July 25, 2019

Courtney Cox සහ බේකරියේ වෑන් එක


ඉස්සර ටීවී එකේ ගියා Misfits of Science කියලා වැඩසටහනක්. අනූ ගණන් මුල හරියේ වගේ මතක. ඒකෙ හිටියේ අමුතු superpowers තියෙන කොල්ලෝ තුන්දෙනෙකුයි කෙල්ලෙකුයි. ඒගොල්ලෝ ඒ බලය පාවිච්චි කරලා අසාධාරණයට, අවනීතියට විරුද්ධව සටන් කරනවා. බොහොම සම්ප්‍රදායික වීර කතාවක්. 

මේකේ කෙල්ලට හිටියේ Courtney Cox. එයාටත් අවුරුදු විසි ගාණක් විතර ඒ කාලේ- ඒ නිසා බොහොම ලස්සනට හිටියා. ඒකේ එයාගේ නම Gloria. අත් දෙකෙන් ඔලුව අල්ලාගෙන මනසේ ශක්තියෙන් ලේසර් එකක් විදින එක එයාගේ බලය. අපි මේක බලද්දී අවුරුදු දොළහක්- දහතුනක් වගේ. ඒ වීර වැඩ කටත් ඇරන් බලාගෙන ඉන්න වයස. Misfits බලපු දාට පස්සෙන්දා ස්කූල් වෑන් එකේ ඒ ගැන තමයි කතාව. වැඩියත්ම Courtney Cox ගැන! අපිත් ඉතින් ඒ කාලේ Gloria වගේ ඔලුව අල්ලාගෙන එක එක්කෙනාට ලේසර් විදින්න ට්‍රයි කරනවා.

ඔය Misfits ලාට තිබුණා අමුතු හැඩේ වෑන් එකක්. නිකම් පෙට්ටියක් වගේ. ඒකෙ නැගලා ගිහින් තමයි කට්ටිය වීර වැඩ කරන්නේ. ඒගොල්ලන්ට වුවමනා ඔක්කොම ආම්පන්න ඒක ඇතුලේ තිබුණා . මේ කාලේ අපේ පැත්තේ බේකරියකට ගත්තා ටිකක් අර වගේ පෙට්ටි වෑන් එකක්. සාමාන්‍යයෙන් පාරේ දකින්න තිබුණු ජාතියේ නෙමෙයි. උසයි, හතරැස්. පොඩි පිටසක්වල පෙනුමක් ඒකට තිබුණා. ඉතින් මේක බේකරියේ වාහනේ කියලා හොඳටම දැනගෙන හිටියත් අපිට ඒක අපේ ලෝකල් Misfit මධ්‍යස්ථානය වගේ දැනෙන්න ගත්තේ ඒ වැඩසටහන ට පිස්සු වැටිලා හිටිය නිසා. උදේ පාන්දර ස්කූල් වෑන් එක එහෙ මෙහෙ ගිහින් කොළඹ යන ළමයි එකතු කරගනිද්දී මේ බේකරි වෑන් එක කීප සැරයක් මුණගැහෙනවා. මොකද ඒ වෙලාවට තමයි බේකරියෙන් අවට කඩ වලට පාන් දාන්නේ. කලින් දවසේ බලපු Misfits වැඩසටහනේ හිතෙන් හිටිය අපිට උදේ පාන්දර කළුවරේ බේකරියේ වෑන් එක ඉස්සරහට හම්බවුණා කියන්නේ නිකම් Courtney Cox ව හැබැහින් දැක්කා හා සමානයි. පුදුම සතුටක් දැනුණේ!
අනේ ඉතින් ඒ කාලේ අපේ හරි සරල ජීවිත නේද කියලා හිතෙනවා ඕවා මතක් වෙද්දී . 

අද Courtney Cox අමුත්තෙක් විදිහට ඇවිත් තිබුණ ටීවී වැඩසටහනක් දැකලායි මේ ටික ඔක්කොම මතක් වුණේ. 'අනේ එයා වයසට ගිහින් නේ!' කියලා හිතුණා අර Misfits එකේ රඟපාපු කෙල්ල ව මතක් වෙලා. 'නැතුව ඉතින්! ඇයි අපි!' කියලා හිතුණා කට ඇරගෙන Misfits බලපු කෙල්ලව මතක් වෙලා!

Misfits of Science

photo from Next-episode.net

July 18, 2019

ආත්මාර්ථකාමී යෝධයා

Translation of the short story The Selfish Giant | Oscar Wilde


හැම හවසකම පාසැල ඇරී නිවෙස් වෙත යන අතරතුරේදී ළමුන් පිරිස යෝධයාගේ උයනේ සෙල්ලම් කරන්නට පුරුදු ව සිටියහ.

එය සිනිඳු තණකොළ පිරුණු විශාල සොඳුරු උයනක් විය. පොළොවේ තැන තැන තාරුකා වැනි මල් විසිර තිබිණි. වසන්ත කාලයට ලා රෝස පැහැති මල් පිපෙන, සරත් කාලයට රසවත් ඵල දරන පීච් ගස් දුසිමක් ද එහි එක කෙළවරක විය. ගස්වල අතු පතරින් ඇසුණු කුරුලු ගී හඬ කෙතරම් මිහිරි වී ද යත්, ළමුන් වරින් වර තමන්ගේ සෙල්ලම් නවතා ඊට සවන් දෙනු පෙනිණි. “අපි කොයිතරම් සතුටින් ද?” ඔවුහු නිතරම එකිනෙකාට කියා ගත් හ.

නමුත් දිනක් යෝධයා ආපසු පැමිණියේ ය. ඔහුගේ මිතුරු කෝනිෂ් රාක්ෂයා බලන්නට ගොස් සිටි ඔහු, එහි සත් වසරක් නවාතැන්ගෙන හිඳ තිබිණි. වසර හතක් ගතවෙද්දී කතාකරන්නට තිබුණු සියල්ලම කියා හමාර ව තිබුණු බැවින් යෝධයාට යළිත් තමන්ගේ මාලිගය වෙත යන්නට සිත් පහළ වී තිබිණි. ඔහු නැවත එද්දී කුඩා ළමුන් ඔහුගේ උයනේ සෙල්ලම් කරන අයුරු දුර තියාම ඔහුට පෙනිණි.

“මෙතැන මොකද කරන්නේ?” ඔහු රළු හඬකින් කෑ ගසද්දී ළමෝ පලා ගියහ.

“මගේ උයන, මගේම උයනයි" යෝධයා තමන්ටම කියාගත්තේ ය. “ඒ බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. මෙතැන සෙල්ලම් කරන්න පුළුවන් මට විතරයි, වෙන කාටවත් බැහැ"

උයන වටා උස් තාප්පයක් ඉදිකළ යෝධයා එහි දැන්වීමක් ද එල්වී ය. 

‘අනවසරයෙන් ඇතුල්වීම තහනම්’

ඔහු ඉතාමත් ආත්මාර්ථකාමී යෝධයෙකි.

අසරණ ළමුන්ට සෙල්ලම් කරන්නට තැනක් අහිමි විය. ඔවුන් මහපාරේ සෙල්ලම් කරන්නට උත්සාහ කළත් එහි තිබුණු දූවිලිත් ගල් බොරළු ත් නිසා එය ඉතා අප්‍රසන්න විය. පාසැල නිම වූ පසු ඔවුහු උස තාප්පය අසලින් ගමන් කරමින් ඇතුළත ගෙවත්ත ගැන කතා කරන්නට පුරුදු වූහ.

“අපි එහේ කොයිතරම් සතුටින් හිටියාද?" ඔවුහු එකිනෙකාට කියා ගත් හ.

වසන්තය උදා වූ විට හැමතැනම මල් පිපී, කුරුලු පැටවුන් ඉගිලෙමින් වටපිටාව ඉතා අලංකාරව තිබිණි. ඒත් ආත්මාර්ථකාමී යෝධයාගේ උයනේ පමණක් ශීත කාලය නොවෙනස් ව තිබිණි. එහි ළමුන් නොසිටි නිසා කුරුල්ලන් ගී ගැයීමට වෙහෙසුණේ නැති අතර ගස් වලට මල් පුබුදුවන්නට අමතක විය. වරක් එක මලක් පොළොවෙන් හිස ඔසවද්දී යෝධයාගේ දැන්වීම් පුවරුව නෙත ගැටී, ළමුන් ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් නැවතත් පොළොව යටට ගොස් නිදන්නට විය. මේ වෙනස ගැන සතුටු වූයේ හිම ත් තුහින ත් පමණි. ‘වසන්තයට මේ උයන අමතක වෙලා!’ ඔවුහු ප්‍රීති ඝෝෂා කළ හ. ‘දැන් අපිට අවුරුද්ද පුරාම මෙතැන ඉන්න පුළුවන්'. හිම ඇගේ විසල් ශ්වේත ලෝගුවෙන් උයනම වසා ගත් අතර තුහින උයනේ ගස් සියල්ලම රිදී පාටින් පාට කළේ ය. ඉනික්බිති ඔවුහු ඔවුන්ගේ මිතුරු උතුරු සුළඟට එහි නවතින්නට ඇරයුම් කළ හ. උණුහුම් ලොම් කබා ඇඟලාගෙන ආ උතුරු සුළඟ, දවස පුරාම ගෙරවිලි නඟමින් උයන වටා දිව යන්නටත් මාළිගාවේ දුම් කවුළු කඩා දමන්නට උත්සාහ කරන්නටත් විය. “මේක බොහොම ලස්සන තැනක්" ඔහු කීය. “අපි හිම වැස්සටත් ඇවිල්ලා යන්න එන්න කියමු" ඉතින් ඒ ආරාධනාවෙන් උයනට පැමිණි හිම වැස්ස අළු පැහැති ඇඳුම් ආයිත්තම් ඇඟලා සිටි අතර ඔහුගේ හුස්මත් හිම මෙන් සීතල විය. හැම දවසකම පැය තුන හතරක් තිස්සේ මාළිගාවේ වහලය මත රැඟුම් පෑ ඔහු එහි උළු කැට ත් වැඩි ප්‍රමාණයක් බිඳ දමා තිබිණි. 

“මට තේරෙන්නේ නැහැ මේ සැරේ වසන්තය ඇයි මේ තරම් පරක්කු කියලා" තමන්ගේ සීතල අඳුරු උයන දෙස මාළිගාවේ කවුළුවකින් බලා සිටි ආත්මාර්ථකාමී යෝධයා තමන්ටම කියාගත්තේ ය. “ඉක්මණටම දේශගුණයේ වෙනසක් වුණොත් හොඳයි"

ඒත් වසන්තයවත්, ගිම්හානයවත් උයනට ආවේම නැත. සරත් කාලය අනෙත් හැම ගෙවත්තකටම රසවත් ඵල ලබාදුන්නත් යෝධයාට නම් කිසිවක් ම දුන්නේ නැත. “ඔහු ආත්මාර්ථකාමී වැඩියි!’ සරත් කාලය ප්‍රකාශ කර තිබිණි. ඒනිසා යෝධයාගේ උයනේ හිම ත්, තුහින ත්, හිම වැස්ස ත්, උතුරු සුළඟ ත් පමණක් ගස් අතර රැඟුම් රඟමින් පසු වූහ.

එක් උදෑසනක යෝධයා නිදි ඇඳේ හිඳිද්දී අපූරු සංගීතයක් කණ වැකිණි. එය කෙතරම් මිහිරි ද යත් ඔහුට මුලදී සිතුණේ රජතුමාගේ සංගීත කණ්ඩායම උයන අසලින් ගමන් කරනවා විය හැකි බවයි. ඒත් ඒ ඔහුගේ කවුළුව අසල ගී ගයමින් උන් පුංචි කුරුල්ලෙක් බව ඔහු දුටුවේ පසුව ය. යෝධයා ට කලකින් කුරුලු ගීයක් ඇසී තිබුණේ නැති නිසා එය ලොව ඇති මිහිරිම තනුව බව ඔහුට සිතිණි. එවිටම වහල මත හිම වැස්සේ දැඟලුම නැවතුණු අතර උතුරු සුලඟේ ගෙරවිල්ලද අඩු විය. කවුළුව අතරින් මන පිනවන මල් සුවඳක්ද ගලා එන්නට විය. “වසන්තය ඇවිල්ලා වගේ!” යැයි කෑගසමින් යෝධයා ඇඳෙන් බිමට පැන කවුළුවෙන් එබී බැලුවේ ය.

ඔහු දුටුවේ කුමක් ද?

තාප්පයේ සිදුරකින් ළමුන් උයනට රහසින් ඇතුළු වී තිබිණි. ඔවුන් සිටියේ ගස් වල අතුපතර වාඩිගෙන ය. බැලු බැලූ අත හැම ගසකම කුඩා දරුවෙක් විය. ළමුන් ආපසු පැමිණීම ගැන ගස් කොයිතරම් සතුටු වී ද යත් ඒවා තම අතු මලින් පුරවා තාලයට සොලවමින් විය. කුරුල්ලන් ප්‍රමෝදයෙන් ගී ගයමින් පියාඹමින් සිටි අතර  මල් තණ බිස්සෙන්  හිස්  ඔසවා සිනාසෙමින් විය. එහෙත් මේ සොඳුරු දසුන් පිරි උයනේ එක් කෙළවරක පමණක් ශීත කාලය තවමත් පෙනෙන්නට තිබිණි. උයනේ ඈත මුල්ලක කුඩා දරුවෙක් ගසකට නැග ගනු නොහැකිව හඬමින් පසු විය. “නගින්න දරුවෝ නගින්න!’ යැයි උනන්දු කරමින් ගස තම අතු පහත් කළ නමුත් දරුවා ඊට නගින්නට කුඩා වැඩි විය.

මෙය බලා සිටි යෝධයාගේ පපුව උණු විය. “මම කොයිතරම් ආත්මාර්ථකාමී විදිහටද වැඩ කරලා තියෙන්නේ" ඔහු කීය. “දැන් මම දන්නවා ඇයි වසන්තය මගේ උයනට ආවේ නැත්තේ ඇයි කියලා. මම අර පුංචි දරුවා ව ගහ මුදුනින් තියනවා. ඊටපස්සේ තාප්පය කඩා දානවා. මගේ උයන හැමදාටම පුංචි ළමයින්ට සෙල්ලම් උයනක් වෙන්න ඕන” ඔහු මෙතක් කල් කළ දේ ගැන ඔහුට මහත් පසු තැවිල්ලක් දැනෙමින් තිබිණි.

ඉතින් ඔහු හෙමින් සීරුවේ මාළිගාවේ බිම් මහලට ගොස් එහි ඉදිරිපස දොර විවර කර උයනට පා තැබුවේය. ඒත් ඔහු ව දුටු සැණින් උයනේ සෙල්ලම් කරමින් සිටි ළමුන් රංචුවම බියෙන් පැන දිවූහ. ඒ සමඟම උයන යළි වරක් ශීත කාලයේ ගිලුනි. උයනේ කෙළවර හඬමින් සිටි පුංචි දරුවා පමණක් උයනෙන් පලා නොගියේ ඔහුගේ දෑසේ පිරී තිබුණු කඳුළු නිසා ඔහු යෝධයාව නොදුටු හෙයිනි. යෝධයා හෙමින් සීරුවේ ඔහු ළඟට ගොස් ඔහුව ඔසවා ගසේ අත්තක් මතින් තැබුවේය. එසැණින් ගස පුරා මල් පිරී ඉතිරුණු අතර කුරුල්ලන් ගී ගැයීමට ඒ වෙත රොක්විය. පුංචි දරුවා යෝධයාගේ ගෙල වටා දෑත යවා ඔහුට හාදුවක් දුන්නේය. යෝධයා නපුරු නැති බව දුටු සෙසු ළමුන් ද දිව ආ අතර ඔවුන් සමඟම වසන්තයත් යළි උයන වෙත එළඹිණි.

‘ළමයිනේ, දැන් මේ උයන උඹලාගේ’ කී යෝධයා විශාල පොරොවක් ගෙන උයන වටා තිබුණු තාප්පය කඩා බිඳ දැම්මේය. මධ්‍යහනයේ නගරය වෙත ගොස් ආපසු එමින් සිටි ගම්වැසියන් දුටුවේ ඉතාමත් අලංකාර උයනක තම දරුවන් හා සෙල්ලම් කරන යෝධයාවයි. දවස පුරාම මෙලෙස සෙල්ලම් කළ ළමුන් සවස් වෙද්දී යෝධයා වෙත ආවේ ඔවුන් නිවෙස් වෙත යන බව කියා සමු ගැනීමට යි.

“කෝ උඹලාගේ පුංචි යාළුවා?” යෝධයා ඇසීය. “අර මම ගහට නගින්න උදවු කළ ළමයා?” ඒ කුඩා දරුවාට යෝධයා වැඩියෙන්ම ආදරය කළේ ඔහු යෝධයාව වැළඳගෙන හාදුවක් දුන් නිසා ය.

“අපි දන්නේ නැහැ" ළමෝ කීහ. “එයා යන්න ගිහින් වගෙයි"

“එයාට කියන්න හෙට මතක ඇතිව ආයෙත් එන්න කියලා" යෝධයා කීවේ ය. ඒත් ඒ ළමයා ව තමන් නොහඳුනන බවත්, ඔහු වෙසෙන තැනක් නොදන්නා බවත්, ඉන් පෙර ඔහුව කිසි දවසක දැක නැති බවත් ළමුන් කී විට යෝධයාට මහත් ශෝකයක් දැනිණි.

හැම දිනකම පාසැල හමාර වූ පසු ළමෝ පිරිස යෝධයා හා සෙල්ලම් කරන්නට පැමිණියහ. ඒත් යෝධයා ආදරය කළ කුඩා පිරිමි ළමයා නම් යළි කෙදිනකවත් දකින්නට ලැබුණේ නැත. යෝධයා ළමුන් හැම දෙනාටම කරුණාව පෑ නමුත් ඔහුගේ පළවෙනිම පුංචි යාළුවා යළි දකින්නට මඟ බලා සිටියේ ය. යෝධයා නිතර ඔහු ගැන දෙඩූ අතර “අනේ ඔහුව දකින්නට ඇත්නම්” යැයි තැවුනේ ය.

මෙලෙස අවුරුදු ගණනක් ගතවෙද්දී යෝධයා කෙමෙන් වයෝවෘද්ධ විය.  ඔහුට දැන් දැන් ළමුන් හා සෙල්ලම් කරන්නට සවිය තිබුණේ නැත. ඒ වෙනුවට හාන්සි පුටුවක වැතිරී ළමුන් සෙල්ලම් කරන අයුරු නරඹමින්, උයනේ විසිතුරු බලමින් ඔහු කාලය ගත කළේ ය. “මගේ උයනේ කොයිතරම් සුන්දර මල් වර්ග තියෙනවාද" ඔහු කීය. “ඒත් ලස්සනම මල් වර්ගය තමයි පුංචි ළමයි"

ශීත කාලයේ දිනක් යෝධයා තම කවුළුවෙන් පිටත බලා සිටියේ ය. ඔහු ඒ වෙද්දී ශීත කාලයට වෛර නොකළේ එය වසන්තය නිදා උන් කාලයත්, මල් විවේක ගන්නා කාලයත් බව දැන සිටි නිසා ය.

උයනේ කෙලවර දුටු දෙයක් දෙස  ඔහු හිටිහැටියේ ම යළිත් බැලුවේ පුදුමයෙන් දෑස පිසලමිනි. එතැන අපූරු දසුනක් මැවී තිබිණි. උයනේ ඈතම කෙලවරේ ගසක් සුදු පැහැ මලින් පිරී තිබිණි. ඒ ගසේ අතු රන් පැහැයෙන් බැබලුණු අතර ඒවා රිදී ඵල වලින් බර ව තිබිණි. ඒ ගස යට යෝධයා ආදරය කළ කුඩා දරුවා දකිනු හැකි විය.

යෝධයා පහළ මාලයටත්, උයනටත් දිව ගියේ ඉතා සතුටිනි. ඔහු වහා වහා තණ පිටිය හරහා දිව ගොස් කුඩා දරුවා අසලට ගියේ ය. එහෙත් දරුවාට ලං වෙද්දී යෝධයාගේ වත කේන්තියෙන් රත් පැහැ විය.

“කවුද ඔබට තුවාල කළේ?” ඔහු කෑගෑවේය.

ඒ, කුඩා දරුවාගේ දෙඅත්ලේත් දෙපයේත් ඇණ ගැසූ සලකුණු පෙනුණු නිසා ය.

“ඔබට අත තියන්නට කිට්ටු වුණේ කවුද?” යෝධයා කේන්තියෙන් පිපිරී ය. “මට නම කියන්න! මම මගේ කඩුව අරගෙන ගිහින් ඔහුව මරලා දානවා"

“එපා” කුඩා දරුවා පිළිතුරු දුන්නේ ය. “මේ ආදරය වෙනුවෙන් ලද තුවාල"

යෝධයාට දරුවාගේ අමුතු ගාම්භීර බවක් හදිසියේ දැනිණි.

“ඔබ කවුද?” ඔහු ඇසුවේ දරුවා ළඟ දණින් වැටෙමිනි.

දරුවා යෝධයා වෙත සිනාවක් පෑවේ ය.

“ඉස්සර දවසක ඔබ මට ඔබේ උයනේ සෙල්ලම් කරන්නට ඉඩ දුන්නා. අද ඔබ මගේ උයන ට යන්න එන්න. මගේ උයන පාරාදීසය යි"

එදා හවස ළමුන් පිරිස උයනට දිව ආ විට දුටුවේ යෝධයා ගසක් යට වැතිරී මිය ගොස් සිටි ආකාරය යි. ඔහුගේ සිරුර සුදු මල් පෙති වලින් වැසී තිබිණි. 

Photo Source: Wikimedia commons, illustration by Walter Crane of the story "The Selfish Giant" in Wilde's book, The Happy Prince and Other Tales



July 14, 2019

චිත්‍ර උපදෙස්

දැන් අපිට සීතල කාලේ. පුතාටයි මටයි ඉස්කෝලේ නිවාඩු. මේ ටිකේ සමහර දවස්වල දවල්ට ලස්සනට අව්ව තිබුණත් හවස් වෙද්දී හුළඟ හමලා වහින්න ගන්නවා. හොඳට උණුහුම් වෙලා පොත් කියවන්න කියාපු දවස් ටික.

"අම්මාටයි, තාත්තාටයි, සීයාටයි මම බොන්න hot chocolate හදන්නද?" එහෙම හවස් වරු වල පුතා අහන්නේ ළඟදී ඉගෙන ගත්ත ශිල්පය දක්වන්න ලෑස්ති වෙලා.

"Hot Chocolate කිව්වේ අම්මාගේ බ්ලොග් එක වගේද?" සීයා විහිළුවක් කරනවා.
කොල්ලා බොහොම ආඩම්බරයෙන් දුම් දාන mugs හතරක් අරගෙන එනවා.

"මට හිතයි hot chocolate කෝප්පයක් අඳින්න" මම පුතාට කියනවා. මම බොහොම ප්‍රාථමික විදිහට laptop එකේ Paint වලින් චිත්‍ර අඳිනවාට පුතා කැමති නැහැ. එක එක ජාතියේ චිත්‍ර අඳින apps එයා මට හොයලා දෙනවා හැමදාම. ඒත් මට ඒ එකක්වත් අල්ලන්නේ නැහැ. යල් පැනපු ක්‍රමයම තමයි හරියන්නේ. තෙල් සායම් චිත්‍රයක් අඳින විදිහ ගැන තියෙන උපදෙස් ටිකක් බලාගෙන මම Paint වලින්ම මේ චිත්‍රය අඳිනවා.

"හොඳයි, හොඳයි.. ගොඩාක් මහන්සි වුණු බව පේනවා. අලුත් ක්‍රමයකින් ඇන්දා නම් සෑහෙන්න දුරක් යන්න තිබ්බ කෙනෙක්!" කොල්ලා මේක බලලා මට අවවාදයකුත් දීලා යනවා.



July 11, 2019

මකරානන්දය- විරාජිනී තෙන්නකෝන්


විරාජිනී තෙන්නකෝන් ගේ 'මකරානන්දය' නවකතාව මා තෝරාගත්තේ ඇගේ කෙටි කතා සංග්‍රහය වන 'අච්චාරු සහ වෙනත් කතා' හි රසවත් බව ගැන යහපත් මතකයක් තිබුණු නිසා ය. මේ නවකතාව කියවීමෙන් කතුවරියගේ ලිවීමේ හැකියාව ගැන ඇතිව තිබූ ඒ පැහැදීම වැඩි විය. එක හුස්මට කියවාගෙන යාමට පොළඹවන ඇගේ ලිවීමේ ශෛල්‍යයත් නැවුම් ප්‍රස්තුත භාවිතයත් මීට හේතු විය.

අතීතයත්, වර්තමානයත් මනා කොට ගොනු කර ලියැවුණු මකරානන්දය, වැවේගම නම් පිටිසර ගම්මානයක ගැමි ජීවිතය අතරටත් කොළඹ හතේ දේශපාලන හා ව්‍යාපාරික මඩ ගොහොරුවටත් අප ව කැඳවාගෙන යයි. පන්ති භේදයෙන් පීඩිත ගැමියන් ඉන් මිදී හිස ඔසවන්නට දරන දුෂ්කර ප්‍රයත්නයත් ජ්‍යෝතිෂ්‍ය හා මිත්‍යා විශ්වාස මත එල්බගත් නාගරික ජනතාව නොදැනුවත්වම වැටී ඇති අගාධයේ ගැඹුරත් කතුවරිය මනා ලෙස ගෙන හැර පාන්නීය. මේ කෘතිය පුරාවටම මුණගැහෙන නංහාමි, රන්මැණිකා, පද්ම ශ්‍රී ආදී චරිත ඉදිරිපත් කර ඇති සියුම් ආකාරය, කියවන්නා කතාව වෙත බැඳ තබා ගනී.

කතාවේ පිවිසුම වන සේපාල නම් නගර සභා කම්කරුවාගේ කතාව වෙනම නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නට තරම් පොහොසත් ය. කෘතියේ යම් කොටස් සංස්කරණය වී තරමක් කෙටි වූවා නම් අගෙයි යි සිතුණු අවස්ථා තිබුණ ද සමස්තයක් හැටියට මකරානන්දය කියවිය යුතු පොතක් හැටියට නම් කරනු කැමැත්තෙමි. 

මකරානන්දය- විරාජිනී තෙන්නකෝන්
සරසවි ප්‍රකාශනයකි