November 12, 2023

කුරුළු ගීතය

"ඉතින් දැන් මොකක්ද ඔයාගේ තීරණේ?"

රත්-කළු පෑ පිහාටු ඇති රත් මිණිවිත්තෙක්* බොහොම ඉවසීමෙන් ඇගේ හිසට හරියටම ඉහළින් අත්තක ලැග උන්නේ හරියට තමන්ව ඇයට ප්‍රදර්ශනය කරන්නට මෙනි. ඇය තමන්ගේ ඡායාරූපයට ගැලපෙනම කෝණය සොයාගන්නට මහන්සි වෙමින් සිටියාය. සීත ඍතුව එළඹෙන්නට ආසන්න නිසා නිරුවත්ව තිබුණු ගසේ අතු අතරින් කුරුල්ලා ව පෙනුණේ දීප්තිමත් ලෙසිනි.

"උත්තරයක් දෙනවද නැද්ද?"

ඇය කැමරාවේ බොත්තම ඔබන්නට සූදානම් වෙද්දීම පොළොවෙන් පිටට නෙරූ මුලක ඇගේ පය පැටලුණි. මෙතෙක් වෙලා තමන් ඇයට ඇති තරම් කාලය ලබා දුන් නමුත් දැන් නික්මෙන්නට වෙලාව හරි බව වටහාගත් අයුරින් කුරුල්ලා බොහොම පහසුවෙන් ඉගිල ගියේය .

කැමරාවේ තිරයේ ඉතිරි වී තිබුණේ බොඳ වුණු රත් පැහැ පදාසයක් පමණි. ඒ, කේන්තියේත් දරුණු බවේත් පාට. නිතරම ඔහුගේ කටහඬ වර්ණ ගැන්වෙන පාට.

දිය කඩිත්තෙන් එපිට කොස් ගහක අතු අතර රත් පැහැයක් පෙනී නොපෙනී යනු දැක ඈ ඉක්මන් ගමනින් ගස පාමුලට ගියාය. ඇයට ඉහළින් ඇති අත්තක කුරුල්ලා නිසොල්මන්ව ලැග උන්නේ උගේ දිගු පෙඳයෙන් සිරුර සමබර කර ගනිමිනි. ඇය හිස ඔසවා කැමරාව තුළින් එබී බලා ඌව හරියටම රාමුවට හසු කරගන්නට තැත් කළාය.

ඇගේ ගෙලට උණුසුම් හුස්මක් දැනෙන්නට විය.

"මොකක්ද මේ කරන සෙල්ලම?" ඔහු ඇගේ උරයෙන් අදිමින් ඇසුවේය. ඇගේ සිරුරේ සමබර බව නැතිවී යද්දී ඇය අතක් දිගු කර ගසේ කඳ අල්ලාගත් අතර අතුපතරේ සැඟවී සිටි කුරුල්ලා හඬක් නොනඟා ම ඉගිල ගියේය.

"මේ අහනවා, තමුන් කොයි පැත්තට හරි තීරණයක් ගන්නම ඕන" කේන්තියෙන් රළු වූ කටහඬින් ඔහු කීවේය.

ඇය නිසා ඔහුට රූපවාහිනියේ ක්‍රිකට් තරඟය නරඹන්නට අවස්ථාව අහිමි වී තිබිණි. නිවාඩුවක් ගත කරමින් සිටියත්, කැලයක් මැද සිටියත් ඔහුගෙ පුරුද්ද වූයේ රූපවාහිනී තිරයේ ඇලී ගැලී සිටීමයි. එහෙත් ඇයටත් ඔහු නිසා බොහෝ විට කුරුල්ලන් නිරීක්ෂණය කරන්නට අවස්ථාවත් අහිමි වූ බව සිහිවී ඇගේ මුහුණේ මුරණ්ඩු පෙනුමක් මතුවිය. මීට පෙරත් විවිධ අවස්ථාවල -ඇය ඩෙංගු වැළඳී වෙව්ලමින්, බියෙන් වැතිරී සිටිද්දී, ප්‍රසූති සැත්කමේ වේදනාවෙන් පීඩිතව අලුත උපන් දරුවා නළවාගන්නට රෑ තිස්සේ සක්මන් කරද්දී, පක්ෂීන් ගැන රාත්‍රියේදී විකාශය වූ වැඩසටහනක් නරඹන්නට ඈ උනන්දුවෙන් සිටිද්දී- ඔහු රූපවාහිනිය වෙතම ඇලී උන් අවස්ථා ඇයට සිහි විය.

"කෝ අයින් වෙන්න"

කී ඇය ඔහුව තල්ලු කරමින් කුඩා කඳු ගැටය පාමුළ ඇති පියගැටපෙළ වෙතට ගොස් පහසුවෙන් එය තරණය කළාය. ඔහු ද අවලාද කියමින්, හති අරිමින් සෙමෙන් ඇය පසුපස පැමිණියේය.

කඳු ගැටය මුදුණේ තිබුණේ කුඩා වන රොදකි. එහි උස් පුළුන් ගස් පෙළක් වලාකුළු රහිත අහස වෙත විහිදී තිබිණි. ගසක පහත අත්තක වසා සිටි රත් ළයැති කොණ්ඩ කුරුල්ලෙකුගේ කවාකාර තරබාරු පෙනුම දැක ඇයට සිනා නැඟුණි. මේ ගමන පැමිණීම ගැන ඇයට හදිසියේම සතුටක් දැනෙන්නට විය. මේ සති අන්තයේ මෙහි පැමිණ යන්නැයි යෝජනාව යොමු කෙරුණේ ඇගේ අම්මාගෙනි.

"මම නීල් ව බලාගන්නම්. ඔය දෙන්නා කතා කරලා බේරුමක් කරගන්න. දික්කසාද වෙන එක විසඳුමක් නෙමෙයි."

දික්කසාදය. අම්මා ඒ වචනයට දක්වන්නේ පුදුමාකාර බයකි. මුලදී ඇයටත් ඒ බය දැනුණු බව සත්‍යයයි. තාත්තෙක් නොමැති දරුවෙක් උස් මහත් කරන්නේ කොහොමද? "මම නැතිව තමුසෙට කිසි දෙයක් කරගන්න බැහැ" ඔහු කීවේ ආත්ම විශ්වාසයෙන් උද්ධච්ච වෙමිනි.

ඇයට ඔහු නැතිව පුළුවන් ද? ඇය ඒ ගැන හරියටම දැනගෙන සිටියේ නැත. එහෙත් දැන් දැන් ඇයට දික්කසාදය යන වචනයට දැනෙන බිය අඩු වී තිබිණි. කාලයක් තිස්සේ ඈ යන යන තැන ඒ වදනත් ඈ හා පැමිණි බැවින් දැන් එය ඈ ට පුරුදු වී තිබුණු අතර ඉන් තර්ජනයක් දැනුණේ නැත.

ඇය තව තවත් වනය තුළට ගමන් කළාය. දිවා කාලයේ පවා මෙහි තිබුණේ අඳුරකි. අඩිපාර පටු නිසාත්, ගල් බොරළු සහිත නිසාත් ඈ ප්‍රවේසම් විය යුතු ව තිබිණි. වනයේ ඇත්තේ රැවටිලිකාර නිහඬබවකි. තමා දෙස යොමු කෙරුණු නෙත් අවට ඇති බව ඈ දැන සිටියත් ඇයට ඒ කිසිවක් පෙනුණේ නැත.

ඔහු තවමත් පය පැකිලෙමින්, දෙස් කියමින් ඈ පසුපසින් එමින් සිටියේය. ඇයට හදිසියේ කෝපයක් දැනෙන්නට විය.

"එයා නරක කෙනෙක් නෙමෙයිනේ දුවේ," අම්මා හැමදාම කීවාය. නරක නොවීමෙන් හොඳ බව අදහස් නොවේ.

"එයා කවදාවත් ඔයාට නපුරු වෙලා නැහැනේ" අම්මා තවදුරටත් කීවාය. අම්මා ඉන් අදහස් කළේ ඔහු කවදාවත් ඇයට පහර නොදුන් බවයි. එහෙත් කුරිරු බවට විවිධ හැඩතල ඇති බව ඇය දැනගෙන සිටියාය. තමන්ගේ හදවත ශීතලෙන් ගල් කරනු ලබන බැල්මක් ඔහු නිතර තමා වෙත හෙලන අයුරු ඇය සිහි කළාය.

තම පුතුට පියෙක් වුවමනා බව ඇය දැන සිටියාය. දික්කසාදය සත්‍ය වශයෙන්ම විසඳුමක් නොවේ. එය තමන්ට ගැලවීමක් ඇති බවට හිත රවටා ගන්න යොදාගන්නා අදහසක් පමණි.

ඉහළින් කොවුලකුගේ හඬක් රැව් දෙනු ඇසිණි. ඈ සතුටින් එදෙස බැලුවාය. කොවුලා ගසක අතු අතර අඩක් මුවා වී සිටියේය. ඒ එක්කම ඈ රත් පැහැති පෙඳයක දිලිසුමක් ඇස් කොණින් දුටුවාය. මිණිවිත්තා ඈ පසුපසින් පැමිණ ඇති හැඩයි.

ඇය ගෙල දිගු කර කැමරාව ඉහළට එල්ල කරද්දී ඔහුත් ඈ කිට්ටුවටම පැමිණ තිබිණි. මේ වතාවේදී ඔහු නැවතත් ඒ ප්‍රශ්නයම ඇසුවොත් ඈ ඔහුව අතහැර යන අදහස අත් හළ බව කියන්නට ඈ තීරණය කළාය.

ඈ කැමරා කාචය තුළින් එබී බැලුවාය. රත් මිණිවිත්තා ගසේ තද පැහැ පත්‍ර පසුබිමෙන් රාමු වෙමින් ඉවසිල්ලේ බලා සිටිනු පෙනුණි. ඈ ඡායාරූපය ගන්නට සැරසෙද්දීම පුංචි සෙලවීමක් ඇගේ නෙත ගැටිණි. කහ සහ කළු පැහැති කිරිල්ලියක් හදිසියේ මතුවී රත් පැහැ කුරුල්ලා ලඟින් සෙමෙන් නතරවූවාය. ඒ මිණිවිත් කිරිල්ලියක්! කුරුල්ලා නැඹුරු වෙද්දී කිරිල්ලිය තවත් ඔහු වෙත් තුරුළු වනු පෙනුණි.

නොසිතූ ලෙස ඇයට මහත් අසරණ බවක් දැනෙන්නට විය. ඇගේ පපුව සිරවෙන බවක් දැනුණි. ඇය කැමරාව පහත හෙලා ඔහු වෙත හැරුණාය. මේ තමන්ගේ සැමියා ය, තම දරුවාගේ පියා ය.

"හරි එහෙනම්" ඈ කීවාය. "දික්කසාද වෙමු."

* Scarlet Minivet

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the short story Birdsong by Jahnavi Barua
Picture created by Canva AI

සිසිල මාසික ඊ- සඟරාව - නොවැම්බර් 2023 කලාපය

(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)




20 comments:

  1. ඒක නම් හරිම ලස්සන අර්ථවත් නිර්මාණයක් මලී.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද! ඉන්දියාවේ කතා කියවද්දී අපට සමීප බවක් දැනෙනවා නේද?

      Delete
  2. සමහර බැඳීම් වලට වඩා ලෙහීම් සුන්දරයි!
    ගැලපීම් සඳහා වෙහෙසනවාට වඩා ගැලවීම පහසුයි!!
    සුන්දරයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත! ඒත් සමීකරණයට දරුවොත් එකතු වුණාම තමයි ඔය කොයි වැඩේත් අමාරු

      Delete
  3. පැමිණීම සටහන් කර යමි, උදෙන්ම ඇවිත් සටහනක් තියන බලාපොරොත්තුව.

    ReplyDelete
    Replies
    1. Coral- පැමිණීම ලකුණු කරගත්තා :)

      Delete
  4. හ්ම්....හෝප් ගැප් ෆිල්ම් එක මතක්වුනා.😒

    ReplyDelete
    Replies
    1. ඔව් නේද?
      sometimes you need immense bravery to walk away

      Delete
    2. දෙවෙනි සැරේ කියෙව්වාමයි, මලීගෙ පහල තියෙන විශ්ලේෂණය කියෙව්වානයි, කතාවෙ ගැඹුර හරියට හිතට දැණුනෙ.🤔

      Delete
  5. හරි ලස්සන කතාව එතකොට .කිරිල්ලිද ඔච්චර වැදගත් කාරනයකදි එයාගෙ තීරනය වෙනස් කරන්න බල පෑවෙ.

    ReplyDelete
    Replies
    1. සරත්- තීරණය හිත යට තියෙන්න ඇති. කුරුළු ජෝඩුවේ ආදරය දැක්කාම හරියටම ඒත්තු යන්න ඇති

      Delete
  6. Nice one!!.

    මලී මේ කතාව කලින් බ්ලොග් එකේ දාලා සිසිල සඟරාවෙ පලවුනාට පස්සෙ නැවත දැමීම නේද මේ. කලින් සැරේ බ්ලොග් එකේ දාපු වෙලාවේ මට මතකයි අපි කතා කලා මේ කතාවෙ තියෙන twist එක ගැන, i.e. කුරුල්ලා හා කිරිල්ලියගෙ එකතුවීමෙන් දෙන සංකේතයට සම්පූර්ණයෙන්ම වෙනස් තීරනයක් කතා නායිකාව තමන්ගෙ විවාහ ජීවිතය ගැන ගැනීම.

    ReplyDelete
    Replies
    1. Lotus ගේ මතකය විශිෂ්ඨයි :) hats off!
      සිසිල සඟරාවට යවන්න වෙලාවට කතාවක් ලියලා/ පරිවර්තනය කරලා නැත්නම් මම පරණ කතාවක් recycle කරලා යවනවා සමහර වෙලාවට. එහෙම එකක් තමයි මේ.

      මට හිතෙන්නේ මෙතන කතානායිකාව 'ඔන්න ඔහේ එක්කෝ එකට ඉමු' වගේ තීරණයක් ගන්න යනවා, ඊට ඇති කැමැත්ත නිසා නෙමෙයි, වෙන කරන්න දෙයක් නැති නිසා. ඒත් අන්තිම මොහොතේ කුරුළු ජෝඩුව ආදරයෙන් ඉන්නවා දැක්කාම තමන්ට නොලැබුණු දේ ගැන තදින් දැනෙන්න ගන්නවා- ඒකෙන් තීරණය වෙනස් වෙනවා.

      Delete
    2. අන්න ඒක තමයි මාත් මේ තේරුම් ගන්න බැරුව හිටියෙ...

      //තමන්ට නොලැබුණු දේ ගැන තදින් දැනෙන්න ගන්නවා- ඒකෙන් තීරණය වෙනස් වෙනවා. //

      ඒත් divorce උනා කියලත් කිසි වෙනස්ක් නොවෙන්න පුලුවන් නෙහ්

      Delete
    3. නවීන්- අනිවාර්යයෙන් ඒ රිස්ක් එක තියෙනවා. ඒත් දැන් අසතුටින් ඉන්නවා නම් ඊට වැඩිය තව වරදින්න දෙයක් නැහැ කියලා ඕන රිස්ක් එකක් ගන්න තැනට එන්න පුළුවන් නේද?

      Delete
  7. Replies
    1. ස්තූතියි නවීන්!

      Delete
  8. අලුත් බ්ලොග් අඩවියක්. https://miniminipode.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔත්තුවට ස්තූතියි! ගිහින් follow කළා. අපේ වැයික්කියේ ම කෙනෙක්! :)

      Delete
  9. පරිවර්ථනයක් කී ගමන් පමණක් අය හිතන්නේ අකුරු පෙරළීමක් විතරයි නෙහ් කියන එක. මෙය බොහෝම අලංකාරව ඉදිරිපත් කර කතාවක්, කතාව පුරා තියෙන භූමිකා දෝලනය උනන්දුවෙන්, සූක්ෂමව කර එකක් කියන්න පුලුවනි.

    පෝස්ට් එක පලවී පලමුවතාවට ආවාම //රත් මිණිවිත්තෙක්// කියන එක පරණ මතකයක් අවිස්සුවා, ඒත් නිච්චියක් නැහැ Scarlet Minivet කියන එක දිළිරත් මිණිවිත්තා හැටියට කියවා තිබුනා.

    ReplyDelete