත්, බ්ලොග් ලිවිල්ල වගේ වෙන්ටෑ? නැවැත්තුවොත් පට්ටා....න් ගන්න අමාරුයි. මගේ පොත් කියවිල්ල නැවතුනේ කවදාද කියල මතකවත් නෑ.

    මම නං ඇට්ටර නෑ. සිටිං කිව්වම ඉඳගන්නවා.🤔

    ReplyDelete