විරාජිනී තෙන්නකෝන් ගේ 'මකරානන්දය' නවකතාව මා තෝරාගත්තේ ඇගේ කෙටි කතා සංග්‍රහය වන 'අච්චාරු සහ වෙනත් කතා' හි රසවත් බව ගැන යහපත් මතකයක් තිබුණු නිසා ය. මේ නවකතාව කියවීමෙන් කතුවරියගේ ලිවීමේ හැකියාව ගැන ඇතිව තිබූ ඒ පැහැදීම වැඩි විය. එක හුස්මට කියවාගෙන යාමට පොළඹවන ඇගේ ලිවීමේ ශෛල්‍යයත් නැවුම් ප්‍රස්තුත භාවිතයත් මීට හේතු විය.
අතීතයත්, වර්තමානයත් මනා කොට ගොනු කර ලියැවුණු මකරානන්දය, වැවේගම නම් පිටිසර ගම්මානයක ගැමි ජීවිතය අතරටත් කොළඹ හතේ දේශපාලන හා ව්‍යාපාරික මඩ ගොහොරුවටත් අප ව කැඳවාගෙන යයි. පන්ති භේදයෙන් පීඩිත ගැමියන් ඉන් මිදී හිස ඔසවන්නට දරන දුෂ්කර ප්‍රයත්නයත් ජ්‍යෝතිෂ්‍ය හා මිත්‍යා විශ්වාස මත එල්බගත් නාගරික ජනතාව නොදැනුවත්වම වැටී ඇති අගාධයේ ගැඹුරත් කතුවරිය මනා ලෙස ගෙන හැර පාන්නීය. මේ කෘතිය පුරාවටම මුණගැහෙන නංහාමි, රන්මැණිකා, පද්ම ශ්‍රී ආදී චරිත ඉදිරිපත් කර ඇති සියුම් ආකාරය, කියවන්නා කතාව වෙත බැඳ තබා ගනී.
කතාවේ පිවිසුම වන සේපාල නම් නගර සභා කම්කරුවාගේ කතාව වෙනම නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නට තරම් පොහොසත් ය. කෘතියේ යම් කොටස් සංස්කරණය වී තරමක් කෙටි වූවා නම් අගෙයි යි සිතුණු අවස්ථා තිබුණ ද සමස්තයක් හැටියට මකරානන්දය කියවිය යුතු පොතක් හැටියට නම් කරනු කැමැත්තෙමි.
මකරානන්දය- විරාජිනී තෙන්නකෝන්
සරසවි ප්‍රකාශනයකි
නව කතා පොතක් කියවපු කාලයක් මතක නෑ. හරිම දුකයි ඒ ගැන.:(
ReplyDeleteමියුරු, මෙල්බර්න් වල පුස්තකාල වල නම් සිංහල පොත් තියෙනවා සෑහෙන්න. පර්ත් පැත්තෙත් ඇති නේද? මටත් පුතා පුංචි කාලේ නම් දැන් තරම් කියවන්න ලැබුණේ නැහැ. දැන් නම් ඉතින් අවුලක් නැහැ :)
Delete