May 11, 2023

මුහුදු ඉස්කෝලේ නිවාඩු- අසම්පූර්ණ සුරංගනා කතා



මිලා අද දවසම ගත කළේ හැංගිලා. උසට උසේ ඒ මේ අත වැනෙන මුහුදු තණකොළ අතරේ ඉඳන් එයා සැරෙන් සැරේ එළිය බැලුවා. ඊයේ උදේ ඇතිවුණ තිගැස්ම නිසා හැමතිස්සෙම තමන්ගේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ එයාට දැනුණා. කොහොමහරි මේ කොළ පාට මුහුදු තණකොළ අතරේ එයාගේ දිස්නේ දෙන කහ පාට පැහැදිලිවම පේන නිසා ඒ හැංගිල්ලෙන් වැඩක් නැති බවවත් එයාට මතක් වුණේ නැහැ.

මුහුදු ඉස්කෝලේ නිවාඩු දුන්නු දවසේ ඉඳන්ම මිලා එයාගේ කකුළු යාලුවා මිකීයි, පසැඟිලි යාලුවා ඩේලියායි එක්ක ඔට්ටු තියමින්, හැංගිමුත්තන් කරමින් ගත කළා. උදේ ඉර නැඟෙන වෙලාවට කොරල් පර අතරේ හරිම ලස්සනයි. පැහැදිලි මුහුදු වතර අතරින් පෙරිලා එන ඉර එළිය තීරු නිසා කොරල් පඳුරු තැඹිලි පාටට, රතු පාටට, රත්තරන් පාටට දිලිසුණා. 

ඒත් ඊයේ උදේ නම් හැංගිමුත්තන් කරන වෙලාවේ ගල් පර දෙකක් අතර හැංගෙද්දී මිලා හොඳටම බයවෙන දෙයක් වුණා. හදිසියෙම ගැඹුරු මුහුදේ අඳුර අතරින් හොල්මනක් මතු වුණා! 

මිලා හොල්මන් ගැන අහලා තිබුණේ පරණ කතන්දර කියන කැස්බෑ ආච්චිගෙන්. මුහුදේ ලෝකයට එහා අහස් ලෝකයේත් ගොඩබිම් ලෝකයේත් අමුතු ලස්සන කතන්දර ගොඩාක් කැස්බෑ ආච්චි දැනගෙන හිටියා. කම්මැලි හවස් වරු වලට පොඩි පොඩි මාළු පැටව්, කකුළු පැටව් මේ කතන්දර අහන්න කැස්බෑ ගෙදරට රොක් වුණා. කැස්බෑ ආච්චි කීව කතා අතරින් හොල්මන් කතා මිලාගේ හිතේ තදින්ම සටහන් වෙලා තිබුණා.

ඉතින් ඊයේ ඒ අඳුර මැද්දෙන් දැක්කේ හොල්මනක් කියලා මිලාට හොඳටම විස්වාසයි. කැස්බෑ ආච්චි කීව විදිහටම ඒ හොල්මන විනිවිද පේන දිග ගවුමක් ඇඳගෙන තමන්ගේ ඉස්සරහින් බොහොම හිමින් පාවෙලා ගියා. මිලා බය වුණු පාරට උන්නු තැනත් අමතක වුණා. ගල් පර අස්සේ සෑහෙන්න වෙලාවක් හැංගිලා ඉඳලා හොරෙන් එබිලා බලද්දී හොල්මන පේන්න හිටියේ නැහැ. 

“මොකද, අද සෙල්ලම් කරන්න යන්නේ නැද්ද? අන්න මිකී කතාකරනවා” තාත්තා ළඟටම ඇවිත් කියද්දී මිලා තිගැස්සුණා.

“නෑ මේ, මං මේ..” එයාට වචන පැටලුණා.

“ඒ පාර මොකක්ද කරගත්තේ?”

තාත්තා මිලා දිහා බැලුවේ ඇස් පුංචි කරලා. කලින් වතාවක සෙල්ලම් කරන අතරේ අම්මලාට හොරෙන් ගැඹුරු මුහුදට ගිහින්, මිකීව පරණ මාළු දැලක පැටලුණු අකරතැබ්බය තාත්තට මතක් වුණු බව මිලාට තේරුණා. එදා මිකීව බේරගන්න තාත්තා මහන්සි වුණත් පස්සේ යාළුවො තුන්දෙනාවම පේළියට තියලා හොඳ දේශනයක් දුන්නා. 

“නෑ නෑ එහෙම මුකුත් නෙමෙයි” මිලා ඉක්මණින් කිව්වා. “මේ ඊයේ, අපි සෙල්ලම් කරද්දී….” 

මේ කතාව අහලා තාත්තා හිනාවෙයි කියලා හිතිලා මිලා කතාව අතරමඟ නැවැත්තුවා. කැස්බෑ ආච්චිගේ කතන්දරවල තමන්ට දැනෙන හුස්ම හිරවෙන ජාතියේ පුදුමය වැඩිහිටියන්ට නොදැනෙන බව යාළුවො ටික ළඟදීත් කතා වෙලා තිබුණේ.

“ඔව් ඔව්, මොකද වුණේ?”

තාත්තා ඇහුවා.

ඔන්න ඔහේ කියලා දානවා කියලා මිලාට හිතුණා.

“මම අර ගල්පර අතරේ හැංගිලා ඉන්දැද්දී හොල්මනක් දැක්කා!” මිලා කීවේ ඇස් දෙක ලොකු කරන්.

මේක අහලා තාත්තා හිනාවුණේ නැහැ. මිලා දැක්ක හොල්මන ගැන විස්තර ගොඩාක් ඇහුවා. ඊටපස්සේ ටිකක් කල්පනා කළා. 

“තාත්තාත් හොල්මන ගැන අහලා බය වෙලාද?” මිලා තමන්ටම කියාගත්තා.

“මම ඉක්මණින් එන්නම්.” තාත්තා හදිසියේම ඈතට පීනාගෙන ගියා. 

තමන් තවදුරටත් බය වෙන්න ඕනද නැද්ද කල්පනා කරමින් ඉන්න අතරේ මිලාට නින්ද ගියා.

“මිලා, මිලා! මේ බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා!” 

තාත්තාගේ කටහඬ ඇහිලා මිලා ගැස්සිලා ඇහැරුණා. එයා හිමින් සැරේ මුහුදු තණකොළ තීරු අතරින් එබිලා බැලුවා. මෙන්න එතැන අර හොල්මන! ඊට එහාපැත්තෙ තාත්තා හිනාවීගෙන ඉන්නවා. මිලාට පොඩි බයකුත් ලොකු කුතුහලයකුත් දැනුණා.

“මෙන්න මිලා ඔයාගේ හොල්මන, අපේ ජෙලිෆිෂ් මහත්තයා!” තාත්තා හයියෙන් හිනාවුණා.

ඇත්ත නේන්නම්, හොඳට එලිය තියෙන තැනක ඉන්දැද්දී ඒ ජෙලිෆිෂ් මහත්තයෙක් බව පේනවා! ජෙලිෆිෂ් මහත්තයා මිලා ට ලොකු හිනාවක් දුන්නා.

හැංගිලා හිටිය තැනින් එලියට එද්දී මිලාට පොඩි ලැජ්ජාවක් දැනුණා තමයි, ඒත් ඉතින් ඒ හිටියේ හොල්මනක් නෙමෙයි නිසා දැනුණේ ලොකු සැනසිල්ලක්. 

“ජෙලිෆිෂ් මහත්තයාගෙන් අහන්න ඕන මාත් එක්ක පොඩි ගමනක් යන්න එනවාද කියලා,” මිලා තමන්ටම කියා ගනිද්දී එයාගේ මූනේ කපටි හිනාවක් ඇඳුනා.

-හෙල්මලී ගුණතිලක-

digital painting

 අසම්පූර්ණ සුරංගනා කතා #3


3 comments:

  1. ඒක අපූරුයි
    අසම්පූර්ණ නැහැත් වගේ
    මොකක්ද දන්නේ නෑ plan එක

    ReplyDelete
    Replies
    1. කුමුදු- තව පොඩ්ඩෙන් අසම්පූර්ණ කතාව සම්පූර්ණ වෙනවා! :D

      Delete
  2. Finding Nemo මතක් වුනා.
    https://youtu.be/u9DbF2PMrDs?t=148

    ReplyDelete