Translation of the Russian folk tale - ‘The Firebird’
ඉවාන් කුමාරයත් මේ වගේ උත්සාහවන්තයෙක්. එයා තරුණයි, කඩවසම්- ඒත් එයාට කවදාවත් හැබෑම ආදරය හමුවෙලා තිබුණේ නැහැ.
"මට ගිනි කිරිල්ලියගේ පිහාටුවක් ලබාගන්න තිබුණා නම් මගේ ජීවිතයම වෙනස් වේවි," එහෙමයි එයා හිතුවේ.
රාජධානිය හරහා යන සංචාරකයන්ගෙන් ගිනි කිරිල්ලිය හොයාගන්න පුළුවන් තැනක් ගැන ඉවාන් කුමාරයා නිතරම ඇහුවා. ඒත් කිසි කෙනෙක් ඒ ගැන හරි තොරතුරක් දැනගෙන හිටියේ නැහැ. අන්තිමේදී දර විකුණන වයසක කාන්තාවක් රජ වාසලට ආවා.
ඉවාන් කුමාරයා සුපුරුදු විදිහට තමන්ගේ ප්‍රශ්නය මේ කාන්තාවගෙන් ඇහුවා. පලවෙනි වතාවට එයාට ඊට පිළිතුරක් ලැබුණා.
"අමරණීය කෝෂි කියන මායාකාරයාගේ උයනේ හැදෙන රත්තරන් ඇපල් කන්න ඔය ගිනි කිරිල්ලිය කැමතියි" වයසක කාන්තාව මෙහෙම කියද්දී කුමාරයාගේ ඇස් දෙක දිලිසුණා.
"එහෙනම් මම එතැනට යනවා!" ඔහු ප්‍රීතියෙන් කෑ ගැහුවා. "කොහෙද ආච්චියෙ මේ උයන තියෙන්නේ?"
වයසක කාන්තාව ඔලුව වැනුවා.
"කුමාරයාණෙනි, එහේ නම් යන්න එපා," ඈ කීවා. “කෝෂි හරිම නපුරෙක්, අනික එයාව මරන්නත් බැහැ. එයාගේ මන්තර හරි බලගතුයි.එයාගේ උයනට ඇතුල්වෙන අය ව එයා සදාකාලයටම ගල් ප්‍රතිමා බවට හරවනවා."
ඉවාන් කුමාරයා තමන්ගේ කඩුවට අත තිබ්බා.
"මම බය නැහැ! මම ඉවාන් සාර්විච්, මම මායාකාරයාගේ උයනේ ගිනි කිරිල්ලිය හොයාගන්නවා. ආච්චියෙ මට කියන්න එතනට යන පාර, මම ඔබට සදා ණයගැතියි."
වයසක කාන්තාව සුසුමක් හෙලුවා.
"උතුරු කඳු පන්තියෙන් නැගෙනහිර පැත්තට හැතැප්ම පහක් යන්න, ඉන්පස්සේ බටහිර ගංගාවෙන් දකුණු පැත්තට හැතැප්ම තුනක් යද්දි අඳුරු වනාන්තරය මැද්දේ උයන හමුවේවි."
"බොහොම ස්තූතියි ආච්චියේ, මට කවදාවත් ඔබව අමතක වෙන්නේ නැහැ," ඉවාන් කුමාරයා ආචාර කරමින් කීවා.
වයසක කාන්තාව ආයෙමත් සුසුමක් හෙලුවා.
"කුමාරයාව ගල් ප්‍රතිමාවක් බවට හැරවුනොත් නම් මාව අමතක වේවි" ඈ කීවා.
ඉවාන් කුමාරයා පහුවෙනිදාම පිටත් වුණා. කාන්තාවගේ උපදෙස් පිළිපදිමින් ඔහු බටහිරටත් දකුණටත් ගමන් කරලා තුන් දවසකින් උස් තාප්පයකින් වට වුණු මාලිගාවකට ළඟා වුණා.
තමන්ගේ අශ්වයා ව ගහක අත්තක ගැටගැහුව කුමාරයා උස ගහකට නැගලා මාලිගාවේ තාප්පයෙන් ඇතුළ බලන්න උත්සාහ කළා. මෙහෙම බලද්දී පෙනුණු දෙයින් ඔහුගේ හදවත මොහොතකට නතර වුණා.
මාලිගාවේ උයනේ ප්‍රතිමා අතරින්, අලංකාර මලින් බර මල් පඳුරු අතරින් ඉතාම සුන්දර කුමාරිකාවන් දහතුන් දෙනෙක් ඇවිදිමින් හිටියා. මේ හැම කෙනෙකුටම තමන්ටම ආවේනික ලස්සනක් තිබුණා. මෙයින් කුමාරිකාවන් දොළොස් දෙනෙක් එකට ඇවිදිමින් හිටියත් දහතුන් වැන්නිය හිටියේ තනියම. ඈ තාප්පයට කිට්ටු වෙද්දීම ඉහළ බලලා ඉවාන් ව දැක්කා.
ඒ ඇස් දෙක මුණගැහුණු ගමන් ඉවාන් ඈ ට හාද්දක් පා කරලා යැව්වා. ඒ මොහොතේ ඔහු ඒ කුමාරිකාව එක්ක ආදරයෙන් බැඳුණා. කුමාරයා ඈ වෙත අත දිගු කළත් ඈ තමන්ගේ ඇඟිල්ලක් දෙතොලට තෙරපලා ඔහුට අනතුරු ඇඟේව්වා. ඒ එක්කම භයානක මායාකරු කෝෂි වේගයෙන් මාලිගාවෙන් පිටතට ආවේ ගොරවමින්, වටපිට ඉවකරමින්.
"මට අමුත්තෙක් ගේ ගඳක් දැනෙනවා!" මායාකාරය බැරැන්ඩි හඬකින් කීවා. "ඇතුලට යන්න ලස්සන කෙල්ලනේ, ඇතුලට යන්න!" එහෙම කියමින් ඔහු කුමාරිකාවන්ව මාලිගාව ඇතුලට පිටත් කරේ සැකයෙන් වටපිට බලමින්.
මායාකරුට නොපෙනෙන්න ගහේ කඳට මුවාවුණු ඉවාන් ටික වෙලාවකින් ආයෙමත් වටපිට බැලුවා. ඒ වෙද්දී උයන පාලුවට ගිහින් තිබුණා. පෙනෙන්නට තිබුණේ ප්‍රතිමා කීපයකුත් උයන කෙලවරේ රත්තරන් ඇපල් ගෙඩි පිරුණු ගහකුත් විතරයි.
"රත්තරන් ඇපල්!" ඉවාන් ගේ ඇස් දෙක දිලිසුණා. "මට ගිනි කිරිල්ලිය අල්ලාගන්න පුළුවන් උනොත් මම එයාගෙන් පිහාටුවක් ඉල්ලා ගන්නවා. එතකොට මම ආදරය ලබන්න වාසනාවන්ත වේවි, සමහරවිට අර දහතුන්වෙනි කුමාරිකාවගේ අත ගන්න ලැබේවි."
රත්තරන් ඇපල් ඇති ගහට ළං වෙන ක්‍රමයක් හොයාගන්න හිතාගෙන ඉවාන් තමන් හිටිය ගහේ මුදුනටම නැග්ගා. ඒත් උයන වටා තිබුණු තාප්පයේ කොයි තැනක වත් ගේට්ටුවක්නම් දකින්න ලැබුණේ නැහැ. ඒත් තව ටිකක් විපරමින් බලද්දී උයන අතට නැමුණු ඕක් අත්තක් ඉවාන් ට පෙනුණා. එතැනින් නම් ඇතුළට පනින්න පුළුවන් වේවි!
පමා නොවී ඕක් අත්තේ උදව්වෙන් උයනට පැනගත්ත කුමාරයා වටපිට බලද්දී ප්‍රතිමාවන් පේළියක්ම දැක්කා. කිට්ටුවෙලා බලද්දී ඒ ප්‍රතිමාවන් හැටියට පෙනුණේ උයනට අනවසරයෙන් ආව තමන් වගේ වෙනත් තරුණයන් බව කුමාරයාට තේරුණාම ඔහු බයෙන් කිළිපොලා ගියා. ඒ ප්‍රතිමා වල මූණු වල තිබුණේ භ්‍රාන්ත වුණු පෙනුමක්. කුමාරයා ඉක්මන් ගමනින් රත්තරන් ඇපල් ගහ පැත්තට ගියා.
"මේ හැම කෙනෙක්ම ආදරය හොයාගෙන ආව අය ද? මේ නපුරු මායාකාරයා එයාලාව ප්‍රතිමා කරලද? අර කුමාරියන්ව හිරකරගෙන තියාගෙන ඉන්නේ ඇයි?" මෙහෙම යද්දී කුමාරයා කල්පනා කළා.
ඉවාන් කුමාරයා රත්තරන් ඇපල් ගහට කිට්ටුවෙද්දී ගහේ මුදුනෙන් තටු ගහන හඬක් යන්තමින් ඇහුණා- ඒ එක්කම බොහොම අලංකාර කිරිල්ලියක් ගහේ අනෙත් පැත්තේ අත්තක වැහුවා. ඒ කිරිල්ලියගේ පිහාටු දිලිසුණේ ගින්දර පාටින්. ඇගේ පෙඳය රතු පාටත් කහ පාටත් රත්තරන් පාටත් එකතුවුණු පාටකින් බැබලුණා. කිරිල්ලිය තමන්ගේ ඔලුව ඇල කරගෙන රත්තරන් ඇපල් තෝරන හැටි ඉවාන් බලාගෙන හිටියේ හුස්මත් අල්ලාගෙන.
"ගිනි කිරිල්ලිය!" ඉවාන් තමන්ටම මුමුණා ගත්තා. ඉන්පස්සේ ඔහු කිරිල්ලියට කිට්ටු වෙන්න පියවරක්, දෙකක්, තුනක් තියලා උඩ පැනලා ඇගේ පෙඳය අල්ලා ගත්තා.
"මාව අත අරින්න, මාව අත අරින්න!" කෑ ගසමින්, දඟලමින් කිරිල්ලිය ඉවාන් කුමාරයාගේ මූණට තමන්ගේ අත්තටු ගැහුවා. ඒත් කුමාරයා තදින්ම අල්ලාගෙන හිටියා. අන්තිමේදී දඟලලා හෙම්බත් වුණු ගිනි කිරිල්ලිය නිසොල්මන් වුණා
"ඔබ කවුද? ඔබට මොනවාද වුවමනා?" ඈ ඇහුවා.
"මම ඉවාන් කුමාරයා," ඔහු කීවා. "මට වාසනාවත් ආදරයත් ලබාගන්න ඔබේ පෙඳයෙන් පිහාටුවක් වුවමනායි."
ගිනි කිරිල්ලිය ඔලුව හරවලා කුමාරයා දිහා බැලුවා.
"ආදරය?" ඈ ඇහුවා. "ඔබ ආදර හොයනවාද?"
කුමාරයා සුසුමක් හෙලුවා.
"ඔව්" ඔහු කීවා.
"ඔබට වුවමනා දේ මම දුන්නොත් ඔබ මට යන්න දෙනවාද?"
"මම පොරොන්දු වෙනවා" එහෙම කීව ඉවාන් කුමාරයා කිරිල්ලියගෙන් ඉවත් වෙලා දෑත පසුපසට කරගත්තා.
තරමක නිහැඬියාවකින් පස්සේ කිරිල්ලිය කුමාරයාට ආචාර කළා.
"ඔබෙන් බේරෙන්න මම ඉගිලිලා නොයයි කියලා විශ්වාස කිරීම ගැන ස්තූතියි. මෙන්න ඔබට පිහාටුවක්. කවදාහරි මාව වුවමනා වුණොත් කතාකරන්න."
එහෙම කීව කිරිල්ලිය තමන්ගේ දිලිසෙන පියාපත් විහිදලා ගහේ මුදුනට පියඹලා ගියා. ඉන්පස්සේ පහත උන්නු කුමාරයාට මෙහෙම කීවා.
"ආදරය හොයන ඔබේ ගමන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා"
එහෙම කියලා ඈ අතුරුදන් වුණා.
ඉවාන් කුමාරයාට ලොකු සතුටක් දැනුණා. එයා පිහාටුව තමන්ගේ තොප්පියේ රඳවාගෙන රත්තරන් ඇපල් ගහේ කඳට හේත්තු වුණා. ඉර බැහැලා සිකුරු තරුව දිලිසෙන්න ගනිද්දී එයා මාලිගාව දිහා බලාගෙන දහතුන්වෙනි කුමාරිකාව ගැන කල්පනා කරමින් උන්නේ. ඒ මොහොතේම මාලිගාවේ දොර ඇරිලා කුමාරිකාවෝ දහතුන්දෙනා පිටතට ආවා. කළින් වතාවේ වගේම මේ සැරේත් කුමාරිකාවෝ දොළොස් දෙනෙක් රහස් කියමින්, හිනාවෙමින් හිටියාට දහතුන්වෙනි කුමාරිකාව හිටියේ තනියම. ඈ කෙලින්ම තාප්පය ළඟට ගිහින් ඉන් එපිට කුමාරයා ඉන්නවාද කියලා බලමින් හිටියා.
"කුමරිය, මම මෙහේ!" ඉවාන් රහසින් කීවා. ඒක ඇහිලා කුමාරිකාව ඉක්මණින් එතනට දුවලා ආවා. "ඔබ කවුද?" ඈ ඇහුවා. "මෙහේ ආවේ ඇයි? මේ මාලිගාව නපුරු මායාකාරයෙකුට අයිති බව දන්නේ නැද්ද? එයාට ඔයාව අහු වුණොත් ගල් ප්‍රතිමාවක් කරයි."
ඒත් ඉවාන් කුමාරයාගේ සිතිවිලිවල උන්නේ ඈ විතරයි.
"මම ආදරය හොයාගෙනයි ආවේ කුමරිය, ඉතින් මට ඔබව මුණගැහුණා." ඔහු ඈ වෙත අතක් දිගු කරමින් කීවා.
කුමාරිකාව මාලිගාව පැත්තට හැරිලා බලලා බයෙන් වෙව්ලුවා.
"අනිත් මිතුරියනුත් මාත් මෙතැන හිරකාරියෝ. කෝෂි කියන මායාකාරයා ජීවත්වෙලා ඉන්නකම් අපට ගැලවීමක් නැහැ, ඒ වගේම තමයි එයා කවදාවත් මැරෙන්නෙත් නැහැ. දැනටමත් එයා නිසා තරුණ ජීවිත සෑහෙන්න නැතිවෙලා තියෙනවා. අනේ කුමාරයෝ, තාම ඔබට ඉඩ තියෙන නිසා මෙතැනින් පැන ගන්න."
ඒත් කුමාරයා ඊට එකඟ වුණේ නැහැ.. “ඔබ මෙතැන ඉන්න තාක් මමත් ඉන්නවා” ඔහු කීවා. කුමාරිකාව කොයිතරම් බැගෑපත් වුණත් ඔහු ඒ අදහස වෙනස් කර ගත්තේ නැහැ.
ඒ රාත්‍රිය ගෙවෙද්දී ඉවාන් කුමාරයා කුමාරිකාවට තව තවත් ආදරයෙන් බැඳුනා. ඇගේ නම කැටරිනා බවත්, දවල් කාලයට නම් ඒ කුමාරිකාවන්ට මාලිගාවෙන් පිටතට එන්න ඉඩක් නොලැබෙනම තරම් බවත් ඈ කීවා. රෑට මායාකාරයා නින්දට වැටුණත් මාලිගාවත්, උයනත් මුරකර රාක්ෂයෝ කණ්ඩායමක් එයාගේ ඇඳ වටේ ඉන්න බව ඈ කීවා. කවුරුන් හෝ උයනට ඇතුල් වුණත්, කුමාරිකාවක් ඉන් පිට වෙන්න උත්සාහ කළත්, මායාකාරයා ඉක්මණින් ම ඇහැරෙන බවට ඈ අනතුරු ඇඟෙව්වා.
“ඉතින් ඔබට මාව බේරාගන්න ක්‍රමයක් නැහැ” කැටරිනා දුකෙන් කීවා.
ඉවාන් ඇගේ අත අල්ලා ගත්තා. “මම ඒක බලාගන්නම්කෝ” ඔහු කීවා. “හෙට මම ඔබව බඳින්න මායාකාරයාගෙන් අවසර ඉල්ලනවා. එයා ඊට විරුද්ධ වුණොත් ඔහුට මේ කඩුවෙන් කොටනවා!”
“අනේ ඉවාන්, ඒත් එයාට හදවතක් නැහැ, ඒ නිසා එයාව මරන්න බැහැ!” කුමරිය කීවේ සුසුමක් හෙලමින්.
ඒ වෙලාවේ කුකුලන් හඬලන හඬක් ඈතින් ඇහුණා. ඒක අහලා කුමාරිකාව සුදුමැලි වුණා.
“ඉර නඟින වෙලාවට කෝෂි අවදි වෙනවා, මම ඉක්මනින්ම මාලිගාව ඇතුළට යන්න ඕන. මගේ පස්සෙන් එන්න එපා ආදර ඉවාන්, එහෙම ආවොත් ඔබට මරණය උරුම වෙන බවට නියතයි.”
එහෙම කියලා ඉවාන් ට හාදුවක් දුන්නු කුමරිය, “මම කියන නිසා ආපහු යන්න!” කියා මාලිගාවට දුවලා ගියා.
කැටරිනා ගේ අනතුරු ඇඟවීම ගණන් නොගත් ඉවාන් තමන්ගේ කඩුව අතට අරගෙන මාලිගාවේ දොරටුවට ගිහින් ඊට තඩි බාන්නට පටන් ගත්තා.
ටික වෙලාවකින් ඇස් දෙකේ ගිනියම් පෙනුමක් තිබුණු රාක්ෂයෙක් දොරටුවෙන් එබිලා බැලුවා.
“මොනවාද තමුසෙට ඕන?” රාක්ෂයා ඇහුවා.
“මම ඉවාන් කුමාරයා. මට කෝෂි නම් මායාකාරයාව මුණගැහෙන්න ඕන. මේ ලෝකේ තියෙන වැදගත්ම රාජකාරිය ගැන කතාකරගන්න තියෙනවා.”
“ආ තමුසෙටත් ගල් ප්‍රතිමාවක් වෙන්න වුවමනා වෙලා වගේ,” රාක්ෂයා සමච්චලයට හිනා වුණා. “ඉන්නවකෝ මම බලන්නම් කෝෂි ඇහරිලාද කියලා.”
ඉවාන් බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්. ටික වෙලාවකින් මාලිගාවේ දොරවල් ඇරුණා. ඉන් පිටතට ආවේ දත් විලිස්සන, ගොරවන රාක්ෂයෝ කණ්ඩායමක්. එයාලගේ කහ පාට දළත් උල් නියත් හොඳින් පෙනුණා. උන්ට පිටිපස්සෙන් කෝෂි එනවා පෙනුණා. කේන්තිය නිසා එයාගේ දෑස් දිලිසුණා, මූන අඳුරු වෙලා තිබුණා.
“මගේ දොරට තඩිබාන්න තරම් එඩිතර වුණු උඹ කවුද?” මායාකාරයා කේන්තියෙන් කෑ ගැහුවා.
කුමාරයා ඔහුට ආචාර කළා.
“මම ඉවාන් කුමාරයා. මම ආවේ කැටරිනා කුමාරියව විවාහ කරගන්න අවසර ඉල්ලන්නයි.”
මේක අහලා කෝෂි කේන්තියෙන් වෙව්ලන්න ගත්තා. “මේ ලැජ්ජා නැති කමට නම් සම්පූර්ණ දඬුවමම දෙන්න ඕන. මෝඩ කුමාරයා අන්තිම වතාවට ඉරත්, අහසත් දිහා බලාගනින්. තව සුළු මොහොතකින් උඹ ගල් වෙනවා!”
මෙහෙම කියලා මායාකරු දෑත ඉහළට එසෙව්වා. ඉවාන්ට විපර්යාසයක් වෙන තුරු කෝෂි ගේ දෙපා වටා උන්නු රාක්ෂයෝ කෙළ හලමින්, ගොරවමින් බලාගෙන හිටියා.
“තත්පරයක් ඉන්න!” කී ඉවාන් තමන්ගේ තොප්පියෙන් ගිනි කිරිල්ලියගේ පිහාටුව පිටතට ගත්තා. ඉන්පස්සේ ඔහු ඒක ඒ මේ අත වනමින් “ගිනි කිරිල්ලිය, මෙතැනට එන්න, මට ඔබේ උදවු අවශ්‍යයයි” කියලා හඬගාලා කීවා.
එක පාරටම රන් පැහැති තටු දිලිසුමක් පෙනුණා. ගිනි කිරිල්ලිය මොහොතින් ඉගිලිලා එතැනට ආවා. මායාකරුගේ හිස වටේට කැරකෙන්නට ගත්ත ඈ ගීයක් ගයන්නට වුණා. ඒ ගීය ඇහෙද්දී ඉවාන් ගේ දෙපා ‘නටන්න!’ යි බලකරමින් කිති කැවෙන්නට වුණා.
රාක්ෂයෝ කණ්ඩායමට නම් මේ ආරාධනාව පිළිනොගෙන ඉන්නට බැරිවුණා. උන් ඒ අතට මේ අතට වීසි වෙමින් රවුමට නටන්නට ගත්තා. කෝෂි ටත් තමන්ව පාලනය කරගන්නට බැරි බව පෙනුණේ ඔහුත් ඒ මේ අතට වැනෙමින් නටන්නට වුණු නිසා යි. මේ මායාකාරී සංගීතය නිසා අන්තිමේදී මායාකාරයාත් ඔහුගේ රක්ෂයෝ හැමකෙනෙක්මත් නටමින් හිටියා. ඉතාමත් වේගයෙන් නටන්නට ගත් මේ පිරිස දිහා ඉවාන් බලාගෙන හිටියේ හරිම පුදුමයෙන්. බොහොම වෙලාවක් වේගයෙන් නැටුවාට පස්සේ එයාලා හෙම්බත්ව බිම ඇදගෙන වැටිලා ගැඹුරු නින්දකට පත් වුණා.
ගිනි කිරිල්ලිය ඉවාන් ළඟින් නැවතුණා. ඔහු ඇයට ස්තූති කරන්නට සැරසෙද්දී ඈ ඔහුට බාධා කළා.
“ඉක්මණින් රන් ඇපල් ගහ ළඟට යන්න. එහි මුල් අතර ඔබට බිත්තරයක් දකින්න ලැබේවි. අමරණීය කෝෂි ගේ හෘද වස්තුව තියෙන්නේ ඒ බිත්තරය ඇතුළේ. ඒ බිත්තරය බින්දොත් කෝෂි මරණයට පත්වෙනවා. ඉක්මන් කරන්න, අන්න ඔහු නැගිටින්න හදන්නේ!”
ඉවාන් ඇපල් ගස වෙත දිව්වේ ඔහුගේ හදවත වේගයෙන් ගැහෙද්දි. ගහේ මුල් අතර දෑතින්ම හාරමින් ඔහු ගිනි කිරිල්ලිය කී බිත්තරය හෙව්වා. අන්තිමේදී මුල් අතර බොහොම ගැඹුරකින් ඔහුට එය හම්බවුණා.
වෙව්ලන දෑතින් බිත්තරය පිටතට ගත් ඉවාන් කුමාරයා, හැකි වෙර යොදා එය බිමට හෙලුවා. බිත්තරය කැබලි දහස් ගණනකට බිඳී යද්දී මාලිගාව දෙසින් වේදනාවෙන් කෑ ගහන හඬක් ඇසෙන්නට වුණා. කෝෂි මියගිහින් තිබුණු අතර ඔහුගේ නපුරු රාක්ෂයෝ දියවී යමින් සිටියා.
“ඉවාන්- මගේ ඉවාන්!” උයනට දුවගෙන ආව කැටරිනා කුමාරිය ඉවාන් කුමාරයා ව වැළඳ ගත්තා. ඈ එක්කම අනෙත් කුමාරිකාවන් දොළොස් දෙනාත් තමන්ගේ හිරගෙදරින් නිදහස් වීමේ සතුටින් ඉපිලෙමින් දිවගෙන ආවා.
තවත් මොහොතකින් උයනේ තිබුණු ප්‍රතිමාවන් වෙව්ලන්නට වුණා. ප්‍රතිමා දොළහක් තිබුණු තැන තරුණයන් දොළහක් පෙනුණා.
ඉවාන් කුමාරයාත්, කැටරිනා කුමාරියත් සදාකාලයම සතුටින් ජීවත් වෙන්න උයනෙන් පිට වී යද්දී ගිනි කිරිල්ලිය ඔවුන්ට ආශිර්වාද කරමින් අහසේ වටයක් ඉගිලුණා. හැම දේම යහපත් විදිහට විසඳුනු නිසා ඈ හිටියේ සතුටින්.
ඇයට තවත් එක රාජකාරියක් ඉතිරිවෙලා තිබුණා. රන් පැහැති අත්තටු සලමින් ගිනි කිරිල්ලිය රන් ඇපල් ගහට පියඹුවා. දැන් ඈ ට හිතේ හැටියට ඇපල් කන්න පුළුවන්!
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
The story of the Firebird has been adapted to a ballet and orchestral concert work by the Russian composer Igor Stravinsky.
Picture- Digital Collage
ගොඩාක් කාලෙකට පස්සෙ මේ වගේ සුරංගනා කථාවක් කියෙව්වේ...ඒ දවස් වල කියවපු ලස්සන් වසිලිස්සා පොතේ කතන්දර මතක් උනා. - Mayya
ReplyDeleteමයියා- මේ වගේ වැඩිය භාවිතයේ නැති සුරංගනා කතා ඉඩ ලැබෙන හැටියට මම පරිවර්තනය කරන්නේ වැඩිහිටි වයසේ අය නොසෑහෙන්න ඒවා රස විඳින බව දැනගත්ත නිසායි. බොහොමයක් රුසියන් කතාවල ඉවාන් කුමාරයා ඉඳලා තියෙනවා.
Deleteහෙහ්..හෙ. ඉවාන් පාවුළුෂා නෙමෙයි නේ😁
Deleteහරිම ලස්සන පරිවර්තනය ක් මලී.
ReplyDeleteජයවේවා !!!
ස්තූතියි දුමී!
Deleteඒක මරු😄
ReplyDeleteස්තූතියි, නවීන්. මම තව මේ වගේ කීපයක් පරිවර්තනය කරලා ඇති. ටැග් එකෙන් බලන්න
Deleteෂා, මල් හතයි. එක හුස්මට කියෙව්වා.👌😊
ReplyDeleteබස්සා සුරංගනා කතා ෆෑන් ක්ලබ් එකේ නිත්‍ය සාමාජිකයෙක් නේ? :)
Deleteලස්සන කතාව.එ වගේම හොද මට සිලුටු පරිවර්තනයක්.ස්තුතියි.
ReplyDeleteබොහොම ස්තූතියි සරත්!
Deleteලස්සන වසිලීස්සා මතක් වුනා තමයි
ReplyDeleteරාජාලි පිහාටුවක කතාවක් මතකයි
එතකොට නොමැරෙන කසේයි යක්ෂයා ගේ හදවත බිත්තරයක තිබුන වගේ මතකයි
nostalgia...............
කුමුදු - මේ කතාවේ වෙන වර්ෂන් එකක් වෙන්නත් පුළුවන් ඔයාට මතක. මායාකාරයාගේ නම තිබ්බේ Koshei කියලා. ඒක කසෙයි වුණා වෙන්න පුළුවන්. කොහොමත් මේ කතාවලට පොඩි මැජික් බලයක් වගේ දෙයක් තියෙනවා නේද අපිව අතීතෙට අරගෙන යන්න?
Deleteඉවාන් කුමාරය දැන් ඉන්නේ ඈත රටක තමයි! (ඉවාන් පව්ලූෂා!)
ReplyDeleteලස්සන කථාවක්.
අපි තාමත් කාටූන් වලට, ග්‍රීම් කථා වලට, රතු හැට්ටකාරී කියවන්න ආස අය!
හත්පෙති මල අදටත් දැක්කොත් කියවනවා!
ඇයි ටින් ටින්, ඇස්ටරික්ස්?
හැබෑට ඉවාන් කුමාරයා ඈත රටකනේ තාම ඉන්නේ! :D
Deleteමගෙත් තද කැමැත්තක් තියෙනවා ඔය ලිස්ට් එකේ ඔක්කොටම. ඊට අමතරව කාටුන් වර්ගයේ චිත්‍ර අඳින්නත් මම බොහොම කැමතියි. ඊයේ පෙරේදා නෙට්ෆ්ලික්ස් වල බලන්න ආසා හිතෙන දෙයක් හොයාගන්න බැරිව Leo කියන animated cartoon film එක බැලුවා. අපේ පුත්‍රයා මට හිනාවෙනවා මාව හදන්න බැහැ කියලා :D
අවුරුදු 75 කට විතර පස්සේ මේ සුරංගනා කතාවක් කියවූවේ. ඉස්සර මේ වගේ කතා කියවන විට මෙන්ම ඒ අමුතු ලෝකයට ගියා වගේ දැනුනා. රත්තරන් කුරුල්ලා, මායාකාරයා, අද්භූත උයන වගේ දේවල් වල චිත්තරූප මැවී ගියා. ඉස්සර නම් වැඩිපුර හිටියේ මායා කාරියෝ. The Fire bird පොත කියවන්නට ඇත්නම් කියාත් සිතුනා.
ReplyDeleteතාත්තා- ඇත්තටම ඉස්සර ගොඩාක් කතාවල හිටියේ මායාකාරියෝ තමයි නේද? බබා යාගා එහෙම.
DeleteThe Fire bird කතාව මට හම්බවුණේ පොතක තිබිලා. ඕස්ට්‍රේලියාවේ පාසල් විෂය නිර්දේශයේ ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් තියෙනවා Myths, Legends and Fairy Tales කියලා කොටසක්. ඒ වෙනුවෙන් පාසල් පුස්තකාලයේ ඊට ගැලපෙන පොත් එකතුවක් තියෙනවා. ඒ පොත් අතරිනුත් ballet බවට හැරවුණු සුරංගනා කතා ගැන පොතකයි මට මේ කතාව හම්බවුණේ. පස්සේ පරිවර්තනය කරන්න පහසු නිසා අන්තර්ජාලයේ තියෙන version එකක් හොයාගත්තා.
+++++++++++
ReplyDeleteThank You Pra Jay!
Deleteжар-пти́ца ශාර් ප්තිට්සා කියල රුසියානු භ්හෂාවෙන් කියන්නේ. ඔය කටහ්ව් අලස්සන වසිලිස්ස ගේ වර්ෂන් එකකුත් තියෙනව තමයි. A royal huntsman found a feather of the firebird and, though his horse warned him against it, picked it up. The king demanded that he bring him the bird. The huntsman went to his horse, who told him to demand that measures of corn be spread over the fields. He did, and the firebird came to eat and was caught.
ReplyDeleteHe brought it to the king, who said that because he had done that, now he must bring him Princess Vasilisa to be his bride. The horse had him demand food and drink for the journey, and a tent with a golden top. With it, they set out to a lake where the princess was rowing with golden oars in a silver boat. He set up the tent and set out the food. The princess came and ate, and drinking foreign wine, she became drunk and slept. He carried her off.
Princess Vasilisa refused to marry without her wedding gown, from the bottom of the sea. The king sent the huntsman for it. He rode the horse to the sea, where the horse found a great crab (or lobster) and threatened to crush it. The crab asked the horse to spare it and summoned all the crabs to fetch the wedding gown.
Princess Vasilisa refused to marry without the king ordering the huntsman to bathe in boiling water. The huntsman went to his horse, who charmed his body. He bathed in the boiling water and became handsome. The king went to bathe in the same water, and died. The people took the huntsman as king instead, and he married the princess.
Thank you Ajith. මේකත් ලස්සනයි. මේකේ වීරයා අශ්වයා වගේ නේද? :D
Deleteඇත්තටම ඉතින් කොච්චර වටසින් ලොකු උනත් සුරංගනා කතා අහන්න අපි කොච්චර ආසද..ලෝබද...හරිම ලස්සනයි..අපූරු පරිවර්තනයක් ❤
ReplyDelete*වයසින්
Deleteඔව් නේද? ඒවා නම් එපාවෙන්නෙම නැහැ, ස්තූතියි සඳවතී!
Deleteමරැ. සරල-සුගම විදිහට ලියල තියෙනව. කියවන්න පහසුවටම!
ReplyDeleteස්තූතියි නමියා, සරලව පරිවර්තනය කරන්න පුළුවන් කතන්දර ලැබෙනකම් මම නිරන්තරයෙන් 'චාරිකාවේ' යනවා :)
Deleteඔබේ ලිවීම, විශේෂයෙන් දිග ලිපි වලදී පාඨකයා රන්ඳවා ගැනීමේ හැකියාව, පංකාදුයි. ඒ ශෛලිය ගොඩාක් සාර්ථකයි, ජය පතනවා.
ReplyDelete(නිතර නිතර මතුවෙන කොමන්ට් කිරිමේ ප්‍රශ්ණය නිස සටහනක් එක් කරන්න පමා වුනා)
බොහොම ස්තුතියි කොරල්. සමහර වෙලාවට ආසාවට දිග කතන්දර පරිවර්තනය කරද්දී හිතෙනවා, "මේවා කියවන අය ඉන්නවාද? දිග වැඩි උනාම කියවන අයට එපා වෙනවද?" වගේ දේවල්. ඔබේ ප්‍රතිචාරයත් මේ කමෙන්ට් කරපු අනිත් අයත් නිසා එහෙම අවුලක් නැති බව තහවුරු වුණා. තව තවත් පරිවර්තන කරන්න දිරි ලැබෙන්නේ එතකොටයි.
Delete