"මරියා...මරියා, ඇස් ඇරලා බලන්න මේ කවුද ඇවිත් ඉන්නේ කියලා"
ලූකාගේ පහත් හඬ කාමරයේ නිහඬ බව බින්දා. ජනේලයේ ඝන තිර රෙදි අතර පුංචි ඉඩෙන් ගලාගෙන ආව ඉර එළිය තීරුව ඒ කාමරය එළිය කරන්න සමත් වුණේ නැහැ. ඇස් දෙක වහගෙන හිටිය මරියාගේ සුදුමැලි මුහුණ කාමරයේ ලා අඳුර අතරින් පෙනුණේ බැහැගෙන යන හඳක් වගේ.
"මරියා, මම දන්නවා ඔයාට ඇහෙන බව. එක සැරයක් ඇස් ඇරලා බලන්නකෝ"
ලූකා ආයෙමත් ඇහෙන නෑහෙන හඬින් කිව්වා. ඇඳ හරහාට වැටිලා තිබුණු ලූකාගේ හෙවනැල්ලට තව හෙවනැල්ලක් එකතු වුණේ කාමරයේ දොරකඩ උන්නු අමුත්තා තව එක පියවරක් කාමරය ඇතුළට ආ නිසායි.
ලූකා ආපිට හැරිලා අමුත්තා දිහා බැලුවා. "මරියා ඇස් වහගෙන හිටියාට අපි කියන දේවල් ඇහෙනවා ලොරෙන්සෝ, මම ඒ බව සහතිකෙන්ම දන්නවා" ලූකා බැගෑබර කටහඬකින් කීවා. ලොරෙන්සෝ ඇඳ ළඟට කිට්ටු වුණේ පය පැකිලෙන ගමනකින්.
ලූකා ආයෙමත් මරියාගේ පැත්තට හැරුණා.
“ඔයා හිතන්නෙවත් නැති කෙනෙක් මේ ඔයාව බලන්න ඇවිත් ඉන්නවා මරියා. ඒ නිසා අද ඔයාට ඇස් අරින්නම වෙනවා! ඉතින් ඔය දෙන්නා කතාකරන්නකෝ. මම දවල් සුප් එකට ඕන එළවලු ගන්න කඩමණ්ඩියට ගිහින් එන්නම්. මම ඉක්මණින් එනවා!"
එහෙම කියලා ලූකා යන්න හැරුණා. කාමරේ දොර ළඟටත් ගිහින් ආපිට ආව එයා, ලොරෙන්සෝ ගේ උරහිසට අතක් තියාගෙන මොහොතක් ඉඳලා යන්න ගියා.
කාමරේ ඉතිරි වුණේ ලොරෙන්සෝත්, මරියාත්, කාමරය පුරාවට බරට දැනෙන නිහඬ බවත් විතරයි. ලොරෙන්සෝ හෙමින් වටපිට බැලුවා. කාමරයේ මඳ අඳුරට එයාගේ දෑස් හුරුවෙමින් තිබුණේ. මරියා සන්සුන් නිදි ඉරියව්වකින් ඇඳේ වැතිරිලා උන්නා. එයාගේ මූණ තිබුණේ අඳුරේ. සුදු පාට ඇඳ ඇතිරිලිත්, ඝන නිල් පොරෝනාවත් පිළිවෙලට, පිරිසිදුවට පෙනුණා. ලොරෙන්සෝගේ දෑස කාමරය පුරාවට දුවන්න වුණා. කාමරයේ එක කෙළවරක පරණ සනීප පුටුවක් තිබුණා. එතැනම කනප්පුවක් උඩ තිබුණු පොත් කීපයත්, බාගෙට නිම කළ ගෙත්තමත්, කන්නාඩි කුට්ටමත් බොහොම දවසක් තිස්සේ එහෙමම තිබුණු ලකුණු පෙනුණා. මරියාගේ ඇඳ ළඟ ම අකුලන ඇඳක් නවලා තිබුණා. ඇඳ ළඟ කනප්පුව උඩ නම් තිබුණේ බෙහෙත් බෝතල්, උණ කටු, උණු වතුර බෝතල් වගේ දේවල්. කාමරයේ බිත්තිවල රාමු කළ සේයාරූ කීපයක්ම තියෙන බව ලොරෙන්සෝට පෙනුණා. ඉන් එකක් මඟුල් පින්තූරයක්. මීට අවුරුදු විස්සකට කළින් හිටිය තරුණ මරියා ව ආයෙත් ඒ පින්තුරයෙන් දැකගන්න බලවත් ආසාවක් පපුව මැදට දැනුණත් ලොරෙන්සෝ ඒ ආසාව ආයාසයෙන් මැඩ ගත්තා. ළදරුවෙක් ගේ පින්තූර කීපයකුත්, ගැටවර කොල්ලෙක් එක්ක දෙමව්පියන් ගත්ත පින්තූරයකුත්, හමුදා නිල ඇඳුමෙන් සැරසුණු තරුණයෙක් ගේ පින්තූරයකුත් කාමරයේ අඳුර අතරින් ලොරෙන්සෝ යන්තමින් අඳුනා ගත්තා.
ජනේලය ළඟට ගිය ලොරෙන්සෝ, තිර රෙදි මෑත් කරලා උදෑසන ඉර එළියට කාමරේට නිදහසේ ගලාගෙන එන්න ඉඩ දුන්නා. ජනේලයෙන් එළියේ හේසල් ගස් ගොමුව, ළඟ එන සිසිරයට ලෑස්ති වෙලා තමන්ගේ කහ පාට පත්‍ර එකින් එක අත් හරිමින් හිටියා. අහසේ තිබුණේ හේමන්තයට නොගැලපෙන දීප්තිමත් නිලක්. ඒ නිල් පසුතලයේ තනි ලාක් කුරුල්ලෙක් කරණම් ගැහුවේ ජීවිතේ කිසි බරක් නැති තාලෙට. ලොරෙන්සෝ ආපිට හැරිලා කාමරයට අලුතින් ඉහිරුණු ඉර එළියේ උදව්වෙන් ඇඳේ වැතිරිලා ඉන්න මරියා දිහා බැලුවා. කොයිතරම් නම් කාලයක් ගෙවිලා ගිහින් ද! ඒත් ඒ කාලය මරියාට වැඩියත්ම අකාරුණික වෙලා නැති බවක් ලොරෙන්සෝ ට හිතුණේ මරියාගේ දැන් හැඩ රුව තමන්ගේ හිතේ ගොඩ ගැහිලා තිබුණු එයාගේ අතීත සේයා එක්ක සසඳමින්. ජනේලයෙන් වැටුණු ඉර එළිය තීරුවක් මරියාගේ මූන හරහා වැටිලා එයාගේ තුනී දුඹුරු කොණ්ඩය රන් පාටින් පාට කළා. මේ කොණ්ඩයේ කැරළි පිරිලා තිබුණු කාලයක, ඒ කොන්ඩ කැරැල්ලක් මරියාගේ මූන හරහා වැටුණු මතකයක් ලොරෙන්සෝ ගේ හිත ඇතුළේ අකුණු ගැහුවා.
ලොරෙන්සෝ ඇඳ ළඟ තිබුණු පුටුවේ වාඩිවුණා. තවමත් දෑස් පියාගෙන උන්නු මරියා සැහැල්ලුවෙන් හුස්ම ගනිමින් උන්නු නිසා එයා නින්දක පසු නොවෙන බවක් ලොරෙන්සෝ ට හිතුණා. හිතට දහිරිය අරගෙන ලොරෙන්සෝ ඇඳ ඇතිරිල්ල උඩ නිසොල්මන්ව තිබුණු මරියාගේ අතක් අල්ලා ගත්තා. අසනීපයෙන් පහුවෙන මරියාගේ අත සීතලව ඇති කියලා තමන් හිතාගෙන උන්නු නිසාදෝ ඒ අතේ නොහිතුව තරමේ උණුසුමක්, මෘදු බවක් දැනිලා එයා පුදුම වුණා. ඒ උණුසුමත් එක්ක එක සැණින් එයා අතීතයට ඉගිලිලා ගියා.
ඒ ගිම්හාන කාලය බොහොම උණුසුම් එකක්. ලොරෙන්සෝ, සැන්ටා මාසේලි කඳු පන්තිය පාමුල තිබුණු තමන්ගේ ගම්මානයෙන් පිටවුණේ ඒ අවුරුද්දේ. එයාගේ තාත්තාට නම් වුවමනා වුණේ පවුලේ වැඩිමලා වුණු ලොරෙන්සෝ තමන්ගේ ගොවිතැන් වලට එකතුවෙනවා දකින්න. ඒත් ලොරෙන්සෝ ට තිබුණේ කරදිය උමතුවක්. එයාගේ හීනේ වුණේ කඳු වළල්ලෙන් එහාට ගිහින් සේලරුවෙක් වෙලා නැව් නැඟලා ලෝකේ වටේ යන්න. අන්තිමේදී දවසක් තාත්තා එක්ක වුණු ලොකු රණ්ඩුවකින් පස්සේ ලොරෙන්සෝ ගෙදරින් පිට වුණේ පැදුරටත් නොකියා. මුහුදුකරේට යන්න හිතාගෙන පාරේ යමින් තිබුණු ලොරියක ඉඩක් ඉල්ලගත්ත ලොරෙන්සෝ මඟදී තද නින්දකට වැටුණා. පැය කීපයකට පස්සේ ඇහැරෙද්දි ලොරිය තමන්ගේ ගමනාන්තය වුණු මුහුදට කිට්ටුවට වත් ඇවිත් නැති බව දැකලා එයා කලබලයෙන් ලොරියෙන් බැස්සා. තමන් ඒ විදිහට අහම්බෙන් පියාවේ ගඟේ නිම්නයක තිබුණු මිදි වත්තක් ළඟ නතර වෙලා තිබුණේ දෛවයේ සරදමක් නිසාද හාස්කමක් නිසාද කියලා ලොරෙන්සෝට තාම හිතාගන්න බැහැ. තමන්ගේ බඩු පොට්ටනියත් කිහිල්ලේ ගන්නාගෙන ලොරියෙන් බැහැලා වටපිට බලද්දී ලොරෙන්සෝ මුලින්ම දැක්කේ මරියා ව.
මරියා එක අතකින් මොනවොදෝ එළවළුවක් පුරවපු කූඩයකුත්, සූරියකාන්ත මල් මිටියකුත් අරගෙන මිදිවැල් අතරේ අඩිපාරක් දිගේ එමින් හිටියා. එයාගේ අනිත් අතේ තිබුණු කඹයේ කෙලවර ගැටගහලා උන්නේ බූරුවෙක්! එදා උදේ ලා ඉර එළිය වැටිලා මරියාගේ කැරළි දුඹුරු කොන්ඩේ රත්තරන් පාටින් දිලිසුණේ අද දිලිසුණු විදිහටමයි.
මරියා ඇස් පියාගෙනම හීන් කෙඳිරියක් නැඟුවා. ඒ හඬින් ලොරෙන්සෝ අතීතයෙන් වර්තමානයට කඩාගෙන වැටුණා. ‘කතා නොකළාට මරියාට හැමදෙයක්ම ඇහෙනවා’ කියලා ලූකා පුන පුනා කී දේ එයාට මතක් වුණා. එයා නිසොල්මන් ව තියෙන මරියාගේ අත තම දෑතින්ම තද කරගෙන කතාකරන්න පටන් ගත්තා. නිහඬ කෙනෙක් එක්ක කතා කරන්න මුලදී අමාරු වුණත් ටික වෙලාවක් ගිහින් ලොරෙන්සෝ ගේ වචන ගලාගෙන ආවේ නිරායාසයෙන්. සමහර තැන්වලදී එයාගේ හඬ බිඳුණා තමයි. ඒ වගේම මරියා ඇස් ඇරලා බැලුවා නම් ඒ කතාව අතරේදී එයා කවදාවත් නොදැක්ක ලොරෙන්සෝ ගේ කඳුළු බලන්නත් තිබුණා. ඒක මුලක්, මැදක්, අගක් නැති කතාවක්. මරියාටත් ලොරෙන්සෝටත් විතරක් තේරෙන කතාවක්.
“ඔයාව කවදාවත් ආයෙත් දකින්න ලැබේවි කියලා මම හිතුවේ නැහැ මරියා- දකින්න ලැබෙන්න කියන ප්‍රාර්ථනාව නම් හැමදාම හිත යට තිබුණා- බොරු කියන්නේ මොකටද? ඒත් ඒක කවදාවත් ඉටු නොවෙන ප්‍රාර්ථනා ගොඩටයි මම දාලා තිබුණේ. ඇත්තටම නම් අතීතයක්, අනාගතයක් නැති මිනිහෙක් විදිහටයි මම දැන් ජීවත්වෙන්න උත්සාහ කරන්නේ. එහෙම ඉන්දැද්දී රිදෙනවා අඩුයි කියලා මට තේරිලා තියෙනවා. මගේ ජීවිතයේ අතීතයෙන් සෑහෙන්න පිටු ඉරලා දාන්න මට පුළුවන් වුණා මරියා. අම්මා තාත්තා ගැන, මල්ලිලා ගැන, ගමේ ගෙවුණු ළමා කාලේ ගැන- ඒවා දැන් මට අමතකම ගානයි. ඒත් ඔයා ඉන්න පිටු ටික නම් මට මොනවා කරලාවත් ඉරලා දාන්න බැරිවුණා මරියා. පුදුමේ කියන්නේ ඒ කාලෙන් පුංචිම දේවල් පවා මට තාම මතක එක! මට මතක තියෙන සමහර දේවල් ඇහුවොත් ඔයාට නම් හිනාත් යයි.”
“ඔයාට මතකද මරියා අපි පියාවේ ගඟේ ට්‍රවුට් මාළු අල්ලන්න ගිය දවස? අර ජුලියානෝ පොඩි කොල්ලා වතුරට වැටිලා තෙතබත් වුණු හැටි? ඇත්තටම එදා අපි අල්ලපු මාලුවෙකුත් නැහැ නේද? මතකද ජුලියානෝ ට හීතලක් හැදෙයි කියලා බය වෙලා අපි කෑම තියන්න ගෙනාව පික්නික් බ්ලැන්කට්ටුව කොල්ලාගේ ඔලුවේ ඉඳන් ඔතපු හැටි! ඔයාට මතකද ගඟ අද්දර ෆිග් ගස්වල ගෙඩි ඉදිලා තිබුණු හැටි? ෆිග් කඩන්න කියලා ජුලියානෝ ව ගහකට නග්ගලා ගහ පාමුල ඉඳන් මම ඔයාව සිපගත්ත හැටි? අදටත් මට ෆිග් ගෙඩියක් දැක්කාම ඔයාව මතක් වෙනවා මරියා, මේ බොරුවක් එහෙම නම් නෙමෙයි..”
“මරියා ඔයාට මතකද අපි විටෝරියෝ වෙනේටෝ ගිය දවස? මට මතක හැටියට අපි ගියේ ඔයාගේ තාත්තාගේ පරණ ෆෝඩ් ට්‍රක් එකේ. තාත්තා බැංකුවටයි, පෝර ගන්නයි, පැල ගන්නයි ගිය අතරේ අපි දෙන්නා නගරය පුරාම රස්තියාදු ගහපු හැටි මතකද? ඒ නගරේ හැමතැනම ජෙරනියම් මල් පෝච්චි තිබුණා ඔයාට මතකද මරියා? ලිවෙන්සියා ගඟ අයිනේ බැම්ම දිගේ ඇවිදිමින් අපි ඒ මල් පෝච්චි ගණන් කළා. එදා තමයි ඔයා මට කිව්වේ රිදී දම්වැලක දාපු පුංචි රිදී කුරුසයක් බෙල්ලේ දාන්න ඔයාට ආසාවක් තියෙනවා කියලා. අම්මා නැතිව තාත්තා එක්ක හැදුන නිසා ඔයාගේ ඒ වගේ පුංචි පුංචි ආසාවල් තාත්තාට තේරුණේ නැහැ. ඒ වගේ දේවල් වලට තාත්තාගෙන් සල්ලි ඉල්ලන්න ඔයාට හිත දුන්නෙත් නැහැ. ඇත්තමයි මරියා එදා මගේ අතේ සල්ලි තිබුණා නම් මම ඒ නගරේ රිදී බඩු විකුණන කඩේකින් ඔයාට එයින් දම්වැලක් අරන් දෙනවා. ඒත් මමත් ඔයාලගේ ගොවිපොළේ වැඩකළේ පඩියකට නෙමෙයිනේ. කෑමත් නවාතැනුත් විතරක් වෙනුවෙන් වෙන කෙනෙක් නම් ඒ රස්සාව කරන්නේ නැහැ මරියා, ඇත්තටම මමත් හිටියේ ඔයා නිසා”
එක දිගට කතා කළ ලොරෙන්සෝ එයාගේ කම්මුල ඇඳ උඩ මරියාගේ අත උඩින් තිබ්බා. මරියා ට සමහරවිට ඒ කම්මුල්වල කඳුළු පාරවල් වල තෙත දැනෙන්න ඇති. ලොරෙන්සෝ ඉතුරු ටික කීවේ ඒ ඉරියව්වෙන් ඉඳගෙන.
“මම අදටත් ඕන තැනක් දිව්රනවා මරියා මම ඔයාගේ තාත්තාගේ රිදී කාසි පසුම්බිය ගත්තේ නැහැ කියලා. ඒ වෙලාවේ එහෙම හොරකමක් කරලා ඔයාව නැතිකරගන්න තරම් මම මෝඩයෙක් නෙමෙයි. ඒත් ඔයාගේ තාත්තා එදා හැසිරුණේ පිස්සෙක් වගේ. ඇත්තටම මම ඒ සල්ලි හොරෙන් ගත්තා නම් ඒ ටික අරගෙන පැනලා නොගිහින් මගේ ඇඳුම් කෑලි දෙක තුන අතරේ හංගයි ද? මේ ඔක්කොම අපි දෙන්නාව වෙන් කරන්න ඔයාගේ තාත්තාගේ උපායක් කියලා මට තේරුණා මරියා. ඇත්තමයි මට ඒ වෙලාවේ නම් ළඟ තිබුණු සවලක් අරගෙන එයාට ගහලා මරන්න තරම් තරහක් තිබුණා. ඒත් මම එහෙම නොකර ඔයාලගේ ගෙදරින් පිටවෙලා ගියේ ඔයාට තිබුණු ආදරේ නිසායි. ඔයා සමහරවිට මම කියන දේ විශ්වාස කරන එකක් නැහැ. ඒත් ඒ වෙලාවේ හිතුවක්කාරකමට, ඔයාගේ තාත්තාට පාඩමක් උගන්නන්න ඔයාව මාත් එක්ක අරගෙන ගියා නම් ඔයාටත් අපා දුක් විඳින්න වෙනවා. ඒ කාලෙත් ඒ බව තේරෙන්න තරම් මම මෝරලා හිටියේ. ඊටපස්සේ සෑහෙන්න කාලයක් යනකම් මම ජීවත් වුණේ තැනින තැනට යමින්, මරියා. ලැබෙන කුලියක් මලියක් කරගෙන මම එක එක තැන්වල ජීවත් වුණා. ඒත් මට කවදාවත් ඔයාව අමතක වුණේ නැහැ කියලා කිව්වොත් ඔයා හිතයි මම බොරු කියනවා කියලා. ඒත් ඒක තමයි ඇත්ත. අන්තිමේදී මම හීන දැකපු විදිහට සේලරුවෙක් වුණා මරියා. ලෝකේ වටේම නොවුණත් මූදු තුන හතරක ඇවිද්දා. ඒ කරදිය හීනෙත් ඈතින් ඉඳන් බලන තරම් ලස්සන නැති බව මට තේරුණේ මූද මැදදී. ඉන්පස්සේ මම හිත හදාගෙන ඒ රස්සාව අත ඇරියා. ඒ කාලේ ඔයාව හොයාගෙන එන්නත් හිතුණාට ඔයා ඒ වෙද්දී බොහොම ලස්සන ජීවිතයක් ගත කරනවා ඇති කියලා හිතිලා මම ඒ හීනේ අත් ඇරියා. තමන් ආදරේ කරන හැම දෙයක්ම අයිති වෙන්නේ නැති බවත්, අයිති නොවුණත්, දකින්න නොලැබුණත් සමහරු ගැන දැනෙන ආදරේ වෙනස් නොවෙන බවත් ඒ වෙද්දී මම තේරුම් අරගෙන හිටියේ. මගේ ළඟ ඉතුරු කරගත්තු සල්ලි ටිකක් තිබුණා මරියා. ඉතින් අන්තිමට මම ජෙසොලෝ නගරේ බෝට්ටු ආම්පන්න විකුණන කඩයක් පොඩියට පටන් ගත්තා. කරදියේ නොගියාට කරදිය සුවඳ එක්ක දවස ගතකරන්න මට ඒකෙන් ඉඩ ලැබුණා.”
ලොරෙන්සෝ සුසුමක් හෙලලා ඔලුව උස්සලා මරියා දිහා බැලුවා. තාමත් ඈ උන්නේ නිසොල්මන්ව. සන්සුන් හුස්මට ළය උස් පහත් නොවුණා නම් ඈ සදාකාලික නින්දට වැටිලා කියලා කෙනෙකුට හිතෙන්නත් ඉඩ තිබුණා.
“ලූකා මාව හොයාගත්තේ කොහොමද කියලා මම ඇහුවේ නැහැ මරියා. අඩුම ගානේ ඔයා එයාට මං ගැන මොනවද කියලා තිබුණේ කියලාවත් අහන්න මට හිත් දුන්නේ නැහැ. හදිසියේම එක දවසක, උදේ මම කඩේ අරිද්දි ඒ දොරකඩ බලාගෙන හිටිය කෙනෙක් ‘මරියා ට අසනීපයි, පොඩ්ඩක් ඇවිත් එයා එක්ක කතාකරන්න” කීවාම ඒ මගේ මරියාම ද කියලාවත් මම ඇහුවේ නැහැ. ලූකා ගේ ඇස් වල පිරිලා තිබුණු වේදනාවත්, ආදරයත් නිසා ඒ ඔයාම බව මම දැනගත්තා. ඔයාලගේ ලිපිනය ලීව පුංචි කොළ කෑල්ලක් මගේ අතේ තියලා එදා ලූකා ආපිට හැරිලා ගියා. ඇත්තම කියනවා නම් ඔයාව ආයෙත් දකින්න හිත හදාගන්න මට දවස් කීපයක් ගියා මරියා. ඒක හරි ආත්මාර්ථකාමී සිතුවිල්ලක් නිසා මට සමාවෙන්න. ඒත් මෙතරම් කාලයක් තනිකමට හුරුවුණු මට ආයෙත් ඔයාව දැකලා ලේ ගලන තුවාල හදාගන්න බැහැ කියලා මට හිතුණා. එහෙම දේකින් ආයෙත් ගොඩ එන්න තරම් දැන් මගේ හිත හයිය නැහැ කියලාත් මට හිතුණා. ඒත් ඔයා අසනීපයෙන් බව ලූකා කීව දේ තිස්සෙම මගේ හිතේ උඩට මතුවුණා. සැමියෙක් ඒ වගේ ගමනක් එන්න ලොකු හේතුවක් තියෙන බව මට අන්තිමේදී ඒත්තු ගියා. ඉතින් මම ඔයාව බලන්න ආවා මරියා, අන්තිමේදී මම ආවා! ඔයා ඉක්මණින් සනීප වෙන්න ඕන, එහෙම සනීප වෙලා ඉස්සර වගේ ආයෙත් හිනාවෙලා ඉන්න ඕන. ඔයාට ලස්සන ජීවිතයක් හිමිවෙලා තියෙනවා මරියා, ඔයා තව කාලයක් ඒක විඳින්න ඕන. බොහොම ආදරබර සැමියෙක්, දරුවෙක් ඉන්න, ලස්සන ජීවිතයක් තියෙන ඔයාට සමහරවිට මම මේ කියන්න යන කතාවෙන් නම් වැඩක් නැති වෙයි. ඒත් මම හැමදාම ඔයාට ආදරේ කළ බවත්, ඔයාව ආයෙත් කවදාවත් නොදැක්කත්, ඉස්සරහටත් හැමදාම ඔයාට ආදරේ කරන බවත් මතක තියාගන්න.”
---------------------------------
ලූකා ආයෙත් ගෙදර ආවේ දෙහෝරාවක් විතර ගත වුණාම. එළවලු ගන්න ඒ තරම් වෙලාව ගත නොවුණත් ඒ කාලයෙන් වැඩි හරියක් එයා ගත කළේ උද්‍යානයේ ගහක් යට බංකුවක. මොකක්දෝ නමක් නැති දුකක් එයාගේ හිතේ පිරිලා තිබුණත් ඒ එක්කම තමන් හරි දේ කළ බවට සැනසිල්ලකුත් එයාට දැනුණා.
ගෙදරට ඇතුළු වෙද්දී ලූකා ව පිළිගත්තෙ නිහඬ බව විතරයි. බඩු මල්ල දොරකඩ බිමින් තියලා ලූකා මරියාගේ ඇඳ ළඟට පියමැන්නා. ඒ වෙද්දී අමුත්තා යන්න ගිහින්. මරියාගේ අතේ ගුලිවෙලා රිදී දම්වැලකුත් කුරුසයකුත් තිබුණා, තාම තදින් වැහිලා තිබුණු එයාගේ දෑස් යටින් ගලාගෙන ගිහින් කොපුල් හරහා ඇඳුණු කඳුළු ඉරි දෙකක් තිබුණා.
-හෙල්මලී ගුණතිලක
2024 ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරඟයේ අවසන් වටයට තේරී ‘වෙද නෝනා සහ තවත් කතා’ කෙටි කතා එකතුවට ඇතුළත් වූ කෙටිකතාවකි.
වෙද නෝනා සහ තවත් කතා (2024)
සංස්කරණය - ජගත් ජේ. එදිරිසිංහ
ප්‍රකාශය - සරසවි ප්‍රකාශකයෝ
Digital art
No comments:
Post a Comment