July 25, 2019

Courtney Cox සහ බේකරියේ වෑන් එක


ඉස්සර ටීවී එකේ ගියා Misfits of Science කියලා වැඩසටහනක්. අනූ ගණන් මුල හරියේ වගේ මතක. ඒකෙ හිටියේ අමුතු superpowers තියෙන කොල්ලෝ තුන්දෙනෙකුයි කෙල්ලෙකුයි. ඒගොල්ලෝ ඒ බලය පාවිච්චි කරලා අසාධාරණයට, අවනීතියට විරුද්ධව සටන් කරනවා. බොහොම සම්ප්‍රදායික වීර කතාවක්. 

මේකේ කෙල්ලට හිටියේ Courtney Cox. එයාටත් අවුරුදු විසි ගාණක් විතර ඒ කාලේ- ඒ නිසා බොහොම ලස්සනට හිටියා. ඒකේ එයාගේ නම Gloria. අත් දෙකෙන් ඔලුව අල්ලාගෙන මනසේ ශක්තියෙන් ලේසර් එකක් විදින එක එයාගේ බලය. අපි මේක බලද්දී අවුරුදු දොළහක්- දහතුනක් වගේ. ඒ වීර වැඩ කටත් ඇරන් බලාගෙන ඉන්න වයස. Misfits බලපු දාට පස්සෙන්දා ස්කූල් වෑන් එකේ ඒ ගැන තමයි කතාව. වැඩියත්ම Courtney Cox ගැන! අපිත් ඉතින් ඒ කාලේ Gloria වගේ ඔලුව අල්ලාගෙන එක එක්කෙනාට ලේසර් විදින්න ට්‍රයි කරනවා.

ඔය Misfits ලාට තිබුණා අමුතු හැඩේ වෑන් එකක්. නිකම් පෙට්ටියක් වගේ. ඒකෙ නැගලා ගිහින් තමයි කට්ටිය වීර වැඩ කරන්නේ. ඒගොල්ලන්ට වුවමනා ඔක්කොම ආම්පන්න ඒක ඇතුලේ තිබුණා . මේ කාලේ අපේ පැත්තේ බේකරියකට ගත්තා ටිකක් අර වගේ පෙට්ටි වෑන් එකක්. සාමාන්‍යයෙන් පාරේ දකින්න තිබුණු ජාතියේ නෙමෙයි. උසයි, හතරැස්. පොඩි පිටසක්වල පෙනුමක් ඒකට තිබුණා. ඉතින් මේක බේකරියේ වාහනේ කියලා හොඳටම දැනගෙන හිටියත් අපිට ඒක අපේ ලෝකල් Misfit මධ්‍යස්ථානය වගේ දැනෙන්න ගත්තේ ඒ වැඩසටහන ට පිස්සු වැටිලා හිටිය නිසා. උදේ පාන්දර ස්කූල් වෑන් එක එහෙ මෙහෙ ගිහින් කොළඹ යන ළමයි එකතු කරගනිද්දී මේ බේකරි වෑන් එක කීප සැරයක් මුණගැහෙනවා. මොකද ඒ වෙලාවට තමයි බේකරියෙන් අවට කඩ වලට පාන් දාන්නේ. කලින් දවසේ බලපු Misfits වැඩසටහනේ හිතෙන් හිටිය අපිට උදේ පාන්දර කළුවරේ බේකරියේ වෑන් එක ඉස්සරහට හම්බවුණා කියන්නේ නිකම් Courtney Cox ව හැබැහින් දැක්කා හා සමානයි. පුදුම සතුටක් දැනුණේ!
අනේ ඉතින් ඒ කාලේ අපේ හරි සරල ජීවිත නේද කියලා හිතෙනවා ඕවා මතක් වෙද්දී . 

අද Courtney Cox අමුත්තෙක් විදිහට ඇවිත් තිබුණ ටීවී වැඩසටහනක් දැකලායි මේ ටික ඔක්කොම මතක් වුණේ. 'අනේ එයා වයසට ගිහින් නේ!' කියලා හිතුණා අර Misfits එකේ රඟපාපු කෙල්ල ව මතක් වෙලා. 'නැතුව ඉතින්! ඇයි අපි!' කියලා හිතුණා කට ඇරගෙන Misfits බලපු කෙල්ලව මතක් වෙලා!

Misfits of Science

photo from Next-episode.net

4 comments:

  1. නම මතකයි. එතනින් එහාට මෙලෝ බෝලයක් මතක නෑනේ! එක්කෝ අකුරු නොදන්නා කාලේද මන්ද බැලුවේ.. හි හි

    ReplyDelete
    Replies
    1. අපෝ මේගොල්ලෝ අතදරුවෝ වෙන්න ඇති ඒ කාලේ! ඒකනේ මතක නැත්තේ! :D

      Delete
  2. ඔය කතාව බලද්දි එයාගේ ලස්සන හිනාවටයි නිල්පාට ඇස් දෙකටයි වශිවෙලා හිටියේ.. කාලයක් සිහින කුමරියක් වෙලා හිටියා. ආයෙමත් මතකයට ගෙනාවට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් අසංග ඒ කාලේ Courtney හරි ලස්සනයි. හැබැයි දැන් හැටි දැක්කාම නම් අපි ඒ තරම් වයසට ගිහින් නෑ කියලාත් හිතෙනවා!

      Delete