December 13, 2021

පෙරපාසල් පැංචන්ගේ පොත් කියවීමේ හපන්කම



මේ අවුරුද්දේ මුල මමත් මිතුරියන් කීපදෙනෙකුත් එකතුවෙලා පුංචි ව්‍යාපෘතියකට සම්බන්ධ වුණා. ඒ තමයි ලංකාවේ පෙර පාසල් කීපයක දරුවන්ට පොත පත ඇසුරු කරන්න පහසුකම් සලසන එක. සමහර වෙලාවට ලංකාවේ අර්ධ නාගරික ඒ වගේම ගම්බද ප්‍රදේශ වල දරුවන්ට පාසල් වයසට කලින් කතන්දර පොත් අත පත ගාන්න තියෙන අවස්තාව අඩුයි. පොත් වුවමනා වෙන්නේ දරුවන්ට හරියට කියවන්න පුළුවන් වුණාට පස්සේ කියලයි වැඩිමනත් දෙමව්පියෝ හිතන්නේ. මීට අමතරව පුස්තකාල වලත් ඒ වයසට ගැලපෙන පොත් නැතිම තරම්. අකුරු කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න කලින්, පොත් වල පින්තුර බලලා, වැඩිහිටියෙක් ඒ කතන්දර කියවනවා අහගෙන ඉඳලා පොත් වලට ආදරයක් ඇතිකරගන්න පොඩ්ඩන්ට ලොකු ඉඩකඩක් තියෙනවා.

1000 Books Before School කියලා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් දැකලා මීට මාස කීපෙකට කලින් මම පුංචි fb සටහනක් ලිව්වා. මේ සටහන හරහා මීට අවුරුදු කීපයකට කළින් මේ විදිහටම හිතුව මගේ මිතුරියක් වන ශෂී සූරියආරච්චි අක්කා පොළොන්නරුවේ ගල්ලෑල්ල ප්‍රදේශයේ සිඟිති පෙරපාසලේ ගුරුවරිය සුජානි මිරහවත්ත එක්ක මේ වගේ වැඩසටහනක් ආරම්භ කරලා තිබුණු බව මට දැනගන්න ලැබුණා. ඒ පෙර පාසලේ දරුවන්ට ගැලපෙන පොත් එකතුවක්, ඒවා ගබඩා කරන්න අල්මාරියක්, දරුවෝ පොත් ගෙවල් වල අරගෙන ගිහින් දෙමව්පියෝ එක්ක කියවීම සටහන් කරගන්න හැමෝටම ලබාදෙන පුංචි පොත් පිංචක් මීට ඇතුළත් වුණා. 2021 මුලදී ශෂී අක්කාගේත් සුජානිගේත් මේ වැඩසටහනට අපි තව කීප දෙනෙක් එකතුවෙලා පොලොන්නරුවේම තවත් පෙරපාසල් කීපයකට මේ පහසුකම සලසලා දුන්නා. මුල ඉඳන්ම මේ පුංචි දරුවෝත් එයාලගේ වැඩිහිටියොත් මේ වැඩසටහනට උපරිම සහයෝගය දුන්නු බවයි ආරංචි වුණේ. කොරෝනා කාලේ පෙර පාසල් සැසි පවත්වන්න සෑහෙන්න බාධක ආවාත් දරුවන්ට ගෙදර ගෙනිහින් කියවලා ආයෙත් ගෙනත් දෙන්න මේ පොත් ලබාදීමේ වැඩසටහන පුළුවන් උපරිමයෙන් සාර්ථක කරගන්න පෙර පාසල් ගුරුවරියන් මහන්සි වුණා.

මේ පහත වීඩියෝව ඒ පෙර පාසල් ගුරුවරියෝ ගත්ත වීඩියෝ රැසකින් එකක් විතරයි. පොළොන්නරුවේ සිඟිති පෙරපාසලේ දුවෙක් පොතක් ගෙදර අරගෙන ගිහින් දෙමව්පියෝ එක්ක කියවලා, පස්සේ පොත ගැන විස්තර ගුරුවරියට කියන හැටි තමයි මේ තියෙන්නේ . අවුරුදු තුනක් වයස මේ පුංචි දුව පොතක පිටු පෙරලමින් දිග කතන්දරයක් කියන්නේ අකුරක්වත් කියවන්න දැනගෙන නෙමෙයි. ඒත් එයාට ඒ පොතේ කතාව හිතට කාවදින්න, මතක හිටින්න කියලා දුන්නු වැඩිහිටියෝ නිසා එයා කියවන්න ඉගෙන ගන්න කලින්ම කතාවක් රස විඳින්න ඉගෙන ගෙන. පින්තූර බලලා සම්පූර්ණ කතාවක්ම මතකෙන් කියන එක කොයි තරම් හපන්කමක් ද!
මේ වීඩියෝව පළ කළේ මේ දැරියගේ දෙමව්පියන් සහ ගුරුවරුන්ගේ අවසර ඇතිව, මේ සුන්දර දසුන බෙදාගන්නයි.

දරුවෝ පුංචි කාලෙම එයාලට පොත් පත් ළං කරන එක එක්තරා විදිහකට එයාලගේ ජීවිත කාලෙටම ආයෝජනයක්. පුංචි දරුවෝ ඉන්න දෙමව්පියන්ට මේ තරම් කල් ඒකට ඉඩකඩ ලැබුණේ නැත්නම් ඒ ගැන ආයෙත් හිතලා බලද්දී මේ චූටි දූවත් මතක් කරගන්න.

(ලංකාවේ කෙරෙන මේ පෙර පාසල් කියවීම් වැඩසටහනට අපි සම්බන්ධ වුණේ රටවල් තුනක ඉඳන්. මාත් එක්ක එකතු වුණු ශෂී සූරියආරච්චි, කුමුදු ඩයස් සොයුරියන් වගේම පොළොන්නරුවේ සුජානි මිරහවත්ත, තුෂාරි ප්‍රියංගනී, නෙලුම් සුසන්ති, තුෂාරි රාජපක්ෂ පෙර පාසල් ගුරුවරියනුත් පොළොන්නරු දිස්ත්‍රික් මුල් ළමා විය සංවර්ධන නිලධාරිනිය පවිත්‍රා වර්ණකුලසූරිය මහත්මිය යන හැම දෙනාම මේ වැඩසටහනේ සාර්ථකත්වය පිටිපස්සේ ඉන්නවා.)

මුල් සටහන -පෙබරවාරි 2021




26 comments:

  1. මම මගේ දුවට අවුරුදු දෙක තුන කාලේ ඔඩොක්කුවේ තියාගෙන ළමා පොත් කියවූවා. ටික දවසක් යන විට දුවට කතාව කට පාඩම්. නමුත් අකුරු කියවන්න බැහැ. හරියටම පිටුව පෙරළගෙන ඒ පිටුවේ තිබෙන කොටස කියවනවා. මම සමහර වෙලාවට කරන්නේ දුවට ඒ පොතක් කියවන අතරේ හිතාමතාම වාක්‍යයක වචන එහෙ මෙහෙ වෙනස් කරල කියවන එක. එතකොට දුව ‘අප්පච්චි, ඔහොම නෙවෙයිනෙ ඔතන තියෙන්නෙ. මෙහෙමයිනෙ‘ කියලා දුව වාක්‍යය හරියට කියවනවා. අපූරු අත්දැකීමක් ඒක. අකුරු කියවන්න බැරි වයසෙදි වුනත් දරුවන්ව පොත් කියවීමේ ඇබ්බැහියට පදනම දමන්න මේක හරියටම හරියන ක්‍රමයක්.ඔබ ඇතුළු කණ්ඩායමේ උත්සාහය ඉතාම අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රභාත්, ඔව් පුංචිම කාලේ දරුවන්ට පොත් හුරු කළාම එයාලාගේ ඒ ගැන ආසාව වැඩෙන හැටි බලාගෙන ඉන්න එක ආසා හිතෙන වැඩක්. එහෙම පොත් වලට ආදරේ වුණු ළමයි කවදාවත් පොතක් ඉරන්නේ බලි කුරුටු අඳින්නේ නැහැ. මේ වැඩසටහන එක පහනක් හරි දල්වන්න පුංචි උත්සාහයක්.

      Delete
  2. ඉතාම වටිනා වැඩක්... අවුරුද්දෙ ඉඳන්ම එයාලට කතා පොත් හුරු කරවන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරූ, ගමේ පොඩ්ඩන්ට පොත් ළං කරන්න ගෙදරම පුස්තකාලයක් හදලා ඔයා වෙන මහන්සිය ගැනත් මම දන්නවා හොඳට. ඒ නිසා මේ වීඩියෝව දකිද්දී මට දැනෙන සතුට ඔයා නිතරම අත් විඳින බව මම දන්නවා <3

      Delete
  3. පොත පත නිතර දකින්නට ලැබෙන සහ පොත් පත කියවන අය සිටින පරිසරයක වැඩෙන දරුවා නිරායාසයෙන්ම ඒවාට කැමැත්තක් ඇති කර ගන්නවා. වැඩිහිටියෙකු හෝ වෙනත් සහෝදර සහෝදරියක් ශබ්ද නගා කියවන විට කුඩා දරුවා ඒ ශබ්ද හා සම්බන්ධ වචන සංකල්ප වශයෙන් තම මනසට සම්බන්ධ කරගන්නවා. මෙසේ වචන වලින් ලබන සංකල්ප එකතුකර ගැනීම මගින් යම්කිසි අර්ථවත් භාවයක් ලබාගැනීම නිසයි කියවීමට ආශාවක් ඇතිකර ගන්නේ. මේ නිසා මෙම ක්‍රමවේදය පෙර පාසල් දරුවන් සඳහා ඉතාමත් වැදගත් පිවිසුමක් ලෙස සඳහන් කළ හැකියි.

    ReplyDelete
    Replies
    1. තාත්තා- ඔව්, ගොඩාක් වෙලාවට මේ වයසේ ළමයි පොත් කියවිල්ලෙන් මග ඇරෙනවා, එයාලට තාම කියවන්න බැරි නිසා. ඒත් ඒ තමයි පොත් ලං කරන්න සුදුසුම වයස කියලා දෙමව්පියන්ට මතක් කරලා දෙන්නයි මේ වැඩසටහනෙන් උත්සාහ කරන්නේ.

      Delete
    2. මගේ දුවල දෙන්නටම පුංචි කාලේ පොත් කියවන්න පුරුදු කලේ. පොඩි එක්කෙනා තවමත් කියවනවා. එයට 18යි. ලොක්කට 20 යි. එය පොත් කියවීම අත ඇරලා තියෙන්නේ. පස්සේ කලෙක ආයෙත් කියවන්න පටන් ගනී කියල හිතනවා.

      Delete
  4. මටත් උවමනා අපේ පොඩිරාළට කියවන්න පුරුදු කරන්න. පොර උපන් දා ඉඳං මං උන්දැට පොත් එකතු කරනව. දැන් අවුරුදු හයයි. තාම පොත් කියවන්නෙ මං දෙතුන් පාරක් කිව්වට පස්සෙ, මට ඔ්නෙවට විතරයි.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී සමහර වෙලාවට කොලු පැටව් ටිකක් හොරයි පොත් කියවන්න. ඒත් එහෙම මුලදී මග ඇරුණොත් පස්සේ ඒකට පිළියම් කරන්නත් අමාරුයි. කොලූ කැමති පොත් මොනවද කියලා හොයලා බලලා එතැනින් පටන් ගමු. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි :)

      Delete
    2. හ්ම්ම්... ස්තූතියි. මං ට්‍රයි කරන්නං.

      Delete
  5. බොහොම අගේ ඇති වැඩක්.🙏

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා

      Delete
  6. දැනුම ලබා ගන්න තවමත් තියෙන හොඳම මාධ්‍ය පොත්. පරපුරෙන් පරපුරට කියවීම අඩුවෙනවා. පරිචයක් ඇති ප්‍රජාව අඩුවෙනවා. සිල්ලර උඩ මතු වෙනව...

    ReplyDelete
    Replies
    1. ඔව් නමියා අලුතෙන් දැනුම එකතුකරගන්න කුතුහලය වැඩි මේ පෙරපාසල් කාලය තමයි පොත් ගැන ආසාව ඇතිකරන්න හොඳම කාලය.

      Delete
  7. Replies
    1. ස්තූතියි ඩියෝන්

      Delete
  8. ආදර්ශවත් හොද අනාගත ආයෝජනයක්.වැඩේට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ!

      Delete
  9. අගේ ඇති වැඩක්. සුබපතනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අහස්!

      Delete
  10. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete
  11. අගේ ඇති වැඩක්. මමත් අර තරුරසි එක්ක වරකුත් තවත් දෙතුන් දෙනෙක් එක්කත් පුස්තකාල දෙක තුනක් හදන්න උදව් දුන්න පොඩි පාසල් වල.

    ReplyDelete
    Replies
    1. අහන්න සතුටුයි අජිත්, ළමයින්ගේ ඇස් පාදනවා වගේ වැඩක්

      Delete
  12. හෙල්මලිගේ මේ ව්‍යාපෘතිය හුඟක් වටිනවා. අද දෙමව්පියෝ සමහරු ළමයින්ට අකුරු උගන්වන්න ඕන කරන වැඩ පොත් විතරයි හොයන්නේ. අපි දරුවන්ට පොත් කියෙව්වේ අකුරු පුළුවන් වෙන්න හුඟක් කලින්. කතන්දර පොතේ හැම දෙයක්ම වගේ අහගෙන ඉඳල ඔවුන් කියන්න පුරුදු වුණා. අපිට වැරදුණොත් "ඒක වැරදියටයි අම්ම කිව්ව" කියල එයාල අපි නිවැරදි කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මාලනී ඇන්ටි,පොත් වලට ආදරේ වෙන්න දරුවන්ට අකුරු වුවමනා නැහැ කියලා දෙමව්පියන්ට අමතක වෙනවා.
      මගේ පුතා පොඩි කාලෙත් ඔය විදිහටම හැමදාම කටපාඩමින් කියන පොත් තිබුණා. මම එයාට ඒවා කියලා දෙන වෙලාවලට ඉක්මනින් ඒ වැඩේ ඉවර කරලා මිනිහව නිදි කරවන්න හිතාගෙන පිටු දෙක තුන එක සැරේ පෙරලනවා සමහර වෙලාවට. Amma you missed a page!කියලා ආපහු පෙරලවනවා මං ලවා :D

      Delete