" ටීචර්..අතන ළමයි each other ට ගහනවා!"
එක වසරේ සිංහල පන්තියේ බට්ටෝ ටික පුස්තකාලෙට ඇවිත්. මේ, සෙනසුරාදාට තියෙන භාෂා පාසැලේ (Victorian School of Languages) පුස්තකාලේ. මම පොත් නිකුත් කරනකම් කට්ටියම පේළියක් හැදිලා ඉන්නවා. ඒ අතරේ පේළියේ අග හරියේ පුංචි රණ්ඩුවකුත් යනවා වගේ.
බාගෙට සිංහලෙන් පන්ති භාර ටීචර් ට කියපු මේ කේලම අහලා මටත් හිනා. මේක 'the kids are hitting each other' කියන වාක්‍යයේ direct translation එකක්. 'අතන ළමයි ගහගන්නවා!' කියන්න දන්නේ නැති නිසා ඒ වෙනුවට පාවිච්චි කළ යෙදුමක්. තව බාසාවක් එක්ක කලවමට සිංහල ඉගෙන ගනිද්දී මෙහෙම දේවල් කියවෙනවා. ඒ වෙන බාසාවකින් හිතලා ඒ හිතූ දේ සිංහලට පරිවර්තනය කරලා කියද්දී. ඒත් වචන ගැට ගහ ගහා මෙහෙම කතා කරන එක තමයි බාසාවක් ඉගෙන ගන්න හොඳම විදිහ. පුංචි ළමයි වරද්දන්න ලැජ්ජා නැති නිසා මේ විදිහට හරි ඉක්මනට භාෂා ඉගෙන ගන්නවා.
අපේ පුත්‍රයාත් පුංචි කාලේ මේ විදිහට ඉංග්‍රීසි සිංහල භාෂා දෙකම සමාන්තරව ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගනිද්දී වෙන අපූරුම දේ තමයි කොයි වචනේ කොයි භාෂාවේද කියලා මුලදී හරියටම දන්නේ නැති එක. උදාහරණයක් හැටියට පුතා දන්නවා broken කියන වචනයට 'කැඩිලා' කියන්නත් පුළුවන් කියලා. හැබැයි සිංහලෙන් කතාකරනවානම් කියන්න ඕන කෝකද කියලා මුලදී දන්නේ නැහැ. එයාට වචන දෙකමත්, භාෂා දෙකමත් එකයි. මේකට එයා කළේ ඒ වේලාවට දන්නා වචන දෙකම කිව්ව එක. ඒ කාලේ නිතරම 'අම්මා මේක broken-කැඩිලා!" , 'Its raining-වහිනවා !' වගේ දේවල් කිව්වා. ටිකක් ලොකු වෙද්දී ඒ පුරුද්ද අත් ඇරුනා. දැන් නම් ඒවා මතක් කරනකොටත් ලැජ්ජයි. ඒත් පුතාට දැනටත් සාමාන්‍ය ප්‍රමාණෙකට සිංහල කතාකරන්න, ලියන්න, කියවන්න පුළුවන්. තේරුම් ගන්න නම් හොඳටම පුළුවන්. පුතා ට සිංහල කියලා දෙද්දී, එයා එක්ක සිංහල කතාකරද්දී මටත් සිංහල ගැන අලුතින් හිතන්න වෙනවා. ඒකට හේතුව නොදන්නා කෙනෙක් දෙයක් ඉගෙන ගනිද්දී එයා ඉගෙනගන්නේ විශ්ලේෂණය කරමින්. අපි ඉගෙනගත්තේ විශ්ලේෂණය නොකර භාවිතයෙන්නේ. පුතා දවසක් අහනවා 'If දත් මදිනවා is brushing teeth how come රෙදි මදිනවා means ironing clothes ?' කියලා. මටත් ඒකට දෙන්න තාර්කික උත්තරයක් මතක් වුණේ නැහැ! හැම භාෂාවේම ඔය වගේ පොඩි පොඩි අසමපාත තැන් තියෙනවා කියලා විතරයි මට කියන්න පුළුවන් උනේ.
මේ වගේම භාවිතයෙන් ඉගෙන නොගෙන සමහර දේවල් වල එක තේරුමක් විතරක් දන්නා එකත් වෙලාවකට හිනාවට හේතු වෙනවා. ළඟදී මෙහේ තිබුණු 'බයිලා නයිට්' එකකට යන්න ටිකට් ගන්න අපි කතා වෙද්දී පුතා ඒ කතාවට හොඳට කන් දීගෙන හිටියා. අහගෙන ඉඳලා අන්තිමේදී අහනවා 'why do you want to go to a show where people are saying silly things?' මටත් පුතාගේ ප්‍රශ්නේ අගමුල තේරුණේ නැහැ මුලදී. පස්සේ තමයි තේරුණේ අපි එදිනෙදා කතා බහේදී 'බයිලා කියනවා' කියන්නේ අනම් මනම් කියනවා කියන යෙදුමෙන් කියලා. බලනකොට පුතා දැනගෙන ඉඳලා තියෙන්නේ ඒ 'බයිලා' විතරයි!
මමත් පුංචි කාලේ සේෂෙල්ස් රටේ ඉස්කෝලේ යද්දී එහෙ පාවිච්චි වුණු ක්‍රියෝල් භාෂාව ඉගෙනගත්තේත් තනිකරම trial and error වලින්. රටට ගිය අලුතම සති අන්තයේදී කළ දේවල් ගැන වාක්‍ය කීපයක් ලියලා චිත්‍රයක් අඳින්න පැවරුමක් ලැබුණා. එතකොට මම එකේ පන්තියේ. ඒ වෙද්දී මම දැනගෙන හිටියේ බොහොම සීමිත ක්‍රියෝල් වචන කීපයක් විතරයි. ඒ සති අන්තෙදී අපි මුහුදේ නාන්න ගිහින් තිබුණු නිසා මම ඒක චිත්‍රයක් ඇන්දා. ඒත් ඒ ගැන ලියන්න වචන කෝ! ළමයි කතා කරද්දී මම එහෙන් මෙහෙන් අහුලාගෙන තිබුණු වචන අතරේ තිබ්බා bathem කියලා වචනයක්. මොකක් හරි හේතුවකට මම හිතුවා ඉංග්‍රීසියෙන් sea bath කියන්න පුළුවන් නම් ක්‍රියෝල් වලින් කියන්නේ bathem කියලා වෙන්න ඇති කියලා. දන්නා ක්‍රියෝල් වචන දෙකතුනකුත් දාලා bathem වචනෙත් මැදට දාලා මම බොහොම ආඩම්බරයෙන් ගිහින් ටීචර්ට පොත පෙන්නුවා. චිත්‍රයයි, මම ලිව්ව දේයි සසඳලා ටීචර් නළල රැළි කරනවා මට හොඳට මතකයි. මම ලිව්ව වාක්‍යයට පහළින් ටීචර් ක්‍රියෝල් වලින් තවත් වාක්‍යයක් ලියලා මගේ වාක්‍යයේත් අඩුපාඩු දෙක තුනක් හදලා ලොකු හරියකුත් දාලා මට පොත ආපහු දුන්නා. bathem කියලා ක්‍රියෝල් වලින් කියන්නේ baptism කියන වචනේට බව මම ඉගෙනගත්තේ ඊට සෑහෙන කාලෙකට පස්සේ. එදා ටීචර් මගේ වාක්‍යයේ අඩුපාඩු හදලා කෑල්ලක් එකතු කරලා චිත්‍රයට ගැලපෙන්න හදලා තිබුණු ක්‍රියෝල් වාක්‍යයේ තේරුම I went to a Baptism first then I bathed in the sea'. මම වචනේ හරි තේරුම නොදැන ලිව්ව බව සමහරවිට ටීචර් ට නොතේරෙන්න ඇති. සමහරවිට තේරිලා මගේ හිත නොරිදෙන්න පුංචි වෙනස්කමක් කරන්න ඇති.
සිංහල පොත් ගන්න භාෂා පුස්තකාලෙට එන එකේ පන්තියේ පොඩ්ඩෝ ටික වැරදි වැරදි සිංහල කතාකරනවා දැක්කාම මට මේවගේ අතීත කතා මතක් වෙනවා. අපි සුළුවෙන් හිතුවාට අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්න එක කොයිතරම් ලොකු අභියෝගයක් ද කියලාත් ඒ එක්කම හිතෙනවා. වරද්දන්න බය නැති පුංචි කාලේ තමයි ඒකට හොඳම කාලේ!
photo- Pixabay
සීෂෙල්ස් රටේදී යන්තම් දන්නා ක්‍රියෝල් භාෂාව කතා කරන්නට ගොස් අමාරුවේ වැටුන අපේ අය හරියට ඉන්නවා. ජෝර්ජ් සහ නොයලින් බස් එකකට නගින්නට හදන කොටම නොයලින්ගේ සෙරෙප්පුව ගැලවිලා බිමට වැටිලා. එයා ඒක ගන්න බස් එකෙන් බහින කොටම, බස් එක තව මිනිත්තුවක් නතර කර ගැනීමට ජෝර්ජ් නවතින්න කියන එකට ක්‍රියෝල් වචනය වන 'රෙස්ටේ' rest'e යන වචනය වෙනුවට 'ආලේ' a'ale කියලා. a'ale කියන්නේ 'යමු' කියන එක නිසා බස් එක ගියා. ජෝර්ජ් බස් එක ඇතුලේ. නොයලින් තවම පාරේ. ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා ජෝර්ජ් ආපසු පයින් ආවා.
ReplyDeleteඑක දවසක් අපේ ගෙදරත් clean කිරීමට පැමිණි maid කෙනෙක් දිගටම වැඩ කළ නිසාත්, සවස් වේගෙන එන නිසාත්, වැඩ නතර කිරීම සඳහා මම 'රෙස්ටේ' rest'e කිව්වා. එයා බයවෙලා No...No....No .... කියා කිහිප වරක්ම කිව්වා. ඊට පස්සෙයි මම දැන ගත්තේ 'රෙස්ටේ' rest'e කියන්නේ "නතර කිරීමට" නොවන බවත් "නතර වීමට" කරන ආරාධනයක් බවත්!
පොඩි ළමයි කොහොම වෙතත් හරියට නොදන්නා භාෂා කථා කරන්නට ගොස් අමාරුවේ වැටෙන්නේ ලොකු අය !
තාත්තා- ඔය වගේ වැඩිහිටියන්ට ක්‍රියෝල් වැරදුණු කතා නම් series එකක්ම තියෙනවා නේද? :D ලොකු අය ප්‍රසිද්ධ තැන් වල වැරදියට ක්‍රියෝල් කතාකරද්දී අපිට ඒ කාලේ ලැජ්ජයි! අපි පුංචි නිසා ඉක්මනටම භාෂාව ඉගෙන ගත්තානේ.
Deleteඅපෙත් පොඩ්ඩෝ ඔය ප්‍රශ්නෙට මුහුණ දුන්නා. තමන්ගේ කකුල් රිදෙන බව අපේ අක්කගෙ පුතා කිව්වෙ.. 'මයි කකුල්ස් ආ හර්ටිං' කියලා. සිංහල ක්‍රියාපද වලට ing දාල කියන එකත් එයාලා කරනවා. දවසක් පුතාව හොයද්දි වැසිකිලියේ ඉඳලා එයා උත්තර දෙනවා 'තාත්තා අයෑම් කක්කිං' කියලා.
ReplyDeleteඕස්ට්‍රේලියාවට ආපු අලුත අපිත් භාෂා ප්‍රශ්න වලට මූණ දුන්නා. Today අහෙන්නම To Die කියලා. Hot (කෑම බීම සම්බන්ධයෙන්), Excite කියන වචන අපි භාවිතා කලේ වෙනස් අර්ථ වලින්. Hot කියන්නෙ උණු බව සහ Excite කියන්නෙ කලබලවීම කියල තමයි අපි දැනං හිටියේ. නමුත් වැඩි වශයෙන් මෙහෙ Hot භාවිතා වෙන්නේ කෑමක දැවිල්ල අඟවන්නත්, Excite කියන්නේ යමක් ගැන ප්‍රීතිමත් නොසන්සුන්තාවයක් අඟවන්නත් කියලා තේරෙන්න කල් ගියා.
Good die, might. You're light todie.
Deleteතිසර- බලාගෙන ගියාම ඉංග්‍රීසි එක්ක කලවමට සිංහල ඉගෙනගන්න පොඩි එවුන් ඔක්කොම එකම රටාවකටනේ කතා කරන්නේ!
DeleteHot වගේ තව වචන සෙට් එකක්ම තියෙනවා මෙහෙ වෙනස් තේරුම් වලට පාවිච්චි කරන. අපි smart කියලා පුරුදු පිළිවෙලයි/ කඩවසම් වගේ තේරුමක් එක්කනේ. මෙහෙ smart කියන්නේ දක්ෂයි කියන එකට බව තේරෙන්න ටිකක් කල් ගියා.
Pra Jay කියන්නා වගේ මෙහෙ accent එකට හුරු වෙන්නත් ටිකක් කල් යනවා. මුලදී නම් thick accent එකක් තියෙන කෙනක් එක්ක කතා කළොත් මොන මලදානයක් වත් තේරෙන්නේ නැහැ. මට මෙහෙ ආව අලුත phone එකෙන් කතාකරද්දී හරි අමාරුයි ඔසී කතා තේරුම් ගන්න. පස්සේ තමයි තේරුණේ කතා කරද්දී තොල් හෙලවෙන විදිහ දකින එකත් අපිට තේරුම් ගන්න උදවු වෙනවා කියලා.
ප්‍රාට මතකද මන්දා හැත්තෑ ගණංවල මැද හරියෙ රිචී බෙනෝ ඕස්ට්‍රේලියාවෙ මැච්වල කමෙන්ට්‍රි එක දෙද්දි ඇක්සන්ට් එක තේරුම් ගන්න හරිම අමාරුයි..ඒ පස්සෙ පස්සෙ මිනිහ ඒක හදාගත්ත.බෝයිකොට්ගෙ ඇක්සන්ට් එකටත් මම කැමතියි...
Deleteඅපේ හිතවතෙක්ගෙ පුතෙකුට මෙහෙ සිංහල භාෂා පාසලෙදි (Victorian School of Languages) රචනාවක් ලියන්න දීලා මා ගිය විනෝද ගමනක් ගැන. මේ පුතා රචනාව පටන් අරගෙන තියෙන්නෙ "මම මගේ හොඳම යාලුවාගේ පවුලත් සමග සෙනසුරාදා මුහුදු වෙරළට ගියා" කියලා. I went to beach with my best friend's family කියන එක කෙලින්ම සිංහලට හරවලා. "පවුල" කියන වචනෙන් බිරිඳ කියන තේරුම දෙනවා කියලා ඒ දරුවා දන්නෙ නෑනෙ. අපේ හිතවතා, දරුවගෙ තාත්තා, මේක පුතාට කියලා දීලා. තාත්තගෙ හිනාවයි මේ ලියපු එකේ වැරැද්දයි තේරුන දරුවා "මොන පිස්සු භාෂාවක්ද මන්දා සිංහල" කියලා වැඩේ දමලා ගහලා ගිහින්. අද මේ දරුවා අවසන් වසරෙ වෛද්‍ය සිසුවෙක්.
Deleteඅක්කා- ඔයාට නම් ඔය වගේ උදාහරණ ඕනේ තරම් හම්බවෙනවා ඇතිනේ හැම සතියෙම සිංහල උගන්නද්දී! :D අපේ භාෂාව කොයිතරම් සංකීර්ණ ද කියලා තේරෙන්නේ නොදන්නා කෙනෙකුට කියලා දෙන්න ගියාම.
Deleteඔයාට මතකද ඉස්සර අපේ පිටිපස්සේ ගෙදර නැවතිලා හිටිය DELIC course එකේ උගන්නපු ඇමෙරිකන් මනුස්සයා- මයික්- වැරදි වැරදි සිංහල කතා කරන හැටි? මට මතකයි දවසක් මිනිහා කියනවා 'මම පාර දිගේ පීනලාම ආවා!' කියලා ලොකු හපන්කමක් කළා වගේ. බලද්දී 'පයින්ම' ඇවිත් තියෙන්නේ :D