March 29, 2024

මතක-තාල


 

මේ සටහන පින්තූරේ තියෙන පොත ගැන නම් නෙමෙයි කියලා මුලින් කියන්න ඕන!

Good Friday වෙනුවෙන් ලැබුණු නිවාඩුවේ උදේම ගේ අස්පස් කරලා, මල් පැල වලට සාත්තු කරලා මම තේ එකක් හදාගෙන එළිමහනේ තියෙන සනීප පුටුවට ගියේ අලුතින් අතට ලැබුණු මේ පොත පෙරළලා බලන්න. එසැණින් එහා ගෙදර පැත්තෙන් බොහොම හුරුපුරුදු තාලයක් වාදනය වෙනවා ඇහුණා. ටිකක් කල්පනා කරලා බලද්දී තමයි මතක් වුණේ ඒ ගීතිකාවක් බව. එහා ගෙදර ඉන්නේ බොහොම වයසක ජෝඩුවක්. ඒ දෙන්නා ගෙදරින් එළියට බහින්නෙම නැති තරම්. ඒ නිසා අද පල්ලි යන්නත් අමාරු ඇති. ඒ වුණත් තමන්ගේ ඒ ඇදහීම වෙනුවෙන් එයාලා ගීතිකාවක් වාදනය කරන්න තෝරාගෙන. මගේ හිත මොහොතින් දශක ගානක් ආපස්සට ඉගිලිලා ගියා.

මම පුංචි කාලේ අපි ජීවත් වුණේ සේෂෙල්ස් වල. සේෂෙල්ස් වැසියෝ වැඩිහරියක් බොහොම බැතිමත් කතෝලික අය. එහෙ අපේ ගෙවල් කිට්ටුවෙන්ම තිබුණා Mont Fleuri නගරයේ Good Shepherd පල්ලිය. හැම ඉරිදාම අපිට උදේට පල්ලියේ සීනු හඬ ඇහුණා. පල්ලිය කිට්ටුවෙන් යද්දී නිතරම මේ විදිහටම බොහොම ලයාන්විත ගීතිකා හඬත් හරි ලස්සනට ඇහුණා. අපි කතෝලික නොවුණත් ඒ හඬවල් අපේ ඉරිදා දවස්වලට සුන්දර කමක් එකතු කළා. මට නම් නොදැනුවත්වම ඒ ගීතිකා කටපාඩම් හිටියා.

අක්කලාත් මාත් ගිය ඉස්කෝලේ තිබුණේ පල්ලියට එහාපැත්තෙ. ඒ දවස්වල ඉස්කෝලේ පුංචි පන්තිවල ළමයි ආගම පාඩමට පල්ලියට එක්කගෙන එනවා. කොයිම ආගමක් ගැනවත් ලොකුවට ඔලුවේ නොතිබුණු කාලෙක මම මේ ගමන් වලට හරි ආසයි. එක හේතුවක් තමයි පල්ලියේ ජනෙල් වලට අල්ලලා තිබුණු stained glass රූප වලින් පාට පාටට ඉර එළිය පෙරිලා එන හැටි බලාගෙන ඉන්න ලැබෙන එක. ඒ පාට ආලෝක තීරු පල්ලිය ඇතුළේ පුංචි දිව්‍ය ලෝකයක් මැව්වා. අනිත් හේතුව තමයි එහෙම පල්ලියට ගියාම මේ ගීතිකා හඬ ළඟින්ම ඇහෙන්න ලැබෙන එක. ඒවායේ uplifting ගතියක් පුංචිම වයසේ හිටියත් මට දැනුණා.

කල්පනා කරලා බලද්දී මගේ ළමා කාලයේ සැහැල්ලු සුන්දර සෙල්ලම් මතක එක්ක තැනින් තැන පසුබිම් හඬක් වගේ මේ ගීතිකා හඬත් තියෙනවා.

"Alleluia, Alleluia.."

අන්තිමේදී එහා ගෙදරින් ඇහෙන ගීතිකාවක හඬ දිගේ අවුරුදු ගාණක් ආපස්සටත්, හැතැප්ම දාස් ගාණක් දුරටත් ගිහින් සතුටු මතකයක සැරිසරන්න මට ඉඩ ලැබුණා

The Little Book of Hygge පොතේ අන්තිමට මෙහෙම තියෙනවා

'Happiness consists more of small conveniences or pleasures that occur everyday than in great pieces of good fortune that happen but seldom' - Benjamin Franklin

~හෙල්මලී~


March 26, 2024

ලිපියක් ලැබෙන තුරු

ඔබ මට එවන පණිවිඩය
නිහඬ බවයි

ගස්වල මුල්
ජලයේ සැහැල්ලු නිහඬබව
තේරුම්ගතයුතු සේ ම
මම ද එය තෙරුම්ගැන්මට තැත් දරමි.

අපි
සොබාදමින් හැකි දෙයක් ගන්නට
පුරුදු වූවන් වෙමු
මම තරුවලත්, ගල් කුළු වලත්
නිහඬ බව හදාරමි

සැතපුම් ගණනක් එපිටින්, උතුරු පෙදෙසක
ඔබ හිස් පිටුවක් වෙත නැඹුරුවන අයුරු
සිතෙන් මවා ගනිමි
‘ආදරණීය…’ 
ඔබට එසේ ලියන්නට අවශ්‍ය ය

එහෙත් ඒ පිටුව, දැනටමත්
හිම පතනය විසින් 
වේලාසනින්ම ගෙනෙන
නිහඬබවේ තිරයෙන්
වැසුණු කවුළුවකි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'By the Mailbox' by Linda Pastan
Digital Painting




March 20, 2024

daily miracles

ගෙවත්තේ තැන තැන
මල් දරන පැල සිටුවමි
හඬගා කියා එක එක
ඒවායේ නම් උගනිමි

නස්ටර්ෂම්, හයිඩ්රන්ජියා
ජෙරනියම්, ග්ලැඩිඔලි


අතරින් පතර තවමත්
හුරුපුරුදු නම් හඳුනමි
සීත කාලෙට උන් ගැන
තවත් වැඩිපුර ලතවෙමි

සූරියකාන්ත, දාස්පෙති,
හෙන්දිරික්කා, සිනියාස්


එළවලු නැතිව කොහොමද
සිත සිතා ඉඩ සකසමි
තක්කාලි, මිරිස්, තම්පලා
මුගුණුවැන්නද සිටවමි

පොහොරද දිය ද සපයා
ඉවසනු පිණිස හුරුවෙමි
හැම දල්ලකට, පතකට
රහස්, රස බස් කොඳුරමි

හිරු ගිලෙන හෝරාවල
දවසේ වෙහෙස නොතකමි
ගහ කොළ කියන මන්තර
දැන් වෙන වෙනම හඳුනමි

හුස්ම අල්ලා ගතවූ
දින සති මාස නිමවී
මල් පල දරන ගස් වැල්
දැක ප්‍රීතියෙන් ඉපිලෙමි

'ඉවසීම ඇත්නම්
අසිරිමත් දෑ බොහොමයි'
දිසි අදිසි දෙවියෙක්
කොඳුරන හඬට කන්දෙමි

 ~හෙල්මලී~

flowers by Malie G

March 15, 2024

වද වීම

මම නිරතුරුවම වද වීමි
ගෙවත්ත සරුව වැඩේවි ද?
ගංගාවන් නිවැරදි දිශාවට ගලාවිද?
පෘථිවිය ඊට උගන්වා ඇති ක්‍රමයට භ්‍රමණය වේ ද?
එසේ නොවුණොත් මා එය නිවැරදි කරන්නේ කෙසේද?

මා හරි ද? වැරදිද? මට සමාව ලැබේවි ද?
මට මීට වඩා සාර්ථක විය හැකිද?
කෙදිනක හෝ මට ගී ගයනු හැකිවේද?
ගේ කුරුල්ලන්ට පවා ගී ගයනු හැකි නමුත්
මා නම් කිසිම කමකට නැත

මගේ පෙනීම අඩුවෙමින් ද?
නොඑසේ නම් ඒ මගේ හිතලුවක්ද?
මට හන්දිපත් රුදාව හැදේවි ද?
පිටගැස්ම? ඩිමෙන්ශියාව?

අන්තිමේදී මේ වදවීම් කිසිවකින්
කිසිම පලක් නොමැති බව වැටහුණු නිසා
මම එය අත් හළෙමි
ඉනික්බිති මේ මහලු සිරුර ගෙන
උදෑසන වෙත ගොස්
ගී ගැයුවෙමි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'I Worried' by Mary Oliver

Digital painting