November 08, 2025

ලොක්කාට ජය වේවා!


කල්කටාවේ බොහෝ වෙළඳ සමාගම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වන විවිධ ඖෂධීය පැලෑටි ලබා ගැනුණේ ඈත ගම්මානවල ගැමියන්ගෙනි. අත්පිට මුදලට කෙරුණු මේ ගනුදෙනු වැදගත්කමෙන් අඩු ලෙස සැලකුණු නිසා පොත්පත් වල මේ සැපයුම්කරුවන්ගේ නම් මිස ලිපිනයන් සඳහන් නොවූ තරම් විය. මේ කාර්යය භාරව සිටියේ ආයතනවල කනිෂ්ඨ ලිපිකරුවන් වූ අතර මේ ගනුදෙනුකරුවන් කිසි දිනක අංශ ප්‍රධාන ප්‍රධාන ලිපිකරු තබා වෙනාත් ජ්‍යෙෂ්ඨ ලිපිකරුවකුවත් දුටුවේ නැත. 

හරිපාද ප්‍රථම වතාවට තමන්ගේ ගනුදෙනු ක්‍රියාවලියේ අතරමැදියා වන නාගු ව මඟ හැර තමන්ගේ ඖෂධීය පැලෑටි තොගය නගරයේ කාර්යාලයට ගෙන යාමට තීරණය කළේ ය. ඔහුගේ ගම්මානයේ මෙවැනි පැලෑටි බහුල ව තිබුණු අතර ඒවා මෙසේ විකිණීමට ඔහුට මුලින්ම ඔත්තුව දුන්නේත් නාගු ම විය. මේ සඳහා ගැලපෙන්නේ කුමන පැළෑටිදැයි  තෝරා ගැනීමට ගම්මානයේ වෙදහාමිනේ වූ ශාන්ති ඔහුට ගුරු හරුකම් ලබා දුන්නාය. නමුත් හැම රාත්තල් සියයකටම රුපියල් දෙකක ලොරි කුලියක් ද නාගු ට ගෙවන්නට සිදු වූ බැවින් හරිපාද ට මින් වැඩි ලාභයක් ලැබුණේ නැත. මේ නිසා මේ වසරේ ඔහු තම පැලෑටි තොගය නාගු ට නොදී එකතු කරන්නට විය. නාගු මේ ගැන කීප වරක්ම විමසුවේය. 

“තමුසේ කරන වැඩෙන් ඔය බෙහෙත් බඩු ටික කුණු වෙනවා. ඔය කපොක් මුල්, සුදු පාර්පතී පැල එහෙම මාස හයකට වඩා තියාගන්න බැහැ, නරක් වෙනවා. ඉන්පස්සේ මිළ දෙගුණයකින් අඩු කරලා විකිණුවත් කවුරුවත් ගන්නේ නැහැ. මට දෙනවා, මං ඔය තොගයම කල්කටාවේ ගබඩාව ට යවන්නම්.”

නමුත් හරිපාද, නාගු සිතූ තරම් මෝඩයෙකු නොවීය. 

“නාගු මේ බෙහෙත් බඩු එකතු කරන්න මහන්සි වෙන්නේ වත් නැති එකේ ඌ ට මොකටද වැඩි ලාබය දෙන්නේ?” ඔහු තමාටම කියා ගත්තේය.

ඖෂධීය පැලෑටි මිළදී ගන්නේ හින්දුස්ථාන් සමාගම බව නගරයට එළැඹුණු විට හරිපාදට ආරංචි විය. ඔහු කෙලින්ම එහි කාර්යාලය වෙත ගිය නමුත් එහි දුටු දසුනින් මඳක් පසු බෑවේය. බැලූ බැලූ අත සේවකයන්, දොරටුපාලකයින්, විදුලි සෝපාන, නිරතුරුව හඬ දෙන දුරකථන සහ මහා දවාලේත් දැල්වුණු විදුලි බුබුළු පෙනුණි. මේ බරපතල රාජකාරිය නාගුට ම පැවරුවා නම් යැයි ඔහුට සිතෙන්නට විය. අන්තිමේදී ඔහු මඟ අසාගෙන නියමිත අංශය වෙත පැමිණුනි.

ඖෂධීය පැලෑටි මිළදී ගැනීම භාර ව සිටියේ තරුණ ලිපිකරුවෙකි. ඔහු භාණ්ඩ තොගය පරීක්ෂා කර ලබා දුන් මිළ පෙර ඔහු රාත්තල් සියයට ලැබූ මිළට වඩා අන්නා අටකටත් වඩා වැඩි බව හරිපාද ට වැටහිණි. පැළෑටි තොගයේ බර කිරුමට තරමක වෙලාවක් ගත විය. 

“ඔහේ ට කාසි ද ඕන නැත්නම් චෙක් එකක් ද?” ලිපිකරුවා විමසීය. “කාසි ඕන නම් හෙට එන්න වෙනවා. මම අවශ්‍ය වැඩ ටික කරලා තියන්නම්. මේ රිසිට් එක අරගෙන ගිහින් හෙට ප්‍රධාන ලිපිකාර මහත්තයාගෙන් අත්සනක් දාගෙන අර කවුන්ටරේට අරන් ගිහින් සල්ලි ගන්න.”

පසු දා පඩි දිනය වූ බැවින් මුදල් ලබාදෙන කවුන්ටරයේ මහා සෙනඟක් විය. සීල් තබන ලද ලියුම් කවර මත සේවකයන්ගේ නම් යතුරු ලියන කර තිබිණි. 

“නම? රාම් ශාරන් පාල්? මෙන්න කවරේ” මෙසේ කියමින් ලිපිකරුවා ලියුම් කවර බෙදා හැරියේය. ක්‍රම ක්‍රමයෙන් ලියුම් කවර මිටිය අඩු විය. ඇතැම්හු නික්ම යාමට පෙර තම කවරයේ වූ මුදල ගණන් කළහ. 

H. P. B මුලකුරු සඳහන් ලියුම් කවරයක් හරිපාද ගේ අතට ලැබිණි. ඔහුට නම් එය විවර කර මුදල් ගණන් කිරීමට ලැජ්ජා සිතිණි. මෙවැනි විශාල ආයතනයකට ගණන් වරදින්නට ඇති ඉඩ කුමක්ද? වැඩියත්ම ඔවුන් තම නම පවා කවරයේ සටහන් කරන්නට තරම් මහන්සි වූ විට!

නමුත් හරිපාද සීල්දා දුම්රිය පළ වෙත පැමිණි විට තම කවරය විවර කර මුදල් ගණන් කළ යුතු බව ඔහුට සිතෙන්නට විය. එසේ බැලු විට ඔහුගේ පුදුමය කෙතරම් වී ද යත්, සිය දෙපා පණ නැති වී ඔහුට අසුන් ගැනීමට සිදුවිය. රුපියල් හතළිහක් වෙනුවට එහි රුපියල් එක්දාස් එකසීයක් විය! වහා වටපිට බැලූ ඔහු හැකි ඉක්මනින් මුදල් නෝට්ටු තම සාක්කුවට ඔබාගෙන දිවගොස් නවතා තිබුණු දුම්රියකට ගොඩවිය.

රුපියල් එක්දාස් එකසීයක මුදල ඉතා සරල ගැමියෙකු වූ හරිපාද ට විශාල මුදලක් විය. මේ නම් දෙවියන්ගේ තෑග්ගක් බව ඔහු කල්පනා කළේ ය. තම ජීවිතයේ ඉතිරි කාලයම ඖෂධ පැලෑටි විකිණුවත් ඔහුට මේ මුදල එකතු කර ගනු නොහැකි වනු ඇත. සැබවින්ම ඒ, වාසනාව ඔහු ව සොයා ආ දිනයකි! ඔහුට මේ පුවත තම බිරිඳට පවසන තෙක් ඉවසුමක් නොමැති විය. දුම්රියේ ගමන ඉතා සෙමින් සිදුවන බවක් ඔහුට දැනුණි

ආයතනයේ සේවකයන් වැඩි කල් නොගොස් මේ අත්වැරැද්ද සොයා ගනු ඇති බව හරිපාද කල්පනා කළේ ය. නමුත් ඔවුන්ට තමන් ව සොයාගනු නොහැකි වන්නේ ඔහුගේ ලිපිනය ආදී විස්තර ඔවුන් සතුව නොවූ බැවිණි. කෙසේ වෙතත් මේ මුදල් නෝට්ටු තම සන්තකයෙන් ඉවත් කරගත යුතු බව ඔහු සිතුවේය. 

හරිපාද ගේ බිරිඳ, ආශාලතා මේ නෝට්ටු මිටිය දෙසත් ඔහු දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ කිසිත් වටහාගනු නොහැකි වූ ලෙසිණි. 

“මේ වගේ වැරදි නොවෙන්න මොකක් හරි වැඩ පිළිවෙලක් දාලා නැද්ද ඔය කොම්පැනි වල?” අවසානයේදී ඈ විමසුවා ය. 

“ලොකු කන්තෝරු වල තමයි මේ වගේ දේවල් ලේසියෙන් වෙන්නේ,” ඇගේ සැමියා පැහැදිලි කළේ ය. “නීති රීති වැඩි වෙද්දී ඒවායින් රිංගන්න පුළුවන් හිඩැස් වැඩි වෙනවා. ඔය කොටසේම සේවකයෝ පනහක් සීයක් වැඩ කරනවා, ඉතින් චෙක් කඩදාසි ම වුණත්  සෑහෙන්න තියෙන නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්.” 

“ඒත් මේ නෝට්ටු වල අංකයක් තියෙනවා නේද?” ආශාලතා නැවතත් ඇසුවාය. “මේ නෝට්ටු හොයලා දෙන්න කියලා පොලිසිය නිවේදනයක් කළොත් මොකද කරන්නේ? මම නම බය ඒකටයි.” 

“බය වෙන්න එපා. මම හිතන්නේ නැහැ රුපියල් සීයේ නෝට්ටු වල අංක ඔය තරම් ලොකු කොම්පැනියකින් ලියලා තියාගනී කියලා. කොහොමටත් මම හෙට සිරාජ්ගුන්ජු මාමා හම්බවෙන්න ගිහින් ඒ ටික මාරු කරගන්න ඉන්නේ. හොඳම වැඩේ කියන්නේ මේ කොම්පැනියේ මගේ තැපැල් විස්තර නැහැනේ, ඒ නිසා මාව අල්ලන්න බැහැ!”

මේ පැහැදිලි කිරීමෙන් හරිපාද ගේ බිරිඳ සෑහීමට පත් වූ බව පෙනුණි. 

“එහෙනම් ඔය නෝට්ටු ටික මාරු කරගන්න කොහොම හරි. අපි ඊළඟ පෝය දවසට සත්‍ය නාරායන් දෙවියන්ට පූජාවක් තියමු, උන්වහන්සේ අපි ගැන බලලා සන්තෝසෙන් ඇත්තේ.” 

හරිපාද ට මුදල් නෝට්ටු මාරු කරගැනීමට දුෂ්කර වූයේ නැත. කපටි සිතින් යුතුව, මේ මුදල් ලැබුණු ක්‍රමයක් තම මාමා ට හෙළි නොකර, ව්‍යාපාරයක් ඇරඹීමට තමන්ට උරුමයෙන් ලැබුණු ඉඩමක් විකිණූ බව පමණක් ඔහු කීවේය. එමෙන්ම සත්‍ය නාරායන් දෙවියන්ට පූජාවක් තැබීමට ද ඔහුට අමතක විය. මාසයක් ගත වූ තැනත් මේ සම්බන්ධයෙන් කිසිම කැළඹුමක් ඇති නොවූවත් හරිපාද නම් පසු වූයේ මහත් චකිතයෙනි. තමන් මේ මුදල තබා ගැනීම වැරදි ද? ඒ වෙද්දී ඒ කන්තෝරුවේ සේවකයන් මේ අත්වැරැද්ද ගැන සොයාගෙන ඇති බව නිසැක විය. මෙහි සම්පූර්ණ වගකීම තමන්ට මුදල් දුන් කනිෂ්ඨ ලිපිකරුවාට පැවරී තිබෙනු හැකි බවත් බොහෝ විට ඔහුට රැකියාව අහිමි වන්නට ඉඩ ඇති බවත් ඔහුට සිතුණි. 

කාලය ගෙවෙද්දී මේ සිදුවීම ගැන හරිපාද ගේ සිත් තැවුල ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට විය. මුලදී, පොලීසිය හෝ එකී සමාගම පැමිණ මේ මුදල තමන්ගෙන් උදුරා ගනී යන බියෙන් පසුවෙද්දී එය තමා සතුව තබාගැනීම වරදක් හෝ පාපයක් ලෙස ඔහුට හැඟුණේ නැත. නමුත් කල් ගත වෙද්දී ඒ බිය පහව ගිය අතර වෙනත් කැළඹුමක් ඔහුගේ සිතේ අරක් ගත්තේය. ඒ, සොරකම් කරන ලද මුදලකට තමන් අයිතිවාසිකම් කීමයි.

මෙලෙස සය මසක් ගත විය. මේ මුදල ආපසු ගොස් භාර දීම ගැන ඔහු නොයෙක් වර කල්පනා කළේය. නමුත් ඒ රුපියල් එක්දාස් එකසීයෙන් ඔහුට ආරම්භ කළ හැකි අපූරු සිල්ලර බඩු වෙළඳ සැල ගැන ඊළඟ මොහොතේ ඔහුට සිහි විය. ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය දැක මේ වරම ලබා දුන්නේ දෙවියන් විය හැකි ද? එසේ නම් මේ මුදල තමා සතුව තබා ගැනීම සුදුසු විය.

මුදල ආපසු භාර දීමට වැඩිම විරෝධයක් මතු වූයේ හරිපාද ගේ බිරිඳගෙනි. තම සැමියා ඒ ගැන කල්පනා කරන බව දැනුණු වහාම ඈ මහා කලබලයක් ඇති කළා ය. දිළිඳු දෙමව්පියන්ගේ දරුවෙකු ව ඉපිද, දිළිඳු මිනිසෙකු සමඟ විවාහ වී සිටි ඇයට ඒ රුපියල් එක්දාස් එකසීය මහා මෙරක් සේ විය. 

“උඹට තේරෙන්නේ නැද්ද? අපි මේ සල්ලි ලබා ගත්තේ රැවටීමකින්. ඒ බව තේරුණු දවසේ ඉඳන් මට නින්ද යන්නේ නැහැ. මට මේක උහුලාගෙන ඉන්න බැහැ. ඒ රුපියල් එක්දාස් එකසීයෙන් අපි හැමදාම ජීවත් වෙන්නයැ. ඔන්නොහෙ ඒක ආපිට දීලා දාමු” ඔහු ඇයව එකඟ කරවා ගැනීමට කරුණු දැක්වූයේ ය. 

“මොකක්ද මෙතැන රැවටිල්ල?” ඈ පිළිතුරු දුන්නා ය. “ලක්ෂ්මි දේවතාව අපේ ගෙදරට ඇතුල් වෙද්දී අපි ඈ ව පිටමං කරන්න ඕන ද? අපි කාවවත් රැවැට්ටුවේ නැහැනේ. මේක එයාලගේ වරදක්, අපේ නෙමෙයි. අනික ඔය වගේ ලොකු කොම්පැනියකට රුපියල් එක්දාස් එකසීය මොකක්ද? ඒ වගේද අපිට? අපිට ඒක ජීවිත කාලෙටම ඇති. ඔහේ බෙහෙත් පැලෑටි හොයන්න තිස්සෙම අකුල් අස්සේ රිංගලා, බලනවා හැටි! මේ සල්ලි වලින් කඩයක් ඇරලා සැනසිල්ලේ ඉන්න පුළුවන්.”

තම බිරිඳ ගේ මේ අදහස් හරිපාද ට මහත් කන්කරච්චලයක් විය. තමන් ඇයට වෙළඳ සැලක් ආරම්භ කිරීමේ අදහස ගැන කීවේ ඇයිදැයි ඔහු කල්පනා කළේ ය. එහෙත් ඇගේ මුහුණේ පීඩිත බව දකිද්දී, ඇගේ ඉල්ලීමේ දුක්ඛිත බව ඇසෙද්දී ඒ මුදල තමා සතුව තබාගත යුතු යැයි ඔහුට නැවත සිතෙන්නට විය. ‘මේ අවාසනාවන්ත ගෑනිට මට කවදාවත් සතුටක් දෙන්න බැරි වුණා, ඒ නිසා මේ කඩේ ඇරලා වත් අපේ ප්‍රශ්න විසඳාගන්න ඕන’ ඔහු සිතුවේය. ‘ආශාලතා තාම තරුණයි, ඒත් ඈ ජීවිතේ කිසිම සතුටක් විඳලා නැහැ. එයා වෙනුවෙන් මම මේ පාපය කරනවා’

දිවා කාලයට මෙසේ සිතුණත් රාත්‍රියේ මුළු ගම්මානයම නිහඬ බවේ ගිලී ගොස්, ආශාලතා තමා අසල තද නින්දේ පසුවෙද්දී හරිපාද ගේ සිතිවිලි වෙනස් විය. තමන් කර ඇත්තේ සොරෙකු වීම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය හේතු කාරණා සොයා ගැනීම පමණක් බව ඔහුට ඒ අවස්ථාවලදී සිතුණි. ගැහැනුන් නම් වන අමුතු ජීවින් කොටස කල්පනා කරන්නේ මුදල්, රන් අභරණ සහ ගෘහස්ථ කටයුතු ගැන පමණක් බව ඔහු සිතුවේය. කෙසේ හෝ ඒ මුදල ආපසු භාර දුන්නොත් තමන්ගේ ආත්ම වංචාව අවසන් වනු ඇත. 

කල් ගතවෙද්දී තමන්ට තම බිරිඳ නුරුස්සන බව හරිපාද ට වැටහිණි. තම ආදරණීය ආශාලතා! ඈ දැකීමෙන් ඔහුට කිසි සතුටක් දැනුණේ නැත. මෙවැනි තත්ත්වයකට ඔහු පත් වූයේ කෙසේද?

ඔවුන්ගේ වසු පැටවා මිය ගියේ මේ කාලයේදී ය. 

හරිපාද ට ඒ ගැන පුදුමයක් දැනුණේ නැත. මෙවැනි ගැහැනියක් වෙසෙන ගෙදරක එවැනි දේ බලාපොරොත්තු විය යුතු බවත්, ඇගේ පාප ඇසුර නිසා ඔහුට සිදුවන්නේ අගතියක් පමණක් බවත් ඔහුගේ මතය විය.

බිරිඳ ගැන දැනුණු මේ අප්‍රසාදය හරිපාද ගේ එදිනෙදා හැසිරීම ක්‍රම ක්‍රමයෙන් වෙනස් කළේය. ඔහු නිරන්තරයෙන් ඇයට දොස් පවරන්නට විය, කුඩා දේටත් ඇගේ ඇඟට කඩා පැන්නේය. අශාලතා ට මේ හැසිරීම තේරුම් ගන්නට නොහැකි විය. සැමියාගේ මේ වෙනස් වීමට හේතු විය හැක්කේ කුමක්ද? හිරු උදාවේ සිට හිරු බැස යන තෙක්ම තමන් මහන්සි වූවත් ඒ ගැන කරුණාවන්ත වදනක් පවසනු වෙනුවට ඔහු කුඩා දේටත් ඇයට බැණ වදින්නේ ඇයි? 

පසුගිය මාසයක කාලයක් තුළදී හරිපාද තමන්ට අනිසි ව ලැබුණු මුදලෙන් රුපියල් තිහක් හෝ හතළිහක් වියදම් කර තිබිණි. 

“මේ මනුස්සයා ගිනි මද්දහනේ බෙහෙත් පැලෑටි හොය හොයා කැලෑ වල රිංගන නිසාද මන්දා අසනීප පාටයි, මම එයා ගැන මීට වැඩිය හොඳින් බලන්න ඕන” යැයි සිතූ ආශාලතා ඔහුගේ රාත්‍රී ආහාරය වෙනුවෙන් දිනපතා ලූචි බදින්නටත්, වෙනත් රස මසවුළු සකසන්නත් විය. 

දිනක් හරිපාද රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී ආශාලතා ඔහුට උණුසුම් කිරි බඳුනක් ගෙනත් දුන්නාය. හදිසියේම ලූචියක් හපද්දී දිව හැපී ඔහු වේදනාවෙන් කෑගැසීය. ඒ ගැන බිරිඳගේ විමසුම් වලට පිළිතුරක් නොදී වේදනාවෙන් ඇඹරී ගිය මුහුණින් යුතුව ඔහු මුනිවතින් පසුවිය. 

“මොකද වුණේ?” ඈ නැවතත් කලබලයෙන් විමසුවාය. 

“උඹ නිසා තමයි මේ හැම දෙයක්ම. මේ ගෙදර එළිපත්තට උඹේ හෙවණැල්ල වැටුණු දවසේ ඉඳන් විපත්මයි වෙන්නේ. අර වහු පැටියා මැරුණෙත් ඒකයි.. තව ..”මෙසේ කෑ ගැසූ හරිපාද, ලූචි විසිරී යන සේ වැරෙන් පිඟාන තල්ලු කර, හුන් තැනින් නැගිට, නිවසින් පිටව ගියේය. කිරි බඳුනත් අතැතිව ආශාලතා ගල් ගැසී ඒ දෙස බලාගත්වනම සිටියාය.

එදින හරිපාද නැවත නිවසට එද්දී බොහෝ රෑ බෝවී තිබිණි. තම බිරිඳ නිසොල්මන් ව බරාඳයේ සිටිනු ඔහු දුර සිටම දුටුවේය. ඒ වෙද්දී ඔහුගේ දිවේ වේදනාව සමනය වී තිබුණු අතර තමන් අතින් කියවුණු රළු වදන් ගැන ඔහුට පසුතැවීමක් දැනෙමින් තිබිණි. ඔහු ඈ වෙත ගොස් සෙමෙන් මේසේ කීවේය.

“කෝ, නැගිටින්න, ඔයා කේන්තියෙන්ද ඉන්නේ? කෑම කෑවා ද?” 

ආශාලතාගේ දෑසෙන් කඳුළු බේරුණු අතර ඈ තව දුරටත් නිහඬව සිටියාය. ඔහු මුදු ලෙස ඇගේ අත ස්පර්ශ කළේ ය. ඉනික්බිති ඈ සාරියේ කෙළවරකින් දෑස පිසදා අන්තිමේදී මෙසේ කීවාය.

“ඔතැනින් වාඩිවෙන්න, මට දෙයක් කියන්න තියෙනවා.” 

“මොකක්ද?”

“අර සල්ලි ආපිට ගිහින් දෙන්න. වියදම් වුණු ගාණක් මගේ වළලු දෙක උකස් කරලා හරි, විකුණලා හරි පියවාගමු. ඔය සල්ලි මේ ගෙදරට ආව දවසේ ඉඳන් අපේ ගෙදර සාමය පිටමං උනා. ඕක අපි ළඟ තියෙනකම් අපිට සැනසිල්ලක් නැහැ, හෙටම යන්න.” 

මුදල ගණන් කර බලද්දී ඉන් රුපියල් සියයක් වියදම් වී ඇති බව හරිපාද ට වැටහිණි. පසුදින බිරිඳ ගේ වළලු ද ගෙන කල්කටාවට ගිය ඔහු ඉන් කිහිපයක් විකුණාගැනීමට සමත් විය. හින්දුස්ථාන් ආයතනයට එළැඹි විට ඔහු කනිෂ්ඨ ලිපිකරු වෙත යනවා වෙනුවට කෙළින්ම ප්‍රධාන ලිපිකරුගේ කාර්යාලයට ගියේ කනිෂ්ඨ සේවකයා අතින් කළින් සිදු වූ අතපසු වීම නිසා ය. කාර්යාලයේ වෙන කිසිවෙකු නොවීය.

“මොකද?” නිලදරුවා විමසීය.

හරිපාද සම්පූර්ණ විස්තරයම පැවසුවේය. ප්‍රධාන ලිපිකරුට තම සවන අදහා ගන්නට නොහැකි විය. මේ මුදලේ අඩුව කාර්යාලය තුළ මහත් කලබගෑනියක් ඇති කර තිබිණි. මුල් වතාවේ හරිපාද එහි පැමිණ දෙදිනකට පසු ඒ වැරැද්ද සොයා ගැනුණු අතර ඔහුගේ විස්තර සොයන්නට ඔවුන් කෙතරම් වෙහෙස වූවත් ඉන් පලක් වූයේ නැත. අන්තිමේදී අදාළ කනිෂ්ඨ ලිපිකරුවාගේ මාස් පඩියෙන් රුපියල් තිහක් බැගින් කපන්නටත් ඔහුට වාර්ෂික දීමනාව ද අහිමි කරන්නටත් නියම විය. 

දැන්, ඊට මාස ගණනාවකට පසු මුදල් ගෙන අතුරුදන් වූ තැනැත්තා නැවතත් මුදල් රැගෙන පැමිණ ඇත! අවුරුදු පනස් දෙකක් වූ තම ජීවිත කාලය තුළදී ප්‍රධාන ලිපිකරු මීට පෙර මෙවැන්නක් දැක තිබුණේ නැත. 

“තමුසේ මුළු ගාණම ගෙනාවද? දැන් ඔක්කොම දෙනවාද? කළින් ආවේ නැත්තේ මොකද?” ඔහු ප්‍රශ්න කළේය. 

“එදා මෙතැනින් යද්දී එහෙම වැඩියෙන් සල්ලි ලැබුණු බව මම දැනගෙන හිටියේ නැහැ සර්, පස්සේ දැනගත්තාම මගේ තණ්හාව මාව අන්ධ කළා. අපි දුප්පත් මිනිස්සුනේ සර්” 

මුදල් ගණන් කර භාරගත් පසු හරිපාද එසැණින් යන්නට ගියේය. නමුත් ඒ වෙද්දී මේ අරුම පුදුම ආරංචිය කන්තෝරුව වටා පැතිරී තිබිණි. විස්තර දැනගැනීමට සෙසු සේවකයෝ ප්‍රධාන ලිපිකරුගේ කාර්යාලයට රොක් වූහ. 

“තමුසෙලා දන්නේ නැහැ හරියටම සිද්ද වුණ දේ” ලොක්කා සිනාසෙමින් පැවසීය. “මම මේ කොම්පැනිය වෙනුවෙන් කොයිතරම් මහන්සි වුණත් කවදාත් මට ප්‍රසිද්ධියක් ලැබිලා නැහැනේ. අර මිනිහා හිතන්න ඇති මාස කීපයක් ගත වුණු නිසා කාටවත් ඌව මතක නැතිව ඇති කියලා. ආයෙත් මොනවහරි විකුණන්න එන්න ඇත්තේ. මම දැක්ක ගමන් ඇහුවා ‘තමුසෙගෙ නම මොකද්ද, තමුසෙට නේද කළින් වතාවක වැඩිපුර මුදල් ලැබුණේ කියලා.’ මම ඕකාගේ අත්සනින් ඇඳිරුවේ. ඌ බයට සුදුමැලි වුණා. මම කිව්වා සල්ලි නොදුන්නොත් පොලිසියට කියනවා කියලා. ඌ බිස්නස් කාරයෙක්ද කොහෙද, උගේ ළඟ ඒ වෙලාවේ සල්ලි තිබුණා. කොහොමහරි ඌ සල්ලි දීලා ඉක්මණින් පැනලා දිව්වා!”

“ලොක්කාට ජය වේවා!” රැස්‌ ව සිටි සේවක පිරිස ප්‍රීති ඝෝෂා කළහ. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Bravo to the Boss’ by Bibhuti Bhushan Banerji

Picture- Gemini

No comments:

Post a Comment