June 29, 2021

සුන්බුන් කාමරය

Translation of the short story ‘Lumber Room’ by Saki



එදා දරුවන්ව ජැග්බරෝහි මුහුදු වෙරළට රැගෙන යන්නට නියමිතව තිබුණේ ඔවුන්ට විශේෂ වරප්‍රසාදයක් වශයෙනි. නිකලස් මේ කණ්ඩායමට අයත් නොවූයේ ඔහු අපකීර්තියට පත්ව සිටි නිසාය. එදින උදෑසන ඔහු පාන් සහ කිරි වලින් සැදුණු තම ගුණදායක උදෑසන ආහාර වේල කෑමට ප්‍රතික්ෂේප කළේ එහි ගෙම්බෙක් ඇතැයි යන කිසිම පදනමක් නැති අදහස ඉදිරිපත් කරමිනි. ඔහුගේ කෑම බඳුනේ කිසිසේත්ම ගෙම්බෙක් සිටිය නොහැකි බවත්, විකාර දෙඩවීමෙන් වැළකිය යුතු බවත් ඔහුට වඩා වයසින් සහ නුවණින් වැඩි අය ඔහුට කීහ. එනමුත් ඔහු නොකඩවා මේ විකාරයම කියන්නට වූ අතර ඉන් නොනැවතී පෙරකී ගෙම්බාගේ පාට සහ සමේ සූක්ෂම සලකුණුද විස්තර කරන්නට විය. මෙහිදී වඩාත්ම පුදුම සහගත සිදුවීම වූයේ නිකලස්ගේ පාන්- සහ - කිරි බඳුනේ ඇත්තටම ගෙම්බෙක් සිටීමයි. ඌව එහි දමනු ලද්දේ ඔහුම බැවින් උගේ හැඩරුව හොඳින් දැන සිටීමට ඔහුට අයිතියක් තිබිණි. ඉනික්බිති ඉතාම ගුණදායක උදෑසන ආහාර වේලක් සහිත බඳුනකට ගෙවත්තෙන් ගෙම්බෙක් ගෙනැවිත් දැමීමේ පාපය ගැන දීර්ඝ වශයෙන් විග්‍රහ කෙරුණි. නමුත් නිකලස්ට නම් මේ සිදුවීමේ කැපී පෙනෙන සාධකය වූයේ ඔහුට වඩා වයසින් සහ නුවණින් වැඩි අය මහත් ආත්ම විශ්වාසයෙන්, සහතික කර කී දේ බරපතල ලෙස වැරදී තිබීමයි.

"ඔයාලා කීවා මගේ පානුයි කිරියි තියෙන භාජනේ ගෙම්බෙක් ඉන්න විදිහක් නැහැ කියලා; ඒත් ඒකෙ ගෙම්බෙක් හිටියා," ඔහු තමන්ගේ නිවැරදි මතය වෙනස් කරන්නට අකමැති දක්ෂ තර්ක ශිල්පියෙක් ලෙස නොකඩවා කියමින් සිටියේය.

නිකලස්ගේ ඥාති සොයුරාත්, සොයුරියත්, කිසිම වැදගැම්මකට නැති බාල සොහොයුරාත් එදින හවස් වරුවේදී ජැග්බරෝහි මුහුදු වෙරළට රැගෙන යාමට නියමිතව වූ අතර ඔහු නිවසේ රැඳී සිටිය යුතු විය. ඔහුගේ ඥාති සොයුරාගේත්, සොයුරියගේත් නැන්දා විසින් තමන් ඔහුගේත් නැන්දා බවට අනවශ්‍ය පරිකල්පනයකින් නිගමනය කර තිබිණි. උදේ කෑම මේසයේදී නිකලස්ගේ අවිනීත හැසිරීම නිසා ඔහුට අහිමි වූ වරප්‍රසාද උලුප්පා දැක්වීම සඳහා ඇය හදිසියේම මේ ජැග්බරෝ ගමන සූදානම් කළාය. ළමුන්ගෙන් කෙනෙක් දඟ කර දඬුවම් ලැබූ විට ඔහු හෝ ඇය හැර සෙස්සන්ට සහභාගී විය හැකි උත්කර්ෂවත් යමක් සූදානම් කිරීම ඇයගේ පුරුද්ද විය. ළමුන් සියලු දෙනාම එක්ව දඟ වැඩක් කරනු ලද නම් අහල පහල නගරයක පැවැත්වෙන සර්කස් සංදර්ශනයක් ගැන ඔවුන්ට දැනුම් දෙනු ලැබීය. ඔවුන් දඟ නොකර සිටියා නම් මින් පෙර කිසි කලක නොදුටු තරමේ විසිතුරු වූත්, ගණනය කළ නොහැකි තරමට අලි සංඛ්‍යාවක් සිටියාවූත් මේ සංදර්ශනයට පසුදාම යන්නට තිබුණු අවස්ථාව ඔවුන්ට අහිමි වූ බව දැනුම් දෙන ලදී.

මුහුදු වෙරළට යන කණ්ඩායම පිටත්වෙද්දී, ඒ ගමන අහිමි වූ නිකලස් විසින් අවස්ථාවට ඔබින ලෙස කඳුළු කැට කිහිපයක් වගුරවනු ඇතැයි අපේක්ෂාවක් තිබිණි. නමුත් දඩි බිඩියේ අස් රියට නගිද්දී දරුණු ලෙස දණහිස සීරුණු බැවින් සියලු හැඬීම් නිකුත් වූයේ ඔහුගේ ඥාති සොයුරියගෙනි. අපේක්ෂිත සතුට හෝ ප්‍රමෝදය නොපෙන්නා පිටත්ව යන ඔවුන් දෙස බලා, "අරයා හූ කිය කියා ඇඬුව තරමක්," යැයි නිකලස් සතුටින් කීවේය.

"එයාට ඉක්මණින්ම ඒක අමතක වෙයි." තමන්ට නැන්දායැයි කියාගන්නා තැනැත්තිය කීවාය. "මේ බොහොම ලස්සන හවස් වරුවේ ඒ කට්ටිය වෙරළේ දුවමින් හොඳට සතුටු වේවි."

"බොබී නම් වැඩිය සතුටු වෙන එකක් නැහැ, එයා වැඩිය දුවන එකකුත් නැහැ," නිකලස් කෘර ලෙස හිනැහෙමින් කීවේය. "එයාගේ බූට්ස් දෙක තද වැඩියි, එයාගේ කකුල් රිදෙනවා."

"එයා මට කියන්න ඕනනේ ඒ බව, ඇයි මට නොකීවේ?" නැන්දා රළු හඬින් ඇසුවාය.

"එයා ඔයාට දෙසැරයක් කිව්වා, ඔයා අහගෙන හිටියේ නැහැ. ඔයා වැදගත් දේවල් අහගෙන ඉන්නේ නැහැ."

"ඔයාට ගූස්බෙරි වත්තට යන්න තහනම්," නැන්දා මාතෘකාව වෙනස් කරමින් කීවාය.

"ඇයි බැරි?" නිකලස් ප්‍රශ්න කළේය.

"ඔයා දඬුවමක් ලබමින් ඉන්න නිසා," නැන්දා උඩඟු ලෙස කීවාය.

නිකලස් මේ තර්කයේ අඩුපාඩු පෙන්වා දීමට මහන්සි වූයේ නැත. දඬුවම් ලබමින් සිටින අතරතුරේදීම ගූස්බෙරි වත්තට යන්නට ඔහුට හොඳහැටි හැකියාව තිබුණි. ඔහුගේ මුහුණේ දිස් වූයේ තදබල මුරණ්ඩු පෙනුමකි. "මම මෙයාට ගූස්බෙරි වත්තට යන්න තහනම් කළ නිසාම එයාට ඒකට යන්න වුවමනා වෙලා." නැන්දා තමාටම කියාගත්තාය.

ගූස්බෙරි වත්තට ඇතුළු විය හැකි ගේට්ටු දෙකක් විය. නිකලස් වැනි කුඩා දරුවෙක් එයට ඇතුළු වුවහොත් එහි ඇති ආටිචෝක් පඳුරු, රාස්බෙරි ගාල් සහ පළතුරු ගස් අතර ඉතා සාර්ථක ලෙස අතුරුදහන් වන්නට ඉඩ තිබිණි. ඒ හවස්වරුවේ නැන්දාට කරන්නට දහසක් වැඩ තිබුණත් ඈ නොවැදගත් දේ කරමින්, ගෙවත්තේ මල් පාත්ති සහ පඳුරු අසල ගැවසෙමින්, තහනම් පාරාදීසයට යන්නට ඇති ගේට්ටු දෙක වෙත නෙත් යොමාගෙන සිටියාය. ඇයට විචිත්‍රවත් පරිකල්පනයක් නොතිබුණත් තදින් අවධානය යොමු කිරීමේ හැකියාවක් තිබිණි.

නිකලස් වරක් දෙවරක් හොරගල් අහුලමින් නිවස ඉදිරිපස ගෙවත්තට ගියේය. ගූස්බෙරි වත්තට යන දොරටු වෙත යන බවක් පෙන්වමින් ඒ දෙසට ගියත් ඔහුට නැන්දාගේ පරීක්ෂාකාරී බැල්මෙන් මිදෙනු නොහැකි විය. ඇත්ත වශයෙන්ම නම් ඔහුට ගූස්බෙරි වත්තට ඇතුළු වීමට කිසිම වුවමනාවක් තිබුණේ නැත. නමුත් ඒ බව නැන්දා විශ්වාස කිරීම ඔහුට වාසි සහගත වූ අතර ඒ නිසා ඇය හවස් වරුවෙන් වැඩි කොටසක් තමන්ම පවරා ගත් මුර රාජකාරිය ඉටු කරමින් පසු වූවාය. ඇයගේ සැකය මනා සේ තහවුරු කළ පසු නිකලස් නැවතත් නිවස තුළට රිංගාගෙන, කාලයක් තිස්සේ ඔහුගේ මනසේ පැල වී තිබුණු සැලසුමක් ක්‍රියාත්මක කළේය. නිවසේ පුස්තකාල කාමරයේ රාක්කයක් අසල පුටුවක් තබා ඊට නැඟුණු විට එහි එක්තරා තට්ටුවක් මත වූ මහත, වැදගත් පාටැති යතුරක් වෙත ළඟා විය හැකි විය. මේ යතුර එහි පෙනුම තරමටම වැදගත් විය. සුන්බුන් කාමරයට යාමට අවසර නැති අයගෙන් එහි අභිරහස් බව ආරක්ෂා කර, නැන්දලා වැනි වරප්‍රසාද ලත් අය වෙනුවෙන් ඒවා රැක දීම එහි රාජකාරිය විය. නිකලස්ට අගුල් තුළට යතුරු දමා කරකැවීමේ කලාව ප්‍රගුණ කර එතරම් අත්දැකීම් නොතිබුණි. නමුත් පසුගිය දවස් කීපය තිස්සෙම ඔහු පාඩම් කාමරයේ දොරෙහි යතුරත් අගුලත් සමඟ මෙය පුරුදු පුහුණු වෙමින් සිටියේ වාසනාවත්, අහම්බයත් ගැන ඔහුට එතරම් විශ්වාසයක් නොතිබුණු නිසාය. මේ යතුර අගුල තුළ කරකැවුණේ මඳක් දරදඬු ලෙස වූවත්, අගුල විවර විය. දොර ඇරුණු විට නිකලස් සිටියේ නුහුරු ලෝකයකය. මෙය හා සසඳද්දී ගූස්බෙරි වත්ත පිළුණු ලෞකික සතුටක් පමණක් බව ඔහුට හැඟිනි.

සුන්බුන් කාමරය කෙබඳු විය හැකිදැයි නිකලස් නිතර කල්පනා කර තිබිණි. කුඩා ළමුන්ගේ දෑස් වෙතින් ඒ පෙදෙස මහත් සේ සූක්ෂමව මුද්‍රා තබා තිබුණු අතර ඒ ගැන ඔවුන් ඇසූ ප්‍රශ්නවලටද පිළිතුරු ලැබුණේ නැත. ඒ කාමරය නිකලස් බලාපොරොත්තු වූ පරිදිම විය. විශාල අඳුරු කාමරයක් වූ එයට මඳ ආලෝකයක් හෝ ලැබුණේ ගෙවත්තේ තහනම් කොටස වෙත මුහුණලා උසකින් පිහිටා තිබුණු එහි එකම කවුළුවෙනි. මීට අමතරව එහි සිතාගන්නටත් නොහැකි තරමේ වස්තුව විය. නැන්දා යැයි කියාගන්නා තැනැත්තිය වැනි අය භාණ්ඩ පාවිච්චි කිරීමේදී ඒවා නාස්ති වන බවත් ඒවා ගබඩා කර දූවිලි සහ පුස් වැකෙන්නට ඉඩ හල විට රැකෙන බවත් විශ්වාස කළහ. නිවසේ සෙසු බොහෝ පෙදෙස් හිස්ව, දුක්බරව තිබෙණු නිකලස්ට දැක හුරුව තිබූ නමුත් මෙහි නම් දෑස සනසන විසිතුරු දේ රැසක් විය.

ඔහු මුලින්ම දුටුවේ ඝන තිරයක ඇඳ රාමු කරන ලද විසිතුරු චිත්‍රයකි. බැලූ බැල්මට එය ගිනි උදුනක් මුවා කිරීමට යොදාගත් ඉස්කිරිමක් බව පෙනුණත් නිකලස්ට නම් එය පණ ඇති, හුස්ම වැටෙන කතන්දරයක් විය. දූවිලි තට්ටුව යටින් විසිතුරු පාටින් දිලෙන ඉන්දියානු බිත්ති සැරසිලි ගොන්නක් මත වාඩි වූ ඔහු ඒ චිත්‍රයේ සියුම් විස්තර සියල්ලම දෑසින් උකහා ගත්තේය. පැරණි පන්නයේ ඇඳුම් ආයිත්තම් හැඳ සිටි පිරිමියෙක් විසින් ඊතලයකින් විද ගෝනෙක් බිම හෙලාගත් දර්ශනයක් එහි සිතුවම් කර තිබිණි. ගෝනා සිට ඇත්තේ මිනිසාට වඩා අඩි දෙක තුනක් ඈතින් බැවින් එසේ විදීම දුෂ්කර වූවා විය නොහැක. චිත්‍රයේ පසුබිමේ තිබුණු ඝනව වැඩුණු පඳුරු නිසා ඔහුට තණ උලා කමින් සිටි ගෝනෙක් වෙත රහසේම ළඟා වන්නට පහසු වන්නට ඇත. දඩයක්කරු අසල උඩ පනිමින් සිටින දඩ බල්ලන් දෙදෙනාට දුන්නෙන් ඊතලය මිදෙන තෙක් කීකරුව සිටින්නට පුහුණු කර තිබෙනවා විය හැක. චිත්‍රයේ මේ කොටස නම් සරල විය. නමුත් කැලය මැදින් මේ අතට දිව එන වෘකයන් හතර දෙනා නිකලස්ට දුටුවත් ඒ බව දඩයක්කාරයා දුටුවේද? ඇතැම්විට ගස් අතර සැඟවී මීට වඩා තවත් බොහෝ වෘකයන් සිටින්නට ඉඩ ඇත. කෙසේ වෙතත් මේ වෘකයන් සතර දෙනා වුව කඩා පැන්නොත් මිනිසාටත් ඔහුගේ බල්ලන් දෙදෙනාටත් ඔවුන් සමඟ සටන් කරනු හැකි වේවිද? ඔහුගේ හී කොපුවේ ඉතිරිවී තිබුනේ තවත් ඊතල දෙකක් පමණි. ඉන් එකක් හෝ දෙකම වුවත් ඉලක්කය මඟහරින්නට ඉඩ ඇත. දඩයක්කරුගේ හී විදීමේ හැකියාව ගැන අප දන්නා එකම කරුණ ඔහුට තමන්ට ඉතාම ආසන්නයේ ඇති ගෝනෙක් වෙත හී විදින්නට හැකි බව පමණි. මේ සිතුවමේ විය හැකි සිද්ධීන් කල්පනා කරමින් නිකලස් ඉතා වටිනා විනාඩි කිහිපයක් ගත කළේය. පෙනෙන්නට ඇති වෘකයන් සතර දෙනාට වඩා වැඩි ප්‍රමාණයක් ගස් අතර සැඟවී ඇති බවත් මිනිසාත් ඔහුගේ බල්ලන් දෙදෙනාත් අමාරුවේ වැටෙන්නට නියමිත බවත් අවසානයේදී ඔහු නිගමනය කළේය.


ඔහුගේ අවධානය සොරාගත් තවත් බොහෝ දේ සුන්බුන් කාමරයේ විය. සර්පයන්ගේ හැඩයෙන් යුතුව දඟර ගැසුණු අපූරු ඉටිපන්දම් රඳවන එහි තිබිණි. තාරාවෙක්ගේ හැඩයෙන් යුත් පිඟන් මැටි තේ පෝච්චියක් එහි වූ අතර එහි තේ වෑස්සෙන්නට නියමිතව තිබුණේ තාරාවාගේ හොටයෙනි. එය හා සසඳද්දී ඔවුන්ගේ කාමරයේ තිබුණු තේ පෝච්චිය මහත් නීරස, කිසිම හැඩයක් නැති එකක් බව ඔහුට සිතුණි. කැටයම් කරන ලද සඳුන් ලීයෙන් නිම කළ පෙට්ටියක් විවර කළ විට ඔහු දුටුවේ සුවඳවත් පුළුන් කැබලි අතර අසුරා තිබුණු කුඩා පිත්තල රූප රැසකි. දකින්නටත්, අල්ලා බැලීමටත් ප්‍රියජනක වූ මොල්ලිය සහිත ගොනුන්, මොණරුන් සහ බහිරවයන්ගේ රූ මෙහි විය. මේ තරම් විසිතුරු බවක් නොමැති කළු පැහැති කවරයක් සහිත හතරැස් පොතක්ද මෙහි තිබුණි. නිකලස් එයට එබී බැලූ විට දුටුවේ එය පක්ෂීන්ගේ අලංකාර වෛවර්ණ පින්තූරවලින් පිරී තිබුණු බවයි. ඒ තරම් විචිත්‍රවත් පක්ෂීන් රැසක්! නිවසේ ගෙවත්තෙත්, ඉන් පිටත ඇවිදින්නට යද්දීත් නිකලස් පක්ෂීන් කිහිප දෙනෙක් දැක තිබිණි. මේ අතරින් විශාලම උන් වූයේ ඉඳහිට දකින මැග්පයි කුරුල්ලෙක් හෝ කැලෑ පරෙවියෙක් පමණි. නමුත් හීනෙන් පවා මවාගනු නොහැකි වර්ග වල කොකුන්, රාජාලියන්, කෑදැත්තන්, අයිබිස් කුරුල්ලන් වැනි පක්ෂීන් රැසකගේ රූ මේ පොතේ විය. එහි තිබූ මැන්ඩරින් තාරාවාගේ පැහැයන් දෙස ආසාවෙන් බලමින් උගේ ජීවිත කතාව මවාගනිමින් සිටිද්දී ගූස්බෙරි වත්තේ සිට ඔහුගේ නම කියා කෑ ගසන නැන්දාගේ හඬ නිකලස්ට ඇසුණි. ඔහු දීර්ඝ ලෙස අතුරුදන්ව සිටීම ගැන සැක සිතා තිබුණු නැන්දා, ඔහු ලිලැක් පඳුරු ගොල්ලට මුවාවී තාප්පයෙන් පැන වත්තට ඇතුළු වන්නට ඇතැයි නිගමනය කර තිබිණි. දැන් ඇය මහත් උද්යෝගයෙන් නමුත් ඉතා අසාර්ථක ලෙස ආටිචෝක් පඳුරු සහ රාස්බෙරී ගාල් අතර ඔහුව සොයමින් සිටියාය.

"නිකලස්, නිකලස්!" ඈ කෑ ගැසුවාය. "වහාම එළියට එන්නයි කීවේ. හැංගිලා වැඩක් නැහැ මට ඔයාව පේනවා."

සුන්බුන් කාමරය තුළ අවුරුදු විස්සකට පමණ පසු සිනාවක් පහළ විය.

ටික වෙලාවක් යද්දී නිකලස්ගේ නම කියා කෝපයෙන් කෑ ගැසූ හඬ උදවු ඉල්ලා දුන් ලතෝනියක් බවට පත්විය. නිකලස් පොත වසා දමා, එය තිබුණු මුල්ලෙන්ම නැවත තබා, අසල තිබුණු පුවත්පත් මිටියකින් ඒ මතට දූවිලි ටිකක් ගසා දැම්මේය. ඉන්පසු හොර රහසේම කාමරයෙන් පිට වූ ඔහු, දොර අගුලු ලා, යතුර තිබුණු තැනින්ම තැබුවේය. ඔහු ගෙවත්තට යද්දීත් නැන්දා ඔහුගේ නම කියා කෑ ගසමින් සිටියේය.

"කවුද ඔතැන?" ඔහු ඇසීය

"මේ මම," තාප්පයෙන් අනෙත් පසින් හඬක් නැඟිණි. "මම කතා කරනවා ඇහුණේ නැද්ද? මම ඔයාව ගූස්බෙරි වත්තේ හොයද්දි මාව ලිස්සලා ගිහින් මේ වැහි වතුර ටැංකියට වැටුණා. හොඳ වෙලාවට ඒකෙ වතුර නැහැ. ඒත් ඒකෙ පැතිවල දිය සෙවෙල් බැඳිලා ලිස්සන නිසා මට එළියට එන්න බැහැ. ගිහින් අර චෙරි ගහ යට තියෙන ඉනිමග ගේන්න.--"

"මට කියලා තියෙන්නේ ගූස්බෙරි වත්තට යන්න එපා කියලා," නිකලස් වහාම කීය.

"මමනේ එපා කීවේ, දැන් මම කියනවා කමක් නැහැ කියලා," වැහි වතුර ටැංකියේ සිට නැඟුණු හඬේ නොරිස්සුම ගැබ්ව තිබිණි.

"ඔයාගේ කටහඬ නැන්දාගේ වගේ නෙමෙයි," නිකලස් ඊට එරෙහි වෙමින් කීවේය. "සමහරවිට ඔයා මාව නරක වැඩට පොළඹවන යක්ෂයාද දන්නෙත් නැහැ. නැන්දා මට නිතරම කියනවා යක්ෂයා මාව පොළඹගන්න හදනවා, මම හැම තිස්සෙම ඒවාට අහුවෙනවා කියලා. මේ සැරේ නම් මම අහුවෙන්නේ නැහැ."

"විකාර කියන්න එපා," ටැංකියේ සිරකාරිය කීවාය. "ගිහින් ඉනිමග අරගෙන එන්න."

"අද හවස තේ බොද්දි ස්ට්‍රෝබෙරි ජෑම් තියෙයිද?" නිකලස් අහිංසක ලෙස ඇසුවේය.

"අනිවාර්යයෙන් තියෙනවා." නැන්දා කීවේ නිකල්ස්ට නම් ඉන් බිඳක්වත් නොදෙන්නට ඉටා ගනිමිනි.

"හා හා ..මම දැන් දන්නවා ඔයා යක්ෂයා තමයි, නැන්දා නෙමෙයි කියලා," නිකලස් සතුටින් කෑ ගැසුවේය. "අපි ඊයේ නැන්දාගෙන් ස්ට්‍රෝබෙරි ජෑම් ඉල්ලුවාම එයා කීවා ඒවා ඉවරයි කියලා. ගබඩාවේ ස්ට්‍රෝබෙරි ජෑම් බෝතල් හතරක් තියෙනවා. මම බැලුව නිසායි දන්නේ, ඔයාත් අනිවාර්යයෙන් දන්නවා. ඒත් නැන්දා දන්නේ නැහැ, මොකද එයා කිව්වානේ ඒවා ඉවරයි කියලා. අනේ යක්ෂයෝ උඹ මේ සැරේ නම් හොඳටම අහුවුණා!"

නැන්දාට යක්ෂයාට කතා කරන ලෙසින් ඇමතීමේ අමුතුම රසවත් බවක් තිබුණද එය වුවමනාවට වඩා විඳීම සුදුසු නැති බව නිකලස්ගේ ළමා බුද්ධියට වැටහිණි. ඒ නිසා ඔහු ශබ්ද නඟමින් එතැනින් ඉවත්ව ගියේය. නැන්දාව වැහි වතුර ටැංකියෙන් ගොඩට ගනු ලැබුවේ ඊට ටික වෙලාවකට පසු පාස්ලි කඩන්නට ගූස්බෙරි වත්තට පැමිණි මුළුතැන්ගෙහි සේවිකාවක් විසිනි.

එදින හවස තේ මේසයේ බියකරු නිහඬ බවක් පැතිරිණි. සෙසු දරුවන් ජැග්බරෝහි මුහුදු වෙරළට යද්දී මුහුදේ වඩදිය ඉහළම මට්ටමේ එළඹී තිබුණු නිසා ඔවුන්ට සෙල්ලම් කිරීමට වැලි තීරුවක් ඉතිරිව තිබී නැත. නිකලස්ට දඬුවමක් දීමට සෙස්සන්ට මේ චාරිකාව හදිසියේ සූදානම් කරද්දී නැන්දාට මේ කරුණ අමතකව තිබිණි. බොබීගේ පාවහන් දෙක ඔහුගේ දෙපා රිදවූ නිසා ඔහු මුළු සවස් වරුවම ගතකර තිබුණේ නොරිස්සුමෙන් සහ කේන්තියෙනි. පොදුවේ ගත් කල ඔවුන් ඒ හවස් වරුව විනෝද වී නැත. අසාධාරණ ලෙස විනාඩි තිස් පහක් වැහි වතුර ටැංකියක සිරකරනු ලැබූවෙක් වශයෙන් නැන්දා තේ මේසයේදී දරදඬු නිහඬ බවක් රැක්කාය. නිකලස් ද නිහඬව සිටියත් ඒ ඔහුට සිතීමට බොහෝ දේ තිබුණු බැවිනි. වෘකයන් රැස විසින් දඩයම් කරන ලද ගෝනා ආහාරයට ගන්නා අතරතුරේදී දඩයක්කාරයාටත් ඔහුගේ දඩ බල්ලන් දෙදෙනාටත් දිවි ගලවාගන්නට ඉඩ ඇතැයි ඔහුට සිතිණි.

- පරිවර්තනය හෙල්මලී ගුණතිලක


Painting by Alpini Gionatan

1 comment:

  1. පරිවර්තන නිර්මාණ සමග ලේඛකයා පිළිබඳ කෙටි හැඳින්වීමක් ද ඇත්නම් කියවන්නාට ප්‍රයෝජනවත් වේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...