January 31, 2024

'කැන්ගරු දේසේ සිංහල පොත්' සමඟ 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව'

මගේ දෙවෙනි කෙටිකතා පොත - 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' ගැන ඕස්ට්‍රේලියාවේ SBS ගුවන්විදුලි සේවාවේ 'කැන්ගරු දේසේ සිංහල පොත්' වැඩසටහනට කළ කතාබහයි මේ. 

මේ සඳහා මට ආරාධනය කළ SBS සේවාවේ සිංහල අංශයේ ප්‍රධානී දිල්රුක්ෂි විජේසූරිය මහත්මියටත්, පොතේ කොටස් කියවීමෙන් වැඩසටහන රසවත් කළ පූජනී ගුණසේකර සොයුරියටත් මගේ ආදර ස්තූතිය හිමි වෙනවා. 




January 30, 2024

බොම්බයි මොටයි

ඉස්සර අපි පොඩි කාලේ හවස් වරු වලට ඈතින් ලාවට වගේ සීනුවක ටිලිං ටිලිං සද්දේ ඇහුනොත් ඒ බොම්බයි මොටයි වෙළෙන්දෙක් බව නොවරදවාම දැනගෙන හිටියා. ඒ කාලේ බොම්බයි මොටයි වෙළෙන්දෝ කවදාවත් බයිසිකල් වල ගියේ නැහැ, ගියේ පයින්මයි. එහෙම පයින් යද්දී ඇවිදින තාලෙට එයාලගේ අතේ තියෙන සීනුවේ සද්දේ තමයි අපට ඒ ඇහුණේ. ඒ සද්දෙට පාරට දුවගෙන ගියොත් අනිවාර්යයෙන් වෙළෙන්දා ව නවත්තා ගන්න පුළුවන් වුණෙත් එයා පයින් ගිය නිසායි. ඒ බොම්බයි මොටයි තිබුණේ මළකඩ කාලා දුර්වර්ණ වුණු ලොකු, උස ඍජුකෝණාශ්‍ර ටින් එකක. ඒකේ උඩ රවුම් පියනක් තිබුණා. බොම්බයි මොටයි වෙළෙන්දා ළඟ හතරැස් කොටු කැපුව පත්තර පිටු කම්බියක අමුණලා තිබුණා. ඒවායේ තමයි බොම්බයි මොටයි ඔතලා දෙන්නේ. ඒ කාලේ රුපියල් දහයකට වගේ අරින් හතරැස් පත්තර කොටුවක් පිරෙන්න බොම්බයි මොටයි ගන්න පුළුවන්. ඒවායේ අතට දැනෙන රළු ගතිය, තද රෝස පාට , දිවේ දියවෙන සීනි රස අදටත් පැහැදිලි ව මතක් කරන්න පුළුවන් මිහිරි මතකයක්. එක තත්පරයෙන් කටේම දියවෙලා ගියත් බොම්බයි මොටයි කියන්නේ ඒ කාලේ හැටියට අපිට ආගමක්!

ටික කාලයක් ගත වෙද්දී පාරවල් වල ඇවිදගෙන යන බොම්බයි මොටයි වෙළෙන්දෝ හිඟ වුණා. සමහර විට එයාලා එනකම් බලාගෙන ඉන්න අපිට වෙලාව නැති වුණා වෙන්නත් පුළුවන්. හදිසියකට වත් එයාලාව දකින්න ලැබුණේ කානිවල්, සංගීත සංදර්ශන වගේ තිබුණ තැන්වල. මම ජ'පුර කැම්පස් එකේ ඉන්න කාලේ ඒකෙ තිබුණු අවුරුදු උත්සවයක් වෙලාවේ මෙහෙම ආව බොම්බයි මොටයි වෙළෙන්දෙක්ගෙන් මායි යාළුවෙකුයි අතේ තිබුණු සල්ලි ඉවර වෙනකම්ම පිස්සු හැදිලා වගේ බොම්බයි මොටයි කෑවා මතක් වෙද්දී දැන් නම් හිනා. ඒ කියන්නේ ඒ වැඩිහිටි වයසෙදිත් අපි වෙනසක් නැතිව බොම්බයි මොටයි ඇදහුවා.

මෑත කාලේදී බොම්බයි මොටයි වල පිටරට වර්ෂන් එක වෙන candy floss නම් ඕනෑතරම් කන්න ලැබිලා තියෙනවා. ඒත් ඒ සිනිඳු candy floss කද්දී අර ඉස්සර ලංකාවේදී මළකඩ ටින් එකෙන් අරන් පත්තර පිටුවේ ඔතලා කෑව රළු බොම්බයි මොටයි තරම් හිත් වැදුණේ නම් නැහැ. ඔය අතරේ තමයි දැන් ලංකාවේ අර පරණ බොම්බයි මොටයි ලස්සනට පැකේජ් කරලා විකුණන්න තියෙන බව මට දැනගන්න ලැබුණේ. මේ සැරේ අපට ලංකාවෙන් ආව රසකැවිලි අතරේ මෙහෙම පොඩි පෙට්ටිවල අහුරපු බොම්බයි මොටයි තියෙනවා දැකලා මට දැනුණේ පරණ යාලුවෙක් දැක්කාම දැනෙන සන්තෝසේ! කවුද හිතුවේ ඒ බිස්නස් එක මෙහෙම ජාත්‍යන්තර මට්ටමේ එකක් වෙයි කියලා.

මේ වයසේ කියලා නැහැ, තාම අපිට හොඳට බොම්බයි මොටයි අදහන්න පුළුවන්!

January 28, 2024

Gypsy- Movie Review

Psychologists ලා කියන්නේ මිනිස්සුන්ගේ මානසික ව්‍යාධි වලට මුල් වුණු හේතු හොයන්න උදවු කරන, ක්‍රම ක්‍රමයෙන් සුව වෙන්න පාර කියන අය බව අපි හැමෝම හොඳින් දන්නවා. ඒත් එහෙම නොවන Psychologists ලා ත් ඉන්න පුලුවන්ද? වැඩි විස්තර නොකියා මේ series එක what not to do as a psychologist ගැන කියලා කියන්න පුළුවන්! 

මේකේ තියෙන්නේ එක season එකයි, කොටස් දහයයි. Season 2 විකාශය කිරීම අහෝසි කළ බව තමයි සඳහන්. ඒකට නම් හේතුවක් හොයාගන්න නැහැ. කතාවේ චරිත අතරේ සියුම් ව කෙරෙන manipulation කම්පන ඇතිකරන සුළු බව කියන්නත් ඕන. ඒත් fascinating බවෙන් අඩුවක් නැති කම්මැලි නැතිව බලන්න පුළුවන් series එකක්. 

Gypsy (2017)



January 24, 2024

අගාධය

මගේ ලෝකයේ ඔබ උන්නු තැන දැන් ඇත්තේ අගාධයකි. හැම දිවා වරුවකම මම එය මඟ හැර ඇවිදිමි. හැම රාත්‍රියකම මම ඊට ඇදවැටෙමි.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of a quote by Edna St. Vincent Millay


Digital painting