July 17, 2021

අටේ පන්තියේ සෛල පාඩම

අපි සෛලයක ව්‍යුහය ඉගෙනගත්තේ ඉස්කෝලේ නමය දහය පන්තිවල වගෙයි මතක. ඒක මම ඒ දවස්වල බොහොම ආසාවෙන් ඉගෙනගත්ත පාඩමක්. ඒත් දැන් නම් ඒ කිසිම දෙයක් මතක නැහැ. ඒ මම සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ විද්‍යා විෂයන් නොකළ නිසා වෙන්නත් පුළුවන්.

මම ආයෙත් වතාවක් සෛලයක ව්‍යුහය පාඩමක් දැක්කේ මගේ පුතා ඒක ඉගෙනගනිද්දී. අටේ පන්තියේ ඉන්න පුතා ඉගෙන ගන්නේ මෙල්බර්න් නගරයේ පෞද්ගලික පාසලක. මට මේ සටහන ලියන්න හිතුණේ පුතාලාට ඒ පාඩම ජීවිත කාලයක්ම මතක හිටින විදිහට උගන්නලා තියෙන ලස්සන දැක්කාම. 

මූලික විෂය කරුණු උගන්වලා ඉවරවෙලා පුතාලාගේ පන්තියට පැවරුමක් ලැබිලා. ඒ තමයි සෛලයක් තමන් එදිනෙදා දකින කණ්ඩායමකට, සමූහයකට සමාන කරන එක. මේ අනුව සෛලයේ කොටස් පැහැදිලි කරන්න ඕන අර කණ්ඩායමේ කොටස්වල කාර්යයන් අනුව. 

මේ පැවරුම ගැන ඇහුවාම මට නම් එකපාරට දැනුණේ මහා පටලැවිල්ලක්. සෛලයක් කොහොමද අපේ එදිනෙදා ජීවිතයේ දේකට සමාන කරන්නේ? එහෙම කරලා වැඩක් තියෙනවද? ඒත් පුතා නම් ඒ ගැන මම වගේ එහෙම කලබලයකට පත්වුණු බවක් පෙනුණේ නැහැ. එයා බොහොම සීරුවෙන් සෛලයකට සමාන කරන්න පුළුවන් සමූහයක් ගැන හිතන්න ගත්තා. අන්තිමේදී එයා තෝරාගත්ත සමූහය ව්‍යාපාර ආයතනයක්. ගුරුවරියගෙන් ඒ තෝරාගැනීමට අනුමැතිය ලැබුණාට පස්සේ පුතා ඊට අදාළ presentation එක හදන්න ගත්තා. ඒ වෙද්දීත් මේ පැවරුම ගැන පැහැදීමක් නොතිබුණු මම එයාගේ වැඩ වලට බාධා නොකර ඒකෙ විස්තර බලාගෙන හිටියා.

පැවරුම ඉවර කරලා පුතා මට ඒක පෙන්නලා පැහැදිලි කළාම මට හරි පුදුම හිතුණා. සෛලයක කොටස්, ඒවායේ කාර්යභාරයන්, ඒවායේ වැදගත්කම මතක හිටින්න මේ පැවරුම අපූරුවට ගැලපෙනවා කියලා මට හිතුණා. ආයතනයක ප්‍රධානීන්, කේතකරුවන් (coders), විදුලි කාර්මික ශිල්පීන්, සාමාන්‍ය සේවකයන්, ආරක්ෂක නිලධාරීන්, කසල ඉවත් කරන්නන් ආදීන් ගෙන් කෙරෙන සේවාවට සමාන සේවාවක් සෛලයක් කොටස් මඟින් සිදුකෙරෙන ආකාරය ඒකෙන් පෙන්වලා තිබුණා. ඒ සමානකම් විස්තරාත්මකව පැහැදිලිව දක්වමින්, ඊට අදාළ පින්තූර එක් කර තිබුණු ඒ presentation එක දකිද්දී මටත් අමතක වෙලා තිබුණු පරණ විද්‍යා පාඩම් ආයෙත් මතක් වුණා. 

පුතාගේ presentation එකට ගුරුවරියගෙන් ඉහළ ලකුණු ලැබුණු බව පස්සේ දවසක පුතා මට ඇවිත් ආඩම්බරයෙන් කිව්වා. මේ අපූරු පැවරුමට පන්තියේ අනෙත් ළමයි තෝරාගත් පැහැදිලි කිරීම් ගැන මම පුතාගෙන් ඇහුවේ කුතුහලයෙන්. කාර් ගැන පිස්සුවක් තියෙන මිතුරෙක් සෛලයක් කාර් එකකට සමාන කරලා තිබුණු බව කියලා පුතා හිනාවුණා. සෛලයක් වෙළඳ සංකීර්ණයකටත්, රෝහලකටත් සමාන කළ අය පන්තියේ හිටියා කියලා පුතා මතක් කරලා කිව්වා.

පහතින් තියෙන්නේ පුතාගේ presentation එක (මේ තියෙන්නේ presentation එකේ slides හතර බැගින් එකතු කරලා සකස් කර ගත් පින්තූර. කහ පාට comment box එකේ ගුරුවරියගේ comments තිබුණා) මේක මට බෙදාගන්න හිතුණේ මේ අපූරු ඉගැන්නුම් ක්‍රම ගැන කියන්න. අපි ඉගෙනගත්ත ගුරු- කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයට වඩා පුතාලා ඉගෙනගන්න ශිෂ්‍ය-කේන්ද්‍රීය ක්‍රම මඟින් කොයිතරම් විෂය කරුණු ගවේෂණය කරලා තේරුම් ගන්න අවස්ථාව එයාලාට ලැබෙනවද කියලා මට හිතුණා. 

මෙහෙම වෙලාවට තමයි අපිටත් ආයෙත් මේ ක්‍රම වලට ඉගෙන ගන්න ඇත්නම් කියලා හිතෙන්නේ! 







4 comments:

  1. Congratulations Thevi,
    You have done a marvelous job of work. Generally a text book lesson (old format) takes at least two or three pages to describe the function of a living cell. In most cases a teacher takaes at least two periods to teach the concepts and relatioships of the cell organelles to a class of pupils. Your approach has cut short the whole process and everything is very well explained. This is the child- centered learning of modern times. Congratulations ! you have achieved it very well!

    ReplyDelete
    Replies
    1. Thaththa, yes these types of teaching methods make learning fun. Once something is done practically they will remember it long term.

      Delete
  2. That's the way to develop inquiring minds.

    ආසියාතික, දකුනු ආසියාතික රටවල ගුරුවරුන්ට තියෙන අසීමාන්තික 'ගෞරවය' ඔය වගේ ඉගෙනුම් මාර්ග වලට යන්න ඉඩ දෙනවා අඩුයි. කලත් ගුරුවරු constructive feedback වෙනුවට, වැරදිම පෙන්නයිද කියලත් හිතෙනවා. (පුතාට දීලා තියෙන කමෙන්ට්ස් මේ ස්ලයිඩ්ස් වල පේන්නෙ නැහැ, I presume they are more feedforward than feedback).

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත, ළමයෙක් නිර්මාණාත්මක දෙයක් කළොත් ඒක අගය කරන එක තමන්ට මදිකමක් කියලා හිතන ජාතියේ ගුරුවරුත් අපිට හිටියා!
      ඔව්, ඒ කමෙන්ට්ස් බොහොම positive ඒවා. පුතාට මේකට 100% ලකුණු තිබුණා :)

      Delete