November 18, 2026

මිහිපිට දෙව්ලොව- නොර්වේ රටේ බර්ගන් නගරය

මිහිපිට දෙව්ලොව කියන යෙදුම අපි කතාකරද්දී යොදනවානේ. ඒ යෙදුම කිසිම සැක සංකාවක් නැතිව යොදන්න පුලුවන් තැනක් තමයි නොර්වේ රටේ බර්ගන් (Bergen) නගරය. ඔස්ලෝ නගරයෙන් 500km විතර දුරින් නොර්වේ හි නිරිතදිග වෙරළ තීරයේ පිහිටලා තියෙන බර්ගන්, ඒ රටේ දෙවෙනි විශාලතම නගරය. කඳු හතකින් වටවෙලා  තියෙන නිසා මේකට "කඳු හතේ නගරය" (City of Seven Mountains) කියලාත් කියනවා.

අවුරුද්දෙන් වැඩි ප්‍රමාණයක් වැස්ස ලැබෙන ප්‍රදේශයක් හැටියටත් බර්ගන් නගරය සැලකෙනවා. (අවුරුද්දකට දවස් 200-240 අතර) මේ නිසා ඒක යුරෝපයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන නගරවලින් එකක්. කොයි වෙලාවෙත් අහස කලු කරලා තියෙන එකෙන් මේ පළාතේ ලස්සන වැඩිවුණා කියලා මට නම් හිතුණා. ඒ වගේම සැරින් සැරේ දුවන පොද වැසි කොයිතරම් සාමාන්‍ය ද කියනවා නම් බර්ගන් වැසියෝ ඒවාට තමන්ගේ ගමන් බිමන් බාල කරන්නේවත් නැහැ. 

සංචාරයේදී අපි බර්ගන් වල දවස් කීපයක් ගත කළේ එහෙ බලන්න ලස්සන තැන කීපයක්ම තිබුණු නිසා.

බ්‍රිගන් (Bryggen) පැරණි වරාය 

මේ හන්සියාටික් (Hanseatic) වෙළඳ සමයේ ඉදි කළ  වර්ණවත් ලී ගොඩනැගිලි පේළියක්. මේ ගොඩනැගිලි බොහොමයක් තාම ප්‍රයෝජනයට ගැනුණත් සමහර ඒවා නම් වාසයට සුදුසු නැති තරම් පරණ බව පෙනුනා ඒත් යුනෙස්කෝ ලෝක උරුමයක් හැටියට නම් කරලා තියෙන නිසා ඒවා සංරක්ෂණය කරලයි තියෙන්න. මේ අවට තියෙන පටු මාවත්වල ඇවිදින එක බොහොම සුන්දර අත්දැකීමක් 




ෆ්යෝර්ඩ්ස් වෙත පිවිසුම (Gateway to the Fjords)

නෝර්වේවල සුප්‍රසිද්ධ කඳු අතරින් කඩා හැලෙන දිය ඇලි සමූහය (Fjords) නරඹන්න යන්න පිවිසුම් දොරටුව බර්ගන් නගරය. මෙතැනදී තරමක් ලොකු නැවක pre-booked fjord tour එකක් යන්න අපට අවස්ථාව ලැබුණා. ඒ ගමන පැය තුනහමාරක් තිස්සේ  Osterfjord  සහ පටු Mostraumen channel ඔස්සේ ගමන් කළා. මෙහෙම යද්දී කඳු අතරින් වැටෙන දිය ඇලි, ගං ඉවුරුවල පුංචි ගම්මාන එහෙම දකින්න ලැබෙනවා. අතරමඟ දී බර්ගන් වලට වහින වැස්සෙන් බේරෙන්න නොලැබුණත් ඒ ගමන බොහොම magical බව කියන්න ඕන. 






ෆ්ලෝයියන් කන්ද (Mount Fløyen) 

බර්ගන් නගරේ මැද ඉඳන් විනාඩි කිහිපයකින් ළඟා වෙන්න පුලුවන් තැනක් ෆ්ලෝයියන් කඳු මුදුන (Mount Fløyen). ෆ්ලෝයිබානන් කේබල් කාර් සේවය (Fløibanen) මේ ප්‍රවාහන පහසුකම සපයනවා. මේ කඳු මුදුනේ ඉඳන් බැලුවාම පහළ නගරයේ, වරායේ සහ අවට මුහුදු තීරයේ බොහොම සුන්දර දසුන් පේනවා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ ලස්සනක්. 








ඒ වගේම ඒ කඳු මුදුනේ කැෆේ එකක් වගේම walking tracks තියෙනවා. ඒ ලස්සනට වශී වෙලා ඒ අඩිපාරවල් දිගේ ඇවිදගෙන ගියාම අපිට දකින්න ලැබුණේ කඳු අතරේ නිම්නයක තිබුණු බොහොම ලස්සන විලක්! මේක Lake Skomakerdiket හෙවත් Shoemaker's Lake බව අපි දැනගත්තේ පස්සේ. ඉස්සර සපත්තු මහන ය තමන්ගේ හම පදම් කරන්න වතුර ගන්න පාවිච්චි කළ විල ලු ඒ. 




ඒ වගේම ඒ ගමනේදී බොහොම ගාම්භීර එළුවෝ රංචුවකුත් අපට මුනගැහුනා. ඒ කණ්ඩායමේ සාමාජිකයින්ට වෙන වෙනම නම් තියෙන බවත්, කඳු මුදුනේ වල් බිහිවෙන එක වළක්වන වගකීම එයාලට පැවරිලා තියෙන බවත් විස්තර පුවරුවක් තිබුණා. 


Bergen Fish Market

Bryggen වරාය කිට්ටුව තියෙන මේ මාකට් එකෙන් අලුත්ම seafood වර්ග වගේම නෝර්වේ රටේ සාම්ප්‍රදායික කෑම ජාති මිළට ගන්නත් රස විඳින්නත් පුලුවන්. 



බර්ගන් නගරය 

මීට අමතරව බර්ගන් නගරයත් බොහොම සුන්දර නගරයක්. ඒකෙ ස්වභාව සෞන්දර්යයට අමතර ඇඟට දැනෙන calm සහ peaceful vibe එකක් තියෙනවා. හරියට කිසි දෙයක් කලබලයෙන් වෙන්නේ නැති මායා ලෝකයක් වගේ. 


මේ පැත්තේ සවාරියක් දාන්න හිතාගෙන ඉන්න කෙනෙකුට ග්‍රීෂ්ම කාලය (ජුනි - අගෝස්තු දක්වා) වඩාත්ම සුදුසුයි කියලයි කියන්නේ. ඒ කාලේ උණුසුම් දේශගුණය සංචාරයට හිතකරයි ලු. හැබැයි ඒ නිසාම ඒ කාලයේ සංචාරකයෝ  වැඩි වෙන්න පුලුවන්.  

අපි මේ සංචාරයේ ගියේ සැප්තැම්බර් මාසයේ, ඒ කියන්න සරත් කාලයේ. ඒ කාලෙත් මේ පළාතේ වෙනම ලස්සනක් තියෙනවා. ඒ වගේම සංචාරකයින්ගේ තදබදය අඩුයි. අවුරුද්දේ කොයි කාලේ බර්ගන් ගියත් වැස්සකට දෙකකට අහුවෙන්න සූදානමින් යන්න ඕන බව තමයි මතක තියාගන්න ඕන!  

1 comment:

  1. ඔබේ සංචාරයේ රසමුසු තැන් ඔස්සේ අපිව ද අරන් ගිය සංචාරය හරිම අපූරුයි, ලස්සනයි. චොකලට් කවදත් රසයි. සුබ පැතුම්!

    ReplyDelete