“ඔන්න අපි ජනේලෙන් එළියේ ගස් පේළියක් එහෙම ලෑස්ති කරලා තිබ්බා ඔයාට ඔතනට හවසට අව්ව වැටෙනවාට”
කවිතා රැකියාවට ආ පළමු දිනයේ හවස් වරුවේ ඇගේ මේසය අසලින් ගිය ජුලියන් කීවේ සිනාසෙමිනි. ඒ වෙද්දී ඈ යන්තමින් ඒ කාර්යාලයේ පරිසරයට හුරුවෙමින් සිටියා පමණි.
“ඉස්සර හවසට මේ පළාතේ ඉන්න බැහැ! ඉර බැහැගෙන යද්දී ඉර එළිය කෙළින්ම ඔය වීදුරුවට වදිනවා.බොහොම අමාරුවෙන් තමයි ඉහළට කියලා කියලා ඔතැන ඔය වයිට් සීඩර් ගස් පේළිය ඉන්දවාගත්තේ ”
විශාල වීදුරු කවුළුවෙන් එපිට ඇති එකම උසැති, එක වැනිම ගස් පෙළ දෙස කවිතා උවමනාවෙන් බැලුවේ එවිටයි. සිහින් පත්‍රයෙන් පිරුණු, විහුදුණු අතු පතරින් යුත් ඒ ගස් පෙළ ජනේලයෙන් මෙපිටට ගෙන ආවේ කොල පැහැති සිසිලකි. ජුලියන් කී පරිදි වයිට් සීඩර් නමැති ඒ ගස් වර්ගය ගැන ඈ ඉන් පෙර දැන සිටියේ නැත. මේ කතාබහෙන් පසු කවුළුවෙන් එපිට ගස් පෙළ මිතුරන් සේ සලකා නිරතුරුව ඒවා නිරීක්ෂණය කරන්නට කවිතා පුරුදු වූවාය. සෘතුවෙන් සෘතුවට වෙනස්වන ඒවායේ ඇඳුම් ආයිත්තම් ඇයව පුදුමයට පත් කළේ ය. වසත් කාලයට කුඩා පස් පෙති දම්-සුදු මලකින් හිස් සරසාගන්නා ඒ සීඩර් ගස් සීත කාලය එළඹෙද්දී පත්‍ර සියල්ල අත් හැර කහ පැහැති කුඩා පල රැසක් අභරණ මෙන් අතු පුරා පළඳාගන්නේ සාදයකට යන්නට සැරසෙන්නට මෙනි. රැකියාවේ බරින් හිස පීඩිත ඇතැම් වෙලාවල් වලට මේ ගස් අතරින් පෙරී එන හිරුරැස් ඉරි දෙස බලා සිටීමම කවිතාට ගෙන ආවේ මහත් සහනයකි.
එහෙත් වෙනදා මෙන් නොව අද නම් කවිතා කාර්යාලයට ආ මොහොතේ සිට කල් ගතකළේ සීඩර් ගස් මුදුන් වල අතරමං වූ දෑසිනි. අද දවසේ නිම කළ යුතු රාජකාරී ලැයිස්තුව ඇය ඉදිරිපස ඇති පරිගණක තිරයේ මඳින් මඳ දිගු වෙද්දී පවා ඒ ගැඹුරු කල්පනාවෙන් මිදෙන්නට ඇයට අසීරු විය.
'නිර්මාණාත්මක ලේඛනය' ගැන කතාබහ කරන පාඨමාලාවකට කවිතා මීට සති කිහිපයකට පෙරාතුව සම්බන්ධ වූයේ ඇගේ සමීපතම මිතුරිය වන මේගන්ගේ පෙරැත්තයෙන් බේරෙනු බැරි වූ නිසා ය. ඈ මෙතක් කලකට කවර ආකාරයක හෝ ලේඛනයක යෙදී නැතත් මිතුරිය බලෙන්ම කවිතාගේ නම ඊට ඇතුළත් කර තිබිණි. කවිතා රැකියාවේ නොයෙදෙන හැම මොහොතක්ම තට්ටු නිවාස සංකීර්ණයේ තම කුඩා නිවසේ ස්වයං නිවාස අඩස්සියට ලක්වී කාලය ගත කරන බවට මිතුරිය චෝදනා කිරීම මීට හේතු වී තිබිණි.
“'අඛණ්ඩ ව නිර්මාණ කියවීම’ කියලා කෝස් එකක් තිබ්බේ නැහැ, ඒ නිසා දැනට මාත් එක්ක මේකට යමු!' කියා මිතුරිය සිනාසුණේ කවිතා නිතරම රෑ දෙගොඩහරි යාමය වන තුරු නොනිඳා පොත් කියවන බව දැන සිටි බැවිනි. මිතුරු සමාගම් අඩු කවිතාට ‘සිතට දැනෙන’ මිතුරියකට සිටියේ මෑතකදී අහම්බෙන් පුස්තකාලයේදී ම හඳුනාගත් මේගන් පමණි. තම එකම මිතුරියගේ හිත අස්වසන්නට පාඨමාලාවේ එක සැසියකට පමණක් සහභාගී වන්නටත් කුමක් හෝ නිදහසට කරුණක් කියා ඉනික්බිති ඉන් මිදෙන්නටත් කවිතා මුලදී සිතා සිටියා ය. "අපි ඉන්නේ ලියන අය මහන්සි වෙලා ලියන දේවල් කියවන්න මිසක් මහන්සිවෙලා ලියන්න නෙමෙයි!' ඇගේ මතය විය. එහෙත් බොහෝවිට සිත නතරවන්නේ නොසිතන තැන් වල බව ඔප්පු කරමින් සිදු වූයේ අනිකකි. විවිධ වයසින් යුතු සිසු කණ්ඩායමකින් සමන්විත වූ ඒ නිර්මාණාත්මක ලේඛන සැසිය, පාඨමාලාවකට වඩා සුහද හමුවක ලක්ෂණ ගත්තේ ය. එය මෙහෙයවූ ගුරුවරිය සිසුන් ව නිරන්තරයෙන්ම කතාකරන්නට පොළඹවමින්, කවිතා වැනි පන්තියේ නිශ්ශබ්ද සිසුන් ගේ අදහස් පවා කරලියට ගෙනෙමින් ඉතා සිත් ගන්නාසුළු ලෙස ඉගැන්වීමේ නිරත වුවා ය. මේ හැමට වඩා කවිතාගේ සිත් ගත්තේ ඈ ඔවුන්ට නිර්මාණාත්මක ලේඛනයේ යෙදෙන්නට සැපයූ නොසිතූ විරූ මාතෘකා ය. පිටින් සරල බවක් පෙනුන ද, ඒවා යටතේ යමක් ලියන්නට නම් තම පරිකල්පනය මෙතෙක් නොකළ ලෙසකට කැළඹිය යුතු බව වටහාගන්නට කවිතා ට වැඩි කල් ගත වූයේ නැත. මුලදී මිතුරිය සතුටු කරන්නට පමණක් පන්තියට සහභාගී වන්නට සිතා සිටි කවිතා නොබෝ දිනකින් ඒ දිනය එළඹෙන තෙක් ඇඟිලි ගනින්නට වූයේ නොඉවසිල්ලෙනි. ඊළඟ සතියේ කරගෙන එන්නට පවරනු ලබන ගෙදර වැඩ ඈ පන්තිය අවසන් ව ගෙදරට ගිය වහාම මහත් උනන්දුවෙන් සම්පූර්ණ කළාය. කවිතාගේ මේ උද්යෝගය දුටු මේගන් බොහෝ සතුටු වූ අතර බලහත්කාරයෙන් ඇය ව ඒ පන්තියට කැඳවා ගෙන ඒම පිළිබඳව උදම් ඇනුවා ය.
එහෙත් මේ සතියේ නිර්මාණාත්මක ලේඛන පන්තිය කවිතාගේ ඒ සතුටු සිතුවිලි සම්පූර්ණයෙන්ම ඇණ හිටුවන්නට සමත් විය. වෙනදාට සතිය පුරාම ලේඛන පන්තියේ ඊළඟ සැසිය ගැන සිතමින් කල් ගත කළ ඈ මෙවර නම් පසු වූයේ ගල් ගැසුණු සිතෙනි. මීට හේතුව පසුගිය පන්තියේදී ගුරුවරිය විසින් ඊළඟ සතියේ පැවරුම ගැන කී විස්තරයයි.
"තමන් කිසි දවසක කිසි කෙනෙකුට නොකීව දෙයක් ලියාගෙන එන්න- වචන තුන්සීයයි!" පන්තියේ අන්තිම විනාඩි කිහිපයේදී වැඩි විස්තර රහිතව මෙලෙස පැවරූ ඈ හරස් ප්‍රශ්න ආදියට ඉඩ නොතබා ම යන්නට ගියා ය. ඉනික්බිති පන්තියම කඩි ගුලක් සේ ඇවිස්සිණි. වෙනදාටත් පන්තිය අවසන් වූ පසු පැවරුම් ගැනත්, පොතපත ගැනත් නිරතුරුව සුහද කතාබහ සිදුකෙරුණත් එදා නම් එහි වූයේ එකම ගාලගෝට්ටියකි. මේ සතියේ පැවරුමේ අසාර්ථක බව ගැන හැම දෙනාටම කියන්නට යමක් තිබිණි. සිසුන් විසින් පෙර කිසි කෙනෙකුට නොකී දෙයක් පැවරුමක් වෙනුවෙන් ලියනු ඇති අපේක්ෂා කිරීම කොයිතරම් අභව්‍ය ද යන බව, එවැනි බරපතල දෙයක් වචන තුන්සීයකට ලඝු කිරීමේ දුෂ්කර බව ආදිය පිලිබඳව සිසුන් අතරේ ක්ෂණික විවාද පැන නැඟුණි. කවිතා ඒ කතාබහට සම්බන්ධ නොවෙමින් නිහඬව ම තම පොත් පත් එක්කාසු කරගනිමින් උන්නත් ඇගේ මනස ද කැළඹෙමින් තිබිණි. මේගන් පවා පොදු කතාබහට එක්වෙමින් මොන මොනවාද කියනු ඇසුණත් කවිතා ගේ අවධානය තිබුණේ බොහෝ ඈතක ය.
එදා ආපිට නිවසට එද්දීත්, ඉන්පසු ගෙවුණු දින කිහිපය පුරාවටත් කවිතාගේ මනසේ රැව් දුන්නේ එකම වැකියකි. 'කිසි දවසක කිසි කෙනෙකුට නොකීව දෙයක්!' පසුදිනට එළි වෙද්දී ත් ඈ මන්තරයක් මෙන් ඒ වැකිය අවිඥානිකව මුමුණමින් සිටියා ය. පැවරුම් සම්පූර්ණ නොකළත් ඒ ගුරුවරියගෙන් නම් දොසක් නොලැබෙන බවත්, පන්තියේ සෙස්සන් බොහෝවිට මේ පැවරුමට නම් කිසිවක් නොලියනු ඇති බවත් හොඳාකාරවම දැනගෙන උන්නත්, කවිතාට ඒ මාතෘකාව ගැන තිබුණු ආකර්ෂණය අඩු වූයේම නැත. ඒ වෙනුවට අගේ මනස පිරුණේ ඒ ගැන එකිනෙකට සම්බන්ධ නැති වාද විවාද රැසකිනි. "දෙන්නෙක් විතරක් දන්නා දෙයක් කිසි දවසක කිසි කෙනෙකුට නොකීව දෙයක් වෙන්න පුළුවන් ද?" "කිසි දාක කිසි කෙනෙකුට නොකීව දෙයක් තව අයට කීවාම ඉන් දැනෙන පිළිස්සුම අඩු වෙනවාද ?" ඈට ඒ ගැන නිරතුරුවම සිතීමෙන් මිදෙන්නට හැකි වූයේ නැත. හදවත කෙළවර අත්හැර දැමූ පෙදෙසක, අගුලු ලා තිබුණු කුටියක දොර අරිනු පිණිස යතුරක් කවුරුන් හෝ තම අත තබා ඇති බවක් කවිතා ට දැනෙමින් තිබුණි. ඒ දොර විවර කරනවාද, මෙතෙක් කළ පරිදි තරයේ අගුලු ලාගෙනම සිටිනවා ද යයි තීරණය කරනු නොහැකිව ඇය අහස පොලොව ගැටලමින් පසුවිය.
නිර්මාණාත්මක ලේඛන පන්තියේ ලැබුණු පවරුමෙන් පසු එළඹුණු දෙවෙනි රාත්‍රියේ කවිතා පසු වූයේ උණ විකාරයෙන් මෙනි. නින්දත් නොනින්දත් අතර තීරුවේ සක්මන් කරමින් උන් ඈ බියකරු මායාවන් දකිමින් සිටියාය.
"කවිතා නුපුරුදු නගරයක ඇවිදිමින් සිටියා ය. බැලු බැලූ අත ඇයව තෙරපමින්, පසු කරමින් මහා ජන ගඟක් විය. එහෙත් ලං ලං ව බැලූ විට ඒ කිසිකෙනෙකුට මුහුණක් ඇති බවක් නොපෙනිණි. ඔවුන් රොබෝවන් සේ ලහි ලහියේ ඇවිදිමින් සිටියහ. යා යුතු තැනක් නොදැන උන් කවිතා ට මඟ සලකුණක් අසාගන්නටවත් ඔවුන් නතර වූයේ නැත. ඒ නතර වූවත් ඔවුන්ට දකින්නට කතාකරන්නට මුහුණක් කටක් තිබුණේ නැත. කෑගසමින්, වැටෙමින්, යලි නැගිටිමින් කවිතා ඒ මේ අත දිව යන්නට විය. කිසිකෙනෙක් ඈ වෙනුවෙන් නතර වුයේ නැත. හෙම්බත්ව සිහි විසඥ ව මෙන් සිටියදී ඈ ව කවුරුන් හෝ නැගිටවනු ඇයට දැනිණි. ඔහුට මුහුණක් පමණක් නොව සිනාවක් පවා තිබිණි. ඈ වියරුවෙන් මෙන් ඔහුගේ බාහුවේ එල්ලිනි. ඔහු ඇය ව නගරයේ කලබලයෙන් ඈතට ගෙන ගියේ ය. ඔහු සිනාසුණත් කතාකළේ නැත. මුහුණු නැති පිරිස අතරින් මතුවූ ඔහුගේ මුහුණ සැබෑ මුහුණක් දැයි කවිතා නිරතුරුව ස්පර්ශ කර බැලුවා ය. ඇගේ සැකය ගැන ඔහු සිනාසුණා පමණි. ඔවුහු දෙදෙනා නිහඬවම බොහෝ දිගු මඟක යමින් සිටියහ. ඒ යන තැන දැන් සිටියේ ඔහු පමණි. බොහෝ වෙහෙසකර ගමනකට පසු ඔවුහු හෙලක් මතට පැමිණ සිටියහ. ඔහු සිනාසෙමින් සිටියත් ඔහු තතනන්නේ ඇයව හෙල මතුපිටින් පහලට තල්ලු කරන්නට යැයි ඇයට හදිසියේ වැටහිණි. ඇය සැකයෙන් ඔහුගේ මුහුණ බැලුවා ය. එහි තිබුනේ දත් විලිස්සුණු උරග මුහුණකි. එහි කට දෙකෙළවරින් ලේ වෑස්සෙමින් තිබිණි. ඇය ඔහු හා පොරබදන්නට විය. ඔහු ඇයට වඩා ශක්තිවන්ත වූවත් කවිතා වඩාත් ඉක්මන් විය. ඉතා ආයාසයෙන් ඇය ඔහුව ප්‍රපාතයට තල්ලු කර දැමුවා ය. ඔහුගේ ග්‍රහණයෙන් මිදුණු පසු ඈ ආපසු නොබලා දුවන්නට විය. එහෙත් එසේ දුවද්දී ඇයට නුහුරැ බරක්, අපහසුවක් දැනෙන්නට විය. ඇය ගේ බඳ බදා උරග මිනිසාගේ මුහුණ ම ඇති කුඩා උරගයෙක් විය. උගේ කටින් ද ලේ වෑස්සෙමින් තිබිණි. හැකිතරම් වැර යොදා කවිතා ඒ උරග පැටවාගේ ග්‍රහණය ඉවත් කරගත්තා ය. එසැණින් ම ඈ ඌවත් හෙල පහලට විසි කළා ය. එසේ ඉවත් කරද්දී කුඩා උරග පැටවා තමන්ගේ මුහුණෙන් පදාසයක් ද ඉරාගෙන තිබිණි. එය කවිතාට වැටහුණේ වැටි වැටී ආපසු දුවද්දී ය. ඉනික්බිති ඇය ද මුහුණක් නැති කෙනෙක් බවට පත් වූවාය."
ඒ බියකරු සිහිනයෙන් කවිතා අවදි වූයේ කෑ ගසමිනි. වාසනාවකට මෙන් ඇගේ හඬ අසන්නට කිසිවෙක් ළඟ සිටියේ නැත. මහත් වේලාවක් තිස්සේ අතපය අඩපණ ව සිටි බවක් ඇයට දැනෙන්නට වූ අතර මේ මතකය රඳවා ගැනීමටද බලවත් පෙළඹුමක් දැනුණි. ගැහෙමින් පරිගණකය වෙත ගිය කවිතා මුළු සිහිනයම අකුරු කර දැමුවා ය. ඒ කාර්යය නිම වූ සැණින් නැවත යහනට වූ ඇය ගැඹුරු නින්දකට එළඹුණා ය.
පසුදා කවිතාගේ ගේ මනස කැළඹුණු ගතිය තරමක් පහව ගොස් තිබිණි. එහෙත් රැකියාවට ගියත් වැඩක යෙදෙන්නට තරම් නිරවුල් මනසක් ඇය ට නොතිබිණි. කවුළුවෙන් එපිට සීඩර් ගස් පෙළ කහ පැහැති පල පිරුණු අතුපතර නලවමින් පසුවිය. ඒ දෙසම නෙත් යොමා සිටි ඇය ට පෙරදා රැයේ අසිහියෙන් මෙන් ලියූ තමාගේ සිහිනය නැවත කියවා බලන්නට සිත් විය. යළි වරක් අකුරු අතරින් ඒ අඳුරු මායාවේ සැරිසරද්දී මේ සිහිනයේ ගැඹුර කවිතාට වැටහිණි. උඩුසිත නිද්‍රාගතව තියෙද්දී තම යටිසිත සිහිනයක් ලෙසින් අතීතය මිටිකර දක්වා තිබිණි. සිහින උපමා රූපක ඇසුරෙන් පණිවිඩ කියන බව ඇය අසා තිබුණත් කිසි දිනෙක මෙතරම් ප්‍රබලව එය අත් වින්ද තිබුණේ නැත. මේ තම ‘කිසි දවසක කිසි කෙනෙකුට නොකීව දෙයක්’ විය!
නමුත් පැවරුමට එක එල්ලේ පිළිතුරක් නොවන අගක් මුලක් නැති මේ ‘සිහින කතාව’ ලියා යැව්වොත් එය ගුරුවරියගේ කෙබඳු ඇගයීමකට ලක්වේද, පන්තියේ සෙසු සගයන් ඊට කවර ප්‍රතිචාර දක්වාවි ද සිතා කවිතා තැවෙන්නට වූයේ සීඩර් ගස් මුදුන් වෙත රඳවා ගත් දෑසිනි.
ජූලියන් තමන් අසලටම එනු ඈ දුටුවේ වත් නැත.
"මොකද ගස් දිහා බලාගෙන භාවනා කරනවද? හැඩට තිබුණට ඔය ගස්වල ගෙඩියක් වත් කුරුල්ලෝ කන්නේ නැහැ. දුර ඉඳන් බලන්න විතරක් හොඳයි. ඒවා ලස්සනට තිබුණාට වස!' කියමින් ඔහු යන්නට ගියේ ඇගේ බැල්ම මෙන්ම සිතිවිලි ද ගස් පෙළ වෙත ඇති බව සිතමිනි.
එය අසා කවිතා මොහොතක් ගල් ගැසුණාය. වැඩි බරක් පතලක් රහිතව ජූලියන්ගෙන් පිටවුණු ඒ වදනින් තමන්ගේ සිතිවිලි චක්‍රයක් සම්පූර්ණ වූ බවක්, තමන් ගමනාන්තයකට ළඟා වූ බවක් ඇයට දැනුණි.
'ලස්සන උනාට වස!' තම සිත තුළත් කවුරුන්දෝ මුමුණනු ඇයට දැනුණි. වසර ගණනාවක් තිස්සේ තමන් පීඩාවට පත් වූ වරදකාරී හැඟීමක් සිතෙන් නිදහස් වනු ඇයට දැනුණි. කිසි දවසක කිසි කෙනෙකුට නොකීව දෙය එලෙසම පවතින්නට ඉඩ හැරිය ඈ සිහිනය ගැන ලියූ තම ලියවිල්ල මකා දමා තමන් ඉදිරිපිට ගොඩ ගැසී තිබුණු රාජකාරි වෙත දෑස යොමු කළා ය.
++++++++++
ReplyDeleteස්තූතියි කියන්න වැට ගහල යන්න ආවෙ. හෙට උදේට කියවලම කමෙන්ට් එකක් දාන්නං.🙏👌😊
එහෙනම් කියවලාම එන්නකෝ ටොමියා :)
Delete+++++++
ReplyDeletethanks Pra Jay
Delete"ලස්සන උනාට වස." තමන්ගේ පරිසරයේම දකින්නට ලැබුණු අත්දැකීමක් ඉතා හොඳින් ඉදිරිපත්කර තිබෙනවා. එය කෙටි කතාවක ස්වරූපයෙන් ලියා තිබීම තවත් විශේෂ ලක්ෂණයක්.
ReplyDeleteමේ සිද්ධියට තරමක් දුරට සමාන මගේ අත්දැකීමක්ද සිහියට නැගුණා. ඒ දැනට වසර දහයකට පමණ ඉහතදී. ඒ කාලේ අපේ ගේ ඉදිරිපිට මහා මාරගය අසල තිබුණු ඉඩ කොටසෙහි මා නියඟලා පැළයක් සිටවූවා. ඉතා හොඳින් වැඩුණු මේ වැළෙහි මල් රාශියක් පිපී අලංකාර ලෙසට තිබුණා. මලෙහි අලංකාර බව ගැන දන්නා නිසාමයි මා ඒ වැළ සිටවූවේ. එක් දිනක් මා ඒ අසල සිටින විට පාරේ ගමන් කළ ප්‍රදේශයේ ප්‍රභූ වරයෙක්, නියඟලා වැළේ මල් දෙස බලා කිව්වේත් "ලස්සන උනාට වස." යන වචන කිහිපයයි. මා ඔහුට කිව්වා " ලස්සන ඇත මලේ - විස ඇත්තේ අලේ " කියා.
හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ නියඟලා මල වසයි කියලා නේද තාත්තා? ඒත් මලක් දැක්කාම desperate කෙනෙක් ඉන්නවා නම් හාරලා අලය ගන්නත් පුළුවන් හැබැයි!
Deletehmmm
ReplyDeletehmmm :)
Deleteවස උනාට ඒකෙ ලස්සන! :))
ReplyDeleteනිර්මාණාත්මක ලේඛනය ගැන පාඨමාලාව හදාරුවාට පාඩු වෙලා නෑ .. :))
ස්තූතියි කල්‍යාණ
Deleteඔව් දැන් එයැයිත් නිර්මාණාත්මක ලේඛන ලියනවා ඇති නේද? :)
පොඩි උරග පැටියා බඳේ එල්ලී සිටීම, එයාව විසි කලාට පස්සෙ කවිතාත් මුහුණ නැති කෙනෙක් බවට පරිවර්තනය වීම- එතන ලොකු කතාවක් නේද. ඉතාම obvious දෙයක් රූපක වලින් පෙන්වන විදිහ හරිම ලස්සනයි.
ReplyDeleteමමත් කල්පනා කරා කරා කවදාවත් කාටවත් නොකියපු රහසක් තියෙනවද කියලා. අඩුම තරමින් එක්කෙනෙකුට හැමදේම කියලා තියෙනවා.. අපරාදෙ.
thank you Lotus :)
Deleteඔව් බලාගෙන ගියාම මටත් එහෙම එකක් නම් නෑ තමයි. අඩුම ගානේ තව කෙනෙක්වත් නොදන්නා බරපතල අපරාධයක් තාම කරන්න උනේ නැහැ!
ඔබගේ පෝස්ටුවට අපගේ සින්ඩියේ “කැටපත් පවුර” යටතේ ඉඩක් වෙන් කොට ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩියට ඉහල ප්‍රථිචාරයක් හා ප්‍රචාරයක් ලබා දීමට මැළි නොවන්න!
ReplyDeleteස්තූතියි!
Delete