April 01, 2026

ජනවාරියේ රාත්‍රියක්



“අන්න ගෙවල් අයිතිකාරයා ඇවිත්, උඹ අරන් තියාගත්ත සල්ලි ටික ගනින්, අපි මේ මාසේ කොහොමහරි ගෙවාගමු ඒ සල්ලි නැතිව.” හල්කු තම බිරිඳ අසලට විත් කීවේය.

අතුගාමින් සිටි මුන්නි, ඔහු වෙත හැරුණාය. 

“එතැන තියෙන්නේ රුපියල් තුනයි. ඒ සල්ලි දීලා කොහොමද? එතකොට පොරෝනාව ගන්න සල්ලි කෝ? පොරෝනාවක් නැතිව මේ ජනවාරියේ රෑවල් කුඹුරේ ගතකරන්නේ කොහොමද? එයාට කියන්න අපට දැන්ම කාසි දෙන්න විදිහක් නැහැ, අස්වැන්න ගෙට ගත්තාම දෙන්නම් කියලා.”

හල්කු මඳ වෙලාවක් ලත විය. ජනවාරි මස ඔවුන් අසලටම පැමිණ තිබිණි. පොරෝනාවක් නොමැතිව කිසිසේත්ම කුඹුරෙහි රාත්‍රීන් ගත කළ නොහැක. නමුත් තර්ජනය කිරීමටත්, අපහාසයටත් හුරු නිවසේ අයිතිකරු මඟහැර ගැනීමට ක්‍රමයක් තිබුණේ ද නැත. වර්තමානයේ එළඹී ඇති අර්බුදය විසඳා පසු දිනක සීතලේ උන්නත් කම් නැති බව සිතූ හල්කු බිරිඳට කිට්ටු වී මෙසේ කීවේය.

“අපි මොනවා හරි කරගමු, පොරෝනාවක් ගන්න ක්‍රමයක් මම හොයාගන්නම්. ඔය සල්ලි ටික දීපන්.”

මුන්නි ඔහු වෙතින් ඉවත් වෙද්දී ඇගේ දෑස් කෝපයෙන් දිලිසෙමින් තිබිණි. 

“වෙන විදි කීයක් නම් කරලා බැලුවාද, කියන්න බලන්න මේ සැරේ මොන විදිහෙන්ද සල්ලි හොයන්නේ කියලා? ගෙවාගන්න බැරි වුණු ණය කොයිතරම් තියෙනවාද කියලා දෙවියෝ තමයි දන්නේ. මේ අඳ ගොවි රස්සාව අත ඇරලා දාන්න කියලා මම ඔහෙට කොයි තරම් කියනවාද? ඔහේට ඔය විදිහට මහන්සි වෙන්න බැහැ. අසවැන්න ගත්තත් ඒ සල්ලි පරණ ණය ගෙවන්න වෙන් කරන්න වෙනවා. අපි උපන්නේ හැමදාම ණය ගෙව ගෙවා ඉඳලා මැරිලා යන්නද? මම නම් මේ සල්ලි දෙන්නේ නෑ නෑමයි.”

“එහෙනම් ඉතින් ඒ මිනිහාගෙන් කුණු බැනුම් අහන්න තමයි වෙන්නේ” හල්කු දුක්බර ව කීවේය. 

“ඒ මොකටද ඒ මිනිහා බනින්නේ? මේක එයාට ගිය රට ද?” මුන්නි කේන්තියෙන් ඇසුවා ය.

නමුත් එසේ කියද්දී පවා හල්කු කී දේ හි අමිහිරි සත්‍යතාව රුදු සතෙකු ලෙසින් ඇය ව හඹා එමින් තිබිණි. අකමැත්තෙන් වුව බිත්තියේ විවරයක් වෙත ගිය ඈ, එහි සඟවා තිබුණු මුදල ගෙන හල්කු අත තැබුවාය. “දැන් වත් මේ අඳ ගොවිකම අත අරින්න. කුලී වැඩ කරන්න ගියොත් අපිට බඩට කාලා ඉන්න පුළුවන් වෙයි, බනින්න කෙනෙකුත් නැහැ. අනුන්ගේ ඉඩම් වල වගා කරලා කවදාවත් වගතුවක් නැහැ. හම්බ කරන දේ ආයෙත් ඒකටම පූජා කරලා අන්තිමේදී අපහාස විඳින්නත් වෙනවා.” ඈ කීවාය.

හල්කු මුදල ගෙන නිවසින් පිටතට යද්දී ඔහුගෙන් දිස් වූයේ තම හදවත ගලවා දෙන්නට සූදානම් අයෙකුගේ පෙනුමකි. පොරෝනාවක් මිළදී ගැනීම වෙනුවෙන් ඔහු මේ මුදල තම ආදායමෙන් ඉතිරි කරගත්තේ අමාරුවෙනි. තමන් දුප්පත්කමේ පතුලටම ගිලෙන බවක් ඔහුට දැනුණි. 

---------------------------

එය ජනවාරි මාසයේ අඳුරු රාත්‍රියක් විය. අහසේ තරු කට පවා සීතලේ ගැහෙන බවක් පෙනුණි. කුඹුරෙහි කෙළවර උක් පත් වියා සැකසූ පියස්සක් යට වූ උණ ලී අට්ටාලයක් මත වැතිර, ගෝනියක් පෙරවාගෙන හල්කු සීතලෙන් වෙව්ලමින් පසුවිය. අට්ටාලය යට ඔහුගේ බල්ලා, ජබ්‍රා වකුටු වී කෙඳිරි ගාමින් සිටියේය. මේ දෙදෙනාටම නින්ද අහලක වත් නොවිණි. 

“උඹට හීතල ද ජබ්‍රා? මම උඹට ගෙදරදී කිව්වානේ පිදුරු ගොඩට වෙලා ඉඳපන් කියලා. උඹ මොකටද මෙහෙ ආවේ? මට කරන්න දෙයක් නැහැ, දැන් උඹටත් හීතලේ තමයි ඉන්න වෙන්නේ. උඹ මට ඉස්සර වෙලා දුවලා ආවේ මම කුඹුරට වෙලා පූරි යි, රසකැවිලි යි කනවා ඇති කියලා හිතලා නේද? දැන් ඉතින් කෙඳිරි ගාපන්!” හල්කු සීතලට ගුලි වෙමින් කීවේය. 

ජබ්‍රා නොනැගිට ම කෙඳිරි ගා, කෙඳිරිය දිගු ඈනුමක් බවට පත් කර නිහඬ විය. සමහරවිට තමන්ගේ හඬ හාම්පුතාගේ නින්දට බාධා කරන බවක් උගේ බලු නුවණට වැටහෙන්නට ඇත.

හල්කු පහත් වී ජබ්‍රාගේ සීතල ලෝම අතගාන්නට විය. 

“උඹ හෙට ඉඳන් මාත් එක්ක නෑවිත් ඉන්න ඕන, නැත්නම් මේ සීතලට උඹ ව මැරෙයි. කොහෙන් එන හුළඟක් ද මන්දා මේක! අද දවසට මම අට වතාවක් දුම් පයිප්පය පිරෙව්වා. කොහොමහරි අපි මේ රෑ එළි කරගන්න එපායැ. ගොවිතැන් කළාම මේක තමයි ලැබෙන තෑග්ග, පින් කළ මිනිස්සු හොඳට උණුහුම් වෙලා තමන්ගේ ගෙවල් වල නිදි. අපි මෙහෙ දුක් වින්දාම වෙන කෙනෙකුටයි ලාබෙ ලැබෙන්නේ.”

ගිනි මැලයෙන් අඟුරු කැට කීපයක් ගත් හල්කු ඉන් තම දුම් පයිප්පය දල්වා ගත්තේය. 

“මේ පයිප්පෙ ඉරුවාම හීතල නැති වෙන්නේ නැහැ, ඒත් හිතට හොඳයි”

ජබ්‍රා ඔහු දෙස බැලුවේ දෑසේ උතුරන ආදරයෙනි.

“උඹ අදට විතරක් ඉවසගෙන ඉඳපන්. හෙට මම පිදුරු ටිකක් බිමට අතුරන්නම්, එතකොට උඹට හීතල අඩුවේවි.”

කෙතරම් උත්සාහ කළත් ඒ රාත්‍රියේ නින්ද හල්කු අසලට වත් පැමිණියේ නැත. නපුරු මායාකාරියකු ලෙස රුදු සීතල නිරතුරුවම ඔහුට බැට දුනි. මෙය තවදුරටත් ඉවසනු නොහැකි වූ තැන ඔහු ජබ්‍රා ව ඔසවා තම උකුල මතා තබාගත්තේය. බල්ලාගේ සිරුරෙන් දුගඳක් විහිදුනද එය ගණන් නොගෙන හල්කු ඌ ව තරයේ වැළඳ ගත්තේ සොයුරකු හෝ මිතුරකු වැළඳ ගන්නා ලෙසිනි. ඔහුට ඉන් මාස ගණනකින් නොදැනුණු සතුටක් දැනෙන්නට විය. ජබ්‍රා ට නම් තමන් දෙව්ලොවට ගිය බවක් දැනෙන්නට ඇත. තමන් ව අකර්මන්‍ය කළ දිළිඳුකම ගැන හල්කු ට ඒ මොහොතේ අමතක විය. ඒ වෙනුවට මේ සුවිශේෂී මිතුරුකම ඔහුගේ හදවතේ දොරටු විවර කර සිරුරේ හැම අණුවක් ම ඒකාලෝක කළ බවක් ඔහුට දැනුණි. 

හදිසියේම ජබ්‍රා ට ඈතින් කුඩා සතකුගේ හඬ ඇසිණි. සුළඟින් බැට කෑම නැවතී, තම හාම්පුතාගේ තුරුලට වී සිටීම නිසා ඌට අමුතු පරීක්ෂාකාරී බවක් ආරූඩ වී තිබිණි. වහා වහා මඩුවෙන් පිටතට දිව ගිය ජබ්‍රා, ඈත සිට බුරන්නට විය. හල්කු කීප වතාවක් ඌ ව නැවත ගෙන්වා ගැනීමට උරුවම් බෑ නමුත් ඌ යළි පැමිණියේ නැත. කුඹුරේ නියර මතින් ඒ මේ අත දුවමින් ඌ බුරන්නට වූයේ රාජකාරියෙන් උමතු වූ ලෙසිනි. 

තවත් පැයක් ගතවිය. සුළඟත් සීතල ත් ක්‍රම ක්‍රමයෙන් වැඩි වන බවක් පෙනුණි. හල්කු තම දෙදණ පපුවට තද කර, එහි මුහුණ ඔබා, ගුලි ගැසී සිටි නමුත් ඔහුට දැනුණු සීතලේ අඩුවක් නම් වූයේ නැත. තම ලේ මිදී ඇති බවක් ඔහුට සිතුණි. රාත්‍රිය තව කෙතරම් දිගු ද? තරු පන්ති ඒ වෙද්දී අහසින් අඩක් වත් පසුකර තිබුණේ නැත. පහන් වීමට තව පැය දෙක තුනක් වත් ඇති බව හල්කු ට සිතුණි. 

කුඹුරේ පියස්ස අටවා තිබුණු තැනට කිට්ටුවෙන් අඹ ගස් ගොන්නක් විය. බිම හැලෙමින් තිබුණු ඒවායේ පත් තැන තැන ගොඩ ගැසී පෙනුණි. මේ පත් එකතු කර ගිනි මැළයක් තැනුවොත් තමන්ට උණුසුම් විය හැකි බව හල්කු සිතුවේය. ඔහු වියළි අඹ පත් එකතු කරද්දී ජබ්‍රා ද ඉතා සතුටින් ඒ වෙත දිව ආවේය. තම දෑත ත් දෙපය ත් සීතලෙන් ගල් වී තිබුණ ද අඹ පත් විශාල ප්‍රමාණයක් එකතු කර ගැනීමට හල්කු සමත් විය. ටික වෙලාවකින් ගිනි මැලය හොඳින් ඇවිලෙන්නට විය. එහි ආලෝකයෙන් පෙනුණේ අඹ ගස් ගොන්න අඳුරු අහස තම හිස් මතින් ඔසවාගෙන යන ලෙසකි. අඳුර නම් ප්‍රීතිමත් සයුර මැද ගින්දරින් නැඟෙන එළිය ඒ මේ අත පෙරලුණේ රළ මත නැළවෙන බෝට්ටුවක් ලෙසිනි. 

හල්කු ගිනි මැළය ඉදිරිපස වැතිරී එහි උණුසුම විඳින්නට විය. සීත ඍතුව පරාජය කිරීමේ ආඩම්බරකාරී බවක් ඔහුට දැනුණි. 

“උඹට දැන් හීතල නැහැ නේද ජබ්‍රා? අපිට මේක කළින්ම කරන්නයි තිබුණේ, එහෙනම් අපි හීතලේ මැරෙන්න යන්නේ නැහැ.”

ටික වෙලාවකින් ගිනි මැළය නිවී ගියේය. අඹ ගස් ගොන්න වසා නැවතත් අඳුර පැතිරිණි. හල්කු තම සාලුව පොරවාගෙන උණුසුම් අඟුරු ගොඩ අසලම වාඩිවී සිටියේ තාලයක්ද මුමුණමිනි. නැවතත් සීතල පැතිරෙද්දී ඔහුට නිදිමතක් දැනුණි. හදිසියේම ජබ්‍රා මහා හඬින් බුරමින් කුඹුර දෙසට දිව ගියේය. මේ, වන සතුන් රංචුවක් කුඹුරට කඩා වැදී ඇති නිසා විය හැකි බව හල්කු ට සිතිණි. උන් ඒ මේ අත යන හඬත් පැළ ආහාරයට ගන්නා හඬත් අනුව ඒ ගෝන්නු විය හැකි බව ඔහු කල්පනා කළේය. 

“හැබැයි ජබ්‍රා ඉන්දැද්දී මොන සතෙකුටවත් කුඹුරට එන්න බැහැ, ඌ උන් ව කීතු කරයි, මට වැරදිලා වෙන්න ඕන, දැන් නම් ඔන්න ආයෙත් කිසිම සද්දයක් නැහැ. එකත් එකටම මට වැරදිලා.” හල්කු තමාටම කියාගත්තේය. 

ඔහු “ජබ්‍රා! ජබ්‍රා!” කියා හඬ ගැසූ නමුත් ඈත බුරමින් උන් බල්ලා ඔහු වෙත පැමිණියේ නැත.

දිගින් දිගටම කුඹුර දෙසින් සතුන් සැරිසරන හඬ ඇසෙන්නට විය. මේ වෙලාවේ, සීතලේ කුඹුරට ගොස් සතුන් එළවා දැමීමට හල්කු ට මහත් අලසකමක් දැනුණි. තමන් උණුසුම් ව උන් තැනින් නැගිටීම ඔහුට මරන්නා සේ විය. “හෝ, හෝ, හෝ!” ඔහු උන් තැනම හිඳ කෑ ගැසුවේ සතුන් බිය කිරීමේ අදහසිනි. වරක් ජබ්‍රා ගේ බිරීම උත්සන්න වූ විට ඔහු නැගිට ගත්තේ කුඹුර වෙත දිව යාමේ දැඩි අදිටනිනි. කිරි වැදී එන අස්වැන්න සිහි වී ඔහුට ජවයක් දැනුණි. නමුත් සීතල සුළඟ ඔහුගේ පිට මැදට දෂ්ට කළේ ගොනුස්සෙකු ලෙසින් ය. ඔහු නැවතත් ගිනි මැළයේ උණුසුම් අඟුරු ගොඩ අසල හිඳගෙන ඒවා අවුස්සා තම සීතල සිරුර උණුසුම් කර ගත්තේය. 

ඔහු උදෑසන අවදී වෙද්දී අහසේ හිරු නැගී තිබිණි. 

“අද දවසම නිදා ගන්නද හදන්නේ? ඔහේ මෙතැන හොඳට නිදි, අරෙහෙ කුඹුර විනාසයි!” මුන්නි කෑ ගැසුවාය.

හල්කු වහා වහා නැගිට්ටේය. “උඹ කුඹුර පැත්තේ ඉඳන් ද ආවේ?” ඔහු ඇසීය.

“ඔව් කුඹුර ඉවරයි. තමුසේ කොහොමද එහෙම නිදා ගත්තේ? අනික අර මඩුව හැදුවේ මොකටද මෙහෙම එළිමහනේ නිදාගන්න නම්?”

හල්කු තමන්ගේ නිදහස වෙනුවෙන් කියන්නට දෙයක් සොයන්නට විය.

“මාව මැරෙන්න ගිහින් බොහොම අමාරුවෙන් රෑ ගෙවාගත්තේ, උඹ කතාකරන්නේ අස්වැන්න ගැන විතරයි. මට රෑ ඉවසන්න බැරි බඩේ කැක්කුමකුත් හැදුණා”

දෙදෙනා කුඹුර අද්දරට ඇවිද ගියහ. මුලු කුඹුරම පාගා විනාස කර තිබුණු අතර ජබ්‍රා මළා සේ මඩුවේ නිදා උන්නේය. මුන්නි ගේ මුහුණ වසා ශෝකයේ සෙවනැලි පැතිරී තිබුණත් හල්කුගෙන් නම් දිස් වූයේ සතුටකි.

“දැන් ගෙවල් කුළියයි බද්දයි ගෙවන්න ඔහෙට කුළී වැඩ කරන්න වෙයි.” ඈ කීවාය.

“ඒත් මට මින්පස්සේ හීතලේ එළිමහනේ නිදාගන්න ඕන වෙන්නේ නැහැනේ” හල්කු සතුටින් කීවේය. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘January Night’ by Dhanpat Rai Srivastava (Premchand)

Translated from Hindi to English by David Rubin

AI Image 

No comments:

Post a Comment