July 17, 2021

අටේ පන්තියේ සෛල පාඩම

අපි සෛලයක ව්‍යුහය ඉගෙනගත්තේ ඉස්කෝලේ නමය දහය පන්තිවල වගෙයි මතක. ඒක මම ඒ දවස්වල බොහොම ආසාවෙන් ඉගෙනගත්ත පාඩමක්. ඒත් දැන් නම් ඒ කිසිම දෙයක් මතක නැහැ. ඒ මම සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ විද්‍යා විෂයන් නොකළ නිසා වෙන්නත් පුළුවන්.

මම ආයෙත් වතාවක් සෛලයක ව්‍යුහය පාඩමක් දැක්කේ මගේ පුතා ඒක ඉගෙනගනිද්දී. අටේ පන්තියේ ඉන්න පුතා ඉගෙන ගන්නේ මෙල්බර්න් නගරයේ පෞද්ගලික පාසලක. මට මේ සටහන ලියන්න හිතුණේ පුතාලාට ඒ පාඩම ජීවිත කාලයක්ම මතක හිටින විදිහට උගන්නලා තියෙන ලස්සන දැක්කාම. 

මූලික විෂය කරුණු උගන්වලා ඉවරවෙලා පුතාලාගේ පන්තියට පැවරුමක් ලැබිලා. ඒ තමයි සෛලයක් තමන් එදිනෙදා දකින කණ්ඩායමකට, සමූහයකට සමාන කරන එක. මේ අනුව සෛලයේ කොටස් පැහැදිලි කරන්න ඕන අර කණ්ඩායමේ කොටස්වල කාර්යයන් අනුව. 

මේ පැවරුම ගැන ඇහුවාම මට නම් එකපාරට දැනුණේ මහා පටලැවිල්ලක්. සෛලයක් කොහොමද අපේ එදිනෙදා ජීවිතයේ දේකට සමාන කරන්නේ? එහෙම කරලා වැඩක් තියෙනවද? ඒත් පුතා නම් ඒ ගැන මම වගේ එහෙම කලබලයකට පත්වුණු බවක් පෙනුණේ නැහැ. එයා බොහොම සීරුවෙන් සෛලයකට සමාන කරන්න පුළුවන් සමූහයක් ගැන හිතන්න ගත්තා. අන්තිමේදී එයා තෝරාගත්ත සමූහය ව්‍යාපාර ආයතනයක්. ගුරුවරියගෙන් ඒ තෝරාගැනීමට අනුමැතිය ලැබුණාට පස්සේ පුතා ඊට අදාළ presentation එක හදන්න ගත්තා. ඒ වෙද්දීත් මේ පැවරුම ගැන පැහැදීමක් නොතිබුණු මම එයාගේ වැඩ වලට බාධා නොකර ඒකෙ විස්තර බලාගෙන හිටියා.

පැවරුම ඉවර කරලා පුතා මට ඒක පෙන්නලා පැහැදිලි කළාම මට හරි පුදුම හිතුණා. සෛලයක කොටස්, ඒවායේ කාර්යභාරයන්, ඒවායේ වැදගත්කම මතක හිටින්න මේ පැවරුම අපූරුවට ගැලපෙනවා කියලා මට හිතුණා. ආයතනයක ප්‍රධානීන්, කේතකරුවන් (coders), විදුලි කාර්මික ශිල්පීන්, සාමාන්‍ය සේවකයන්, ආරක්ෂක නිලධාරීන්, කසල ඉවත් කරන්නන් ආදීන් ගෙන් කෙරෙන සේවාවට සමාන සේවාවක් සෛලයක් කොටස් මඟින් සිදුකෙරෙන ආකාරය ඒකෙන් පෙන්වලා තිබුණා. ඒ සමානකම් විස්තරාත්මකව පැහැදිලිව දක්වමින්, ඊට අදාළ පින්තූර එක් කර තිබුණු ඒ presentation එක දකිද්දී මටත් අමතක වෙලා තිබුණු පරණ විද්‍යා පාඩම් ආයෙත් මතක් වුණා. 

පුතාගේ presentation එකට ගුරුවරියගෙන් ඉහළ ලකුණු ලැබුණු බව පස්සේ දවසක පුතා මට ඇවිත් ආඩම්බරයෙන් කිව්වා. මේ අපූරු පැවරුමට පන්තියේ අනෙත් ළමයි තෝරාගත් පැහැදිලි කිරීම් ගැන මම පුතාගෙන් ඇහුවේ කුතුහලයෙන්. කාර් ගැන පිස්සුවක් තියෙන මිතුරෙක් සෛලයක් කාර් එකකට සමාන කරලා තිබුණු බව කියලා පුතා හිනාවුණා. සෛලයක් වෙළඳ සංකීර්ණයකටත්, රෝහලකටත් සමාන කළ අය පන්තියේ හිටියා කියලා පුතා මතක් කරලා කිව්වා.

පහතින් තියෙන්නේ පුතාගේ presentation එක (මේ තියෙන්නේ presentation එකේ slides හතර බැගින් එකතු කරලා සකස් කර ගත් පින්තූර. කහ පාට comment box එකේ ගුරුවරියගේ comments තිබුණා) මේක මට බෙදාගන්න හිතුණේ මේ අපූරු ඉගැන්නුම් ක්‍රම ගැන කියන්න. අපි ඉගෙනගත්ත ගුරු- කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයට වඩා පුතාලා ඉගෙනගන්න ශිෂ්‍ය-කේන්ද්‍රීය ක්‍රම මඟින් කොයිතරම් විෂය කරුණු ගවේෂණය කරලා තේරුම් ගන්න අවස්ථාව එයාලාට ලැබෙනවද කියලා මට හිතුණා. 

මෙහෙම වෙලාවට තමයි අපිටත් ආයෙත් මේ ක්‍රම වලට ඉගෙන ගන්න ඇත්නම් කියලා හිතෙන්නේ! 







July 02, 2021

“Reminds me of sunshine”


දුම්රියපළ කවදත් මේ වෙලාවට හරිම කලබලයි. රාජකාරියට යන එන්නන්ගේ බැරෑරුම් මූණු අතරේ පාසල් දරු දැරියන්ගේ කෙළිකවටකම් පිරිලා. උදේ හත පහු වුණත් අද නම් ඉර පායන්නේ නැති හැඩයි. කළු වලාකුළු ගොන්නක්ම පේන මානයක් යනකම්ම අහසේ තෙරපිලා. සීත සෘතුව නිමවෙන්න ළඟ වුණත් තාම මේ වගේ අඳුරු වැහි බර දවස් නම් නිමක් නැහැ. මේ දුම්රියපළ, වේදිකා හය, පිටවීම් දොරටුව ළඟ පුංචි කෝපි හල, ඈතින් පේන කොළ හැලුණු ජකරන්ඩා ගස් පෙළ, රේල් පීලි අස්සේ කෑම හොයන මුහුදු ලිහිණි රංචුව, මේ හැම එකක්ම හැමදාම මේ විදිහමයි. මේ හැම එකක්ම හීනි තාලයක් එක්ක මගේ සිතිවිලි අතරේ ගැවසුණු කාලයකුත් තිබුණා.

ඉඳහිට දැවටෙන සීතල සුළඟට මුළු ඇඟම හිරිවැටෙනවා. මට මේ සීතල කරදරයක් උනාට මගේ වටා උන්නු බොහෝ දෙනා එය ගණන් ගන්නේවත් නැති හැඩයි. අදත් ගෙදරින් එළියට බහිද්දී පුරුද්දට වගේ මම මගේ කහපාට මෆ්ලරය දවටා ගත්තා. මේ දවස් ටිකේම, ඇඳුමට නොගැළපුණත්, උදේට විහිදෙන ලා ඉර එළියට නොගැළපුණත් ගෙදරින් පිටවෙද්දී මේ මෆ්ලරය මගේ අතේ රැඳුණා.

“ඒකට තමයි මම කැමතිම!"

ඒ ගැන විමසූ හැම කෙනාටම මම කිව්වා. ඒත් ලාච්චුවක පත්ලෙන් මේ මෆ්ලරය මම ආයෙත් හොයාගත්තේ මේ සීතල දවස්වල ඒකේ උණුහුම මට වුවමනා නිසාද? තාම ඒ වූල් කැරලි අතරින් පුරුදු ලා සුවඳක් හමන නිසාද? එහෙම නැත්නම්... ඇත්තම කියන්න මගේ හිතට බල කරනවානම්, දවස් අටකට උඩදී ඔහුව නැවතත් දුටුව නිසාද?

“එහෙමම කියන්න බෑ..”. මම මා එක්කම තර්ක කළා... “ඒ කෝච්චිය වැඩිම වුණොත් විනාඩි තුනක් නවත්තාගෙන ඉන්න ඇති මෙතැන...මිනිස්සුත් පිරිලා හිටියේ.. ඒ ටිකට කොහොමද කෙනෙක් අඳුනා ගන්නේ? මේ තරම් කලබල වෙලාවට?”

ඒ කොහොම වුණත් අමතක කිරීමට බැරි බවේ තදබල රෝගයකින් පෙළෙන මට ඔහු යන එන වෙලාවල්, යන එන දුම්රිය එක්ක ඒ දුටු දසුන ගැලපෙන බව අමතක කරන්න බැරි වුණා. ඒ තත්පරය මතක් වී දුම්රිය එන තුරු සීතල ලී බංකුවේ ඉන්න මට, මේ මහා සෙනඟ මැද මොහොතකට හුස්ම හිරවෙන තරමේ තනිකමක් දැනුණා.

එදාත් අද වගේම ඈත ජකරන්ඩා ගස් හිස් වෙලා තිබුණු දවසක්. මේ බංකුවේම සීතල නොදැනුණු දවසක්.

"මට නම් බෑ හීතල කාලෙට වේලාසන එන්න!" මම නෝක්කාඩුවක් කිව්වා. "මාව මැරෙන්න යනවා හීතලේ!"

එහෙම කිව්වාට මම නොවැරදීම වේලාසනින් එන බව අපි දෙන්නාම දැනගෙන හිටියා.

"මේක හීතලක්යැ ළමයෝ?" ඔහු හිනාවක් සඟවන්න තැත් කරමින් කීවා. "ඕනනම් දාසයක් විතර ඇති!"

"ඇත්තද? දාසයයි වගේද පේන්නේ?"ඔහු ඉදිරියේ වටයක් කැරකෙමින් මම හිනාවුණා. "නියමයිනේ!!"

ඊළඟ දවසේ එද්දී ඔහු අතේ ලස්සනට එතූ පුංචි පාර්සලයක් තිබ්බා. දුම්රියපළේ කලබලය මැද්දේම පුංචි දැරියක් වගේ මා කඩිමුඩියේ ඒ පාර්සලය ලෙහා බැලුවා. ගන වූල් නූලෙන් අමුතු රටාවකට ගෙතූ කහ පාට මෆ්ලරයක් මගේ අතැඟිලි අතරේ දැවටුනා.

"සීතලට කියාපු දේ!" එය සිපගනිමින් මා සිනාසුණා. "ඒත් කහ පාට?.. මට කහ පාට ඇඳුමක්වත් නැහැ!"

ඔහු එය මගේ දෑතින් ගෙන සීරුවට මගේ ගෙල වටා දැවටුවා.

"To remind you of sunshine!" මා වෙත පහත් වී ඔහු රහසින් මිමිණුවා.

ඊට පස්සේ කොයිතරම් නම් දුම්රිය මෙතැනින් යන්න ඇතිද? කොයිතරම් නම් මිනිස්සු මේ වේදිකාවල බලාගෙන ඉන්න ඇතිද? පුංචි දේවල් වෙනස් වෙන්න ලොකු කාලයකුත් ලොකු දේවල් වෙනස් වෙන්න පුංචි කාලයකුත් තරම් වෙන බව මම ඉගෙනගත්තේ මෙතැනදීද? කොහොම වුණත් සමහර දේවල් නම් කවදාවත් වෙනස් වෙන්නේ නැති බවත් මම ඉගෙනගත්තෙත් මෙතැනදීමද?

මගේ සිතිවිලි පෙළ නතරකරමින් මගේ ඉදිරිපස දුම්රියක් මහා හඬින් විත් නැවතුණා. හිස ඔසවා බැලූ එක තත්පරයකදී නැවතත් ඒ හුරුපුරුදු දෑස මා දෑසේ ගැටුණා. ඒ දුම්රිය පිටව යන තෙක්ම මා දෑස ඉන් මුදාගෙන බිමට යොමුකරගත්තේ ඉනූ කඳුළු ඔහු දකීවි යැයි බියෙන්. මෙතෙක් කල් සීතලෙන් මිදීමට මට උපකාරී වූ කහ පැහැති මෆ්ලරය ඒ මොහොතේ කඳුළු සැඟවීමටත් මට පිහිට වුණා.

දුම්රිය පිටවී ගොස් මොහොතකින් කෙටි පණිවිඩයකින් මගේ ජංගම දුරකථනය දෙදරුවා. නොසිතාම, පුරුද්දට මෙන් මා එය වෙත නෙත් යොමු කළා.

"Reminds me of sunshine!" එහි සටහන් වී තිබුණා.


සහස් පියවර- කෙටිම කෙටි කතා (2019)
සයුර ප්‍රකාශන
සිතුවම- විංගි ජයලත් (Vingi Jayalath), Vingarts


චිත්‍රය ගැන සටහන

මේ කෙටිකතාව මගේ සහස් පියවර -කෙටිම කෙටි කතා පොතේ තියෙන කෙටිකතාවක්. පොතෙන් ඒ කතාව කියවලා ඒකට ආසා වුණු නිසා ඒකට චිත්‍රයක් ඇන්දා කියලා මම බොහොම ආදරය කරන චිත්‍ර ශිල්පිනියක් වන විංගි ජයලත්ගෙන් පණිවිඩයක් ලැබුණ වෙලාවේ මට අදහාගන්න බැරි වුණා. විංගිගේ චිත්‍රවලට මම ආදරේ කරන්නේ සෑහෙන්න කාලෙක ඉඳන්. විංගි අඳින Mandala චිත්‍රවලට කොයිතරම් ඉවසීමක්, සංයමයක් ඕනද කියලා මම දන්නේ මාත් ඉඳ හිට පොඩි පොඩි චිත්‍ර කුරුටු ගාන නිසා , මට නම් චිත්‍රයක් අඳින්න ඒතරම් ඉවසීමක් නැති නිසා. විංගි අඳින doodlesවල තියෙන්නේ එයාටම ආවේනික හුරතල් ගතියක්. ඉතින් මගේ කතාවට විංගිගෙන් ලැබුණු මේ චිත්‍රයේ වටිනාකම මට නිමක් නැහැ. මගේ කතාවට තව මානයක් එකතු කළාට විංගිට ස්තූතියි කියන්නයි මේ කතාව ආයෙත් බෙදාගත්තේ.

June 29, 2021

සුන්බුන් කාමරය

Translation of the short story ‘Lumber Room’ by Saki



එදා දරුවන්ව ජැග්බරෝහි මුහුදු වෙරළට රැගෙන යන්නට නියමිතව තිබුණේ ඔවුන්ට විශේෂ වරප්‍රසාදයක් වශයෙනි. නිකලස් මේ කණ්ඩායමට අයත් නොවූයේ ඔහු අපකීර්තියට පත්ව සිටි නිසාය. එදින උදෑසන ඔහු පාන් සහ කිරි වලින් සැදුණු තම ගුණදායක උදෑසන ආහාර වේල කෑමට ප්‍රතික්ෂේප කළේ එහි ගෙම්බෙක් ඇතැයි යන කිසිම පදනමක් නැති අදහස ඉදිරිපත් කරමිනි. ඔහුගේ කෑම බඳුනේ කිසිසේත්ම ගෙම්බෙක් සිටිය නොහැකි බවත්, විකාර දෙඩවීමෙන් වැළකිය යුතු බවත් ඔහුට වඩා වයසින් සහ නුවණින් වැඩි අය ඔහුට කීහ. එනමුත් ඔහු නොකඩවා මේ විකාරයම කියන්නට වූ අතර ඉන් නොනැවතී පෙරකී ගෙම්බාගේ පාට සහ සමේ සූක්ෂම සලකුණුද විස්තර කරන්නට විය. මෙහිදී වඩාත්ම පුදුම සහගත සිදුවීම වූයේ නිකලස්ගේ පාන්- සහ - කිරි බඳුනේ ඇත්තටම ගෙම්බෙක් සිටීමයි. ඌව එහි දමනු ලද්දේ ඔහුම බැවින් උගේ හැඩරුව හොඳින් දැන සිටීමට ඔහුට අයිතියක් තිබිණි. ඉනික්බිති ඉතාම ගුණදායක උදෑසන ආහාර වේලක් සහිත බඳුනකට ගෙවත්තෙන් ගෙම්බෙක් ගෙනැවිත් දැමීමේ පාපය ගැන දීර්ඝ වශයෙන් විග්‍රහ කෙරුණි. නමුත් නිකලස්ට නම් මේ සිදුවීමේ කැපී පෙනෙන සාධකය වූයේ ඔහුට වඩා වයසින් සහ නුවණින් වැඩි අය මහත් ආත්ම විශ්වාසයෙන්, සහතික කර කී දේ බරපතල ලෙස වැරදී තිබීමයි.

"ඔයාලා කීවා මගේ පානුයි කිරියි තියෙන භාජනේ ගෙම්බෙක් ඉන්න විදිහක් නැහැ කියලා; ඒත් ඒකෙ ගෙම්බෙක් හිටියා," ඔහු තමන්ගේ නිවැරදි මතය වෙනස් කරන්නට අකමැති දක්ෂ තර්ක ශිල්පියෙක් ලෙස නොකඩවා කියමින් සිටියේය.

නිකලස්ගේ ඥාති සොයුරාත්, සොයුරියත්, කිසිම වැදගැම්මකට නැති බාල සොහොයුරාත් එදින හවස් වරුවේදී ජැග්බරෝහි මුහුදු වෙරළට රැගෙන යාමට නියමිතව වූ අතර ඔහු නිවසේ රැඳී සිටිය යුතු විය. ඔහුගේ ඥාති සොයුරාගේත්, සොයුරියගේත් නැන්දා විසින් තමන් ඔහුගේත් නැන්දා බවට අනවශ්‍ය පරිකල්පනයකින් නිගමනය කර තිබිණි. උදේ කෑම මේසයේදී නිකලස්ගේ අවිනීත හැසිරීම නිසා ඔහුට අහිමි වූ වරප්‍රසාද උලුප්පා දැක්වීම සඳහා ඇය හදිසියේම මේ ජැග්බරෝ ගමන සූදානම් කළාය. ළමුන්ගෙන් කෙනෙක් දඟ කර දඬුවම් ලැබූ විට ඔහු හෝ ඇය හැර සෙස්සන්ට සහභාගී විය හැකි උත්කර්ෂවත් යමක් සූදානම් කිරීම ඇයගේ පුරුද්ද විය. ළමුන් සියලු දෙනාම එක්ව දඟ වැඩක් කරනු ලද නම් අහල පහල නගරයක පැවැත්වෙන සර්කස් සංදර්ශනයක් ගැන ඔවුන්ට දැනුම් දෙනු ලැබීය. ඔවුන් දඟ නොකර සිටියා නම් මින් පෙර කිසි කලක නොදුටු තරමේ විසිතුරු වූත්, ගණනය කළ නොහැකි තරමට අලි සංඛ්‍යාවක් සිටියාවූත් මේ සංදර්ශනයට පසුදාම යන්නට තිබුණු අවස්ථාව ඔවුන්ට අහිමි වූ බව දැනුම් දෙන ලදී.

මුහුදු වෙරළට යන කණ්ඩායම පිටත්වෙද්දී, ඒ ගමන අහිමි වූ නිකලස් විසින් අවස්ථාවට ඔබින ලෙස කඳුළු කැට කිහිපයක් වගුරවනු ඇතැයි අපේක්ෂාවක් තිබිණි. නමුත් දඩි බිඩියේ අස් රියට නගිද්දී දරුණු ලෙස දණහිස සීරුණු බැවින් සියලු හැඬීම් නිකුත් වූයේ ඔහුගේ ඥාති සොයුරියගෙනි. අපේක්ෂිත සතුට හෝ ප්‍රමෝදය නොපෙන්නා පිටත්ව යන ඔවුන් දෙස බලා, "අරයා හූ කිය කියා ඇඬුව තරමක්," යැයි නිකලස් සතුටින් කීවේය.

"එයාට ඉක්මණින්ම ඒක අමතක වෙයි." තමන්ට නැන්දායැයි කියාගන්නා තැනැත්තිය කීවාය. "මේ බොහොම ලස්සන හවස් වරුවේ ඒ කට්ටිය වෙරළේ දුවමින් හොඳට සතුටු වේවි."

"බොබී නම් වැඩිය සතුටු වෙන එකක් නැහැ, එයා වැඩිය දුවන එකකුත් නැහැ," නිකලස් කෘර ලෙස හිනැහෙමින් කීවේය. "එයාගේ බූට්ස් දෙක තද වැඩියි, එයාගේ කකුල් රිදෙනවා."

"එයා මට කියන්න ඕනනේ ඒ බව, ඇයි මට නොකීවේ?" නැන්දා රළු හඬින් ඇසුවාය.

"එයා ඔයාට දෙසැරයක් කිව්වා, ඔයා අහගෙන හිටියේ නැහැ. ඔයා වැදගත් දේවල් අහගෙන ඉන්නේ නැහැ."

"ඔයාට ගූස්බෙරි වත්තට යන්න තහනම්," නැන්දා මාතෘකාව වෙනස් කරමින් කීවාය.

"ඇයි බැරි?" නිකලස් ප්‍රශ්න කළේය.

"ඔයා දඬුවමක් ලබමින් ඉන්න නිසා," නැන්දා උඩඟු ලෙස කීවාය.

නිකලස් මේ තර්කයේ අඩුපාඩු පෙන්වා දීමට මහන්සි වූයේ නැත. දඬුවම් ලබමින් සිටින අතරතුරේදීම ගූස්බෙරි වත්තට යන්නට ඔහුට හොඳහැටි හැකියාව තිබුණි. ඔහුගේ මුහුණේ දිස් වූයේ තදබල මුරණ්ඩු පෙනුමකි. "මම මෙයාට ගූස්බෙරි වත්තට යන්න තහනම් කළ නිසාම එයාට ඒකට යන්න වුවමනා වෙලා." නැන්දා තමාටම කියාගත්තාය.

ගූස්බෙරි වත්තට ඇතුළු විය හැකි ගේට්ටු දෙකක් විය. නිකලස් වැනි කුඩා දරුවෙක් එයට ඇතුළු වුවහොත් එහි ඇති ආටිචෝක් පඳුරු, රාස්බෙරි ගාල් සහ පළතුරු ගස් අතර ඉතා සාර්ථක ලෙස අතුරුදහන් වන්නට ඉඩ තිබිණි. ඒ හවස්වරුවේ නැන්දාට කරන්නට දහසක් වැඩ තිබුණත් ඈ නොවැදගත් දේ කරමින්, ගෙවත්තේ මල් පාත්ති සහ පඳුරු අසල ගැවසෙමින්, තහනම් පාරාදීසයට යන්නට ඇති ගේට්ටු දෙක වෙත නෙත් යොමාගෙන සිටියාය. ඇයට විචිත්‍රවත් පරිකල්පනයක් නොතිබුණත් තදින් අවධානය යොමු කිරීමේ හැකියාවක් තිබිණි.

නිකලස් වරක් දෙවරක් හොරගල් අහුලමින් නිවස ඉදිරිපස ගෙවත්තට ගියේය. ගූස්බෙරි වත්තට යන දොරටු වෙත යන බවක් පෙන්වමින් ඒ දෙසට ගියත් ඔහුට නැන්දාගේ පරීක්ෂාකාරී බැල්මෙන් මිදෙනු නොහැකි විය. ඇත්ත වශයෙන්ම නම් ඔහුට ගූස්බෙරි වත්තට ඇතුළු වීමට කිසිම වුවමනාවක් තිබුණේ නැත. නමුත් ඒ බව නැන්දා විශ්වාස කිරීම ඔහුට වාසි සහගත වූ අතර ඒ නිසා ඇය හවස් වරුවෙන් වැඩි කොටසක් තමන්ම පවරා ගත් මුර රාජකාරිය ඉටු කරමින් පසු වූවාය. ඇයගේ සැකය මනා සේ තහවුරු කළ පසු නිකලස් නැවතත් නිවස තුළට රිංගාගෙන, කාලයක් තිස්සේ ඔහුගේ මනසේ පැල වී තිබුණු සැලසුමක් ක්‍රියාත්මක කළේය. නිවසේ පුස්තකාල කාමරයේ රාක්කයක් අසල පුටුවක් තබා ඊට නැඟුණු විට එහි එක්තරා තට්ටුවක් මත වූ මහත, වැදගත් පාටැති යතුරක් වෙත ළඟා විය හැකි විය. මේ යතුර එහි පෙනුම තරමටම වැදගත් විය. සුන්බුන් කාමරයට යාමට අවසර නැති අයගෙන් එහි අභිරහස් බව ආරක්ෂා කර, නැන්දලා වැනි වරප්‍රසාද ලත් අය වෙනුවෙන් ඒවා රැක දීම එහි රාජකාරිය විය. නිකලස්ට අගුල් තුළට යතුරු දමා කරකැවීමේ කලාව ප්‍රගුණ කර එතරම් අත්දැකීම් නොතිබුණි. නමුත් පසුගිය දවස් කීපය තිස්සෙම ඔහු පාඩම් කාමරයේ දොරෙහි යතුරත් අගුලත් සමඟ මෙය පුරුදු පුහුණු වෙමින් සිටියේ වාසනාවත්, අහම්බයත් ගැන ඔහුට එතරම් විශ්වාසයක් නොතිබුණු නිසාය. මේ යතුර අගුල තුළ කරකැවුණේ මඳක් දරදඬු ලෙස වූවත්, අගුල විවර විය. දොර ඇරුණු විට නිකලස් සිටියේ නුහුරු ලෝකයකය. මෙය හා සසඳද්දී ගූස්බෙරි වත්ත පිළුණු ලෞකික සතුටක් පමණක් බව ඔහුට හැඟිනි.

සුන්බුන් කාමරය කෙබඳු විය හැකිදැයි නිකලස් නිතර කල්පනා කර තිබිණි. කුඩා ළමුන්ගේ දෑස් වෙතින් ඒ පෙදෙස මහත් සේ සූක්ෂමව මුද්‍රා තබා තිබුණු අතර ඒ ගැන ඔවුන් ඇසූ ප්‍රශ්නවලටද පිළිතුරු ලැබුණේ නැත. ඒ කාමරය නිකලස් බලාපොරොත්තු වූ පරිදිම විය. විශාල අඳුරු කාමරයක් වූ එයට මඳ ආලෝකයක් හෝ ලැබුණේ ගෙවත්තේ තහනම් කොටස වෙත මුහුණලා උසකින් පිහිටා තිබුණු එහි එකම කවුළුවෙනි. මීට අමතරව එහි සිතාගන්නටත් නොහැකි තරමේ වස්තුව විය. නැන්දා යැයි කියාගන්නා තැනැත්තිය වැනි අය භාණ්ඩ පාවිච්චි කිරීමේදී ඒවා නාස්ති වන බවත් ඒවා ගබඩා කර දූවිලි සහ පුස් වැකෙන්නට ඉඩ හල විට රැකෙන බවත් විශ්වාස කළහ. නිවසේ සෙසු බොහෝ පෙදෙස් හිස්ව, දුක්බරව තිබෙණු නිකලස්ට දැක හුරුව තිබූ නමුත් මෙහි නම් දෑස සනසන විසිතුරු දේ රැසක් විය.

ඔහු මුලින්ම දුටුවේ ඝන තිරයක ඇඳ රාමු කරන ලද විසිතුරු චිත්‍රයකි. බැලූ බැල්මට එය ගිනි උදුනක් මුවා කිරීමට යොදාගත් ඉස්කිරිමක් බව පෙනුණත් නිකලස්ට නම් එය පණ ඇති, හුස්ම වැටෙන කතන්දරයක් විය. දූවිලි තට්ටුව යටින් විසිතුරු පාටින් දිලෙන ඉන්දියානු බිත්ති සැරසිලි ගොන්නක් මත වාඩි වූ ඔහු ඒ චිත්‍රයේ සියුම් විස්තර සියල්ලම දෑසින් උකහා ගත්තේය. පැරණි පන්නයේ ඇඳුම් ආයිත්තම් හැඳ සිටි පිරිමියෙක් විසින් ඊතලයකින් විද ගෝනෙක් බිම හෙලාගත් දර්ශනයක් එහි සිතුවම් කර තිබිණි. ගෝනා සිට ඇත්තේ මිනිසාට වඩා අඩි දෙක තුනක් ඈතින් බැවින් එසේ විදීම දුෂ්කර වූවා විය නොහැක. චිත්‍රයේ පසුබිමේ තිබුණු ඝනව වැඩුණු පඳුරු නිසා ඔහුට තණ උලා කමින් සිටි ගෝනෙක් වෙත රහසේම ළඟා වන්නට පහසු වන්නට ඇත. දඩයක්කරු අසල උඩ පනිමින් සිටින දඩ බල්ලන් දෙදෙනාට දුන්නෙන් ඊතලය මිදෙන තෙක් කීකරුව සිටින්නට පුහුණු කර තිබෙනවා විය හැක. චිත්‍රයේ මේ කොටස නම් සරල විය. නමුත් කැලය මැදින් මේ අතට දිව එන වෘකයන් හතර දෙනා නිකලස්ට දුටුවත් ඒ බව දඩයක්කාරයා දුටුවේද? ඇතැම්විට ගස් අතර සැඟවී මීට වඩා තවත් බොහෝ වෘකයන් සිටින්නට ඉඩ ඇත. කෙසේ වෙතත් මේ වෘකයන් සතර දෙනා වුව කඩා පැන්නොත් මිනිසාටත් ඔහුගේ බල්ලන් දෙදෙනාටත් ඔවුන් සමඟ සටන් කරනු හැකි වේවිද? ඔහුගේ හී කොපුවේ ඉතිරිවී තිබුනේ තවත් ඊතල දෙකක් පමණි. ඉන් එකක් හෝ දෙකම වුවත් ඉලක්කය මඟහරින්නට ඉඩ ඇත. දඩයක්කරුගේ හී විදීමේ හැකියාව ගැන අප දන්නා එකම කරුණ ඔහුට තමන්ට ඉතාම ආසන්නයේ ඇති ගෝනෙක් වෙත හී විදින්නට හැකි බව පමණි. මේ සිතුවමේ විය හැකි සිද්ධීන් කල්පනා කරමින් නිකලස් ඉතා වටිනා විනාඩි කිහිපයක් ගත කළේය. පෙනෙන්නට ඇති වෘකයන් සතර දෙනාට වඩා වැඩි ප්‍රමාණයක් ගස් අතර සැඟවී ඇති බවත් මිනිසාත් ඔහුගේ බල්ලන් දෙදෙනාත් අමාරුවේ වැටෙන්නට නියමිත බවත් අවසානයේදී ඔහු නිගමනය කළේය.


ඔහුගේ අවධානය සොරාගත් තවත් බොහෝ දේ සුන්බුන් කාමරයේ විය. සර්පයන්ගේ හැඩයෙන් යුතුව දඟර ගැසුණු අපූරු ඉටිපන්දම් රඳවන එහි තිබිණි. තාරාවෙක්ගේ හැඩයෙන් යුත් පිඟන් මැටි තේ පෝච්චියක් එහි වූ අතර එහි තේ වෑස්සෙන්නට නියමිතව තිබුණේ තාරාවාගේ හොටයෙනි. එය හා සසඳද්දී ඔවුන්ගේ කාමරයේ තිබුණු තේ පෝච්චිය මහත් නීරස, කිසිම හැඩයක් නැති එකක් බව ඔහුට සිතුණි. කැටයම් කරන ලද සඳුන් ලීයෙන් නිම කළ පෙට්ටියක් විවර කළ විට ඔහු දුටුවේ සුවඳවත් පුළුන් කැබලි අතර අසුරා තිබුණු කුඩා පිත්තල රූප රැසකි. දකින්නටත්, අල්ලා බැලීමටත් ප්‍රියජනක වූ මොල්ලිය සහිත ගොනුන්, මොණරුන් සහ බහිරවයන්ගේ රූ මෙහි විය. මේ තරම් විසිතුරු බවක් නොමැති කළු පැහැති කවරයක් සහිත හතරැස් පොතක්ද මෙහි තිබුණි. නිකලස් එයට එබී බැලූ විට දුටුවේ එය පක්ෂීන්ගේ අලංකාර වෛවර්ණ පින්තූරවලින් පිරී තිබුණු බවයි. ඒ තරම් විචිත්‍රවත් පක්ෂීන් රැසක්! නිවසේ ගෙවත්තෙත්, ඉන් පිටත ඇවිදින්නට යද්දීත් නිකලස් පක්ෂීන් කිහිප දෙනෙක් දැක තිබිණි. මේ අතරින් විශාලම උන් වූයේ ඉඳහිට දකින මැග්පයි කුරුල්ලෙක් හෝ කැලෑ පරෙවියෙක් පමණි. නමුත් හීනෙන් පවා මවාගනු නොහැකි වර්ග වල කොකුන්, රාජාලියන්, කෑදැත්තන්, අයිබිස් කුරුල්ලන් වැනි පක්ෂීන් රැසකගේ රූ මේ පොතේ විය. එහි තිබූ මැන්ඩරින් තාරාවාගේ පැහැයන් දෙස ආසාවෙන් බලමින් උගේ ජීවිත කතාව මවාගනිමින් සිටිද්දී ගූස්බෙරි වත්තේ සිට ඔහුගේ නම කියා කෑ ගසන නැන්දාගේ හඬ නිකලස්ට ඇසුණි. ඔහු දීර්ඝ ලෙස අතුරුදන්ව සිටීම ගැන සැක සිතා තිබුණු නැන්දා, ඔහු ලිලැක් පඳුරු ගොල්ලට මුවාවී තාප්පයෙන් පැන වත්තට ඇතුළු වන්නට ඇතැයි නිගමනය කර තිබිණි. දැන් ඇය මහත් උද්යෝගයෙන් නමුත් ඉතා අසාර්ථක ලෙස ආටිචෝක් පඳුරු සහ රාස්බෙරී ගාල් අතර ඔහුව සොයමින් සිටියාය.

"නිකලස්, නිකලස්!" ඈ කෑ ගැසුවාය. "වහාම එළියට එන්නයි කීවේ. හැංගිලා වැඩක් නැහැ මට ඔයාව පේනවා."

සුන්බුන් කාමරය තුළ අවුරුදු විස්සකට පමණ පසු සිනාවක් පහළ විය.

ටික වෙලාවක් යද්දී නිකලස්ගේ නම කියා කෝපයෙන් කෑ ගැසූ හඬ උදවු ඉල්ලා දුන් ලතෝනියක් බවට පත්විය. නිකලස් පොත වසා දමා, එය තිබුණු මුල්ලෙන්ම නැවත තබා, අසල තිබුණු පුවත්පත් මිටියකින් ඒ මතට දූවිලි ටිකක් ගසා දැම්මේය. ඉන්පසු හොර රහසේම කාමරයෙන් පිට වූ ඔහු, දොර අගුලු ලා, යතුර තිබුණු තැනින්ම තැබුවේය. ඔහු ගෙවත්තට යද්දීත් නැන්දා ඔහුගේ නම කියා කෑ ගසමින් සිටියේය.

"කවුද ඔතැන?" ඔහු ඇසීය

"මේ මම," තාප්පයෙන් අනෙත් පසින් හඬක් නැඟිණි. "මම කතා කරනවා ඇහුණේ නැද්ද? මම ඔයාව ගූස්බෙරි වත්තේ හොයද්දි මාව ලිස්සලා ගිහින් මේ වැහි වතුර ටැංකියට වැටුණා. හොඳ වෙලාවට ඒකෙ වතුර නැහැ. ඒත් ඒකෙ පැතිවල දිය සෙවෙල් බැඳිලා ලිස්සන නිසා මට එළියට එන්න බැහැ. ගිහින් අර චෙරි ගහ යට තියෙන ඉනිමග ගේන්න.--"

"මට කියලා තියෙන්නේ ගූස්බෙරි වත්තට යන්න එපා කියලා," නිකලස් වහාම කීය.

"මමනේ එපා කීවේ, දැන් මම කියනවා කමක් නැහැ කියලා," වැහි වතුර ටැංකියේ සිට නැඟුණු හඬේ නොරිස්සුම ගැබ්ව තිබිණි.

"ඔයාගේ කටහඬ නැන්දාගේ වගේ නෙමෙයි," නිකලස් ඊට එරෙහි වෙමින් කීවේය. "සමහරවිට ඔයා මාව නරක වැඩට පොළඹවන යක්ෂයාද දන්නෙත් නැහැ. නැන්දා මට නිතරම කියනවා යක්ෂයා මාව පොළඹගන්න හදනවා, මම හැම තිස්සෙම ඒවාට අහුවෙනවා කියලා. මේ සැරේ නම් මම අහුවෙන්නේ නැහැ."

"විකාර කියන්න එපා," ටැංකියේ සිරකාරිය කීවාය. "ගිහින් ඉනිමග අරගෙන එන්න."

"අද හවස තේ බොද්දි ස්ට්‍රෝබෙරි ජෑම් තියෙයිද?" නිකලස් අහිංසක ලෙස ඇසුවේය.

"අනිවාර්යයෙන් තියෙනවා." නැන්දා කීවේ නිකල්ස්ට නම් ඉන් බිඳක්වත් නොදෙන්නට ඉටා ගනිමිනි.

"හා හා ..මම දැන් දන්නවා ඔයා යක්ෂයා තමයි, නැන්දා නෙමෙයි කියලා," නිකලස් සතුටින් කෑ ගැසුවේය. "අපි ඊයේ නැන්දාගෙන් ස්ට්‍රෝබෙරි ජෑම් ඉල්ලුවාම එයා කීවා ඒවා ඉවරයි කියලා. ගබඩාවේ ස්ට්‍රෝබෙරි ජෑම් බෝතල් හතරක් තියෙනවා. මම බැලුව නිසායි දන්නේ, ඔයාත් අනිවාර්යයෙන් දන්නවා. ඒත් නැන්දා දන්නේ නැහැ, මොකද එයා කිව්වානේ ඒවා ඉවරයි කියලා. අනේ යක්ෂයෝ උඹ මේ සැරේ නම් හොඳටම අහුවුණා!"

නැන්දාට යක්ෂයාට කතා කරන ලෙසින් ඇමතීමේ අමුතුම රසවත් බවක් තිබුණද එය වුවමනාවට වඩා විඳීම සුදුසු නැති බව නිකලස්ගේ ළමා බුද්ධියට වැටහිණි. ඒ නිසා ඔහු ශබ්ද නඟමින් එතැනින් ඉවත්ව ගියේය. නැන්දාව වැහි වතුර ටැංකියෙන් ගොඩට ගනු ලැබුවේ ඊට ටික වෙලාවකට පසු පාස්ලි කඩන්නට ගූස්බෙරි වත්තට පැමිණි මුළුතැන්ගෙහි සේවිකාවක් විසිනි.

එදින හවස තේ මේසයේ බියකරු නිහඬ බවක් පැතිරිණි. සෙසු දරුවන් ජැග්බරෝහි මුහුදු වෙරළට යද්දී මුහුදේ වඩදිය ඉහළම මට්ටමේ එළඹී තිබුණු නිසා ඔවුන්ට සෙල්ලම් කිරීමට වැලි තීරුවක් ඉතිරිව තිබී නැත. නිකලස්ට දඬුවමක් දීමට සෙස්සන්ට මේ චාරිකාව හදිසියේ සූදානම් කරද්දී නැන්දාට මේ කරුණ අමතකව තිබිණි. බොබීගේ පාවහන් දෙක ඔහුගේ දෙපා රිදවූ නිසා ඔහු මුළු සවස් වරුවම ගතකර තිබුණේ නොරිස්සුමෙන් සහ කේන්තියෙනි. පොදුවේ ගත් කල ඔවුන් ඒ හවස් වරුව විනෝද වී නැත. අසාධාරණ ලෙස විනාඩි තිස් පහක් වැහි වතුර ටැංකියක සිරකරනු ලැබූවෙක් වශයෙන් නැන්දා තේ මේසයේදී දරදඬු නිහඬ බවක් රැක්කාය. නිකලස් ද නිහඬව සිටියත් ඒ ඔහුට සිතීමට බොහෝ දේ තිබුණු බැවිනි. වෘකයන් රැස විසින් දඩයම් කරන ලද ගෝනා ආහාරයට ගන්නා අතරතුරේදී දඩයක්කාරයාටත් ඔහුගේ දඩ බල්ලන් දෙදෙනාටත් දිවි ගලවාගන්නට ඉඩ ඇතැයි ඔහුට සිතිණි.

- පරිවර්තනය හෙල්මලී ගුණතිලක


Painting by Alpini Gionatan

June 21, 2021

මීදුම් කවි

ඇතැම් දින ඇත
දම් පැහැති දුර කඳුද නොපෙනෙන
මුදු කුරුළු මිමිණුම්ද නොඇසෙන
කවුළුවෙන් ඔබ්බෙහි
තරුණ තුරු හිස් මත
එකම හිරු බිඳුවක්ද නොරැඳෙන
 
එවන් දිනවල
බිඳක් තාවර වී
කවුළු වීදුරුවේ
තබමි සීතල කොපුලත

අත ළඟ සේම දැවටෙන
සිත ප්‍රමෝදය අවුලන
දැනෙනමුත් නොදැනෙන
මේ මීදුමත් ඔබමය

 

Photo- misty day in Burwood, Melbourne