November 25, 2020

Agatha Christie ගේ පොත් කියවීම

මම මුලින්ම Agatha Christieගේ පොතක් කියවද්දී මට අවුරුදු නමයක් විතර ඇති. ඒ පොත් වල තියෙන මිනී මැරුම් කතන්දර ඒ වයසට නොගැලපෙනවා කියලා ඒ කාලේ කවුරුවත් මාව වැලක්වුවේ නැත්තේ හොඳ වෙලාවට! මම මුලින්ම Agatha Christieගේ පොතක් තෝරාගත්තේ ඇයි කියලා නම් මට මතක නැහැ, ඒත් ඒ පොත්වලට මම ඒ වයසේදීත් පුදුම විදිහට ඇබ්බැහි වුණා කියලා නම් හොඳට මතකයි. ඒ කාලේ අපි හිටියේ සේෂෙල්ස් වල. මගේ වාසනාවකට එහෙදි පුස්තකාලෙන් මම Agatha Christieගේ පොත් එක සැරේට හතර පහ අරන් යද්දීත් කවුරුවත් ඒ ගැන විමසිලිමත් උනේ නැහැ.

Agatha Christieගේ පොත් වල තියෙන්නේ පිටු 300 විතර. ඒත් ඒවායේ බොහොම සියුම්, ඒ වගේම හිත ඇදගන්න විදිහට මිනීමැරුම් වලදී ඒ අපරාධකාරයාව හොයාගන්න හැටි ලියවිලා තියෙනවා. කතාවට අත්‍යවශ්‍ය විස්තර මිසක් අදාළ නැති පරිසර වර්ණනා වගේ දේවල් ඒ පොත්වල නැහැ. Agatha Christieගේ ශෛල්‍යය තමයි කතාවේ තේමාවට අදාලව චරිත හතක් අටක් මුලදී අඳුන්නලා දෙන එක. ඉන්පස්සේ අන්තිම වෙනකම්ම කවුද මෙතැන අපරාධකාරයා කියලා කියවන්නාටත් නොතේරෙන්න අරගෙන ගිහින් අන්තිමේදී පුදුම කරවන එක. එහෙම පුදුමයක් දැනෙන්නේ අදාළ මිනීමැරුම විසඳන්න වුවමනා හැම ඉඟියක්ම මුල ඉඳන්ම අපට දීලා තිබුණු නිසා. පෙන්නලා තිබුණා- අපට පෙනුණේ නැහැ! 

වයසින් වැඩෙද්දීත් මගේ Agatha Christie පොත් ඇබ්බැහිය නම් අඩුවුණේම නැහැ. කාලයක් ගතවෙද්දී එහෙන් මෙහෙන් හොයාගෙන මම කොහොමහරි ඒ රහස් පරීක්ෂක පොත් හැත්තෑ ගණනම කියෙව්වා. ටික කලක් යද්දී ඒ පොත්වල මැද හරිය කියවද්දී මිනීමරුවා කවුද කියලා අනුමාන කරන්න තරම් මම Agatha Christie expert කෙනෙකුත් වුනා! "මේවා කියවලා මේකි අපිව කොයිවෙලේ මරලා දායිද දන්නේ නැහැ!" කියලා යාලුවෝ විහිලු කරන තරමට මගේ ඒ ඇබ්බැහිය ප්‍රසිද්ධත් වුණා. ඒ හැම පොතක්ම එකිනෙකට වෙනස්, හරිම නැවුම්. එක සැරයක් කියවපු පොතක් ලේසියෙන් ආයෙත් නොකියවන මම Agatha Christieගේ පොත් නම් තුන් හතර සැරේ කියවලා තියෙනවා. 

ඒත් මේ විස්තරේ මගේ Agatha Christie ඇබ්බැහිය ගැන විතරක්ම නෙමෙයි. 1890දී ඉපදුනු Agatha Christie මියගිහිනුත් දැන් අවුරුදු 44ක් වෙලා. ඒ නිසා ඇගේ පොත් හැම එකක්ම වගේ ලියවිලා තියෙන්නේ 1920-1950 වගේ කාලේදී කියන්න පුළුවන්. ඒවායේ තියෙන්නේ ඒ යුගයට අයිති පසුබිම් විස්තර. ඒ කියන්නේ ග්‍රැමෆෝන් වලින් සින්දු අහන, සාලයේ තියෙන දුරකථනයට පණිවිඩ ලැබෙන, ලියුම් මඟින් වැදගත් විස්තර දැනුම් දෙන කාලේ දේවල්. ඒත් එහෙම මේවායේ පසුබිම යල් පැනලා කියලා මේ පොත් වල ප්‍රසිද්ධිය අඩුවෙලා තියෙනවද? කොහොමවත්ම නැහැ! මම මේ බව හරියටම දන්නේ මෙල්බර්න් නගරයේ මම රැකියාව කරන High School library එකේ වැඩියෙන්ම ජනප්‍රිය පොත් අතරට Agatha Christieගේ පොත් ඇතුළත් නිසා. අවුරුදු 13-18 වගේ වයසේ ළමයි තමන් ආසා දෙයක් නම් මිසක් හොයා හොයා කියවන්නේ නැති බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. Agatha Christieගේ පොත් hold කරලා ලැබෙනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න, මම ඉස්සර කළා වගේ එයින් පොත්ම හතර පහ එක සැරේ උස්සගෙන යන සිසුවියන් මම දවස ගානේ දකිනවා. මේ පොත් කොයිතරම් ජනප්‍රියද කියනවානම් පුස්තකාලයේ අපි නිතරම replace කරන, වැඩියෙන්ම පාවිච්චි කරන පොත් ලිස්ට් එකේ ඉහළින්ම මේ පොත් පෙළත් තියෙනවා. ඒ සමානව තියෙන්නේ Harry Potter, Divergent, Hunger Games වගේ පොත් කියන එකෙන්ම මේවායේ ජනප්‍රියතාවය හිතාගන්න පුළුවන්.

"Did you know that these were originally written about a hundred years ago?" තමන් අරගෙන ගිය Agatha Christieගේ පොත් පුස්තකාලයට ආපසු දෙන ගමන් ඒවා රස වින්ද හැටි ගැන විස්තර කරන සිසුවියන්ගෙන් මම ඉඳහිට අහනවා.
ඒකට උත්තර හැටියට මට නිතරම ලැබෙන්නේ බොහොම පුදුමවුණු මුණූ ටිකක්. ඒගොල්ලන්ට ඒක හිතාගන්නත් බැහැ.

අවුරුදු සීයක් ගතවුණත් මේ කතන්දර පරණ වෙන්නේ නැත්තේ ඒවායේ විස්තර කෙරෙන මිනිස් හැසිරීම් සදාකාලික නිසා කියලා මට හිතෙනවා. ශතවර්ෂයක් ගියත් රසවිඳින්න පුළුවන් විදිහට පොත් ලිවීමේ හැකියාව! Agatha Christie මගේ ප්‍රියතම කතුවරිය විතරක් නෙමෙයි බොහොම ගෞරව කරන වීරවරිය වෙන්නේත් ඒ දක්ෂකම නිසායි. 

පින්තූරය- මම රැකියාව කරන පුස්තකාලයේ Agatha Christie පොත් එකතුවෙන් කොටසක්





3 comments:

  1. පොඩි කාලෙදි අපි හැමෝම ආසයි රහස් පරීක්ෂක කතා,හොල්මන් කතා කියවන්න. රෑට හොල්මන් කතා කියවලා ඉන්න තැනින් නැගිටින්න බයේ හිටපු හැටි මතක්වෙනවා. මමත් තවමත් කැමතියි රහස් පරීක්ෂක කතා, බටහිර ගොපලු කතා කියවන්න. Ngaio Marsh කියවලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැහැනේ, අපේ පුස්තකාලේ තියෙනවා! කියවලා බලන්න ඕන. ස්තූතියි මේ පැත්තේ ආවාට

      Delete
  2. මාර්ෂ්ගෙ එක කතාවක් තියනවා සර්කස් එකක පිහි විසිකරන්නෙක් ගැන. ලෑල්ලට හේත්තු කරන්නෙ බිරිඳ. පිහියක් වැදිල බිරිඳ මැරෙනවා. කතාව දිග ඇරෙන්නේ හිතල කරාද,වැරදීමක්ද කියල. වැඩේ කියන්නෙ පොතේ නම මතක නෑ!

    ReplyDelete